Saturday, November 24, 2012

දොර ඇරපං අම්මේ මට සමාවෙලා..........

 




             පිටපතක් ලිවුවට මේ කාරනාව නොලිය හිටියේ මේක හරියට දෙබරෙට ගල් ගහනවා වගේ වැඩක් කියලා හිතුන නිසා. ඒඋනාට කොට්ටේයට කොල පිරිලා නිසා අස්කරන්න හදනකොට තමයි මේක දැක්කේ. වෙන දෙයක් වෙද්දෙන් කියලා මම ලියලා දානවා. වැරදියට තේරුම් අරගෙන ඔන්න වාදෙට එනවා නෙමෙයි මා එක්ක. ඒ වැඩේට හොඳ හිරුවා ඒනිසා වාද කරන්න ආස කෙනෙක් එයා දාන කොමෙන්‍ටුවකින් කොනක් මතුකරගන්න එකයි තියෙන්නේ. හිරුත් හරී....... ආසයි ඔහොම ඒවට. (ප්‍රචාරක දැන්වීමකි.) මේකයි කාරනාව. අපි මුලින් මේ සිංදුව ටිකක් අහමුකෝ. ඔතන තමයි කතා ප්‍රවේශය තියෙන්නේ.  

විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා 
මග වැරදිලා දිවුවේ මං මුලා වෙලා
පැනගිය මුවන් ලඟ හෙළුනයි නෙලූ පළා
දොර ඇරපං අම්මේ මට සමාවෙලා...

             ගායන ශිල්පිනී ඉන්ද්‍රානී බෝගොඩ මහත්මිය ගායනා කරපු ලයාන්විත ගීතයක් මේ. සාවධානව ඇහුම්කන් දුන්නොත් තේරේවි ජීවිතේ වරද්දගත්ත දුවෙක් තමන්ගේ අම්මට තමන්ට වැරදුන තැන් ගැන කියන කතාවක් තමයි ගීතයට පාදක වෙලා තියෙන්නේ කියලා. හැබෑටම ඇයි මෙහෙම වෙන්නේ...? කෙල්ලන්ගේ මෝඩකමට...! කෙනෙක් කියාවි... ඇත්තටම කෙල්ලෝ මෝඩද..? මට ඒගොල්ලන්ගෙන් එහෙම අහන්න හිතෙනවා. එයාලගේ උත්තරේ මොකක් උනත් මේං මට හිතෙන හැටි. කවුරු හරි කෙල්ලෝ මෝඩයි කියනවා නම් ඒක බොරුවක්. තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන පිරිමින්ගේ මනස් විකාරයක්. ඒකියන්නේ සරා පිරිමි ගැන හිතන්නේ අවතක්සේරුවෙන්. එහෙමත් නෑ සරා ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහ කරන කෙනෙක්. සරාගේ සිතුවිල්ල ඉදිරිපත් කරන්න අවසරයි එහෙනම්.

           මගේ සිතුවිල්ලට අනුව ගෑණු ළමයි මෝඩ නෑ. හරිම බුද්ධිමත් ඒවගේම ආදරණීයයි. හැබැයි ඒ වගේම හරිම හැඟීම්බරයි. මේකම තමයි එයාලගේ තියෙන දුර්වලකමත්. තමන්ට ආදරේ කරන අයව එයාලා අසීමිතව විස්වාශ කරනවා. ඒනිසාම තමයි එයාලට වරදින්නේ. හැගීම් බර වෙනකොට බුද්ධිය යටපත් වෙනවා. හේතු වශයෙන් එයාලා මොන කරුනු ඉදිරිපත් කලත් ඒක තමයි ඇත්ත. ගම්වල ඉන්න වැඩිහිටියන් කතාවට කියන්නේ පෝය හඳවල් හත අටක් ගෙවෙන කොට ගෑණු ළමයි ලොකුමහත් වෙනවයි කියලා. ඒ වගේම හරි ඉක්මනින් පියවරෙන් පියවර ජීවිතේ ඉදිරියට ගමන් කරන ඔවුන් ජීවිතේ ලස්සනම අවධියේ ගන්න තීරණ නම් සීයට පනහක්ම වැරදියි.එයාලගේ ජීවිතේට පිටස්තරයෙක් එබිකම් කරන්න ගත්තම එයාලා ලෝකෙම අමතක කරනවා. මෙතෙක් තමන් ලඟ උන්නු හැම කෙනෙක්වම අමතක වෙනවා හෝ අමතක කරනවා. හරි දේ කියලා දෙන අයවත් වැරදියටයි එයාලා දකින්නේ. ඉතින් අවබෝධයෙන් ලොකේ දකින කෙනෙකුටවත් එයාලව ගලවා ගන්න තියෙන අවස්ථාවත් ඇහිරෙනවා. අවසාන ප්‍රතිපලය වෙන්නේ ජීවිතේට කඳුළු විතරක් ඉතිරි වෙන එක. මේකට මෝඩකම කියන වචනේ ගැලපෙන්නේ නෑ.

            ටිකක් විමසිල්ලෙන් අවට බලන්න. ඉගෙනීමෙදි, ‍රැකියා කරන විට සමාජයේ ජීවත් වෙනකොට එයාලා පිරිමි හා සම සමවම වගේ ඉන්නවා ඔබට දකින්න පුළුවන්. ඒවගේම එයාලගේ දරා ගැනීමේ ශක්තිය පිරිමින්ටත් වඩා ඉහලයි. එයාලට පිරිමි අභිබවා යන්න නොහැකි වෙලා තියෙන්නේ ශරීර ශක්තියෙනුයි, උක්ත මාතෘකාවෙදී එයාලගේ දුර්වල තීරණයි නිසා. මට හිතෙන්නේ ඒගැන එතනින් එහාට කිවයුතු නෑ. මොකද ඔයාලා මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා කියන්න තරම් මට දැනුමක් නෑනේ. මම ඒතරම් ලොකේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙකුත් නෙමේ. ඔය ටික මම කිවුවේ ගීතය අහද්දී මට එහෙම හිතුන නිසා.

             ඇත්තටම අපේ සංස්කෘතියට අනුව ගෑණු ළමයි හරියට වීදුරු භාජන වගෙයි. ඒත් දැන් මේ මත යම්තාක් දුරට වෙනස් වෙන්න කාලය හරි. ඒත් ඒවා වෙනස් වෙලාවත් වෙනස් කරන්නවත් කාටවත් උවමනාවක් නෑ.
ඇයි ඒ...?
හැබෑම කුහක කමට....!
ටිකක් සැර වැඩි චෝදනාවක් වගෙයි නේද.....?
 ඔව්.....! ඒත් කාටද මේ චෝදනා කරලා තියෙන්නේ.......? ගැහැනුන්ට.......!
නෑ...!
පිරිමින්ට...!!
නෑ...!
පොදුවේ ඔයාලා අපි අපේ වැඩිහිටියෝ හැමෝටම. මේකට අපි හැමෝම වග කියන්න ඕන. ආකල්ප වශයෙන් වෙනස් වියයුතු දේවල් ක්ෂනිකවවත් තනි තනි පුද්ගලයන් වශයෙන්වත් කල නොහැකියි. ඒකට කාලයක් වගේම හැමෝම එකාවන්ව හිතන්නත් අවශ්‍යයි. ඉපැරණි බ්‍රාහ්මණ මත කරපින්නාගත් ආර්යයන්ගේ පැමිනීමත් සමඟ ආරම්භ වූ අපේ නව සගිස්කුරුතෙද මොකක්ද ලබ්බ අපේ උන්ට ඕන ඕන වෙලාවලදි ඕන ඕන ආකාරයට වෙනස් කරපු වගට සාක්ෂි සාධක එමටයි. ඉදිරියටත් එහෙමම නොවෙනවයි කියලා අවිස්වාශයක් තියා ගන්න කිසිම හේතුවක් නෑ. ඒත් ය‍තෝක්ත මාතෘකාව ගැනනම් උන්දැල ගෙනාපු මත හා අදහස් තවම එහෙමම තියෙනවා. ඒ අපේ කුහක කම නෙමේද. එතකොට සරා දැන් කියන්නේ කෙල්ලන්ට ඕන නැ‍ටුමක් නටන්න ඉඩ හරින්න ඕන කියලද..? අපොයි නෑ ආයිබොවන්...! ඇයි කොල්ලන්ට විතරක් හැම නැ‍ටුමක්ම නටන්න අවසර දීලා ඇහැ කන පියන් ඉන්නේ කියලයි මම අහන්නේ. ජාතික ආර්ථිකේට සීයට පණහකට ආසන්න දායකත්වයක් දෙන්න එයාලට පුළුවන්නම්. පවුල් පිටින් ජීවත් කරවන්න එයාලට පුළුවන්නම් කිසිම ලැජ්ජාවක් නැතුව ගෑනි හම්බකරන් එනදේම කාලා උන්දැටම තඩිබාන මිනිස්සු ඉන්න රටේ ඇයි මේ කෙල්ලන්ට විතරක් අමුතු නීති රීති. ඇයි එයාලා වරක් පාවිචියෙන් ඉවතට කියලා ලේබලේකින් එන්නේ. විනාඩි ගනනක සමීක්ෂණ ප්‍රතිපලයක් මෙන්න.

1   මේකනේ සරා වැඩේ කොල්ලෙක් එලියට ගියොත් එන්නේ යමක් පිට කරලා. ඒත් කෙල්ලෙක් එලියට ගියානම් එන්නේ යමක් ඇතුලට අරගෙන, අනික බං කොල්ලෝ මොනා කරත් පාරවල් හිටින්නේ නෑනේ.

0  හරි ඒ හින්දා කෙල්ලන්ට ඕවා කැප නෑ.. උඹ ඔය නොකියා කියන්නේ කපුවා කෝවිලේ කැත කොලාට කමක් නෑ කියන එකනේ. අනේ උඹේ%@$@$%&%$$@#$#...! 

2   මචන් කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ජාතියක්, උන් දැක්ක දැක්ක පඳුරට කකුල උස්සනවා. ඒවා ඉතින් කෙල්ලෝ දැන ගන්න ඕන.

0   එතකොට ඇයි බල්ලෝ පඳුරට විතරක් ඇඟිල්ල දික් කරන්නේ තමන් බල්ලෝ වගත් දැන දැනම.

3  මචන් ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම උන් කොහෙන් නතරවෙයිද කියන්න බෑ. දැන් බලපන් තත්වය මෙහෙම තියෙද්දිත් හෝටල් පීල්ඩ් එකට ඔළුව දාලා දවසකට ගෑනු කීදෙනෙක් ඕවට රිංගනවද කියලා. උඹ හිතන්නේ ඔය හැම එකෙකුටම අයිතිකාරයෝ නෑ කියලද.....?

