Wednesday, February 27, 2013

සරා ගොයියා හරි මිනිහා...!!




               කාලෙන් කාලෙට ඉන්දියාවේ එක එක නිර්මාණ බිහිවෙනවා. ඒවගේම හරි ඉක්මනට ඕවා අපේ රටටත් වීසි වෙනවා. සමහර ඒවයේ අපූර්වත්වයක් නැතුවත් නෙමේ. ඒත් හොඳ නරක මොකවුනත් පිට රටින්නම් ඕන එකක් බාර ගන්න සූජානන් කට්ටියත් මේ රටේ නැතුව නෙමෙයි. ඕං මම ඒක නම් කිවුවේ ඔයාලට නෙමේ. ඔයාලා එහෙම නෑ නේ නේදෝ.........?

මතකයිනේ පහුනු දවස් වල අර "වැලබෑවුනී" ලා සෙට් එකක් ගෙනත් නටවපු නැටවිල්ල. අම්මපා කියලා වැඩක් නෑ. කදිමයි අනර්ඝයි.....!!
මට පුදුමත් හිතුනා ඉන්දියාවේ "ආශ්චර්යය" දැකලා.
හැමෝම ලොකුයි කිව්වට එච්චර ලොකු නෑ බොලවු...
අල්ලෙනුත් වහතෑකි.
කිවුවට විශ්වාසෙට ගනිල්ලා අපේ ටේලර් ගොයියා කිවුවේ ඌට ටේප් එක නැතුං උනත් මැසිමන්ට් ගතහැකිලු.
හ්ම්හ්.... මේං මෙච්චර විතර ඇති....!
අනිච්චේ දුක්ඛේ... මුන්ට කහඹිලියා අඹරලා ගිල්ලන්ට ඕන ඇතුල්පැත්ත කහන්න.

කොහොම උනත් සරාලා වගේ වලේ එකයි ගොඩ දෙකයි තියාගෙන ඉන්න එවුන්ට ඕවයේ අගයක් ආඩම්බරයක් මෙලෝ රහක් නැති උනාට ඔවුවයේ වටිනාකොම රහ ගුණ දන්න උත්තමයොත් මේ අමුතු ඇටේ ඇතුලේ ඉන්නවා.කිසි වග විබාගයක් නැතුව තප්පුලන්න ගෙහුං උන්දැලගේ උදහසට ලක්වෙයි කියන බයටම සරා ඕං ඒගැන දොඩන්ට යන්නේ නෑ ආයිබොවන්.

මේ උත්සාහය දැනට දශක කීපයකට පෙර ඉන්දියාවේ බිහිවුනු අපූරු චිත්‍රපට ගීත කිහිපයක තොරතුරු දන්න තරමින් ජුන්ඩක් විතර කියන්න.අද ටිකක් අමුතු විදිහකට, මේ හිංදි තනුවලට අනුව බිහිවුනු සිංහල ගීතත් මම මේ සමඟම දෙනවා. හැබැයි හදන්නන් වාලේ හදපුවා නෙමෙයි මුල් ගීයේ තේරුමම හෝ ඒසමාන අර්ථයක් මතුකරපු ඒවා විතරයි. අපි දන්නවා එදා හිංදි ගීත අද මෙන් කලවං පලා මැල්ලුමක් නොවෙන බොහොම අර්ථවත් මිහිරි නිර්මාණ කියලා. මේ නිසාම එදා උතුරු ඉන්දීය සංගීතය කියලා වැඩසටහනකුත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවය කියන නාලිකාවේ විකාශය වුනා කියලා මතකයක් සරාට තියෙනවා.

            ඔය ශංකර් ජායිකිෂන්, ලක්ෂ්මී කාන්ත් ප්යාරේලාල්, නවුෂාද් වගේ සංගීතඥයන් ගැන වගේම මන්නාඩේ, මුකේෂ්, රාපි, තලාත් මෙහෙමුඩ්, ලතා වගේ ගායක ගායිකාවන් ගැනත් සරාට ඇහුනේ ඔය වගේ වැඩසටහන් වලින්. එතකොට සරා හිච්චි එකා. ඔය දෙගොල්ලන්ගේ එකතුවෙන් හැදුනු සිංදු නම් ඉතින් මල්ම තමයි. සරාලගේ භාශාවෙන් කියනවානම් එයාලා ඇඬෙන්නම දුන්නා. ඔය වැල බෑවුනීලා නටන හෙලුවැලි නැ‍ටුං තිබුනෙ නෑ වගේම පෙන්නපු ටිකත් පෙන්නුවේ කලාත්මක විදිහට. අදකාලේ වගේ මෙසරින් ටේප් එක නැතුවත් දිග පළල කියන්න පුලුවන් කෙරේමෙට නෙමෙයි. කතාව නවත්වලා අපි සිංදුවක් දෙකක් බලමුද ආයිබොවං...

            1955 සැප්තැම්බර් හය වෙනිදා තිරගත වුනු ශ්‍රී 420 චිත්‍රපටයට "මන්නාඩේ" ගායනා කලා. සංගීතය ශංකර් ජායිකිෂන් ප්‍රධාන චරිත රඟපෑවා "රාජ් කපූර්" සමඟ "නර්ගීස්." මෙහි නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය රාජ් කපූර්ගේමයි.

මෙන්න ඒ තනුවටම නිර්මාණය වුනු සිංහල ගීතය. සරා ගොයියා හරි මිනිහා.... 
ඔන්න මේ සිංදුව දාලා කාමරේ වෙච්ච ජරමරේ ටිකක් බලන්නකෝ.

පැතුමා: ඔය සිංදුව කියන්නේ සමිතා නේද සරත් අයියේ....?
ලසා:  මොන සමිතෙක්ද බං. ඕක චන්ද්‍රලේඛගේ....!
පැතුමා: අනේ පලයන්.. මේ ඉන්ටර්නෙට් එකෙත් තියෙන එක උඹ කොහොමද නෑ කියන්නේ...?
ලසා:  ඉතින් ඉන්ටර්නෙට් එකේ තමයි මම කියන්නෙත්...!
සරා: නවත්තපල්ලා දෙන්නම, ඔය එකෙක්ගේ වත් නෙමේ ඔය සිංදුව.
ලසා හා පැතුමා:   එහෙනම්....?
සරා: අහගනිල්ලා හොඳට. ඔය සිංදුව මුලින්ම කිවුවේ මේබල් බ්ලයිට්. එහෙම කිවුවට එයාගේ සම්පූර්ණ නම මේබල් ජොසපින් බ්ලයිට්. ඔය සිංදුව ඒකාලේ තිබුන දිගම සිංදුවක්. විනාඩි 8ක් දිගයි චිත්‍රපටි සිංදුව. ඒකාලේ කිවුවේ 1956 මැයි 23 තමයි ඔය චිත්‍රපටිය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. සංගීතය ඒ ජේ ද සොයිසගේ. දෛව විපාකය තමයි ඔය චිත්‍රපටියේ නම. ඔය චිත්‍රපටියට අඩංගුවුන සිංදු ඔක්කොම වගේ ගොඩාක් ජනප්‍රිය වුනා. සාගර හිමිය සොයා, සුරතලියේ සුකුමලියේ, සුදෝසුදු රන්, දොයි දොයි දොයි දොයියපුතා ඒවයින් කීපයක් තමයි. සේනාධීර කුරුප්පුයි, මේබල් බ්ලයි‍ටුයි ප්‍රධාන චරිත රඟපෑවේ. ඇති නේද..?
මුල් ගීයේ අර්ථය මේ සිංහල ගීයේ අඩංගු නැත. එහෙත් ගී දෙකම ලියා ඇත්තේ උපහාසාත්මක අයුරිනි.

මිනිසුනේ මම බේබද්දෙක් කියලා හිතන්න එපා.... මම බිව්වා නෙමෙයි... ඉබේ පෙවුනේ..... චිත්‍රපටය ලීඩර්. මුලින්ම තිරගත වුනේ 1964. නවුෂාද්ගේ සංගීතයට ගැයුවේ මොහොමඩ් රාෆී. ලීඩර් රාම් මුකර්ජීගේ වැඩක්. ප්‍රධාන චරිත රඟපෑවා දිලිප් කුමාර් සමඟ වෛජයන්ති මාලා.


 මේකත් හරි අපූරු සිදුවීමක්. චිත්‍රානන්ද අබේසේකර මුල් ගීය අපූරුවට සිංහලට හරවලා තියෙනවා. P.L.A සෝමපාලගේ සංගීතයට H.R ජෝතිපාල මේ ගීතය ගැයුවේ "ස්වීප් ටිකට්" චිත්‍රපටියට. ස්වීප් ටිකට් බිහිවුනේ ප්ලොරීඩා ජයලත් සමග ලෙනින් මොරායස් සුසංයෝගයෙන්. ජෝ අබේවික්‍රම, විජිත මල්ලිකා, සුදේෂ් ගුණරත්න වගේ අය ප්‍රධාන චරිත රඟපෑවා.




ජීනේ කී රාහ් චිත්‍රපටයට මොහොමඩ් රාෆී ගායනා කල ගීතය සංගීතවත් කලේ ලක්ෂ්මී කාන්ත් ප්යාරේලාල්. තිරගත වුනේ 1969. රඟපෑමෙන් එක්වුනා ජිතේන්ද්‍ර, තනුජා, ජගදීප්.


මෙන්න ඒකට හැදුනු සිංහල සිංදුව. P.L.A සෝමපාලගේ සංගීතයට H.R ජෝතිපාල ගායනා කලා. චිත්‍රපටය සුහද පැතුම. තිස්ස විජේසුන්දර සමග මාලනී පොන්සේකා ප්‍රධාන චරිත රඟ පෑ සුහද පැතුම සිනමා සිත්තම මුලින්ම තිරගත වුනේ 1973 පෙබරවාරි 23. අධ්‍යක්ෂනය කිංස්ලි රාපක්ෂ. නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.

මේ ගීතයේ චිත්‍රපට ජවනිකාව ඇතුලත් ගීතය මෙතනට දාන්න මම උත්සාහ ගත්තත් තාක්ෂණික ගැටලුවක් නිසා එය කිරීමට නොහැකි උනා. ඒ ගැන කනගා‍ටුව.

ඉතින් ආයිබොවං මම යන්න කියලා...
අහ්.. යන්න කලින් මේකත් කියලා යන්නම් කෝ.

මොහොතින් මොහොතට රඟ දෙන්නේ...
දවසින් දවසට පෙරලෙන්නේ...
භවයෙන් භවයට උපදින්නේ...
ඒ මිහිරි අනන්තය හමුවන්නේ...
අපට නැතේ එය හමුවන්නේ..
අපට නැතේ එය ලංවන්නේ..


