Tuesday, October 23, 2012

කිතුල් මල් හදන්නේ මෙහෙමයි...





                කිතුල් මල් හදන විදිහ, එහෙම නැත්නම් රා හෝ තෙලිජ්ජ ගන්න ආකාරය දන්න කවුරුවත් ඉන්නවද..? ම්හු... පේන්න නෑ වගේ නේද..? පැණි හෝ හකුරු කාලා තියෙන අය..? හ්ම්හ්.. ඔය ඉන්නේ ඇඹලයෝ වගේ හැමෝම..! අර සමහරු රා ඩිංගිත්තකුත් බීලා තියෙන හැඩයි. ඔය තොල කටත් ලෙව කන්නේ..! කාරියක් නෑ ආයිබොවං ඒවා එහෙම වෙන්නෝන. මම කියන්නම් අද කොහොමද මේ කිතුල් මල් වලින් රා හෝ තෙලිජ්ජ ගන්නේ පැණි හකුරු හදන්නේ කියලා. හැබැයි ඉතින් අරයගෙන් මෙයාගෙන් අහගෙන නෙමේ මගේම අත්දැකීම් තුලින්.

               මම ඉතින් කලකට ඉහත සිදාදියෙන් ගමට මංගච්චපු නගරං බට්ටෙක්ය කියලා ඔහේලා දන්නවනේ. කරදඬු උහ ගෙහුං ඉලංදාරියා වෙද්දි මම ඒ ඉසව්වෙන්ම කූටාලියෝ දෙන්නෙකුත් ජෝඩු කොරාන මේ කරුමාන්තේ කොරන ආකාරේ ඒ දෙන්නාගෙන් නිසියාකාරෙන් දැනකියා ගත්තා කියලා කලින් දොහක දොඩාපු වග මේ ඇත්තන්ට මතක ඇති මයෙ හිතේ. ඉගෙනගත්තා ඉතරක්ම නෙමේ ආයිබොවන් මල් කැපිල්ලත් ජයටම කොරා ඕං..! හැබැයි බාගෙට බාගයක් ගෙදරට හොරා. ඒ කිව්වේ ඔය පැණි හකුරු හදන්ටය කියලා ගෙදරට තෙලිජ්ජ ඩිංගිත්තක් ඇන්න ආවට රාගැන නම් මම කටේ කෙල බිම හලන්නේ නෑ. මොකෑ ඉතින් අපේ අප්පොච්චා මහා හපුයියා නෙව. ඔය හුලිජ්ජ බීපු යාමෙක උන්දැට හදි ගැහුනොත් හෙම අයේ කංස පාර දෙකක් දීලා බැද්දට උසික්ක කොරනවා මාව. ආයේ ඒකේ හෝදන්ට දෙයක් නෑ. අනික ඉතින් උන්දැගෙන් පාරක් කෑවොත් බොටකඳයා පතබෑවා හා සමානයි. හෙනං ඕං මම කතාව කියනවා.

                අපේ පලාතේ දෙවර්ගයකට අයිති කිතුල්ගස් තියෙනවා. එක වර්ගයක් සිහින්ව උසට වැඩෙන අතර අනෙක් වර්ගය වඩා උස නොයන කඳ මහත වර්ගයක්. මේ උස නොයන වර්ගයට නම් කියන්නේ රෑන කිතුල් කියලා. අනෙක් වර්ගයේ නම නම් මට මතකෙට එන්නේ නෑ. ඔන්න ඔහේ දන්නේ නෑ කියමුකෝ. කොහොම උනත් මේ කොට ගස්වල මල් හදන්න ගම්මු හරි කැමතියි ඒකට හේතු වශයෙන් පහසුවෙන් හැර ගැහීමට හැකිවීම හා වැඩි තෙලිජ්ජ ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති හැකියාව දක්වන්න පුළුවන්. එතකොට මොකක්ද මේ හැරගහනවා කියන්නේ, කොහොමද ඒක කරන්නේ...? මේ සඳහා යොදා ගන්නේ හීනි දිග රිටි හා බට පතුරු. මොර, දවට, කෙනෙහියා, වන ඉදල වගේ ලී වර්ග තමයි වැඩි වශයෙන් භාවිතයට ගන්නේ. හොදින් වැඩුන කිතුල් මලක් තියන ගහකට මේ රිටි තියලා බට පතුරු වලින් අඩි දෙකෙන් දෙකට වගේ පරතරයකට බඳිනවා ඉනිමගක ආකාරයට. රිට ගහට හේත්තුම වෙලා තිබුනොත් අල්ලන්න අපහසු නිසා රිටත් ගහත් අතරට කුඩා ලී කැබලි (කොට්ට) තියලා තමයි මේ විදිහට වරපට (බැම්ම) තද කරන්නේ.
                                         
              
ඔන්න ඔහොමයි කිතුලකට නගින්නේ.හැබැයි සරා නම් මොඩ් ගොවියනේ සරොම ඇඳන් ගස් නැග්ගේ නෑ කවදාවත්.කිතුල් ගහටත් ඩෙනිමම තමයි ඉතින්.හිකිස්..!!
               