0   උඹ හරි.. මට කියපන් දැන් ඔය ගෑනු ඔහොම එන්නේ තවත් ගෑනියෙක් එක්කද කියලා...!

3   ගෑනියෙක් තවත් ගෑනියෙක් එක්ක එන්නේ $#%% ගහන්නද බොල...?

0   එහෙනම් ඔය ගෑනු එක්කරන් එන පිරිමි හරි එහෙම නැත්නම් උනුත් යෙදෙන්නේ ආත්ම වඤ්චාවක නෙමේ කියන්න තොට තියෙන සාක්ෂි මොනවද...?

           හොඳයි ඒ මම දැක්වුවේ සීතලේ එලියේ ගතකරපු විනාඩි ගානක ප්‍රතිපලනේ. ඒනිසා ඒකත් මෙතනින් නතර කරනවා.      මම බ්ලොග් කියවද්දී අනන්තවත් දැකලා තියෙනවා කෙල්ලෝ මැසිවිලි නගනවා කොල්ලන්ට තියෙන නිදහස කෙල්ලෝ වෙච්ච අපට නෑ. කෙල්ලෝ වෙලා උපදින එකත් පවක් අරකද මේකද කියලා. මේකෙන් එයාලා අදහස් කරන්නේ වල්බූරු නිදහසක් නම් නෙමේ කියලා මට තේරෙනවා. ඒත් වල්බූරු නිදහසක් භුක්ති විඳින කොල්ලෝ නැතුව නෙමේනේ. උදාහරණයක් හැටියට මාවම ගත්තම ගෙදරින් පිටවුන දා ඉඳන්ම මාව පාලනය කරන්න කවුරුවත්ම උන්නේ නෑ. මවිසින් මම පාලනය වුනු තැනක් හැරෙන්න. ඒක ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමට සාපේක්ෂ නිසා අපි එතන ඉඳන්ම කතා කරමු. ඔය විදිහට දන්න සෙල්ලම් දහ අටම දාලා වඳුරන්ගෙනුත් බණ අහපු අහපු තමන්ගේ පුතාට කෙල්ලෙක් ගේන කොල්ලගේ අම්මා කෙල්ලගේ බලාපොරොත්තුවෙන විශේෂම දේ මොකක්ද කියලා කියමුකෝ බලන්න්න කවුරුහරි. අර පැණි හඳට පහුවදා වැඩිහිටි ගෑනු අම්මන්ඩිලා රොත්තම ඇවිල්ලා ඇඳට පැණි නැත්නම් හඳ එලියවත් වැටිලද බලලා එහෙම නොවුනොත් දුම්මල වරම අතට ගන්නේ කවුද...? ඥාතීත්වය නෙමේ මට ඕන ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක. අද ඔය සමාන අයිතියක් නිදහසක් ඉල්ලන අයත් අනාගතේ ඔය වැඩේම කරනවා තමන්ගේ අතීතය අමතක කරලා. කවුරු හරි මට කියනවද තමන්ගේ ලේලිගේ අහවල් එක මාක් වෙලා තිබුනේ නෑ කියලා සරමත් කරට අරන් කෑගහපු මාමන්ඩියෙක් දැකලා තියෙනවද කියලා. මම නම් දැකලා නෑ හැබැයි නැන්දම්මලානම්........................ මොනවට කියනවද ඒවා. 

             ඒවගේම හංදියක් හංදියක් ගානේ පැණි හලලා අමාරුවෙන් යාළු කරගත්ත කෙල්ලව අවුරුදු ගානක් ආශ්‍රය කරලා කසාද බැඳලා පහුවදාට ගහලා පන්නනවා මේකිගේ අරක තිබුනේ නෑ මම අවුරුදු ගානක් ආශ්‍රයකලා අතවත් අතවත් තිබ්බේ නෑ...අරකද මේකද කියලා අපහාසත් කරලා. කරපු වැඩේ වැරදියි කියලා මම කියන්නේ නෑ යෝජිත විවාහයක්වත් උනානම්. අඩුගානේ හොයපු එවුන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැතෑ.ඒත් මේ තමන් මෙච්චරකල් ආදරේ කරපු කෙල්ල නේද, හැබෑවටම ආදරේ කොහේද කියලා තිබුනේ කියලා හිතෙනවා උන්ගේ හැසිරීම් දැක්කම. ඉතින් මට අහන්න හිතෙනවා අත තියලම බලන්න අවුරුදු ගානක් බලාඉන්නේ නැතිව යාලුවෙන්න කලින් ඇඟිලි පරීක්ෂණයවත් කොලා නම් නරකද කියලා. එතකොට පාරක් පාරක් ගානේ පැණි හැලීමේ ආදිනව ගැන හරි වැටහීමක් එන්නේ නැතෑ අතක් පයක් කඩාගෙන ඉස්පිරිතාලේ ඉන්නකොට.

         කොහොම අපි කතා කලත් මේවා ගොනා පසුපස කරත්තේ වගේ හැමදාම ඇදි ඇදී ඒවි. වෙනසක් ඇතිවෙනවා නම් ඒ ආකල්ප වලින්ම විය යුතුයි. ඒත් ක්ෂනික ප්‍රතිපල නම් විහිළුවක්.

         සරාගේ අදහසනම් මෙහෙමයි.... ගැහැනු අනිවාර්යයෙන්ම පතිදම් රකින්න ඕනමයි... හැබැයි ඒ විවාහයෙන් පස්සේ. ඒක ගැහැනියට විතරක්ම අදාල නීතියක් නෙමේ පිරිමියාත් අනිවාර්යයෙන්ම එසේ කල යුතුයි. කොල්ලෝ කියනවානේ වාහනයක් තමන්ටම කියලා ගන්න කලින් හොඳට ඩ්‍රයිවින් පුරුදු වෙලා ඉන්න ඕන කියලා. එහෙමනම් වාහනත් හොඳ ධාවන තත්වයේ තියෙනවද කියලා ස්වයං පරීක්ෂණයකට ලක්වෙලා තියෙන එකේ තියෙන වරද මොකක්ද...?කලින් දුවලා තියේනම් ධාවනයට සුදුසුයි කියන්න ඒ සහතිකයම මදෑD.

          කෙල්ල කාලේ ඕන නැ‍ටුමක් නටාපල්ලා කියනවා නෙමේ. එයාලටත් නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන. මනුෂ්‍යයා කියන්නේ එක සත්ව කොට්ඨාශයක් ගැහැනු පිරිමි කියලා ලිංග භේදයක් තිබුනට. ඒක මේ වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයා විසින් කරපු දෙයක්. එහෙමනම් එයාලව මනිණ මිම්මත් එකක්ම වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. අපි යම් කෙනෙකුට අකමැතිනම් අපි එයාගෙන් ඈත් වෙලා හිටියම ඉවරයි, මොකද කවුරුවත් අපේ ඇඟේ බලෙන් එල්ලෙන්නේ නෑනේ. හැබැයි ඉතින් අපිම එල්ලගෙන අපිම ආඩපාලි කියන එක වැරදියි වගේ නේද ආයිබොවන්.....!


ගෙහුං එන්නද මං.....?

Thursday, November 22, 2012

ග්‍රැමපෝනය.....





                 ග්‍රැමපෝන් ගැන ඔයාල මොනවද දන්නේ...? සමහරු කියාවි මොකුත්ම දන්නේ නෑ, නව සහශ්‍රයේ ඉඳගෙන මොන බම්බුවටද ගි‍රැංපෝං ගැන කතා කොරන්නේ කියාපංකෝ නැනෝ තාක්ෂණය( Nanotechnology) ඒ උනාට සමහර අය මේ පැරණි දේවල් ගැන දැන ගන්න කැමතියි නොවැ. දන්න කට්ටියත් ඇති මහ ගොඩක්. හැදුවේ කවුද ඒ කොයි කාලෙද වගේ දේවල්. කමක් නෑ ඔන්න ඔහේ මාත් කියන්නම්කෝ, මගෙත් ආසාවනේ නේද...? ග්‍රැමපෝන් එක හදලා තියෙන්නේ ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම්බෙල් මහත්මයා. ඒ 1890 දී. හැබෑවටම මේ යන්ත්‍රයට සමාන එකක් ඊට කලින් හදලා තියනවා ‍තෝමස් එඩ්සන් මහත්මයා අපි හැමෝම දන්න ‍තෝමස් අල්වා එඩිසන්, එතුමා විසින්. ඒ 1870 දී.

                 කොහොම උනත් මම අද කියන්නේ ග්‍රැමපෝන් එක ගැන. සරල මූලධර්මයක් පදනම් කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ කම්පන තරංගයක් ශ්‍රව්‍ය තරංගයක් බවට හරෝන එක තමයි ග්‍රැමපෝන් එකෙන් කරලා තියෙන්නේ. (මට ඔය තරංග ගැන කතා කරන හැම වෙලාවෙම බෝධිපාලවත් මතක් වෙනවා. මොකද බෝධිපාල කියන්නේ තරංගලගේ තාත්තටනේ. ගනන් ගන්න එපා ඔය කතාව මාතෘකාවට අදාල නෑ. මේ හීතලට කියවෙන කතා.) ඒවගේම තැටි නිර්මාණය කරලා තියෙන්නේ කාබන් වලින්. මුල් කාලය තුල එක තැටියක එක ගීතයක්ද, පසු කාලීනව ගීත කීපයක්ද වශයෙන් ග්‍රැමපෝන් තැටි නිර්මාණය වුනා. හරි ඉතින් අපි මුලින්ම ග්‍රැමපෝන් එකක් බලලා ඉමුකෝ.   



ඔය තියෙන්නේ බඩ්ඩ. නෑ මම මේ කිවුවේ ගි‍රැංපෝං එක හෙහ් හෙහ්..!


                              මෙන්න තැටියකුත් තියෙනවා.


අනේ එහෙනම් සිංදුවක් අහලා ඉමු මුලින්ම. 


                  ඔය සිංදුව ගැනත් යමක් කියලම ඉන්නම්කෝ. වීර විජය කියන සිනමා සිත්තමට ලතා වල්පොල මහත්මිය තමයි ඔය ගීතය ගායනා කරලා තියෙන්නේ.මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1963 වර්ෂයේ. සංගීත නිමාණය හෝ ගීතය ලියලා තියෙන්නේ කවුද කියන්න නිවැරදි තොරතුරක් මා ලඟ නෑ. මේ ගීතය නිකුත් වෙලා තියෙන්නේ "හිස් මාස්ටර් වොයිස්" කියන තැටි ලේබලය යටතේ. ඔය තියෙන්නේ එයාලගේ "මාක්" එක.

