Thursday, January 31, 2013

පුලුවන්නම් සොයාදෙන්න.....




සරාගේ ලෝකෙට යන එන හැමෝම වගේ පුංචි උදම්සාව හඳුනනවනේ... එයා තාත්ත රට ඉඳන් එනකොට ගේන්න ඕන බඩු ලිස්ට් එකක් කියනවා හැමදාම වගේ. ඒකට අළුතෙන්ම එකතුවෙලා තියෙන්නේ පණ තියෙන "ගැටළුවෙක්". තාත්තට හරිම පුරස්නේ මෙහෙම ජාතියක් නැත්නම් සතෙක් ඉන්නවද කියලා. අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියමුකෝ කොහෙන්ද මෙහෙම එකෙක් හොයා ගන්නේ කියලා.P


මට හිතෙන්නේ මේ උදම්සයි අම්මයි. ඒ මුහුණුවරමයි නේද.....? ඕං මම නෙමෙයි ඇන්දේ, එයාම ඇඳපුවා.


තාත්තට ආඩම්බර හිතෙන එක සාධාරනයි නේද..?



මේ මොකක්ද කියලා නම් අහන්න එපා මගෙන්. මොකක්ද කියලා මම දන්නෙත් නෑ.



ඔය බ්ලොග් ලියන නැන්දලා මාමලා වගේ කෑමට ලැජ්ජාවෙන්න හොඳ නෑ. මම පොඩි දවස්වලත් මෙහෙමයි.

තාත්තගේ අලකංචියේ විස්තර ලිපිය ලියවෙමින් තියෙන්නේ ඒකත් අරං එනකම් නැන්දලා මාමලා ටිකක් හොයලා බලනවද අර කාරනාව ගැන.....!!!

Friday, January 25, 2013

චන්දන අහපු නිසා.... (හැමෝටම)





           ඊයේ පෙරේදා දවසක් අපේ චන්දන මගෙන් අහලා තිබුනා හිංදි සිංදු නැතිද මාලඟ කියලා. උත්තරේ, තියෙනවා හැබැයි ගොඩක් පරණ ඒවා. ඔන්න මම සිංදු කීපයක් දානවා. හැබැයි ඉතින් මේවා මගේ කැසට් වලින් නම් නෙමේ යූ බටෙන් අරගෙන දාන්නේ හොඳේ. මොකද අරවා දාන්න කට්ටක් කන්න වෙන නිසා.

            මගේ පහසුවට මම ගූගල්ගේ උදවු ඉල්ලද්දී එයා ඇද නැතුව සේරම විස්තර දුන්නා. එතන අපට ගන්න අපූරු පාඩමකුත් තිබුනා. අපිත් ගූගල්ට යමක් දෙත්දී ඒ ගැන අපි ලඟ තියෙන තොරතුරු සේරම අඩංගු කරන්න අපි හිතට ගන්න ඕන.
උදා: අපි සිංහල ගීතයක් යූ බටේට අප්ලෝඩ් කරනවාය කියමුකෝ. එහෙම වෙලාවෙදී ගායකයාගේ නම, ගීත රචකයා, සංගීතඥයා කවුද යනවග සඳහන් කිරීම වටිනවා. එය කිසියම් චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක එකක් නම් ඒබවද සඳහන් කිරීමට අප වග බලා ගත යුතුයි. ඔබ විසින් යම් රූප රචනාවක් කරනවා නම් එය එම ගීතයට ගැලපේද යන්නත් සිතා බැලිය යුතුයි. තමන් ලඟ තියෙන දෙයක් අනෙක් අය සමග බෙදා ගැනීම වටිනවා. එහෙත් එහි ගුනාත්මක බවට හානි නොවෙන අයුරින් එය කල හැකි නම්  එහි වටිනාකම දෙගුන තෙගුන වේවි නේද..?

              මෙන්න එහෙනම් පළවෙනි ගීය...... රාදු කර්මකාර් අධ්‍යක්ෂනය කල රාජ් කපූර් නිෂ්පාදනය කල "ජිස් දේශ් මේ ගංගා බෙහෙතීහේ" චිත්‍රපටයට මෙම ගීතය ගායනා කලේ "මුකේෂ්." සංගීතය ශංකර් ජාය්කිෂන්. ප්‍රධාන චරිත රංගනය රාජ් කපූර්, පද්මිනී, ප්‍රාන්.

හොටෝන් පේ සච්චායී රෙහ්තේ හේ... ජහ දිල් මේ සපාරී රෙහ්තේ හේ... හම් උස් කෝ දේසේ වාසී හේ... හම් උස්කෝ දේසේ වාසී.. ජිස් දේශ් මේ ගංගා බෙහ්තී හේ....
සත්‍ය කතා කරන අවංක සිත් ඇතියන් සිටිනා රටේ වැසියෙක් මම. ගංගා නම් නදිය ගලන්නේ එහිය. ඒ දේශය මගේ මවයි , මගේ ප්‍රාණයයි........     


ඔය තනුවටම නිර්මානය වුනු සිංහල ගීතයක් අපට තියෙනවා. ඒ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කල මේ දේසෙ රකින නිරින්දූ. යූ බටේ තියෙන මේ ගීය වෙලඳ දැන්වීමක් වගේ නිසා දාන්නේ නෑ හොඳේ.  


         මේ 1966 වසරේ "සූරජ්" චිත්‍රපටියට මොහොමඩ් රාfපී ගායනා කල ලස්සන ගීතයක්. පෙම්වතිය තමන් සමීපයට පැමිනියේ යැයි මල් වැස්සකට ආරාධනා කරන පෙම්වතෙක්. ගීත රචනය හස්‍රාත් ජයපුරී, සංගීතය ශංකර් ජායිකිශන්, රඟපෑමෙන් දායකවුනා රාජේන්ද්‍රන් කුමාර් සමග වෛජයන්ති මාලා. සූරජ් සිනමා සිත්තම ටී ප්‍රකාෂ් රාවෝ සමඟ එස් ක්‍රිෂ්ණමූර්තිගේ වැඩක්. මුලින්ම තිරගත වෙලා තියෙන්නේ1966 මාර්තු 25.


              මේ තනුවටත් හැදුනු අපූරු ගීතයක් තියෙනවා බෙග් මාස්ටර් ගායනා කරපු. එදා මා සෝකයෙන් හඬලා ඒ ගීතය. මම යූ බටේ සර්ච් කලා නිකමට වගේ. විලිලැජ්ජවේ සං‍තෝසේ බැරුව ගියා මට. අනේ අපේ අයගේ වැඩ දැක්කම..... ඕන නෑ ඔයාලා කැමති කෙනෙක් ඉන්නවානම් පොඩි සර්ච් පාරක් දාලා බලන්නකෝ.        


               මේ තවත් එවැනි අපූරු ගීතයක් බච්පන් කි මුහබ්බත් කෝ... මිල්සේ න ජුදා කර්නා.... පුංචි කාලේ ඉඳන්ම හිතේ බැඳුන ආදරය නම් අමතක කරන්න එපා. චිත්‍රපටය "බව්ජි බවුරා" (ගඟ උතුරා). තිර ගතවුනේ 1952, අධයක්ෂනය විජේ භාත්. නිෂ්පාදනය ප්‍රකාෂ් පික්චර් කියලා තමයි සඳහන. මීනා කුමාරිත් එක්ක භාරත් භූෂන් තමයි ප්‍රධාන චරිත රඟපෑවේ. නව්ෂාද්ගේ සංගීතයට ගයන්නේ ලතා මංගේෂ්කාර්.



             මීනා කුමාරි කියන්නේ රෙඛා ගේ අම්මා. හින්දි සිනමාවේ අමුතුම චරිතයක්. ඇය ගැන අමුතු ප්‍රවෘති තියෙනවා හින්දි සිනමා ඉතිහාසය තුල. කොහොම උනත් මගේ මාතෘකාවට ඒක අදාල නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු. ඔන්න අමතක උනා මේ තනුවට තියෙන සිංහල ගීතය ගැන කියන්න. ඒතමයි රුක්මනී දේවිය ගායනා කරන දුෂ්මන්ත අහෝ කිමදෝ කියන ගීය. 

              
              මගේ ජීවිතය හිස් කඩදාසියක් වගේ කවුරුවත් මොකුත් නොලියපු. මෙරා ජීවන් කොරා කාගස්    කොරහි රේහ් ගයා....  කිශෝර් කුමාර් ගායනා කල මේ ගීතය 1974 මැයි4 වෙනිදා තිරගත වූ කොරා කාගස් (හිස් කඩදාසිය) කියන චිත්‍රපටයට ගැයුනක්. මෙහි අධ්‍යක්ෂනය සංජේ මුකර්ජි, නිෂ්පාදනය සනත් කොතාරි. විජේ ආනන්ද්ට රඟපෑමෙන් සහය වුනා ජයා බහදුරී මෙයා දැන් නම් ජයා භච්චන්. සංගීතය කල්යාන්ජී-ආනන්ද්ජී.