                 මෙහෙම හැර ගහලා ගහට නැග්ගට පස්සේ තමයි බලන්න ඕන මල තලන්න (කැපීමට සුදුසු පරිදි සකස් කිරීමට) සුදුසු ප්‍රමාණයට වැඩිලද කියලා. දන්නවනේ ආවට ගියාට මල් තලන්න යන්න හොඳ නෑ. නියම ප්‍රමාණයට වැඩිලා නැත්නම් තලන්න සුදුසු කාලය එනකම් ඉවසිල්ලේ බලා ඉන්න ඕන. හදිස්සියට තලන්න ගිහින් අමාරුවේ වැටිච්ච කට්ටිය ගැන ඔය කොතෙකුත් අහන්න දකින්න තියෙන්නේ.D හරි හරි අපි අදාල මාතෘකාව ගැන කතා කරමුකෝ. වැඩුනු කිතුල් මලක අග මිරිකලා අපට අනුමාන කරන්න පුළුවන් මේ මල පදම් වෙලාද නැද්ද කියලා. හැබැයි මේ තියරිය වලංගු කිතුල් මල් වලට විතරයි. ඔහේලා ඔය අහල පහල තියෙන මල්වල අග මිරිකන්න ගෙහුං අමාරුවේ වැටිලා මට එහෙම දොස් කියනවා නෙමෙයි ඕං. හිකිස්..! මම මල් ගැන කතා කලොත් ඔහොමමයි. කියවෙන්නෙම වෙන වෙන දේවල්. කිතුල් මල ඝනකම හනසු කීපයකින් ආවරණය වෙලා තිබුනට අග කොටස තරමක් මෘදුයි. ඒ හරිය තදින් මිරිකනකොට එබෙන්නේ නැතිනම් ඒකට අපි කියනවා අග පිරිලා කියලා. එහෙම නම් ඒ මල කපන්න සුදුසු තත්වෙට වැඩිලා.

                ඊ ලඟට අපි බලමු කොහොමද මල කපන්න ඕන, මොනවද එකට භවිතා කරන ක්‍රම කියලා. මලක් කපන්න කලින් ඒක කපන්න සුදුසු ආකාරට හදා ගන්න එපායෑ. ඒ වැඩේට ක්‍රම කීපයක් තියනවා මේං ඒ ක්‍රම:
උන හැලීම, පිච්චීම, බේත් තැබීම හා තැලීම. හොඳයි අපි මුලින්ම බලමුකෝ කොහොමද උණ හලන්නේ කියලා. මොකද මම කිතුල් මල් හදන්න පහසුම ක්‍රමය විදිහට දකින්නේ මේ ක්‍රමය. මුලින්ම අපි කෙනෙහියා ලීයක් අරගෙන ඔලොම්බුවක් හදා ගන්නවා. එහෙම කිවුවට ඔය ගොල්ලෝ දන්න්වයෑ ඔලොම්බු ගැන නේද. මෙන්න ක්‍රමේ. අඩි පහක හයක විතර අමුලීයක් අරගෙන ඕක මැදින් දෙකට පලනවා. කරුවක් වගේ හිටින්න.අඩි එකහමාරක් විතර යටින් වැල් පොටකින් ගැටගහනවා දිගටම පැලෙන එක නතර වෙන්න.දෙපැත්තට ටිකක් ඇද්දම Yඅකුරේ හැඩේට තියනවා. ඕකට නෙව ඔය ඔලොම්බුව කියන්නේ. ඕක මලේ මැද හරියට තියලා අනෙක් පැත්ත ගහට තියලා මල හෙලවෙන්නේ පහතට නැමෙන්නේ නැති ආකාරයට තද කරගන්නවා. ඉන් අනතුරුව පිහියක ආධාරයෙන් අර හනසු එකින් එක ඉවත් කරලා මල නිරාවරණය කර ගන්නවා. ඊලඟට තිත්ත වැල් හෝ වල්ලපට්ට යොදාගෙන ඉති ගැටේ ලඟ ඉදන් පහලට මල හොඳින් වෙලා ගන්නවා මලේ මැදක් විතර වෙනකම්. ඔය කිවුවට අපි ඉතිගැටේ දන්නෙත් නෑනේ නේද. අවුලක් නෑ මම කියලා දෙන්නම්. ඔයාලා ගොඩක් අය කිතුල් මල් දැකලා ඇතිනේ නේද.