අනේ ඉතින් සරාට නම් ඔහොම පසුගාමී සිතුවිලි නෑ.ඕනම දෙයක් උත්සාහ කලොත් ලබා ගත හැකිය කියන ස්ථාවරේ ඉන්න ඌ දකින්නේ මේ ජීවිතේදි හැබෑ කරගන්න පුළුවන් හීන විතරයි. තමන්ගේ ප්‍රමාණය නැත්නම් තමන් කවුද කියලා අවබෝධයෙන් ඉන්න සරා බැරිදේවල් ගැන හිතන්නේ නෑ වගේම හිතපු දෙයක් නොකර ඉන්නෙත් නෑ. "උත්සාහවන්ත ජනානං කිම කාරියන්.."

මේකට ගූගල් යාලුවත් මට උදව් කලා ඕං..!

Wednesday, February 20, 2013

සරා සොරකමකට අසුවෙයි....




      දරිද්‍රතාවය එහෙමත් නැත්නම් ආර්ථික බැරි අමාරුකම් අපට ඉතිරි කිරීමේ අගය උගන්වනවා. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කිරීමෙන් උවද අනාගතේ යහපත් ප්‍රථිපල උදාකර ගත හැක. සරා පිප්පි කාලේ සරාලගේ අම්මත් ඔහොම කැටයක් එකතු කරා සරාට මතකයි. කැටේ ලොකුවට පෙනුනේ සරා පුංචි නිසාද කියලානම් කියන්න දන්නේ නෑ සමහර විට වෙන්න ඇති. කොහොම උනත් සරාලගේ තාත්තා අද ඉඩම් හිමි වැවිලි කරුවෙක් වෙලා ඉන්නේ නිකම්ම නෙමේ. උපයපු දේ අරපිරිමැස්මෙන් වියදම් කිරීම හා එයින් යම් ප්‍රමාණයක් ඉතිරි කිරීම නිසා. සරාට අද රට ‍රැකියාවක් කොරන්න වෙලා තියෙන්නේ නිසි කළමනා කාරීත්වයක් සරා ලඟ නොතිබුන නිසා. ඒක දන්න කෙනා හම්බවුනේ පස්සේ නොවැ. දැන් නම් ආයේ ඇන ගන්න එකක් නෑ මගේ හිතේ:D ඒකෙන් මේකෙන් පූජාව පහු වෙනවා නිසා මම කතාවට එන්ටර් වෙනෝ.

               ඔය කියපු සංදිය වෙද්දි සරා පොඩි එකා. අඳුනන්නේ සත 25යි 50යි විතරයි. මොකද සරාට ආප්ප කන්න අම්මා හැමදාම දෙන්නේ සත 50ක්. ආප්ප දෙකක් ගන්නවා සරා ඕකෙන්. ඒකිවුවේ එදා සත 50 ක වටිනාකම .;P කොහොම උනත් දවසක් චූටි අක්කගේ යෝජනාවකට සරා අම්මගේ කැටෙන් සල්ලි ගත්තා. ඇත්තටම කියනවා නම් ඒක හොරකමක්. ගනන් නොදන්නවා උනාට එතන ලොකු කාසි කීපයක්ම තිබුනා. සේරම දුන්නේ චූටි අක්කා අතට. හවස මොකක් හරි උවමනාවකට කඩේ යන්න කිවුවම සරාත් ගියා චූටි අක්කත් එක්ක. ඔය යන වෙලාවේ අර සල්ලිත් අරං ගිය නිසා සරා හිතා හිටියේ තමන්ට මොනා හරි ලොකු දෙයක් ලැබේවි කියලා. අනේ කියන්න කනගා‍ටුයි සරාට ලැබුනේ සත විසිපහේ බැළුම් බෝලයක් විතරමයි. ඒකත් මගදිම පිපිරුවා. ඕං දැන්නම් සරාගේ හිතට අමාරුයි.

අනේ චූටි අක්කේ මම ඔයාට ගොඩක් සල්ලි අරං දුන්නනේ. මට තව බැලුමක් ඕන...!
තව බැලුම් ගන්න සල්ලි නෑ...!
ඉල්ලීම අහකට.
එහෙනම් ඉතින් මම අම්මට කියනවා කැටෙන් සල්ලි ගත්තා කියලා.....!
පුංචි තර්ජනයක්ද මන්දා:D
ඉතින් කියන්න. මම නෙමෙයිනේ ගත්තේ.
ඒ උනාට මට සත 25නේ දුන්නේ. ඔයානේ ගොඩක් සල්ලි ගත්තේ. මම කියනවා.....!!
කියලා ගුටිකන එකයි ඇත්තේ මට මොකද...!
ඇයි එහෙනම් මට තව බැලුමක් අරන් දෙන්නේ නැත්තේ......?
දැන් සැරයක් කිවුවනේ මම. සල්ලි නෑ....!
ඔය බොරු මම කියනවාමයි....!
සරා අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කලේය. ගෙදර ආපු ගමන්ම සරා අම්මා සමග ‍තෝම්බුව දිගහැරියේය. හොඳින් ඒ කතාව අසා සිටි අම්මා කොහොමද කැටෙන් සල්ලි ගත්තේ යැයි ඇසුවාය.
ඉර‍ටුවක් දාලා ගත්තා... !
සරාගේ මුහුනේ ඇත්තේ ජයග්‍රාහී බවකි.
කොහෙන්ද ඉර‍ටුව...?
අම්මා දෙවැනි ප්‍රශ්නය නැගුවාය.
අර අතන තියෙන ඉලපතෙන් කඩා ගත්තා.....!
යමු බලන්න... !
මව සරාගේ අතකින් අල්ලාගෙන කීවාය. සරා සතුටෙන් ඉස්සර විය. ඉලපත ලඟටම ගිය සරා මේකෙන් කැඩුවේ යැයි කීවේය. සරාගේ අත අත නෑරම ඉලපත අතට ගත් අම්මා එයින්ම සරාට තලන්නට විය. සරා වේදනාවෙන් හඬ තැළුවද නතර වූයේ මව නොවේය. ඉවසිය නොහැකි තැන දැඟලූ හෙයින් අත මදක් ලිහිල් වී සරාට ගැලවීමේ මගක් පෑදුනි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සරා ගේවටේ දිවුවද මව පසුපසින් එලැවූ නිසා එතනින් නොනැවතී අසල නිවසක් කරා දිවුවේ කවරෙකු හෝ තමා බේරා ගනීවියැයි සිතාය. අඬමින් තමන් වෙත දිව එන පොඩි එකා දු‍ටු පීටර් මාමාට දුක හිතෙන්නට ඇත. පොඩි එකාට දුවන්නට හැර මග අවුරා සිට ගත්තේ ඒ නිසා විය යුතුය. ඔහුගේ බලවත් විරෝධය හමුවේ සරාගේ මවට පසු බැසීමට සිදුවිය.

             අද කාලේ  අසල්වැසියන් මෙන් පීටර් මාමා සරාගේ මවට විරුද්ධව පොලෝසි ගියේ නැත. කාන්තා හා ළමා රක්ෂකයට පැමිණිළි කොලේද නැත. පොඩි එකා නලවා උගේ ඇඟේ වූ ඉලපත් පහර වලට තෙල්ගෑවා පමණය. හවස ඌවත් කැ‍ටුං උන්ගේ ගෙදර ගියේ පවුලේ උදවිත් පිරිවරා ගෙනය. සතු‍ටු සාමීචියේ යෙදී සිටිනාතරම කොළුවාගෙන් සිදුවූ වරදට ලැබුනු දඬුවම ප්‍රමාණවත් බවත් නැවත දඬුවම් නොකරන ලෙසත් ඉල්ලීමක් කෙරින.

සරාගේ මව කියා සිටියේ
මම අද ඔහොම නොකලා නම් හෙට මූ මීට වඩා දෙයක් කරනවා. කවදා හරි රටේ ලෝකේ මිනිස්සු අපට දෙස් දෙවොල් තියනවා එහෙම උනොත්.

ඒ කතාව හැමදාටම හැම කෙනෙකුටම වලංගු යැයි සරාට හිතෙන්නේය.

එදා සිට අද දක්වාම සරාගේ නොවන කිසිම දෙයක් කෙනෙකුගේ අනුදැනුමකින් තොරව සරා නොගන්නේය. අද වෙනතෙක්ම චූටි අක්කා සමගද කතා නොකරන්නේය.

ප/ලි.

වර්ථමානයේ මෙවැන්නක් සිදුවුවහොත් අසල්වැසියන් විසින් අදාල මව හෝ පියාව දහ අට මාසයකට සිපිරි ගෙදරට යවන්නට කටයුතු කරනවාය. මාධ්‍ය වලද පින්තූර සහිතවම ඒවා ප්‍රචාරය කරනවාය. ඒ බය නිසාදෝ බොහොමයක් දෙමාපියන් කුමන වරදකට වුවද අද දරුවන්ට දඬුවම් කරන්නේ නැත. අවසන ඔලමොට්ටල සමාජ ක්‍රමයක් බිහිවෙමින් පවතිනවාය.

පුද්ගලයෙකු වැරදි කිරීමට බියක් දක්වන්නේ එයින් තමන්ට කරදරයක් අනර්ථයක් සිදුවේය යන බිය මූලික කරගෙනය. කුමන වරදකටද උවද තමන් දඬුවම් නොලබන කල පුද්ගලයෙක් තුල වැරදි කිරීමට බිය නැතිව යයි.

ඊනියා දියුනුව (දැන උගත්කම) නම් විනාශයේ එක අනි‍ටු විපාකයක් පමණි මේ.

නංගි බබා සරාගේ අතීත කතාවක් කියන්න කියපු වෙලාවක මතක් උන කතාවක් මේ. තව ඒවා මතක් කලොත් කියන්නම්.


Tuesday, February 19, 2013

මගේ විරෝධය. ( My objection )



            අප විදෙස් රටවල වෙසෙන්නෝ වෙමු.මෙහි අපට යහළුවෝ නෑදෑයෝ නැතිය. විනෝද චාරිකා යාමට සුදුසු සුන්දර පරිසරයන්ද නැතිය. වැලි කතරේවත් නිදහසේ සිටීමට නොහැකිව ඇත්තේ මේකලාගේ නීති රෙගුලාසි නිසාය. ඒනිසාම අප කාමර වලට කො‍ටුවී සිටිමු. එවිට දැරිය නොහැකි පාළුවක් කාන්සියක් දැනෙනවාය. කාන්සිය මඟ හරවා ගැනීමට අපි නානාප්‍රකාර ඩොට් කොම්ලා සොයායමු. (.com) බ්ලොග් හා චිත්‍රපට හැරුනු කොට සරාලගේ කාමරේ එවුන් යන්නේ ලාංකීය ටෙලි නාට්‍ය පෙන්වන .com වලට පමනිය. හරිම කනගා‍ටු දායකය දැන් ඒකලා පෙන්නන නාට්‍ය අප්‍රසන්නය කුජීතය. වැරදි හදන එකාලාද පෙන්නන එකාලාද කියා දන්නේ නැතිය. අපට අනුව නම් මුන් දෙකාලාම වැරදිය.එසේ කියන්නේ මේකලා මේවායින් මුදල් උපයන නිසාය. කුනුහරුප විකුණා මුදල් ඉපයීම සදාචාර සම්පන්න නොවන්නේය. මුදල් ඇවසි නම් හොඳ දෙයක් ප්‍රේක්ෂකයාට දී මුදල් ඉපයීමේ වරදක් අපි නොදකිමු.