එහෙනම් මම ගෙහුං එඤ්ඤං......!!


Wednesday, January 23, 2013

අක්කපාන ගැන කියන්ඩයි ආවේ....!!





             අපි පුංචි කාලේ පොත් අස්සේ එහෙම දාගෙන හිටපු අක්කපාන කොල හැමෝම අඳුරනවා ඇති මගේ හිතේ. සමහරුනම් ඇයි ඒවා පොත් අස්සේ දැම්මේ කියලා අහන්නත් බැරි නෑ. ඒවගේම මොනවද අක්කපාන කියන්නේ කියලා කවුරු හරි අහලා තිබුනොත් කවුරුවත් ඒගැන පුදුමය පල කරන්නත් එපා. මොකද ඒවයේ හැටි එහෙමයි. කාලය වෙනස් වෙලා. එදා අපි හිටපු දැකපු පරිසරය නෙමේ අද තියෙන්නේ. හොඳයි දැන් ඒවා දැකලා තියෙන අය මොනවද ඒ ගැන දන්නේ.

            අප්පද බොල ගොඩාක් දේවල් දන්න ඈයෝ ඉන්නවා නේද. මේං ඒවයින් ටිකක් ඔය හවායි දූපත්වල අක්කපාන වලට ඔලීවා කා කහකායි Oliwa ka kahakayi කියලා කියනවා කියලයි ආරංචි. ඒවගේම ඇමරිකාවේ Mother of thousands, Miracle leaf  කියනවාලු. හැබැයි මට මෙතන නොතේරෙන දේකුත් තියෙනවා ඇයි මේ මදර් ඔප් තවුසන්ඩ් කියලා නමක් දාලා තියෙන්නේ කියලා. Herbe mal tete කියලා ඩොමිනිකා වල අය කිවුවට ට්‍රිනිඩෑඩ්වල නම් වොන්ඩර් ඔප් වර්ල්ඩ් wonder of world, එහෙම නැත්නම් Never dead නෙවර් ඩැඩ් කියලා තමයි කියන්නේ. අනේ ඔච්චර දේවල් කියපු එකේ අපිත් එක්ක එකට වැඩ කොරන පිල්ලෝ ඕවට කියන නම නොකිවොත් හරි නෑනේ නේද..? පිලිපීන් අය අක්කපාන වලට කටකටකා katakataka කියනවා. අපි දැන් නම් ටිකක් නම් දැනගත්තා නෙව, උද්භිත විද්‍යාත්මක නාමයත් කියලම අපි කතාවට එන්ටර් වෙමු නේද..? ඒක තමයි Kalanchoe pinnata. මොනාද මේකේ තියෙන වැදගත් කම හෝ පොරෝජන. ඒක දැන ගන්න නම් මේ කතාව කියවන්නම වෙනවා.

               ඔයාලා විශ්වාසෙට ගනීද නොගනීද නොදන්න ඇත්ත කතාවක් මේ. සරා එයාගේ ආදරණීය බිරිඳ,මායියා,අඹු සිඟිත්ත එහෙමත් නැත්නම්*&%$#% කැ‍ටුං නෑගම් ගියානෙව මීට අවුරුදු තුනකට විතර කලින් වංගියක් ඔය කුරුණෑගල පැත්තේ. ඔහොම ගෙහුං ආපහු ආවේ සති දෙකක් විතර ගියාට පස්සේ. එහෙම ඇවිත් දවස් දෙකක් විතර ගෙවෙද්දී දවල් වෙලාවක හදිසියේම සරාගේ බඩේ වම් පැත්තේ කැක්කුමක් ආවා. ක්ෂනිකව හැදුන මේ අසනීපය විනාඩි ගනනක් ගතවෙද්දී ඉතාම දරුනු වුනා. සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙකුට කියලා දැන් වෙනකොට ඔයාලත් හුඟ දෙනෙක් දන්නවනේ. ඒ නිසා හොඳ දරා ගැනීමේ හැකියාවක් ඌට තියෙනවා කියලා නොකීවට ඔබලාට තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැයි මම සිතනවා.හැබැයි ඉතින් මේ වේදනාව දරාගෙන සිටීමේ හැකියාවක් සරාට තිබුනේ නෑ. ඒ නිසා ගෙදර අයටත් මේ ගැන කිවුවා. ක්ෂණිකව ඇතිවුන අසනීපයක් නිසා අත් බෙහෙත් කලාට සරාට ගොඩාක් අමාරුයි කියලා ගෙදර අයටත් මේ වෙනකොට දැනිලයි තිබුනේ. මොකද සාමාණ්‍ය අසනීපයකට නම් මේ යෝදයා හ්ම් කියලා වත් නොකියන නිසා. තාත්තා වගේ උඩ පැන පැන කෑගැහුවෙ නැති උනාට සරා මේ වෙද්දී පියවි සිහියෙනුත් ඔබ්බට ගෙහුං කියලා නංගි බබා ඇතුලු පවුලේ සැවොම වටහා ගෙන හිටියා. ඒත් කෙඳිරිල්ලකට වඩා දෙයක් නම් ඔහු කලේ නෑ. 

               මේ නිසා වහාම ලඟම තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයට ඔහුව ‍රැගෙන ගියා. රෝගියා පරීක්ෂා කල වෛද්‍යවරයා ක්ෂනික වේදනා නාශක දුන්නද එය පල රහිත උන නිසා සැර අධික වේදනා නාශකයක් නියම කරා. එහෙත් මෙය අන්තරායකර බව හා මේ අවස්ථාවේ කල හැකි හොඳම දේ මෙය නිසා දෙන බවත් තමයි ඔහු කියා සිටියේ. ඒ එක්කම ඔහුගේ අනුමානය උනේ සරාට ඇති රෝගය ඇපෙන්ඩිසයිට්ස් විය හැකි බවයි. ඔහු ඖෂධ කීපයක් දුන් නමුදු නැවත වේදනාව ඇති උවහොත් රෝහලකට ඇතුලත් වෙන ලෙස උපදෙස් දෙනු ලැබුවා. වෛද්‍ය උපදෙස් අනුගමනය කලද වේදනාව යටපත්ව පැවතියේ පැය කිහිපයක් පමණයි. පසුදා උදෑසන වනවිට නැවතත් පෙර ලෙසින්ම දරුනු වේදනාවක් දැනුනා. වේදනා නාශක වලින්වත් පිහිටක් නොලැබුනෙන් සරා වහා රෝහල් ගත කෙරුනා. රෝගියාගේ තත්වය දු‍ටු බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරයාද නියම කලේ පෙර දින සරාට ලබා දුන් ඖෂධයමයි. එයද රෝහලේ නැති නිසා පිටතින් ගෙන ඒමට සිදු උනා. එසේ උවද එයින් ලද ප්‍රතිපලයක් නම් නැති. අවසන සරාව වාට්‍ටුවකට ඇතුලත් කරනු ලැබුවා.

                සරා නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ගම්පහ මූලික රෝහලේ මේ අංශය නම් ඉතාම යහපත් වෛද්‍යවරුන්, හෙද හෙදියන්හා සාත්තු සේවකයන් ගැවසෙන තැනක් බව කිව මනාය. සරා එහි සිටින කාලය තුල ඔහු වෙත පැමිණි සියළුම වෛද්‍යවරුන් ඉතා ඕනෑකමින් පරීක්ෂණ කටයුතු සිදුකලා. විවිධ ආකාරයේ නවීන උපකරන හා තාක්ෂණය භාවිතයෙන් ඔවුන් මේ රෝගය කුමක්දැයි සොයාගැන්මට උත්සාහ ගත්තද පලක් උනේ නෑ. හැම පර්යේෂණ වාර්තාවකටම අනුව සරාගේ උදරයේ කිසිම අසාමාන්‍ය තාවයක් නැතැයි සඳහන් කලේ වෛද්‍යවරු විසින්මයි. මේ අතර සරාට ප්‍රතිකාර කරනු බලා සිටි එම වාට්‍ටුවේම නේවාසිකව ප්‍රතිකාර ගත් මාමා කෙනෙක් සිටියා. ඔහු ටිකට් කපාගෙන පිටවී යන අවස්ථාවේ සරා වෙත පැමින පුතේ ගෙදර ගියාම අක්කපාන කොල සම්බෝල හදලා කන්න ටික දවසක් යනකම්. ඔය අමු ආත්තා මාලු උයලා කන එකත් හොඳයි ඕකට. ඔපරේෂන් කරත් සැරින් සැරේ මතුවෙන ගලුත් දිය වෙනවා අක්කපාන වලට. එසේ කියූ ඔහු පිටවී ගියා. ඔහු සිතා සිටින්නේ සරාට ඇපෙන්ඩිසයිට්ස් කියා විය යුතුයැයි සරාට සිතින. කෙසේවුවද සරා බැලීමට ගෙදර අය පැමිනි විට සරා මේ කතාව ඔවුන්ටද කීවා. කෙසේ වෙතත් සතියකට පමණ පසුව සරාගේ ටිකට් කැපුවද රෝගය හඳුනා ගැනීමට නොහැකිවූ නිසා දිගටම සායනවලට පැමිනෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුනා.