                          බල්ලා මාක් එක හිකිස්....!


               නවීන තාක්ෂනෙත් එක්ක ගන්නකොටනම් ග්‍රැමපෝන් බල්ලා මාක් උනාට, අතීතය එහෙමටම අමතක කරන එක මහා ගුනමකු කමක්. මොකද එතනින් තමයි මේ සියල්ල ආරම්භ වුනේ. අපි එහෙම ඒ දේවල් අමතක කලොත් අර අසාහය රංගධරයා, ගායන ශිල්පියා මිනිස්සු ගැන කියපු කතාව ඇත්ත වෙනවා. හොඳයි ඒ කතාව මොකක්ද කියලා අහලා බලන්න කැමතිද....? ඕං එහෙනම්...........!

                        
            ඕක ඔය ටික කලකට ඉහත අපෙන් සමුගත් ප්‍රෙඩී සිල්වා නැමැති අපූරු කලාකරුවා විසින් ගායනා කරපු ගීතයක් නෙව. ඔහුට අනුව නම් අපේ සමහර අයගේ වැඩ ගැන බල්ලන්ගේ උනත් ඒ හැටි මනාපයක් නෑ. ඒත් අපේ මාතෘකාව ඕක නොවෙන නිසා අපි ඔය ගැන වැඩිය කතා කොරන්න යන්න ඕන නෑ.   

              හැබෑටම කොහොමද ග්‍රැමපෝන් තැටි වල ගීත අඩංගු වෙලා තියෙන්නේ. නැත්නම් රෙකෝඩ් වෙලා තියෙන්නේ. මොකද හුඟාක් අය දන්නවා ටේප් රෙකෝඩරයක නම් ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් තියෙනවා. අපි ඒකට ටේප් එකක් තේරෙන සිංහලෙන් කියනවා නම් කැසට් පටියක් දාලා බට්න් එකක් ප්‍රෙෂ් කරහම ඉලෙක්ට්‍රික් හෙඩ් එකක් ඇවිත් ධාවනය වෙන ටේප් එකේ ස්පර්ශ වෙනවා. ඒ ටේප් එකේ තියෙන කාබන් අංශු හෙඩ් එක සමඟ ගැටී ඇතිකරන චුම්භක තරංගය ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මගින් ඕඩියෝ (චෙහ් මේ ඕඩියෝ බම්බුවත් සිංහලෙන්නේ ලියන්න ඕන. මේක සිංහල බ්ලොග්නේ.....) ශ්‍රව්‍ය තරංගයක් බවට හරවනවා කියලා. ඒ අනුවයි කැසට් යන්ත්‍රයකින් අපට යමක් ශ්‍රවනය වෙන්නේ. ඒ වුනාට ග්‍රැමපෝන් වල කිසිම ඉලෙක්ට්‍රොනික උපාංගයක් නෑ. අපි ඒකට විදුලිය සැපයීමක් කරන්නෙත් නෑ, එහෙනම් කොහොමද ශ්‍රව්‍ය තරංගයක් ජනනය වෙන්නේ.  හරි මමම කියන්නම්කෝ මේන් මෙහෙමයි ඕක සිද්ද වෙන්නේ.

               මම කිවුවනේ කලින් ග්‍රැමපෝන් තැටි නිර්මාණය කරලා තියෙන්නේ කාබන් වලින් කියලා. මේ තැටි දැකලා තියෙන කෙනෙක් ඉන්නවානම් දන්නවා ඇති ඒකේ රවුමට ඉරි ඇඳලා තියෙනවා කියල අග ඉඳන් මුලට. මේක මේ පැන්සල් ඉරක් වගේ උඩින් ඇඳලා නෙමෙයි තැටිය තුලට කාවදින්න කානුවක් වගේ ගැඹුරට හෑරුන එකක්. අපේ කට්ටිය නෑබිලි දැකලා තියෙනවනේ. නොදැකපු කෙනෙක් ඉන්නවානම් දැන් කුස්සියට ගෙහුං බලලා එනවා හොඳයි.ඔය නෑබිලියේ ඉරි ඇඳලා තියෙන ආකාරයට තමයි මේ ගි‍රැංපෝං එකෙත් ඉරි ඇඳලා තියෙන්නේ. අපූරු උදාහරනේ නේද..?හික් හික් හික්...!! ( අපේ විචාරක මහත්තයට තරහ යයිද මංදා. තරහ අවසර ආයිබොවං මේකලට තේරෙන භාශාවෙන් එපායෑ කියන්ට.) ඒත් වඩා පරීක්ෂාවෙන් බැළුවොත් අපට තේරෙනවා මේ තියෙන්නේ තනි ඉරක්ය, ඒක අගින් පටන් අරගෙන මුලින් ඉවර කරලා තියෙනවය කියලා. ඒවිතරක්ම නෙමේ මම කලින් කිවුවනේ මේ ඉර යටට හෑරිලා තියෙන්නේ කියලා. ඔය යට පෘෂ්ඨය සමතල නෑ. ගැටිති සහිතයි. ඒ ගැටිති සෑදිලා තියෙන්නේ එහි අඩංගු ගීතයේ හෝ හඬේ ආකාරයට. මේ තැටි කොටන්න නැත්නම් හඬ කවන්න භවිතා කරන උපකරණය ගැන මට හරි වැටහීමක් නැතත් එය "ටිකිතුරක" (ටෙලිග්‍රාප්) ක්‍රමය බව මගේ හැඟීමයි.

                  අපි හැමෝම දන්නවා ( නොදන්න අයදැන් දැනගන්න) ග්‍රැමපෝන් එක ක්‍රියා කරන්නේ දුන්නක් ආධාරයෙන් කියලා. ඔය ටයිම් පීස් ඔරලෝසුවල, නැත්නම් අතේ බඳින වයින් ඔරලෝසුවල තියෙනවා වාගේ දුන්නක් කරකවලා (වයින් තියලා) තමයි අපි ග්‍රැමපෝන් එක ක්‍රියා කරවන්නේ. ග්‍රැමපෝන් එකේ තැටිය රඳවන තැන පෙට්ටියක් වගේ එකක්නේ. ඕක ඇතුලේ තියෙන දුන්න යතුරකින් හෝ පිටතට තියෙන හැන්ඩ්ල් එකකින් හෝ කරකවලා අපට වයින් කල හැකියි. ඊට පසු තැටියක් ඒමත රඳවලා පසෙක තිබෙන "ආර්ම්" එක අරගෙන තැටිය මත තබනවා. අදාල තැනින් ආර්ම් එක තැටිය මතට ගේන කොට දුන්න නවතා තිබෙන ලොක් එක නිදහස් වෙන නිසා තැටිය කරකැවෙන්න පටන්ගන්නවා. අපි නියමිත ස්ථානයේ එනම් තැටිය අග කෙලවරට ආර්ම් එක පහත් කලවිට ආර්ම් එකේ අග තිබෙන අල්පෙනෙත්තක් වැනි හිස ( අපි මේකට කියන්නේ ඉඳික‍ටුව කියලා) තැටියේ ඇති සියුම් රේකා දිගේ ගමන් කරමින් මුලට පැමිනෙනවා. හැබැයි ඒ යම් රටාවකට උඩ පනිමින්. මොකද මම ඔයාලට කලින් කිවුවා මේ රේකාවල යට සමතල නෑ ගැටිති ගැටිති තියෙන්නේ කියලා. ඒ ගැටිති නිසා තමයි ආර්ම් එක කම්පනය වෙන්නේ. ඒ වගේම මේ ආර්ම් එකේ පසුපස කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ ඔය හත්තක් වගේ විශාලෙට තියෙන ග්‍රැමපෝන් මලේ පසුපස කුඩා කොටස නිමවා ඇති සියුම් තහඩුවකට. මෙය ශක්තිමත් ඉතා තුනී තහඩුවක් තැටිය මත ඉඳික‍ටුව ඉහල පහල යන ආකාරයටම මේ ආර්ම් එක පි‍ටුපස කොටස මගින් අර සියුම් තහඩුව කම්පනයකට ලක්කරනවා. එම කම්පනය තමයි කුඩාවට පටන් අරන් ක්‍රමයෙන් ලොකුවෙලා තියෙන ග්‍රැමපෝන් මල තුල වායු තරංගයක් ආධාරයෙන් ශබ්ධය ඇති කරන්නේ. මෙතනදි සුළඟත් ලොකු වැඩක් කරනවා. අපි ඔය නලාවල එතකොට ලවුඩ්ස්පීකර් වල එහෙමත් මේ ක්‍රමයනේ අනුගමනය කරලා තියෙන්නේ. 

ක්‍රියා කරන විදිහ පැහැදිලි උනේ නැති කෙනෙකුට මෙන්න බලා     ගන්න. මම දන්නවනේ සමහරුන්ට ටියුබ් ලයිට්නේ.  


               පසු කාලීනව ඔය ග්‍රැමපොන් තාක්ෂණයට සමාන ආකාරයේ තැටි විශේෂයක් එක්ක phono කියලා ක්‍රමයකුත් ආවා. හැබැයි ඒකේ ආර්ම් එක කෙලවරේ තියන ඉඳික‍ටුව කෙලින්ම කැසට් හෙඩ් එකකට සමාන හෙඩ් එකකට තමයි සම්බන්ධ කරලා තිබුනේ. ශ්‍රව්‍ය තරංග හැදුනෙත් ඉලෙක්ට්‍රොනික පරිපථයකින්. ඒනිසා විදුලිය නැතිව වැඩ කරන්න පුළුවන් කමක් ඒකට තිබුනේ නෑ. ඉතින් යන්නද සූදානම...? නරකද සරගේ ගීත ගබඩාවෙන් ගි‍රැංපෝං සිංදුවක් දෙකකුත් අහලම ගියොත්.....?


                 මේ ගීතය ගැන නම් විස්තර කිසිවක් මා සතුව නෑ.  
                      
අහලා බලන්න මේ ගීතය. කරු අයියා එහෙම නැත්නම් කරුනාරත්න අබේසේකර නැමති ගීතරචකයා ගායකයා මොහුයි.


මේ ගීතය ගැනත් විස්තර මා සතුව නෑ.

                 බලමු දේශාභිමානී ගීතයක් අහලා.


 හොඳයි එහෙනම් මම ගෙහුං එඤ්ඤං.....!


පින්තූර අන්තර් ජාලයෙනි...

Sunday, November 18, 2012

මැද පෙරදිග වායූ සමීකරණ ගැන කතා කරමුද......?