                  ඔය තියෙන්නේ නොදැකපු අයට බලා ගන්න කිතුල් මලක්. හැබැයි කිව්වට අමනාප වෙන්න කාරි නෑ ආයිබොවන් මේක නම් මහ කනා‍ටු කිතුලක්. මෙහෙම ඒවයේ මල් හදන්ට බෑ.ඔය රෑන් පටන් අරන් තියෙන තැනට නෙව ඉතිගැටේ කියන්නේ. හොඳයි අපි බලමු ඊලඟ පියවර.දැන් ඔය අපි වෙලා ගත්තේ රෑන් තියෙන කොටසනේ. මලේ කඳේ තියනවා සුඹුලු සහිත ආවරණයක් මේක සූරලා අයින් කරන්න පුළුවන්.හැබැයි ඉතින් මේක බොහොම සීරුවට කරන්න ඕන වැඩක්. මොකද මේවා හරියට කහනවා ඇඟේ ගෑවුනොත් ඉවරයි. හරි ඉතින් කොහොම හරි ඔය සුඹුලුත් අයින් කරලා මල් කඳ පිරිසිදු කරගෙන අපි ඊලගට කොල්ලන් කොලයි හුනුයි අතුල්ලනවා හොඳට මල් කඳ පුරාම.ඒක හොඳින් කහට පාට වැටෙනකන්ම. ඊට පස්සේ කොල්ලන් කෝ‍ටු කෑලි තුනක් අරගෙන ඒක මැදට හුනු පුරෝලා ගහනවා ඉතිහැටේ මුලට තුන් පැත්තකින්. ඊටත් පස්සේ ඕක අව්වේ දානවා තුන් වරුවක් විතර. විශේෂම කරුන තමයි මෙහෙම පදම් කරපු මලක් වැස්සට තෙමෙන්න දෙන්න හොඳ නෑ. වැරදිලාවත් තෙමුනොත් මල අල වෙනවා. ඒකියන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා.

                 තුන් වරුව අව්වේ දැම්මට පස්සේ අපි අර තිත්ත වැල්වලින් වෙලාගෙන ගිහින් නවත්වපු තැනින් පහලට තියෙන කොටස කපලා අහකට දානවා. ඕකට කියන්නේ අග කපනවා කියලා නොවැ. ඊට පස්සේ උදේට,දවල්ට හවසට අවිත් කපන්න ඕන හැමදාම. මල කපනවා කිව්වට අපි ඕක පිහියෙන් කොටලා කපන්නේ නෑ. බොහොම සියුම් ආකාරයට මල නොහෙල්ලෙන විදිහට මලෙන් තුනී කොටසක් විතරයි කපලා අහක් කරන්නේ. තුන් වරුව කපන කොට අපට මල් මූනතට කඳුල පුරනවා .ඒ තමයි තෙලිජ්ජ.  ඉතින් දවස් දෙක තුනක් ගතවෙන කොට අපි ඕකට මුට්ටියක් එල්ලනවා. උදේ එල්ලුවානම් දවල් යනකොට ඕකට තෙලිජ්ජ එකතුවෙලා තියනවා. ක්‍රමයෙන් කඳුල වැඩි වෙන බවක් පෙනෙන්න තියනවා නම් අදාල මුට්ටියේ ප්‍රමාණය වෙනස් කරන්නයි තියෙන්නේ. මොකද සමහර ගස්වල බෝතල් 25-30 තියෙන ඒවත් තියනවා, ඊට අඩු වැඩි වෙන වෙලාවලුත් නැතිවම නෙමේ. ඕක අපි පැණි හෝ හකුරු හදන්න ගන්නවා නම් එහෙමම ගෙනිහින් උනු කරන්නයි තියෙන්නේ. හැබැයි රා හදනකොට දවසක් දෙකක් ගහේම තියෙන්න අරිනවා. එතකොට භාජනේ අඩියේ මන්ඩි වගේ හැදෙනවා සුදු පාටට. එතකොට අපි කරන්නේ උඩ තියන තෙලිජ්ජ ටික අහකට හලනවා අර මන්ඩි ගතියට තියෙන ටික ඉතිරි වෙන්න. ඊට පස්සේ ඒ මුට්ටියම ආයේ ගහට එල්ලනවා. ඔන්න ඉතින් හවසට හරි ඊලඟ දවසට හරි යනකොට සුදට සුඉදේ පෙන දාන රාමුට්ටියක් තියෙනවා. හිකිස්..!! මොකද කියන්නේ... ගහමුද රා කට්ටක්..?

