බාලම දෝණි හිතුවක්කාරෙට දීග ගියාම අම්මා ඇඩුවේ එයාව දකින්න නැති දුකටම නෙමේ. එයාගේ අනාගතය කොහොම වේවිද කියන බයට. ඊයේ පෙරේදා විසිවෙනි උපන් දිනේ සමරපු එයාට ලෝකේ ගැන හරි අවබෝධයක් නැති බව අම්මා දන්නවා. රටේ ලෝකේ ඇහෙන දකින දේවල් දිහා බැලුවම සුභදායක සිතුවිල්ලක් හිතට නො එන එක පුදුමයක් නෙමෙයි. ලොකු දූව ඇවැස්ස නෑකමට ඉල්ලන් ආපු කෙනාගේ කියන්න කිසිම වරදක් නොතිබුනු නිසාම ජයටම මගුල් කාලා කරකාර බන්දලා දුන්නා. මද්දුමයත් දැන් දීපංකරේ ගොහින් උන්නට හෙට අනිද්දා මව් රටට ආගමන් පෙලවහක් කොරගනී. ඌ අවිත් නංගිව අහනකොට මොකක්ද මම දෙන උත්තරේ. බලාපොරොත්තු කන්දක් ගොඩ ගැහුවා මම ඒකි වෙනුවෙන්. මලක් වගේ හිනාවෙවී හිටිය මගේ අහිංසකී. දැන් මොනවා කරනවදකොහොම ජීවත් වෙනවද කියලා දෙයියෝ තමා දන්නේ. අම්මගේ කදුලු ආයෙමත් අලුත් උනා.
කන්න ගත්ත බත් කට උගුරෙන් පහලට නොයන නිසාම කෑම එක බල්ලට දාලා අත හෝදගත්තේ බඩ පිරුනු නිසා නෙමෙයි කියලා තාත්තා දන්නවා. ඒත් එයා ඒ ගැන මොනාත්ම කීවේනෑ. හැමදාම හත හමාර වෙනකොට අම්මා රූප පෙට්ටිය ලගින් ඉදගන්නේ පබා බලන්න. මෙච්චර හරියක් වෙලත් මුං ටී වී බලනවා කියලා කාට හිතුනත් එතන තියෙන්නේ වෙනම කතාවක්. අම්මා මේ නාට්ටිය බලන්නේ පොඩි දුවත් (සුද්දි) පබා වගේම නිසා.
"පොඩි ලමයත් මේ වගේමයි"
සමහර වෙලාවට අම්මා කියනවා. අනේ දැන් කොහොම ජීවත් වෙනවා ඇතිද...? රූප පෙට්ටියත් බොදවෙලා පේන්නේ ඇස් වලින් කදුලු ගලන හින්දා. මතක අලුත් වෙන්න වෙන්න හිත රිදෙන බව දැනම එයා හැමදාම
නාට්ටිය බලනවා. සමහර විට එයාගේ හිතට ඒක සහනයක් වගේ දැනෙනවා ඇති. මට හිතෙන්නේ ඒ වේදනා රසය.
මොකක්දෝ හදිසි හැගීමකින් හිතුවක්කාර උනාට සුද්දිටත් ගෙදර මතක් නූනාම නෙමෙයි. ඇඩුවේ නැති උනාට අම්මව මතක් වෙනහැම මොහොතකම හෝ ගාලා ඇස්වලින් කදුලු කැට කඩා වැටෙනවා. පුංචි මනමාලිගේ ඇස්වලින් කදුලු වැටෙනවට අයියා (සුද්දිගේ සැමියා) චුට්ටක් වත් කැමති නෑ. එයාව උස්සලා අරන් ලගින් ඉන්දවලා පපුවට තුරුල් කර ගත්තේ
"ඔයාලව ඈත් කලේ මම" කියලා හිතෙන හින්දද මන්දා. ඉකි ගැහෙන්න එන එක අමාරුවෙන් නවත්තගෙන උන්නට හෝ ගාලා ගලන කදුලු නවත්තන්න තරම් හයියක් සුද්දිට තිබුනේ නෑ. අයියගේ පපුව කදුලු වලින් තෙමෙනවා. කදුලු නවතිනකම්ම පුංචි මනමාලිව තුරුල් කරන් හිටපු අයියා කදුලින් තෙමුන ඒ සුදු මූණ පුරාවට හාදු අහුරක් ඉස්සා. ඒ අතරෙම ජංගම දුරකථන තිරය මත අංකනය උනේ සුද්දිලගේ ගෙදර දුරකථන අංකය.
අම්මට කියන්න නංගි අපි එහෙ එනවා කියලා.
රවුම් ඇස් දෙක ලොකු කරලා පුංචි මනමාලි අයියගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ. පිටතට තවමත් දැඩි බවක් පෙනුනද එයා නිසා අයියා මහ හුගක් මෙල්ලවෙලා කියලා එයාවත් තවම දන්නේ නෑ.
ඔය ඇත්තමද අයියේ...?
