Thursday, December 27, 2012

ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...?


         

          අද දෙසැම්බර් 27 බ්‍රහස්පතින්දා. මේ අවුරුද්දට ලැබෙන අන්තිම නිවාඩු දවස් දෙක. වෙනදා පුරුද්දට උදේම ඇහැරුනා උනත් ඇ‍ඳෙන් බැස්සේ නෑ මම. Skype කතා කොරන්නත් බෑ අද උදෙන්ම, නංගි බබයි පුංචි උදම්සයි පොඩි වන්දනා ගමනක් ගෙහුං පවුලේ උදවිය එක්ක. ආයෙත් බෙඩ්ෂීට් එක ඔළුවේ ඉඳන් පොරෝ ගත්තු මම දියණියගේ කිරි සිනායි, බිරිඳගේ පෙම් සිනාවලයි මායිම් සොයන්න අසාර්ථක උත්සාහයක් ගත්තා.
හැබෑවටම මම ලකී..........!
මට එහෙම හිතුනා.
ඇයි ඒ..........?
ඔයාලා අතරින් කවුරු හරි එහෙම ඇහුවොත් මම මෙහෙම උත්තර දෙනවා.
            පුංචි උදම්සා මේ වෙනකොට එයාගේ තරමටත් වඩා හැකියාවන් පෙන්වන දක්ෂ බුද්ධිමත් දරුවෙක්. අම්මගේ රුවගුණ වගේම තාත්තගේ හැකියාවනුත් එයාට නො අඩුව පිහිටලා තියෙනවා කියලා තමයි එයා ගැන මා එක්ක කතා කරන අය කියන්නේ. ඒවගේම මගේ දයාබර බිරිඳ නංගි බබා. හැබෑවටම ඇය මා ලද තිළිණයක්. හැමදාම අළුත්වෙන ඒ ආදරේ ඇදයක් පළුද්දක් හොයන්න තැනක් මට නැති උනහමත් මම සුළු අතපසු වීමක් හෝ හොයාගෙන රවනවා ගොරවනවා. ඒ තව තවත් ඒ ආදරේටම කො‍ටුවෙන්න තියෙන ආත්මාර්ථකාමී ආසාවට. එහෙම වෙලාවට ප්‍රතිචාර විදිහට මට ලැබෙන්නෙත් ආදරය පිරුණු වදන්ම පමණයි. සැබැවින්ම ඇයවන් බිරින්ඳෑවරු වෙනුවෙන් සැමියන් අතින් නිබ්බුත පද ලියවිය යුතුයි. ඒත් ඉතින් සරාට කාව්‍යමය හැකියාවක් නෑ නොවැ.

නැණවත් සැමියෙකුට එවන් බිරිඳක් ලැබීම ඔ‍ටුන්නක් ලැබුනාට සමානයැයි මට සිතේ. මොකෝ මේ නැණවත් කියලා විශේෂණයක්...............?

          ඕෂෝගේ කතාවකින් පුංචි කතාවක් තියෙනවා, ඔයාලට උත්තරේ ගන්න පුළුවන් වේවි. එක්තරා ගල් වඩුවෙකුගෙන් ඒ අසලින් ගමන් කරන මගියෙක් අහනවා හැබෑවටම කොහොමද ඔබ මේ තරම් රළු ගල් කුලකින් මනස් කාන්ත ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ කියලා. එවිට ගල්වඩුවගේ උත්තරේ මෙහෙමයි. හැබෑවටම මිත්‍රයා මම කිසිවක් අමුතුවෙන් නිර්මාණය කරන්නේ නෑ. ඔබ ඔය කියන විදිහේ ප්‍රතිමාවක් මේ ගල් කුල ඇතුලෙත් තියෙනවා මම කරන්නේ ගල කඩලා ඒ ප්‍රතිමාව මතු කරගන්න එක විතරයි කියලා.

සැ: යු;
මේ කතාව මම කිවුවේ විවාහ ජීවිතය යනු දුකක්ය අපායක්ය හිරයක්ය කියලා හිතාගෙන ඉන්න අයව ඉලක්ක කරගෙන මිස අපේ විවාහක බ්ලොග් සහෘදයන්ට නොවන බව කිව මනාය. ඔවුන් ඉතා ආදර්ශමත් පවුල්ජීවිත ගත කරනා බව මා විශ්වාස කරනා සත්‍යයකි.

හික් හික් හික්..........!!!
මොනා ලියලද මන්දා........... ඔහොම තමයි නංගි බබා ලඟ නැත්නම් සරාට විකාරේ........... ඕනෑ කෙංගෙඩියක් වෙන්ට කියලා අපි සිංදුවක් අහමු ආයිබොවං......... !
ඕං ඒ අතරේ මම ගෙහුං මූණ කට ඩිංගිත්තක් හෝදගෙන එඤ්ඤං....... හික් හික් හික්.....


දවස් කීපයක ඉඳන්ම සරා ටිකක් අසනීපෙන්. ඒකියන්නේ ඉතින් උණ. ඉතින් මේවත් ඔය උණ විකාරෙන් කියවන ගොඩට දානවද නැද්ද කියලා ඔයාලා තීරණය කොරාට මගේ අකමැත්තක් නෑ. හැබැයි ඉතින් පුපුරන්න එන ඔලුව අමතක කොරලා මේවා ලිවුවේ නම් ඔයාලා වෙනුවෙන්ම තමයි. ගීතය ගායනා ක‍රැව්වේ අබේවර්ධන බාලසූරිය මහතා සමඟ නිරංජලා සරෝජනී මහත්මිය.


ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම කියලා කසාද බඳින සමහරු බැඳලා මාස දෙක යනකොට කියනවා "අපොයි මමත් කරගහගත්ත උරචක්කර මාලයක්.,මීට හොඳයි බෙල්ලේ ගලක් බැඳගෙන ගඟක මුහුදක පැන්නනම් කියලා. එහෙම ඉළංදාරි පාරතොටේ යනකොටත් මුමුනන්නේ මෙහෙම ගීත.

           ඇඬෙනවා තනි ඇහැට කොල්ලෝ ඔහොම කියාගෙන ගෙහුං බාර් එකකින් කණ පැලෙන්න සප්පායම් වෙද්දී අපි ටිකක් කෙල්ලෝ දිහාටත් හැරෙමු නේද..?
එල...
මුල එවුවෝ කොල්ලෝ කියලා හැඳිනුවට මෙයාලට අපි කියන්න ඕන ගැහැණු ළමයි එහෙම නැත්නම් කාන්තාවෝ කියලා. එහෙම නැති උනොත් හෙට ලිපියක් වැටෙන්නත් බැරි නෑ කාන්තාවන්ට ගරු කරන්නේ නෑ කියලා. කියන්ඩ බෑනේ ආයිබෝං අද රටේ ලෝකේ තත්වේ. කෝකටත් කියලා ඇල්වතුරත් නිවලා බොන එක තමයි ඇඟට හොඳ. නැද්ද හාං........?? අද කාන්තාවන්ගේ පාර්ශවය නියෝජනය කොරන්නේ දීපිකා ප්‍රියදර්ශණී මහත්මිය.

ඉතින් ඔයාලට ඇහෙන්න ඇතිනේ එයා අහලා තියෙන පුරස්නේ. එක වහලයට එකතු වූදා එක කුඩේ ඇයි මදි උනේ....?
අපේ යාළුවනේ මගේ මේ මෝඩ මොලේට හිතෙන්නෙම මේ දෙකටම හේතුව අන්‍යෝන්‍ය (හරිද මන්දා ලිව්වා. වැරදිනම් ඉතින් බනින්නැතුව කියලා දුන්නම ඇති හොඳේ.) අනවබෝධය. අපරාදේ මට බර වචන දාන්න යන්නේ නැතුව එකිනෙකා හරියට තේරුම් නොගැනීම කියලා ලියන්නයි තිබ්බේ. එහෙම කොලාම සායම හේදෙන්නෙත් නෑ නොවැ.
හිකිස්...!!
මගුලක් කතා කරනවා මෙයා අවබෝධ කරගන්න කියලා කාලා බලන්නයෑ....
අනික මෙයා ඒකාලේ හරියට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේනේ හිටියේ මම ‍රැව‍ටුනා........
කියලා තව ඕන්නම් හීං බබා වගේ 'අනේ අපෙ අප්පොච්චා හිටියනම්' කියන්නත් බැරි කොමක් නෑ ඕං..
හ්ම්හ්..... බොලාගේ අප්පොච්චා හිටියනම් කොරයි.
බොලං ඔය ඉන්නේ එදා එයා නොලබුනොත් මං දිවිනහගන්නවා කියලා පොලොවේ පස් කාපු ඒ සපුමල් කුමාරයා/ කුමාරිම තමයි. පුරස්නේ උනේ දෙන්න එකතුවෙලා සාමෙන් සාකච්චාවෙන් යුගදිවිය ගෙවනවා වෙනුවට ඔහේ උපන්නාට මේ ලොව වැනෙනවා විනා තියරියෙන් පවුල් කාපු එක.
හැමදාම කටට දිවට එකම රහ දැනෙන කොට අතිරස උනත් තිත්ත වෙනවා තමයි ආයිබොවං. හැමදාම නැවුම්ව ඉන්න නොහිතපු ඔහේලා අතේමයි වරද කියපු එක දැන්වත් හරිය කියලා පිලිගන්න කැමතිය...?

           මෙතනට දැන් හරියන ගීතය මගේ ගීත ගොන්නේ නෑ. පෙරල පෙරලා හෙවුවා හම්බ වුනේ නෑ. ගෙදර තිබුනට ගෙන්න ගන්න කෙරේමෙකුත් තිබුනේ නෑ. ජාලෙන් ලැබුනු එක කාවෝ කාලා. අන්තිම ටික නෑ. මක්කැයි ආයිබෝං කරන්නේ, ඕක නොවැ ලෝක සොබාවේ. ඔන්න ඒ කාවෝ කෑව ගීතයත් මම පෝස්‍ටුවට දැම්මා. මී මැස්ස තමයි මේක මට දුන්නේ. ගායනය මොහිදීන් බෙග් කියන අසහාය ගායකයානන්.
හැබැයි ඉතින් සරා මේවා ලියන එක බන්ඩි කියතකින් කේක් කපනවා වගේ වැඩක්. මොකද ඉතින් සරා ලඟ සීනිබෝල වගේ රස වචන නෑ නොවැ. ඒ නිසා වැඩේ ලස්සන නෑ. ඒ වුනාට රස ගුණ අඩු නොවෙන්න මම වැඩේ කොලා කියලා හිතනවා. 

එහෙනම් ගෙහුං එඤ්ඤං.......!!