           ඔය මෙගා බිබික්කම් මුලින් හැදුවේ ඉන්දියාවේය. ඕවාට ලාංකීය නම් ඔබා මහගෙදර, ප්‍රවීනා, චිත්තී, % ත්තී කියකියා පෙන්නුවේ අපේ එකාලාය. එදා ඒවාට විරුද්ධව කෙස් පැලෙන තර්ක විතර්ක ගෙනා අස්ප ගනන් බදු යෝජනා කල එකාලාද අද ඒවාම කරනවාය. මේවා අර චිත්තිලාට, %ත්තිලාටත් වඩා බොළඳය, පජාතය. බල්ලෝ මරලා හෙවුවත් සල්ලි "බුහ්" ගාන්නේ නැති බව හැබෑවය. එහෙම කියා මේකලාට ඕන දේවල්ම කිරීමට හැකියාවක් තිබිය නොහැක. ඒ අතින් ගත් කල ප්‍රමිතියෙන් තොරයැයි චෝදනා ලබන බ්ලොග් කෙරුවාව හොඳය. බහුතරයක් ඕප දූප වුවද උන් ලියන්නේ සිදු වූ, සිදුවෙමින් පවතින හෝ අනාගතේ සිදුවිය හැකි දේවල් නිසාය ඒ.අද ලාංකීය ටෙලි නාට්‍ය තුල වන්නේ කිසිඳු ලෙසකින් විය හැකි තබා සිතන්නට වත් බැරි දේවල්ය. පැරණි චිත්‍ර කතා පත්තරවලවත් මෙවැනිදේ නොවීය. ඉන්දියාවේ ටෙලිවල, චිත්‍රපටවල නම් කුඩාකල තමන්ගෙන් වෙන්වුනු දරුවා, සොහොයුරා, සොයුරිය පවා වසර ගනනාවකට පසුව උවද ඔවුනොවුන් හඳුනා ගනී. අපේ ටෙලිවල ඊයේ පෙරේදා ගෙදරින් ගිය තම දියණිය මව නොහඳුනයි, සොයුරිය නොහඳුනයි. තව විකාරනම් බොහෝය. එකිනෙක දැක්වීම ඔබගේ කාලය කා දැමීමක් යැයි සිතෙනා නිසා නොකියමිය.

           ඉන්දියාවේ එකාලනම් මේවගේ ඒවාට කියන්නේ "ගෝල් මාල්" (අවුල් වියවුල්) කියාය. අපේ එකාල මේ කරන්නේ ටෙලි නාට්‍ය කලාව ප්‍රේක්ෂක ජනතාවට එපා කරවීමක්ය. ඒක මහා අපරාධයක්ය. ඉඳ හිට හෝ හොඳ නිර්මාණයක් කරන නිර්මාණ කරුවන්ට තිබෙනා අවස්ථාවත් නැති කිරීමක්ය.

හැබෑවටම මේවා හොයන්නට බලන්නට කෙනෙක් නැතුවද...?
නො එසේනම් ඔවුන් මර නින්දේද....?

Sunday, February 17, 2013

සමුගන්නට අවසරයි.....




            සරා සංගීතයට බොහොම මනාප නිකන්ම නෙමෙයි. ඕනම තත්වයක ඉද්දි සරාට මනස සැහැල්ලු කරගන්න මේ සිංදු කෑල්ලකින් පුලුවන් කමක් ලැබිලා තියෙන නිසා. අනිත් අයට නම් කොහොමද කියන්න මම දන්නේ නෑ. කොහොම උනත් හුඟ දෙනෙක් මේ වැඩේට මනාපයි කියලා නම් මට හිතෙනවා, මම කිවුවේ මේ සිංදු අහන්න. එක එක අයගේ රුචි අරුචිකම් ඉතින් විවිදයිනේ. සරා ටිකක් සරල තේමා වල ගීත වලට තමයි බර. ඒ කියන්නේ සරල ගී ඒකත් පැරණි ඒවා.හැබැයි ඉතින් සිංදු අහන්න බ්ලොග් එකට එන ඇත්තන්ට අකමැත්තෙන් උනත් සරාගේ පල් හෑලිත් කියවන්න වෙනවා. මොකෝ ඉතින් ඕවා මැද්දට නෙව මේකා සිංදු අමුනන්නේ. ඕං අද පටන් ගන්නේ මෙහෙම. මේ ගීතය ගායනා කරලා තියෙන්නේ සනත් නන්දසිරි මහත්මයා.කාලවකවානු නම් හරියටම දන්නේ නෑ. හැබැයි නිතර අහන්න නොලැබෙන නිසා ‍තෝරගත්තා. 

       

                 පුරුෂ පක්ෂය කාන්තාවෝ දිහා බලන විදිහ විවිදයි නෙව. පුද්ගලයගෙන් පුද්ගලයට ඕක වෙනස්. සරා කාන්තාවෝ ගැන හිතන්න කැමති සුන්දර විදිහට.බොළඳ විදිහට නෙමෙයි මෘදු විදිහට. තරඟකාරී වර්ථමානයේ කාන්තාව පිරිමියා සමඟ කරට කර සිටිනා බවත් ඇතැමුන් පිරිමින් අභිබවමින් සිටිනා බවත් සරා දන්නවා. මේ මොන තත්වය යටතේ උනත් සරා කාන්තාව කියලා දකින්න කැමති යන්ත්‍රයක් වත් රළු චරිතයක්වත් නෙමෙයි. කරුණාවේ දයාවේ ප්‍රති මූර්තියක්. ඇය සරල සැහැල්ලු කෙනෙක් නම් කොටින්ම දැකීමෙන් හිතට සහනයක් වැනි හැඟීමක් ඇතිවෙනවා නම් ඒතමයි සරා කැමති චරිත. ඇය යෙහෙලියක් සොයුරියක් ඥාතිවරියක් කවරෙකු හෝ වියහැකියි.ඔය ලස්සන ගැනත් සරාට පොඩි අදහසක් තියෙනවා. සරා ලස්සන කියන්නේ බාහිර ඔපේටම නෙමේ. සිතුවිලි, ගතිගුණ,හැසිරීම් කතාබහ, කියන ඒවා ලස්සන නම් සිත්ගන්නා සුලුනම් එතන තමයි සරා දකින ලස්සන තියෙන්නේ.

මේ ගීය අහලා බලන්න. කොයි කෙල්ලගේ හිතේද මෙහෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා උපදින්නේ නැත්තේ.......? ගායනය චන්ද්‍රිකා සිරිවර්ධන.

            

             සමහරු හිතනවා රළු පරළු වචන වලටමය හිත් රිදවන්න පුළුවන් අපොයි නෑ කනට මිහිරිව ඇහෙන සමහර වචන වලින් හිත් කීරි ගැහෙන අවස්ථා තියෙනවා. ඒවගේම ආදරේ කරන අයට පුළුවන්ලු කොච්චර වැරදි කලත් අනෙකාට සමාව දෙන්නත්. මම නම් එහෙම නෑ හැබැයි මේ ගීතයේ එහෙම කෙනෙක් ගැන කියවෙනවා අහලා බලමුද. ගායනය වික්ටර් රත්නායක සමග නිරංජලා සරෝජනී.      

යුවතියක අසීමාන්තිකව දඟකාර හා සෙල්ලක්කාර වූ විට පිරිමි සිත්වල ඇය කෙරේ ඇති ගෞරවනීය ප්‍රථිරූපය බිඳවැටේ. ඔය කතාව මම කියන එකක් නෙමෙයි කවුද කෙනෙක් පත්තරේකට ලියලා තිබුන කතාවක් මම කියෙවුවේ කාලෙකට ඉහත. අසීමාන්තික වීම මොකකදිවත් හොඳයි කියලා සරා කියන්නෙත් නෑ. ඒත් බිරිඳක් වගකීම් ගොඩාක් හිසට ගෙන බැරෑරුම් ලෙස ජීවිතය දකින හා ගෙවන එකට මගේ මනාපයක් නෑ.
             නිතරම වගේ ඇහෙන සිංදුවක් නිසා හුඟාක් අය දන්නවනේ කියන්නේ කවුද කියලා. නිරංජලා සරෝජනී.

         බිරිඳක සතුටෙන් වගේම සැහැල්ලුවෙන් ඉන්න ඕනය, සැමියව සතුටෙන් තියන්න පුළුවන් එතකොටය කියලයි සරාගේ කල්පනාව. ඉස්සර සරා වැඩ ඇරිලා ගෙදර එනකොට නංගි බබා ඉන්නවා දොරකොඩ. නිකම් නෙමෙයි හිනා කටක් පුරෝගෙන.ඊට වඩා සතුටක් සරාට තිබුනේ නෑ ඒ දවස්වල. බස්වල තෙරපිලා මහන්සිවෙලා ගෙදර ආවත් ගෙට පය ගහන්නත් කලින් වෙහෙස මහන්සිය නැතිවෙලා ඉවරයි. අග හිඟ කම් වලට සරාලගේ ගෙට එන්න ඉඩක් නැති වුනෙත් ඔය නිසාමයි කියලයි සරාගේ අදහස. සැමියව/බිරිඳව සතු‍ටු කරන්න නම් ලොකු කැප කිරීම් කරන්න ඕනය, වානිජමය වශයෙන් ලොකු වටිනාකමක් තියෙන දේවල් වලය ගෙදර දොරේ සතුට ‍රැඳිලා තියෙන්නේ කියලා හිතන අයට නිකමට වත් නොහිතෙන ඇත්තක් තමයි ඒ.

කොහොම උනත් යන්න කලින් මේ කතාවත් කියලම යන්නම්. අපි හැමෝටම ජීවිතේ දැනෙන්නේ එකම විදිහට නෙමෙයිනේ. මේ තියෙන්නේ ඒකට පොඩි උදාහරණයක්. මේ ගෑණු දරුවා කියනවා එයාට ජීවිතේ විභාගයක් වගේ දැනෙනවලු. නැත්නම් ජීවිතය ඒ අයුරින් මිනිස්සුන්ව පරීක්ෂාවට ලක් කරනවලු. පිරිමි ළමයි දෙන්නා කියන්නේ. මිත්‍රත්වය හා හදවතේ ඇතිවෙන සිතුවිලි එයාකාරයි කියලා. මන්මෝහන් දේසායි නිෂ්පාදනය කර අධ්‍යක්ෂනය කල "නසීබ්" චිත්‍රපටියට රඟපෑමෙන් එක්වුනා අමිතාබ්, හේම මාලිනී, ශතෘගාන් සින්හා. ලක්ෂ්මි කාන්ත් ප්යාරේලාල්ගේ සංගීතයට ගීතය ගැයුවේ ලතා සමග අනවර් රාෆී. මතක තියා ගන්න zසින්දගී ඉම්තෙහාන් ලෙහ්තී හේ....





