Tuesday, July 10, 2012

ට්‍රාන්සිස්ටර් පොල්ල...



       

       වසර කීපයකට ඉහත සාලාව ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික්ස් උපකරන අලුත් වැඩියා කරන ආයතනයක් මවිසින් පවත්වා ගෙන ගිය බව නංගි බබා කියවූ සැමට මතක ඇතැයි සිතමි. පහත සිද්දිය එම කාලය තුල සිදුවූ සිදුවීමකි. හරි ඉතින් වැල් වටාරම් නැතිව කතාවට එන්ටර් වෙන්නම්කෝ. දවසක් පෝලෝ සීයගේ හැඩ රුවට සමාන පුද්ගලයෙක් ආවා මගේ ෂොප් එකට. සුදුපාට දිග ‍රැවුලයි කොන්ඩෙයි ශරීර ප්‍රමාණයයි ගත්තම දෙකහමාරක් නෑ පෝලෝ සීයම තමයි.

අනේ මහත්තයෝ මේ මගේ රේඩියෝ එක හදා ගන්න කියලා...!
ආ එහෙමද... කෝ දෙන්නකෝ බලන්න...!
මේක මේ අපේ ලමයි අතින් බිම වැ‍ටුනා..!
හරි අවුලක් නෑ මම බලලා තියන්නම්. මට ඔයාගේ නම කියන්නකෝ..!
අනේ මහත්තයෝ හුග දවසක් යයිද..?
අපෝ නෑ මම දවස් දෙකකින් දෙන්නම්...ඇයි..?
නෑ මහත්තයෝ අපේ පොඩිඈයෝ දෙන්නා හරි පාලුවෙන් ඉන්නේඕක නැතුව. ඒ ගොල්ලෝ හැම වෙලාවෙම අර මගෙ පොඩි යාලූ කැසට් පටිය අහනවනේ ඕකෙන්...!
ඒ මනුස්සයා එහෙම කිවුවම මටත් දුක හිතුනා. මට මේක තව එක වැඩක් උනාට අර දරුවන්ට රටක් රාජ්ජයක් තරම් වටිනවා ඇති. රිසිට් එක ලියන එක පැත්තකට දාපු මම.......
හරි එහෙනම් ඔයා වාඩිවෙන්නකෝ ඔය පු‍ටුවක් අරන්..! අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා..!
හා.. මහත්තයෝ හා..!
ම්හ්.. කවුරු හරි මේක ගලවලා තියනවා...!
ආ ඔව් මහත්තයෝ අර නිමල් ඕක ගැලවුවනේ.ඒ ලමයත් ඉතින් ඔය වැඩ කරනවනේ.

       (නිමල් යනු සමූහ ව්‍යාපාරයක අධිපති කෙනෙකි. ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි. දහවල් කාලයේ පොල් කැඩීමේ නිරතවන මොහු රාත්‍රියේදී පොල් කැඩීමත් කෙසෙල් කැන් කැපීමත් පාර්ට් ටයිම් එකක් ලෙස කරයි. මොහු කෙතරම් සාධාරන ලෙස තම වෘතියේ නියැලෙන්නෙක්ද කියනවානම්, දිවා කල දැඩි හිරු රශ්මිය නිසාවෙන් පොල් ගසකට රුපියල් 40ක් පමණ මුදලක් අය කලද කිසි විටෙකත් රාත්‍රියේදී ගස් අයිති කරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකරයි. ඒ වෙනුවට කඩන පොල්ගෙඩි ටික විකුනා ලැබෙන සොච්චම් මුදල පමණක් ඔහු ගනී. කපනා කෙසෙල් කැන් වලටද එසේමැයි. ඊට අමතරව ඉහත පුද්ගලයා කියූ ආකාරයට රේඩියෝ අලුත් වැඩියා කිරීමද කරනවාලු. හරි ඉතින් ඌ ගැන කිවුවා මදෑ. මම කතාව කියන්නම්කෝ.)

ඉතින් එයා හැදුවනම් ඇයි ආයෙත් මෙහෙට අරන් ආවේ..?
හැදුවේ නෑ මහත්තයෝ ඕකෙ ඔය ට්‍රාන්සිස්ටර් පොල්ලද මොකක්ද කැඩිලා කියලා ඒ ලමයා ගාව ඒක නෑ කිව්වා නොවැ.
මොකක්...ට්‍රාන්සිස්ටර් පොල්ල..?
හ්ම්හ්... එහෙම තමයි කිවුවේ...!