අද මාතෘකාවට ගොඩාක් පරණ සිංදු යොදාගන්න බැරි වුනේ මගේ අසනීප තත්වය නිසයි. රත්වෙලා වැඩි කමටද මන්දා ඔලුව හරියට වැඩ කොලේ නෑ ආයිබොවං. ඒ නිසා ගැලපෙන සිංදු ගලාගෙන ආවේ නෑ.

අපොයි වස වැරද්දක් වෙලා මගේ අතින්. අර මිදි ඇඹුලයි කියලා කියන සිංදුව කියන්නේ සෞම්‍ය කුමාර යාපාබන්ඩාර මහත්මයා. මතක බැරිවීම ගැන කනගා‍ටුව.

Tuesday, December 25, 2012

හිත්වල ඇයි කළගුණ නො‍රැදෙන්නේ...???





                 ගවයා යනු අනාදිමත් කාලයක සිට මිනිසා ලඟම සිටි මිනිසාට වචනයෙන් විස්තර කල නොහැකි තරම් සේවයක් කල සත්වයෙක්. එහෙත් එදත් අදත් මිනිසාගෙන් ඌට ලැබුනේ කුඩම්මගේ සැලකිලිම පමණි. විවිධ කාලවල විවිධ අය මේ පිළිබඳ හඬ නැගුවද ඒවා පුස්ස බින්දා හා සමාන බැවු කිවමනාය. අපේ සංවේදී හිතැත්තෝ මේ ගැනත් හිතත්වා.
 මේ මුල්ම ගීතය LM පෙරේරා මහත්මයා රඟපෑ හතරමහ නිධානය සිංහල චිත්‍ර පටයට මිල්ටන් පෙරේරා මහතා ගායනා කරන ලද ගීයක්. මම මේ ගීතය මගේ ගීත එකතුවෙන් නොගෙන you tube වීඩියෝවකින්ම උපුටා ගත්තේ එහි ඇති සංවේදී බව නිසාමයි. මට ඔබට කියන්න ඕන වුනු පණිවිඩය එයින් මොනවට පැහැදිලි වෙනවා. ඉතින් මේවා  අනාගතය වෙනුවෙන් මෙසේ සුරක්ෂිත කරන සියළු දෙනාට මගේ ප්‍රණාමය.
               
නිහාල් නෙල්සන් මහතා ගායනා කල තවත් හැඟුම්බර ගීතයක්. ඇත්තටම මේ අදහස් ගීතයටම සීමා උනා මිස අපි කවුරුවත් කවදාවත් ක්‍රියාවට නගන්න උත්සාහ කලාද....?


ඔය ගීතය ගායනා කලේ මැක්ෂි ජයවීර. මම මේ ගීතය හොයන්න ලංකාවේදි මාර කට්ටක් කෑවා. ඒවගේමයි සෞම්‍ය කුමාර යාපාබන්ඩාර කියන ගායකයගේ ගීතත්. සමහරු මේ අයව දන්නෙත් නෑනේ. හොඳයි මම එයාලගේ ගීත කීපයක් පසුව ඔයාලට දෙන්නම්.


ලේ කිරි අයිතිය වහුපැටවුන්නේ....
දම්සක්වල ගල හැපී බි‍ඳෙන්නේ...
ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ....
හිත්වල ඇයි කළගුණ නො‍රැදෙන්නේ....


                අවසාන වශයෙන් මම ඔබට මේ පද කීපය මතක්කලේ මොනාහරි කරන්න ඕන කියන්න නෙමේ. කරන්න පුළුවන් දේ ඔයාලම හිතන්න කියන්න. ඒත් ඒ පේස්බුක් එකේ ඔය සමහරු කරනවා වගේ කීබෝඩ් යුද්ධ නම් නෙමේ. එක් එක් පුද්ගලයා තනිතනිව තීරණ ගෙන ඒ අනුව ජීවත් වෙනවා නම් මොකටද මේ ජාතිවාදී ආගම්වාදී විප්ලවවාදී අදහස්. එයින් අනෙක් අය කුපිත වීමක් හැර කොහිද ප්‍රතිපලයක්..................??????????


ප/ලි:
            ඊලඟ දවසෙත් තවත් එක සංවේදී මාතෘකාවක් ගැන ගීත කීපයක් අරන් එන්නම්. මේ බ්ලොග් එකට ඇතුලත් කරන ඕනෑම ගීතයක් ඔබට බාගත කරගැනීමට නොහැකියාවක් ඇතොත් කරුනාකර එය මට දන්වනමෙන්  ඔබෙන් ඉල්ලාසිටීමට කැමතියි.  නොකිවුවයි කියන්ට කාරි නෑ ආයිබොවං කරත්තවල පිංතූර නම් මගේ නෙමේ. ඒවා මට දුන්නේ ගූගල් යාළුවා.


ප/ප/ලි:
ඇත්තටම බ්ලොග් කියවන යාළුවන්ගෙන් සමාව ඉල්ලියයුතු කාරනාවකුත් තියෙනවා මට. ඒ තමයි මේ ගීත රචකයන්ගේ නම් මට මතක නැතිකම. පිට රටක සිටින නිසා ඒ තොරතුරු මට (නිවැරදිව) ඔබට දිය නොහැකිවීම ගැන මගේ කනගා‍ටුව. හැකියාවක් ඇති අයෙක් වෙතොත් ඒ තොරතුරු සඳහන් කරන්නේ නම් මැනවි.

ගෙහුං එඤ්ඤං ඈ....!!!    

Sunday, December 23, 2012

සුභ නත්තලක්.......!!!

                               ගූගල් යාලුවගෙන් ඉල්ලගත්ත නත්තල් ගහ. 


                අසිරිමත් නත්තල උදාවෙන්න තව පැය කිහිපයයි. ලොවපුරා කිතුණු බැතිමතුන් නත්තල සමරන්න ලහිලහියේ සූදානම් වෙනවා. අපටත් නත්තල් නෑ කියලා නෑ හැමතැනකින්ම නත්තල් ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා තියෙනවා. විවිධ රටවල්වල අය වුනත් නත්තලේ සැබෑ අරුත ඔවුන් දන්නවා යන්නට කදිම උදාහරණයක් ඒක. එහෙත් ඇතැම් අය නත්තල සමරන්නේ නත්තලේ නියම අරුත දැනගෙන නෙමේ. ඒවගේ අය තමයි ඔය කාලා බීලා තැන තැන ගහමරා ගන්නේ, රිය අනතුරු සිදුකරගන්නේ.  අපේ යාළුවනේ නත්තල කියන්නේ එහෙම ඒකට නම් නෙමේ මම දන්න විදිහට. නත්තලේ සැබෑ අරුත වෙන්නේ සාමය හා සහජීවනය. ඔයාලට, අපට එකම එක දවසකට හරි එහෙම හිතන්න පුළුවන්නම් මම හිතන්නේ අපෙන් ලෝකෙට ලොකුදෙයක් ලැබුනා වෙයි....... ඔබ සැමට සුභ නත්තලක් වේවා.....!!!!  



*****************************************************************************************




දෙදහස් දොළහේ අවසන් දින කීපය නිසා මට හිතුනා ගීත පණිවිඩ කීපයක් ගේන්න. හැබැයි ඒ හැමදාමත් මම ඔයාලට ගේන පැරණි එහෙම නැත්නම් නිතර ඇහෙන්නේ නැති ගීත කිහිපයක් ඇසුරෙන්. මුලින්ම මේ ගීත දෙක තුන අහලා ඉන්නකෝ.හැබැයි මේක නම් ඔය කියපු පණිවිඩ කතාවට සම්බන්ධ නෑ ඕං. තිළිණයක් විදිහට දෙන්නේ.

                  සිසිර සේනාරත්න සහ වික්ටර් රත්නායක සුසංයෝගයක්




 එදා හා අද සරාගේ තත්වය මොනවට පැහැදිලිවෙන ගීතයක් මේ :D ඔය ගීතයෙන් කියවෙන ටික මට බඳින දවසට කලින් යාලුවො ටික කිවුවා. කෝ ඉතින් මම ඇහුවේ නෑනේ.හික්..හික්..හික්..!!

ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි සමඟ බන්දුල විජේවීර. චිත්‍රපටිය මංගල තෑග්ග.

අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජනී ගායනා කල ගීතයක්.


හිතන්න දෙයක් අරගෙන ඉක්මනින්ම එන්නම්. මට අවසර......!!!


Thursday, December 20, 2012

නිතර නෑසෙන ගී.....




              කරදර කම්කටොළු කොච්චර තිබුනත් ජීවිතය ගීතයක් කියලා හිතන, එහෙම හිතාගෙන හිනාවෙලා ඒකට මුහුණ දෙන එකෙකුට තමයි සරා කියන්නේ කියලා මම කලිනුත් ඔයාලට කියලා තියෙනවනේ. ඒනිසාමද මන්දා උගේ ගීත ගබඩාවේ මහා හුඟාක් ගීත තියෙනවා. වඩාම ප්‍රිය කරන්නේ සරල ගීවලට, ඒකත් 70-80 දශකවල. එහෙම කියද්දී මතක් වුනු මේ කතාවත් කියලම ඉන්නම්කෝ.

            දැන් මේ සමහරක් පැරණි ගීත එක එක ආලවට්ටම් දාලා අලුතෙන් කියන්නත් ඇතැම් අය පුරුදුවෙලා ඉන්නවා. මේවට කියන අලුත් අලුත් නම් එහෙමත් තියෙනවානේ. රී මික්ස්, ‍රැප් වගේ. අනේ කිවුවට තරහා ගන්න කාරි නෑ ආයිබොවං මේ සමහර ගීත අහනකොට මට හිතෙනවා මේ සිංදුව නම් ‍රැප් කරලා නෙමේ රේප් (Rape) කරලා කියලා. ඇතැම් සිංදුවලට ඔය කියන අහවල් එක කොලාට පස්සේ අර සිංදුවේ ඉතිහාසය හිතා මතාම අමතක කරලා දානවා.ඒ ගැන සඳහනක්වත් හොයා ගන්නත් නෑ. මුල් ගීතය ගයන ගායකයා හෝ ගායිකාව, ගීත රචකයා, සංගීත නිර්මාණ ශිල්පියා යන මේ හැමෝවම අමතක කරලා දානවා. අන්තිමට නම යන්නේ මේ අහවල් වැඩේ කරපු කෙනාගේම විතරයි. මේ වරදට අපේ මාධ්‍ය වගේම මේ අපි භාවිතා කොරන ජාලෙත් වග කියන්න ඕන. ඒ නිසා මම පුංචි ඉල්ලීමකුත් කරනවා දකින කෙනෙකුට හරි මතක් වෙයි කියලා හිතලා. කරුනා කරලා කවුරුහරි ඔය විදිහට ගීතයක් ජාලයට (Internet) එකට මුදා හරිනවා නම් ඒගීතයේ මුල් තොරතුරුත් සමඟම මුදාහරිනවා නම් තමයි වටින්නේ. මොකද එහෙම නොවෙනකොට අලුත් පරපුර හිතන්නේ ඒවයේ හැබෑ අයිතිකාරයෝ මේ අලුත් අය කියලා. සමහරු මා එක්කම කියනවා මේ අහවලාගේ සිංදුව කියලා.

