Thursday, September 27, 2012

නංගි බබා... අද අවසාන කොටස..

                    මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
                    මට නොවෙද ළඳේ වත මනකල් 
                    උකුළු මුකුළුපෙම -මුකුළුපෙම
                    මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම 
                    මට නොවෙද ළඳේ නෙත නිලුපුල්
                    සලිත ලලිත පෙම- ලලිත පෙම

                    කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා 
                    මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා
                    සුර නඳුන් වනේ දේව ළඳුන් ආවා
                    මට මල් සරගේ දුන්න අරන් ආවා 
                    කිඳුරු ලතාවිය-දිව්‍ය කුමාරිය
                    මට මොටද ළඳේ ඇත්නම් ඔබෙ දේහ සුරූපය
   
                    සද්ධන්ත කුලේ ඇතා පිටින් එන්නම්
                    රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්
                    රන් මිරිවැඩි රන් කසී සළුත් දෙන්නම්
                    ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්
                    පොකුරු සිනාවයි-දෑස ඉනාවයි
                    ගත සුවඳ කොකුම් බිඟු රොන් හද ගීත ලතාවයි 
            

         මගේ නික්ම යාමෙන් පසුව නිවසේ වට මේස සාකච්චාවක් පැවැත්වූ බවද එයට ඇයගේ අක්කන්ඩියද පැමින සහභාගී වූ බවද නංගි බබා මාර්ගයෙන් මට දැනගන්න ලැබිනි. සකච්චාවූ කරුනු මොනවාදැයි නොදත්තද සාකච්චාව අතර මැදදී ඇගේ කාමරයට ආ අක්කන්ඩිය ඇයට ගෝරනාඩු කොට ඇත.

උඹ මොකද ඌ මත්තෙම නහින්න හදන්නේ...? මම කිවුවනේ ඌ මදාවියෙක් කියලා..! පේනවනේ දැන් අම්මටයි තාත්තටයි ඇවිත් කියලා ගිහින් තියන හරිය..!

ඇයි ඔයා දැන් ඇවිත් කියපු හරිය විතරද දන්නේ, එදා හැමෝම ඉස්සරහ කියපුවා ඔයාට ඇහුනේ නැතිද..? ඒ කොල්ලා මෙතනට ඇවිත් හැමෝටම කියලත් කවුරුවත් ඒ වචනෙකටවත් සැලකුවේ නැති නිසා තමයි ඌ අද ඇවිත් එහෙම කියලා ගියේ..!

එයා කියන කියන විදිහට වැඩ කරන්න අපි කවුද..?

දකින පමාවෙන් අකමැතියි කිව්වේ එයා කවුද කියලාවත් හොයා බලලද..? දැන් විසි පහ එනවා කිවුවනේ ඒ ආවහම ඔයාලා කවුද කියලා එයාටම කියලා දෙන්නකෝ..! ආයේ මොකටද මට කියන්නේ..!

එනකම් තමයි බලා ඉන්නේ, මෙයාගෙත් හිතේ ඇති යන්න..!

යනවා තමයි ඇවිත් කතා කරොත්..!

ආ.... යවන්නම්.. පෙනේද මෙයාගේ කතා. ඉඳපන් මම දැන්මම දෙකක් කතාකරන්න උන්දැට.

හෙලෝ..!

අපි කවුරු කියලා හිතාගෙනදෑවිත් තර්ජණය කරලා ගිහින් තියෙන්නේ...?

කරුණා කරලා මට කියනවද මේ කවුද කතා කරන්නේ කියලා..!

මම උදේනිගෙ අක්කා..!

ආ.. එයාද මේ හරි හරි හරි. දැන් කවුද කාටද ඔය තර්ජනේ කරලා තියෙන්නේ...?

විහිලුවක් කියලා හිතුවද අපි..?

මේ හලෝ තමුන් කවුරු උනත් මට වැඩක් නෑ. මම කියන්න ඕනදේ කියන්න ඕන අයට කියලා තියෙන්නේ, ප්‍රශ්නයක් තියනවා නම් එයාලගෙන් අහගන්නවා. හැබැයි එකක් හොඳට මතක තියා ගන්නවා. වැරදිලාවත් තමුන් ආයේ මේ නම්බර් එක ඩයල් කරලා තිබුනොත් මම තමයි තමුන් දැකපු නරකම රස්තියාදු කාරයා වෙන්නේ හරී. තියන්නම්..!

අවසන ඇය නික්මගොස් ඇත්තේ තවත් බොහෝ වේලාවක් මවු පියන් සමඟ මුලුතැන් ගෙයට වැද කු‍ටු කු‍ටු ගෑමෙන් අනතුරුවය.
පසුදා උදෑසනම පවුලේ ප්‍රධානම නෑදෑයන් සියළු දෙනාම නංගි බබාලාගේ නිවසට පැමින ඇත. ඔවුන් බොහෝ වේලාවක් පෙර සිදුවීම් පිළිබඳ සාකච්චා කල බවද ඇය මට කීවාය. ඇතැමෙක් ඇයට විහිළු කල අතර තවත් අය උපදෙස් දුන් බවද කීවාය.

අපෙ අප්පේ.. සුද්දිත් ඉඳල ඉඳලා හොයාගෙන තියෙන්නේ මහ පොරිසාදයෙක්වනේ.

අනේ එහෙමනම් නෑ ඕං..! මෙයාලගේ විකාරනේ බාප්පේ ඔය. ඔයා කතාකරලා බලන්නකෝ දවසක එතකොට ඔයාට තේරෙයි.

කමක් නෑ කමක් නෑ, එහෙම කෙනෙකුත් පවුලට ඕන.

හ්ම්.. අපි මේ කටයුත්ත කරලා දෙන්නම්. හැබැයි පස්සෙන් පහු අපට කංකෙඳිරි ගානවා නෙමෙයි ඕං..!
ලොකු මාමා එසේ කියා ඇත.

දැන් එහෙනම් මේ කටයුත්ත තීන්දුයි කියලා ඒ ළමයට කියන්න වෙයි නේද..?

අර මොකටද..? දැන් ඔය අනික් ඒවත් දැනගෙන තියෙන්නේ අපි කියලයෑ. අඩු නැතිව සේරම කනේ තියන්නැතැයි මෙයැයි..!
මව එසේ කියා ඇත.

එහෙම කියලා හරියනවයෑ. විසිපස් වෙනිදා වෙනකොට මේ කටයුතු එකලාසයක් කරන්න නම් ඉතින් දෙගොල්ලොම කතා බහ කරගෙන තීරනේකට එන්ඩ වෙයි. 

ආයේ අමුතුවෙන් කතාවක් ඕන නෑ අපි අපට පුලුවන් උපරිමෙන් මෙහෙ වැඩ ටික කරමු. නැත්නම් රටටලෝකෙට මූන දෙන්න බැරිව යන්නේ අපට නෙව. මෙයාලට ඕවා දැන්ම තේරෙන්නේ නෑ, ඒකට තව කලක් යනවා. උන්දෑ කරගන්න දෙයක් කරගෙන එදාට එන්නේ නැතෑ. මවගේ මෙන්ම පියාගේද අදහස වී ඇත්තේ එයයි.

අළුත් ආරංචියයක් ලද සැනින් නංගි බබා මට දැන් වූවාය. ඇය සතුටෙන් ඉපිලෙමින් උන්නාය. මමිතුරන් සියළු කටයුතු වෙන වෙනම බාර ගත්තෝය.

හැබැයි බාර ගත්තා වගෙම වැඩටික එලට තියෙන්නෝන හරි..!

හරි හරි බං.. මේවා අපි පුරුදු වෙන්න කරනවයෑ. දැන් කොල්ලෝ කීදෙනෙකුගේ මගුල් ගෙවල් අපි ඇරේන්ජ් කරලා තියෙනවද.. ? උඹත් හරියට දන්නෑ වගෙනේ කතා කරන්නේ..!

අනේ නෑ .. මම හොඳට දන්න හින්ද තමයි මේ කියන්නේ.
දැනගනිවු එකෙක් හරි බුල ගහලා තිබුනොත් $#නවා මම.

ඒකනම් ඇත්ත  කොච්චර මැරීගෙන කෙරුවත් එකෙක් වත් මේ වෙනකම් හොඳක් කියලා තියනවෑ. උඹ කියලත් වෙනසක් තියෙන එකක් නෑ. අවුලක් නෑ අපිටත් දවසක් එනවනේ...!

මා කොපමණ දේ කීවද ඔවුන් අපූරු මිතුරන්ය. සැපේදී මෙන්ම දුකේදී ද ඔවුන් මා අතැර නොගියෝය. සියලු දෙනාගේ කැපවීම හා මහන්සිය නිසා සියළුමදේ අකුරටම සිදුවූ අතර කාලයද ඉක්ම ගොස් තිබුනා.

විසි පස් වෙනිදා උදේ සුභ මොහොතින් මා ඇතුලු තරුන පිරිසක් නංගි බබාලාගේ නිවස කරා ගියෙමු. ඔවුන් ඉතා සුහද ලෙස අප පිළිගත් අතර,ඉතා චාම් ලෙස උත්සවයක් සූදානම් කර තිබුනා. සියළුදෙනාම අප සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව චාරිත්‍රාණුකූලව විවාහ කටයුතු සිදු කෙරුනා.

ඊටත් පස්සේ ඉතින් දිල්වාලේ දුල් හානියා ලේ ජායේන්ගේ තමයි ඉතින්.

පසු වදන:

ඔය විදිහට දන්න සෙල්ලම් දාලා හයි කරගත්ත මංගල්ලෙත් කරගෙන ඉන්න ගමන් අපි ආපහු රට යන්න උවමනා දේවල් සූදානම් කරා. හැමදේම පිළිවෙලක් කරාටත් පස්සෙයි දැනගත්තේ මම අල්ලපු අඩව්වක් මිස් වෙලා කියලා.
ඈහ්... තේරුනේ නෑ වගේද.
හරි එහෙනම් මම පහැදිලිව කියන්නම්කෝ.
ගමනට පෙර සූදානමක් හැටියට වෛද්‍ය පරීක්ෂනයක් කරානේ.ආන් ඒවෙලාවේ තමයි කිවුවේ අපේ කූඩුවට තුන් වෙනියෙක් එන ලකුනු පහල වෙලා කියලා. මට හිතෙන්නේ පලවෙනි දවසෙම බඩු පැකට්. අනේ ඉතින් මුන්දෑ නැතුව මට ඔය රට රාජ්ජ වල ගෙහුං මක්කටැයි. මමත් එකෙන්ම කැන්සල් කොලා ගමන. ඊට පස්සේ දන්න කරුමාන්තේ කොරගෙන ටික දොහක් ඉන්න කොට අම්මන්ඩි වගේම හැඩකාර දූ ඩිංගකුත් අපි අතරට ආවා. එයැයි තමයි ඔය බ්ලොග් එකේ වම්පැත්තේ උඩ ඉන්නේ. නම ඉතින් මම කලිනුත් කියලා තියනවනේ උදම්සා සත්නදී. දන්න කියන අය නම් කියන්නේ එයාගේ හැඩ අම්මගේ වගේ උනාට වැඩ නම් තනිකරම තාත්තගේ වගේමලු.

ඉතින් යාලුවනේ ..නංගි බබා කතාව නම් මම අදින් අවසන් කරනවා. පුරා මාස 5කටත් වඩා කාලයක් නංගි බබා කියවන්න ආපු කියවපු ඔයාලට ගොඩාක් ස්තූතියි. ඊලඟට මම කියන්න හිතාගෙන ඉන්නේ සරා ගෙදර හිටපු සංධියේ කො‍රැව්ව අපත වැඩ ටිකක්.
අපේ තාත්තා මට කතා කරන්නේ චූටි කොල්ලා කියලා.ඒ ඉතින් ආදරේට.
හැබැයි ගමේ උන් නම් මම නැති තැන මාව හඳුන්වන්නේ ගලේ කෑල්ලේ කොල්ලා කියලා. ඒ ඉතින් කන්ඩ තරහෙන්.
ඇයි ඒ..?
ඇත්තටම සරා එහෙම නරකයෙක්ද...?
සරාගේ දඩබ්බරයෙක් උනේ කවුරු නිසාද....?


මේහැම පුරස්නෙටම උත්තර අරගෙන ආයෙත් මම එනවා ඉක්මනටම හොඳේ..!

Sunday, September 23, 2012

නංගි බබා 18....