                  සරා ගෙදර පැමිනීමටත් පෙර අක්කපාන කතාව කුරුණෑගල දක්වා පැතිර ගොස් තිබෙන බව සරා දැන ගත්තේ දින දෙකක් ගත වීමටත් පෙර දීපා නැන්දා අක්කපාන කොල තොගයක්ද ‍රැගෙන නිවසට පැමිණි නිසයි. සතියක් පමණ නිරාහාරව රෝහලේ ගතකලා මදිවාට එදා සිට සරාට අක්කපාන කොල සම්බෝලද කෑමට සිදුවිය. එය තරමක් ඇඹුල් රසයෙන් යුතු උවද නොකෑවොත් ගෙදර අයගෙන් ලුණු ඇඹුල් ඇතුවම අසාගැනීමට සිදු වෙන නිසා නොකමැත්තෙන් උවද මාසයක පමණ කාලයක් සරා නිතිපතා ආහාර වේලට එක්වෙන අක්කපාන කොල සම්බෝලයද ගිලදැම්මේය. ක්‍රමයෙන් සරාගේ අසනීපය නිට්ටාවටම සුව වූ අතර ගෙවුනු කාලය තුල නැවත කිසිදිනක එවන් ලකුණක් හෝ මතුවූයේද නැත. රෝහලේ වෛද්‍යවරුන් පැවසූ ආකාරයට කිසිදිනක සායනවලට සහභාගී වන්නට ගියේද නැත. පසුව මේ කතාව ඇසූ බොහෝ දෙනෙකුගේම අදහස වූයේ අක්කපාන ඇපෙන්ඩිසයිට්ස් රෝගයට නම් දිව ඔසුවක් බවයි. ශල්‍යකර්මවලින් ගල් ඉවත් කලද නැවත මතුවෙන බවත් අක්කපාන ආහාරයට ගැනීමෙන් ගල් ඉබේ ඉවත් වන බවද අක්කපාන වලට ගල් දිය කිරීමේ හැකියාවක් තියෙන බවත් තතු දන්නෝ මාහා පවසා ඇත.  කෙසේ උවද සරාට තිබුනේ එම රෝගය යැයි කිසිවෙකුත් තහවුරු කලේ නැති බවත් සරාද එසේ විශ්වාස නොකරන බවත් කිව මනාය. සරාගේ අනුමාණය නම් කුරුණෑගල වතුර සරාට අගුණවූ බවය. කෙසේ වුවද වේදනානාශක වලටම පමණක් සීමාවූ ඉංග්‍රීසි බෙහෙත් වලින් නොව සරා සුවපත් වූයේ අක්කපාන නිසා බවනම් සරා තරයේ විශ්වාස කරයි.

                  ඒ වගේම ආයුර්වේදයේදී ඖෂධයක් හැටියට වැදගත් තැනක් හිමිකරගෙන ඉන්න පැලෑටියක් කියලත් ආරංචි තියෙනවානේ මේක. ඕං ඉතිං මම කිවුවේ මම දන්න දේවල් විතරයි. මීට වඩා තව ගොඩාක් විස්තර ගූගල් ගාව තියෙනවා මම දැක්කා. ඒත් මම ඒවා කියවලා ඔබට ඒගැන කියන එක ඔය තොරතුරු ගූගල් යාලුවට දුන්න අයට කොරන අකටයුත්තක් කියලා හිතුන නිසා ඕං මම ඒවා කියන්න යන්නේ නෑ. ඒත් ඉතිං අක්කපාන කියලා ගූගල්ට කිවුවම එයා ඔයාලටත් ඒ විස්තර දේවි පටස් ගාලා. මතකයිනේ මම කිවුවටම විශ්වාස කරන්න ඕන නෑ. දන්න කෙනෙකුගෙන් අහලම දැනගන්න. දේශීය වෛද්‍යවරුත් ඉන්නේ ඔය බ්ලොග් ලියන.


මම ගෙහුං එඤ්ඤං ඈ...!


මම කිවූ කතාවේ යම් අඩු පාඩුවක් ඇතිබව පෙන්වා දුන් ඩූඩ් අයියාට මගේ විශේෂ ස්තුතිය . මොකද ඔය අසනීපේ හැදුන අවස්ථාවේ දැනුනු වේදනාව මතක්වුනාම දොස්තරමට කියපු කතාව අමතක වෙලා ඇති. කොහොම උනත් ඔය මුත්‍රාශ ගල් කතාව තමයි හරි එක විය යුත්තේ. ඒකට කියන්නේ ඇපෙන්ඩිසයිට්ස් කියලා හිතලා මම කාරනය පටලවගෙන ඉන්නේ. කොහොම උනත් ඔය කියන ලෙඩ දෙකම නෙමෙයි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා මට හැදුනේ.මොකද කිසිම වෛද්‍ය පරීක්ෂනයකින්වත් ඒ බව තහවුරු උනෙත් නැති නිසා. කෙසේ වෙතත් මගේ අඩු පාඩුව පෙන්වා දීම පිළිබඳ ඔබට ස්තුතියි ඩූඩ් අයියේ. ලිපිය සංස්කරනය නොකරන්නේ මගේ අඩුපාඩුව හා ඩූඩ් අයියා එය නිවැරදි වියයුතු ආකාරය මට පෙන්වාදුන් ආකාරය අන් අයගේ අවධානයට යොමුවිය යුතු බැවිනි.

Sunday, January 20, 2013

තනිවෙමු අපි අතු පැලක් සදා-සඳ දූපතේ සදා...







             අද නම් සරා කියන්නේ ඕපදූපයක්. ඔව් එහෙම පිටින්ම ඕපදූපයක්. හැබැයි ආයිබොවන් අනුන්ගේ එකක් නෙමේ. මම ඉතින් අනුන්ගේ දේවල් හොයන එකෙක් නෙමේ කියලා තමුන්නැහේලා දන්නවනේ.:P ඒනිසා මගේම ඕපදූපයක් ලියනවා. මේක මගේ පලවෙනි ආදර හසුන නොහොත් සෙනෙහෙ කොලේ ගැන කතාව.

             හුඟාක් කොල්ලෝ ඉතින් ලියුමක් ලියන්නේ කෙල්ලගේ කැමැත්ත අහන්න, ආදරෙයි කියන්න වගේ දේකට නෙව. හැබැයි මට ඕක කොරන්න ලියුම් ලියන්න ඕන උනේ නෑ. මොකද මම කෙලින්ම ඕක ඒ ලමයගෙන් ඇහුවනේ. හැබෑවටම බැලුවොත් ඇහුවම නෙමේ මම කෙලින්ම කිවුවා "නාන් උන්නෙයි කාදලික්කරේන්" කියලා . කවුද දන්නේ කැමති වෙයිද නැද්ද කියලා මට එයාගේ හිත කියවන්න බෑනේ. මම කිවුවේ මට හිතුන දේ. කවදටත් මම අනිත් අය හිතන විදිහ උපකල්පනය කරන්න වද උන කෙනෙක් නෙමේ මගේ අදහස මම කෙලින් කියනවා. අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම අදාල පාර්ශවයට අදාල වැඩක්. හිතේ තියාගෙන හොරගල් අහුලන එක මගේ පුරුද්ද නෙමේ. බොරුනම් ඔය නංගි බබාගෙන් අහලා බලන්න පුළුවන්. ඉතින් මේක උනේ එපෙයාර් එක පටන් අරගෙනත් ටික දොහක් ගෙවුනට පස්සේ. හ්ම්හ්... වැඩිය ආලවට්ටන් දාන්න ගියොත් මට බොලාගෙන් කුනුහබ්බ අහන්න සිද්දවෙන නිසා මම කතාව කියන්නම්කෝ.

             මට ඉස්සරවෙලාම සෙනෙහෙ කොලේ දුන්නේ ගුණවතී නැන්දා. නෑ නෑ කතෘ එයා නෙමෙයි. අර මම කලින් දොහක කියපු ගෑනු ළමයා නිලූකා තුෂාරි. එයා තමයි ලියුම ලියලා ගුණවතී නැන්දා අතට දීලා තියෙන්නේ මට දෙන්න කියලා. නිකම්ම නෙමේ රුපියල් දහයකුත් එක්ක. (අප්පේ බොලාගේ කැත හිත.) ගුණවතී නැන්දා මගේ හොඳ යාළුවෙක් කියලා එයා දන්නවා. එහෙම කෙනෙකුට දුන්නම කවුරුවත් දැන ගන්නේ නෑ කියලා එයා දන්නවා. ලියුම මගේ අතට දුන්න ගුණවතී නැන්දා උපදෙස් ගෝනියකුත් දුන්නා නොමිලේම. මොකද ඉතින් මම "යක් පැටියෙක්" කියලා එයා දන්නවා. තාත්තගේ හැටිත් එයාලා දන්නවානේ.