               මමනන් එහෙම වෙලාවලදි ඔවුන්ට කියනවා මලේ ඔය සිංදුව හැදිලා තියෙන්නේ අහවල් කාලේ අහවල් ගායකයා තමයි ඕක ගායනා කලේ යනාදී වශයෙන්. ඒත් සමහරු ඔය ඇත්ත පිළිගන්නත් මැලිවෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ ජාලෙන් ඔවුන් වෙත ලැබිලා තියෙන ඇතැම් වැරදි තොරතුරු. මේකෙදි අලුත් පරපුරට දොස් කියන්න හැටියකුත් නෑ මොකද අපි උනත් පිළිගන්න දෙයක් තමයි යම් දෙයක් ගැන තොරතුරු හොයන්න පහසුම ක්‍රමය අන්තර් ජාලය කියන එක.ඒත් එතනින් අපට ලැබෙන්නෙත් වැරදි තොරතුරු නම්..... එහෙම නැත්නම් ඒ අසම්පූර්ණ තොරතුරක් නම්....? උදා: අලුත් ගායක ගායිකාවෝ ගයන පැරණි ගීතවල තොරතුරු හොයනකොට දෙන්නේ අර රෙප් කරපු තොරතුරු විතරමයි මුල් ගීය ගැන සඳහනක්වත් නෑ. මේක වැරදියි. ඇත්තටම මේවා ජාලයට මුදා හරින්නේ අපේ අයනේ. ඉතින් ඕක රී මික්ස් හෝ ‍රැප් හෝ මොන ඉටිගෙඩිය කරලා හරි අර මුල් විස්තරත් එක්කම ජාලගත කරනවා නම් වටින නිසා එහෙම කරන්න තරම් නිහතමානී වෙන්න කියලා කාරුනික ඉල්ලීමක් කරන්න කැමතියි. නැත්නම් ඔයාලගේ උත්සාහය හරියට කලගෙඩියක් මුනින් හරවා වතුර පුරවනවා වගේ වෙනවා. මෙන්න ඔයාලා වෙනුවෙන් අදත් නිතර නෑසෙන ගීත කීපයක්.   


බලාපොරොත්තු.... ප්‍රාර්ථනා..... මේවා මිනිසුන්ව ජීවත් කරවනවා. හැමදාටම. ඒකෙනුත් භද්‍රයෞවනයේ ඇතිවෙන බලාපොරොත්තු....... කොයි කාගේ හිත්වලත් ඒවා සදහටම තියෙන නිසා බලන්න ඔයාලගේ හිත්වල ඇතිවුනු හැගීමුත් මේවගේද කියලා.

කියන්න කනගා‍ටුයි මම දන්නේ මේ ගීතය ගායනා කරන්නේ මැණික් ජයසේකර කියන්න විතරයි. කවුරු හරි ලියපු කෙනා හා සංගීත නිමාණය කලේ කවුද කියනවා නම් ලොකු උදව්වක්. 


තමන්ගේ පෙම්වතා තමන් ලගින්ම අසුරු කරපු යෙහෙලියත් සමඟ පෙමින් වෙලුනොත් ඒක දෑසින් දකින්නට තමන්ට සිදුවුනොත් කෙල්ලෙකුට මොනා හිතේවිද...? ඒගැන ඉන්ද්‍රානි පෙරේරා කියන්නේ මෙහෙම.    



ගැටයා සංදියේ ඉඳන්ම දහසකුත් එකක් බලා පොරොත්තු පපු කැනැත්තේ හිර කොරාන මම උඹ ගැන හීන මැවුවට ඒ එකක්වත් මට හැබෑ කොරගන්ට බැරි වුනා. ඒ උඹ මටත් හොරෙන් සිදාදියෙන් ආව කලිසංකාර මහත්තැන්ට බහ දුන්නු නිසා......  ගීතය ගායනා කරන්නේ විල්බට් ඇන්තනී මහත්මයා.



 හතීකොන කරක් ගහලා හෙම්බත්වෙලා උන්නු මට නුඹෙන් ලැබුන ආදරේ මහමෙරක් උනා. යකෙක් රාක්ෂයෙක් කියලා ලෝකයා හංවඩු ගහපු මාතුල අහිංසක මනුස්සයෙකුත් ඉන්නවා කියලා දැකපු නුඹට එදා අද විතරක් නෙමෙයි හැමදාටමත් එකම විදිහට සමහර විට ඉස්සරටත් වඩා ආදරෙයි. මේ ගීතය වික්ටර් රත්නායක මහත්මයාගෙන්.....සංගීතයත් ඔහුගේමයි. පබැඳුම කුසුම් පීරිස්..



ඇත්ත..... ආදරය කරද්දී කොයි දාර්ශනිකයත් හරිම බොළඳයි. අර අනුන්ට කියන බණ පන්ඩිත වාක්‍ය එදාට නෑ. එහෙම නොවෙන නොවුන කවුරුවත් ඇති කියලා කිවත් මම විශ්වාස කරන්නේ නෑ. ලෝකෙට මොනවා කිවුවත් මේ ගායකයත් ඒකට හොඳම උදාහරනයක්. ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි. ගේය පද කරුනාරත්න අබේසේකර. සංගීතය මොහොමඩ් සාලි. 

ඉතින් ආයිබොවන්. තව මොනවා හරි ඇන්න ආයෙත් දොහක එඤ්ඤං....!

Monday, December 17, 2012

කොයිලොව යන්නේ මරණින් පස්සේ...





            මම මේ මාතෘකාව ගැන ලියන්න නෙමේ උන්නේ. දැනට මම සේවය කරන රටේ මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන එයාලගේ ක්‍රියාකාරකම් ගැන ටිකක් ලියන්න. ඒගැන ටිකක් ලියද්දි මට හිතුන දෙයක් තමයි හැබෑටම මම මෙහෙම ලියන්නේ මම ඉපදුන රටේ කෙරෙන අකටයුතුකම් ගැන කවදාවත් කතා නොකර නේද, තමන්ගේ දේ නොහොයා අනුන්ගේ හරි වැරදි කතා කරන එක මහා විහිළුවක් නේද කියලා. ඒනිසා මේ කෙටි ලිපියෙන් අර ලිපියට ප්‍රවේශයක් ලබා ගන්න හිතුවා.

          එතකොට සරාට සුදුසු කම් තියෙනවද මේවා කතාකරන්න. පැහැදිලිවම ඔව්. මට විතරක් නෙමේ හුඟාක් දෙනෙකුට මේ සුදුසුකම් ඇති. ඒවගේම අයිතියකුත් තියෙනවා. මම මේ ස්වයං වාරනයන්ට යටත්ව ජීවත් වෙනනිසා මේ ගැන චකිතයකින් තොරව ලියන්න තීරනය කලා කිවුවොත් වඩා හොඳයි කියලා හිතුනා. 

1   මට කරදරයක් හිරිහැරයක් නොකරන කිසිම ජීවියෙකුට මම කරදර හිරිහැර කරන්නේ නෑ. 
2 මොනම අවස්ථාවකදීවත් මගේ ගැලවිජ්ජාව උදෙසා බොරු කියන්නේ හෝ බොරු කියලා නෑ.
3  කිසිම විටෙක අනුන්ගේ දෙයක් හොරකම් කර හෝ හොරකම් කරන්නේ නෑ. හැබැයි මට කොකා පෙන්නපු කීප දෙනෙකුගේම දේවල් බලෙන් උදුරගෙන තියෙනවා කීප අවස්ථාවකදීම. ඒ පාළුගෙවල්වල වලං බිඳීමේ ආදීනව පෙන්නලා දෙන්න මිස වෙන අරමුනකින් නෙමේ.
4 මම සම්මතයට විරුද්ධ ශාරීරික සම්බන්ධතා පවත්වලා නැහැ කිසි දිනෙක. කාමයේ වරදවා හැසිරීම කියන්නේ ඕකටනම් ඔන්න ඒකත් හරි. 
5    සුරාමේරය ගැන කියනවා ගැන කියනවා නම් කන පැලෙන්න බීලා තියෙනවා. ඒක ඉතින් ඔය කියන මදයට හා ප්‍රමාදයට හේතු උනාද කියන්න නම් මම දන්නේ නෑ, මොකද හැමදාම බිවුවේ හවස් වෙලානේ හොඳටම. ඒවෙලාවට මොකුත් විශේෂ වැඩක් යොදාගන්නේත් නැති නිසා කීයට නිදාගත්තත් උදේම නැගිටින නිසාත් එහෙම වෙන්න නැතුව ඇති. අනික ඉතින් බුන්නේ මම ඉතා සාධාරණව උපයපු සල්ලි වලින්නේ:D

6    මේක තමයි මම හිතන්නේ ප්‍රධානම දේ. මම හැමදාම මගේ නියම ස්වරූපයෙන් පෙනී ඉඳලා තියෙනවා හැමතැනකදීම. එකක් කියමින් තව එකක් කරන හෝ ලෝකෙට හොඳ මූණක් පෙන්නලා රහසින් පව් කරන දෙබිඩි චරිත රඟපාලා නෑ කවදාවත්. ඒනිසා එහෙම චරිත ගැන කතාකරන්න, විවේචනය කරන්න මට හැකියාවක් හා අයිතියක් තියෙනවා කියලා හිතෙනවා.

              මම මුදුනා වෙන්න හෝ උඩයන්න කරන වෑයමක් විදිහට කිසිවෙකුත් මෙය නොදකීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉහත තොරතුරු කිසිවකින් මා සුචරිතවාදියෙකුයැයි හැඳින්වෙන්නෙත් නෑනේ. මන්ද මා එවැන්නෙකු නොවේ. පෙර ලිපිවල සඳහන් කලාක්මෙන් සරා යනු ක‍ටුවටත් නැති වහල්ලටත් නැති එකෙකි. මා ඉහත ප්‍රතිපත්ති රකින්නේ අන් කිසිවක් නිසා නොව මගේම පහසුවතකාය. කාටවත් ඇනයක් නොවී ඉන්න මම කැමති නිසා ඔහොම ක්‍රමයක් මම භාවිතා කරනවා.  මෙතැන් සිට කෙරෙනා චෝදනා කිසිවක් සියළුම භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් නොව, චීවරයට මුවාවී නොයෙකුත් අකටයුතු කම් කරනා වූද තමන් මෙන්ම චීවරයට ගරු කරාවුන්වද රවටන තමන් බුද්ධ පුත්‍රයන්යැයි හඳුවා ගන්නාවුන්ව ඉලක්ක කරගෙනම බැවු අවධාරණයෙන් මතක්කර සිටිමි.