එහෙනම් සරා ගියා ඕං. දන්නවද ලඟදීම එනවා සරාලගේ කාලේ ළමා ගී කීපයක්.....!!

Tuesday, February 12, 2013

සරාගේ වැලන්ටයින් පනිවිඩය..

   
                                     


              අර වැලන්ටයිඩේ හෙවත් පෙම්වතුන්ගේ දිනය උදාවීමට ඇත්තේ තව පැය ගනනාවක් පමණි. රට පුරා හැමෝම පාහේ ඕක සැමරීමට කල් තියාම ලක ලෑස්ති වෙනබවට සරාට දැනගැන්මට ලැබී ඇත. වැලේ වැල් නැති එකා පවා වැලන්ටයින් අතාරින්නේ නැතිය. බැලුවාම එය ඉතා හොඳ ප්‍රවනතාවයකි. අපේ සඟිස්කුරුතයේ නිම්වලලු පුළුල් වෙමින් පවතින බවට කදිම සාක්ෂියකි මේ. සරා ඒවායේ වරදක් දකින්නේ නැති. හැමෝටම හොඳනම් මටත් අවුලක් නැති නියාය නම් ඒය. 

          හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවාය. ඒ ආදරවන්තයන්ට විශේෂ දිනයක් මක්කටද යන්නය. ලෝකය පවතින්නේ ආදරය කරුණාව මතය කියා සරා අදහන්නේය. එනයින් ගත් කල හැම දිනයක්ම ආදරණීය දිනයන්ය. ආදරවන්තයන්ගේය. එසේනම් ආදරය කිරීමට හෝ ආදරවන්තයන්ටය කියා විශේෂ දින ඇවසි නැතිය. එහෙත් දැන් එහෙම දවසක් තියෙනවාය. එහෙත් බොහෝ දෙනෙක් මෙදින යොදා ගන්නේ ආදරය කිරීමටද නොවේය. එක එක කුප්ප කම් කිරීම සඳහාය. ඒගැන උදාහරන ගෝනියක් දිය හැකිය. එවිට මගේ වැලන්ටයින් පනිවිඩය දික් වෙනවාය. පෝස්‍ටුව නීරස වෙනවාය. කියවන්නාට එපා වෙනවාය.
එබැවින් ඒගැන කතා අත් හරිනවාය.

           සරා ලෝකය ගැන කතා දමන්නට නොදන්නේය. එසේ කිරීමටනම් හතීකොන කරක් ගසා තිබිය යුතුය. සරාට එවන් අත්දැකීම් නැතිය. එබැවින් දන්නාදේ පමණක්ම කතා කරන්නේය.  ඒ මෙසේය. සුපිරි පැලැන්තිය නියෝජනය කරන ඇති හැකි ඈයෝ තරු පංතියේ හෝටලවල වැලන්ටයින් (ස)මරන අතර මධ්‍යම, සාමාන්‍ය, නිර්ධන පංති පිලිවෙලින් තානායම්, ලැගුම්හල්, පකිස් පෙට්ටි මේ සඳහා ‍තෝරා ගනිති. ඔය එකක්වත් බැරි එකාගේ පිහිටට එන්නේ වෙරල කොනක හිඳ බලා ඉන්නා වැටකෙයියා පඳුරුය. වතු කම්කරුවාගේ පිහිටට වැටකෙයියා වත් නැතිවෙන්නේ "මනිය" ගහනකම් වත්තෙන් එලියට යාමට නොහැකි නිසාය. එබැවින් උන් ඒ සඳහා තේ පඳුරක් හෝ රබර් ගසක් ‍තෝරා ගනී. ගමේ එකාලාට දං පඳුරුය.කවුරු කොහොම කොතැන වුවද (ස)මරන්නේ වැලන්ටයින්ය.ඒ වනාහී අපේ නූතන සඟිස්කුරුතාංගයක්ය. එබැවින් එහි කිසි වරදක් නැත්තේය. නමුත් ආශ්චර්ය කරා යන ගමනේදී මේ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය නම් ප්‍රමාණවත් නොවන බව නොකියාම බැරිය. අනෙක් සඟිස්කුරුත උත්සව වලට මෙන් මෙයටද නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතුමය. අවම වශයෙන් මෙහි අතුරුඵලයක් ලෙස රටට ලැබෙන "බෝනස්" ගැනහෝ අවධානය යොමුකල යුතු බවට දියවන්නා නෑදෑයෝ හඬ නැගිය යුතුය. ඒ මාපියන් නැති දරුවන්ය. ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා යමක් කිරීම රජයේ වගකීමකි. අනාථ නිවාස වැඩිවැඩියෙන් සෑදිය යුතු අතර ඒවායේ පහසුකම් තවතවත් වැඩි කල යුතුය. එවිට ඒ දරුවන් සුවසේ වැඩෙනු ඇත. ඔවුන් කුඩා කල කිසිදා නොදු‍ටු මව්පිය ගුණ වයනු ඇත. වැඩි වියට පැමිණීමේදී ඔවුන්ව ආදර්ශයට ගන්නවා ඇත. පොඩිහිටියන්ද දිනෙක වැලන්ටයින් සමරනවා ඇත. ඔවුන්ට සිදුවූ දෙයම ඔවුන්ගෙන්ද සිදුවනවා ඇත.
අහා........... කෙතරම් අපූරුද...?

හැපි වැලන්ටයින් එකක්ම වේවා.........!!!



Monday, February 11, 2013

රටටම වින කටින "සුලං කිරිල්ලියෝ"....






            අද මම ඉතා කෙටි සටහනක් තියන්න යන්නේ සංවේදී මාතෘකාවක් ගැන. කවුරුවත් මා එක්ක අමනාප වෙන්න කරි නෑ. මොකද ඇත්ත කියද්දි සමහරෙක්ට කේන්ති යනවා නෙව. සරාට එහෙම දේවල් වෙනවා නිතරම. මේ කතාව හොඳින් කියවන්න, තේරුම් ගන්න. මේ සරා අහපු දැකපු තවත් කතාවක්. 

නිමිත්ත:
මේ ලඟදි දවසක් අපේ "පැතුමට" නාඳුනන අංකයකින් කෝල් එකක් ආවා. ඒක මෙහෙ අංකයක් ඒත් කතා කලේ ලංකාවේ කාන්තාවක්. තමන් මෙහෙ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරනා බවත්, එම ගෙදරම සේවය කරන පිලිපීන කාන්තාවක් තමන්ට මේ අංකය දුන් බවත් තනියම සිටිනා විට පාලුවක් දැනෙන නිසා ලංකාවේ කෙනෙක් සමඟ කතා කිරීමට තියෙන එකත් ලොකු දෙයක් නිසා කතා කල බවත් ඇය කිවුවා. අහපු කියපු දේවලට උත්තර දුන්න අපේ එකා ඇමතුම විසන්ධි කලා. ඊලඟට ඉහතින් කියලා තියෙන කතන්දරේ අපිත් එක්ක කිවුවා. මගේ ප්‍රශ්නය උනේ උඹේ නම්බර් එක පිලිපීන් කෙල්ලෙක් ලඟට ගියේ කොහොමද කියන එක. ඒකට උත්තරේනම් ඌ දන්නේ නැති බවත් ආයේ කතා කලොත් අහගන්න බවත් ඌ කිවුවා. කිවුවත් වගේම ඇය යලිත් පසුදින කතා කරලා තිබුනා. එතකොට කියලා තියෙන්නේ මෙහෙ වැඩ කරන පිල්ලෙක් තමයි අර පිලිපීන් කෙල්ලට පැතුමගේ නම්බර් එක දීලා තියෙන්නේ කියලා. කොහොම නමුත් දවස් කීපයක් යනකොට අපේ එකාට මේ කතා කිරිල්ල කරදරයක් වෙන්න පටන් ගත්තා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහතින් කියන්නට යෙදුන "අංගනාව" ‍රැයක් දවාලක් නැතුව අපේ එකාට කතා කරනවා, මිස් කෝල් (Missed calls) ගහනවා එක විකාරයයි. රෑ තිස්සේ මිස් කෝල් එනකොට සරා මවුගුණ වයන්නේ අපේ එකාගේ.
ඇයි අප්පා කාටද රෑ දෙගොඩ හරියේ ඇහැරගෙන හිංදි සිංදු අහන්න පුළුවන්. හා... නැද්ද මං අහන්නේ...? :D
     
            බැරිම තැන පැතුමා අනේ මේ ඔයා මට කතා කරන්න එපා මම ඔයාට යාලුවෙක් හඳුන්වලා දෙන්නම් ඔයා එයා එක්ක කතා කරන්නය කියලා අල්ලපු කාමරේ ඉන්න "පොරකගේ" නම්බර් එකක් දීලා ෂේප් උනා. අන්න ඒ "පොර පුතා" නම් වැඩේ ලස්සනට කොරගෙන ගෙහුන් තියෙනවා කියලා පැතුමා කිවුවේ මේ ලඟදි අර කියපු කාන්තාවගේ උඩුකය නිරුවත් චායා රූපයකුත් ඔය කියපු පොර පුතා ගෙන්නගෙන තියෙනවා දැකලා ඇවිත්. මේවා විතරක් නෙමේ "ඕන නම් සල්ලිත් එවන්නම්" කියලා කිවුවා කියනවනේ. ගල් අරාබියෙක් වුනු පොර පුතා වගේ උන් සරා ආශ්‍රය නොකරන නිසා ඌ සරාගේ කාමරේට නම් එන්නේ නෑ. මේ විස්තර සේරම පැතුමා තමයි අපේ කාමරේට ගෙනාවේ. හැබැයි ඉතින් සාක්ෂි සාධක ඇතුවම මේ තොරතුරු ඌ ලඟ තියෙන නිසා වගකීමෙන් කියන්න පුළුවන් මේක බොරුවක් මුසාවක් නෙමෙයි කියලා.