              කොහොම උනත් මට ලියුම ලැබුනම රටක් රාජ්ජයක් ලැබුනා වගේ. ඇයි බං පුංචි කාලේ කවුරු හරි වෙසක් කාඩ් එකක් එව්වා නම් හැර මට මොකාද ලියුමක් එවලා/දීලා තියෙන්නේ. හැබැයි අර රුපියල් දහය මොකට දුන්නද කියලා අදටත් මම දන්නේ නෑ. අජානේය චැලි කට්ටෙන් ගමන් යන, පොල්ක‍ටු ඉස්තිරික්කෙන් මැදපු සීයේ කොලයක් නිතරම ඉස්සරහ සාක්කුවේ තියෙන මට රුපියල් දහය "නතින්" කියලා මාව දන්න හැමෝම දන්නවා. මම ඒකෙන් "චොකෝමෝල්ට්" අරගෙන පොඩි එවුන්ට දුන්නා. එතකොට චොකෝමෝල්ට් එකක් ශත පණහයි. ඔන්න ඉතින් මගුලක් කතා කරනවා, කියාගෙන ආපු කතාව නෙමෙයිනේ මේ............

              ඉතින් මම අර ලියුම දෙතුන් පාරක් අපොයි නෑ ඊට වඩා ගොඩාක් වැඩි ඇති. මොකද මට කට පාඩම් හිටියනේ ඒක.හැබෑවටම කියනවා නම් කීපාරක්ද කියලා නම් මතක නෑ හැබැයි කියෙව්වා. කවිද සිංදුද ඇතුලත්ව මහ ගොඩක් විස්තර තිබුනා ඒකේ. කොහෙන් ඉගෙනගෙනද මන්දා මේ ළමයා. මටම පුදුමයි. පන්තියේ දක්ෂම ශිෂ්‍යයා උනාට රචනාවලට ලකුණු 80-90 ගත්තට ඕං මටනම් මේ හපන්කම කොරන්න බෑ කියලා මට කීප වතාවක්ම හිතුනා.

        හැබැයි ඕං මතක තිබුනට ඒකේ තිබුන ඒවා නම් මම කියන්නේ නෑ. මොකෝ අපේ මායියත් (නංගි බබා) බලනවනේ මේක. ඇත්තම කියන්න දැන් අපේ බබාටත් අවුරුදු පහකට කිට්‍ටු වෙනවා, තාමත් මට බැරිවුනා උන්දැට සෙනෙහේ කොලයක් දෙන්න. උන්දෑ මට දීලත් නෑ තමයි ඒ වුනාට හරි නෑනේ මේගමන ගෙදර ගියාම එකක් දෙන්න ඕන.

             ඕක කියෙව්වට මොකද මට ගෙදර ගෙනියන්න බය හිතුනා. අපේ නංගි මම නැතිවෙලාවට මගේ කාමරේ පෙරලනවානේ , බැරි වෙලාවකවත් එයාට මේක හම්බවෙලා තාත්තා අතට එහෙම දුන්නොත් ආයේ දෙකහමාරක් නෑ තාත්තා මගේ ප්‍රේම පුරාණේ හුලං අරිනවා. මොකටද ඉතින් දැන දැනම අමාරුවේ වැටෙන්නේ කියලා හිතලා මම ඒක හැංගුවා. කොහේද දන්නවද ගෙදරට යන පාරේ තියෙන මිල්ල ගහක බෙනයක් ඇතුලේ. ඒ වුනාට හිතට හරි නෑ. ඇයි හත්තිලවුවේ නමෝ විත්තියෙන් මට ලැබුන සෙනෙහෙ කොලේ, මොන හිතකින් කැලේ ගස් බෙනේක හංගලා යන්නද. හරියට ගෑණු ළමයව මඟ දාලා යනවා වගේ. කොරන්න දෙයක් නෑ කෝකටත් සූජානන් සැරීරේ කියලා කවුද ගොඩ ඉඳන් පීනපු කතාවකුත් තියෙනවනේ. ගෙදර ගෙහුං පරණ යකඩ පෙට්ටි සේරම අවුස්සලා ලොක් එකක් හොයාගෙන ලාච්චුවකට හයි කලා. ඔන්න ඊට පස්සේ දවසේ තමයි ලියුම ගෙදර ගෙනිච්චේ මම. දැන් ඉතින් දීපු එක අරං කියෙව්වා වගේ නෙමේනේ, මේකට උත්තරත් දෙන්න එපායෑ. දැන් කොහොමද ඒක කොරන්නේ. ඉස්කොලේ හොඳම රචනා ලිව්වේ ඉතින් ටීචර්ලා ඒවා කියලා දීලා තිබුන නිසානේ. කවදාවත් මේවා ලියන්න උගන්නලා නෑනේ. පුරුදු වෙන්න හරි කලින් ලියලා තිබුනා නම් ඒකත් එකක් මේ පළවෙනි වතාව නිසා මට මාර තොප්පිය. අනික ලියනවා නම් මෙයා ලියලා තියෙනවා වගේ ආදරේ පෙරෙන්න ලියන්නත් ඕන. නැත්නම් වැඩක් නෑ. හත්තිලව්වේ එහෙම එකක් මා ලඟ තියෙනවාද කියලා මම දන්නෙත් නෑ. ඒ වුනාට සරා ඉතින් මොල කාරයානේ. ලියුමයි කුමරි පත්තර මිටියකුයි ඇඳට අරං දොරත් ලොක් කරලා ඇ‍ඳෙන් වාඩි වුනා. ලියුමයි කුමරි පත්තර ටිකයි මාරුවෙන් මාරුවට කියව කියව ලිවවා පැණි බේරෙන ලියුමක්, අර ඉස්සර කුමරි පත්තරේට හම්බවෙන ලියුම් ලියන කොල තියෙන්නේ අන්න ඒකක. ලිව්වේ මොනවද කියලානම් කියන්නේ නෑ මම. ඒත් මේ සිංදුවනම් මම ඒකේ ලිව්වා.

මීමැසි හඬ නැති නිසංසලේ
ඝනඳුරු තැනක් බලා......
තනිවෙමු අපි ඝන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා......

සෞම්‍ය කුමාර යාපා බන්ඩාර මහත්මයා ගයන ඔය ගීයට සරා හරි කැමතියි ඒ සංදියේ. එදා විතරක් නෙමේ අදටත් මම හරි කැමතියි. විශේෂම දේ තමයි අද මේ සිංදුව හොයාගන්නත් නැති එක. මම හිතන්නේ ඔයාලා හුඟ දෙනෙක් මේක අහලා නැතුව ඇති. බාහිරින් බැලුවම බොළඳයි කියලා හිතුනට ඇතැම් වර්තමාන සිංදු වගේ "සංසර්ගාරාධනාත්මක" ගීතයක් නෙමේ මේ. ( ඒ වචනේ මම ගත්තේ විචාරක මහත්මයාගේ ලියවිල්ලකින්.) මම ලිව්වනම් ලියන්න වෙන්නේ කුනුහබ්බයක් නෙව. 



කාට හරි මේ සිංදුව බාගන්න එහෙම ඕන නම් YouTube එකෙන් බාගන්නත් දැන් පුළුවන්. මොකද මම මේ ගීතය ජාලෙට අතෑරිය. බලලා ගුණ අගුණ කියන්නත් ඕන ඕං.



එහෙනම් ගෙහුං එඤ්ඤං...!

Thursday, January 17, 2013

ප්‍රේමයද මේ කිවමැනා......!!




ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එලිය සේ අචින්ත්‍යයි-පාරිශුද්ධයි ,සුරම්‍යයි    




            නන්දා මාලනී මහත්මිය ගයන තවත් හරවත් ගීතයක් පටන් ගන්නේ එහෙමයි. හිරිමල් වයසේදි සරාත් ඕක  තදින් විශ්වාස කලා විතරක් නෙමේ වැඩ කලෙත් ඒ විදිහට නෙවැ. සරාගේ පොතම පේමෙට කණකොකා ඇඬුවේ ඕකට අනුව වැඩ කරපු නිසා කියලා ඇය යන්න ගියා නොකියා කියවපු අයටනම් මතක ඇති. නොකියවපු කෙනෙකුට මෙන්න මේ පාරෙන් ඒ අහ යන්න පුලුවන්. 
http://saragelokaya.blogspot.com/2012/09/blog-post_3.html
මම අද ඔයාලගෙන් පුරස්නයක් අහනවා. විහිළුවක් කියලා හිතන්නේ නැතුව උත්තරයක් දෙනවා නම් මම කැමතියි. මොකද කතාව කියන්න තියෙන්නේ ඔයාලගේ උත්තර වලට අනුව නිසා.