                           


                            මගෙ ජීවන තුරු වදුලේ
                            රස සිඟිති සිනහ පෑවේ
                            මට ආදර වදන් කියා
                            ඔබ සිනා සෙන්න ඕනේ
                            ඔබ මලක් වගේ කොමලයි
                            රස සිඟිති කතා දෝතයි
                            මගෙ ආදර සුදු නංගී 
                            සුර සිහින ලොවේ ‍රැජිනී 
                            මගෙ ජීවන ඟංගාවේ
                            ඔබ පෙම් තරංග මැව්වේ
                            මගෙ ආදර සුදු නංගී
                            සුර සිහින ලොවේ ‍රැජිනී






මා එසේ විමසීමත් සමගම ඇයට ඉකි ගැසින.
ඒයි...ඒයි .. මේ මම කියලා තියනවානේ මම කැමති නෑ ඔයා අඬනවට කියලා. කරුණාකරලා මට කියන්න මොනාද සිද්ධ උනේ කියලා. නැත්නම් මම මේ ගමන් ඔහේ එනවා.දන්නවනේ මම කියනදේ කරනවා කියලා...!
එයාලා කැමති නෑළු අයියේ...!
එයාලා කියන්නේ කාටද..? පැහැදිලිව කියන්නකෝ...!
ඔයා ගියාට පස්සේ ගෙදර කට්ටිය ඔයා ගැන කතාකරා..!
ඔව් ඉතින්..?
අක්ක කිව්වා ඔයා දාමරිකයෙක් වගේ පෙනුමෙන් කතාවත් ඒ වගේළු. එයා කොහොමටවත් කැමති නෑ කිවුවා...!
ඉතින් ඒකි කැමති උනත් මොකටද, මම ආවේ ඒකිව බඳින්නයෑ..? මට ඕන උඹවනේ..!

ඊට පස්සේ තාත්තත් කිවුවා මහ මිනිස්සු එක්ක තරහයි කියලා අවුරුදු ගානක් ගෙදර නොගිහින් ඉන්නේ මුරන්ඩු කමටනේ, එහෙම පෝරිසාදයෙක් එක්ක කොහොමද මේ අහිංසක කෙල්ල ජීවත් වෙන්නේ මටත් ඇල්ලුවේ නෑ ඒ කොලුවගේ කතාව.මගෙත් මනාපයක් නෑ ඕං කියලා...!

ඊට පස්සේ...?

ඒවා ඉතින් ඔයාලට ඕන හැටියක් ,මට නම් මේ ගැන මොකුත් කියන්න බෑ කියලා නිමල් අයියා නම් ගියා. අම්මා කිවුවා තාත්තගේ වචනවලට පිටින් යන්න බෑනේ අපිට,එයා කියන දෙයක් කරමු.ඒ ලමයට කතා කරලා කියන්න අපි මේ කටයුත්තට කැමති නෑ කියලා කිවුවා කියලා..!

ඉතින් ඔයා මොනාද කිවුවේ...?
මම කිවුවා මට බැහැ එහෙම කියන්න මට ඔයා ඕන කියලා..!
හ්ම්....!!
අම්මා කිවුවා ඔය ලමයට බැරිනම් මම කියන්නම්කෝ ඒ ලමයට කතා කරලා හෙට  කියලා. සමහරවිට හෙට උදේ අම්මා ඔයාට කතා කරයි..!
එහෙමද...? හොඳයි හොඳයි. අපි එහෙනම් හෙට එයාලා කතා කරනකම් ඉමුකෝ නේද..?

ඔයා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ..?
මොකුත් නෑ නංගි බබා . ඔයා කලබල වෙන්න එපා, මම ඉන්නවනේ. මාව විස්වාශයි නේද ඔයාට...?

ඔව් මහත්තයෝ මට මාවවත් විස්වාශ නැති තරමට මම ඔයාව විස්වාශ කරනවා.
එහෙනම් ඒ ඇති හොඳටෝම.අපි බලාගෙන ඉමු එයාලම පටන් ගන්නකම්. හැබැයි කවුරු පටන් ගත්තත් දිනුම් කනුවට යන්නේ මුලින්ම මම. ඒක මගේ ලේවල තියන දෙයක්. හැම වෙලවෙම මම කියනවා වගේ මගේ තාත්තා මාව හදලා තියෙන්නේ ආත්ම විස්වාශය කියන මැටි වලින්. ඒකයි එයාටවත් තාම මම පැරදුනා දකින්න නොලැබුනේ. වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද කියලා කතාවක් තියෙනවානේ. දැන් සතුටෙන් නිදා ගන්න මයෙ මැණික. ආයේ අඬන්න ඔට්‍ටු නෑ හරී..!
හා...!
එහෙම බෑ පොරොන්දු වෙන්නෝන..!
මම අඬන්නෑ ආයේ සත්තයි..!
හොඳයි බුදු සරණයි ඔයාට..!

මොකෝ ඕයි අවුල..?
මොකුත් නෑ තුෂාරයා.මුං අවුලක් හදා ගන්නයි දඟලන්නේ.මනුස්සයෙකුගේ හැඟීම් වලට ගරු නොකරන එවුන් මට දිරවන්නේ නෑ කියලා මම උඹට අමුතුවෙන් කියන්නෝන නෑනේ...!
මට තියෙන ප්‍රශ්නේ මම හොදින් වැඩක් කරන්න හැදුවොත් මොකෙක් හරි බාල්දියක් අදිනවමනේ...! අන්තිමට නරක මිනිහා වෙන්නේ මම...!

ඩෝන්ට් වොරි බ්‍රදර්..! ඕවා ඔහොම තමයි, අපි ජංගි මැහුවොත් උපදින්නෙම කොල්ලෝ..!
ඒ මොක උනත් මුං තොරගත්ත එකා නම් වැරදීයි වගේ තුෂාර, බලමු ඇමෙන් බැරිනම් කොක්කෙන්..! කොහෙන් හරි නවත්තපං දෙකක් ඇනගෙනම යන්න..!


පසුදින දහවල මට දුර ඇමතුමක් ආවා නංගි බබාලගේ ගෙදරින්.
හෙලෝ..!
හෙලෝ සරත් පුතාද..?
ඔව් කවුද මේ..?
පුතේ මම නංගි බබාගේ අම්මා..!
ඔව් අම්මේ කියන්න..!
පුතා මේක අහලා අපිත් එක්ක තරහා වෙන්න නම් එපා. මම මේ මගේම දරුවෙක් හැටියට හිතලයි කියන්නේ.!!
හරි අම්මේ තරහ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න කලින් මම කතාව අහලා ඉන්න එපායෑ. ඔයා කතාව කියන්න ඊට පස්සේ මම තීරණය කරන්නම් තරහවෙනවද නැද්ද කියලා.

මේකයි පුතේ තාත්තා කිවුවා එයා මේ කටයුත්තට කැමතිනෑ කියලා. අපට ඉතින් එයාට ඉහලින් යන්නත් පුළුවන්කමක් නෑ දරුවෝ.
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නකෝ අම්මේ.මට අකමැති වෙන්න හේතු විදිහට තාත්තා කිවුවේ මොනවද..?

එහෙමට විශේෂ කාරනාවක් නම් කිවුවේ නෑ දරුවෝ ඉතින්..!
එහෙම හෑල්ලුවට හිතලා අකමැති වෙන්න මේ කාරණව සෙල්ලමක්ද අම්මේ. මම ආවේ ගෙදර පරණ බඩු එකතු කරන්න නෙමේ. කසාදයක් ගැන කතා කරන්න. ඒකත් මම යාළුවෙලා ඉන්න ගෑණු ලමයා ගැන. විශේෂ හේතුවක් නැතුව එයාට මට අකමැතියි කියන්න බෑ කොහොමවත්. එහෙම කිවුවත් මම ඒක පිළිඅරන් නිකා ඉන්නේ නෑ. මොකක්ද ප්‍රශ්නේ. අපේ කුල මල ගැලපෙන්නේ නැද්ද, එහෙමත් නැත්නම් වත් පොහොසත් කම් ,මගේ රක්ෂාව, අපි ඉන්න සමාජ මට්ටම ඔය කොයිකෙන්ද අපි නොගැලපෙන්නේ..?

අනේ දරුවෝ ඔය මොකුත්ම මට කිවුවේ නෑ. මම කියනවට මේ සම්බන්දේ  නතර කරලා දාන්න. මගේ දරුවෙක් වගේමයි කියලා හිතලයි මම මේ කියන්නේ. ඔය ඕන තරම් ගෑණු ළමයි පීරිමි ළමයි අතර ඔයවගේ පලහිලව් ඇතිවෙලා නැතිවෙලා යන්නේ,එහෙම හිතලා මේක අමතක කරලා දාන්න පුතේ...!
ඉවසීම සියළු කඩ ඉම්පසු කොටැ අවසන්ය. ඉදින් තවත් මේ සංවාදයේ යෙදීමට මට හැකියාවක් නොමැති නිසාවෙන් මමදුරකතනය විසංධි කලෙමි. ඔවුන් ඔවුන්ගේ තීරණය නොපැකිල මාහට පවසා අවසන්ය.දැන් ඇත්තේ මගේ අවස්ථාවයි.මේ මාගේ ජීවිතය පිළිඹඳ ප්‍රශ්ණයකි. එම නිසා ප්‍රමාද විය නොහැක.

දෙපැයක් ඉක්මයාමටත් මත්තෙන් මා ඔවුන්ගේ නිවස ඉදිරි පිටය.
ආ... මේ මේ ළමයානේ..!
මම බැලුවා කවුද කියලා..!
ඔයාලා මාව අඳුරනවද අම්මේ...?
මොකෝ ඊයෙත් මෙහෙ ආව ළමයව මට අඳුරන්න බැරි. නෑ අම්මේ ඔයාලා මාව දැකලා විතරයි, අඳුනගෙන නෑ. කෝ තාත්තා එයාටත් ටිකක් එන්න කියන්නකෝ..!
ආ මොකෝ මේ ලමයා අදත් මේ පැත්තේ..?
එසේ අසමින් පියාද එලියට ආවේය.

දැන් ටිකකට කලින් අම්මා කතාකරලා ඔයාගේ තීරණය මට කිවුවා තාත්තේ. මම ආවේ මගේ තීරණෙත් ඔයාටම කියලා යන්න..!
ඔව් මොකක්ද ඔය ළමයගේ තීරණය...!
මම ඊයේ ඇවිත් කතාකරේ මට බොහොම වැදගත් කාරණාවක් ගැන.මට දැනුනු විදිහට මගේ හැඟීම් ඔයාලා තඹේකට මායිම් කරලා නෑ. ඒනිසාම මම ආයේ ලබන 25 වෙනිදටත් මේ විදිහටම මෙහෙට එනවා. ඒ එන්නේ නංගි බබාව එක්ක යන්න. එදාට එයාව මනමාලියෙක් විදිහට මට බාර දෙනවද,නැත්නම් මේ විදිහටම එක්ක යන්න අරිනවද කියන එක ඔයාලම තීරණය කරන්න.
කොහොම උනත් මම එදාට එයාව ගෙනියනවා...!

එහෙම කොහොමද කරන්නේ...?

තාත්තේ මට හුඟාක් අයට වගේ කෙනෙක්ගෙන් බැගෑපත් වෙලා යමක් ඉල්ලන තාලේ තේරෙන්නේ නෑ. මම දන්නේ මේ විදිහ විතරයි. ඔයාලා ඒකට කැමති නැත්නම් මාව නවත්තන්න ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්.මගේ කිසිම විරුද්දත්වයක් නෑ ඒකට. හැබැයි එකක් මාව නවත්වන එකත් ලේසි වැඩක් නොවෙන නිසා.එක්කෙනෙක් දෙන්නෙක් නම් මදිවෙයි. මෙහෙ මුල් ගං කාරයො උනු ඔයාලටත් යමක් කරන්න පුලුවන් ඇතිනේ. උත්සාහ කරලා බලන්න.25 උදේ දහයට මම ආයේ මෙහේ.

25 වෙනිදට තව සතියයිනේ  පුතේ වැඩිහිටි කැමැත්තක් තිබුනත් සතියකින් මගුල් ගෙයක් කරන්න පුලුවන් කමක් නෑනේ.

අපේ කතාවට අම්මාද මැදිහත් උනාය.

මම බෑ කියලා කිසි දෙයක් අත ඇරලා නෑ.ඔයාලා නොකරට මම මේ කෙල්ලව මනමාලියෙක් කරනවා. හැබැයි ආයේ කවදාවත් අපේ වැඩිහිටියෝ මුන ගැහෙන්න මේවා ගැන කතාකරන්න, අරවට මේවට කියලා මම ඔයාලට අවස්ථාවක් දෙන්නේ නෑ. මොකද ඔයාලා තුට්‍ටුවකටවත් මායිම් නොකර ඇරියේ මගේ ජීවිතේ. මම එහෙම අය එක්ක ගනු දෙනු කරන්නේ මේ විදිහට.

එහෙනම් මම ගිහින් එන්නම්..!

නංගි බබා මම ගිහින් එන්නම්.සතුටින් ඉන්න..!



ඊට පස්සේ මොකද උනේ කියලා දැන ගන්නම ඕනනම් ඊලඟ කොටස බලන්න වෙනවා....!

මම ගෙහුං එන්ඩද ආයිබොවං...!!


Thursday, September 20, 2012

නංගි බබා 17...

                                   


                           මිදි ඇඹුලයි කියලා කියූ කතාවේ මා තනිඋනා එදා..
                           චංචල ළඳක් උනාද ඔබ මා ඇසුරු කලා කියලා..