මේක සරා මුහුණ දුන් තව සීන්කෝන් එකක්:
සරා මෙහෙට එන දවසේ සරාලා පැමිනීමට නියමිත ගුවන් යානය පැය 11ක් ප්‍රමාද උනා. ඒ හේතුව නිසා රියාද් බලා යාමට සිටි සියලුම මගීන් ලඟ පාත හොටෙල් වල නවත්වනු ලැබුවා තාවකාලිකව. මැද පෙරදිග ගෘහ සේවයට යාමට සිටි කාන්තාවන් 20-25ක් පමණ පිරිසකුත් අපිත් එක්ක හිටියා. ගුවන් තො‍ටුපොලේ සිටිද්දී පවා ඔවුන් හැසිරුනේ හරියට වසර ගනනාවක් සිරගතව සිට නිදහස් වූවන් පරිද්දෙන්. මගේ අනුමානය නිවැරදිනම් එතැන සිටි කාන්තාවන්ගෙන් බාගෙට බාගයක් විදේශ ගත ‍රැකියාවල පුරුදු කාරියන්.10-12ක් පමණ පලමුවර විදේශ ගතවන්නියන්. නමුත් අර අලුත් අය පවා පුරුදු කාරියන් අනුකරනයේ යෙදුනා යැයි කිවුවොත් ඒක මුසාවක් නෙවෙයි. ගුවන් තො‍ටුපලේදී ඔවුන් හැසිරුනු හා කලකීදෑ සවිස්තරව ලියා මේ ලිපිය දිගු කිරීමේ අදහසක් මාතුල නැති නිසා මම ඒකිසිත් නොලියනා බව කියවන ඔබලා දත යුතුයි. නමුත් අපේ තාවකාලික නවාතැන් කරා යාමේදී ව්‍යංගාර්ථ විවෘත ආරාධානාවක් නම් කෙරුනු බව කිවයුතුයි. ඒ කාන්තාවන්ගේ අදහස උනේ "මෙහෙම තැන් වලදීවත් මෙහෙම නැත්නම් වැඩක් නෑ" කියායි. සරානම් ආරාධනාව ප්‍රතික්ෂේප කලේ ඉතාම කාරුනිකව. නො එසේනම් සරාටද නාදුනන කාන්තාවක් සමඟ පැයකට දෙකකට යහන්ගතවීමේ "භාග්‍ය" උදා වෙනවා. සරා එසේ කිවුවේ ඔය කියපු අහවල් එක ලබා ගත්තු මැදිවියත් ඉක්මවමින් උන්නු හාදයෙක් මෙහෙ "චෑන්ස්" ලැබෙන්නේ බොහෝම කලාතුරකින්ය කියලා සරා එක්ක කියපු කතාවක් මතක් උනු නිසා. ඒක හිතලුවක්ය කියන්නට හැකියාවක් නැත්තේ ආරාධිතයන් අතර සරාද වූ නිසා.

           සරා කොහොමත් තුන්වේල කටට රහට කාපු එකෙක් වුනු නිසාත් සරාගේ ගමනේ අරමුන ඔය කිසිවක් නොවුන නිසාත් සරාට ඒ ගැන හිතන්න වද වෙන්න උවමනාවක් තිබුනේ නෑ. ඔන්න දැන් කෙනෙක් කියන්න බැරි නෑ "නිකන් බයිලා ගහන්න එපා බං, දුන්න නම් උඹ නොගහ ඉදියි" කියලා, ඒවගේම අර කාන්තාවොත් සමහරවිට හිතන්න ඇති මෙහෙම උන්නට සරා "නමයක්" (නම්බර් නයින්) කියලා. හැබැයි ආයිබොවන් මට ඔය කතා දෙකම වැදගත් නෑ. මොකද සරා කියන්නේ සරාට, ආයේ ඒකට අ‍ටුවා ටීකා එකතු කරන්න හේතු දක්වන්න මට උවමනාවක් නෑ.

මට තියෙන ප්‍රශ්නේ මේකයි.
ඇයි ලාංකීය කාන්තාවෝ මෙහෙම හැසිරෙන්නේ....?
මේ හැමෝටම දූදරුවෝ ඉන්න, සැමියන් ඉන්න, මව්පියෝ ඉන්න අය. එයාලගේ අනාගතය සිඛිතමුදිත කරන්න හෝ තම පවුලේ ආර්ථිකය ගොඩ ගන්න කියලා නේද මෙයාලා මේ අයුරින් විදේශ ගත වෙන්නේ. ගුවන් තො‍ටුපල ඇතුලට එනකොට ඉන්න අය නෙමේනේ මේක ඇතුලට ඇවිත් ටික වෙලාවක් යනකොට ඉන්නේ. එහෙදියි මෙහෙදියි මෙයාලා හැසිරෙන විදිහ දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. අනේ ටිකකට හිතන්න බැරිද අපි මේ කිසිම කැතක් හිරිකිතක් නැතුව විනාශ කරන්නේ අපේම අයගේ විශ්වාසේ විතරක් නෙමේ රටේ නම්බුව කියලා. මේ හැම දෙයක්ම වෙන්නේ පාලුව කාන්සිය නිසා කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. ඇයි එහෙම කියන්නේ...?

බලන්න දැන් අපේ බ්ලොග් අවකාසේ මැද පෙරදිග සේවය කරන කෙල්ලෝ කීදෙනෙක් ලියනවද කියලා. ඔය කියන පාලුව කාන්සිය නැති කර ගන්න මේක හොඳ ක්‍රමයක් නෙමෙයිද.....? තමන්ගේ නම්බුවයි ගෞරවයයි ‍රැකගෙන රටේ නමත් තියාගෙන කොයිතරම් අපූරුවට නිර්මාණ කරණයේ යෙදෙනවද ඔවුන්. අපටත් ආඩම්බරෙන් යෙහෙලියකට වගේ සොයුරියකට වගේ කට පුරා ආමන්ත්‍රණය කරන්න පුලුවන් ඔවුන්ට. ලංකාවේ කෙල්ලෝ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන්. ඒත් මේ ඇතැමුන් කරන නොපනත්කම් නිසා නොදන්නා අය මොවුන් දිහාත් වපර ඇහින් නොබලාවිද........?
මදක් සිතන්න....................!!


පසු වදන:
මගේ මිතුරා සතු හා මා සමඟ පැවසූ සියලු තොරතුරුවත් ඉහත කාන්තාවගේ වොයිස් ක්ලිප් එකක් වත් මා මේ සමඟ පල නොකරන්නේ මානුශීය කරුණු සැලකිල්ලට ගෙනය. එහෙත් විදේශ ගතව වල් බූරු නිදහසක් භුක්ති විඳිනා අය ඇතොත් මේ කරුනු හොදින් සිතට ගන්නාමෙන් දැන්වීමට කැමැත්තෙමි. ඔබලාගේ කෙරුම් එක් අයෙකට පමණක් සීමාවීයැයි නොසිතන්න. කාන්තා නිරුවත ඉදිරියේ හැමෝම දන නොගසනා නිසාත් තාක්ෂනය ඉතා දියුනු නිසාත් ඔබලාගේ ක්‍රියා කාරකම් නැවැත් වීමට කාලයයි මේ. නැතහොත් නැවත මවුරට ඒමේ අවස්ථාව නැති කිරීමට සරා වැන්නෝ ක්‍රියා කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතිබව ඔබලාට දැන්වීමට කැමැත්තෙමි.

ඒ නිසා අපේ මේ බ්ලොග් ලියන කෙල්ලෝ දිහා බලලවත් හැදියල්ලා. උඹලා ඔය භාවිතා කරන තාක්ෂනය ඒ වගේ වැඩකට යොදා ගනිල්ලා. ඇත්ත හැමෝටම ලියන්න බෑ, ඒත් කියවන්න පුලුවන්නේ. එහෙම දේකට යොමු උනාම පාලුවට තනිකමට ඉඩක් නෑ. මොකද උඹලා ඔය කන්නේ රටේ නම්බුව.

ඔය රතු පාට අකුරුටික අමුනද්දී අපූරු කිවිඳියක වුන ගජමන් නෝනාව මතක් වුනා. රත්වෙච්ච ලේ නිමෙන්නත් එක්ක එයා ගැන ලියවුනු කැලෑ පත්තරේකට ඇය පිලිතුරු දුන් කවියක් කියලා යන්නම්. මේ සම්බන්ධ කතාවත් බොහොම රසවත් එකක් වුනාට දැන් මගේ මූඩ් එක හරිනෑ ඕවා කියන්න.
මේං ඒ කවිය ඒගමන් මාත් ගෙහුං එඤ්ඤං ආයිබොවං.......!!

වටිනා දෙයක් කොට සිතු මෙමගෙ           තුනු විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කලෙමි                බොල
සිටිනා දන මෙගම සහ අවට                     ගම් වල
තුටිනා එපින් අනුමෝදන් වව්                       සියල



පින්තූරය ඉල්ලගත්තේ ගූගල් යාලුවාගෙන්

Thursday, February 7, 2013

මම තමයි &%‍තෝ අහවලා....




        ඔහු නමින් මල්ලියාය. කාගෙත් හිතවතාය. සිය රටදේ සිරි සැපදේ තියරිය ඉහලින්ම අගය කරන්නෙකි. අන් අයට යහපතක් සෙතක් කිරීමේ පරම පවිත්තර චේතනාවෙන් දේසීය නිස්පාදනයක් වන "ඇතිහිටියා" ආයුර්වේද අවුසදයක් වසයෙන් නිස්පාදනය කර ස්වෝත්සාහයෙන්ම අලෙවි කරන්නේ අහන දකින අයටද ආදරුසයක් සපයමිනි.

           සැබැවින්ම මොහුවෙත ඇදීඑන බාල මහලු කොයි කවුරුන් වුවත් දුක, සතුට, ඇඟපත වේදනාව, හිතේ වේදනා යනකුමන හෝ තත්වයකින් පෙලෙන්නෝ වෙති. කෙතරම් අසාද්දිය වෙලා ආවත් සියල්ලෝම සතුටින් පිටව යන්නේ සියලු බැරි අමාරුකම් මල්ලියාගේ දිවිය අවුසදයෙන් සැනින් දූරිම්බූතව යන බැවිනි. ගමේ හැමෝටම වාගේ ඔහු මල්ලියා වුනාට වත්තේ අයට "මල්ලියා අයියාය".අද මුදලට හෙට නයට කියන්නේ කුහක මුදලාලිලාය. සාර්තක වියාපාරිකයෝ එවන් කෙරේමෝපායන් අනුගමනය කොරන්නේ නැත. මල්ලියා ආදරුසයට ගන්නේ ඔවුන්වය. එමනිසා එන ඕනෙම කෙනෙකුට අවස්සිය ප්‍රමානයක් දීම ඔහුගේ සිරිතයි. ඒවගේම එකම වීදුරුවක් වත් අමතක නොකර ඔහු පොතේ සටහන් කොරන්නේ උප්පැන්න සහතිකයේ නමින් නොව ඔහු බාවිතා කරන සුරතල් නාම වලිනි. පඩි දාට මල්ලියාද වත්තේ ගේට්‍ටුව ගාවය. පඩි පැකට් එක අතට ගන්නා ගනුදෙනු කරුවෝ ප්‍රතමයෙන් එන්නේ මල්ලියා ලඟටය. ඒ ඔවුන්ගේ ගනුදෙනු පියවීමටය. හදිසියේ එකෙකු හෝ හොරපාරේ ගෙහුං තිබුනොත් මල්ලියා "අයියා" වෙන්නේය. එවිට ආයුර්වේදය අමතක වීමෙන්දෝ අදාල පුග්ගලයාට ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් ඉංගිරිස් බේත් ගැනීමට සිදුවේ. ඒ තමන්ගේ සංදි විසංදි වීම කරන කොට ගෙනය.