            සම්බුද්ධ සාසනයේ දියුනුව උදෙසා කැපවීමට කියා හෝ එහි පැවැත්ම උදෙසා කියමින් සසුන් ගතවෙන ඇතැම් අය ( වර්තමානයේ නම් මේ ඇතැම් කියන වචනයත් මෙතනට ගැලපෙන්නේ නෑ. බොහෝ දෙනා යනුවෙනුයි හැඳින්විය යුත්තේ.) චීවරයේ ගෞරවය කෙලෙසන අයුරුයි මේ. මම විදේශ ගතවෙන්න කලින් වැඩ කලේ ඔය තලාහේන පැත්තේ. එතන මාත් එක්ක තව කීප දෙනෙක්ම වැඩකලා. එක පුද්ගලයෙක් දවසක් මට මෙහෙම කියනවා.

බුවා  : අද ඉක්මණට වැඩ ඉවරකරලා යන්න ඕන මචන් පාටියක් තියනවා. මම:   පාටියක් ඒ කොහේද බං..?
බුවා:  පංසලේ බං පංසලේ..!
මම:  තොට මෝල්ද උගුඩුවෝ...පංසලේ මොකාද පාටි දාන්න ඉන්නේ..? බුවා:  ඇයි බං හාමුදුරුවෝ...!
මම : හික් හික් හික්..!
බුවා:  ඇයි උඹ හිනාවෙන්නේ...?
මම:  නෑ ඉතින් නියම විහිළුව ඒකයි...!
බුවා : උඹට ෂුවර් නෑ නේද මේ බලපං සල්ලි බෝතල් දෙකකුයි කුකුල් මසුයි ගේන්න කියලා පොර දුන්නේ, දැන් පංසලට ගිය වෙලාවේ.
මම : පොර කිවුවේ....?
බුවා:  වෙන කවුද බං හාමුදුරුවන්ට මිස. මෑන්ස් අපි එක්ක බුදු ‍ෆිට් බං. 
මම:   හැබෑට....ඔය කොයි පංසලේද බං...? 
බුවා: අර ............ මාවතේ තියෙන පංසල බං. වැඩක් නෑ කියලා මරු බුවා.
මම:  ඉතින් උඹ මීට කලිනුත් ගිහින් තියෙනවද පාටි වලට එහේ. 
බුවා : අඩෝ මම දැන් කීකාලෙක ඉඳන්ද එහේ යන්නේ, හැබැයි අපරාදේ කියන්න බෑ පොර කවදාවත් අපෙන් කිසි දෙයක් ගන්නේ නෑ. අපි කැමැත්තෙන් ගේන්න හැදුවත් එපා කියනවා.
මම: හා හා හා.. සමහරවිට ගිහියන්ගේ අරක්කු සංඝයාට අකැපද දන්නේ නෑනේ. ඒක නෙමේ උඹ අපි කිවුවේ තව කවුද එහෙ එන්නේ.

බුවා : ඇයි බං වැව පාරේ ත්‍රීවීල් පාක් එකේ කොල්ලෝ සෙට් එකකුත් එනවා. උන්ට කියලා තමයි මේවා ගෙන්න ගන්නේ....යි කියමින් දකුනතේ ඇඟිලි දෙකක් යම් ආකාරකට හැඩ කරමින් මවෙත පෑවේය. ඔහු හස්ත මුද්‍රාවෙන් පැවසූයේ කුමක්දැයි වටහා ගැනීමට විවාහයෙකුවූ මට අපහසුවක් නොවිනි. කතාව මා සමග කී පුද්ගලයාට අනුව ගෙනෙන්නාවූ කුනුකය මුලින් අර හාමදුරුවා වළඳා පසුව ගිහියන් අතට පත්කරනවාළු. දැන් ඉතින් මෙතනට "ළු" යන්නක් දැන්ම නිසා මේක කට කතාවක්ය කියලා මාත් එක්ක ගේමට එන්න එපා. මම මේ "ළු" යන්න දැම්මේ තවමත් මෙවන් සත්කාර්යයකට සහභාගි වීමේ භාග්‍යය මට උදාවෙලා නැති නිසා.
                           

             මේ මෑතක දී අපේ සාවියේ එක්තරා පංසලක පිංකම් මාලාවක් සංවිධානය කෙරුනා. වැඩේ බොහොම ජයට කෙරුනා. පංකාදුයි පාරට්‍ටුයි. ඕකට ධර්ම දේශනා කරන්න දිවයිනේ නන් දෙසින් හාමුදුරුවරු කිහිප දෙනෙක්ම වැඩම කොරලත් තිබුනා. උන්නාන්සෙලත් හරියට අපේ ජනප්‍රිය ගායකයෝ වගේ. පැයක් ධර්මදේශනා කරන්න රුපියල් 10000 යි 15000 යි වගේ ගනන් අය කරන්නේ. හැබැයි ඉතින් ලෙසටම කියනවළු. සමහරු කිවුවේ කවියෙන්ළුනේ. එහෙනම් කමක් නෑ නේද:P දවසක් නෑරම පිංකමට සහභාගී වුන අපේ නැන්දා කෙනෙක්ගෙන් ඊයේ විස්තර ඇහුවම අනේ පුතේ හරිම අපූරුවට බණ කියනවා,ඇයි පුතාටත් බණක් කියවන්න ආසයිද කියලා ඇහැව්වා.

ඇයි සරා මේවා ලියන්නේ...?
කාගේ හරි කුනුගොඩක් අවුස්සලා පලාතම ගඳ ගස්සන්නද...?
නෑ...!
අනුන්ගේ කුනු ඇවිස්සුවාම තමන් සුදනෙක් කියලා අනෙක් අය හිතයි කියලද...?
නෑ...!
එහෙනම් කොමෙන්ට් වැඩිකර ගන්නද...?
ඒත් නෑ.. මම මොනා ලිවුවත් මගේ ලිපි කියවන්න එන අතලොස්සක් පිරිස හැමදාම එනවා. මොකද මගේ කාර්ය බහුලත්වය නිසා මම කියවන්නේ බ්ලොග් කීපයක් විතරයි.ඉතින් උන්දැලාටත් ඉවර තියෙන වෙලාවට මගේ බ්ලොග් එක කියවන්න එනවා ගතයුත්තක් ඇතත් නැතත්.
එහෙනම් මොන මල ඉලව්වටද මේවා ලියන්නේ.
             උගත් පාඨකයෙනි, මම මීට පෙර දවසක ලිවුවා අපි යහපත් චේතනාවකින් යමක් කරනවා නම් මොන කරදර බාධක ආවත් අවසාන ප්‍රතිපලය සාර්ථක වෙනවා කියලා. ඒත් එහෙම වෙන්න නම් අපි අපිට අවංකවෙලා ඉන්න ඕන. අද බලන්න අපි සත්‍යග්‍රහ කරනවා, තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගෙන්ම නොයෙකුත් ජාති ඉල්ලනවා. ඇත්තටම කියනවානම් බණ කියන බණ අහන මේවගේ රටක් ලෝකේ කොහේවත් නෑ. අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල හතර පෝයටම බණ දහම් ප්‍රචාරය වෙනවා. කීදාහක් දෙනා ඇස් කන් අයාගෙන මේවා අහනවද බලනවද...?
            ඉතින් එහෙනම් ඇයි මේරටේ මේ තරම් හොර මැරකම්, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බාලාපරාධ, මත්ද්‍රව්‍ය උත්තරේ හරිම සරලයි.. චේතනාව හොඳ නෑ. මුන් ගොඩ දෙනෙක් යහපත් අරමුනින් බුදු දහම ප්‍රචාරය කරනවා නෙමෙයි විකුනණවා. තව පිරිසක් මුදලට බණ කියමින් මුදල් උපයලා ඒවයෙන් අරක්කු බොනවා ගනිකාවන් ඇසුරු කරනවා. සාමාන්‍ය ජනයා මුලු හිතින්ම ගෞරව කරන පසඟ පිහි‍ටුවා වදින චීවරයේ ඉඳගෙන මෙහෙම කරද්දී වස් වදිනවා. දෙවියොත් කෝප වෙනවා. අහසට පොලවට වත් දරාගෙන ඉන්න බෑ මේ දේවල්. අහස ගුගුරනවා, පොලව කම්පා වෙනවා. මෙහෙමයි රට විනාශ වෙන්නේ. මෙහෙම හැමතැනකම වෙද්දී ලෝකය විනාශ වෙනවා.

            රට කරවන එකෙක්ගේ කතාවක් අහගෙන ඉන්න ටික වෙලාවක්. මහ ජනයා ගැන ඇතිවෙන දුකට ඒකලාගේ ඇස්වලින් කඳුළුත් ගලනවා. එහෙම වෙලාවට මට හිතෙන දෙයක් තමයි යකඩෝ මේකලා මේ හැටි අවංකව වැඩ කරද්දිත් රටට මෙහෙම හෙන පොතේ කැටිලා තියෙන්නේ අපි වගේ උන් ඉන්න නිසාය, අපට මුංගේ හොඳක් දකින්න බැරි නිසාය කියලා.

             මගේ මහ ගෙවල් තියෙන්නේ කිරි ඇල්ලේ කියලා මම කලිනුත් ඔයාලට කියලා තියෙනවානේ. ඔය පැත්තේ එක්තරා පංසලකට ගැටයා සංදියේ මම නිතර යන්න පුරුදු වෙලා හිටියා. වැඩි හරියක්ම ඕකට රිංගන්නේ දඩාවතේ ගිහින් බඩගිනි උනහම තමයි. බඩගිනි වෙලාවට ඕකට වැදුනම ඉතින් තරු පහේ හෝටලයක වගේ කෑම වේලක් ෂුවර්. හැබෑවටම ඒක තරු පහේ හෝටලයක්ම තමයි. වැඩ පලටත් ඉන්නේ බොහොම හැඩකාර ආන්ටිලා දෙතුන් දෙනෙක්. එයාලට ඉතින් කුස්සියේ වැඩ විතරක්ම නෙමේ හාමදුරුවගේ සිරි යහන් ගබඩාවේ රාජකාරිත් මාරුවෙන් මාරුවට බලන්න වෙන බව අපට නම් රහසක් නෙමෙයි ඉතින්. දන්න කියන කාලේ ඉඳන් මේ පංසලේ ඉන්නේ නායක හාමදුරුවයි, ගෝල නමයි විතරමයි. උරුමයෙන් එන කෙනෙක් මිස පිට අය මහණ කරගන්න සිරිතකුත් නෑ මෙතන. උරුමය එන්නේ කොහොමද කියලා මම පැහැදිලි නොකරට ඔබලාට තේරුම් ගැනීමේ හැකියාව ඇතැයි මාසිතනවා. මේකා මේ කියන ඉසවුව කොහේද කියලා විතරක් ඔයාලට කුකුසක් තියෙනවා නම් පොඩී ඉඟියක් මේං.

