පිය මදහස මුව මුකුළු මවා...
මද සුළඟින් ලදළු බිඳේ...
මගෙ තනිකම පිස ලවන පබා...
මට ගෙන එනු මැනැවි සඳේ...//
හැමදාම කැත කවි කියන මම ඉඳලා හිටලා හරි මෙහෙම වැඩකුත් නොකලොත් හරි නෑනේ. හැබැයි ඉතින් ඇත්තම කියනවා නම් මේකත් මගේ නෙමෙයි.
සියපත් මත ඔබෙ සුවඳ උලා- වන බඹරුන් ඉගිල ගියා...//
පවසනු මැන මට මිහිරි කතා- ඔබෙ හිස මගෙ උකුලෙ තියා...
මේ දවස්වල නංගි බබාගේ කතාවල සරල සාරාංශය මට ඔයාලට කියන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔය. කලිනුත් මම ඔයාල එක්ක කියලා තියෙනවානේ එයා ඔය ගේදොර ඉඩකඩන් යාන වාහන දැසි දස්සෝ ඉල්ලන කෙනෙක් නෙමේ කියලා. ඒවෙනුවට ඇය මාව විස්වාශ කරනවා, ධනාත්මකව හිතන ඉදිරියට යන කෙනෙක් ලෙස. අපේ පහසුවට හෝ අවශ්‍යතාවයකට ගෙදරට යමක් ගේන විට ඒගැන ඇගෙන් කරන විමසීම් වලදි මට ලැබෙන පිළිතුරනම්...
ඔයා කැමතිනම් හොඳයි කියලා හිතෙනවා නම් අපි ගනිමු. එහෙම දෙයක් තියෙන එක වටිනවා ගෙදර. ඒ නැතත් මට පිරිමහගන්න පුළුවන්...!!
හැබැයි පුතේ එයා මගෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවෙන දේකුත් තියෙනවා. ඔය රෝස පාට අකුරු පේලි පුරාම තියෙන්නේ ඒ කතාව තමයි.
මගෙ හිත ලඟ මල් පොකුරු දරා- ඔබෙ කට හඬ ඇසෙන පැයේ...//
නිදිබර නෙත නිදි නැතිව අයා- මා කලඹයි සොඳුරු රැයේ...
ආදරේ හිතේ තියාගෙන ඉන්න හොඳ නෑළු......!!
ඒක පෙන්නන්න ඕනළු....!!!
ඕං මම නෙමේ කියන්නේ අපේ මායියා.
හ්ම්හ්... වැඩි කතා ඕන නෑ, අපි සිංදුව අහලා බලමු. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ පන්හිඳෙන් ලියැවුනු අකුරු වැලක් ගැයුවා ශ්‍රීමතී තිලකරත්න මහත්මිය. සංගීතය මුසුකලා වික්ටර් රත්නායක මහත්මයා.
හැබෑවටම අපේ සමීපතමයන්ට ආදරේ දෙන්න අපට බැරිකමක් නෑ. අපි නොහිතම අපෙන් ඒක මඟ හැරෙනවා මිස. ඒත් පුංචි කැපවීමක් තුලින් ඒදේ ඔවුන්ට දීමෙන් අපට ඒ ජීවිත ලොකූ සතුටකින් පුරවන්න පුළුවන්.
ඇයි අවුල්ද......? හැක්..!!
***********************************************************************************
කඩි කුලප්පුව හැදුන සමහර වෙලාවට ටිකක් ගෙරෙව්වට මම එයාට මගේ අදහසුත් කියනවා.
නෑ....... බොරු කියන්න එපා...! බොරු නෙවෙයි ඇත්ත!!
හරි කොහොමද කියන්නේ...?
ම්ම්ම්... මේං මෙහෙම....
නෙත පිනන රුසිරු වත ඔබෙයි...
සිත එකඟ කරන සිත ඔබෙයි...
රන් දිමුතු මුතුද ලඟ තිබෙයි...
මගෙ සියළු දෙයම මතු ඔබෙයි...//
කොහොමද පැණි පාර..?
ලෙසටම තියෙනවද..? හැක්...
විහිළුවක ස්වරූපයෙන් ලිවුවට මොකද අපේ හැබෑම තත්වෙත් ඕකම තමයි. අපේ පුංචි කූඩුවේ සතුට සැනසීම තියෙන්නේ, සරල වුනත් තෘප්තිමත් ජීවිත අපි විඳින්නේ මෙන්න මේ හේතුව නිසා. මම මේ කතා කියන්නේ මගේ පම්පෝරිය ලෝකෙට කියන්න නෙමේ, ජීවිතේ සතුට හොයන අය ගොඩාක් ඉන්නවනේ ආන් එහෙම අයට ප්‍රයෝජණයක් වේවි කියලා හිතලා.
ගඟ සරැලි නගා වන පෙතේ...
සිඳු තුරුල වෙතට දිවයතේ...
මට මෙලෙස වරෙක සිහිවෙතේ...
ඔබ ගඟය මුහුද මා වෙතේ...
මුතු මොටද සොඳුර පල නැතී...
ඔබ කරන විටදි පිය ගතී...
එනු මැනවි සුළඟෙ එති එතී...
මගෙ කුටිය වෙතට දුර ඇතී...
ලෝකේ හුඟදෙනෙක් හඳ අල්ලන්න හීන දකින කාලේ සරාගේ හීනේ මැරෙන දවස වෙනකම් සතුටෙන් ජීවත් වෙන එක. සරල සැහැල්ලු ජීවිතයක් ගෙවන එක. හැබැයි ඉතින් ගෙදරට ගමට රටට උගෙන් වියයුතු සේවයක් නම් කවදාවත් පැහැර හරින කෙනෙක් නම් නෙමේ සරා කියන්නේ.
මේ ගීතයත් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගේ පද සංකල්පනාවක්. එම්.කේ රොක්සාමි මහතාගේ සංගීතයට ගැයුවේ ෆීලික්ස් ඇන්ටන්.
ප/ලි
වසන්ත කාලේ සරා පවුලට හරිම විශේෂ කාලයක්. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ සතියේ තියෙන වැදගත්කම ගැන විතරක් කියන්නම්කෝ මම. ගෙවුනු විසි අටට සරාගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරුනා. උදාවෙන දෙවෙනිදාට සරා ජීවන මගේ තවත් සැතපුම් කනුවක් පහු කරනවා.
කාට හරි අනුමාණ කරන්න පුළුවන්ද ඒ කීවෙනි එකද කියලා...?
කවුරු හරි හරියටම කිවුවොත් ආයේ දෙකක් නෑ ගෙදරටම කේක් එකක් ගෙනත් දෙනවා. එකෙන්ම....!!!
ප/ප/ලි
බල තන්හාව මූලික පරමාර්ථය උනත් ඒක හංගලා වෙන වෙන ආලවට්ටම් වලින් ඕක ඔප දාලා බලය අල්ලන්න දඟලන ඈයෝ කාලෙන් කාලෙට එනවා. එහෙම අය ඕකට කියන ජනප්‍රියම නම තමයි දේශප්‍රේමය. ඊනියා දේශ ප්‍රේමය අපට නැතිකල දේවල් බොහොමයි. උක්ත කලාකරුවාද (ප්‍රේමකීර්ති ද අල්විස්) ඒ අතරින් කෙනෙක්. ඔහු ගැන පොතක් ලිවීමට තරම් කරුනු තිබුනද මේ එයට වෙලාව නෙමේ. නමුත් ඉදිරි දිනයක මා ඔහු ගැන පෝස්‍ටුවක් ලිවීමට සිතා සිටිනවා.