                ම්හු.. දැන් රා බුන්නොත් කියාගෙන ආව කතාව අහන්න පොලෝසියට යන්න වේවි. ඒ නිසා අපි බලමු දෙවෙනි ක්‍රමය නැත්නම් මල පුච්චන ආකාරය. මෙතනදිත් පලමුව කරන්නේ ඔලොම්බුවක් හදලා මල ස්ථාවරව තියාගන්න එක තමයි. හැබැයි කලින් වතාවේ වගේ හනසු ටික ගලවලා අයින් කරන්නේ නෑ. ඒවෙනුවට හොඳ ගිනිහුලක් අරන් මලේ මුල කොටස හොදින් පුච්චනවා. පුච්චන්නේ යටි පැත්තෙන්. ටිකක් නෙමේ මල ඇතුලෙනුත් භාගයක් විතර පිච්චෙනකන්ම අපි වැඩේ නවත්තන්නේ නෑ. නියම ප්‍රමාණයට පිච්චුනහම ප්‍රවෙශමෙන් කොපු එහෙම නැත්නම් හනසු ටික ගලවලා අයින් කරනවා. පස්සේ කලින් විදිහටම මල වෙලලා සුඹුලු අහක් කරලා හුනු ටිකකුත් ගානවා. මලේ තෙත ගතියක් එහෙම තියේ නම් විතරක් ටිකක් අව්වටත් නිරාවරනය කරනවා.ඒත් ඒක අවශ්‍යම නෑ. මේ කොයි ආකාරයෙන් හැදුවත් මල තෙමන්න නම් හොඳ නෑ.

               බේත් තියනවා කියන්නෙත් උන හලන ආකාරයටම මල සුද්ද කරලා, අර මම කලින් කිව්වා වගේ ඉති ගැටේ ලඟ සිදුරු තුනක් හදලා අපි කලින් සකස් කරගත්ත මිශ්‍රණයක් මේ සිදුරු තුලට ඇතුලු කරන එකට. ඒ සමඟම මල් ක‍ඳෙත් මේ මිශ්‍රණය ගානවා. මොනවද මේ මිශ්‍රණය සකස් කරන්න අපි යොදා ගන්නේ එතකොට. වල්ල දළු, හෝ කොල්ලන් කොල, හුනු, වියල් දුඹුලු, සහිඳ ලුණු ආදිය ගෙන දෙහි ඇඹුලෙන් අඹරලා තමයි මේ මිශ්‍රණය සදා ගන්නේ. අන්තිම ක්‍රමය තමයි මේ තලනවා කියන්නේ. මේ ක්‍රමයට මම නම් මල් හදලා නෑ. ඒ වගේම තලලා කිතුල් මල් හදන අවස්ථාත් දැකලා තියෙන්නේ අඩුවෙන්. එච්චරම සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වන්න නම් පුළුවන් කමක් නෑ. කරන්නේ නම් මෙහෙමයි. මේකෙදි හරක් ඇටයක් අරගෙන කිතුල් මලේ මුලට තදින් පහර දෙනවා. (ඕං ආයිබොවන් වැරදියට තේරුම් ගන්නවා එහෙම නෙමේ. මම මෙතන හරක් ඇටයක් කිව්වේ හරකෙකුගේ අස්ථියක් කියන තේරුමෙන් හොඳද.) මල ඇතුලතත් තැලෙන ආකාරයට. මේකත් තුන් වරුවක් විතර කරන්න ඕන. ඊට පස්සේ මල පිරිසිදු කරලා වෙලලා කලින් සඳහන් කරපු විදිහටම කපනවා. උණ හැලීමෙන්,  පිච්චීමෙන්, බේත් තැබීමෙන් ඔය සේරගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මල වැඩීම නතර කරන එක. නැත්නම් බාගෙට මරණ එක එහෙම නොවුනොත් මල කපන්න බැරි වෙනවනේ දිගටම. නිසි ප්‍රතිකාර කරලා මලක් හැදුවොත් තුන් හාර මාසයක් කපන්න පුලුවන්. සමහර ඊටත් වඩා කල් තියෙන මලුත් තියනවා.


                                      පැණි හා හකුරු සාදන විදිහ  

                   මම කලින් සඳහන් කරානේ රා හදන විදිහ. පැණි හෝ හකුරු සාදන විට අපි වැඩි වෙලා එකතුවෙන තෙලිජ්ජ ගහේ තියෙන්න අරින්නේ නෑ. ඒවගේම නිතර නිතර ගහට එල්ලන මුට්ටිත් මාරු කරනවා. එහෙම කරන්නේ තෙලිජ්ජ පැහෙන එක නතර කරන්න. යන්තම් හෝ ඇඹුල් උනොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ගේන තෙලිජ්ජ ගෙනා ගමන්ම පෙරලා උනු කරනවා. මේ පැණි, හකුරු හදන ගෙවල් වල එලියේ මඩුවක හෝ කොහේ හරි නිතරම දැල්වෙන ලිපක ලොකු තාච්චියක් (ඩොංගා තාච්චි) තියලා තියෙනවා. ගේන ගේන තෙලිජ්ජ මේ තාච්චියට එකතු කර කර ගින්දර දානවා. පැය 5-6 ක් හින්දනකොට පැණි පදමට එනවා. එතකොට ලිපෙන් බාලා ගත්තොත් කිතුල් පැණි. හකුරු හදන්න ඕනනම් තවත් හින්දන්නයි තියෙන්නේ. ඔය අපි කැවිලි පෙවිලි හදනකොට පත්පැණි වෙනකම් උනු කරන්නේ, අන්න ඒ ආකාරයට. කොහොමත් හැදි ගාන කොට අතට දැනෙනවා පැණි එක ඝනවීගෙන එනවා. ආන් එතකොට ලිපෙන් බාලා පොල් ක‍ටු වලට වක්කරන්න ඕන. විනාඩි දහයෙන් ලස්සන හකුරු පියන් ගලවන්න පුළුවන්.