           හොඳයි සේරටම කලින් මෙන්න මේ වැල් වටාරම් ටිකත් කියවලා බලන්නකෝ. ඉගෙන ගන්න හරි වෙන මොකක් නිසා හරි අපි හැමෝම ඉස්කෝලේ ගිය නෙව. ඔන්න ඉතින් ඉගෙන ගන්නම විතරක් ඉස්කෝලේ ගිය අය නෑ කියලා නම් නෙමේ කිව්වේ පිස්සු නටන්නත් ඉස්කෝලේ ගිය අය ඉන්නවා කියලා. (සරා වගේ. අපට උගන්නපු දේවල් අපි ඉගෙන ගෙන තිබුනා නම් අද කොහෙද සරා වගේ උන්.හැක්...) කාලෙකදි කැමැත්තෙන් ආයි අකමැත්තෙන්, දෙමව්පියන්ගේ බලකිරීමට කෙල්ලව /කොල්ලව බලන්න තියෙන එකම කෙරෙමේ ඒක නිසා ඔය මොන අරමුනින් හරි අපි ඉස්කෝලේ ගියා. හරි මොහොතකට අපි යමුද ඒ අතීතෙට ඩිංගක්. එහෙනම් ඇස් පියාගෙන මනසින් යමු. පොතේ හැටියටම ඉගෙන ගත්ත හා නොගත්ත හැමෝගෙම හිත් මුලින්ම ගියේ කොහේටද....? පුංචිම කාලෙටද එහෙම නැත්නම් මම අර දෙවෙනියට කියපු යෞවනේටද...? ගොඩ දෙනෙක්ගේ නම් දෙවෙනි තැනට...... සමහරුන්ට ඉසංකාලගේ, නිම්මිලගේ සෙව්වන්දිලගේ මූණුත් මතක්වෙලා වගේ...:D ඔය පැණි හිනාවකුත් ආවේ. ගෑණු ළමයින්ටත් එහෙම තමයි ඒත් ඉතින් එයාලා ඒවා කියන්න කැමති නෑ නේ, ඒනිසා අපිත් ඒගැන වැඩිය හාරා අවුස්සන්න යන එක හරිනෑ. හැමෝටම නොවුනත් ගොඩ දෙනෙකුට ඔය පොතම පේමේ  කියන එක අත්දැකීම ලැබෙන සංදිය මේක නිසා ඒගැන පුදුමයක් නෑ. ඒ වගේම සංක්‍රාන්ති සමයක කෙරෙන මේ ආදරය බොහොම පිවිතුරු ස්වභාවයක් ගන්නවා බොහෝ වෙලාවට. ඔන්න ඉතින් මට අමතක උනා, මුලින් ලිවිය යුතු කාරනාවක් කමක් නෑ මෙතන ලියන්නම්කෝ, මම මේ දෙවෙනි චේදයේ ලියමින් ඉන්නේ මීට දශක එකහමාහරකට විතර කලින් හිටපු ළමයින්ගේ හිරිමල් යෞවනය ගැන. අඩේ ඒ හරුපේ මොකක්ද එදා අයගෙයි අද අයගෙයි කියලා ඔය කාලේ වෙනස්ද අරකද මේකද කියලා පුරස්න වැලක් හිතට ආපු අයට මේ ටික කියන්නම්. මම පුංචි රිසර්ච් එකක් කොලා ආයිබොවන්. ඒකට අනුව තමයි මේ ලිපිය ලියවෙන්නේ. ඒ නිසා තරහා ගන්නේ නැතිව මේ ලිපිය (සමහර විට දෙකක් වෙයි) කියවන්න කියලා ඉල්ලන්න කැමතියි.

             ඉතින් යාලුවනේ ඔය සමනල් ආදරේ මම අර කියපු සංදියේ ඔය කියපු ගති ස්වභාවයන් තිබුනා කියලා මම කිවුවේ අර අත්දැකීමෙන්ද මොකක්ද එකෙන්. අද කාලේ කොල්ලන්ට/ කෙල්ලන්ට සති දෙක තුනක් යද්දී ගොඩනැගිලි ද්‍රව්‍ය (ගල්ද මංදා) ලෝඩ් දෙක තුනක් සපය ගන්න බැරිනම් ඒ ආදරේ වැඩක් නෑ කියනවනේ. අනේ ආයිබොවන් මට ඔරවන්ට කාරි නෑ මම ඉතින් මේකලගේ අදහස් නෙව කිවුවේ. හැබැයි ඉතින් එහෙම නැති ඉහත සඳහන් ආකාරයේ අය ඉන්නවා නම් මේන් ඒ අයට සරාගේ ආචාරය.. සරාලගේ කාලෙත් ඔහොම හිතපු අය උන්නා. ඔය අතීත කතාවේ ප්‍රධාන නිලියගේ චරිතය රඟපෑවේ එහෙම කෙනෙක් නෙව. මම තවමත් ඒක විහිළුවක් වගේ දැක්කට මෙහෙම විහිළු නිසා ඇස් රතුකරගන්න උදවියත් නැතුව නෙමේ. 90% දෙනාට මේ දේවල් සැහැල්ලුවෙන් අමතක කල හැකි උනාට, ඉතිරි අයට මේක තදින් බලපානවා. එතනිනුත් වැඩිදෙනා විරුද්ධ පාර්ශ්විකයෝ විශ්වාස නොකරන හෝ ඔවුන්ට රිද්දන/ පලිගන්න විදිහට වැඩකලත් එක්කෙනෙක් දෙන්නෙක්

පිවිතුරුය පලමු පෙම..
බිහිසුනුය බිඳුනු දින..
ලෙන්ගතුය සුවඳ නුඹ..
සුදු හාමිනේ...
තනිකඩය තවම මම..

කියන තැන ඉන්නවා. මෙන්න මෙතෙන්ට වැටෙන්නේ නම් එකෙන්ම කොල්ලෝ විතරමයි.  හරි දැන් ඉතුරු ටික කියන්න නම් ඉස්සරවෙලාම අය අතට ගත්ත කොහු මිටවල් ටික බිමින් තියාපල්ලා කෙල්ලනේ................ යකෝ බොලා එක්ක මොන මංගල්ලේවත් කොරන්න බෑනේ සාමෙන් සමදානෙන්.:P

            ඔහොම තැන්වලදී දැනුම් තේරුම් තියෙන එකෙකුටවත් හරි වැරදි තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් නෑ. වැඩිහිට අවවාද තියා අම්මා තාත්තාවත් රුස්සන්නේ නෑ නෙව බහුතරයකට මේ කාලෙදි. අනික මේවා බොහොම රහසිගතව කෙරෙන දේවල් නිසා දැන ගන්න විදිහකුත් නෑ. කොහොම උනත් ආදර කතා ගැන නම් සරාට තියෙන දැනුම අල්පයි. මොකද කියනවානම් සරාට ඔය ජාතියේ එවුවා තුනනේ තියෙන්නේ.

ඔබ ආනිසා සොයා..
සිහිනේ සැබෑ වුනා..
පෙම් පාරාදීසයේ කුමාරිකා.. 

කියලා සරා තුන්වෙනි කතාව ජීවිතේම කරගත්තා. මුල කතාවත් ඔයාලට කිවුවනේ. දෙවෙනි එක නම් ඉතින් සදාකාලික රහසක්.... ඒවා වැඩක් නෑ අපි ආයෙත් මාතෘකාවට එන්ටර් වෙමු.

සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට යමූ...

 කියලා තමයි කොයි කාලේ උනත් ගෑණු දරුවෝ නම් කියන්නේ හිතන්නේ පතන්නේ. ඔය කිවුවට ඉතින් ඒක එහෙම උනොත් කොල්ලෝ පහු කාලෙකදි කියන්නේ

අනෙ අයියෝ මම ලනු කෑවා...
බොලෙ අම්මප මෝඩ උනා... 

කියලා. ඔය කතා මොක කොහොම උනත් මෝඩ කමටද මන්දා සරානම් තවම කොඩිය උස්සන්නේ පාසැල්වියේ සමනල් ආදරේ අර නන්දා මාලනී මහත්මිය ගායන ගීතය වගේ විය යුතුයි කියන අදහසට. ඒ කියන්නේ රාගයෙන් තොර සඳ එලිය  සේ වියයුතුයි කියන එක. ඒක ලස්සන වෙන්නේ මතක්කරලා සතු‍ටු වෙන්න පුළුවන් වෙන්නේ එතකොට කියලයි සරාට හිතෙන්නේ. ඔය වැඩිහිටියන්ට පමණයි ලේබලේ ආදර කතා ගැන කතා කරලා හිනාවෙන්න තරමට තවම අපේ සඟිස්කුරුතේ පිරිහිලා/දියුණුවෙලා නැති එක ගැන අවංකවම අපට සතු‍ටු වෙන්න පුලුවන්කම තියෙනවා. අපේ යාළුවනේ සරාගේ ප්‍රශ්නේ මේකයි, හරි උනත් වැරදි උනත් ඔය පාසැල්වියේ සමනල් ආදරේ ගැන වැ‍රැද්දක් දකින්න වැ‍රැද්දක් කියන්න සරාගේ දිව නැමෙන්නේ නෑ. හැබැයි ඒක ආධ්‍යාත්මික බැඳීමක් ආකර්ෂණයක් පමණක් විය යුතුයැයි සරා විශ්වාස කරනවා. ඒ ත් එතැනිනුත් නොනැවතී...