            මල්ලියා ගම ගැන ගමේ මිනිසුන් ගැන පමනක්ම නොවේ, රට ගැන ජාතික ආර්තිකය ගැනද නිතර වද වෙන්නේය. මසකට වරක් නඩුවක් දෙන ඔහු සැලකියයුතු මුදලක් දඩ වසයෙන් ගෙවන්නේ තවමත් ඔහුගෙන් වියාපාරික බදු හෝ ආදායම් බදු අයකර ගැනීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් රජය විසින් සකස්කර නොමැති නිසා විය යුතුය. එපමනක්ද නොවගමේ පොලෝසියේ හාලරාමිලාගේ අගහිඟකම් පිරිමහන්නේද ඔහුය. මසකට වරක් හාලරාමිලාට රජයෙන් ගෙවන වැ‍ටුපෙන් සපාන් එකේ ජීවත් වීමට නොහැකි බව හේ හොඳින් දනී. සතිපතා මල්ලියා ඔවුන්ට දිරි දීමනා ලබා දෙන්නේ එබැවින් විය යුතුයැයි ලියන්නාට සිතෙයි. සිතිවිල්ල නිවැරදි විය යුතුය. හාලරාමිලා මස්කෑල්ලක් මාලු කෑල්ලක් කන්නේ එදාටයැයි මල්ලියාද කීපවර කියවනු ලියන්නාට ඇසී ඇත. හාලරාමිලා ඒ සඳහා දින වෙන්කරගෙන ඇති අතර අතරමඟ හදිසි අවස්තා සඳහා (පිංඅඩි ගැසීම් වැනි) නොදන්වා කඩා වදින්නෝද නැතිව නොවේ. එවන් අවස්තා ගැන ඉව වැ‍ටුන විට මල්ලියා වාස්ප වේ. ඒකාව හොයාගැනීමට හොරා පොලිස් කොරන හාලරාමිලා අප කොතෙකුත් දැක ඇත්තෙමු. මේ එවන් හාලරාමියෙක් හා සරාලා අතර ඇතිවුන සිදුවීමකි.

නිල ඇඳුමේ ගරුත්වය රකින නීති ගරුක පොලිස් නිලධාරින්ට කරන අපහාසයක් නොව, නිලයන්ට මුවාවී ජඩකම් කරන හාල්පාරු හාලරාමිලා ගැන විවරණයක් බව අවධාරණයෙන් මතක්කර සිටිමි.

           ඒ එක්තරා වැසි දිනයකි. හැන්දෑ කොරේ විදුලි බලයද ඇනහිටි බැවින් සරාට කඩේ වහන්නට සිදුවිය. සීතල නැතිවීමට නම් යම් තරමකට සප්පායම් විය යුතු බව සරා ඇතුලු මිතුරන් කිහිපදෙනා අත්දැකීමෙන්ම දනී. එහෙත් මල්ලියා ගාවට ගොස් සප්පායම් වීමේ සිරිතක් සරාලාට නැති. ඒ අර පිට රට සිරිතට දිව දික්කරනා ඊනියා මහන්තත්වය නිසා යැයි ඇතමුන් කීවද එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. ඒකලා බොන්නේ කිරිම් සෝඩා රස ඒවා බවත් මල්ලිය ලඟ ඒවා නොමැති බවත් පමනක් දනිමු. ඒ නිසා පුරුදු පරිදි තමන්ගෙන් නොමිලේ සප්පායම් වී වාහනේ "හයර් කුලියද" මතක්කර ඉල්ලාගන්නා කදිම යාලුවාව අඩුවැඩිය ‍රැගෙන ඒම සඳහා නගරයට පිටත් කර හැර පුරුදු පොට් එකට ඔවුන් පාගමනින් ගියෝය. වේලාව රාත්‍රී හතවත් නොවීද හාත්පස අඳුර දැඩිව පැවතුනේ වැසි වලාවෙන් අහස ගැබ්බර වූ නිසාවෙනි. ඔබ මොබ යන කණාමැදිරියෙකු හැරුන කොට අවට පරිසරයේ ආලෝකයක් වීනම් ඒ ඉඳහිට වැටෙන විදුලිය එලියක්ම පමනි. හිටි හැටියේම අඳුර අතරින් ඉදිරියට ආවේ මෝටර්සයිකලයකි. එන්නේ මෝටර් සයිකලයක් බවට ඔවුන් අනුමාන කලේ එන්ජිමේ හඬ නිසාවෙනි. ඒ හැර එය හඳුනා ගැනීමට අන් කරමයක් නොවුනේ අවම වසයෙන් ඉදිරිපස ලාම්පුව වත් නොදැල්වුන නිසාය.

මොකාද බං ඉටි පන්දමක් වත් නැතුව මේ කරුවලේ බයික් පදින එකා.....!
කොලු නඩේ එකෙක් කිවේය. වේගයෙන් පැමිනෙන බයික් එක එන්නේ තමන් වෙතට වග හැඟුනු තරුනයෝ හිටි වනම නැවතුනේ තමන් මේ වනවිටත් පාරේ අයිනේ බව හොඳින්ම දන්නා බැවිනි.

අම්$# %#$# මේ #%$ බීලද බං අපිව මරන්න හදන්නේ.....?

කෝප ගත් එකෙක් මහ හඬින් කීවේය. පිරිස ඉදිරියේ මහ හඬින් තිරිංග තද කල යතුරුපැදි කරුවා
කොයි #$යද ඒ %රි කතාව කිවුවේ ....
යැයි පිරිස අතරින් මතුවුන හඬට නොදෙවෙනි හඬකින් ගිගිරීය.

යකෝ මේක මාර වැඩක්නේ. දැන් කුප්ප වැඩේ කෙරුවේ මූද නැත්නම් අපිද...? %රියා යනු අසබ්බිය වචනයකි. එනමින් අමතා මූ අපට අපහාස කලෙහිය. අප අතින් යම් වරදක් සිදුවී තිබුනි නම් ඒත් ඉවසිය හැකිය. පවතින නීතියට අනුව පාරේ එකත් පස්ව ගමන් කල අප දෙසට කරුවලේ මේ දෙපරහැන්ද දැක්කුවේ මේකාය. සක්කරයාගේ පුතා වයිමාට උනත් එවන් කෙරුම් කාරකම් කොරන්නට රටේ නීතියේ ඉඩක් නැති බව බත් නොකන හරකෙකුට වුවද තේරෙනවාය. කකුල් දෙකටම කලිසන් ඇඳි මේ හරකා ඒ බවක් නොදැන ඉන්ට විදිහක් නැත. අනික මේකා වයිමාටත් වඩා ලොකු එකෙක් වීමට බැරිය. එසේ වුවද ඒක තමන්ට ගැටලුවක් නොවන නිසා කලින් සද්දේ දැමූ තරුණයා වඩාත් කෝප විය.
මමයි $%යෝ කිවුවේ....!
තරුණයා කීවේය.
ආ... ඇත්තද උඹ දන්නවද #$‍තෝ මම කවුද කියලා...?
යතුරු පැදිකරුවා අවඥාවෙන් මෙන් ඇසීය.
දන්නේ නෑනේ #$‍තෝ කියපංකෝ දැනගන්නත් එක්ක...!
උගේ නගරං ඌටය.
ප%# උඹේ කට වැඩියි. දැනගනින් මම $$$$$$$  පොලෝසියේ අහවලා.

එතකොට ඒකෙ එවුන්ට කරුවලේ බයික් පදින්ඩ ලයිසන් දීලා තියෙනවද... පාරේ යන මිනිස්සුන්වත් යට කරන්....?
උඹේ %$මට.........
හාලරාමියා බයිසිකලයෙන් බැස්සේ නාහෙට නාහන තරුණයාගේ කනට දෙකක් දී තමාගේ නම්බුව බේරා ගැනීමට විය යුතුය.
වරෙන් වරෙන්....
අඩියක් පෙරට තැබූ තරුණයාද සටනට සැරසුනි.
ඇයි උඹ ගහගන්නද...?
තරුණයාගේ ස්වරූපය දු‍ටු හාලරාමියා බයිසිකල් හැඬලය මත අත තබාගෙන නැවතී ඇසුවේය.
ගහ ගන්න නෙමෙයි ගහන්න.....
තරුණයා හාලාරාමියාව පයිසෙකටවත් මායිම් කරන වගක් පෙනෙන්නට නැත.
හහ්.....උඹ දන්නවද පොලිස් කාරයෙකුට ගැහුවොත් වෙනදේ....? හාලරාමියා හුලං බහින ‍රැස්පොට් එකට ආයාසයෙන් හුලං ගහයි.

උඹලා වගේ එවුන්ට ගහලා විතරක් නිකන් ඉන්න හොඳ නෑ මෙහෙම වෙලාවල අහු උනාම. උස්සලා පොලවේ ගහන්න ඕන. ඔය චන්ඩිපාට් ඩියුටි වෙලාවක යුනිපොම් පිට ඇවිත් දාපන්.ඕප් වෙලා දංකුඩ කන්න එක එකාගේ අගුපිල් ගානේ රිංගන ගමන් චන්ඩිපාට් දාලා ගුටිකන්නේ නැතුව කැමති නම් යන්න පුලුවන් මේං තියෙනවා පාර. ....

හරි මම බලා ගන්නම් උඹ ගැන....!

හාලරාමියා ජාම බේරාගැනීමේ වචනයක් දැම්මේය...
හරි මම මතක තියා ගන්නම්.....

රටේ නීතිය යනු කාගේවත් නිවෙස් ඉදිරිපිට යදමින් බැඳි සුනඛයෙකු නොවේය. එය එක එකා උසී ගැන්වූ පමනින් සාමාන්‍ය ජනයා වෙත කන්න පනින්නේද නැත. ඇතමෙක් එසේ සිතා කටයුතු කරනා බව සැබෑය. එහෙත් ඒවාට විරුද්ධ වීමට සාමාන්‍ය ජනයාට අයිතියක් ඇත. එසේ කියා කිසිවෙකුටත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිසේත්ම බැරිය. එවන් අවස්ථාවලදී මෙවන් හාලරාමිලාගේ ක්‍රමෝපායන්ම ප්‍රයෝජනයට ගත හැක. ඔවුන් එයට කියන්නේ ඌරගේ මාලු ඌරගේ පිටේ තියා කපනවා කියාය. නිල ඇඳුම් අදින සමහරු කියන්නේ අපිට ගොරකා දඩමස් කරන්නත් පුලුවන් දඩමස් ගොරකා කරන්නත් පුලුවන් කියාය. ඒ කතාව ඇත්තකි. එහෙත් ඉහත කී තරුණයාද ගෙදරට ආපු සූදුව වලං විකුනා හෝ ගහන එකෙකි. ඉහතින් කියන්නට යෙදුන තියරිම භාවිතා කරපසු කලෙක අදාල හාලරාමියාට කෙලෙවුවේ ඒකා පන්න පන්නා දෂ්ඨ කොරන්නට සැරසුන නිසාය.