             ආයිබොවන් මම මේ කියන්නේ අර වෙල් යායක් මැද තියෙන පංසල ගැන. අර බෞද්ධ අපේ මුදුන් මල්කඩක්වන් සිද්ධස්ථානයක් එහෙම අයිති පංසල ආන්න ඒක ගැන. මට කියන්න ඕන කලේ නායක හාමදුරුවා හරිම තේජාන්විතයි කියලා. බුද්ධ පුත්‍රයෝ නෙව ආයිබොවං. උන්නාන්සේ නිතරම අඳන කඩේ විතරක් ඇඳලා පිස්තෝලෙත් ඉනේ ගහන් ඉන්නේ. ධර්මය දේශනා කොරන්ට වෙන්ටෑ:P
සිරියහන් ගබඩාවෙත් ඇහැට කනට පේන වනිතාවක් වැරදුන වෙලාවක් ඇත්නම් ඒ කලාතුරකින් තමයි ඉතින්. වෙන එකක් තියා ලඟ පාත තියෙන පොලෝසියෙත් ඒ සංදියේ නම් ක්‍රියාත්මක උනේ උන්නාන්සෙගේ තීන්දු තීරණ තමයි. ඕන ජඩ වැඩක් කොරලා පොලෝසියෙන් කුදලන් ගිය එකෙක්ගේ ගෙදරක කෙනෙක් ගෙහුං උන්නාන්සෙට දුක් ගැනවිල්ල කීවානම් ඔන්න ඕකට යන්න දුන්නානම් මහත්තයෝ කියන පමාව විතරයි අර අමනයා එලියේ. පොලෝසියේ කිරියාත්මක වෙන්නෙත් උන්නන්සෙගේ අණ බොලව්. බුද්ධ සාසනේ රකින බුද්ධ පුත්‍රයෝ නෙව.

               අහිතක් හිතන්ට කාරි නෑ. මම මේ ලියාපු කිසි දෙයක් ඕප දූප නෙවෙයි. හැබෑවටම සිදුවුන හා සිදුවෙමින් පවතින දේවල්. මේදේවල් යමෙක් අභියෝගයට ලක්කරනවා නම් හෝ මුසාවාද යැයි චෝදනා කරනවානම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි බවට වගකීමෙන් ප්‍රකාශ කරත්නත් කැමතියි. මෙහි සඳහන් ස්ථාන සමග හෝ පුද්ගලයන් සමග මගේ කිසිම පෞද්ගලික කෝන්තරයක් නෑ. එහෙත් සාසනේ ඉඳන් සාසනේම වළඳන මෙහෙවු අයට මම විරුද්ධ නිසා මෙහෙම ලිවුවා. අනික් කාරනේ මම බෞද්ධයෙක්. ලෝකෙට පේන්න බෞද්ධ චරිතයක් රඟන නළුවෙක් නොවෙන බෞද්ධයෙක්. ඒ නිසා මට අයිතියක් තියෙනවා මෙහෙම දේවල් සිදු වෙනවා කියලා ලෝකෙට කියන්න.

              තෙරුවන් සරණ යන අපි මුලින්ම ශික්ෂාපද පහක් කියනවා. ඔක්කොම නැතත් ඕකෙන් එකක් දෙකක් හරි රකින්න හුඟ දෙනෙක් දැඩි උත්සාහයක් ගන්නවා. ඒ ඉතින් කාටවත් පේන්න නෙමෙයි කාටවත් කරදරයක් නැතිව ඉන්න කැමති නිසා. ඒත් එහෙව් ගිහියන්ගෙන්ම යැපෙන ගිහියන්ට අවවාද අනුසාසනා කලයුතු අය මෙසේ වෙනකොට කාටද ඒ අවනඩු කිවයුතු....?

               මම දන්න තරමින් බුද්ධ දේශනාවල තියෙන එක කාරනාවක් තමයි කිසිම භික්ෂුවකට මුදල් ඉපයීම,මුදල් ‍රැස් කිරීම, මුදල් පරිහරණය කැප නෑ. ඒත් වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා සාස්තර කියනවා වෙලාවල් බලනවා, වෙදකම් කරනවා, අනවින කොඩිවින හදි හූනියම් ඇතුළු නොයෙකුත් ජාති කරනවා. මේ එකක් වත් බහුජන හිතාය බහුජන සුඛාය කියලානම් නෙමෙයි තනිකරම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්. තම තමුන්ගේ සුඛවිහරණයට. තේරෙන සිංහලෙන් කියනවානම් බඩ වඩා ගැනීමට. 

මගේ අරමුණ:  

මට මගේ අඹුදරුවන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තරමට මිල මුදල් හම්බ කරලා තියන්න පුළුවන්. ඒත් ඒවා භුක්ති විඳගෙන කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්න බෑ තනියම. ඒකට අපි හැමෝම එකතු වෙන්න ඕන. මේකලාට විරුද්ධව යුද්ධ කොරන්න නෙමෙයි ආයිබොවන්. මේ වංචාවල් යම් තරමකට හෝ පාලනය කරන්න.
අවම වශයෙන් කියන දේ කරනවානම් කරනදේ කියනවානම් ඒ සත්‍යයේ බලයෙන් හරි රටට ලෝකෙට යහපතක් වේවි. 

එහෙනම් මට ගෙහුං එන්ට අවසර....!


Thursday, December 13, 2012

තැනට සුදුසු ඉලෙක්ට්‍රොනික් සමහරුන්ට මැජික් වෙන හැටි






              මේ ඊයේ පෙරේදා හරි අපූරු වැඩක් උනා. මම බොහොම නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක අපේ බොසා ඇවිත් මගේ කාමරේ දොරට තඩි බාන්න පටන් ගත්තා. නිකන්ම නෙමේ, මෙන්න මේ තඩි Circuit board එකත් අරගෙන.
                       

බොසා  : මචං මට මේක හදිස්සියි. මේ බෝර්ඩ් එක මට හදලා දීපන්...!  

මම   :  ඇයි බොස් මේක දිරලනේ. පේන විදිහටනම් හදන එක ලේසිවෙන එකක් නෑ.  

බොසා  : ප්ලීස් මචං, මේක නැතුව මට Old female block එකේ චිලර් රන් කරන්න විදිහක් නෑ. දැන් මම එතෙන්ට මිනිහෙක් දාලා ඉන්නේ මේ බෝර්ඩ් එකෙන් කෙරුන වැඩේ කරන්න. මොකක් හරි කරපං අර සිකුරුටියා මැරෙන්න හදනවා.

( අපේ හොස්පිට්ල් එක ලඟම තමයි කාන්තා නේවාසිකාගාර (විදේශීය) තියෙන්නේ. ඕල්ඩ් බ්ලොක්, නිව් බ්ලොක් කියලා ඒවා කොටස් දෙකකට කඩලා තියෙන්නේ. එහෙම කිවුවට ඔය එකකවත් "නිව්" ඒවා නම් නෑ. ඔක්කොම මෙහෙ එනකොටම පරන වෙලා.D ඕවායේ මුරට ඉන්නේ, මං කිවුවේ මේ සික්කෝ සික්කෝ.. උං සේරම සෞදි කාරයෝ. උන් හිතාගෙන ඉන්නේ ඒවා ( කාන්තාවෝ) උන්ට අයිති දේපොලක්ය කියලා. ජොබ් ඕඩරේකට ගියත් මලවදේ. උන් හිතාගෙන ඉන්නේ උන් වගේ තමයි මෙහෙ වැඩ කරන විදේශිකයොත් කියලා. මොකද උන් කරන තරමක් කරන්නේ කුප්ප වැඩනේ. අමනාප වෙන්න එපා. මුන් ගැන කතාකරනකොට ඔහොම වචන කියවෙනවා. අනික මුංව හඳුන්වන්න වෙන හොඳ වචනයක් එන්නෙත් නෑ මේ වෙලාවේ. ඒගැන කමාව.. ඇත්තටම කියනවා නම් මුං වගේ ජරා සත්ව කොට්ඨාශයක් ලෝකේ කොහේවත් නැතුව ඇති. වැදගත් ආගමකට මුවාවෙලා එකෙන්ම ඒක අදහනවයි කියලා ලෝකෙට පෙන්නන ගමන් මුං කරන තරමක් කරන්නේ ජඩ වැඩ. කොහොම උනත් ඒක මාතෘකාවට අදාල නැති නිසා වැඩි දුර කතා ඕන නෑ ඒගැන.) 

මම  : හරි දැන් මේකෙන් මොකක්ද කෙරුනේ කියපන්කෝ..! 

බොසා  : ඕක මචං ඉස්සර chilled water ලෙවල් එකට ඕප් වෙවී තිබුනා. දැන් කාලෙක වෙලේ ඉඳන් එක වැඩ කරේ නෑ, ඒත් water level එකට ආවම මේ බල්බ් එක පත්තුවෙනවා.  එතකොට අපි මෝටර් ඕප් කරනවා. අද ඒකත් පිච්චිලාද කොහෙද.

මම  : හරි දැන් water level එකට ඔටෝ ඕප් වෙන circuit එකක් හදලා දුන්නොත්...? 

බොසා  : වාව් නියමයිනේ මචං..! ඇත්තටම උඹට එහෙම එකක් හදන්න පුළුවන්ද. මොනවද දැන් ඒකට ඕන. මුංගෙන් සල්ලි ගන්න ගියාමත් මල වදේ.

මම  : හරි මම ඒක කොහොම හරි කරන්නම් මට පැයක් විතර දීපංකෝ...!

බොසා  : පැයක් නෙමේ උඹ දවසම අරගෙන හරි මට වැඩේ කරලා දියං. හැන්දෑවට හයි කරන්න තිබුනොත් මට ඇති.  

      එහෙම කියලා ඌ යන්න ගියා. දොර වහලා ඇවිත් පු‍ටුවේ වාඩි වෙලා මම කල්පනා කලේ දැන් මේක හදන්නේ කොහොමද කියලා. විනාඩි දහයක් විතර ඇස් පියාගෙන ඉන්න කොට මගේ හිතේ ඇඳුනා මෙන්න මෙහෙම එකක්.

                       ඔන්න මම ඒක කොලේකට ගත්ත විදිහ..



             අපරාදේ කියන්න බෑ මගේ වර්ක් ෂොප් එකේ එකම ජාතියෙන් කෑලි තුන හතරක් හොයනවා කියන එක කළුනික හොයනවාටත් වඩා අමාරුයි. ඒනිසා මම අතට අහුවෙන Transistor, resistor ටිකක් ඇන්න වැඩේට අත ගැහුවා. ටික වෙලාවක් යනකොට ඔය ඉහතින් පෙන්නලා තියෙන ගැජ මැටික් එක හැදිලා ඉවර උනා මේ විදිහට.
                      