                           මායිම් නැති ලෝකයක් කරා අප පියවර මැනලා..
                           ජීවිතයේ මුල මැද අග සෙවුවා හදින් හදක් පුබුදා..

                           තලා වැ‍ටුම් දහසක් ගෙවලා මී වද පැණි පිරුවා..
                           රුචි රුචි කුසුමේ පෙති දිග හැරුනා සිතුම් පැතුම් සනහා..



ඇත්ත වශයෙන්ම..! ඔයාට අවස්ථාව තියෙනවා කියන්න මල්ලි..!
මේකයි මහත්තයෝ.. මේ කටයුත්ත කරන්න අවශ්‍ය කරන මූලික කරුණු සීයට අසූවකටත් වැඩිය කොටසක් මම මේ වෙනකොට සූදානම් කරලා ඉවරයි. ඒ කියන්නේ මා ලඟ තියනවා කියන එක. එකින් එක ඒවා පිලිවෙලින් දක්වනවා නම් ගෑණු ලමයා මට කැමතියි ඒනිසා සීයට පණහක් හරි. ඊලගට එයාව කසාද බඳින්න එයාට ඉන්න හිටින්න කන්න බොන්න අඳින්න පළඳින්න දෙන්න හැකියාව මට තියන නිසා තවත් සීයට විසි පහක් එකතු කරගතහැකියි. ඊට අමතරව නීත්‍යානුකූලව ඒවා කරගන්නා ආකාරයයි ඒවාට අවශ්‍ය පුද්ගලයොයි හොයා ගන්න එකයි මට කරගන්න පුලුවන් නිසා මට තව සීයට පහක් විතර එකතු කරගන්න පුලුවන් නේද..?
මම ඉගෙන ගත්ත ගනන් සාස්තරේට අනුවනම් අසූවක් ගියහම ඉතිරි වෙන්නේ තව විස්සයි. ඒතමයි දෙපාර්ශවයේ වැඩිහිටි කැමැත්ත. මම ඒක එක පාර්ශවයකට දහය ගානේ දෙකට බෙදනවා. එහෙම සාධාරණයි නේද නිමල් මහත්තයෝ...?

අපි අහන් ඉන්නේ මල්ලි ඔයා කියන්නකෝ..!

ඔව්.. එහෙමනම් හදිසියේවත් මේ කටයුත්තට යම් පාර්ශවයක් අකමැති උනොත් මට අඩුවෙන්නේ සීයට දහයයි. ඉතින් සීයට අනූවක් අතේ තියාගෙන  දහයක් අඩුයි කියලා දිනුම අතාරින පුරුද්දක් මට තිබිලත් නෑ, අනාගතේදි එහෙම කරන්න මගේ අදහසකුත් නෑ.ඒ නිසා හැමෝම කතාබහ කරලා හැමෝටම සතු‍ටු වෙන්න පුලුවන් විදිහේ තීරණයකට ඒවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලා දැන් පැය දෙකහමාරක් විතර මාව ඉන්ටර්වීව් කලානේ. එහෙනම් මට යන්න අවසර..!

හොඳයි හොඳයි..! අපි කියපු විදිහට වැඩිහිටියෝ කතා බහ කරලා තීරණයක් අරන් දැනුම් දෙන්නම්කෝ...!

මොකුත් හිතන්න එපා නංගි බබා මම ආයේ එනවා..!
ඔයාට බුදු සරණයි අයියේ පරිස්සමට ගිහින් එන්න..!
ආපසු එන ගමනේදී මසිතට වදදුන් එකම කාරණයක් විය. ඒනම් නංගි බබාලගේ පාර්ශවයේ තීරණය කුමක් උවද එය මට අදාලනැත. එහෙත් මගේ පැත්තෙන් සියළු කාරණා කටයුතු සම්පූර්ණ කිරීම මගේ වගකීමයි. එසේ හෙයින් මා අපේ ගෙදර යායුතුවම ඇත. මට කල නොහැක්කේද එයමය. හේතුව මම මහා අහංකාර කොළුවෙකු වීමයි.මීට වසර කීපයකට පෙර මා අපේ නිවසින් පිට වූයේ නැවත එහි පය නොතබන බවට සපත වෙමිනි.

එදා මෙදා තුර කොපමණ කරදර ආවද මාපියන් වෙත යාමට මට මගේ අහංකාර සිත එකඟ කරවා ගැනීමට නොහැකිවිය. තනිව ජීවිතයට මුහුණ දීමට,අභියෝග හමුවේ නොසැලී සිටීමට ජීවිතය ජය ගැනීමට එය වෙස්වලාගත් ආශීර්වාදයක් වූවා යයිද වරෙක මට සිතේ. අදද මට එලෙසින් සිටිය හැක. එහෙත් යම් හෙයකින් නංගි බබාලගේ දෙමව්පියන් අපේ නිවසට යායුතු යැයි පැවසුවහොත් මා කරන්නේ කුමක්ද..?

 ###ක් නිසා ගෙම්බෙක් වීමට මට සිදුව ඇත.

ගෑණු දැරිවියගේ නෑදෑයන් ලඟ හෑල්ලු වෙනවාට වඩා දෙමාපියන් මුණ ගැසීම ලෙහෙසිය. ඉදින් තැවීමට කාරියෙක් නැත. මම කැමැත්තෙන්ම ගෙම්බෙක් වෙමි.
මා දුර කථනය ගෙන චින්තක ඇමතීමි.
හෙලෝ...!
චින්තකයා මම...!
ඔව් අයියේ කොහොමද ගිය වැඩේ..?
ඒවා මම ආවම කියන්නම්.දැන් උඹ පලයන් තුෂාරලගේ ගෙදර..!
ගිහින්...?
ගිහින් වාහනේ ලෑස්ති කරගනින් අපේ ගෙදර යන්න...!
ඕගොල්ලන්ගේ ගෙදර..??
නැතුව තොපේ ගෙදර යන්නේ මම අහවල් ලබ්බටද..? දැන්ම පලයන් මම කෙලින්ම එහෙට එනවා..!

මා තුෂාරලාගේ ගෙදරට යනවිට ගමනට ඇවැසි සියළුදේ සූදානම්ව තිබුනු හෙයින් නොනැවතී අප එපිටවල බලා ගියෙමු. අප නිවසට යනවිට රාත්‍රී නමයට පමන වුවද තාත්තා ඒවන විටත් නිවසේ නොසිටියේය. හිටිහැටියේ මගේ පැමිනීම මවගේ මෙන්ම නැගනියගේද පුදුමයට හා සතුටට කාරණයක් විය. නමුදු මම ඔවුනට අවස්ථාවක් නොතබාම දොඩන්නට වීමි.

කෝ අම්මේ තාත්තා..?
හවස රත්නපුරේ ගිහින් එන්න ගියා දරුවෝ, දැන් මග එනවා ඇති..!
හ්ම්... මට ඉක්මණට යන්න ඕනි. මම ආවේ පණිවිඩයක් කියලා යන්න..!
මොකක්ද ඉතින් ඔය හැටි කලබලේ, තාත්තා එනකම් ඉන්ඩ මම තේ ටිකක් හදන්නම්...!
තේ ඕනනෑ.. මම කියන්න ආවේ මම කසාද බඳින්න හදනවා කියලා..!
මොකක්....?
ඔව්... සමහරවිට ඒ මිනිස්සු අද හෙට මෙහෙ එයි.ඔයාලටත් එහෙ යන්න වෙයි, වෙන්නේ කොහොමද කියලා මම එහෙන් පනිවිඩයක් ආවම කියන්නම්. මම ආවේ ඔයාලට ලෑස්තිවෙලා ඉන්න කියන්න.

ගහෙන් ගෙඩි එන්නාවගේ කොහොමද ලමයෝ මගුල් ගෙවල් කරන්නේ. ඒවට පිලිවෙලක් තියනවානේ. නැකත් හදවන්න ඕන, නෑදෑයන්ට කියන්න ඕන කොච්චර වැඩ තියනවද...?

මම දැන් අම්මට එහෙම දෙයක් කිවුවේ නෑනේ මම කිවුවේ මේ පනිවිඩේ තාත්තට කියන්න කියලා විතරයි. අනික නැකැත් ගැන කරදර වෙන්න එපා. හදවන්න බැරි උනොත් මම නැකත් සල්ලි වලට ගන්නවා. පේමන්ට් එකේ ඕවා කෑල්ල විස්සයි කියලා විකුනන්න තියනවා. ඔය කියන නෑයොත් මම එතනින්ම ගන්නම්. ඔයාලා ඒ ගැන වද වෙන්න එපා. මම යනවා එහෙනම්...!

අවුරුදු ගානකින් ඇවිත් බත් කටක් වත් කාලා පලයන් මයෙ පුතේ..!
අනේ අයියේ... අද විතරක් වත් ඉඳලා යනවකෝ..!
නැගනියද මා අතේ එල්ලෙන්නට විය.
බෑ නංගෝ මම යන්න ඕන..! චින්තකයා යමන්...!
එක්කෝ ඔයාල යන්න මම ලොකුමාමව හම්බවෙලාම මොකද කියන්නේ කියලා දැනගෙනම හෙට එන්නම්...!

හ්ම්..තුෂාර අපි යමු..!
අතර මගදීමම නංගි බබාට ඇමතුවෙමි.
හෙලෝ...!
හ්ම්ම්... ඔන්න ඔයා නිසාම මම කවදාවත් නොකරන වැඩකුත් කලා අද..!
ඒ කිවුවේ..?
මම අපේ ගෙදර ගියා. අම්මටයි තාත්තටයි අපි ගැන කියන්න,කසාදෙට දින නියම කර ගන්නත් කට්ටිය ඉක්මනින් ඒවි කියලත් කීවා. තාත්තා නම් හිටියේ නෑ. මම අම්මට පනිවිඩේ කියලා ආවා. මේ එන ගමන්...!
මම කියවගෙන ගියා. එහෙත් ඇය නිහඬව අසා සිටියා පමණි.
නංගි බබා....!
ම්හ්හ්...!
ඔයා අහගෙන නේද ඉන්නේ....?
ඔව් අයියේ මට ඇහෙනවා...!
එහෙනම් ඇයි කතා නැත්තේ, මොකද ඔයා දුකෙන් වගේ..? ඔයා අඬනවා නේද ඔය....?


තව බොහොම ටිකයි තියෙන්නේ.....!
ඒටිකත් අරං මම ඉක්මණටම එනවා හොඳේ...!!
එහෙනම් ඕං අදට අවසරයි, ගෙහුං එඤ්ඤං...!!!

Tuesday, September 18, 2012

එය මෙසේ සිදුවිය... (ගොඩයාගේ ගුවන් සවාරිය)



මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බකරලා
හම්බකරපු සල්ලි මං ලඟයි...  
හරි ලස්සණ පොඩි ගෙයක් හදල සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මං ලඟයි...  


               ඇම් ඇස් ප්‍රනාන්දු මාමගේ සිංදුවකුත් කියකිය මම පෙලේන් එකට නැග්ගේ ෆුල් ජොලියේ. අදාල ආසන අංකයට ගිහින් වාඩිඋනහම මට දැනුනේ හරියට ටූලෝං ගැලියේ ගල් බංකුවක ඉඳගත්ත වගේ. 
යකෝ මුංගේ අහස් යාත්‍රා වල තියෙන්නේ මේවගේ සීට්ද...?
ඒකටත් එක්ක අපේ සිරි ලංකන් එයාර් ලයින්. අනේ අප්පේ කියලා වැඩක් නෑ.ඉඳ ගත්තම මේන් මෙච්චරක් විතර එරනවා,හරියට පාන්ඩු කම්බල ශෛලාසනය වගේ.
චෙහ්.... ඇඟ ඩිංගක් රත්කොරගන්ට මොකුත් තිබුනා නම් වැඩක් නෑ කියලා. මුංදැල මේක ලංකාවට පදින කම් සපාන් එකේ නින්දක් දාන්න තිබ්බා.
කොහේද.... මේ පෙරේත යක්කු ඒ වගේ මූලික පහසුකම්වත් දෙන එකක්යෑ මගීන්ට.
ඒකට සිරි ලංකන් එකේ, කනමදයා වගේ බොතහැකි ඔනෑ එකෙකුට. හිතේ ඇති උන නුරුස්නා ගතිය යන්නත් එක්ක මම ආජා තුජිකෝ කෑල්ලක් හපන්න ගත්තා.

හොඳා මගේ කාලේ කාලෙකින් යමි මා ප්‍රිය බාරී කරා...
මා ප්‍රිය බාරී කරා...
ඇන්දාම තෑගි දී මේ වගෙ සාරී ලස්සණ වේවී හුරා...
ලස්සණ වේවී හුරා...