කියලා ඇහුනේ ඒ නිසාමයි.
හ්ම්... ඇත්තමයි...!
අයියා එහෙම කියනකොට පුංචි මනමාලිගේ ඉහේ මලක් පිපුන ගානයි.
මගේ රත්තරං මහත්තයා උම්මා....!
දෝර ගලන හිතේ සතුට එයා පෙන්නුවේ එහෙමයි. ඒ අතරම ගෙදර දුරකථනය රිංග් වෙනවා සුද්දිට ඇහුනා.
හෙලෝ..
දවස් ගනනාවකට පස්සේ අම්මගේ කටහඩ.
අම්මේ මම...
අලුත් වෙන කදුලු අතරින් සුද්දී මිමිණුවා. තමන්ගේ පුංචි දගකාරිගේ කට හඩ හදුන ගන්න එක අම්මට මහදෙයක් නෙමේ.
කොහෙද දරුවෝ ඔයාලා.
අපි මෙහෙ ඉන්නවා අම්මේ පාදුක්කේ. අපි බැන්දා. මෙහෙ ගෙයක් අරන් ඉන්නේ. අයියා කිවුවා අපි හෙට ගෙදර එනවා කියන්න කියලා.
කෝ ඒ ලමයා...?
මේ ලග ඉන්නවා...! ආ... ඔයත් චුට්ටක් කතා කරන්න.
ඇය සෙනෙහෙබර සැමියාට දුර කථනය ලංකලා.
අම්මේ...! ]
කොහොමද පුතේ...?
මට සමා වෙන්න අම්මේ, ඔයාලා කාවවත් අඩවන්න මට ඕන උනේ නෑ. ඒ උනාට ඔයාල කවුරුවත් මාව තේරුම් ගන්න උත්සහ කලේ නෑනේ. ඒ නිසයි මම මෙහෙම කලේ.
වෙච්ච දේවල් අපි පස්සේ කතාකරමු පුතේ. කවදද මෙහෙ එන්නේ.
හෙට එන්නම් අම්මේ..!
බොරු නේද...?
මම නංගිට බොරු කියන්නේ නෑනේ අම්මේ. අඩුවේ නැති උනාට එයාගේ ඇස් වලින් කදුලු ගලන්නේ ඔයාලව මතක් උනහම කියලා මම දන්නවා. ඒනිසා අපි හෙට එනවා.
කීයට විතරද පුතේ. හවස් වෙනකොට එන්නම්.
ඇයි ඉතින් හවස් වෙනකම් ඉන්නේ උදේම එන්නකෝ.
බලමු බලමු.. ආ මෙන්න නංගිට කතා කරන්නකෝ..!
හවස් වෙනකම් ඉන්නැතුව උදේම එන්න ළමයෝ.
ඉතින් මම අයියට කියන්නම්...!
ඔන්න මම එහෙනම් ඔයාලටත් එක්ක දවල්ට උයනවා.
හරි ඉතින් ඔයාගේ කැමැත්තක්. බුදුසරණයි...!
හ්ම්.. බුදුසරණයි...!
දුරකථනය විසංධි කල ඇය නැවතත් ඔහුගේ ලය මත වැතිරුනා. ඒ නලලත හාදුවක්ද තවරමින්. එක එල්ලේ ඇය ඔහුගේ ඇස් දෙස බලා උන්නේ ඒ හිත කියවන්න වගේ. මද වෙලාවක් එසේ බලා සිටි ඇයගේ නෙත් කෙවෙනි යලිත් කදුලෙන් තෙත් උනේ ඔහු ගැන උපන් අසීමිත ආදරයෙන් කියලා දෙදෙනාටම තේරුනා. තමන් වෙතට නැඹුරුව තිබුන සුදු මුහුණ දෝතට මැදි කරගත් ඔහු නොනවත්වාම සිප ගන්නට උනා. ඇයත් ඔහුට තවතවත් තුරුළු උනේ සංසාර පුරුද්දට වෙන්නැති...ඔහුගේ ශක්තිමත් ලය මතට සිර වූ ලැම හසුන්...........................................
අම්ම ගහයි, අඩේ මෙතනින් එහාට කොටු කොටු දාන්න වෙයි වගේ..!
ඒ සිද්දිය නොලිවුවට ඔයාලා මා එක්ක තරහ වෙන්නෙපා. අලුත බැදපු ජෝඩු නොවැ. අනික අපිට මොකටෑ ඔය අනුන්ගේ පෞද්ගලික දේවල් නැද්ද මං අහන්නේ.
ඉතුරු ටික කියන්න මම පස්සේ එන්නම්කෝ.
පීදෙනා මල් පුරා
මී පිරේ වෑහෙනා
රොන්සොයා පීරලා
බඹරු එති ගී ගයා
ආදරේ කියුහැටී
සවනතේ රැව්දිදී
හදවතේ තුරුළු වී
මතක තියා ගන්න කතාව තවම ඉවර නෑ..!