නිකන්ම නෙමෙයි ඒක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන්නත් පුළුවන් ආකාරයේ කොටසකුත් සහිතව.


           මහා සංකීර්ණ වැඩක් නෙමේ සරල පරිපථයක්. එතකොට ඇයි මම මේක බ්ලොග් එකේ ලියන්නේ..! වෙනමොකටද ඉතින් උඹේ පම්පෝරිය කියන්න මිසක. කාගේ හරි උත්තරේ ඕක වෙන්නත් ඉඩ තියෙනවා.අනේ නෑ ආයිබොවන් සරාට පම්පෝරි ගහන්න ඕන නම් මේ රුපියල් 50ක් වටින circuit එක නැතුවට වෙනඕන තරම් දේවල් තියෙනවා. මගේ අරමුන පැහැදිලිවෙන්න නම් දිගටම කියවගෙන යන්න. ඉතාම සරල හා අඩු වියදම් උනාට මේවගේ පරිපථ වලින් ගොඩාක් වැඩ ගන්න පුළුවන් කියලා ඉලෙක්ට්‍රොනික් ගැන අවබෝධයක් තියෙන අයට නම් බැලු බැල්මටම වැටහෙනවා ඇති.

උදා: වතුර ටැංකියකට, නයිට් ලාම්පුවකට, නිවසක ඉදිරි පස විදුලි පහණක් හෝ ගේට්‍ටුවක විදුලි පහණක් ඉබේ දැල්වීමට මේ පරිපථය භාවිතා කලහැකියි.

          තව ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගනිමින් සිටිනා හෝ අලුත් දේවල් අත්හදා බලන්න කැමති අයට තම හැකියාවන් වර්ධනය කර ගන්නත් මේවගේ දේවල් වටිනවා. වීඩියෝ ගේම් එකකට මුවී එකකට වැය කරන කාලය ඉඳහිට මේවගේ දේකට යොමු කරලා බලන්න. ඔබේ දැනුම හා හැකියාව වර්ධනය කරගත හැකි නොවේද කියලා. තව ඔය කොල්ලෝ කරන වැඩ කරන්න කැමති කෙල්ලන්ටත් මේවගේ දේවල් හොඳයි.පරිපථයේ IN කියලා සඳහන් වෙලා තියෙන තැනට ඔයාලට LDR එකක් (light dependent resistor) හෝ ස්පර්ශ සංවේදකයක් (touch plate) එකක් යොදාගන්න පුළුවන්. relay  එක තියෙන තැනට SCR (silicon control rectifer) එකක් හරි out put ට්‍රාන්සිස්ටරයේ ධාරාවට සමාන ධාරාවක් ලබාගන්නා උපකරණයක් නම් කෙලින්ම ට්‍රාන්සිස්ටරයේ කලෙක්ටයටම හරි සම්බන්ධ කලහැකියි. එහෙම කරලා අපි අනිවාර්යයෙන්ම අතින් කලයුතු වැඩක් ඉබේ ක්‍රියාත්මක වීමට සැලැස්විය හැකියි.

උදා: ඔබ නිවසේ නැති අවස්ථාවක නිවස ඉදිරිපස ලාම්පුව ඇඳිරිවැ‍ටුන විට ඉබේ දැල්වීම. විදුලි පහන් නිවාදමා ඔබ ඇඳට යනවිට මද ආලෝකයක් සහිත night lamp එක ඉබේ දැල්වීමට ඔබට මෙය යොදා ගතහැකියි.

           ඉතින් මම මේක ඔයාලට පෙන්නුවෙත් එහෙම වැඩක් ගනී කියලා හිතාගෙන. අපේ වැඩ්ඩන්ටනම් මේවගේ ඒවා කජු කනවා වගේ නිසා වැඩක් නැතිවෙයි. හැබැයි ඉතින් එයාලටත් මේකෙන් ගන්න පාඩමක් තියෙනවා. ඒමොකක්ද කියලා ලිපිය අවසානෙදි ඔයාලට වැටහේවි. හරි දැන් ඔක්කොම හරි කියමුකෝ, කෝ අර මුලින්ම සරාට උනා කියපු අපූරු වැඩේ. කාට හරි ඔහොම හිතුනා නම් ඒක ඉතාම සාධාරණයි. මේ ලිපියේ කොතනකවත් එහෙම එකක් සඳහන් වෙලා තිබුනේ නෑනේ නේද..? ඔන්න එහෙනම් ඒක.

            දැන් අර තඩි බෝර්ඩ් එකක් අපේ ලොක්කා ගෙනත් දුන්නා කියලා මම කිවුවනේ. ඒකේ ප්‍රමාණය කියනවානම් හත‍රැස් අඩියකටත් වඩා ලොකුයි. හැබැයි මම හදපු Circuit එක අඟල් එකහමාරක්වත් ලොකු නෑ. බොසා ඕක දැක්කම උගේ ඇස් උඩ ගියා. මොකද අච්චර ලොකු බෝර්ඩ් එකකින් කෙරුන වැඩේ මේකෙන් කරන්නේ කොහොමද කියලා. ඌ මා දිහා බැළුවේ සැකෙන් වගේ. මේ වැඩේ හරියයිද..ඌ මගෙන් ඇහුවා. උඹට මේක ෂුවර් නැතුවට මාව ෂුවර්නේ, බලාගෙන හිටපන් කියලා මම අර ගැජබෝ එක හයිකලා. ඊට පස්සේ පැයක් විතර එතන ඉඳන් හත් අට වාරයක් ඒක නිවැරදිව ක්‍රියා කරනවද කියලා ටෙස්ට් කරලත් බැළුවා. බුවාට මාර හැපි ඌ එතන ඉඳන්ම කෝල් කරලා අපේ ඩිරෙක්ටර්වත් එතනට ගෙන්නුවා. ගෙනත් ඌටත් කියනවා කලින් මෙතන තිබුනේ මෙච්චර විතර බෝර්ඩ් එකක් මූ පොඩි බෝර්ඩ් එකක කෑලි දෙක තුනක් අමුනලා මේක ඔටෝ වැඩකරන්න හැදුවා කියලා. ඒ මදිවට ඩිපාර්ට්මන්ට් එක ඇතුලටත් ඇවිත් අනිත් ටෙක්නීෂන්ලත් එක්කක් කියවනවා.

              මෙතන මහා ලොකු වැඩක් නොකලා උනත් මම කරබාගෙන හිටියේ කොහොමත් හෙට අනිද්දා වෙනකොට මම ගෙදර එන එකානේ, උන් මම මැජික් කාරයෙක් කියලා හිතාගත්තත් මට ඒක ප්‍රශ්නයක් නෙමේනේ කියලා හිතලා. අනික මම මොකුත් කියලත් නෙමේනේ. දැන් ඔයාලට හිතෙනවානම් හැබෑවටම මෙහෙම පොඩි දෙයක් නම් කරන්න තිබුනේ මෙච්චර ලොකු circuit  එකක් ඇයි යොදලා තිබුනේ කියලා මෙන්න ඒකට උත්තර. දිරච්ච බෝර්ඩ් එක පරීක්ෂා කලාම මට හිතුන දෙයක් තමයි මේකෙන් වැඩ කීපයක්ම කලින් කෙරෙන්න ඇති කියන එක. ජල පරිමාව මැනීම මෙන්ම උෂ්ණත්වය මැනීම. ඒ දත්ත සංඛ්‍යාංක ලෙසින් දැක්වීම හා මොටර් ක්‍රියා කරවීම ඒ මගින් කෙරෙන්න ඇති කියලා අනුමාණ කල හැකි සාක්ෂි එහි තිබුනා. ඒත් මේ උපකරණ අවුරුදු තිහකටත් වඩා පරණ නිසාත් නිසියාකාර නඩත්තුවක් නැතිකම හේතුවෙන් කෙමිකල්වලට නිරාවරණය වීම නිසා යම් යම් කොටස් වරින්වර කියා විරහිත වෙන්නට ඇති. අපේ ලොක්කලා මෙහෙ එන කාලේ වෙනකොට වැඩ කරපු ටික දැකලා ඉලෙක්ට්‍රොනික් ගැන මෙලෝ හසරක් නොදන්න ඔහු මේකෙන් කරන්නේ මේ වැඩේ විතරයි කියලා නිගමනයකට එන්න ඇති. ඒ නිසා තමයි මෑන්ට මගේ වැඩේ මැජික් එකක් උනේ.

             මෙහෙම තැන් වල වැඩ කරන කොට මේවගේ පොට්ට චාන්ස් වැදිලා ගොඩ යන අයත් ඉන්නවා. විෂය ගැන දැනුමක් නැති අය ඉන්න තැනක ඒ සම්බන්දව පුංචි දෙයක් කරලා පෙන්නුවහමත් ඒ තැනැත්තා දක්ෂ වැඩකරුවෙක් විදිහට හැඳින්වෙන වෙලාවලුත් තියෙනවා.එහෙම උදාහරණත් මා සතුයි. වඩා වැදගත් වෙන්නේ තියරි ෆලෝ කරන එකට වඩා ඒ වෙලාවට සුදුසු දේ හිතලා කරන එක. මොකද මම කරපු වැඩේ ආයේ තව කෙනෙකුට කරන්න බෑ.    (ඒ සර්කිට් එක නැවත වෙන කෙනෙකුට අළුත් වැඩියා කල නොහැකියි.) ඒ මම එහි කිසිම අංකයක් හෝ වර්ණ වලල්ලක් ඉතිරි නොකර මකා දමා ඇතිනිසා. වෙන ටෙක්නීෂන් කෙනෙකුට ඕන නම් තමන්ගේ දැනුමෙන් යමක් කරාවි. මේකත් ඉලෙක්ට්‍රොනික් කරන එවුන්ගේ සිරිතක්.D 

               අනික තමයි දිනෙන් දින දියුනුවෙන මේ තාක්ෂණික ලෝකය ගැන නිතර අවධානයෙන් ඉන්න ඕන තාක්ෂණ ශිල්පියෝ විදිහට අපි. නැත්නම් ලෝකේ ඉස්සරහට යද්දී අපි නිකන්ම ළිං මැඩියෝ වෙනවා. අපේ ලොක්කා ඉතාම දක්ෂ AC Technician කෙනෙක් ඒත් ඉලෙක්ට්‍රොනික් ගැන දැනුම බිංදුවයි. එහෙම උන එක එදා ඒහැටි ගැටළුවක් නොවුනට වර්තමානයේදී ලොකු ගැටළුවක්. මොකද අද වෙනකොට ගොඩාක් වායූ සමීකරණ ශීතකරණ ඉලෙක්ට්‍රොනික් පරිපථ සහිත ඒවා. අපි මොන තරම් දක්ෂයෝ වෙලා හිටියත් වැඩක් නෑ ඊට අදාල සියළුම කොටස් ගැන අවබෝධයක් නැතුව. ඇත්තටම මම කලින් දවසකත් කිවුවා වගේ අපට වෙලාව තියන විදිහට යම් යම් විෂයන් ගැන සුළු හෝ දැනුමක් ලබා ගන්න එක කවදාවත් අපතේ යන්නේ නෑ. එහෙම නොදැන ඉන්නකොට තමයි එහෙම දේවල් මැජික් වගේ පේන්න ගන්නේ.