මල්වැටෙන් එහා රඟහලෙන් එහා....
සිනා පාරුවෙන් කොතැනද රංගනේ ‍රැගුම්...

කියන එක තේරුනේ නෑවගේ නම් ප්‍රැක්ටිකල් ලව් වැඩිහිටි අත්දැකීම් අපි අර "ටච් සිස්ටම්" ආන්න එව්වා ලබන්න අපේ අලුත් පරපුර වඩ වඩා යොමු වෙන එක ගැන මොකද හිතන්නේ.( අමතක කරන්න එපා මම ඇහුවේ පාසැල් වියේ අයගැන විතරයි.) ඒක හරිද වැරදිද..? ඒක ගැන ඔයාලගේ අදහස් දැනගෙනම මම කතාවේ ඉතුරු කොටසට යන්නම්. වැඩිය ලොකු දේවල් නොවෙයි සරලව යමක්...


ගෙහුං එඤ්ඤං ඈ.....!!


ඔන්න ඔයාලගේ රසවින්දනය උදෙසා මම ගූගල් යාලුවගෙන් මගේ පෝස්‍ටුවේ තැන තැන සඳහන් වුනු ගීත දෙක තුනකුත් ඉල්ලගත්තා.


                      

Tuesday, January 15, 2013

කනේ කොහොඹ මිරිකනවා හැමදාම......





         සරා මීට පෙර ලිපියක් ලිපියක් ලියලා ඒකෙන් සිංහලයාට බෞද්ධයාට මහත් අවැඩක් සිදුවුනාය කියලා කලබැගෑනියක් ඇති උනා. සමහරු ලිපි පවා ලියලා ඒ ලිපිය තමන්ට හිතෙන විදිහට අර්ථදක්වමින්. ඒ පිළිබඳ සරාට කියන්න තියෙන දේ තමයි මේ. ඒ වගේම මේ සම්බන්ධව ලියවෙන අවසාන වචන කීපයයි මේ. තව දුරටත් මේ ගැන කතා කරන්නට මගේ අදහසක් නැත.

          මම ඒ ලිපියේ පැහැදිලිව ලිවුවා ආගමික නීතියට අනුවය කියමින් අන්තවාදීන් බහුතරයක් (සෞදි මිනිසුන් ඇතුලුව) කරන මේ ක්‍රියා කුරාණයට (ආගමික නීතියට) අනුව වැරදිය ඒ නිසා දොස් කිවයුත්තේ ආගමට නොව අත්තනෝමතිකව ක්‍රියා කරන එවුන්ටය කියලා. ඒවගේම අපේ සීමාව ඉක්මවා දොස් දෙවොල් තැබීමෙන් සමස්ථ මුස්ලිම් වර්ගයා කෝපයට පත්වීමෙන් අනවශ්‍ය ගැටලුවක් ඇතිවීමේ ඉඩක් ඇතැයිද මම එහිදී කියන්නට යෙදුනා. ලිපිය කියවපු උදවිය හරි අපූරුවට එය තේරුම් ගෙන තිබුනා. ඒනිසාම සමහරු මම පන්දම් කාරයෙක් බත් බැලයෙක්ය යන වග නොකියා කියා තිබුනා. කෙසේ වුනත් මම ඒ ගැන තව දුරටත් කියන්න යන්නේ නෑ එහෙත් එයින් ඇතිකර තිබූ ගැටලු කීපයක් සඳහා පිලිතුරු සැපයෙන ලිපියයි මේ.

1  සරාට ඕන වුනේ කාගේ හරි ආගමකට හෝ ජන කොටසකට සුදුහුනු ගෑමටද...?  
සරාට එහෙම කරන්න ඕන කමක් නැත. තමන්ගේ මහන්සියෙන් උපයා සපයා ගන්නා ඔහුගෙන් තවකෙකුට උදවුවක් ලැබෙනු විනා ඔහු කිසිවෙකුගෙන් උදවු ගන්නේවත් කාටවත් දත නියවන්නේවත් නැති. එබැවින් ඔහු ස්වාධීනයැයි ඔහු සිතා සිටියි. කිසිවෙකුටත් කඩේ යන්නේ නැතැයිද කඩේ යවන්නටත් බැරියැයි කියන්නේද ඒ නිසාවෙනි. 

2  තවත් ලිපියකට අනුව චීවරධාරීන්ගේ වැරදි කීවේ මා සුචරිතවාදියෙකු හෝ සර්ව සාධාරන බව ලෝකයට පෙන්වීමට නොවේනම් මෝඩ කමටය.
වෙන්ඩ සුචරිතයක් මට තියෙන්න එපායෑ. මට ඒ ජාතියේ එකක් නෑ ආයිබොවන් ඒ නිසා ඒ චෝදනාවෙන් සරා නිදහස් ඕං. ඔය කිවුවට සරා සර්වසාධාරන එකෙකුත් වෙන්ඩබෑ. අසාධාරන වැඩ නොකලට මට අසධාරනයක් උන තැනදි මම ඒකට උත්තර දෙනවා මිස මගේ ක්‍රමය සාධාරනද අසාධාරනද කියලා බලන්නේ නෑ. අර මං දන්නේ නෑ තුමා නම් සරාගේ ලිපිය අපූරුවට විග්‍රහ/ විවේචන කරලා තිබුනා. ඔබට ස්තුතියි මං දන්නේ නෑ තුමා ඒකට. හැබැයි මට කියන්න තියෙන්නේ ඔබතුමා දන්නේ නෑම කියලා තමයි. මොකද ඔබට අනුව මම දෙපැත්තේම වැරදි තියෙනවයි කීවේ එක්කෝ මෝඩකමට නැත්නම් සර්ව සාධාරනයි කියලා ලොකෙට පෙන්නන්න. අපි කියමු ඕක පැහැදිලි මෝඩකම කියලා. මොකද මම කලිනුත් කිවුවා වගේ වෙලාවකට උන් හිටි තැනුත් අමතකවෙන මාලඟ ඔය සර්ව සාධාරනද මොකක්ද එක තියෙන්න විදිහක් ඇත්තේම නෑ. හැබැයි මහත්තයෝ මගේ මෝඩ මොලේට තේරුනා කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික තියෙනනිසා විවේචනය කරනවා නම් හැමෝවම විවේචනය කලයුතුයි කියලා. අනුන්ගේ ඇහේ තියෙන කුනු හොයන උඹලගේ/උඹගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැද්ද කියලා ගමේ වට්ටිඅම්මා කෙනෙකුටවත් අහන්න බෑනේ එතකොට මගෙන්. හැංගිලා හූ කියනවට කුනු බිත්තර ගහනවට වඩා හොඳයි වගේ නේද ඒක. අනික වගකීම ගන්නත් කෙනෙක් (ලියන්නා) ඉන්නවානේ. ඔබගේ නොදන්නා කමට නොවැටහුනාට මගේ ලිපියේ සාරාංශය නම් මේය........

1  අන්තවාදී මුස්ලිම් යැයි කියා ගන්නා සල්ලිකාර මෝඩයන්ගේ වරදට සමස්ථ ඉස්ලාමයට දොස්කීම වැරදි බව කීම. 

2  සිදුවූ දෙය ආගමික නීතියට අනුකූල නැති බව සෞදිනොවන මුස්ලිම්වරු පිළිගන්න බව පැවසීම. 

3  වැරදිය. ඒත් වරද පෙන්වා දිය යුත්තේ ඔවුන් කුපිත වන අයුරින් නොවන බව පැවසීම.

4  ලොකයේ ධනවත්ම හා බලවත් ජන කොට්ඨාශයක් සමඟ කලහකාරී අයුරින් කටයුතු කිරීම නුවනැති ක්‍රියාවක් නොවන බව පැවසීම 

5  ඉහටත් උඩින් ප්‍රශ්න තියෙන අපට අප පමණක්ම නිසා කල්පනා කාරීව කටයුතු කලයුතු බව පැවසීම.