         ලංකාවේ අපි ගොඩාක් වෙලාවට A/C එහෙම නැත්නම් වායූසමීකරණ කිවුවහම දන්නේ ස්ප්ලිට් ටයිප් (Split tipe) හරි වින්ඩෝ ටයිප් (Window tipe) ගැනනේ. ඔය ගැන දැනගෙන තමයි අපි ගොඩාක් වෙලාවට A/C Technicians ලා විදිහට විදේශ ගත වෙන්නේ. විශේෂයෙන්ම මැදපෙරදිගට. එතකොට ඒකම ප්‍රමාණවත්ද...? කොහෙත්ම නෑ, මොකද මෙහෙට ආවම තත්වය ගොඩාක් වෙනස්. ඒ නිසා රට එන්න හිතාගෙන ඉන්න හෝ වායූසමීකරණ ගැන ඉගෙන ගන්න,‍රැකියාවක් විදිහට කරන එහෙම නැත්නම් ඒ වගේ විෂයන් පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙකුට ප්‍රයෝජනයක්වෙයි කියලා හිතලා මැද පෙරදිග වායූසමීකරණ ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා.

ඇත්තටම මෙහෙ විශාල වශයෙන් වායූසමීකරණ යන්ත්‍ර භාවිතා උනාට ලංකාවේ අපි දකින ස්ප්ලිට් ටයිප් හා වින්ඩෝ ටයිප් යුනිට් වලට තියෙන්නේ බොහොම පුංචි තැනක්. හේතුව තමයි මෙහෙ ගොඩක් ලොකු බිල්ඩින් තිබීම.
ඔය තියෙන්නේ Split tipe unit එකක out door එකක්.


ඔන්න ඒකේ කැටි සටහනක් In door එකත් එක්කම.

මෙන්න රෙදි ගලවපු window tipe unit එකක්.

මේ අනෙක් පැත්ත.  


ඉතින් ඔය ලොකු බිල්ඩින් වලට භාවිතා කරන්නේ පැකේජ් යුනිට් Packege unit හරි A.H.U. (Air Handling Unit) හරි. ඔය A.H.U. කතන්දරේ සරල මූලධර්ම කීපයක් මත ගොඩ නැගුනු සංකීර්ණ ක්‍රියාවලියක් නිසා ඒක මම දෙවනියට කියන්නම්. මුලින්ම අපි බලමු දන්න ශිල්පයේ නොදන්න පැත්ත.


ඔය තියෙන්නේ Packege unit එකක්. හරි පුංචියි නේද...?  


ඔන්න මම එක පැත්තක් නම් ඇරියා. ඔය පේන තඩි මෝටරය ලඟ තියෙන බ්ලෝවරයෙන් (Blower) තමයි අදාල තැන් වලට ඩක් ලයින් Duct line ඔස්සේ සුලං තල්ලු කරන්නේ.
ඔය තියෙන්නේ යෝධ එවපරේටර් කොයිල් Evaporator coil එක.

Electric panel එක.  


ක්‍රියා කලයුතු ආකාරය කියන්නේ මෙයා නෙව. මේක තමයි මොලේ, මෙහෙ අයට සරාව වටින්නෙත් ඔය හේතුව නිසාම තමයි. Electronic circuit මෙහෙ අයට ග්‍රීක් වගේ.   

ඈතින් පේන්නේ තඩි කොම්ප්‍රෙෂර් දෙක. Compressor. 

ඔය තියෙන්නේ Duct line ගොඩනැගිල්ලතුලට යන ආකාරය.


මම මේ යුනිට් එකම පෙන්නුවේ පොඩි කාරනයක් හින්දා. බලන්නකෝ මේ ෆෑන් Fan එක දිහා. 


            

ඒකෙම අනික් ෆෑන් එක මේ. ඔය උඩ තියෙන දැල ආරක්ෂක ආවරණයක්.

මෙන්න මේ යුනිට් එක පහුගිය රස්නේ කාලේ භාවිතයට නොගෙන අතහරින්නයි හැදුවේ. හේතුව තමයි ඔය මම කලින් පෙන්නපු ෆෑන් එක වැඩ නොකිරීම. මෝටරය පිච්චිලාඅපි ගාව ඒ වර්ගේ මොටර් තිබුනෙත් නෑ. ඕකේ මහ දෙයක් නෑ ඒ උනාට මෝටරයයි ෆෑන් පෙත්තයි විතරයි තියෙන්නේ. අර මම කලින් පෙන්නපු Circuit එකෙන් එන Pulse එකකින් තමයි ඔය මෝටරය දුවන්නේ. ඒ වර්ගයේ මෝටර් අපි ලඟ නැතෙයි කියලා මේ යුනිට් එක අතහරින්න තීරණය කලා අපේ ප්‍රධානියා. හේතුව මෙහෙ ඉන්න ගොඩාක් අය කැඩුන හෝ පිච්චුන කෑල්ලට ඒ ජාතියේම කෑල්ලක් දානවා හැර තමන්ගේ දැනුම උපයෝගී කරගෙන  ඒකට සුදුසු විකල්ප ක්‍රමයක් , උපකරණයක් යොදන්න එයාලට බෑ. ඒත් A.T.C. (Auto Temperature Control) ඇරුනම මේ බිල්ඩිමත් තියෙන්නේ මගේ බාරේ නිසා මට එහෙම කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. මොකද දිනපතා මම මේ බිල්ඩිම පරීක්ෂා කල යුතුයි. එතකොට මෙතන වැඩ කරන මිනිස්සු Complain කරන්නේ මටනේ. ඒ නිසා මම අපේ ප්‍රධානියට කියලා මේක හදන වැඩේ ඉල්ලගත්තා. ඌ මට කිව්වේ උඹට පුළුවන් දෙයක් කරලා හදපං කියලා. අනේ එක දවසෙන් මම යුනිට් එක රන් කලා. මාස තුනකටත් වැඩියි දැන් පැය 24 මැක දිගට වැඩ.   

ඔය තියෙන්නේ තඩි ‍ෆිල්ටර්.ඕවා කාඩ්බෝඩ් මිශ්‍ර නිසා වරක් භාවිතයෙන් පසු ඉවතට.    

හෝද හෝද නැවත භාවිතා කරන ඇලුමිනියම් ‍ෆිල්ටර්.  

යුනිට් එක ඇතුලට හුලං ඇදගන්නා මාර්ගය.

මේ පැකේජ් යුනිට් ප්‍රමාණයෙන් විශාල උනාට ක්‍රියාවලිය සාමන්‍ය වින්ඩෝ ටයිප් යුනිට් එකකට බොහෝ දුරට සමානයි. වෙනසකට තියෙන්නේ මේවා සවිකරන්නේ ගොඩනැගිල්ලෙන් පිටත( උඩ හෝ බිම) වීමයි. යුනිට් එකේ ඉඳන් ගොඩනැගිල්ල තුලට (සීතල හෝ උනුසුම්) සුලං ‍රැගෙන යන්නේ ඩක් ලයින් මගින්. හැබැයි වරදවා තේරුම් ගන්න එපා සාමාන්‍ය වින්ඩෝ ටයිප් යුනිට් එකකදී වෙන්නේ ගොඩනැගිල්ල ඇතුලත තියෙන වාතයම අරගෙන කූල් කරන එක. Recycle. හැබැයි පැකේජ් වලදි ඒක එහෙම නෙමේ.එලියේ තියෙන වාතය අරන් ඒවා ශීත හෝ උනුසුම් කරලා තමයි ගොඩනැගිලි තුලට යවන්නේ.ඒ වගේම වෙනම ඩක් ලයින් එකක් මගින් ගොඩනැගිල්ල ඇතුලත ඇති වාතය ඉවතට ඇදලා ගන්නවා. Exhaust Fan ආධාරයෙන්.



ඔය තියෙන්නේ මෙහෙ තියන Exhaust fan එකක්.

ඉහත දක්වපු පැකේජ් යුනිට් එකේ කැටි සටහනක්.

       ඊලඟට අපි කතා කරන්න ඕන A.H.U.  ගැන. හැබෑටම මොනවද මේ කොහොමද ඒවා ක්‍රියා කරන්නේ ඒගැන අපි ඊලඟ ලිපියෙන් කතා කරමු. එතකන් බලා ගන්නකෝ ඔය තියෙන්නේ A.H.U. එකක්.



ඒ විතරක් නෙමෙයි මෙන්න මේ පොල් ගහක් වගේ උස ජිල්මාට් එක ගැනත් කියනවා එතකොට මම.

ඕවට අපි කියන්නේ කූලිංටවර් Cooling tower කියලා නෙව.




ගෙහුං එඤ්ඤං එහෙනම්......!!




Saturday, November 17, 2012

පැරණි ගී වලට කැමති අයට... (මායියගේ කඳුළු)




සහෘද රසික රසිකාවියන්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.මේ ගීත සරාගේ ගීත ගබඩාවේ තියෙන මුත් Audio file බ්ලොග් එකට Upload කොරනා ක්‍රමයක් සොයා ගැනීමට නොහැකිවූ නිසා සෑහෙන කට්ටක් කාලා නෙට්‍ටුවේ මේ ගීත ඇතිතැන් සොයා මෙසේ ඔබට තිළින කරමි. එබැවින් ගීත වලට උනන්දුවෙන් සවන්දී එයින් කියවෙන දේ හොඳින් ග්‍රහනය කර ගන්නා මෙන් ඉල්ලමි. තවද මේ ගීත මුල් පිටපත් බවද, ඒවා මෙසේ සුරකින අයවලුන්ට අපගේ ගෞරවය පිරිනැමියයුතු බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. හිතට විඩාවක් කාන්සියක් දැනෙනා විට මෙවන් ගී දිව ඔසු මෙනි.


සිනා සපිරි සඳ දුර ඈතයි- හඬා වැටෙන තරු ලඟ පාතයි....
සිනාසෙනා මගෙ හිතට වඩා- හඬන සිතට ඔබ හරි ආසයි...
  කොලිටි එක ගැන නොහිතා සිංදුව අහලා බලන්නකෝ ඉවසීමෙන්.හරය මොනතරම් හිතට දැනෙනවද කියලා..