              අපට හැම විෂයක් ගැනම පූර්ණ දැනුමක් ලබා ගන්නට නොහැකි උනත් යම් තරමකට දැනුවත් වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපට අවශ්‍යතාවක් උනන්දුවක් තියෙන්න ඕන.

උදා: අපේ පොඩි මස්සිනා හොඳ ෂෝර්ට් ඊට්ස් කාරයා. පේස්ට්‍රි අංශයේ සුපිරි වැඩ්ඩෙක්. මම ගෙදර උන්නු මාස ගානට රෝල්ස්, එලවළු රොටී, උළුඳු වඩේ, කට්ලට් පැටිස්, වගේම ප්ලේන් රොටී හදන හැටිත් පොරගෙන් ඉගෙන ගත්තා. ඒත් ඇන්ටනාවකට වයර් එකක් අමුනන විදිහවත් පොර මගෙන් අහලා ඉගෙනගෙන නෑ. එකම හේතුව උනන්දුවක් නැති කම. 

මෙන්න ඉහත පරිපථය සඳහා අවශ්‍ය උපකණ ලයිස්තුව  

1,2,3  C 828, BC548, C945  හෝ  ඒහා සමාන NPN  වර්ගයේ ට්‍රාන්සිස්ටර් 3  

4  D400, D313  වැනි ට්‍රාන්සිස්ටර් 1 

5 6V- 12V රිලේ 1

6 1N4007 ඩයෝඩ 1  

7  560 ohmsහෝ1k රෙසිස්ටර් 1  

8   560 ohms හෝ 1k රෙසිස්ටර් 1  

9 4.7k රෙසිස්ටර් 1  

10 470 uf 16v කන්ඩෙන්සර් 1

LDR  එකක් හෝ සුදුසු ස්පර්ශ සංවේදකයක්. 

ඔබ පරිපථයට DC 12Vසපයන්නේනම් තරු ලකුනු යොදා ඇති රෙසිස්ටර් 1k ලෙස යොදන්න. උදා 560 ඕම්ස් වෙනුවට 1k.  සැපයුම් වෝල්ටීයතාවය අනුව රිලේ එකද වෙනස් කරන්න. ඔන්න මම ක්ෂේත්‍රයට ආදුනිකයන් ගැනත් හිතලා උපකරණවල රූප සටහන් එක්කම දැම්මා. මගේ හිතේ දැන්නම් ඕන කෙනෙකුට මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් වේවි. අමතක උන SCR එකේ පාද මේ විදිහටයි නම් කරන්නේ.

ඉතින් එහෙනම් මම ගෙහුං එඤ්ඤං...! අත්හදා බැලුවොත් ප්‍රථිපල මටත් කියන්ට ඕන ඕං.........




දන්නවද ඔය පහල තියෙන රූප සටහන් ටික මට දුන්නේ ගූගල් ලොක්කා.

Thursday, December 6, 2012

සිත්තර වීරයෝ සහ JAMES BOND ගේ නව නිපැයුම්...





             අද මාත්තුරුකාවද මොකක්ද එක ටිකක් දිග වැඩිද මන්දා. ඒත් කරන්න දෙයක් නෑ එහෙම කරන්න වෙනෝ. ටික දවසකට පස්සේනේ ඔන්න ඔහේ කමක් නෑ නේද...? ඉස්සර මම නිතර කියවපු බ්ලොග් එකක් ලියපු කෙනෙක් තමයි "ජනූ" කියන්නේ. එයා ගොඩාක් වෙලාවට ලිවුවේ පුංචි කාලේ මතක ගැන. කූඹි, කලාමැදිරියෝ, මකුළුවෝ ගැන එහෙම බොහොම අපූරුවට ලිව්වා එයා. අද යාන්ත්‍රීකරනය වෙලා උන්නට අපිත් කුඩා කාලේ ඉතාම සුන්දර ගම්වල බොහොම ලස්සන ළමා ජීවිත ගෙවාපු අය නිසා මමත් බොහොම ආසවෙන් තමයි ඒ කතා කියෙව්වේ.එහෙම කියවපු දවසක මට මතක්වුනු කතාවක් තමයි මේක.

             එදායින් මාස ගානක් ගෙවුනු තැන තමයි ලියන්නේ. ඔයාලා අතරින් ගොඩදෙනෙක් දන්නවා, නොදන්න කෙනෙක් ඉන්නවානම් දැන් දැනගන්න. මීට කාලෙකට ඉස්සර චිත්‍ර කතා පත්තර කියලා ජාතියක් අපේ රටේ බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. ලොකු කුඩා හුඟ දෙනෙක් මේකට ඇබ්බැහිවෙලා තිබුනා කිවුවොත් මම හිතනවා ඒක නිවැරදියි කියලා. රේඛා චිත්‍ර තුලින් මිනිස් සිත් තුල ඇතැම් මනක්කල්පිත චරිත ගැන අති දැවැන්ත ප්‍රථිරූප ගොඩනගන්න සමත්වුනා අපේ ඇතැම් නිර්මාණ ශිල්පීන් චිත්‍ර කතා පත්තර තුලින්. යුනිකෝ මුල් යුගයේ සරත්මධූ අතින්ද පසුව ගුනපාල ජයලත්ද, රෆීක්ඩීන් මුල්කාලයේ ලියූ ස්පාටකස් හා පසුව "ස්කාගස්" යන කතාද, සිංහ ලියපු ඇඳපු ඔමේගා වගේම ටෝගා කියන කතා දෙකත් බන්දුලගේ සිකරි කතාවත්, විල්බට් රණසිංහ ලියපු ඇඳපු "සඩ්න්" නැමති ගොපළු (කව්බෝයි) කතාවත් සරා අත හරින්නැතිවම කියවපු කතා කීපයක් වුනා.



             සඩ්න් කතාවට පස්සේ ඔහු අතින් නිර්මාණය වුනු දියමන්තිවටය කියන කතාවේ එක් චරිතයක් සරාට කල හදියක් ගැන නෙව අද පෝස්‍ටුවෙන් කියන්න හදන්නේ. කලින්ම කියන්න එපායෑ මේ හැම කතාවම ලියවුනේ "සිත්තර" පත්තරේ. මේ කතා ඇරුනම තව එක එක නිර්මාණ ශිල්පියෝ අතින් නිමවුනු ආදර කතා රාශියක්ම තිබුනා.ඉතින් ඊට පස්සේ, සුද්දි, සමාවෙන්න මා අන්සතු ලඳකි, සඳා, නෙලුම් සහ සමන්මලී, ආදරයත් ‍රැල්ල වගෙයි, සරස්වතී වගේ. ඒ කාලේ නම් ඕවා කියවන්න කැමැත්තක් තිබුනේ නෑ. ඒවගේම චිත්‍රකතා පත්තරත් රාශියක්ම ඔය කාලේ තිබුනා සිත්තර,සත්සිරි,දසුන,සත්මින, මධුර, සතුට,චිත්‍රමිත්‍ර, මල්සර,හිතවත අපොයි සමහර ඒවා මටත් මතක නෑ. සඳුදට නිකුත් වෙන චිත්‍ර කතා පත්තර පහක් අපේ ගෙදරටත් ගත්තා ඒ දවස්වල. දිනේ සඳුදා කියලා සඳහන් උනාට සෙනසුරාදා වෙනකොට ඒවා මාර්කට් එකට ඇවිල්ලා ඉවරයි. අපිත් ඉතින් අද පත්තරේ බැලුවම ඊලඟ කොටස බලනකම් නොඉවසිල්ලෙන්නේ ඉන්නේ. ගමේ පත්තර ගන්න ගෙවල්වලට ඒක කියවන්නම විතරක් යන එන පිරිසකුත් හිටියා නෙව ඒ කාලේ. ඉස්කෝලෙට ගියහමත් මුලින්ම කතා කරන මාතෘකාව ඕක නොවැ.
                         


              
                කතාවෙන් කතාව ලියන්න ඕන වුනු එක පහුවෙනවා නේද...? කමක්නෑ මේ කතා ප්‍රවේශය කියලා හිතමුකෝ. අනිත් එක චිත්‍ර කතා ගැන ලියනවානම් මාගලක් වගේ පෝස්‍ටුවක් ලීවත් තවටිකක් ඉතිරි වෙනවා ෂුවර්. ඉතින් මම අර කියපු දියමන්ති වටය කියන කතාව ඔය ජේමිස් බන්ඩා නෑ නෑ ඌ නෙමේ "ජේම්ස් බොන්ඩ්" කියන රහස් පරීක්ෂක චරිතය වටා ගෙතුනු එකක් නොවැ. එයාට හරි අපූරු කාර් එකකුත් තිබුන. ගොඩබිම වගේ දියෙත් යන්න පුළුවන්. උඩින් යටින් දෙකෙන්ම. ඇස්වහක් කටවහක් නෑ හොඳ ෆයිටර් (fighter) කෙනෙක් වුනු ඔහුට ඇහිපිය හෙලන පමාවට වෙඩි තියන්නත් පුළුවන් උනා ඉලක්කයට. හැම වෙලාවෙම ලස්සන කෙල්ලෙකුත් ලඟ හිටියා. ඒත් ආයිබොවන් අපට ඔය කෙල්ලව නම් අමතක කොරන්න වෙනවා අකමැත්තෙන් උනත් දැන්මම. මොකද ඒකාලේ මට කෙල්ලෝ අරහං. දැන්නම් එහෙම නෑ කියලා අපේ මායියා නම් කියනවා. මමනම් දන්නේ නෑ ඉතින් ඒක ඇත්තද නැද්ද කියලා අහන්න වෙන්නෙත් උන්දෑගෙන්ම තමයි.Dඔන්න මම කතාව කියනවා..............................
                         
                සරා පොඩිකාලේ හිතාහිටියේ ලොකු උනහම "ජේම්ස් බොන්ඩ්" කෙනෙක් වෙන්නෝන කියලා. සරා ආසම සෙල්ලම් බඩුවත් ඉතින් ඒකාලේ පිස්තෝලෙනේ. සරාට එක එක විදිහේ සෙල්ලම් පිස්තෝල 10-15 විතර තිබුනා ඔය කාලේ. සේරම ගෙනත් දෙන්නේ තාත්තා තමයි ඉතින්. සමහර ඒවයේ සද්දෙයි දුමයි විතරක් උනාට, උන්ඩ නිකුත්වෙන විදිහේ ඒවත් දෙකතුනක් තිබුනා. මිල අධික උනත් සරාගේ තාත්තා ඕවා ගෙනත් දෙන්න පැකිලෙන්නේ නෑ. හේතුව...