මේ කාරනා ටික ඔබ අපූරුවට තේරුම් අරං තිබුනු බව මට තේරුනා ඔබේ ලිපිය කියවූ පසුව ඉතින් මම ඒ ගැන තව දුරටත් කතා නොකර ඉන්නම්.
          අර බුදුපිලිමය ලඟ තබා ගත් තරුනයා ගැන කතා නොකල එක ගැනත් චෝදනාවක් තිබුනා. අදාල සිද්දියයි මේ කතාවයි ගැලපෙන්නේ නැතත් මම මෙහෙම කියන්නම්. සෞදිය කියන්නේ බහුතරයක් මෝඩ හා නූගතුන් ඉන්නා රටක්. හරියට අතීතයේ උන්න ගෝත්‍රිකයින්ට මොවුන් දෙවෙනි වෙන්නේ මොවුන්ට මුදල් තිබෙන නිසා ඕනවටත් වඩා. ඉතින් අපට තියෙන ආර්ථික ගැටළු විසඳ ගන්න නම් මෙහි එන්නේ අපි දැන ගන්න ඕන මෙහි සිටිනා කාලය තුල අපේ ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිවක් නොකර සිටීමට. මොකද අපි මෙහේ ආවේ අපේ උවමනාවන් ඉ‍ටුකරගන්න නිසා. අනික මෙහෙ එන්න කලින්ම අපට ලැබෙනවා මෙහි ජීවත් විය යුතු ආකාරය ගැන උපදෙස්. මෙහි සිටිනා කාලය තුලදි මොවුන්ගේ නීතිරීති උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙනවා කියලා ගිවිසුමකටත් අපි අත්සන් කරනවානේ. ඉතින් එහෙම එකේ ඔහු මොවුන් මහා අපරාධයක් විදිහට දකින යමක් ලඟ තබා ගැනීම, නැත්නම් මෙහි ‍රැගෙන ඒම ගැන ඔහුත් දෙවරක් සිතිය යුතුව තිබුනා.

        ඒකට මරණ දඬුවම සාධාරනද කියලා මගෙන් අහන්න එපා. මොකද මොවුන්ගේ ස්වභාවය මම උඩින්ම සඳහන් කලා. ඔහුට තිබුනේ මෙහි නෑවිත් ඉන්න කියලා නම් මට හිතෙනවා. ප්‍රථම වරට මැදපෙරදිග පැමිනෙන්නෙකුට වුවත් පුහුවේදී පවා වරින්වර මේ දේවල් කියාදෙනවා මතක්කරනවා. මම මොවුන් හරි කියනවා නොව අපේ අය මේ දඬුවම් වලට ලක් වෙන හේතු පැහැදිලි කරන්න උත්සාහ ගන්න බව ඔබලා තේරුම් ගත යුතුයි.

             තව කාරනාවක් ඔබට කිව යුතුමයි. මෙහි පැමිනෙන සියලුදෙනාමත් අහිංසකයන් නොවන බවයි ඒ. මෙහෙට එන වැඩි පිරිසකට මෙහි පැමින ටික දිනකින්ම තමන් කවුද තමන් පැමිණියේ කුමණ අරමුනක් ඇතිවද යන්න අමතකව යනවා. ඊට පසුව ඔවුන් වැඩ කරන්නේ මවාගත් මනසකින් යුතුව, හරියට ස්වදේශිකයන්වගේ. මත්ද්‍රව්‍ය( ගංජා, හෂීස්, කසිප්පු) වගේ දේවල් ඔවුන් ලබා ගන්නේ/ගෙන්වා ගන්නේ අස්කරියෝ( පොලීසිය/ හමුදාව) ලවුව. ඒව පාවිච්චියෙන් පසුව සිංහයෝ වගේ තමයි හැසිරෙන්නෙත්. මේ මම ඇහැට දකින දේවල්. අස්කරියෝ තමන්ට සල්ලි ලැබෙන නිසා මේවා අපේ අයට සැපයුවට මෙයාලගේ පෝල්ට් එකකින් කොතන හරි ලීක් උනොත් බෙල්ල මුලින්ම හිර කරනවා අපේ උන්ව. ආයේ ඒකේ දෙකක් නෑ. මොකද හරි උනත් වැරදි උනත් ස්වදේශිකයන්ගේ කතාව මිස අපේ එකාලගේ කතා අහන්න පිළිගන්න මෙහෙ කවුරුවත් නෑ. එහෙම අය ඉන්න තැන් තමයි නිතර සෝදිසියටත් ලක් වෙන්නේ. දැන් කවුරුවත් මට චෝදනා කරන්න එපා අර තරුණයා වරදකාරයෙක් කරලා පිස්සු සෞදියන්ව හරි කියන්න මම තවත් කතාවක් අමුනන්න හදනවා කියලා. මෙහෙ එන හැමෝම හරි අහිංසකයි කියනැක 100% නිවැරදි නෑ කියන්නයි මම මේ කතාව කිවුවේ. මම මෙහේ හිටපු කාලය තුල මෙහි කිසිම කෙනෙකුගෙන්( රෙඩ්කැප්, අස්කරි, මුතවුවන්, රෝහල් පාලනාධිකාරිය) මට කරදරයක් හිරිහැරයක් සිදුවෙලා නෑ. එකම හේතුව මම කවුද මෙහෙ ආවේ මොකටද යන්න දැනගෙන මතක තබාගෙන කටයුතු කිරීම. 

4  ප්‍රකෝප කාරීව අදහස් දක්වපු හුඟාක් අය බොහොම තරුණ උදවියනේ.අන්න ඒ අයට මේ කතාව කියන්නේ.

             තරුණ ලේ රත්වෙනවා වැඩී. ආවේගශීලීයි. හැබැයි ඔවුන්ගේ අත්දැකීම් නම් අඩුයි. ක්ෂණික ප්‍රතිචාර දැක්වූවාට ඔවුන් ලඟ සාර්ථක පිලියම් නෑ ගොඩාක් ගැටළුවලට. ගොඩාක් වෙලාවට කරන්නේ ආවේගයෙන් කෑගහන එක. "අපිට උන් එහෙම කරනවානම් අපි මෙහෙම කරන්න ඕන. නැත්නම් උන් හිතන්නේ අපි බයේ කියලා." ඔන්න සටන් පාඨ කියන්න ගන්නවා. ඒත් යාලුවනේ මේ ආවේගය අපට ගැටළුවට උත්තර හොයන්න නම් උදවු කරන්නෑ කොහෙත්ම. අපිව තවත් ප්‍රශ්නය තුලම හිරකරනවා හැර. හැබැයි සමහරුනම් කියනවා මෙහෙම වෙලාවට නැති ආවේගය මොකටද කියලත්.  මම එහෙම ප්‍රතිචාරත් දැක්කා. මම කියන්න කැමතියි මෙහෙම ආවේග බොහොම ටිකවෙලාවයි ඵල රහිතයි කියලා. (හරියට සෝඩා බෝතලයක් කැඩුවා වගේ) හැබෑවටම ගැටළුවක් ගැ‍ටුමක් ඇතිවුන තැන මේ අය හා මේ සටන් පාඨ හරියට හිරු දු‍ටු කදෝපැණියන්ට සමාන කිරීමේ වරදක්නෑ. තිස් වසරකට ආසන්න කාලයක් යුද්ධයෙන් බැටකෑ මිනිසුන් සිටිනා රටක් මේක. යන්තම් යුද්ධය නිමාවී ගෙවුනේ වසර තුනක් පමණයි. අපිත් ආයේ අපේ "‍රැස්පොට්" එක පෙන්නන්න එයාලා කරන දේවල්ම කරන්න ගෙහුන් රට ආපහු අවුලකට යුද්දෙකට තල්ලුවුනොත්, ඔය තැන තැන කෑගහන කීදෙනෙක් ඒ වගකීම බාර ගනීවිද කියන ගැටළුවට කා ලඟ හරි උත්තර තියෙනවද..? හුඟාක් දෙනා තමන්ගේ නමින්වත් නෙමේනේ මේවා ලියන්නේ. සමහර සටන්පාඨ ඇනෝ. ඉතින් අවුලක් උන තැන එයාලව හොයන්න අංජනම් බැළුවත් බෑ. අපට එහෙම නොවෙනවා කියන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ, මොකද ලොවපුරා යුද ගැ‍ටුම් වල පෙරමුනේ ඉන්නේ අන්තවාදී මුස්ලිම්වරු නිසා.

               අද මේ සටන් පාඨ කියමින් වීර චරිත වෙන්න හදන යාලුවනේ ඔබලා යුද්ධ දැක්කේ බාගෙට. හැබෑ යුද්ධය හොලිවුඩ් සිනමා පටයක් වගේ රසවත් නෑ. ඒකෙන් දෙපාර්ශවයටම හානි වෙනවා. ඔබ දු‍ටු කොටස ඉතාම ටික නිසාත්,එයින් ඔබට සිදුවූ හානිය අවම නිසාත් තවම ඔබේ ලේ රත් වෙනවා වැඩී. හැබෑවටම යුද්ධය දු‍ටුවන් හා යුද්ධට මුහුන දුන් අය ප්‍රකෝප කාරී ලෙස නොහැසිරෙන්නේ ඒ නිසයි. සමහරු නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා. කියලා තේරුම් කරන්න බෑ කියලා හිතලා වෙන්නත් පිලිවන්. ඒ ඔවුන්ගේ කැමැත්ත නිසා මම ඒගැන කතා කරන්නේ නෑ. 

5   හිරූ මගෙන් අපූරු ප්‍රශ්නයක් අහලා තිබුනා. අපි විතරක් තේරුම් ගැනීම ප්‍රමානවත්ද කියලා. ඒකට මගේ උත්තර මේ.