                ඔය සිංදුව මට මතක් කරන්නේ මගේ මායියගේ (නංගි බබාගේ) කඳුළු. ස්වභාවයෙන්ම ගොරහැඩියෙක් උන මම වෙලාවකට හිතට එන දේ කෙලින්ම කියලා දානවා එයාටත්. මොකක්ද ඒ හරුපේ කියලා හිතෙන අය වෙනුවෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. මෙහෙමනේ සරා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් එක්ක කෙලින් කතාකරන කෙනෙක්. (අවශ්‍ය වෙලාවට කිවයුතුදේ කිවයුතු කෙනාගෙම මූනට කියන එක හොඳ දෙයක්.) ඒ උනාට ඔය හැම තැනටම දාන චක්කරේ ගෙදර උන්දැට නම් දාන්න හොඳ නෑ ආයිබොවන්. බාහිර ලෝකේ ඉන්න ගොඩාක් ගොරහැඩියෝ නිවසේදී, තමන්ගේ බිරිඳ ඉදිරියේදී ගොඩාක් නම්‍යශීලීයි. ඒ ඉතින් ඒකලා ගෑනිට බය නිසා...! එහෙම හිතෙනවාද...? සමහරුන්ට හිතෙන්න පුළුවන්, මටත් ඔහොම හිතුනා කාලෙකට ඉහත. ඉස්සර මා ලඟදි ඔය වගේ කතාවක් කවුරු හරි කිව්වොත් මම කියන්නේ මේ හු## ගෑනිට බයේ බං කියලා. ඒත් දැන් මට තේරෙනවා එදා මම වැරදියි කියලා. ආදරය කිරීමත් කලාවක් යාළුවනේ. හරියට ගීතයක් වගේ.  ඒකට රිද්මයක් ඕන. අහන දකින අයටත් ප්‍රිය උපදින ආකාරයට ගයන අයටත් සතුටක් දැනෙනාකාරයේ ගීතයක් විය යුතුයි එය. එතකොට තමයි නව යුවතිපතීන් දිහා බලලා දෙමවුපියෝ, නෑදෑයෝ, අසල්වැසියෝ සතු‍ටු වෙන්නේ. පහු කාලෙක දෙමවුපියෝ දිහා බලලා දරුවෝ සතු‍ටු වෙන්නේ. මරණ මංචකේ දක්වා එකිනෙකා වෙනුවෙන් කැපවෙලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.

             බිරිඳක් තමන්ගේ සැමියා වෙනුවෙන් දූ දරුවෝ වෙනුවෙන් ලොකූ කැපකිරීම් කරනවා. ඒත් කවදාවත්ම ඒ කැපකිරීම් වලට වටිනා කමක් මිලක් ඉල්ලන්නේ නෑ අපෙන් එයා. ඉතින් එහෙම කෙනෙක් ඉදිරියේ ටිකක් නම්‍යශීලී උනාම පිරිමියෙකුට අපහාසයක් වෙනවද යාළුවනේ. නෑ, කවදාවත්ම නෑ. එහෙම බිරිඳක් තමන්ගේ නෑදෑයන් යෙහෙලියන් ඉදිරියේදී සැමියගේ ගුණ කියනකොට පිරිමියට ගෞරයකුයි ඇතිවෙන්නේ. (අඩේ අද මම කියන්න ආපු කතාව නෙමේනේ මේ. මට ඕන උනේ ඔයලා ගොඩාක් අය අහලා නැති අපූරු ගීත ටිකක් ඔයාලට අහන්න දෙන්න. ඒ උනාට ලියවෙන්නේ වෙන එකක්නේ. කමක්නෑ සිංදු සරා ගාව තියෙනවනේ, මේ ටිකත් කාට හරි කියවලා පුංචි හරි යමක් ලබා ගන්න බැරියෑ. අඩු වශයෙන් ඔය කසාදෙට බයේ දඟලන කෙල්ලෝ ටික හරි කොල්ලෝ ගැන තියෙන සැක සංකා ටිකක් අඩු කර ගත්තොත් ඒකේ වාසියත් ඉතින් කොල්ලන්ටමනේ.D) ඒඋනාට ඉතින් මම තාම සංක්‍රාන්ති සමයේ ඉන්න නිසා වරදින සමහර වචන මගේ මායියගේ ඇස් වලට කඳුළු ගේන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවට එයාටත් වඩා මම දුක් උනාට මම ඒබවක් පෙන්නන්නේනෑ. ඇයිකියලා අහන්න එපා, මම කියන්නේ නෑ. ඉතින් එහෙම වෙලාවලදි ඒ කඳුළු පිරුන ඇස් මට ඔය සිංදුව මතක්කරනවා.

              ඊලඟ සිංදුව නම් මට මතක් කලේ මේ මෑතකදි මම කියවපු බ්ලොග් පෝස්‍ටුවක්. ඒක ලියලා තිබුනේ ගෑණු ළමයෙක්.එයාගේ කතාව කියවගෙන යද්දි මට මේ ගීය මතක් වෙලා ගීත ගබඩාවෙන් හොයලා අරගෙන ඇහුවා. අහලා මතක තියෙන තැනක අරන් තිබ්බා. අනේ ඒ උනාට ඔයාලට ඒවා අහන්න දෙන්න කෙරේමයක් මට හොයා ගන්න බැරි උනා නෙව. කවුරු හරි දන්න කෙනෙක් කියලා දෙනවා නම් දෙන්නම් ටොප් සිංදු ටිකක්. සරා ගාව තියෙන ඒවා නෙට් එකෙත් හොයා ගන්න නෑ ආයිබොවං.හොදින් ඇහුවොත් මතක් වෙයි මේ කාගේ කතාවටද කියලා.  

එදා ඔබ මෙහි නො ආවානම් නෑ මෙවන් දුක් වේදනා....
අළුත් පාසල් වාරයේ...
අළුත් සිසුවෙකුසේ.....


හොඳයි කියමු බලන්න මෙහෙම හැඟීමක් දැනුන කෙල්ලෝ සරාගේ ලෝකෙට එන අය අතරේ නැතිද කියලා.D      

                මොකද සරා කෙල්ලන්ගෙම සිංදු දාන්නේ කෙල්ලෝ වෙනුවෙන්ම. ඇයි අපිට මොකුත් නැද්ද කියලත් කෙනෙක් අහන්න බැරි නෑ නෙව. මම මෙහෙම කියන්නම් හැබෑවටම මම කෙල්ලන්ගේ අදහස් වලට හරිම ප්‍රියයි. වරදවා වටහා ගන්න ඕන නෑ ගමේ එවුන් ඉස්සර මට පැනියා කිව්වේ ආදරේට. එහෙම නැතුව මම............. නිසා එහෙම නෙමේ.P කාන්තා පක්ෂය කොහොමත් මෘදුයි එයාලගේ අදහසුත් එහෙමයි. මතක තියා ගන්න ඒක බොළඳ කම නෙමෙයි. සියුමැලි කම, මටසිළු‍ටු කම කියලා තමයි ඒක හඳුන්වන්න පුළුවන්. පිරිමිත් එක්ක කරට කර ජීවිතේ වෙනුවෙන් දහදිය හෙලන එයාලා බොලඳයි කියනවානම් ඒක මහා විහිළුවක්. ඉතින් මගේ ගීත ගොන්නේ හරි අඩක් වෙන්වෙලා තියෙන්නේ ගායිකාවන්ගේ ගීත වලට. ගේය පදත් ලියවිලා තියෙන්නේ කාන්තාවන් අතින්. මෙන්න කොල්ලන්ටත් යමක්. අහලා බලලා කියන්න කී දෙනෙක් මීට කලින් මේ ගීය අහලා තිබුනද කියලා.
පෙම් කලත් සිතින් දයාවී....
ලං වෙන්න බෑ කියාවී...
අහිමියි- ඔබේ ආදරේ...
අපෙ පෙම ගැනත් ලතාවේ ලෝකයා අදත් කතාවේ
නොසිතන් ළඳේ අහිතක් මේ මාකෙරේ...  


ආයෙත් මතක් කරනවා. ඉවසීමෙන් අහන්න. වර්ථමානයේ බිහිවෙන ඇතැම් කඨෝර ගීතවලට වඩා මේ ගී මොනතරම් සුන්දරද කියලා.   

මේ සිංදුව ගොඩාක් අය අහලා තියනවා හැබැයි ඒ මේ තනුවට නෙමෙයි. මේ ගීතය මුලින් නිර්මාණය උනේ මෙහෙමයි. පසු කාලයක ඔයාලා අහලා පුරුදු ආකාරයට වෙනස් වුනාට.




ආයෙත් දවසක පැරණි සිංදු ටිකක් අරං එන්නම්කෝ. එකම ඔක්කෝම අහන්නත් බෑනේ. එහෙනම්..............
ගෙහුං එඤ්ඤං...!




Thursday, November 15, 2012

සරා කියන්නේ බයිලද............?




                මම මේ කතාව ලියන්නේ අපේ සමහර අය ඉන්න මතයක් ගැන මගේ අදහස කියන්න. හැබැයි මම කාටවත් තමන්ගේ ස්තාවරේ වෙනස් කරන්න කියලා යෝජනා කරනවා එහෙම නෙමේ. එතැන ඉන්නේ මම නම් මම කරනදේ ගැන කියනවා විතරයි. පොලු මුගුරු ඇන්න සටනට එනවා නෙමෙයි ඕං.  

                 හැමදේම සම්පූර්ණ කරගෙන ජීවිතේ පටන් ගන්න හෝ ඇතැම් ඉලක්ක කරා යන්න හීන දකින ඇත්තෝ බොහෝමයි. එහෙම වෙනවා නම් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේවල් ඒ විදිහටම වෙන තැනකට නෙමෙයිනේ. දහසක් බලාපොරොත්තු තියාගෙන යමකට අපි සූදානමින් ඉද්දී නොසිතූ කරදරයක් ප්‍රශ්නයක් ඔය මැදට වැටෙන වෙලාවල් නැතිද....? අර හැමදේම අමතක කරලා අළුත් ගැටළුවට විසඳුම් හොයලා නැත්ද අපි...? අන්න ඒ නිසයි මම කිවුවේ මුල ඉදන් අගටම ප්ලෑනකට අනුව වැඩකරන්න ජීවිතේ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් කරපු ටයිමර් සර්කිට් එකක් නෙමේ කියලා. එහෙම එකක් නම් ගැටළුවක් නෑ අදාල "පල්ස්" එක ලැබුනම ඒ ඒ ස්වීච් එක ඔන් වෙලා අදාල කර්තව්‍ය කෙරෙයි. ඒ උනාට යාළුවනේ මේ ජීවිතය කියන සර්කිට් එක ප්‍රෝග්‍රෑම් කරපු කෙනා ඒකේ ඩයිග්‍රෑම් එක අපට දීලා නෑ විතරක් නෙමේ එකම ජාතියේ පරිපත දෙකක් හෝ ඊට වැඩි ගනනක් හදලත් නෑ. ඒ නිසා අපට අපි ගැන හෝ අපේ සමීපතමයෙකුගේ ජීවිතය ගැන පූර්ව නිගමන වලට ඒමේ හැකියාවක් නෑ. ඒ නිසා අර විදිහට කරනවද, මෙහෙම කරනවද කිය කියා තැවි තැවී ඉන්නවට වඩා හොඳයි අවසාන ප්‍රතිපලය ගැන විතරක් හිතට අරන් කොතනින් හරි පටන් ගන්න එක. උදේට ඇඳේම ඉදන් "තේ ද කෝපි ද බොන්නේ" කියලා හිතෙන් වද වෙනවට වඩා නරකද නැගිටලා "කේතලේ" රත්කරන එක...?