වාව්.... ලස්සණ හීනයක් දැක දැක උන්නේ. කොහෙද මේ කෙහෙල්මල් පෙලේන් එක බෙරේක් ගැහුවනේ. එහෙම පිටින්ම කඩාකප්පල් උනා මගේ ආතල් එක ෂිට්...! 
මං කොකා වගේ බෙල්ල දික්කොල්ල බැළුවේ හයි ඉස්පිරිට් වත් අල්ලලද කියලා.
ම්හු... මේක නවත්තලා නෙව තියෙන්නේ..!
මොකෑ එතකොට මේ කට්ටිය බහින්ට සූජානන් වෙන්නේ. අයිඩෙන්ටිවත් චැක් කොරනවද දන්නේ නෑ. ඒත් ඉතින් එහෙම කොරන්නේ මග නවත්තලානේ.
දැන් මේක බිමටම බාල නෙව,ඔය වගේ වැඩකට බිමට බායිද පෙලේන් එකක්...?
නැවතත් මා දෑස් පිසදමා අවට බැළුවෙමි.
බොලේ මේ සිරි ලංකාව නේද...?
හා..හා..හා.. අර ඈතින් පොල් කරටිත් පේන්නේ.. හුරේ ලංකාවට ඇවිල්ලා..!!!
මාත් දනි පනි ගාලා බහින්න සූජානං උනා. ඇක්සිට් ඩෝර් එක ලඟට එනකොටම මේං බහින්න තියෙන තරප්පු පෙල ඈත් වෙනවා.
මල මගුලයි මේක යනවා නේද...?
යකෝ තව බහින්ට උං ඉද්දි යන්නේ මූට දෙයියන්නේ හාල් කැවිලද. ඒයි..ඒයි මේ තව බහින්න කට්ටිය ඉන්නවා. කොහෙද යන්නේ..?
ඕයි මෙහෙ එනවා මේ මාවත් අරන් යනවා ඕයි..!
ක්‍රමයෙන් ඈත් වෙමින් තිබුන තරප්පුවට මම පැන්නා.
හ්ම්හ්...!!
දොහ්......
අම්මෝඕඕ............!!!!!
සරත් අයියේ... සරත් අයියේ...! මොකෝ මේ ඇඳ යට...!!! හීනයක් වත් දැක්කද...?
ඈහ් එතකොට ඒක හීනයක්ද....?
මාව වැ‍ටුනේ ප්ලයිට් එකෙන් නෙමේද...?
අම්මෝ මගේ කොන්ද...


ගෙහුං එඤ්ඤං ඈ...!

Monday, September 17, 2012

නංගි බබා 16 විවාහය සඳහා සම්මුඛ පරීක්ෂණය..





                               ප්‍රේම සිත සැනකෙලියයි ආදරේ සඳ එලියයි
                               සිනාවෙන සුදු මූණයි තාරකා ඇස් එලියයි...

                               මාරුතේ එති එතී ආදරේ සුව දෙතී
                               කවක් සේ පෙලගැසී හිත පුරා ලියලතී
                               පපුතුරේ කිතිකැවී බර වෙවී දඟ වෙතී
                               මල්සරේ හීවැදී මට නොවේ මම හිමී... 

                               පීදෙනා මල් පුරා මී පිරේ වෑහෙනා
                               රොන්සොයා පීරලා බඹරු එති ගීගයා
                               මල් වියේ පෙම්බරී ආදරේ කියු හැටී
                               සවනතේ ‍රැව්දිදී හදවතේ තුරුළුවී...





මාර  වැස්ස නේද..?
මූලාසනය හොබවපු නිමල් අයියා කතාවට මුලපිරුවා.
ඒක නේන්නම් ඒත් එහෙට නම් වැස්ස නෑ මේ වේයන්ගොඩදි තමයි වැස්ස පටන් ගත්තේ...!
එහෙට කිවුවේ...? 
කොස්ගමට..!
කොස්ගම කියන්නේ ඔය..?
අවිස්සාවේල්ලට ටිකක් කොළඹ පැත්තට..!
එතකොට එහෙ තමයි ගම නේද..? 
අපොයි නෑ, අපේ ගම නම් එපිටවල ,කිරිඇල්ල. මම ඉන්නේ කොස්ගම.
එතකොට ඒක තියෙන්නේ කොහෙද...?
රත්නපුර දිස්ත්‍රික්කයට අයිති ගමක්...!
ඉතින් ඇයි තනියම ආවේ..? 
වාව්..කර්ට්න් එක පිටි පස්සෙන් දඟ පන්දුවක්..!
ඒ සුද්දිලගේ අක්කා..!
මූලාසනය හැඳිවීමක් කලා.
මුලින්ම මම මෙයාව මුනගැහිලා කතා කරේ තනියමනේ.එයාගේ කැමැත්ත ගත්තෙත් තනියම. දැන් තියෙන්නේ දෙමවුපියෝ මුනගැහිලා කතා කර ගන්න එකනේ. අමාරු වැඩ සේරම තනියම කරගත්ත මම මොකටද මෙහාට එන්න විතර රංචුවකට අඬගහන්නේ.අනික කසාද බඳින්නේ මම විතරනේ. ඒනිසා ඒ ගමනත් මම තනියම ආවා...!
මාත් බර දාලම ගැහුවා,හතරේ සීමාවෙනුත් එහාද මන්දා. කමක් නෑ ඔන්න ඔහේ,දැනගන්නේ නැතෑ මමත් හොඳ කීඩෑවෙක් තමයි කියලා.
මොකක්ද නම කිවුවේ මල්ලිගේ...? 
නෑ ඔයාලා තවම මගේ නම ඇහුවේ නෑ.
(ඇත්ත කියන්න එපායෑ නේද..?)
හරි එහෙනම් දැන් කියන්නකෝ..!
මම සරත්, සරත් චන්ද්‍රසිරි..! 
සම්පූර්ණ නම කියනවානම්..?
මාවිත්‍ර මුදියන්සේලාගේ සරත් චන්ද්‍රසිරි..!
තාත්තා මොනවද කරන්නේ...?
පියානන් වහන්සේගේ පළමු පැනය.
අමුතුවෙන් රස්සාවක් නම් කරන්නේ නෑ,අපට රබර් ටිකක් තියනවා.ඉතින් ඒවා බලාකියාගෙන ඉන්නවා. ඊට අමතරව ඔය පතල් වැඩත් සුලුවට කරගෙන යනවා..!
ඒ කියන්නේ මැණික් මුදලාලිලද..?
අපොයි නෑ මැණික් මුදලාලිලා කියන්නේ සල්ලිකාරයෝනේ. එයා සල්ලි කාරයෙක් නෙමේ හැබැයි ඉතින් කරදරයක් නැතිව ජීවත් වෙන්න තරම් යමක් තියනවා..!
ඉතින් ඇයි අම්මලා තාත්තලා එක්ක ආවේ නැත්තේ. එයාලත් එක්ක එපායෑ මේවගේ ගමන් එන්න...!
ඒ පුරස්නේ ඇහුවේ නම් අම්මා වෙන්න ඕන කියලා මට හිතුනා. මම මූලාසනය දිහා බැලුවා. 
ඒ උදේනිගේ අම්මා..! කෝ ඉතින් සමිතලගේ අම්මත් මෙහෙට එන්නකෝ..!
ආරාධනාවත් සමඟම කර්ට්න් එක මදක් ඈත්කර ඇය  යන්තම් මුහුණ පෙන්නුවාය.
එන්ඩ එයාලා මේ ගැන දැනගෙන ඉන්න එපායෑ.මම එයාලට මේවා කියලා නැහැ..!
ඇයි ඒ..? මෙහෙම වැඩ වලදි වැඩිහිටියෝ ඕනමනේ...?
මව නැවතත් කීවාය.
සාම්ප්‍රදායනම් එහෙම වෙන්නැති. ඒත් මම ඒවා ෆලෝ කරන්නේ නෑ.අනික මම එයාලගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ.
(මම කවදටත් කොලේ වහලා ගහන එකෙක් නෙමේනේ.)
එහෙම කියලා පුලුවනෑ මේ කාරණා කටයුතු කරන්න.
ඔයාලට ඕනනම් මම එයාලව මුනගස්සන්නම්.ඔයාලා එහේ යනවද, එයාලා මෙහෙ එන්න ඕනද කියලා විතරක් මට කියන්න. මම වැඩේ පිලිවෙලක් කරන්නම්.
මොකෑ දැන් ඔය ගෙදරත් එක්ක විරසකේ...?
ඒ පාර නම් කතාකරේ තාත්තා.
ඒක නම් දිග කතාවක්. කෙටියෙන් කියනවානම් මමත් තාත්තා වගේ,ඒ නිසා මෙහෙම ඉන්නවා..!
මොනවද ඔච්චරටම හපන්නේ..?
මේ මූලාසනේ එකාටත් ඕන නැති දෙයක් නෑ.
ආ.. මේ බබල්ගම් එකක්..!
හරි හරි ඕක මේ දැන් හැදෙන අයගේ ස්ටයිල් එකක්. මොඩ් ගොවියොනේ, බුලත් කන්නේ නෑ ඒවෙනුවට චුවින්ගම් හපනවා..!
(මුගේ අම්%%@@#@**.)
හැබැයි මේකට හේතුවනම් ඒක නෙමෙයි.අර මෙහෙට හැරෙන තැන හංදියේ කඩේ මුදලාලි ලඟ මාරු සල්ලි නෑ කියලා මට බබල්ගම් දෙකක් දුන්නා. ඒකෙන් එකක් මම එවෙලෙම කටේ දාගත්තා. එකක් සාක්කුවේ තියනවා දෙන්නද.
(දැන්වත් ඕන නැති කුප්ප කතා නාහ ඉන්නැතෑ.)
ඒ අතරවාරේ අක්කන්ඩිය (ගෑණු දරුවාගේ) තේ බන්දේසියක් ගෙනැවිත් තැබුවාය.
අපි එහෙනම් තේ එකකුත් බිබීම කතාකරමු නේ..?
ආරාධනාව මුලසුනෙන්.
තාම දවල්ට කාලත් නැතුව ඇති මයෙ හිතේ.
ඒ පියානන්ගේ හඬයි.
අපොයි නෑ මම එන ගමන් මගදි කෑවා.
අර කොහෙදින්ද..?
මහ ගෙදරින්..!
මහ ගෙදර.. දැන් එහෙනම් මහ ගෙදර යන් නෑ කීවේ..?
නෑ නෑ මහ ගෙදර කියන්නේ හොටෙල් එකක්..!
ආ.. මම හිතුවා මහ ගෙදර කිවුවම ඔය ලමයින්ගේ මහගෙදර කියලා. කමක් නෑ අපි තේ ටිකක් බොමු. වැස්සත් එක්කනේ..!
කොහොමද අපේ නංගිව අඳුරන්නේ...?
හුටා.. බිස්කට් එකක් අතට ගත්තා විතරයි..
මෙයා නම් ඕනවට වැඩියි. ඕක අහන්න මම එනකම් ඉන්න ඕනද..?තමන්ගේ නංගිගෙන්ම අහගන්න තිබ්බනේ. හිතුවට කීවේ නෑ ඕං.
මම හිතන්නේ ඒකට නම් උත්තරේ මෙයත් දන්නවා. ඒනිසා නිවාඩු පාඩුවේ මෙයාගෙන්ම අහලා බලන්න..!
(තේ දීපු එක වෙනම දෙයක්. කියන්න තියනදේ කියනවා මම.)
දැන් මේ ලමයගේ පවුලේ කීදෙනෙක් ඉන්නවද..?
මමයි නංගියි විතරයි..!
නංගි බැඳලද...?
තාම නෑ..!
පව්ලේ එකම පිරිමියා නම් ඉතින් දේපල සේරම තමන්ට නොවැ..!
ක්‍රමේ ඒක උනාට මගේ එහෙම අදහසක් නෑ..!
ඒ කිවුවේ..?
මට කාගෙවත් දේවල් වැඩක් නෑ.මම හරි හම්බ කරගත් දේවල් තියනවා මට ජීවත් වෙන්න..!
තනිකඩ කාලේ ඔහොම හිතුනට පවුල් පංසල් වෙනකොට එහෙම බෑ. ඒනිසා ඔය අමනාපකම් අතෑරලා පිලිවෙලක් වෙන්ට වෙයි..!
පියානන් එසේ කීවේය. 
රබර් එහෙම මහ හුඟක් තියනවද...?
මුලසුනෙන් නැවතත් අතුරු ප්‍රශ්ණයක්.
අපෝ නෑ, අක්කර දහයක් විතර. ඒ උනාට ඒවා අපේ තාත්තගෙනේ..!
දෙමව්පියන්ගේ දේවල් ඉතින් දරුවන්ට තමයි. දෙන්නටම දුන්නත් මොකෝ..!
පියා කීවේය.
මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නෑ..!
එහෙමනම් පරස්තාවක් කරගෙන කොහේද ඉන්නේ..?
වැදගත් ප්‍රශ්ණයක්, මෑණියන්ගෙන්.
මටත් තියනවා හයිලෙවල් පාර ලඟම පොඩි ඉඩමක් පර්චස් 27 ක විතර. ගේකුත් හදන්ඩ පටන් අරන් තියෙන්නේ එතන.
ඒකෙන් ඉතින් යැපෙන්ඩ තරම් ආදායමක් එන්නේ නෑනේ..?
ඒ නිසා තමයි මම රක්ෂාවක් කරන්නේ..!
මොකක්ද මල්ලි කරන ජොබ් එක. ?
ඒකනම් ජොබ් එකක්ම නෙමෙයි. පොඩි බිස්නස් එකක්. ඉලෙක්ට්‍රොනික් අයිටම් රෙපෙයාර් කරනවා, ඒ ඇරුනම ස්පෙයා පාට්ස් විකුනණවා. ෂොප් එකත් මගෙමයි..!
කොහෙද එතකොට ඕක තියෙන්නේ..?
කොස්ගමම තමයි..!
බැන්දට පස්සෙත් ඒකම කරගෙන යනවා, එහෙමද..?
ඇත්තටම මම තාවකාලිකව ඒක නතර කරලා තියෙන්නේ, මේ දවස්වල රට රක්ෂාවක් කරන්නේ. බැඳලත් දෙන්නම එහෙ යන්න හිතාගෙන තමයි ආවේ. අවුරුදු දෙක තුනක් එහෙ ඉඳලා ඇවිත් ආයේ කඩේ කරනවා...!