"චූටි කොල්ලා ආසා ඕවටනේ"....! අනික ඌ ඕවා කඩලා බිඳලා දාන්නේ නෑ...!!

               හැම සතියෙම අඟහරුවාදා සරාලගේ අම්මා දම්මුල්ලේ පොලට යනවා. ඒ ගෙනියන බඩු ලිස්ට් එකේ "කාට්ස්" රෝල් තුන හතරක් නම් වරදින්නේ නෑ. පතුරම් නැතුව කොහොමද වෙඩි තියන්නේ...හිකිස්..!! නිවාඩු තියෙන හැම වෙලාවෙම සරා තනියම කැලේට රිංගනවා. නිකම්ම නෙමෙයි විවිධ ප්‍රමාණයේ පිස්තෝල දෙක තුනකුත් අරගෙන. ඔය එක පිස්තෝලෙකට පතුරම් බෙල්ට් එකකුත් තිබුනානේ. පණිවුඩ හුවමාරු කරගන්න යන්තරේ වෙනුවට (walkie talkie) තියෙන්නේ sanyo පොකැට් රේඩියෝ එකක්. ඒ කාලේ FM එහෙමත් නෑ. MWවිතරයි තිබුනෙත්, පොඩි ඉයර්පෝන් එකත් කනේ ගහගෙන තමයි ඉන්නේ නිතරම. රේඩියෝ එකනම් නිතරම සුසර (tune) කරලා තියෙන්නේ ඒ කාලේ බොහොම ජනප්‍රිය වෙලා තිබුනු "දෙවන සේවය"ට. වර්තමාන වෙළඳ සේවය,එහෙම කිව්වට දැන්නම් එහෙම එකක් තියෙනවද කියලා මම දන්නේ නෑ. අර මොනවද යට ගෙහුං ගොමරිටිද මොනවද උඩ පාවෙන කාලයක් නෙව මේ. 

               මම හිතන්නේ සරාට සංගීතය ගැන ඇල්මක් ඇතිවෙන්නත්, පැරණි ගීත මතකයේ ‍රැදෙන්නත් එක හේතුවක් වෙන්නැති මේකත්. පොකැට් රේඩියෝ එකෙන් මොනා ඇහුනත් සරා තනියම කතාකරනවා ගොඩක් වෙලාවට. ඔක්කොම ඉතින් CIA එකට විරුද්ධ රහස් පණිවිඩ තමයි.P සන්නද්ධ පිරිස් එක්ක ගැටෙන එකමයි වැඩේ. සතුරෝ විදිහට තොර ගන්නේ තොර‍තෝංචියක් නැතිව කෑගහන කුරුල්ලෝ තමයි ඉතින්.අවුලක් නෑ උන්පස්සේ පන්නන්නත් හිතේ මැවුනු අපූරු කාර් එකකුත් තියෙනවනේ. අහල පහල සතුරෙක් ඉන්නවානම් සරා ලඟ තියෙන සංඥා දර්ශකය (signal indicator) ඒබව සරාට දැනුම් දෙනවා. ඊට පස්සේ ඉතින් සතුරා සොයාගැනීම, බිහිසුනු සටනකින් පසු ජයග්‍රහනය හෙහ් හෙහ් සෙල්ලම් නෑ හරිම මාන්දමිකයි D.  ඇලකින් වතුරටිකක් බීලා කැලේ තියෙන පළතුරු මොනා හරි කාලා (පැෂන්ෆෘට්, අඹ, රඹුටන්, ඇඹිල්ල, හිඹු‍ටු) පැය ගානක් තනියම කතාකර කර ෆයිට් කරනවා. කාට්ස් රෝල් දෙක තුනක් ඉවර වෙනකම් වෙඩි තියනවා. ගස් වැල්වල එල්ලෙන්න ගිහින් වැටිලා සමහර වෙලාවට අතපයත් ලෙලි ගහගන්නවා. හොඳටම හෙම්බත් උනාට පස්සේ තමයි කැලෙන් එලියට එන්නේ.

              ඒ කාලේ සරා හිතාගෙන උන්නේ හැබෑ ලෝකයෙත් මේ වගේ ඇති, ලොකු උනහම මටත් එහෙම ඉන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම තමයි අර කාරෙක ඕකට "සබ්මැරීන්" (submarine) එක වගේ දියයටත් යන්න පුළුවන් උනාට ගුවනින් යන්න බෑ. මම හිතා හිටියේ ඔහොම කාර් එකක් අරගෙන ඕක ගුවනිනුත් යන්න පුළුවන් විදිහට හදන්න. සමහර වෙලාවට මම කැලෙන් එලියට එනකොටත් මට වැහිලා ඉන්න "ජේම්ස් බොන්ඩ්" එහෙමම ඉන්න අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට නම් හතුරා වෙන්නේ අපේ නංගි. මම ඉතින් තුම්මුල්ල පැනලා ගහන ෂොට් අපේ කෙල්ලට ඔරොත්තු දෙන්නේ නෑ කොහොමවත්. දෙපාරක් උන්දැගේ අත කැඩිලා මාස ගානක් වෙදකම් කලා අම්මයි තාත්තයි.හිකිස්...! මම කියලත් මොනා කරන්නද, මොකෝ ඕවා මම කරන දේවලුත් නෙමේනේ ජේම්ස් බොන්ඩ් මිස.P අනික ප්‍රතිවාදියාට මනා සටන් පුහුණුවක් නැති එකේ අඩුව නොවැ. සමහර වෙලාවට සටන්වල උග්‍ර අවස්ථාවලදී කියවෙන්නෙත් චිත්‍ර කතාවේ දෙබස්මයි. ඒතරමට ඒවත් කටපාඩම්. හැබැයි පොඩ්ඩ වැරදුනොත් අපේ කෙල්ලගේ (නංගිගේ) කොසු පාරක් ඉදල් පාරක් මට වදින වෙලාවල් නැතුවමත් නෙමෙයි. ඒ වෙලාවට ඉතින් ජේම්ස් බොන්ඩ් ට ඇඩ්‍රසුත් නෑ. හික් හික්...!


            but no complains...! මොකද මම ඉස්සර උනානම් මම කරන්නෙත් ඔය වගේම වැඩක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය වුනත් අපේ පැමිණිලි බාරගන්නේ නෑ.   කොහොම උනත් ඔය ජේම්ස් බොන්ඩ්ට ස්තූතිවන්ත වෙන්න මම අලුත් නිෂ්පාදනයකුත් කලා. ඒතමයි කුඩමිටි තුවක්කුව. කුඩයක මිටක් තුවක්කුවේ බටය( බැරල් එක) විදිහට යොදාගෙන ඇත්තටම වෙඩි තියන්න පුළුවන් විදිහට හදපු තුවක්කුව. තුවක්කුව කියලා මම කට වචනෙට කිවුවට මේක පිස්තෝලයක්. ඒකට වෙඩිබෙහෙත් ඊයම් බරු එහෙම දාලා වෙඩිල්ල කොටන්න ඕන. නිපල් එකට දාන්නේ පීඩනයට ගිනිගන්න වෙඩි බෙහෙත්. ඔය ඉස්සර අපි චීන පටස් වලට බීරංග ගහන්න එහෙම ගත්ත වෙඩි බෙහෙත් වර්ගය. කොකා ගස්සනකොට පොඩි යකඩ පතුරක් ඇවිත් නිපල් එකේ වැදුනම වෙඩිල්ල පත්තු වෙනවා. අඩි 30කටත් වඩා දුර ඉලක්කෙට වෙඩි තියන්නත් පුළුවන් නෙව. මේකත් අරගෙන කැලෑ වැදිලා මම ඉලක්කෙට වෙඩි තියන්නත් පුරුදු වුනා. ඒත් ඉතින් නිතර නිතර කැලේ ඇතුලෙන් වෙඩි සද්ද ඇහෙන කොට අපේ තාත්තගේ අවධානය ඕකට යොමුවෙයි කියලා මගේ ටිකිරි මොලේට වැටහුනේ නෑ. ඒනිසා දවසක් බඩුත් එක්ක හොරු මාට්‍ටුවෙලා දුන්නේ නැද්ද බඩකට පුරා හොඳ ගුටි පූජාවක්. ෂොල්ල වේල ඉල්ලෙයි අයියා. නල්ල අඩි...!!! ඔන්න හිරුවෝ නව නිෂ්පාදන වලට අපට ලැබෙන සැලකිලි.....! නිකම්ම නම් තව කමක් නෑ. මේක කොහොමද හැදුවේ, කොහොමද වැඩ කරන්නේ කියලා අහලා වෙඩිල්ලකුත් තියලා පෙන්නන්න කියලා ඔක්කොම ඉවර උනහම තමයි අල්ලගෙන තඩිබෑවේ.. අම්මපා හරි හිතට අමාරුයි බං...!!    

පසුව ලියමි:

පස්සේ අම්මට මම පැමිණිලි කලා. අම්ම අහලා තියෙනවා ඇයි ගැහුවේ කියලා. ඒක එච්චර ආරක්ෂිත නෑළු. හදිසියේ බටේ පිපුරුවොත් ලොකු අණතුරක් වෙනවළු. අනේ එයාගෙයි මගෙයි safety. ඇයි මම බබානේ. මෙච්චර හරියක් තනියම කරන්න පුළුවන් හිතලා. ඕක කල්පනා වෙන්නේ නෑ. මම බටේ පුපුරන්නේ නැති වෙන්න ක්‍රම යොදලා තිබුනේ. අනික එක බටේකින් වෙඩි දහයකට වඩා කවදාවත් කොටන්නෙත් නෑ. මොකද වෙඩිල්ලක් පිටවෙනකොට බටේ අධිකව රත්වෙනවා. ඒනිසා වෙඩි දහයක් විතර තිබම ඒබටේ වීසි කරලා තව බටයක් දානවා. කොහෙද ඔය කිසිදෙයක් කියන්න තියා කට අරින්නවත් වෙලාවක් නොදීනේ මට තැළුවේ. මම පවු නැද්ද හා........!! 

පින්තූර සඳහා අනුග්‍රහය පුරුදු පරිදිම ගූගල් දෙයියන්ගෙන්ම තමයි. ඔය යටින් තියෙන්නේ ගයාශාන් ඇල්පිටිය සිත්තරට ඇඳපු කතාවක්. ආදරයත් ‍රැල්ල වගෙයි, ‍රැල්ල වෙරලට ආදරෙයි වගේ කතා ගොඩාක් ජනප්‍රිය උනා ඔහුගේ.


විශේෂ ස්තූතිය විචාරක මහතාට.........!