බියවිය යුත්තේ වැරදි කිරීමටය.(පවටය) ඇත්ත යුක්තිය කතාකිරීමට බියවිය යුතු නොවේ. යමෙක් වැරදි අසාධාරණකම් දැක දැකත් මුණිවත රකීනම් දිනෙක එය ඔහුටම පාරා වළල්ලක් වනවා ඇත.


2001 වසරේ සිදුවූ සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.

Monday, February 4, 2013

දින කීපයකට අවතැන් වීමි.....


මේ පිංතූරේ හොයා ගත්තේ පැන්ටසි නිම්නයෙන්.


          සූදානම් ශරීරේ යැයි කවුද එකෙක් ගොඩ ඉඳන් පිහිනුවේයැයි කතාවක් අප අසා ඇත්තෙමු. පිහිනුව එකා කවුදැයි හැමෝම දන්නා නිසා ඒ ගැන කතාවෙන් වැඩක් නැත.මේ එවන්ම තවත් කතාවකි. සරාට එම සිදුවීම දැකගත හැකිවූවා සේම එම සිදුවීම කරනකොට ගෙන මහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නවුන් අතර සරාද සිටි නිසා ලියන්නට සිත්විය.බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට හා ඇතැම් ඉන්දියානුවන්ට මෙය හාස්‍යයට කාරණයක් වුවද මෙහි වෙසෙන ස්වදේශිකයන්ට අනුව මෑත ඉතිහාසයේ ඔවුන් මුහුන දුන් දරුණුතම කාලගුන විපර්යාසය මේය. මෙතැන් සිට දිග හැරෙන්නේ ඉහත අපබ්‍රංශයේ සංශිප්ත සටහනයි.

          පුරා මාස කීපයක් අපව පීඩාවට පත් කල දැඩි ශීතල පහු ගිය දිනක හිටි හැටියේම නතර විය. දින දෙකක් පුරා තද සුලං පැවති අතර දෙවෙනි දිනය අවසාන වෙත්ම අහස අඳුරු පැහැ ගති. ගැබ්බර අහස වැසි පෙරනිමිති පෑවද මෙවන් කාල වකවානුවක මැදපෙරදිග අහසින් එවැන්නක් බලාපොරොත්තුවීම විහිළුවකි. තත්වය එසේ බැවින් සරාද පුරුදු පරිදි ඉකුත් සිකුරාදා(25) තම රෙදි පෙරෙදි සෝදා එලිමහනේ වේලෙන්නට දැම්මේ පසුදා උදෑසන ගෙට ගැනුමේ අටියෙනි. එහෙත් සරාගේ සේදීම ප්‍රමාණවත් මදිය සිතාදෝ වැස්ස වලාහකයා නැවත වරක් සියල්ල සෝදා තිබෙනු දු‍ටුවේ පසුදා උදයේය. 'වෙච්ච දේට එන්න සෙයිරිංග' කියා සරා රාජකාරි සඳහා නික්ම සවස හෝ රෙදි වේලාගත හැකි නිසාවෙනි. බලාපොරොත්තු ලෙසටම තම සිතැඟි සපලව තිබුනද සවස් වනතුරුම අහස ගැබ්බර බැවින් කාලගුන වාර්ථාව පිරික්සීමට සරාට සිත්විය. එයට අනුව දින පහක කාලයක් මෙම ප්‍රදේශයට වැසි සහිත කාලගුනයක් බලපවත්වන බව දැක සරාට සිහින් සිනහවක්ද පහලවිය.

          විශ්වාස කල නොහැකියි, මේ ලංකාව නොවෙයි. සරා තනියම මිමිනීය. ඉනික්බිති හේ නින්දට වන්නේය. මැදියම් ‍රැයේ සේවය නිමාකොට පැමිනි කාමර සගයෙකු 'එලියේ අම්බානක වහිනවා' යැයි පැවසීය. මෑත්කල පොරෝනය නැවතත් ඔලුවට දමාගත් හෙතෙම නැවත නිදන්නට විය. පුරුදු පරිදි උදෑසන සේවයට යාම පිනිස එලියට බට ඔහුට වෙනදා මෙන් පැහැදිලි අහස් කුසක් දක්නට නොලැබින. හාත්පස පැතිර තිබුනු අඳුර ඉරා දැමූයේ තැන තැන දැල්වුනු පහන් කනුය.

වහිනවා #$‍තෝ අද නම් නැතිවෙන්න...!
හේ තම සගයෙකුට පැවසීය. සරාගේ කතා විලාශය එසේය. ඒ කුමන හෝ අමනාපයක් නිසා නොව, තමන් වපුරන දේම නෙලන්නට වන බවට කදිම සාක්ෂියක්ම පමනි. අනිකාට එය ඇසුනාද කියා බැලීමට වත් සරාට ඇවසි නොවූයේ, ඒකාගේ කනේ ‍රැඳී MP3 ප්ලේයරය සරා කලින්ම දු‍ටු නිසාය. මද වේලාවක් ඉක්ම යද්දී ඔවුන් සේවා ස්ථානයට සේන්දු වූ නමුදු ඔවුන් දෛනික රාජකාරි ඇරඹීමටත් මත්තෙන් වැස්ස වලාහකයා තම කාරිය කදිමට ඉ‍ටුකරමින් උන්නේය. අඩහෝරාවක් ඉක්මයාමටත් මත්තෙන් රෝහල පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුනු අතර සියළුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරින. වර්ග කිලෝමීටර 15කට ආසන්න ප්‍රදේශයකට මෙම හදිසි දැනුම් දීම සිදුවූයේ රෝහලේ අතුපතර ඒ දක්වා විහිදෙන නිසාවෙනි.

          තවත් සුළුමොහොතක් ගතවෙද්දී සියළුම අංශ වෙත සිහිකැඳවීම් පත්ද නිකුත් කෙරුනු අතර වැඩිදුරටත් එහි සඳහන්වූයේ නැවත දැනුම්දෙන තුරු සියළු සේවකයන් රෝහල් පරිශ්‍රයතුල ‍රැඳී සිටිය යුතු බවයි. මධ්‍යහ්නය වන විට කාලගුණය යම් තරමකට සාමාන්‍ය අතට හැරුනු බැවින් බලධාරීන් යම් පමණකට තම තීරණ ලිහිල් කලෝය. සුලු පිරිසක් රාත්‍රී සේවා මුරයක් ලෙස සේවයේ යොදවනු ලැබූ අතර ඉතිරි පිරිසට නවාතැන් කරා යාමට අවසර ලැබින. නවාතැන් කරා ගියවුන් අතර සරාද සිටි නමුත් වැඩ කලා නම් හොඳා යැයි සරාට කියවුනේ අන්තර්ජාල පහසුකම් ඇණහිට ඇතිබව දැනගත් පසුය.
            ජංගම දුරකථන වලටද එම සංතෑසියම විය. පුරුදු නිවහනේ සිටියද සරාලා ලිං මැඩියන් ගානට වැ‍ටුනේ අවට ලෝකය සමඟ සියළුම සම්බන්ධතා බිඳවැටී තිබුන නිසාවෙනි. සුපුරුදු ලෙස නා කියා ගැනීමෙන් අනතුරුව කලහැකි කිසිවක් නොවූයෙන් තැන තැන වූ බඩු භාන්ඩ අසුරා තැබීමට සරා තීරණය කලේ තව නොබෝ දිනකින් මවුරට බලා යන නිසාවෙනි.සියළුදේ අසුරා අතපය සෝදා ඇඳට පැමිනීමට සූදානම් වෙද්දී විදුලි බලයද ඇණ හිටියේය.

ඕන %#ක්...!

ක‍ටුව තුලට රිංගන ඉබ්බෙකු මෙන් සරා පොරෝනය තුලට වැදුනි.
අගර් තුම් මිල් ජාවෝ....
සමානා චෝඩ දෝ මෙ හම්... 
පැතුමාගේ දුරකථනය බෙරිහන් දෙයි.
මොන %#$ක්ද යකෝ....!
ආ..... ඔව් මහප්පේ...!
හා හරි හරි.... මම බලන්නම්.. ඔව්....හා....!
මොකක්ද වතුර ගලන කතාවක් කිවුවා සරත් අයියේ... බ්‍රිගා වල කට්ටියව අයින් කරනවත් එක්කලු. එලියට බැහැලා බලන්න කිවුවා.

නිදි මතේම ඇදෙන් පහලට අත දමා බැලුවෙමි. දෙවියන්ට ස්තූතිවේවා. කාමරේ වතුර නැත.
දැන් කොහෙද වතුර ගලන්නේ....?
දන්නේ නෑ ඒ වුනාට බ්‍රිගාවල කට්ටිය අහක් කරනවලු.... එලියට බැහැලා බලන්න කිවුවා....!
තොට පිස්සුද හු$# මේ කරුවලේ බ්‍රිගා පේනවද...?
( බ්‍රිගා යනු මෙතැනින් කිලෝ මීටරයක් දුරින් පිහිටි ගම්මානයක් වන අතර එහි වෙසෙන සියළුදෙනාම විදේශිකයෝය. එහි ජන ගහනය අපේ රෝහල් සේවක මන්ඩලයෙන් තුනෙන් එකකි.)
පැතුමා එලියට ගොස් නැවත් පැමින මටත් කතා කලේ මොකක්දෝ කලබලයක ලකුණු පේනා බව කියමිනි. වැස්ස පායා තිබුනු අතර තරමක ශීතලක්ද පැවතුනි. ඈතින් පේන මාර්ගය වෙසක් දාට බෞද්ධාලෝක මාවත මෙනි. නෙක පැහැ එලි දැල්වෙන වාහන වැල නොකැඩී දෙපසටම ගමන් කරයි.
මේ මොන %#$ක්ද... ඇඳ ගාවට ගලනකම් මම නිදියනවා...! මම කාමරයට වැදුනෙමි.
                   