එහෙම කතාවක් සුද්දිත් කිවුවා කියලා සුනිල් අයියා කිවුවා. මේකයි මල්ලි මම අද මෙතනට ඇවිත් කතා කලාට මම මේ පව්ලේ කෙනෙක් නෙමේ, අසල්වැසියෙක්. ඒ නිසා වැඩිහිටියෝ කතා බහ කරලා ඒ ගොල්ලන්ගේ කැමැත්ත අකමැත්ත මත ඉදිරි කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. ඒ හැර මට යමක් මේ ගැන කියන්න බෑ. නේද සමිතලගේ අම්මේ..?
ඔව් ඉතින් හැමදෙටම පිලිවෙලක් තියනවනේ..!
ඇය පිළිවදන් දුනි.
අනික සුද්දිගේ අයියා ඉන්නේ රට, අපිට එයාටත් මේ ගැන කියන්න ඕන. එයාගේ වචනයක් නැතුව අපි මොකුත්ම කරන්නේ නෑ.
එසේ කීවේ පියාය.
අනික ඉතින් මෙයා තනියම ඇවිත් කියපු දෙයක් හැර අපි මොකුත්ම තවම දන්නෙත් නෑනේ..!
ඕන එකටයි එපා එකටයි දෙකටම කට දාන අක්කත් මැදට පැනපි.
ඒක තමයි මම ඔයාලට විවෘත ආරාධනාවක් කලේ ඔයාලා එහෙ ගිහින් හරි එයාලට මෙහෙ එන්න කියලා හරි බලන්න කියලා..!
ඒවා කෙරෙන්න කලින් ගෙදර කට්ටියගේ අදහස් බලන්න එපායෑ..!
නැවතත් ඇයමයි.
එහෙමද...? හොඳයි එහෙනම් මටත් යමක් යමක් කියන්න තියනවා මේ නෝනලා මහත්තුරු හැමෝටම. මම ඒකත් කියලම යන්නද...?

ඔන්න කතාව ඉවර නෑ......!

වෙහෙරක් ගිල්ල මට අග්ගලාවත් කජ්ජක්ද...? නංගි බබා 17....

ඔන් ද වේ.....

Friday, September 14, 2012

අමුතු කතාවක් 15 නංගි බබා...



                                මීමැසි හඬ නැති නිසංසලේ
                                ඝනදුරු තැනක් බලා...
                                තනිවෙමු අපි ඝන වනන්තරේ
                                සුදු මල් දෙකක් වෙලා...
                                බොඳ වී ගිය නිල් අහස් වලා 
                                සයුරේ හබල් ගසා...
                                තනිවෙමු අපි අතු පැලක් හදා
                                සඳ දූපතේ සදා...
                                හිරිමල් තරු කැට එබී බලා
                                ලැජ්ජා වෙලා ගියා...
                                දිවයමු අපි ගං ඉවුර දිගේ
                                නොපෙනෙන ලොවෙන් එහා...



                    ඔයාලට මම කිවුවනේ එයා මට ආදරෙයි කියපු විදිහ. ඉතින් ඊට පස්සේ කාලය ගෙවුනා වැඩි විශේෂත්වයක් නැතිව ඒත් සතුටෙන්. ඔය අතර වාරේ මට අලුත් අදහසක් ආවා, ඒතමයි ලංකාවට එන එක. මැරි කරලා එයාත් එක්කම ආපහු යන්න. අනික රට උන්නාය කියලා මම හම්බ කරපු කෙහෙල් මලකුත් නෑනේ ඉතින්. ගන්න පඩිය බාගයක් ෆෝන් බිලට යනවා. ඉතිරි ටික ඉතින් රහ මෙර පානයට නොවැ..හික්..! ඕක නිසාත් මගේ අදහස ඉක්මනින්ම ක්‍රියාත්මක කොරන්න ඕන කියලා මම ගිහින් මාමෙයාටයි දෝනිලටයි මේ ගැන කිවුවා. පුදන කොටම කාපි යකා කියලා මට හම්බුන ප්‍රතිචාර නම් හරිම ඉහලයි.

තොට පිස්සුද මීමෝ ආපහු යන්න හදන්නේ මෙන්න මෙහෙ හි‍ටු...!
අනේ මේකට වහපන් මාමේ. උඹ තමයි අරුන් දෙන්නවත් කුලප්පු කරන්නේ...!
එතකොට දැන් මමයි වැරදි..? ‍
තෝ නේන්නම්, තමන්ගේ අතිජාත මිත්‍රයා මෙහෙම ගමනක් යන්න හදනකොට ඉතසිතින් ආශීර්වාද නොකර බාල්දි පෙරලන එක හරිද මං අහන්නේ..? ඒ මදිවට අර ක‍ටුස්සියෝ දෙන්නවත් උසි ගන්නනවා, එක දවසක් අහගෙන උන්නද උඹ උන්ගේ කර්ණ රසායන බෑඟිරි ගැහිල්ල. ඇහුවනම් ‍තෝ පයින් යන්නේ ලංකාවට...!
එහෙමද පුතේ කතාව. හිටපිය මම දැන් කතා කරලා කියනව දෝනිලට.
මෙයා හු### කරන්න හදනවා ඒ ගමන. අනේ මේ කියන තැනකට වදින්නම් උන්ට ඕවා කියන්න එපා මාමේ..!
එහෙනම් දැන් උඹ සිංහයා වගේ බිරුවේ....?
අම්මට හුඩු සිංහයා වගේ බිරුවා.... ඒකියන්නේ සිංහයෝ බුරනවද....? අඩේ මෙච්චර කාලෙකට මම අහලා නෑනේ එහෙම දෙයක්....  
මූට වැරදුනා වෙන්න බැරිද..?
වරදින්න මූත් බීලයෑ. වෙරිමරගාතේ  මට ඇහුනහැටි වෙන්නැති.
එවුවයින් වැඩක් නෑ මම නිදියනවා.  


            ඊලඟ සති අන්තයේ සියලු දෙනාට කාරණා කටයුතු පැහැදිලි කිරීමෙන් අනතුරුව මගේ ගමනට අනුමැතිය ලබා ගැනීමට හැකි උනා. සියලු ලියකියවිලි ආදිය සූදානම් කර ගැනීමෙන් අනතුරුව  2007 ජූනි 15 මම ලංකාවට ආයේ ගොඩ බැස්සා.දාහත් වෙනිදා මම නංගි බබාව මුන ගැහෙන්න ගියා. ඒ කලින් වගේ යාලුවෙක් විදිහට නෙමේ.මගේ පෙම්වතිය විදිහට.නයි කයිද රෝස් පාන් කිවුවලු. වෙනසක් නෑ මම කැමතිම අර රෝස පාට ස්කර්ට් එකයි බ්ලව්ස් එකයි ඇඳලා හිනා කටක් පුරෝගෙන එයා මාව බලන්න ආවා.
හායි.. ගුඩ් මොර්නින්ග්....!
ගුඩ් මෝර්නින්ග්...!
ඉතින් කොහොමද...?
හොඳයි..!
හොඳ බවනම් පේනවා...!
හැබෑට ඒ කොහොමද...?
ඔයා ලස්සණ වෙලා එදාටත් වැඩිය.
(තියනවානම් අත්ත අග්ගිස්සෙන්ම තියන්නෝන. මම එහෙමයි හික්.)
ආ.. ඇත්තට වෙන මොනවද..?
වෙන නේද.. ම්ම්ම් වෙන... කියන්න දේවල් නම් ගොඩයි.. මම කල්පනා කලේ මෙතන කියන්න පුලුවන්ද කියලා.
ඇයි ඒ..?
නෑ ඉතින් ඉස්සර වගේමයි පේනවද අර කාක්කෝ ‍රැල.
ටියුෂන් ජෝඩු පෙන්නමින් මම කිවුවේ අතීත සිද්දි සිහිපත් කරමින්.
හ්ම් ඒකනම් එහෙම තමයි.
මම කියන්නද අපි එදා වගේ ඇවිදන් යමු අර පාර දිගේ...!
හා..!
පුරුදු විධිහටම අපි ආයෙත් ඒ පාරෙම... ඒත් අද එයා කුඩේ ඉහලුවේ මටත් එක්කම.
මම මේ අත අල්ල ගන්නද...?
මම ටිකක් හෙමින් එයාගේ මූණ දිහා බලාගෙන ඇහුවා. එයා හිනාවෙලා ඔලුව වැනුවා. අඩේ පොල් අතු බත් කඩේ ගාවට නෙමේ දැන් යන්න බැරියෑ අනන්තයට උනත්.

මද්හෝශ් දිල් කි ධඩ්ඛන් චුප් සේ තන්හායී..
චුප් ගයා චාන්ද් ක්යු
ක්‍යා තේරී සුල්බු ලේහෛ රාහී..
මද්හෝශ් දිල් කි ධඩ්ඛන් චුප් සේ තන්හායී.. 

ආපහු යන්නත් ඕන නිසා ඉක්මනට මැරි කරමු. ඔයාවත් එක්කරන් යන්න ඕන මට.
හුම්...
හුම් නෙමේ ඔයා අදම ගෙදරට කියන්න. මම හවස ගෙදරට කතා කරන්නම්.
අනේ...... මට ලැජ්ජයි අනේ..!
හැබෑට එහෙනම් මම රිංග් කරහම අම්මට හරි තාත්තට හරි දෙන්නකො පෝන් එක මමම කියන්න.
හා.
මම මේ කල්පනා කලේ ඔය අසනීපේ දිගටම තියේවිද කියලා.
මොන අසනීපෙද ...?
ඔයාගේ ලැජ්ජාව...!
ඒ ඇයි..!
නෑ ඉතින් බැන්දටත් පස්සේ තිබුනොත් මටනේ අවුල.
මට පැහැදිලි නෑ.
කමක් නෑ මම ඒක බැන්දට පස්සෙම පැහැදිලි කරලා දෙන්නම්.
තවත් බොහෝ දේ කතාකරමින් ඇවිද ගිය අප ගමන නිමා කලේ හැකි ඉක්මනින් මේ පිලිබඳ දෙමවුපියන් සමග සාකච්චාකර ගනිමුයි තීරණය කර ගැනීමෙන් අනතුරුවය. ඊටත් පස්සේ නංගි බබා මාර්ගයෙන්ම ගෙදර අයව දැනුවත් කරලා එහෙ යන්නත් දිනයක් නියම කරගත්තා කියමුකෝ. නියමිත දිනයත් උදා වෙලා මම එහෙ ගියා. කියලා වැඩක් නෑ,එදා තමයි එදා.
           මම යනකොට මාව ඉන්ටර්වීව් කරන්නත් සූදානම් කොරලා. ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හතර දෙනයි.අම්මයි තාත්තයි අක්කයි තවත් ගොබිලෙක් උන්නා අසල්වැසියෙක් නිමල් කියලා. මගදි අනෝරා වැස්සකුත් කඩන් වැ‍ටුන නිසා මම ගෙදරට ගොඩ උනේ තෙමිච්ච කුකුලා වගේ ත‍ටු අකුලගෙන.
ෂහ්.... ඒ උපමාවනම් නියමෙට ගැලපුනා නේද. තෙමිච්ච කුකුලා..
ඒ උනාට ගමේ උන් නම් කියන්නේ තෙමුනත් නැතත් මම කුකුලම තමා කියලා.ඩී:
හැබැයි ඉතින් ඒ මීට අවුරුදු පහකට කලින් හොඳේ. වර්තමාණය ගැන කියනවානම් ඉතින්
මට මහළු වයසේ.. බැරිය වෙන ගායනා පෙරසේ...හික් හික් හික්.
          ඉස්සරහම නංගි බබාගේ තාත්තයි නිමල් අයියයි ඉඳගෙන උන්නා. ගෙට ගොඩ උනු හැටියෙම මාවත් වාඩිකරෝ ගත්තා ඒ අසලින්ම. සියලු කටයුතු සම්පූර්ණයි. දැන් ප්‍රශ්ණ ඇසීමේ වාරය. කාපු හොඳම ටොපිය නිසා මට සේරම දේවල් මතකයි ඒ ‍ටු ඉසෙඩ්. කියන්නද සේරම.මේකේ වටිනාම දේතමයි ප්‍රශ්ණ අහපු පිලිවෙල.
හ්ම්..හ්ම්.. වැඩි කතා ඕන නෑ. මම ලියන්නම්,ඔයාලාකියවලම බලන්නකෝ.
එහෙනම් ඕං ඈ...!