      අම්මපා ඔය වෙලාවට තමයි අපට උගන්වපු විදේශික ගුරුභවතුන්ගේ මව් දෙමව්පියොත් මතක් වෙන්නේ. හත්තිලව්වේ උගන්වනදේ හරියටම ඉගැන්නුවා නම් ඉවරයිනේ ගුරු මුෂ්ඨියක් තියාගන්නේ නැතිව. ලෝකේ තියන හැම එකම ඉගැන්නුව මේ ට්‍රාන්සිස්ටර් පොල්ල ගැන වචනයක් වත් කියලා දීලා නැහැ නෙව.D: දැන් ඉතින් ඕක මම මේ මනුස්සයගෙන් ඇහුවොත් හරි ඒක තියන තැන පෙන්නන්න කිවුවොත් හරි මෙයා දැනගන්නවා නිමල් තරම් හොදට මම රේඩියෝ ගැන දන්නේ නෑ, මට ඒහැටි දැනුමක් නෑ කියලා. මහ ලොකුවට සාප්පු දාගෙන රේඩියෝ හදනවා ඒඋනාට ට්‍රාන්සිස්ටර් පොල්ලවත් අදුරන්නෑ කියලා ගමපුරා කියන්නත් බැරි කමක් නෑ. ඒත් මොනා කරන්නද නොදන්න දෙයක් නම් ඉතින් කාගෙන් හරි අහලවත් ඉගෙන ගන්න ඕනනේ.

මේ මාමා තරහ නැතුව ඔය දොර ඇරන් මෙහාට එන්නකෝ.
ඇයි මහත්තයෝ...?
මට චුට්ටක් පෙන්නන්නකෝ ඔය කෑල්ල තියන තැන...!
ඇයි මහත්තයෝ මේ තියෙන්නේ රෝස පාට නූල් වගයකුත් ඔතලා...!
හිකිස්... මේකද.. හෙහ් හෙහ්.. හෙහ්..!
ඇයි මහත්තයෝ හිනා වෙන්නේ...?
නෑ නෑ මාමා නිකම්...!
ඉතින් එයා කිවුවද මේක නැතිව රේඩියෝ එක හදන්න බැහැ කියලා..?
හ්ම්හ්.. එහෙම තමා කිවුවේ..!
ඕක කැඩෙන්න ඇත්තේ බිම වැ‍ටුනු වෙලාවේ වෙන්නැති...!
චුට්ටක් ඉන්නකෝ මාමා, අපි බලමු මේක හදන්න..!
එහෙම කියලා මම අදාල දෝශය හොයලා රේඩියෝ එක හැදුවා. අර ට්‍රාන්සිස්ටර් පොල්ලත් ගලවලා අරගෙන මාමා අතට දුන්නා. ඒක අතට ගන්නකොට මාමාගේ මුහුනේ තිබුනේ විශ්මයාර්ථයක්.හික්..!
ඔන්න මාමා මම ඒක නැතුවම රේඩියෝ එකනම් හැදුවා. ඔයාට එයාව හම්බුන වෙලාවක ඕක දෙන්න එයාට. කියන්න මම ඒක නැතුව රේඩියෝ එක හැදුවා කියලා...!
ඕං බලන්ඩ මහත්තයෝ මේකලගේ වැඩ..!
එහෙම කියාපු මාමා යන්න ගියා. හ්ම්හ්.. දැන් ඔයාලටත් ප්‍රශ්ණයක් තියනවා නේද ඒ කියාපු අහවල් එක ගැන. හරි මම කියන්නම් විස්තරේ.
       මෑත කාලීනව ඔය FM තරංග මාලා පටන් ගන්න කලින් අපට තිබුනේ MW(මීඩියම් වේව්) වලින් වැඩ කරන රේඩියෝ. ඉතින් මෑතක් වෙනකම්ම ආව රේඩියෝවල තිබුනා ලොකු රොඩ් කොයිල් එකක්,තව විදිහකට කියනවානම් දිග පෙරයිට් රොඩ් එකක් මත කොයිල් ඔතලා සකස් කරන ලද තරංග ග්‍රාහකයක්. මේක SW(ෂෝර්ට් වේව්)සහ MW(මීඩියම් වේව්) සදහා තමයි භාවිත කලේ. ඉතින් අපි මේක හැදින්නුවේ රොඩ් කොයිල් එක කියලා. නමුත් මේ වෙනකොට මීඩියම් වේව් ලංකාවේ භාවිතයෙන් ඈතට ගිහින් නිසා මේ කොටස නැතිඋනා කියලා FM චැනල් වලට කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒ කියන්නේ රොඩ් කොයිල් එක නැතුව අපට රේඩියෝ අහන්න පුලුවන්.හැබැයි තවමත් සමහර කැසට් රේඩියෝ වල මේ කොටස ඉතා කුඩාවට තියනවා. ඒ උනාට මේ නිමල් කියන හාදයා රේඩියෝ හදනවා කිවුවට ඒ පිළිඹද ඉගෙනගන වත් යම් කිසි පාඨමාලාවක් හදාරපු කෙනෙක් වත් නෙමේ. කැඩිලා තියෙන රොඩ් එක දැකලා හිතන්නැති මේක හදන්න බෑ කියලා. ඒකෙ නම නොදන්න නිසා තමයි කටට ආව නමක් කියන්න ඇත්තේ.ඉතින් අර මනුස්සයත් ඒ කතාව පිලිඅරගෙන.