                අපට ලැබිලා තියෙන කෙටි ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් එතකොටයි. නිකන් හිතලා බලන්න මෙහෙම තීරණ ගන්න බැරුව අපි දවසකට විනාඩි කීයක් අපතේ යවනවද කියලා. මට මේ වැඩේ කරන්න ඕන.මේ හේතුව නිසා කරන්න බැරිවයි ඉන්නේ. ඔහොම කියන අය ඉන්නවා නේද...? ඕන තරම් ඉන්නවා. මෙහෙම වෙනකොට කාලය අපතේ යනවා විතරයි,ජීවිතේ එක තැනමයි බණ නෙමේ යාළුවනේ සරා මේ තියරි ෆලෝ කරනවා. මෙන්න නිධාන කතා දෙකක්ම.....     

              තනිකඩ කාලේ කුමාර ජීවිතයක් ගත කරපු නිසාත්, විදේශ ගතවීම් වලිනුත් අතේ තිබුනු මුදල් වැයවුනා මිස ලබපු ආදායමක් නොමැති නිසාත් කසාද බඳින දවස් වෙනකොට මා ලඟ මහගොඩක් සල්ලි තිබුනේ නෑ. කසාද බැඳලා ටික කලක් යනකොට අගහිඟකම් දැනෙන්න ගත්තේ අත දිගහැරලා වියදම් කලාට ලබපු ආදායමක් නැතිනිසා. ටික දවසක් යනකොට මට රක්ෂාවක අවශ්‍යතාවය දැනුනා. මගේ සුදුසුකම් වලට ‍රැකියාවල් ලැබුනට මට ඒතැන් සුදුසු නූනේ මට කාගෙවත් යටතේ වැඩ කරලා පුරුද්දක් නැතිනිසා. ලැබුනු ‍රැකියාවලට ඉක්මනින්ම ආයුබෝවන් කියලා මම මගේ හිතවතෙකුගේ ෂොප් එකක තාක්ෂණ ශිල්පියෙකු ලෙසත් වැඩ කලා ටික කාලයක්. මේ ආර්ථික අවපාතයට එකම හේතුව උනේ මගේ අපාය සහය මිතුරන්ගෙන් දුරස්වීම. ඉස්සර වගේ උන් එක්ක රවුම් ගහන්න වල බහින්න මට බැරි වෙන නිසා රට වටෙන්ම මට ආව වැඩ නැතුව ගියා. අනික ඉතින් කෝල් එකක් ආව ගමන් දුවන්න පුළුවන් කමකුත් නෑනේ මට.

               කොහොම හරි ආර්ථිකේ පහලම අඩියක තියෙන දවස්වල තමයි නංගි බබාලගේ අම්මා නංගි බබා අතට සල්ලි ටිකක් දීලා තිබුනේ ගේ හදන්න පටන් ගන්න කියලා. මහ ගොඩක් නෙමේ රු: ලක්ෂයක් විතර. නංගි බබාගේ වගේම අනෙක් අයගෙත් අදහස උනේ යන්තම් කාමරයකුයි කුස්සියකුයි හදාගෙන පදිංචි වෙලා ඉතිරි ටික හදමු කියලයි ටික ටික. ඒත් ඒ තරමට එකක් හදන්න යන බාස් කුලියටවත් අර මුදල ප්‍රමාණවත් නෑ කියලා මම දැනන් උන්නා. ඒ උනාට මම නොකර සද්දෙන් උන්නා. ඔය අතරේ මම වාස්තු විද්‍යාව ගැන ලියවුනු පොත් වගයක් ගෙනත් කියෙවුවා. ඒ අතරේ බොහොම පැරණි වාස්තු විද්‍යාව ගැන ලියවුනු පොතකුත් මට ලැබුනා. මම හොඳින් පොත් ටික කියවලා ඒවායේ තියෙන පොදු කරුනු සැලකිල්ලට අරගෙන ඒ අනුව නිවාස සැලසුමක් ඇන්දා. ඒ සැලසුම A4 කොලයක ඇඳපු නිසාද මන්දා ගෙදර අය හිනා වුනත් එක්ක. (මටද නිවාස සැලසුමටද කියා හරි හැටි නොදනිමි.) මම ඉතින් ඒවා ගනන් ගන්නේ නැතුව ඊලඟ පියවර විදිහට ගෙපල කපන්න පටන් ගත්තා. උදවුවට හිටියේ නංගි බබා විතරයි. මම කාටවත් අඬගහන්න ගියෙත් නෑ. දැක්ක දු‍ටු කෙනෙක් ආවෙත් නෑ...හිකිස්...! අනික මම ඒ ගමට අළුත් මිනිහෙක් නේ. ඒකත් එක හේතුවක් වෙන්නැති. අනික මොන තරම් අසීරු වෙලාවක උනත් මම අනිත් අයගෙන් උදවු නොඉල්ලන කෙනෙක් කියලා මගේ ජන්ම පත්‍රය බලන ඇත්තොත් කියනවලුනේ. කොහොම කොහොම හරි දවස් ගානක් දඟලලා දඟලලා ගෙපල කපලා ඉවර කරා.

               ඊට පස්සේ පවුන්ඩේෂන් දාන්න සුදුසු නැකතක් එහෙම බලලා ඒ සඳහා සුදුසු කම් තියෙන පලපුරුදු වැඩිහිටියෙකුට ආරාධනා කලා. ඔහු ඇවිත් මගේ නිවාස සැලසුම බලලා ඇහුවේ කවුද පුතා මේක ඇන්දේ කියලා. මම කිවුවා මමයි මාමේ ඇන්දේනම්... ඇයි මොකුත් අඩු පාඩුවක් තියෙනවද කියලා. එතකොට එයා මට කිව්වේ කිසි අඩු පාඩුවක් නෑ දරුවෝ.. බොහොම ලස්සණට වර්ග කරලා තියෙනවා මේ පිලිවෙලටම මේ වැඩේ කරනවා නම් ඔයාට මේ ගේ මාස තුනක් යනකොට හදලා ඉවර කරන්න පුළුවන් කියලා. (සැ/යු: මෙහි සඳහන් කිසිවක තාර බර වැලි බර අඩංගු නොවන අතර නයි ද නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි.) ඇත්තටම මට හරි සතුටක් දැනුනා එහෙම කිවුවම. ඒ උනාට සරා කියන්නේ හිතේ ඇතිවෙන හැඟීම් මුහුනෙන් පෙන්නන එකෙක් නෙමේනේ. ඊට පස්සේ නැකතට නූල් ගහලා දීලා ඒ මාමා යන්න ගියා. එදා නම් කට්ටිය ගොඩාක් හිටියා.පවුන්ඩේෂන් එක දාන්න මගේ යාළුවෙකුත් ඇවිත් උදවු කලා.

                 අතේ තිබුනු අනෙක් සල්ලි වලින් මම මේෂන් වැඩට ඕන ආයුදයි (හැඳි, ලඹ. මනිස් ලෑලි. මට්ටන් ලී, ලෙවල්) ගල් වැලි බ්ලොක් ගල් සිමෙන්ති වගේ ජාති ගත්තා. අමු ද්‍රව්‍ය ටික ලං කරගෙන මම තනියම ගේ හදන්න පටන් ගත්තා. ජීවිතේටම මෙහෙම වැඩක් කරලා නොතිබුනාට මට හොඳ ෂුවර් එකක් තිබුනා මට මේවැඩේ කරන්න පුළුවන් කියලා. ගලෙන් ගල බැඳිලා බිත්ති ඉහලට යනකොට හෙවනැල්ල වගේ මගේ ලඟ උන්නේ නංගි බබා. පොඩි එකී කියලා මම හැම වෙලාවෙම විහිළු කලාට එයා හැම අතින්ම පරිපූර්ණ ගැහැනියක්. අද මේ ජීවත්වෙන සාර්ථක සරාගේ පි‍ටුපස ඉන්නේ එයා. අග හිඟ කම් ඉස්සරහ දොරෙන් ගෙට එනකොට ආදරේ පිටිපස්සේ දොරෙන් පැනලා යනවා කියලා තිබුනු පැරනි මතය බොරුයි කියලා කියන්න එයා මට හොඳ සාක්ෂියක්. සාර්ථක පිරිමි උපදින්නේ මේ වගේ ගැහැනු නිසා කිවුවොත් ඒක බොරුවක් නෙමේ. නොදන්න දේවල් කරන්න ගියාම අත්වැරදීම් වෙනවා. නංගි බබාටත් මම කරන වැඩ ගැන අවබෝධයක් නොතිබුන නිසාඇතැම් වෙලාවට එයා අතින් පුංචි පුංචි අඩුපාඩු කම් වෙනකොට කෙන්ද කන්ද වගේ දකින මම කෝප ගත්තේ නැතුව නෙමේ. ඒත් ඒ හැම වෙලාවේම එයා නිවිලම හිටපු නිසා පත්තු වෙච්ච වේගෙන්ම නිමෙන්නත් මට පුළුවන් උනා.

                කොහොම හරි අර මාමගේ අනාවැකිය සාර්ථක කරමින් මාස 3ක් ගතවෙන්නත් මත්තෙන් ලස්සන ගේ පොඩ්ඩක් අපි දෙන්නා අතින් ඉදිවෙලා තිබුනා. නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයකින් සමන්විත වෙලා තිබුනා එය. මම විදේශ ගතවීමට පෙර අපට එහි පදිංචි වීමටත් හැකියාව ලැබුනා. සියළු දේවල් සම්පූර්ණ කිරීම වෙනුවට කොතනින් හරි පටන් ගත්ත එක තමයි මේ සාර්ථකත්වයට එකම හේතුව. මට ගේ හදන්න නම් ඕන ඒ වුනාට ඒකට ඕන කරන මුදල මා අතේ නෑ. ඇති වෙන්න සල්ලි නැතුව ගෙවල් හදන්න අතගහන්න බෑ. සල්ලි නැතුව වැඩේට අතගහලා නිකන් අනා ගන්න වෙන්නේ. ඔය වගේ පසුගාමී සිතිවිලි මගේ හිතේ තිබුනේ නෑ. මම තනියම ගෙපල කපන කොට මා දිහා ඔලොක්කුවට වගේ බලාගෙන ගියපු ගමේ මිනිස්සු, බිත්ති ටික ටික උස යනකොට මා දිහා බැළුවේ පුදුමෙන් වගේ. තනියම වහලේ ගහනකොට මාදිහා බලපු මිනිස්සුන්ගේ ඇස්වල තිබුනේ විශ්මයාර්තයක් වගේ දෙයක්.මේ කොලුවා TV බාස් කෙනෙක් කියලා නේද කිවුවේ, වගේ අදහසක් තමයි ඒ බැළුම් වල තිබුනේ. 