බනින්න එපා අයියෝ අනිත් කොටස ලඟම එනවා.
විවාහය සඳහා සම්මුඛ පරීක්ෂණය.. නංගි බබා 16...

වැඩිය කල් ගන්නේ නෑ හොදේ

Friday, September 7, 2012

පියසේන මාමා... (නූතන වීරයෙකුගේ කතාව)




               ඔන්න යාළුවනේ මේ කතාවනම් මට මතක් කරලා දුන්නේ පහුගිය පෝස්‍ටුවකට කමෙන්ට් කො‍රැවුව ඇනෝ මහත්තුරු.ඉතින් මම කතාවටම එන්ටර් වෙන්නම්කෝ වහෙන් ඔරෝ නැතුව.උක්ත.......හුටා කාගේ හරි දිව ටැපලුනොත් නරක නාමේ එන්නේ මට.සරා කුනුහබ්බ ලියනෝ කියලා. ඒ නිසා මම මෙහෙම ලියන්නම්.. පියසේන මාමා හරි අපූරු පුග්ගලයෙක්. ඇයි කියනවා නම් සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් නිහඬ චරිතයක් උනාට රා ඩිංගිත්තක් බුන්න වෙලාවට නම් හැටකට උනත් ගහනවා කාටවත් අල්ලලාවත් නවත්තනවා බොරු ඕං...!

                 ඒවගේ වෙලාවට උන්දෑ යකෙකුට වත් බයනෑ ආයේ. උදාහරනයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ.දම්මුල්ලේ හන්දියෙදී කවුරු හරි මුන්දෑ එක්ක අරෝවට ආවා කියමුකෝ. හීන්සැරේ නැට්ට කකුල් දෙක අස්සේ ගහන් මාරුවෙනවා මෙයා එතනින්.ඊට පස්සේ එනවා කඟවේනා වගේ ගෙදර. මල් පිහියත් (කිතුල් මල් කැපීම සඳහා යොදා ගන්නා පිහියක්) ඉනේ ගහගෙන නගිනවා කිතුලකට.නැගලා බොනවා රා.ලාවට වැදීගෙන එනකොට හෙමිහිට පටන් අරගෙන පදම එනකොට හඬ වැඩි කරමින් බනිනවා අර හන්දියෙදී මුන්දෑ එක්ක උරුට්‍ටු අල්ලන්න ආව එකාට, ඊලඟට උගේ අම්මා ඇතුලු හත්මුතු පරම්පරාවවම ඈඳලා.  මේකේ තියන අරුමේ නම් සිද්ධිය උන තැනයි බනින තැනයි අතර දුර සැතපුම් දෙකකටත් වඩා වැඩි වීමයි.

                  එතකොට ඉතින් ගමම දැන ගන්නවා අද පියාට මොකෙක් හරි සත්තමක් දාලා කියලා. ඇයි බොලවු මේකා කිතුල උඩ ඉඳන්නේ ජාතිය අමතන්නේ.පින්කමක් දවසට පංසලේ ලවුඩ්ස්පීකරේ වගේ ගමටම ඇහෙනවා. ඉතින් මෙයාගේ ලොකු පුතා මංජු. මගේ වයසෙමයි. හැබැයි ඉතින් මුල් ගංකාරයෝ කියලා ටිකක් හිතට අරන් ඉන්නේ.
ඉතින් මට "පාං" ද.
                 මම ගනන් ගන්නේ නෑ ඒවගේ උන්ව දනෙන් උඩට. දවසක් උගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක පංසලේදි මා එක්ක පැටලිලා හාමුදුරුවෝ මැදට පැනලා වැඩේ ෂේප් කලා. එදා මම මංජුට කිවුවා හාමුදුරුවෝ නැති තැනක නම් මේ රිලවු එක්ක මට මුන ගැහෙන්න එපා කියලා. එහෙම කිවුවට ඉතින් ඌ කියලා කොහේ යන්නද. මේක ඌ උපන් ගමනේ.
හා.... නැද්ද මම අහන්නේ...!
                 දවසක් මම අඩි පාරකින් අපේ ගෙවල් පැත්තට යනකොට (රබර් වතු මැදින් තියෙන කැලෑ පාරක්) මංජු එනවා මල් පිහියකුත් ඉනේ ගහගෙන ඒ පාරෙන්ම. මූ ලඟටම එනකොට මට නිකම්ම හිනා ගියා ඊලඟට වෙන දේ මතක් වෙලා. මම හයියෙන් හිනාවෙනකොට මංජුට නිකම්ම මගේ දිහා බැලුනා. එතකොට මෑන් මට හොඳටම ලංවෙලා. මමත් මගේ සුපුරුදු දකුණත් පහර මංජුගේ මුහුණ හරහා එල්ල කලා විදුලි වේගයෙන්. ඒ පහරේ වේගය දරා ගැනීමේ හැකියාවක් ඌට තිබුනේ නැති නිසාද කොහෙද උන්දෑ විසිවෙලා වැ‍ටුනේ පහලින් තිබුනු රබර් නෙරේට. මල් පිහියත් ඉනේ තිබුන නිසා මම හිතුවා පොර නැගිටලා එයි කියලා මං ගාවට.
මොන ... මූ නැගිට්ට ගමන් දිවුවා.
කලබලේට ගෙවල් පැත්තටත් නෙමේ,ආපු පැත්තටම. වැටෙන කොට ඉනේ තිබුන මල් පිහිය විසිවෙලා.මම ඒකත් අහුලන් තනියම හිනාවෙවී ගෙදර ගියා. හැන්දෑවේ මට ඇහුනා පියසේන මාමා ජාතිය අමතන හඬ. දවල් කරපු අලුගුත්තේරු වැඩෙත් මතක නිසා මම අහගෙන හිටියා කාටද මුන්දෑ අද බනින්නේ කියලා.
ඔය තියෙන්නේ....මූ මගේ පලු අරිනවා.
පිට ගංකාර වේ## පුතා මගේ කොල්ලට ගැහුවා.
මට අහු උනොත් ඕකා පෙති ගහනවා.හු ### පුතා.
සභාපතියා චන්ඩියෙක් හදලා අපේ දරුවන්ට පාරක යන්න විදිහක් නෑ.

යකෝ මට මූ පුතා කිය කිය අම්මටයි තාත්තටයි  නේ බනින්නේ. මම දුවලා ගිහින් කැසට් එක හයියෙන් දැම්මා. ගෙදර අයට ඇහුනොත් වසලා හමාරයි නොවැ. ඊට පස්සේ මංජුගේ මල් පිහියත් අරගෙන මම පියසේන මාමලගේ ගෙවල් පැත්තට ගියා. ගෙහුන් කිතුල් තියෙන මන්ඩියයි පියසේන මාමලගේ ගෙවලුයි අතර මැද ගලක් උඩට වෙලා ඉඳගෙන උන්නා. ටික වෙලාවකින් ඒක පාර්ශවික සංග්‍රාමය දිනපු පියසේන මාමා පල්ලම් බැස්සා.ලඟට එනකම් ඉඳලා මමත්.............
ආ..පියසේන මාමේ..!

කියලා ගලෙන් පල්ලට පැන්නා. උනේ මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දෙයක්.
මෙන්න සභාපතියගේ කොල්ලා මට ගහන්න පන්නනෝ....!!!
කියලා මේ හාදයා දුවන්න තියා ගත්තනේ. අත් දෙකේ එල්ලන් උන්න තෙජ්ජ මුට්ටි දෙකත් හැලි හැලි.

මූ කියන බොරූ...!!!!!!

මම තනියම හිතුවා. සද්දේ ඇහිලා නන්දා නැන්දා( මංජුලගේ අම්මා) උඩහට දුවන් ආවා.
මොනවද ලමයෝ මේ කරන්නේ.....!
දවල් මංජුත් එක්ක රන්ඩු උනාලු. දැන් මේ වයසක මනුස්සයා එක්ක එල්ලෙන්න ආවද.
මම කියනවා ඔය ලමයින්ගේ තාත්තත් එක්ක....! හිටින්ටකෝ...!
ඔන්න උන්දැත් බෙලි ක‍ටු මල්ල හොලවන්න ගත්තා.
අප්පේ...තල් අත්තට බොරලු ගහනවා වගේ..... 
කවුද නැන්දේ රන්ඩුවට ආවේ....!
මම බොහොම ශේප් එකේ ඇහුවා.
එහෙනම් මොකටෑ ඔය ලමයා මෙහෙට ආවේ.
මම ආවේ මේ මල් පිහිය දීලා යන්ඩ.
දවල් මංජු අතින් වැටිලා මේක.
කොහෙද ඒක කියන්ඩ හදන කොටනේ පියසේන මාමා ගාල කඩා ගත්ත ගානට දිවුවේ.
මේන් නැන්දේ පිහිය..!
මමයනවා.....!

සරා ශේප් එකේ මාරු......................!


ප/ලි 
මට මේක ලියන්න හිතුනේ ඇනෝ මහත්තුරුන්ගේ වැඩ අපේ පියසේන මාමා තරමට වත් නැති නිසා.සරාගේ ලෝකය ලියන මම මහා උගතෙක් වත් ලේඛකයෙක් වත් නෙමේ ඕං. නන්නාඳුනන රටක ඉන්න නිසා පාළුව මකා ගන්න බ්ලොග් කියවන්න ආව, එහෙම ආ වෙලාවේ හඳුනා ගත් මිතුරන්ගේ උදව්වෙන් බ්ලොගක් හදාගෙන ඒක කොටන සාමාන්‍ය එකෙක්.ඉතින් බොහොම සාර ගර්භ ලිපි විතරක් කියවන ඇනෝ මහත්තුරු සාස්ත්‍රීය ලිපි බලාපොරොත්තුව සරාගේ ලෝකයට ගොඩවදින එක නම් මහා විහිලුවක්. මොකද සරාට ඒවා ග්‍රීක් වගේ.ඌ ඒවා කියවන්නෙත් නෑ ලියන්නෙත් නෑ.

ප/ප/ලි  මේක කියවලා ඔයාල හිතයි මේ නසරානියා පන්සල් යන්නෙත් රන්ඩු වෙන්ඩ කියලා.ඒකට හේතු පාදක උනු කාරනාව ඔයාලට මම පස්සේ කියන්නම්කෝ.

Wednesday, September 5, 2012

ඇඹිටිල්ලන් කෙල්ලෙකුට පැරදුනෙමි.....




                මානසික රෝහලක වෛද්‍යවරයෙක් උදේම රෝගීන් පරීක්ෂාවේ යෙදිලා ඉන්නවා. ඔය අතරේ මේ වෛද්‍යවරයා(එක්කෝ අපි ලේසියට දොස්තර කියමුකෝ) දැක්කා පිහියකුත් අරන් තමන් දිහාට එන රෝගියෙක්ව. (එක්කෝ ඔන්න ඔහේ අපි ඌටත් ලෙඩා කියමුකෝ.) නැත්නම් මේ කරුමාන්තේ කොරන්ට අමාරුයි ආයිබෝං. ඉතින් අපේ දොස්තරට මේ ලෙඩා ගැන සැකයි.මානසික ලෙඩෙක් නොවැ . ෂුවර් කරන්න බෑනේ. අනික දොස්තරත් හැමදාම මුන්ට ඉන්ජෙක්ෂන් ගහනවා නොවැ. ඔය ගැන හිතලා උන්දෑ මේ ලෙඩාව මග ඇරලා යන්න හැදුවා.