                     කොච්චර හකුරු හදලා තිබුනත් මම කැමති හකුරු බෝල කන්න. ඒවා හදන්නේ හකුරු වක්කරලා ඉවර උනාට පස්සේ පැණි උනු කරපු තාච්චිය හූරලා නෙව. අපි ඔය ගමට ගිය මුල් දවස්වල පියසේන මාමා (මෙයා ගැන කලින් මම ඔයාලට කියලා තියනවා.) අපට හැමදාම මේ හකුරු බෝල ගෙනත් දෙනවා. ඒ පුරුද්දටද මන්දා ඉලන්දාරියා වෙලත් හකුරු බෝල කන පුරුද්ද මට අත හරින්න බැරි උනා.  

ප/ලි; 
                  මේ කතාව මම ඔයාලට කිවුවේ සරා දැන් විදේශිකයොත් එක්ක චිරිස් බිරිස් ගගා තාක්ෂණ ශිල්පියෙක් විදිහට වැඩ කොලාට කොම්පියුටර් ජිල්මාට් දැම්මට කැලෑ පොජ්ජට මංගච්චලා වැදි හූරොත් එක්ක උනත් හරි හරියට කතා දමන්ට, ‍රැහේ උන් එක්ක බැද්දේ රුකුල් ගාන්ට දඬුවැල් බාන්ටත් හැකියාව තියෙනවයි කියන්නේ කට කයි වාරුවට විතරක්ම නෙවෙයි කියලා කියන්නයි. මම ඉන්න හෝ හිටපු හැම තැනකදිම මම යමක් ඉගෙන ගත්තා. ඒක මගේ ජීවිතේට වැදගත් වෙයි කියලා හිතලම නෙමෙයි. අලුත් දෙයක් ඉගෙන ගන්න තිබුන ආසාවට. මේවා ඉගෙන ගෙන මොකටද අපි යනවයෑ ඕවා කරන්න කියන අදහස මට කවදාවත් තිබිලත් නෑ ඉදිරියේදි එහෙම හිතන්නෙත් නෑ. සමහරු මම කරන වැඩ දිහා බලලා මගේ වයස අහන්නේ එක පුද්ගලයෙක් මේ වගේ විවිද අංශ ‍රැසක දක්ෂකම් පෙන්වන්නේ කොහොමද කියලා විශ්වාසෙට ගන්න බැරිව වගේ. තනිකඩ සරාගේ වනගත ජීවිතය ගැන බැද්දේ සතා සීපාවා එක්ක උරුට්‍ටු අල්ලපු හැටි ගැන එහෙම ඉස්සරහට කියවන්න පුළුවන් වේවි.

එතෙක් ‍රැඳී සිටින්න....සරාගේ ලෝකය සමඟ.....!!!


30 comments:

  1. මාත් ඔය කිතුල් මල් තැලිල්ල ගැන නම් අහලා තියෙනවා.... හැබැයි දැකලා නම් නෑ... අනිත් ක්‍රම දෙක නම් අදමයි ඇහුවේ... කිතුල් රා නම් ඇති වෙන්න බීලත් තියෙනවා.. හි හි... හකුරු බෝලත් කාලා තියෙනවා අපේ ආච්චි හදපු දවසක... හි හි... ඒව නං මරු...

    ඉගෙන ගන්න දෙයක් වැඩක් නැති වෙන්නේ නෑ කවදාවත්... ඒකනේ මාත් ඔය බැරි බැරි ගාතේ හරි අපේ මහත්තයගේ ගරාජ් වැඩට උදවුවට යන්නේ.... හි හි.. අඩු ගානේ යතුර ටික ගැන හරි ඉගෙන ගත්තේ බැන්ඳට පස්සේ... හි හි.. ඔය සාරා අයියා මේ පෝස්ට් එකේ පාවිච්චි කළා වගේ අගක් මුලක් නැති වචනයක් ඇහුනම ගොනා සේ අහනවා.... ඒ මොකද්ද ඒ.... කියලා.. අපේ මහත්තයත් ඉතිං කියලා දෙනවා... (ඊළඟ දවස වෙනකොට අමතක වෙන එක වෙනම කතාවක්... හි හි) හිටපු ගමන් කෝල් කරලා වැඩපොලේ මැෂින්ස් වලට ඕනේ ඒවාත් මගෙන් අහනවා.. හි හි.. මම දන්න ඉලෙක්ට්‍රොනික්... ඒත් ඉතිං දන්න විදියට කිව්වම එයත් අල්ල ගන්නවා... මට ඒක මතක් උනා ඔන්න මේක කියෝගෙන යනකොට....