                              *************************
              
           හදිසියේම සරා අවදිවූයේ කන ලඟම ඇසුනු පොලිස් සයිරන් හඬිනි. ඒ සමඟම නිවේදනයකි. ඉන් කියවුනේ හැකි ඉක්මනින් සියලු දෙනාටම කාමර වලින් පිටවෙන ලෙසයි. නිදි ඇඳුමට උඩින් ජැකට්‍ටුවක් දමාගත් අප තිදෙනාද මුදල් පසුම්බිය පමණක් ‍රැගෙන ගේට්‍ටුවෙන් පිටතට ගමන් කරනා සෙනග අතරට එක්වූයෙමු. සියළු දෙනාවම ‍රැගෙන යාමට බස් රථ ‍රැසක්ම මේ වන විටත් පැමිණ තිබුනු අතර සියල්ලෝම ඒවාට ගොඩවූහ. සැනෙන් පිටත්වූ බස් රථවල ඊලඟ නැවතුම වූයේ අපේ රෙක් සෙන්ටර් එකයි. අප එහි නතර කලමුත් ඇතිවී තිබෙන තත්වය කුමක්දැයි කිසිවෙකුත් පැහැදිලි කලේ නැති.
             අප මෙන්ම එහි ‍රැස්වූ අනෙක් සේවක මන්ඩලේ අය විවිධ දේ කීවද ඒ සියල්ල අමූලික බොරු යැයි මගේ සිත කීවේය. ඒ මදිවාට සරාට රෙක් සෙන්ටර් එක වහ කදුරු මෙනි. ඒනිසාම ඌ තම කාර්යාලය දෙසට පාගමනේ යෙදින. ප්‍රධානියාගේ කාමරයේ කිහිප දෙනෙක් ගැවසෙනු සරාට දකින්න්නට ලැබෙන්නේ ඒ යන ගමනේදීය. වැඩි මනක් තොරතුරු දැන ගැනීමේ අටියෙන් සරා ප්‍රධානියා හමුවීමට ගියේය. ගං වතුරක් එන බවට නිල නොවන ආරංචියක් ඇතත් ඒ කොහි සිටද එහි ස්වභාවය කුමක්ද යන්න තමන් නොදන්නා බව ප්‍රධානියා සරා සමඟ පැවසීය. එවන් අනතුරක් ඇත්නම් ඒ පිළිබඳ හෝඩුවාවක් ඉහල මාලයට නැගීමෙන් අපට දැනගත හැකිබව සියළු දෙනාගේ මතය විය. ඒනිසා අප ප්‍රධාන ගොඩනැගිල්ලේ හය වන මහලට ගියෙමු. මෙතැනට නගරය පැත්ත හැරුනු කොට අනෙක් ප්‍රදේශ කිලෝමීටර් විස්සකටත් වඩා වැඩි ප්‍රමාණයක් කිසිඳු බධාවකින් තොරව පැහැදිලිව දර්ශනයවේ.

        නගරයේ ඇති දැවැන්ත ගොඩනැගිලි හේතුවෙන් ඉන් එහා දර්ශනයක් ලබා ගැනීම උගහටය. එහෙත් මීට කිලෝමීටර් දෙකකට පමණ එහායින් තිබෙනා ගුවන්තො‍ටුපල ආසන්නයෙන් ඇති විශාල කානුවේ( සැබැවින්ම මෙය නගරය සැලසුම් කිරීමේදී සකසන ලද ඇල මාර්ගයක් විය යුතුය. නමුත් මෙහි කිසිදාක ජලය හෝ එවන් සලකුණක් හෝ අප දැක නොමැත.) ජලය පිරී ඇති බවක් දිස්වුවද ඒ හැර කිසිදු ප්‍රදේශයක ජල ගැල්මක ලකුණකුදු නොවීය. අනතුරුව අප කීපදෙනෙකු පහලට පැමිණ රාජකාරි වාහනයක නැගී ඇල දෙසට ගමන් කලෙමු. එහි වූ ජලයද වැස්ස නිසා එකතුවූ බවට සාක්ෂි සාධක එමට වූ බැවින් පෙරලා රෝහලට පැමිනියෙමු. විකල්ප කිසිවක් නොවූයෙන් සියල්ලෝම එක්වී වට මේස සාකච්චාවක් ඇරඹූයේ ‍රැය පහන් කිරීම සඳහාය.

         පසුදා උදෑසන ඉහල නිලදැරුවන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් කියා සිටියේ දින හතරක් යනතෙක් මෙම කාලගුන තත්වය පවතින බැවින් එතෙක් කිසිවෙකුටත් පිටවී යාමට අවසර නොදෙන ලෙස ඉහලින් නියෝග ලැබී ඇති බවකි. ඒ වගේම මෙහි සිටින කාලය තුල දිගටම වැඩෙහි යෙදිය යුතු බවත් කියවිනි. අපගේ ජීවන ගීතය වන් ප්‍රශ්නවැල හා ඒවට ලැබුනු පිළිතුරු ඉතාමත්ම කෙටියෙන් මෙසේය.

අපිට කෑම බීම.......? ආයතනයෙන් සැපයෙන්නේ නැත...!
සනීපාරක්ෂක පහසුකම්....? රෝහලේ පොදු පහසුකම් ඇත...!
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇඳුම් පැලඳුම් ආදී මූලික පහසුකම්....? ආයතනයෙන් සැපයෙන්නේ නැත...!
නවාතැන්....? රෙක් සෙන්ටර් එක හා රෝහල ඇත...!
වැඩ...? පැය විසි හතර පුරාවටම ඇත...!
අතිකාල හෝ දින නිවාඩු....? නැත...!

අම්%$ #$%$#  මොන  %$#$ නීතිද බං මේවා...?
සරාට සිංහල මතක්වුවද බොසාට සිංහල නොතේරෙන බව අමතකව ගොසිනි.
මේ වැඩේ හරියන්නේ නෑ. වරෙන් අපි ගෙදර යන්න විදිහක් බලමු....!
සරා හිංදියට බැස්සේය. බොසාද එම අදහසට එකඟ වූයෙන් තවත් සගයෙක්ද කැ‍ටුව අපි පිටත් වූයෙමු. පළමුව සරාලාගේ කෑම්ප් එකටය. ආරක්ෂක නිලධාරියා සරාගේ මුහුණ දු‍ටු ගමන්ම ඇතුලට යාමට අවසර දිය නොහැකියැයි කීවේය. සරාට දැන් වැඩ ඇති බවත් යුනිපෝම් හා යතුරු ආදිය නැතිව වැඩ කිරීමට හැකියාවක් නැති බවත් සරා කීවේ "කැඩිච්ච අරාබි ඉංගිරිසියේ" අමුනාය.

(හැබෑවටම සරාට අරාබි බැරිය. කවුරු කුමක් ඇසුවද ඒ අරාබියෙන් නම් සරා කියන්නේ "මාපි මාලුම්" ( මම දන්නේ නෑ) කියාය. මෙහි ජීවත් වීම සඳහා එයම ප්‍රමාණවත් බව සරාගේ පර්යේෂණ වලින් මොනවට ඔප්පුවී හමාර බව නොකියාම බැරිය.) කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත් බවත් නිලදැරුවා එය කදිමට තේරුම් ගත් බවත් සරාට වැටහුනේ සේවා හැදුනුම් පත ‍රැගෙන "කම්සා දගීගා" යැයි ඔහු පැවසූ නිසාවෙනි. වහා කාමරය වෙත ඉගිලුනු සරා අත්‍යාවශ්‍ය දේවල් තඩි බෑගයකට පුරවා ගෙන හැල්මේ දිව ආවේ සිකුරුට්ටාටද ස්තූති කරමිනි. අප වාහනයේ මීලඟ නැවතුම වූයේ බොසාගේ නවාතැන පිහිටි බ්‍රිගා එකය. එහෙත් ආරක්ෂකයන් එහි ඇතුලු වීමට බොසාට අවසර නොදුන්නේ බොසාගේ කරුණු දැක්වීම ප්‍රමාණවත් නොවුනු නිසා බවයි සරාගේ අදහස. බොසා නැවත පැමිණියේ නිලදැරුවාගේ මවුගුණ වයමිනි.

උඹ ලකී...!
බොසා එසේ කීවේය.
ඇත්තටම මම නෙමෙයි අර ආරක්ෂක නිලධාරියා හොඳ එකෙක්. ඌට යමක් තේරෙනවා....
සරාගේ ප්‍රතිචාරය එසේය.

            නැවත කාර්යාලයට පැමිනි සරා නාගෙන කාරිය පලමුව ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තේ ඇය (නංගි බබා) කලබල වේය සිතාය. ඉන් අනතුරුව රාජකාරියේද නියැලුනු අතර පැය20 කට පමණ පසු සරාලා ආහාර ගත්තේ නගරයට ගොස් මිලට ගෙනය. අදාල සිදුවීමෙන් පැය තිහක් ඉක්ම ගියද පරිසරයේ කිසිඳු වෙනසක් සිදු නොවීය. කාලගුනයද කෙමෙන් සාමාන්‍ය අතට හැරෙමින් තිබුනේය. බලධාරීන් සුපුරුදු ලෙසම නින්දේය. අවතැන් කරවූවන්ගෙන් සමහරෙක් කුස ගින්නේය. කාලය ඉක්මගොස් පසුදින ඉර උදාවිය. මිනිසුන් වැඩෙහි යෙදුනේය. දහවල පනිවිඩයක් ලැබුනි, ඒ කාලගුනය යහපත් බැවින් හවස පුරුදු ලෙස නවාතැන් කරා යන ලෙසය.

අප අවතැන් කර... අපගේ දුරකථන, අන්තර්ජාල හා විදුලියට කෙලවා උන් "නටපු තොයිලෙකුත් නෑ කුප්පියෙ තෙලුත් නෑ"......





Sunday, February 3, 2013

නුඹ නැතිදා මගෙ හිත පාළුයි..






බිඟු රෑන වගේ මල් යායට...
පහන වගේ හැන්දෑවට...
නුඹ නැතිදා මගෙ හිත පාළුයි...
යන්න එපා මම හරි යාළුයි...

     හැමදාම හැන්දෑවට ස්කයිප් හරහා දොඩමලු වෙන නිසාදෝ නංගි බබා මා ලඟම ඉන්නවා වගේ දැනුනත්, ගෙවුනු දවස් දෙක මට හරිම පාලු වගේම තනියි. මොකද එයා ගමේ ගෙහුන් අරංකැලේ. එහෙට නෙට්වර්ක් නැති නිසා කතා බැහැ.හිතට දෑනෙන පාළුව කවි කරන්න තරම් මම කලාබර කිච්චෙක් නොවුනට මට හැබෑවටම පාළුයි. දැනෙන හැ‍ඟෙන දේවල් කවි සිංදු නොවුනට මගේ රළු පරළු වචන වලින් කියනවා නම් ඔයා අහලක නැත්නම් සරා සම්පූර්ණ නෑ කියලා විතරක් මට කියත හැකි.


සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කල මේ ගීතය මට මතක් උනා.