                ම්හු...... හරියන්නේ නෑ මූ ලඟටම එනවා. ඒගමන දොස්තර ටිකක් හයියෙන් යන්න පටන් ගත්තා. ලෙඩත් දැන් හයියෙන් හයියෙන් එනවා. කොරන්න දෙයක් නෑ මම දුවනවා කියලා හිතපු  දොස්තර දුවන්න පටන් ගත්තා. අරින්නෑ මමත් කියලා හිතලද මන්දා ලෙඩත් පන්නන්න පටන් ගත්තා දොස්තර පස්සෙන්. දිවුවා වාට්‍ටු වටේම, බෑ මූ ලඟම එනවා.ඕං පැන්න එලියට. දැන් ඉස්පිරිතාලේ වටේ, අපරදේ කියන්න බෑ "හුරේ රන්". ලෙඩා උනාට අරුත් අතාරින්නෙම නෑ දොස්තරගේ පස්සෙන්මයි. බැරිම තැන දොස්තර නැග්ගා ගහකට.
                උඩට නගිනකොට මුන්දැට පේනවා අර පිස්සු පූසත් ගහ දිගේ බඩ ගානවා. පුලුවන් තරම් උඩට නැගපු දොස්තරට තේරුනා මේ පිස්සත් තමන් ලඟටම ඇවිත් කියලා. දැන් ඉතින් මොනා කරන්නද,වෙන දෙයක් වෙච්චාවේ කියලා දොස්තර මහත්තයා ඇස් දෙක පියා ගත්තා.විනාඩියක් විතර ගියා කිසිම හැල හොල්මනක් නෑ. ලාවට ඇහැක් ඇරලා බැලුවා. ලෙඩා නම් ලග ඉදගෙන ඉන්නවා තමන් දිහාට මොනවද දික් කරගෙන. ඇරියා බලන්න ඇස් හොඳට. එතකොට ලෙඩා දොස්තරට කියනවා....
අනෙ අම්මේ බං උඹට අඹ කෑල්ලක් දෙන්න තියන අමාරුව......!
කියලා. ඔයාලට හිතා ගත්තැකි නේද ඇයි මෙච්චර වෙලා ලෙඩා මේ දොස්තර පස්සේ පන්නලා තියෙන්නේ කියලා.
හ්ම්හ්..... දැන් සමහරු කියයි යකෝ අපි ඔය කතා ඇහුවෙ කෝපි කාලේ.
එතකොට උඹ මේන් මේ තරම් හිච්චි එකා. අරකද මේකද කියලා.
එහෙමනේ....?
අපොයි මොකද මම නොදන්නේ, බොලා අහන තරමක් අහන්නේ කතන්දරනේ. මට කියන්න ඕන උනේ ඕක නෙමේ. ඔය කතාව කියලා මට උන ඇබැද්දියක් ගැන. 
ඕං එහෙනම් ඒකත් අහගන්නකෝ...!
                මගේ පුංචිම  නෑනා, ඒ කියන්නේ "මනුෂි" අන්න එයා ඉලන්දාරියෙක් වෙච්ච වෙලාවේ ආයෙමත් වැරදුනා වගේ මට. ඉලන්දාරි වෙන්නේ කොල්ලෝ නේද,මක්ක හරි කමක් නෑ ඔය ගෑණු දැරිවියන්ට අවුරුදු 11ක් 12ක් විතර වෙන කොට අර ලොකු උත්සවයක් ගන්නේ. එයාගේ අන්න එවුවා එකට සහභාගි වෙන්න ගියා නොවැ මමත්.තනියම නෙවෙයි නංගි බබත් එක්කම.
                ඉතින් උත්සවය එහෙම ඉවර උනාට පස්සේ කාලෙකට පස්සේ එකතු උන නෑදෑයෝ සේරම එකට ඉඳගෙන සතු‍ටු සාමීචියේ යෙදුනා. ඉතින් ඔය අතරේ යෙදුනා විහිලු කතා කියලා අනෙක් අයව හිනස්සන  අවස්ථාවක්. හැමෝම වගේ තමන් දන්න කතා කිවුවා අනික් අයව හිනස්සන්න.
                මගේ අවස්ථාව ආවම මම කිවුවේ ඔය කතාව. මම කාතාව කියන කොටත් සමහරු හිනා වුනා. මමත් ඉතින් දන්න තරම් ආලවට්ටන් දාල කතාවකිවුවා කියමුකෝ. ඉවර වෙනකම්ම මගේ ලඟ ඉදගෙන කතාව අහගෙන හිටපු බට්ටියෙක් (දන්න තරමෙන් එයා අපේ මනුෂි නගාට වඩා අවුරුද්දක් වැඩිමල් ඇති මගේ හිතේ.හැබැයිමට ඒ කට කාරිගේ නම නම් මතක නෑ.) මගෙන් අහනවා....
අයියේ දැන් ඔය කතාවේ කොතනටද අපි හිනා වෙන්න ඕන......!
කියලා. මෙන්න ඒ කතාවට විහිලු වලට හිනා ගියේ නැති අයටත් හිනා. කොහොමද නෑදෑයෝ 50ක් 60ක් මැද මට නෝන්ඩිය. කජු කිරි කෙල්ලෙක් මගෙන් එහෙම ඇහුවම.
හතර විලිලැජ්ජාවයි නේ ඕයි..!
ලැජ්ජාව වහගන්න ඕන නිසා මම කිවුවා..............
ඕක තමයි පොයින්ට් එක...!
ඒ කිවුවේ....?
මම දැනන් හිටියා මේ වගේ වෙලාවක ඔහොම කතාවක් කිවුවම කවුරු හරි ඔය ප්‍රශ්ණය අහනවා කියලා...! එතකොට හැමෝටම හිනා යනවා...!
ඒ ටාගට් එක ඇතුව තමයි මම  ඔය කතාවම කිවුවේ....!   


ප/ලි   නරකම නෑ නේද.....හික්...හික්..හික්.....!

Monday, September 3, 2012

ඇය යන්න ගියා නොකියා... (කෙටි කතාවක්)





                නිලුකා තුෂාරි........ඇත්තටම එයා නමටත් වඩා ලස්සණයි.ඒ පැත්තෙම හිටපු ලස්සණම කෙල්ල කිවුවොත් තවත් නිවැරදියි. එතකොට මම දහය වසරේ උන්නට මහා දඩබ්බරයා. හැමෝම කිව්වා එයා ගොඩාක් ලස්සණයි කියලා. ඒ නිසාමද කොහේද මට හිතුනා එයා එක්ක යාළු වෙන්න.ඔන්න වැරදියිනේ කිවුවා.අපි එතකොටත් යාළුවොනේ.මට කියන්න ඕන උනේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න හිතුනා කියලා. රුව වගේම පෙනුමෙනුත් හරි අහිංසක පාටක් තිබුනු එයා එක්ක පෙම් පලහිලව්වක් ඉස්ටෑක් කොරන එක මට මහා ගේමක් නොවුනේ මගේ දඩබ්බර ගති පැවතුම් නිසාම වෙන්නැති.
                 කැලෑ බද ගමක් උනු ඒ ගමට අලුතෙන් පදිංචියට ගිය අපට තිබුනේ නාගරික ගති පැවතුම්. ඉතින් ගමේ හැදුනු වැඩුනු කොල්ලන්ගේ නැති මෝස්තර දඟ වැඩ තව තව අලුත් දේවල් මා ලඟ තිබුනු එකත් අමතර සුදුසු කමක් වෙන්නැති.ඔය ඔක්කොටම වඩා අහල ගං හතේම එකෙකුටවත් නැති චැලි බයික් ක‍ටුවකුත් තිබුනා අම්මා අරන් දීපු. කොහොමින් කොහොමින් හරි ඉස්කෝලේ හිටි ලස්සනම කෙල්ලටත් හිමි කම් කියන්න මට පුලුවන් උනා කියමුකෝ. ඉතින් බොලාට කියන්න ඕක මගේ පොතම පේමේ හොදේ. ඈහ්...............තේරුනේ නෑ වගේද. ප්‍රථම ප්‍රේමය කියන්නේ අන්න ඒක මෙයා අයියෝ මෙයාල ඒකවත් දන්නේ නෑනේ.
                  ඒකාලේ මට මාර හැපි. එයාව දැක්කත් බඩ පිරෙනවා. ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම දුවන්නේ අපේ රබර් වත්තට. අන්න අන්න බොලාගේ කැත හිත එලියට පැන්නා. දැන් බොලා හිතන්නේ මම අර ගෑනු දැරිවි ගැන හිත හිත රබර් වත්තට වෙලා දෙවරක් චක්කරේ පාඩම් කොරා කියලනේ. අනේ නෑ.. මී ඇස් දෙක පල්ල එහෙම නෑ. 
යකෝ ඉතින් කිවුවම විස්වාසෙට ගනිල්ලකෝ යමක්....!
ඔය තව පොඩ්ඩෙන් කිය කිය හිටපු කතාවත් අමතක වෙනවා.
                   අපේ ඉඩමේ තිබුනා පෙරලුනු රබර් ගහක්. ඉඩමත් කන්ද උඩනිසා  ඔය ගහ උඩට නැග්ගම පහලින් තියන ගම අපූරුවට පේනවා. එයාලා ඉස්කෝලේ ඇරිලා යන්නේ ආච්චි අම්මලගේ ගෙදර. එහෙට යන පාර අපේ රබර් ගහට හොඳට පේනවා. මම ඉතින් ගහ උඩින් ඉඳගෙන බලාගෙන ඉන්නවා එයාලා යනකම්. ඊට පස්සේ තමයි ඇවිත් බත් කන්නේ.
                  මාර ඇඹලයෙක්නේ.... කියලා හිතෙනවද...? එහෙම කියන්නෙපා ඉතින් පොතම පේමෙනේ බං..!ඇත්තටම කියනවනම් ගෑණු ලමයෙක් එක්ක යාළු උනාට ඊට පස්සේ කොරන්න ඕන රාජකාරි ගැන නම් මට හරි හමන් අවබෝධයක් තිබුනේ නෑ ඕං.  එතකොට මම විස්වාශ කොලේ ආදරය කියන්නේ අර නන්දා මාලනී මහත්මිය කියන විදිහට "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ" අහවල් එකයි කියලා ඕං. කිවුවහම විස්වාසෙට ගනිල්ලා නැත්නම් ගෙදර පලයල්ලා මචංලා මට වැරදුනා වැරදිල්ලක් ඔය සිතුවිල්ල හින්දා ආයේ... වැඩක් නෑ ඕයි කියලා...! අම්මපා ඇඬෙනවා තනි ඇහට මතක් වෙනකොට.
                   ඉතින් මම එයාව මුන ගැහෙනවා කතා කරනවා යන එන තැන් වලදි ආරක්ෂාව සපයනවා වැඩ කෝටියයි. ඒත් දැන් හැදෙන ප්‍රේමාතුරයෝ වගේ ගහක් ගලක් යටට ඇදගෙන ගොහින් පොඩි සැපක් ආතල් එකක් ගන්න ටැයි කොලේ නෑ කවදාවත්. මම හිතුවේ කිවුවේ ඒවා වෙන්නෝන හැබැයි ඒකට පිලිවෙලක් තියනවා,ඒකට තව දුරක් යන්න තියනවා කියලයි. මම කිවුවා අපි මුලින් පාසැල් අධ්‍යාපනය හමාර කරලා ඊට පස්සේ ඔය ලොකු වැඩ ගැන හිතමු කියලා ඒ වෙලාවේ එයත් එක පයින් එකඟයි. ඉඳලා හිටලා එයාගේ අම්මගෙන් මට යම් යම් අරියාදු තිබුනත් මම වගේ දඩබ්බරයෙක් මෙල්ල කොරන්න ඒවා කොහෙත්ම සෑහුනේ නෑ. ගමේ උන්නු හයිරන් කාරයෝ දෙතුන් දෙනෙක්ම මේ සංදිය වෙනකොට මා අතින් සල්ලන් වෙලා තිබුනු නිසා ජයසේකර මාමත් (නිලූකගේ තාත්තා)මොකුත් නොකියා හිටියා වෙන්නෝන.
                   මගේ බයික් එකේ සද්දේ ඇහෙනකොට එයා හැමදාම පීල්ල ලඟට එනවා. එතන ඉඳන් මම කතා කරලා යනකම් විනාඩි දහයක් පහලොවක් යනවනේ. ඔය අතර වාරේ ඉතින් ගමේ අය පීල්ලට වතුර ගෙනියන්න එනවා. එක එක්කෙනා එන එන වාරයක් ගානේ මෙයාගේ වැඩේ මූණ හෝදනවා. සමහර දවස් වලට මෙයා දහ දොලොස් වතාවක් මෙහෙමමූණ හෝදන වෙලාවල් තියනවා. 
හැබැයි මම ගොනා එහෙම වෙලාවකවත් උම්මා එකක් දීලා නෑ ඕං..!
                   ඒඋනාට කවදාවත් මෙයා නෑවිත් ඉන්නේ නෑ.හදිසියේ වත් එන්න බැරි උනොත් ඊලඟට මගේ බයික් එක නවතින්නේ එයාලගේ ගේ ලඟ කියලා මෙයා අත්දැකීමෙන්ම දන්නවා. එහෙම දාට ඉතින් වැඩ ගොඩයි.හිකිස්...! කොහොම හරි ඔය විදිහට කාලය ගෙවුනා. ඒත් ඔය අතර කාලය තුල ගොඩාක් දේවල් වෙලා තිබුනා. මම ඒබව දැනගන්නකොට ගොඩාක් පමා වෙලා තිබුනා. දවසක් හවස මම එයා මුනගැහිලා කතා කර කර ඉඳලාගෙදර ආවා. පහුවදා වෙනත් අවශ්‍යතාවයකට මම ඒ අසල ගෙදරකට ගොඩවැදුනා. ඒවෙලාවේ මට දැනගන්න ලැබුනා නිලූකා ගෙදරින් ගිහින් කියලා. ඒ නිසා මම ඒගැන විපරම් කරලා බැළුවා. එතන විස්වාශ කරන්නත් අමාරු හරි අමුතු දෙයක් සිද්ධවෙලා තිබුනේ.
                   නිලූකා දීග ගිහින්,හැබැයි ඒ හැමෝටම රහසින්. සහකාරයා වෙලා තිබුනේ එයාලගේ ගෙදරට නිතරම ආව ගිය එයාලගේ තාත්තගේ යාලුවෙක්. ඔහු තනියම හිටපු අවිවාහකයෙක්. ඇගේ පියාගෙත් ඔහුගෙත් වයස පරතරය අවුරුදු දෙක තුනකට වඩා නැතිවෑති. අපි හැමෝම ඒ මනුස්සයට කතා කලේ ආරි මාමා කියලා.නිලූකා පවා. 
                   කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න මට ලොකු උවමනාවක් තිබුනු නිසාම මම ඊලඟට බයික් එක නතර කරේ ආරි මාමගේ ක‍ටු මැටි ගහපු ගේ මිදුලේ. බයික් එකේ සද්දෙට ආරි මාමා එලියට ආවා.නිලූකත් ගේ ඇතුලේ ඉදන් එබිලා බලනවා මම දැක්කා. මගේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබුනු නිසා එයාලත් එක්ක කතා කරන්න මට අවශ්‍ය උනේ නෑ. මහ හඬින් බයික් එක රේස් කරලා මම "යූ ටර්න්" එක ගනිද්දි ආරි මාමා අහකට පැන්නේ මේ හොඳ දවසේ තමන්ගේ ගෙයි මිදුලෙදි උනත් මා එක්ක කතා කරන එක එයාගේ ශරීර සෞඛ්‍යයට කොහෙත්ම හොඳ නැති බව ඉන්තේරුවෙන්ම දන්න නිසා වෙන්නැති. ගෙදර ආපු මම කෙලින්ම ගියේ අර පෙරළුනු රබර් ගහ උඩට. මට ප්‍රශ්ණ කීපයක් තිබුනා.
1 ඇයි එයා එහෙම කලේ   
2 හැබෑ ආදරේ කියන්නේ මගෙන් එයාට ලැබුනු දේටද, ආරි මාමාගෙන් එයාට ලැබුනු දේටද.
3 එයා සතුටෙන් ඉදීවිද,අනාගතේ කොහොම වෙයිද. 
4 ගෑණු ලමයි මෙච්චර කපටිද.
5 ඇයි මට එයාගේ වෙනස හඳුන ගන්න බැරි උනේ.
6 එහෙම ගනුදෙනුවක් තියෙද්දිත් ඇයි එයා මාව ආශ්‍රය කලේ.  