    මම දන්නවා සරා අයියා ඕල් රවුන්ඩර් කෙනෙක් කියලා.... හි හි... ( නැතුවත් බෑ නේ... වයසේ හැටියට වැඩත් තියෙන්න එපැයි.. නේද....)

    ReplyDelete
    Replies
    1. වයසේ තරමට මම කොරපු වැඩ ගැන ඇහුවොත් නම් උණ ගන්නවා හිරුවෝ ඔයාට. ඒ නැතත් ඒවා නම් කියලා බෑ. එහෙම උනොත් බබිත් සුං උංගේ අම්මත් සුං.

      එතකොට හිරුවට කේක් හදන්න විතරක්ම නෙමේ, ගරාජ් වැඩත් පුළුවන්. ඒකත් හොඳයි දැනගත්ත එක. ලංකාවට ආවම මමත් ෂොප් එක අරින්නනේ හිතා ඉන්නේ. අපිට ටීම් එකක් විදිහට වැඩ කරන්න වත් බැරියෑ.

      //කිතුල් රා නම් ඇති වෙන්න බීලත් තියෙනවා.. හි හි...//

      එහෙනම් ඉතින් රා කට්ටක් ගහලම පටන්ගමු නේ....??

      Delete
    2. අපේ මහත්තයත් ඔහොම එකක් කියාගෙන තමා හිටියේ වෙඩින් එක දවස්වල.. ඊට පස්‌ෙස් ඒ අයිඩියාව බහිරවයා කාලද කොහෙද.. හි හි...

      ගැරැජ් දැමිල්ල ලේසි පාසු නෑ ලු..... මේ දවස්වල ලොකුම ට්‍රෙන්ඩ් එක හයිබ්‍රිඩ්නේ.. දැං ඒවා අවුරුදු 2ක් විතර පරණ නිසා ගරාජ් වලට එනවා වැඩියි.. අර ස්කෑනින් එහෙම තියන ගැරැජ් වලට වැඩ වැඩියි.... ඔන්න දානවා නං ඒ වගේ එකක් දාන්න ලෑස්ති කරගෙන එන්න....

      Delete
    3. @හිරු
      මං පලවෙනි කමෙන්ට් එක දැක්කේ දැන් නේ. යකෝ මේක මාර බඩ්ඩක් නේ. රා බීලා තියනවා.?? තෙලිජ්ජ වෙන්න ඇති.:D

      Delete
    4. නැතුව වෙන මොනවද බං. මෙයාලට ඒවත් රා වගේ තමයි. රා බීවනම් බලන්න තිබ්බා. හෙහ් හෙහ් හෙහ්... උඹ දැකලා ඇතිනේ මලිත්තියෝ රා බීලා ඉන්නවා. උන් පියාඹන්නෙත් සිග් සැග් වලට එතකොට. අනන්ත බේරලා ඇරලා තියෙනවා මම උන්ව.

      Delete
  2. කිතුල් කර්මාන්තය නගා හිටවනවා කියලා දේශපාලු අම්බරුවෝ තප්පුලන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. නමුත් මේ කර්මාන්තයෙන් යැපෙන මිනිස්සු අදටත් හිඟන්නෝ. ලංකාවේ කොච්චර කිතුල් ගස් නිකම් අපතේ යනවද? මම වරක් සුද්දෙකුට දුන්නා ඉස්තරම් කිතුල් රා ලක්ෂපාන ප්‍රදේශයේදී. ඒකා ඇහුවේ මේ බියර් කොහෙද හදන්නේ කියලා. මම ඒකාව එක්ක ගිහින් ගහ පෙන්නුවාම පුදුම වුණා. ඔබ මේ ඩී තිබෙන දැණුම ඉතා වටිනවා. පියවරෙන් පියවර අතින්අඳින ලද රූප සටහන් වලින් විස්තර කරානම් තවත් පැහැදිලි වෙනවා. මටනම් අදටත් මාස දෙක තුනකට වරක් මහනුවර දිගන ප්‍රදේශයෙන් ඉස්තරම්ම ඒවා ලැබෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහත්මයා. මම උත්සාහ කරලා බලන්නම් ඉදිරි පෝස්‍ටුවලදී. ජය වේවා.

      Delete
  3. Aththatama oya hama dekatama dakshai. Mata sathutui loke onama thanaka gihin jeewath wenna puluwan kamak oyata thiyenawa. Game wagema nagareth pita ratath.

    ReplyDelete
    Replies
    1. ඔය...! වැටෙයි මාව....!!!

      Delete
  4. ඔය කිතුල් මල් තැලිල්ල ගැන නම් අහලා තිබුනට ඔය තරම් විස්තරයක් නම් අහලා තිබුනේ නෑ... දැන් කාලේ කිතුල් ගහක් දකින්නවත් නෑනේ..