මේ අනිත් කතාව;
               මම රේඩියෝ කඩේ කරන කාලේ මගේ දවසේ ආදායම රු: 3000කට ටිකක් විතර වැඩි උනා. (සාමාන්‍ය) මේකෙන් 1500කටත් වඩා වැඩි කොටසක් මට වැය උනේ අරක්කු වලටයි සිගරට් වලටයි. මගේ යාළුවෝ, එයාලගේ බිරින්දෑවරු මට අනන්ත කියලා තියෙනවා ඔය වැඩේ නතර කරපං කියලා. ඒ වුනාට බීරි අලින්ට වීනා වයලා වැඩක් නෑ නොවැ. දවසක් මට මතකයි කොමියුනිකේෂන් එකක මගේ යාළුවෙක් මට කිවුවා මචන් උඹ ඔය හැමදාම අරක්කු වලට වියදම් කරන සල්ලි මට දීපන් ණයක් විදිහට මම අවුරුද්දෙන් මේ හයිලෙවල් පාරට බස් එකක් දානවා ඒ සල්ලි වලින් කියලා. වෛද්‍යවරු පවා මට කියලා තිබුනේ පුතා උඹේ බීම නවත්තන්න කාලේ හරි කියලා. ඒත් ඒවා ගඟට කැපූ ඉනි වගේ උනා. හැබැයි මට හිතුනු දවසේ ඒ කියන්නේ 2007-6-24 මම අරක්කුයි සිගර‍ටුයි දෙකම නැවැත්තුවා එකම දවසේ. මේ අවුරුදු 5ටම මට ඒවයේ අවශ්‍යතාවයක් දැනුනේ නෑ.

                ඒත් මේ අවට ඉන්න ගොඩාක් අය කියනවා මට ඇහිලා තියෙනවා, අපට නවත්තන්න ඕන මේවා නවත්තගන්න බැරිවයි ඉන්නේ කියලා. තවත් අය කියනවා මම අහවල් දවසේ ඉඳන් සිගරට් බොන්නේ නෑ අරක්කු බොන්නේ නෑ කියලා. ඒ වුනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක වුනු බවක් මම දැකලා නෑ. ඇතැම් අයට උදේට වැසිකිලි යන්නත් බැරිලු සිගරට් එකක් නැතිව. අහවල් එක චාර්ජ් වෙන්නේ නෑ කියනවනේ. මම කියනවා මෙයාලා කරන්නේ තනිකරම බොරුවක් කියලා. එයාලා එයාලව රවට්ටගෙන අපිවත් රවට්ටන්න උත්සාහ කරනවා. හිත පාලනය කරගන්න බෑ එහෙම නැත්නම් හිතට වහල්වෙලා. ගොඩාක් අය හේතු දක්වන්නේ තමන් යමක් නොකරන එක සදාරණීකරනය කරගන්න මිස එය හැබෑවටම කල නොහැකි නිසා නෙමෙයි. හිත ඇත්නම් පත කුඩාද කියලා පැරණි කියමනක් තියෙනවා හැමෝම අහලා ඇතිනේ. ඒවගේම ඒකේ තේරුමත් දන්නවා ඇති. උත්සාහය කෙරුවොත් කරන්න බැරි දෙයක් නෑ. ගැටළුව තියෙන්නේ හැබෑවටම අපට ඒ දේ කරන්න ඕන කම තියෙනවද කියන එකෙයි.

              මේ පෝස්‍ටුව ලියන එකත් ඔයාලා වගේම සාමාන්‍ය මිනිහෙක්ම මිස විශේෂ හැකියාවන් තියෙන අමුතු එකෙක් නෙමෙයි. හැබැයි හිතුවොත් ඕනම දෙයක් කරන හිත හයිය එකෙක්. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, පැහැදිලිවම මම ඔයාලට කියන්නේ නෑ මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා. මට ඕන උනේ කල හැකියි කියලා කියන්න විතරයි. කරන්නේ කොහොමද කිය කිය වද නොවී කොතනින් හරි පටන් ගන්න කියලයි.

ප/ලි:  

මේ වතාවෙත් රට ඇවිත් සරා මහ කාලයක් උනේ නෑ.අවුරුදු දෙකයි. අවශ්‍යතාවය තියෙනවා නම් තම අරමුණු වලට යන්න ජීවිත කාලෙම නොර‍ටුන්ට උගස් කරන්න ඕන නෑ. මම මේ වෙනකොට මට තිබුන මුදල් ප්‍රශ්නත් විසඳගෙන ගෙයි ඉතුරු ටිකත් හදලා බිස්නස් එකත් නැවත අරඹන්න ඕන කරන මූලික පසුබිම හදාගෙන ඉවරයි. මේ හැම දෙකටම මූලික උනේ මගේ ශක්තිමත් අරමුණ මිස වෙන දෙයක් නෙමේ. සරාලගේ තාත්තලා සල්ලි කාරයෝ උනාට සරා දුප්පත් මිනිහා. හැබැයි ඒ සල්ලි වලින් විතරමයි. අරමුණු වලින් චිත්ත ශක්තියෙන් නම් සරා තාත්තට වඩා දහගුණයක් පොහොසත්. සල්ලි නම් මොනවද නේද යාළුවනේ....

එහෙනම් ආයිබොවන්... මම ගෙහුං එඤ්ඤං....!




Tuesday, November 13, 2012

සිරිපා අඩවියේ අතරමංවූ කොලුවා...






             ඒ වූ කලී අදින් වසර විස්සකට පමණ පෙර සිරිපා අඩවියයි. රාත්‍රියේ සිරිපා මළුව කරා ගමන් කරන වන්දනා නඩයකි. ඔවුන් අතර පියෙකු, කුඩා කොලු පැංචෙකු හා කෙලි පැංචියකද විය. නඩයටම හුන් පොඩිඋන් දෙදෙනා වූයේ මොවුන් දෙදෙනාම පමනෙකි. සිරිපා වන්දනාවට ඔවුන් කෝඩුකාරයන් වූ බවද නඩේ ගුරා විසින් යන එන්නන්ට වරින් වර මතක්කල නිසාවෙන්දෝ අතර මඟ මුන ගැසෙන වන්දනා නඩ ඔවුනට ආශීර්වාද කලෝය. ගැහැණු දරුවා නිතරම තම පියා අසලින්ම උන්නද කොළු ගැටයා එසේ නොවීය. වරෙක දුවමින් නටමින් තැන තැනින් අහුලා ගත් තුන්සරණ කවි කියමින්ද ඔහු ප්‍රීතියෙන් නඩය ඉදිරියෙන්ම ගමනේ යෙදුනේය. අළුයම් කල මලුවට පැමිණි ඔවුන් වන්දනා මාන කොට අනතුරුව හිරු සේවයද නරඹාආපසු පිටත් විය. මුලු ‍රැයක් පුරා සිරිපා හිමයේ සැතපුම් දොලහකටත් අධික දුරක් පාගමනේ යෙදුන සියළු දෙනාම විඩා පත්ව හුන් නිසා වේගවත් ගමනක යෙදීම දුෂ්කර විය. 
                 
        එහෙත් නඩයේ උන් එක් ජවසම්පන්න වැඩිහිටියෙකු "ඔයාලා එහෙනම් හෙමෙන් එන්න. මම ටිකක් ඉක්මනට බහිනවා....යි කියමින් වේගවත් ගමනක යෙදුනි. තම පියාගෙන් අවසර ගත් කොලුවාද "ලොක්කා මාමේ මාත් එනෝ... කියමින් ඔහුට එකතුවිය. මහගිරිදඹ, ගෙත්තම් පාන, ශීතගඟුල, ධර්මරාජ ගල සියල්ල පසුවෙනවිට සැතපුම් හයක් පමණ දුර ඔවුන් වේගයෙන් ගමන් කොට තිබින. ළිහිණි හෙල අසලට පැමිණ සුළුවේලාවක් කෑකෝ ගසමින් සිටි කොලුවාට"අපි යමු" යැයි වැඩිහිටියා කීවේය. එක තැනක මද වේලාවක් ‍රැඳී සිටිය නිසාදෝ පොඩි එකාගේ කකුල් කෙඩෙත්තුව වැඩිවූවා සේය. "තව ටිකක් ඉඳලා යමුකෝ ලොක්කා මාමේ මගේ කකුලුත් රිදෙනවා".. පොඩි එකා කීවේය. ඇඟ පමණක් ඇති මොලේ නැති ඒ පොලොස් කොට්ටෝරුවා, එහෙනම් ඔයා ඉඳලා තාත්තලා එක්ක එන්න. මම යනවා කියමින් යන්නට ගියේය..හුදෙකලා වූ කොලුවා අවට බැලුවේය. ළිහිණි හෙලට නුදුරින් වෙළඳ කුටියක් විය. ඒ අසලටම වන්නට මාවත අයිනේ ඉදිවුන දඬු මැස්සකි. කොලු පැංචා මැස්ස මත වාඩිවූවේය. ගමන් විඩාව අධික වූ නිසාම සුළු වේලාවකින්ම ඔහු නිදි දෙව්දුව වැළඳ ගත්තේය. 

                      *************************** 

පුතා.. පුතා... නැගිටින්න..!
එක්තරා කරුණාවන්ත හඬකින් කොලුවා අවදිවිය.
ඇයි ඔයා මෙතන නිදාගෙන ඉන්නේ...?
කරුණාවන්ත හඬ හිමි තරුණ කාන්තාවක කොලුවාගෙන් විමසා සිටියාය.
අපේ තාත්තලා එනකම් ඉන්නේ, එයාලා මග බහිනවා...!
නිදිමත විකාරයේම කොලුවා කියවන්නේය.
කොයි වෙලාවෙද ඔයාලා බැස්සේ..?
කාන්තාව නැවතත් විමසා සිටියාය.
උදේ......!
ඉතින් දරුවෝදැන් හොඳටම හවස් වෙලානේ.. ඔයාලගේ කට්ටිය මෙලහට බැහැලත් ඇති...!
කොලුවා වහා තම අත‍රැඳි හෝරා මානයට නෙත් යොමු කලේය. සැනින් ඔහුගේ ඇස් ලොකු විනි. කටේ කෙල සිඳින. නිදිමත අතුරුදන්ව ගොස් මහා බියකින් ශරීරය වෙව්ලා ගියේය.
බුහ්....හෑ හෑ......!!!!!!!!!
කොලුවා හඬන්නට වන්නේය.
හරි දැන් හොඳ ළමයා වගේ අඬන්නේ නැතිවකියන්නකෝ ඔයාලගේ ගම කොහේද කියලා....!
කරුණාවන්ත කාන්තාව කොලුවා අස්වැසීමට අසාර්ථක උත්සාහයක නියැළුනාය.
කිරි ඇල්ල... !
කොලුවා හඬමින්ම කීවේය.
ඉතින් අපිත් එහෙනේ පුතේ.. අපි ඔයාව එක්ක යන්නම් අඬන්නේ නැතුව ගෙවල් කොහේද කියන්නකෝ....!