ප/ලි     
එදාම නැති උනත් කාලයාගේ ඇවෑමෙන් මට ප්‍රශ්ණ හතරකට උත්තර ලැබුනා. ඒත් අද වෙනතුරුත් මට උත්තර නැත්තේ පළවෙනි ප්‍රශ්ණෙටයි අන්තිම ප්‍රශ්ණෙටයි.


ප/ප/ලි 
තවත් කාලයක් යද්දි මම ගමේ ඉතාම ජනප්‍රිය තරුණයෙක් උනා. ඒ වෙනකොට එයාට මුලු ජීවිතේම වැරදිලා තිබුනා. ඒ වෙලාවක මම එයාට රිදවන්න හිතලා "චික් හන්ටර්"  චරිතයක් රඟපෑවා සුලු කාලයකට. මම ඒකට යොදා ගත්තේ එයාගේ සමීපතමයෝ කීප දෙනෙක්. එතන එයාට වඩා වසරකින් බාල එයාගේ නංගිත් උන්නා. රූපෙන් එයාට නොදෙවෙනි උන ඇයගේ වෙනසක් තිබුනනම් ඒ කෙස් කලඹේ විතරයි. නිලූකාගේ දිගු වරලස වෙනුවට ඇයට තිබුනේ කැරලි සහිත කෙටි කේශ කලාපයක්.දවසක් අහම්බෙන් වගේ මුන ගැහුන වෙලාවක එයා මගෙන් ඒ ගැන ඇහුවා.
අපොයි... ඔයාව අඳුන ගත්තටත් පස්සේ මම ඔයාගේ නංගී එක්ක යාලුවෙයි කියලා හිතනවද....?
මට ඕන උනේ ගල් ලෝඩ් දෙක තුනක් බාගන්න විතරයි. සුමාන 2 ක් යන්නත් කලින් මම ඒ වැඩේ අපූරුවට කර ගත්තා.දැන් ඒ ගනුදෙනුව ඉවරයි...! ඔයාට  සැකයක් එහෙම තිබුන නම් මගේ පිරිමි කම ගැන අහල බලන්න පුලුවන් නංගිගෙන්.
මම එහෙම කිවුවේ කටේ තොලේ නොගෑවී. ඒ වෙලාවේ ඒ ඇස් වලට ආව කදුළු කැට බිම වැටෙන කොට මම එතනින් ගොඩාක් දුරට ගිහින් ඉවරයි."චික් හන්ටර්ලට" පිලිපීන් භාශාවෙන් කියන්නේ "බබයිරෝ" කියලා. ඒකේ තේරුම කාන්තාවන් දඩයම් කරන්නා  කියන එකයි.

Saturday, September 1, 2012

ලබු ගෙඩියේ විත්තිය...



             සාමාන්‍ය ජන ජීවිත ගැන හොයන බලන ඒවා ලියන අපේ කොළඹ මහත්තුරු කන්ඩායමක් ගියා ඇඹිලිපිටිය පැත්තේ දවසක්. එහෙමිනිස්සු කරන්නේ මොනවද,කන්නෙ බොන්නේ කොහොමද ජීවනෝපායන් මොනවද,ඔය වගේ අනන් මනන් හොයන්න. ඒ සංදිය වෙනකොට ඔය නව නගරෙත් හදල ඉවරයි ඕං. ඉතින් මුන්දැල ගම් වලට ඔය කැලෑ ඇතුලේ තියන හේන් වලට එහෙම ගෙහුං ඒවයේ වවලා තියෙන්නේ මොනවද හේන් නැත්නම් වගාවන් රකින ක්‍රම ආදිය ගැන විවිධ දේවල් අහමින් ඒවා සටහන් කරගනිමින් යනවා.
              ඔය අතරේ එක හේනක තිබුනු පැල්කොටේකටත් ගෙහුන්නේ. ඒක ක‍ටු මැටි ගහපු පැලක්. ඉස්සරහ දඬු මැස්සේ ඇන තියාන උන්නු වයසක මනුස්සයාගෙන් වතුරත් ඉල්ලන් බීපු අපේ මහත්තැන් කෙනෙක් අර ගැමියගෙන් නිකමට 
ලොකු උන්නැහේ දැන් වෙලාව කීයට විතර ඇද්ද...?
ඔහොම පොඩියක් හිටින්ටකෝ මහත්තයෝ..
කියල නැගිටලා ඒ අහලම තියන බිත්තිය ලගට ගොහින් බිත්තියේ එල්ලලා තිබුනු ටිකක් ලොකු ලබු කැටයක් අතට අරන් තියනවා.
ම්හ්.... හැන්දෑ වෙන්ටත් ඇවිත් නොවැ මහත්තයෝ දැන් තුනට දහයයි ...!
එතන උන්නු කෙනෙක් බලලා තමන්ගේ අත් ඔරලෝසුව දිහා.
පුදුමයි ටක්කෙටම වෙලාව හරි.
                ඒකත් සටහන් කොරාන හැන්දෑ උනු නිසා මෙයාල එන්ට පිටත් උනා කියමුකෝ. ආවට මොකෝ මෙයාලට හරි පුදුමයි අර ලොකු උන්නැහේ වෙලාව කියපු විධිහ ගැන. මග එන අතර තුරේ මෙයාලගේ මාත්තුරුකාව උනේම ඕක.
මට හිතාගන්නවත් බෑ බං ඒ මනුස්සයා වෙලාව කියපු විදිහ.
ඒකනේ ලබු කැටේ අතට ගත්තා.තත්පර දෙක තුනකින් වෙලාව කිවුවා පුදුමේ කියන්නේ බං හරියටම හරිනේ. මේක ගැන නම් හොයන්ටම වටිනවා.
මොනවා කියනවද හොඳ ප්‍රවෘතියක් වෙයි.
අනික බලපන් මේ නොදියුනු ගම් වල ඉන්න මිනිසුන්ගේ තියන හැකියාවල්.
මට හිතා ගන්න බැරි මේකේ විද්‍යාත්මක පසුබිම මොකක්ද කියන එක.
කොහොමද මේ ගොල්ලෝ මේ ලබු කැටෙන් වෙලාව බලන්නේ.
සමහර විට පරිසර උෂ්ණත්වයට අනුව ලබු කැටේ බර හෝ පැහැය වෙනස් වෙනවා වෙන්න පුලුවන්.
නමුත් ඒකෙන් කොහොමද මේ තරම් නිවැරදිව වෙලාව කියන්නේ.
ඕකට පලපුරුද්දත් අවශ්‍ය වෙනවා ඇති.
            ඔය විදිහේ නොයෙකුත් තර්ක විතර්ක මැද හැමෝම  කොලඹට සේන්දු උනාලුනේ. නිකම්ම නෙමේ පහුවදාම අර කාරනාව ගැන වාර්ථා කරන්න කන්ඩායමක් එක්ක ආපහු ඇඹිලිපිටි යන්නත් කතිකා කොරගෙන. ඔන්න ඉතින් පහුවෙනිදම පත්තර වාර්ථා කාරයොයි රූපවාහිනීවල ඈයොයි, ගුවන් විදුලියේ අයයි සේරම කැ‍ටුව ගොහින් වැටලුවා කියමුකෝ අර අහිංසක ගැමියගේ පැල් කොටේ.
අහක් වෙලා ගියාලු අපේ මහත්තැන් කෙනෙක් දඬු මැස්සේ ඇනතියාන උන්නු ගැමියා ලඟට. දැන් කැමරා කරුවෝ කැමරා මානන් ඉන්නවලු, තවත් අය මයික්‍රෝපොන්(එහෙම නේද කියන්නේ) අන්න එවුවා දික් කොරන් ඉන්නවලු හරියට ආන්ඩුවේ ඉස්පිරිතාලේ දත් දොස්තරලා වගේ. සේරම වෙද්දි කොළඹ මහත්තයා හරබර වචන ටිකකින් පොඩි හැදින්වීමක් එහෙම කොරල අහක
මේ ගොවි මහත්තයා අපිට කියන්න බලන්න දැන් වෙලාව....!
අර මනුස්සයා පුරුදු විදිහටම නැගිටලා ගෙහුන් අර ලබු කැටේ අතට ඇන්න,
ම්හ්...දැන් වෙලාව නම් මහත්තයෝ 12.35...!
හැමෝම තම තමන්ගේ ඔරලෝසු දිහා බැලුවා.
හරියටම හරි..!
දැන් මේ මහත්තයා අපට කියන්න කොහොමද මේ විදිහට ලබු කැටයක් උස්සලා බලලා නිවැරදිව වෙලාව කියන්නේ, මොකක්ද එතන තියන විද්‍යාත්මක පසුබිම, නැත්නම් මේ පාරම්පරික ක්‍රම පිලිඹඳව විද්‍යාත්මකව පොඩි හැදින්වීමක් කරන්න කරුනාකරලා...!
එතකොටනම් ලොකු උන්නැහේ වට පිට බැලුවේ අපේ මහත්තයාගේ බර වචන උන්දැට තේරුනේ නැති හංදා.
මේ මහත්තයා අහන්නේ ලොකු උන්නැහේ කොහොමද ලබු කැටේ උස්සලා වෙලාව කිවුවේ කියලා.
අන්න එහෙම තේරෙන විදිහට අහන්න එපැයි මහත්තයෝ...! ඔය කියන උලවු විද්දියාත්මක පසු බිමක් නම් මම දන්නෑ ඕන්, මේ ලබු කැටේ හන්දා මට අර ටවුමේ තියන ඔරලෝසු කනුව පේන්නෑ ආයි බොවං. මම මේක මෙතනම එල්ලන්නේ මේ කවුලුවෙන් පැලට සතා සරුපයා රිංගයි කියන බයට.


ප/ලි   කරපෝල බැළුවම හැබෑ නේන්නම් එතනට යස අපූරුවට නව නගරේ ඔරලෝසු කනුව පේනවා. ඊට පස්සේ අපේ මහත්තුරු පල්ලම් බැස්ස විදිහ ගැන මම ලියැවුවේ නැතුවට ඔහේලට හිතා ගත්තැකි නෙව. මම ගෙහුං එන්නම් ආයිබොවං.......!