    මේ ලඟකදී මගේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක ( ඇඹිලිපිටියේ ) ගෙදරම හදාපු හකුරු නම් අරන් ආවා. අම්මෝ ඒවා න නියම හකුරු රස. කොළඹ විකුනන්න තියෙන ඒවා නම් නියම කිතුල් හකුරු නෙමේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලිහිණියෝ. දැන් ගොඩාක් තැන් වල විකුනන්නේ කිතුල් කියන නම මිසක කිතුල් වලින් කරන නිෂ්පාදන නෙමේ. කිතුල් නැතිවම නෙමේ, පුරස්නේ මිනිස්සු මේවට යොමු වෙන්නේ නෑ. ඕකට හේතු කාරනා කීපයක්ම තියනවා ඒත් කතාකරලා පලක් නැති.

      Delete
  5. සරා අන්තිමට කියපු ක්‍රමයට මෙහෙ මල් හදන්නේ. ඔය බෙහෙත් හදන්න මෙහෙ අය ගන්නවා ඇඹුල් දොඩම් යුෂ. තව කොච්චි මිරිස්. දැන් නම් මේවා කරන ය නෑ. මං පොඩි කාලේ තිබුනා ඕන තරම්. දැන් රිලව් නිසා කරන්න බෑ. අනික හොරු. රා බීපු රිලව් ගැන මං පොස්ටුවක සඳහන් කළා. මාවවුල්ලුත් එනවා නේද රා බොන්න.
    මෙහෙ ගහ ඔය ක්‍රමයට බඳින්නේ නෑ. උණ ගහක් තමයි පාවිච්චි කරන්නේ. සමහරු නගිද්දී ගහ බැඳගෙන ආපහු ලෙහල ගෙනත් තියනවා. හොරුන්ගෙන් මුට්ටිය බෙර ගන්න. සමහර එවුන් ගහේ බඩගාලත් මුට්ටිය උස්සනවා.
    නියම කිතුල් හකුරු කාල තියනවා කළවානේ දී. හදනවත් දැක්කේ එහෙදි තමා. මෙහෙ අයත් කරන්න ඇති. පුංචි කාලේ ඕව බලන්න යන්න ලැබෙන්නේ නෑ නොවැ.
    ඔය කියන පුංචි කිතුල් ගස් නම් දැකල නෑ. අර බොන්සායි වගේ වර්ගයක් නම් තියනවා සමහර ගෙවල් වල හිටවගෙන. මලුත් පිපෙනවා.
    අපේ ගේ ළඟ කිතුලක් කැපුවා අලියෙකුට ගෙනියන්න. ඒත් ඒ අය ගෙනියන්න ආවේ නෑ. ඉතින් අපි නම් ඒක දිහා බැලුවේ වත් නැහැල්ලු. :)
    කිතුල් ගහට ගම්වල මිනිස්සු හරියට සලකනවා. කපන්නේ එහෙම නෑ නොකපා බැරිම වෙලාවක ඇරෙන්න.
    මේවා කරන්න දැන් අය නම් දන්නෙත් නෑ. නීති ප්‍රශ්න නිසා දන්නා අයවත් කරන්න කැමතිත් නෑ.
    මේ මං සුමිත් අයියාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකකට දාපු කවියක්. එහෙම්මම මෙතෙන්ට පේස්ට් කළා.

    ලෙඩක් නැතුව බේතක් කවනවා දුටිම්
    වරදක් නැතත් අල්ලා බඳිනවා දුටිම්
    දුකක් නැතත් නිතරම අඬනවා දුටිම්
    කලයක් අරන් ජලයක් මනිනවා දුටිම්

    ReplyDelete
    Replies
    1. සත්තුන්ගෙන් ආරක්ෂා කොර ගන්න ඕන තමයි යාළු. හැබැයි ඉතින් මිනිස්සුන්ගෙන් නම් ආරක්ෂා කොරන්න ඕන කමක් තිබුනේ නෑ අපට. පණ තියෙන එකෙක් සාරාලගේ අඩවියේ සැරිසරන්නේ නෑ වැරදි දේකට නම්, මොකද අහු උනොත් ගුටි. හිකිස්..!!

      Delete
  6. කිතුල් ද පොල්ද බං හොදම බ්‍රෑන්ඩ් එක?

    මම නම් තලන්න දන්නේ කැකුළු මල් බොල :)

    ReplyDelete
    Replies
    1. ලපටි කැකුළු මල් නෑරම තලන්නා
      අනේ වාසනාවන් මේ මදින්නා :D

      Delete
    2. අනේ වාසනාවන් මේ “ගම” මදින්නා...

      Delete
    3. මට ඕකට ලැයිසොං කරදහියකුත් තියෙනවා බොලව්....! මම කිවුවේ ලපටි මල් තලන්න.. හිකිස්...!!!