          මේ වනවිට කොලුවා මහ හඬින් හඬමින් සිටි නිසා විශාල සෙනගක් එතැන ‍රැස්ව සිටියහ. පොඩි එකා හඬමින් කාන්තාව සමඟ කියන තොරතුරු අනුව නඩයේ සිටි අය ‍රැස්ව සිටියවුන්ට කරුණු පැහැදිලි කිරීමෙහි නිරතව සිටියෝය. පොඩි එකාගේ විලාපයට වන්දනා නඩවල මෙන්ම අවට වෙළඳ කුටිවල උන් අයගේද හදවත් කම්පාවන්නට ඇත. නොයෙක් දෑ දෙමින් කරුණු කියමිනොවුන් පොඩි එකා අස්වසන්නට තැත් කලෝය. ඔවුන් පමණක් නොව යන එන්නන් පවා පැංචා අස්වැසීමට උත්සාහ ගත් අතර. කැවිලි පෙවිලි, සෙල්ලම් බඩු සේම මුදල්ද දුනි. එහෙත් මේ කිසිවකින් කොලුවාට වැඩක් නැති. ඔහුට මව මතක් වෙයි, පියා මතක්වෙයි, නැගනිය ගෙදර මේ සියල්ල ඔහුගෙන් බොහෝ දුරය. මාපිය හෙවනෙන් ඔහු කව්දාවත් දුරස්ව හිඳ නොමැත. තනිමඟ ගමන් ගොස් නැත. එබැවින් ඔහුට හැඬෙයි.
කරුනාවන්ත කතගේ සැමියා යැයි සිතිය හැකි අයෙක් කොලු පැටියාට ලංවිය.
දැන් අඬන්න ඕන නෑනේ පුතේ. නැන්දා කිව්වනේ අපි ඔයාව ගෙදර එක්ක යනවා කියලා..! හොඳ පුතාවගේ අපිට කියන්නකෝ ඔයාලගේ ගෙදරට යන්නේ කොහොමද තාත්තගේ නම මොකක්ද කියලා....!

අපේ ගෙදරට යන්නේ එපිටවලින්. තාත්තගේ නම ලින්ටන්. ගාල්ලේ කඩේ මුදලාලිත් අපේ තාත්තගේ යාලුවෙක්. මාව ගාල්ලේ කඩේ ලඟට එක්ක යන්න, ඒ මාමා මාව ගෙදර එක්ක යයි.

        කොලුවා හඬමින්ම කියවයි. පිරිසෙහි සිටියවුන් මුහුණින් මුහුණ බලාගන්නට විය. තරුණ කාන්තාව පැමිණ කොලුවා ඉදිරියේ දණ ගසා ගත්තාය. ඇය කොලුවාගේ මුහුණට එබී...
පුතේ ලින්ටන් කිවුවේ කොටියන්ගොඩ කන්දේ ලින්ටන් මුදලාලිද...?

ඔවු....!
ඉතින් පුතේ අපි පහල ගමනේ...! මේ මාමා ඔයලගේ තාත්තගේ යාලුවෙක්, පුතා අහලා නැද්ද ධර්මේ මුදලාලිව.
නෑ....!
හරි.. ඔබියස් මාමව අඳුරනවද අට්ටාල වත්තේ...?
ඔව්.. චමින්ද අයියත් මගේ යාළුවා....!
හරිනේ එහෙනම්...! මම ඔබියස් මාමගේ නංගි... දැන් බයවෙන්න දෙයක් නෑනේ. මම චමින්දගේ නැන්දනේ. අඬන්නේ නැතුව ඉන්නකෝ අපි ඔයාව ගෙදර එක්ක යන්නම්කෝ හොඳේ...!

පසුව අවට සිටියවුන්ට කරුණු පහදා දීමෙන් අනතුරුව ඔවුන් කොලුවාද කැ‍ටුව පල්ලම් බසින්නට වූවෝය. එහෙත් විවිදාකාර බියජනක සිතුවිලි වරින්වර පොඩි එකාගේ සිතට එන්නේය. එවිට නිරායාසයෙන්ම ඌට හැඬුම් එන්නේය. කොලුවා අඬනා හේතුව විමසන වන්දනා කරුවෝ, ඔහු අස්වැසීමට විවිධ දේ කියන්නෝය. සෙල්ලම් බඩු කැවිලි පෙවිලි පමණක් නොව මුදල්ද ඒ අතර වූ අතර නඩයේ සැමගේ අත් ඒ ලැබෙන දේවලින් පිරී ගොස්ය. කොලු පැංචාගේ සාක්කු පිරෙන්නට නෝට්‍ටු කොලය. සවස 7.00 පමණ වන විට ඔවුහු පලාපත්වෙලට සේන්දු විය. රත්නපුර බලා දිවෙන අවසාන බස් රථය බස් නැවතුමේ විය. සියළුදෙනා එයට ගොඩවී වාඩිගත්තෝය. පොඩි එකා කවුලුවක් අසල සිට අවට බලමින් සිටියේය. හදිසියේම හඳුනන රුවක් අසල ඔහුගේ ඇස් නතර විය. පොලොස් කොට්ටෝරුවා........

නැන්දේ...නැන්දේ.. අන්න අපේ නඩේ එක්කෙනෙක් ඉන්නවා අර අර....!
කෝ පුතේ....?

අර අතන ඉන්නේ...... ලොක්කා මාමේ... !

 පොඩි එකා හඬ තලන්නට විය. ඒ හඬ ඇසුනු වැඩිහිටියා පැමිණ බසයටගොඩවී අනෙක් අය කොහිදැයි කොලුවාගෙන් ඇසීය. ඒ සමඟම කොලුවා කැඳවාගෙන ආ නඩයේ සැවොම අර වැඩිහිටියාට බැන වදින්නට විය.
ඔයාලට මොලයක් කියලා දෙයක් නැද්ද මේ දරුවව මග දාලා ආවේ...? අපට හම්බවුන නිසා හොඳයි. වෙන කවුරු හරි අඬගහගෙන ගියානම් කොහේ කියලා හොයන්නද...? අනික එතන ළිහිණි හෙල, මෙලෝ මිනිහෙක් කරන වැඩක්ද කරලා තියෙන්නේ....?
   බැනුම් කෝටියයි...! අරූ ගොනා සේ නිහඬය. දැන් පොඩි එකා සන්සුන්ය. ඔහුට දැන් අඳුනන කෙනෙක් සිටිනා නිසාය ඒ. නඩයේ අනෙක් අය ගැන වැඩිහිටියාගෙන් තොරතුරු ඇසූයේ කරුණාවන්ත නැන්දාය. ඔවුන් ගැන තොරතුරු ඔහු නොදන්නා බවත් පහලට පැමිනි පසු සැලූන් එකකට වැදී ඔහුත් නිදා ගත් බව පිරිස සමග පැවසීය. මද වේලාවකින් ගමන් ඇරඹූ බස් රථය රාත්‍රී දහය පමණ වනවිට රත්නපුර නගරයට පැමිණියේය. මේ වනවිට පානදුර බලා දිවෙන අවසාන බසයද සිය අවසන් ගමන් වාරයට සූදානමෙන් තිබින. පිරිස කඩිමුඩියේ බසයෙන් බැසීමට වූ අතර.... තාත්තා......යි පොඩි එකා කෑ ගාන්නට විය. උගේ බැල්ම ඔස්සේ නෙත් යොමු කල ධර්මේ මුදලාලිද තම හිතවතා දු‍ටුවේය.

එදෙසට පිය නැගූ ඔහු කොලුවාගේ පියාට සිදුවූ සියල්ල පවසා කොලුවාද බාරදුනි. ඒ සමඟම ඔහුට ලැබුනු තෑගිභෝග මලුද බාරදුනි. කරුණාවන්ත නැන්දා කොලුවගෙන් සමුගත්තේ පුතේ දවසක අපේ ගෙදර එන්නැයි කියමිනි. මධ්‍යම රාත්‍රිය ඉක්මයද්දී පියා සහ දරු දෙදෙනා නිවසට පැමිනියෝය. ගමන් වෙහෙස අධික බැවින් ආ සැනින් කොලුවා නිදන්නට විය.      


ප/ලි: 

පසුදා දහවල් නින්දෙන් පිබිද එලියට පැමිනෙමින් සිටි කොලුවාට පියා විසින් කනේ පහරක් තෑගි ලෙස පිරිනැමීය. කනේ පහරක් කෑමට තමා කල වරදක් නොදත්තද පොඩි එකා නිහඬව සිටියේය. ඔහුට ලැබී තිබූ සියලුම දේවල් බෑග් මලු පිටින්ම ඔහුගේ කාමරයේ තිබිනි. එයින් සෙල්ලම් සතුන් හා බෝනික්කන් තම නැගනියට දුන් ඔහු තමන් කැමති සෙල්ලම් පිස්තොල, බෝට්‍ටු, පසල් වැනි දේවල් තමා සන්තකයේ තබා ගත්තේය. කෑම හා මුදල් නෝට්‍ටු තම මෑනියන් අතට දුන්නේය.  


ප/ප/ලි: 

කොලුවාගේ පියා නඩය සමග ගමටම පැමින ඇති අතර, ඉහත කී වැඩිහිටියාගේ නිවසට ගොස් ඇත. ඔහු පැමින නැති බව එහිදී දැනගත් නිසා ගැහැනු දරුවා එහි නවතා ආපසු මොවුන් දෙදෙනා සෙවීමට ගොස් ඇත්තේ පඬුරක්ද ගැට ගැසීමෙන් අනතුරුවය. ඉහත කතාව සත්‍ය සිද්ධියක් වන අතර ඔය ඇඹිටිල්ලන් කොලුවා අනෙකෙකු නොව සරාගේ ලෝකය ලියන මමම බවද කියවන ඔබට දැන්වීමට කැමැත්තෙමි. 



ගෙහුං එඤ්ඤං....!



ඔය පින්තූර ටික කොලුවට දුන්නේ ගූගල් දෙයියෝ නෙව.