         විහිලුවක් වගේ පෙනුනට මේ කතාවේ ඔයාලට වැදගත් පනිවිඩයකුත් හැංගිලා තියනවා. ඔයාලගේ වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ වල යම් යම් දෝශ ඇති උනහම ඔයාලා කරන්නේ ලගම ඉන්න කවුරු හරි කෙනෙකුට ඒක හදන්න දෙන එක එයා ඒ වැඩවලට දක්ෂයෙක්ද වගකීමකින් යුතුව ඒ වැඩේ කරයිද කියන එක ගැන හුගදෙනෙක් හිතන්නේ නෑ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඔයාලගේ වටිනා උපකරණයට හානි වෙන එක. පසුව දක්ෂ කාර්මිකයෙක් ලගට ගෙන ගියත් ඔහුටත් අමාරු වෙනවා අලුත් වැඩියා කරන්න. ඉතින් යාලුවනේ මම නම් කියන්නේ ඒවගේ වැඩවලදි දෙවරක් හිතන්න කියලයි. ලග තියන පුංචි පහසුව ගැන නොහිතා වගකීමකින් යුතු ආයතනයකට හරි සුදුසුකම් තියන පුද්ගලයෙකුට හරි දීලා ඒ අලුත් වැඩියාවන් කර ගන්න.නැත්නම් වෙන්නේ ඔයාලගේ වටිනා කාලයත් මුදලත් දෙකම නැතිවෙන එකයි.

එහෙනම් ආයිබොවන් ගෙහුන් එන්නම්..!          


ඊලග ලිපියෙන් "ගොරක දඩමස් කරන හැටි" නැත්නම් නැති ලෙඩ මවා පාන හැටි ගැන අපි කතා කරමු..!

11 comments:

  1. ඇෆ් ඇම් වලට ඒරියලය සහ ඇම් ඩබ්ලිව් සහ ඇස් ඩබලිව් වලට තමා ඔය කොයිල් පොල්ල නේද ?

    දවසක් රේඩියෝ එකක් ගලවලා ඔය රෝල දිග ඇරුනා. පොඩි කාලෙ නිසා ඒක ඇද යටට දාලා සද්ද නැතුව හිටියා. අම්ම දවසක් අතු ගානකොට එලියට ඇදල ගත්ත..

    ReplyDelete
    Replies
    1. ඔය දන්නේ අපූරුවට. ඕක නැවත ඔතන එකත් මහ කජ්ජක් නෙමේ,රොඩ් එක උඩ බ්‍රවුන් පේපර් කොල කෑල්ලකින් වට තුනක් විතර ඔතලා ගේජ්22SWG කොයිල් පොටවල් 60 ඔතලා ටැප් කරලා ආයෙත් පොටවල්9ක් විතර ඔතා ගත්තම ලෙසටම වැඩ කොරනවා නොවැ. එහෙනම් ජය....!

      Delete
  2. මට නං හැංගිච්ච පණිවිඩේ පෙනුනේ නැතෝ...... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ පෙනීම දුර්වලයි කියලා දන්න නිසා තමයි මම ඒක එතනම ලියලා දැම්මේ. තවමත් ග්‍රීක් වගේනම් අන්තිම ඡේදය ආපහු කියවපං රජෝ. හිකිස්...! ජය...!

      Delete
  3. වැදගත් පණිවිඩයක්..
    අදම රේඩියෝ එක ගලෝලා බල්න්නොනැ මේ ට්‍රාන්සිස්ටර් පොල්ල..හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඔන්න වැඩේ වරද්දගෙන එහෙම මට දොස් කියනවා නෙමෙයි ඕං...! ජය...!

      Delete
  4. වැදගත් ලිපියාක්‌ ඉසර අපේ ගෙදර රේඩියෝවේ ඒ කියන පොල්ල තිබුනා.මට මතකයි.

    ReplyDelete
  5. නිමල් හොඳ පොල්ලක් තියලා වගේ :D

    ReplyDelete
  6. මට එපා කරපුම වැඩේ ඔය කොයිල්. ඒ දවස වල 50g රුපියල් 50ක් උනා. ඉතින් කොහෙද,,,
    මමත් නිමල් වගේ, පොඩි දවස්වල ඉදන් කෑලි මූට්‌ටු කලාට වැඩි දැනීමක් නෑ.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....