      Delete
    4. @ සෑම්

      මගේ අත්දැකීම්වලට අනුව නම් කිතුල් තමයි සෑමෝ. පොල් රා වලට ඔළුව කැක්කුම හැදෙනවා නෙව.

      Delete
    5. පොල් රා බීලා නෑ මම නම්. පොල් මල හදන්න ලේසියි කියන්න ඇත්තද සිරා..? පැණි හදන්නත් පුළුවන් ඇති නේද පොල් රා වලින්..?

      Delete
    6. රා වලින් හදන්නේ විනාකිරි චන්දන. පැණි හදන්නේ තෙලිජ්ජ වලින්.

      Delete
  7. " සරා ගොයියා හරි මිනිහා..." තමා, අපේ මතකේ ඇරියා එහෙනං ගම ඉස්මත්තටම. ෂා.. ' කිතුල් රා ' මතක්වෙනකොටත් ආසයි. කිතුල් හකුරු, කිතුල් රා, කිතුල් පිටි, ඉතිං හොදම බෙහෙත් තමයි . රක්තවාතේට , ඇඟේ ඌෂ්ණේට, දාහේ නිමෙන්න කියාපු බෙහෙත් . කාලේකින් පරිහරනය කරන්න බැරිඋනා . හිතට දුකයි . දැන් හොඳබඩු හොයාගන්න අමාරුයි. ස්තූතියි මතක්කලාට. අහලා තියෙනවා නේද? මේ කවිය : ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් පිත්ත උඩ පියවර මැන්නා හොඳට මතක් කරන්නකෝ හිත ඇතුලේ ඇති ඉතිරි පද දෙක .

    ReplyDelete
    Replies
    1. ආයිබෝවන් යාළුවා. සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්. ඔය දන්නේ ගුනාගුණ අපූරුවට.

      ඔය කවියේ ඉතිරි පද නම් මෙහෙම නොවැ.

      උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා
      එහෙව් එකත් කවි කීමට එන්නා

      Delete
  8. " සරා ගොයියා හරි මිනිහා..." තමා, අපේ මතකේ ඇරියා එහෙනං ගම ඉස්මත්තටම. ෂා.. ' කිතුල් රා ' මතක්වෙනකොටත් ආසයි. කිතුල් හකුරු, කිතුල් රා, කිතුල් පිටි, ඉතිං හොදම බෙහෙත් තමයි . රක්තවාතේට , ඇඟේ ඌෂ්ණේට, දාහේ නිමෙන්න කියාපු බෙහෙත් . කාලේකින් පරිහරනය කරන්න බැරිඋනා . හිතට දුකයි . දැන් හොඳබඩු හොයාගන්න අමාරුයි. ස්තූතියි මතක්කලාට. අහලා තියෙනවා නේද? මේ කවිය : ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් පිත්ත උඩ පියවර මැන්නා හොඳට මතක් කරන්නකෝ හිත ඇතුලේ ඇති ඉතිරි පද දෙක .

    ReplyDelete
  9. මේක නියමයි සරා.. තව ලියපන් මේ වගේ ගම් පොජ්ජෙ වෙච්ච කතා.. උඹලෑ ගම තාමත් ඔය විදිහට තියනවද ? නැත්නම් නාගරීකරණයට ගොදුරු වෙලාද ?

    අපි පොඩි කාලෙ මට මතකයි අපේ තාත්තත් පොල් ගහකට ඔය වගේ හැර ගහලා මැද්දා.. රා ගන්ඩ.. වැඩේ එච්චර නැගලා ගියේ නෑ.. යෝධ කිතුල් ගස් දෙකක් අපේ වත්තෙත් තිබුනා.. හෙවන තමයි ගත්තු එකම ප්‍රයෝජනේ.. පස්සෙ ඒ දෙක කපලා දැම්මා.. කිතුල් බූව නම් වැදුනම් කහන බව මාත් අත් දැකීමෙන්ම දන්නවා..

    ReplyDelete
  10. සරාගෙ වැඩ නම් සිරා. අපි ආවොත් තෙලිජ්ජ ටිකක් හෙම ගන්න පුලුවනිය??
    සරා,, හකුරු හදනකොට සීනිත් පොඩ්ඩක් අනිවාර්යයෙන්ම දානවද???

    ReplyDelete
  11. ape gedara kithulak heduwa aluthen puluwannam phone no eka inbox karanna pls

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සරා භාෂා භාවිතය හරි අපූරුයි නොව ඇත්තෙන්ම කිතුල් රා වල ගුණ මොනවාද

    ReplyDelete
  14. මචන් දවස් 2,3 රා එන්නෑ...
    දවස් 21ක් යනව..

    ReplyDelete
  15. මචන් දවස් 2,3 රා එන්නෑ...
    දවස් 21ක් යනව..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....