               ඇති. අපි හරි ඇත්ත තේරුම් ගත්තම ඇති. අපිත් තාම තේරුම් නොගත් එකයි වරද. මුලින් අපි තේරුම් අරගෙන නවතිනවා. ඊලඟට ඔවුන් නවතීවිද බලන් ඉන්නවා. නවතින්නේ නැත්නම් ඔවුන්ට අපි ඒ බව කියනවා. ඒකට අපට ගොඩාක් ක්‍රම අනු ගමනය කල හැකී. ඒත් ප්‍රතිපලයක් නැත්නම් පමණයි මේ අය  මේ දැන් අනුගමනය කරන ක්‍රියා මාර්ග ගත යුත්තේ. සෙරටම කලින් මහ වැඩේ කලහම බැරිම තැනදි කරන්න දෙයක් නැති වෙනවනේ. දවසක් මම දයා රෝහන මහත්මයගෙන් ඔය සමානම ප්‍රශ්නයක් ඇහුවා හිරූ.එතුමාගේ උත්තරේ උනේ මෙහෙම. ගැ‍ටුමක් ඇතිවෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ශව දෙකක් ඕන. ඒවගේම කිසිම ගැ‍ටුමක එක පාර්ශවයක් 100% නිවැරදි වෙලා අනෙක් පාර්ශවය 100% වැරදි වෙන්නේ නෑ. එහෙමනම් පාර්ශ්ව දෙකම 50% ක් හරි වගේම 50%ක් වැරදී. පසු බහින්නේ දිනන්නනම් ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ කවදාවත්.

           පොඩි කතා දෙකක් කියන්නම් හිරූ වැදගත්වෙයි කියලා හිතුන නිසා. මම ඉස්සර කළුසුදු රූපවාහිනී ගැන ඉගෙනගන්න කාලේ ඔය අරංගල පැත්තේ වාත්තු වැඩපොලක ( ඇළුමිනියම්) වැඩකලා. එක්තරා හේතුවකට මම එහෙ කොළුරෑනක් එක්ක රංඩුවක් වුනා. මගෙත් නාහෙට නාහන වයස නිසා දෙතුන් දෙනෙකුටම තනියම වග කියලා. සනීපෙන් මම නැවතිලා හිටපු තැනටත් (වැඩපොලට) ආවා.  ඔතන බලාකියාගෙන හිටපු නෙල්සන් අයියා දකුනේ බුවෙක්. රට කාපු නීල අංපොල්ලෙක්. පොරගෙන් මම වගේ එවුන් හතරක් හදන්න පුළුවන් ගේමක් නැතුවම. අදාල කතන්දරේ පොරට කිවුවම පොර මට කිව්වේ මලය  ටික දොහක් යනකම් උඹ මිහිඳු මාවත පැත්තෙන් ක්ලාස් පලයන් කියලා. ඒත් මම ඔහුගෙන් එහෙම උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ. ඒ නිස මම කිවුවා.......

මොනාද නෙල්සන් අයියේ මහලොකු ඇඟක් තිබුනට ඔයාට මට තරම් වත් "ගටක්" නෑනේ...!
හරි දැන් උඹ එහෙනම් මොනාද කරන්න හිතාගෙන ඉන්නේ...?
මොන කරන්නද පුරුදු විදිහටම මෙහෙන් යනවා...!
උන් ආයේ ගේමට අවොත්...?
ආයෙත් ගහනවා....!
හෙහ් හෙහ් හෙහ්...!
ඇයි ඔයා හිනාවෙන්නේ...?
උඹ හිතනවද දැන් උඹේ හැටිත් හොඳට දන්න උන් එදාවිදිහටම ආයි එයි කියලා... යකෝ උඹට කලින් මම ඕවා කලේ, මේ ගමන උන් එන්නේ උඹ වගේ දෙතුන් දෙනෙක් එක්ක උනත් ඔට්‍ටු වෙන්න බලාගෙන.  මල්ලී තවම තරුණ වයසේ නිස පොඩි උපදේශයක් දෙන්නම් මම. අපට ගමකින් ගමකට ගිහින් ගහගෙන දිනන්න බෑ, හැබැයි ගහන්න වගේ ඉන්න පුළුවන්. ( ඔය ගමකින් ගමකට කියන තැනට ඔයාලට කැමති වචනයක් දාගන්න පුළුවන්. නගරං කාරයෙක් කිව්වට මොකද ඒක හුඟාක් තැන් වලට ගැලපෙන බව මට තේරෙනවා)
උඹ අහලා තියෙනවද අලිය ඇතාට බයයි ඇතාඅලියට බයයි කියල කතාවක්...?
හ්ම්...!
උඹ උඹේ තරම උන්ට නොපෙන්න ඉන්නතාක් උඹ ගැන උන්ගේ හිතේ බයක් තියෙනවා. හැබැයි උඹේ තරම දැනගත් දාට උන් ඊට වැඩි බලයක් උඹට විරුද්දව යොදාන්න ඉඩ තියෙනවා.

          මේ අනිත් කතාව හිරූ.. ඒ 1983 අවුරුද්ද. ඔයා ඉපදෙන්නත් ටික දොහකට කලින්. ( එතකොට මට අවු:7-8 ක්විතර ඇති හිච්චි එකා. තේරුමක් නොදත්තා උනත් ඇහුනු දැකපු දේවල් හොඳින් මතක හිටියා. කාලයක් යනකම් තාත්තා අපිට කතන්දර කියාදෙත්දී මම හාර හාර අහැවුවෙම ඔය ගැන. පුංචි කාලේ ඒ දැකපු දේවල් මොනවද කියලා හරි හැටි තේරුම් ගත්තේ එහෙමයි. ඒව සුරංගනා කතා නොවුනේ මම දැකපු දේවල්ම නැවත විස්තර වීම නිසයි.)

           යාපනය පැත්තේ සිදුවුනු සිදුවීමක් අරභයා රටේම මිනිස්සුන්ගේ ලේ රත්වුනා අවුරුද්දේ මැද හරියේදි. අවාසනාවට ඔවුන්ගේ රස්නේ වැදුනේ තමන්ගේම අසල්වැසියන්ට. යටියන්තොට රුවන්වැල්ල, අවිස්සාවේල්ල, පුවක්පිටිය, වග, තුම්මෝදර, පාදුක්ක වගේ පැතිවල සිංහලේ රත්වෙලා තිබුන විදිහ මම දැක්කා. එවකට අපි හිටියේ ඔය දුංකලහේන කියන ප්‍රදේශයේ සාමාන්‍ය ප්‍රමානයේ මැටි ගෙයක. ( එහෙට ආව විදිහවත් එවකට අපේ ආර්ථික මට්ටමවත් මේ කතාවට අදාල නැති නිසා මම ලියන්නේ නෑ.) අපි හිටපු අවට නෝනා වත්ත, ග්‍රෑන්ඩ්ෂීල්, පඤ්ඤාගුල, එල්ස්ටන්,වග වත්ත, අයර්වත්ත වගේ වතු තිබුනා. ආසන්න නගරවල අයගේ ලේ රත්වෙනකොට ඒ රස්නේ අපි හිටපු ගමටත් දැනිලා තිබුනා.( ඒ අපේ ගම නොවේය, අප එහි සිටියේ අවුරුද්දකටත් අඩු කාලයකි.) එක වැසි සහිත අඳුරු දවසක් ඒ. අපේ මිදුල කොනේ ඉඳන් කවුද මනුස්සයෙක් මහත්තයා මහත්තයා කියලා කත කරනවා ඇහිලා අපේ තාත්තා ලාම්පු කුප්පියත් අරං එලියට අවා. අනෝරවේ තෙමි තෙමී උන්නේ නෝනා වත්තේ ලයිමේ හිටපු මනුස්සයෙක් කියලා හඳුන ගත්තේ අපේ අම්මා. මොකද අපේ අම්මගේ ගම මේක. ඒ මනුස්සයා අපේ තාත්තා ලඟට ඇවිත් වැඳලා කිවුවේ අනේ මහත්තයා අපට කරදරයක් කරන්න එපා අපි හරි අහිංසක මිනිස්සු. පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැස්ස පායනකම් එයාලව මෙහෙන් තියා ගන්න වැස්ස පායපුවම එක්ක යන්නම් කියලා.

            අපේ තාත්තා එයාට ගෙට අඬ ගැහුවට ආවේනෑ තව අය කැලේ ඉන්නවා කියලා. තාත්තා මුලින්ම එයාගේ බය අරවලා( තමන්ගෙන් එයාලට අනතුරක් නෑ කියලා තේරුම් කරලා දීලා.) වැස්සේම තෙමි තෙමී ඔහුත් එක්ක ගිහින් අනෙක් අයව එක්කරගෙන ආවා. එතන අත දරුවෙකුයි තව පොඩි ලමයෙකුයි එක්ක මං විතර ලමයෙකුත් හා තරුණ ගෑනු ලමයෙකුත් හිටියා. පවුල් දෙකක්. වැස්සට තෙමිලා හෙම්බත්වෙලා හිටපු පොඩි එවුන්ව අපේ අම්ම පිහදැම්මේ අපිව නාවලා පිහදානව වගේ. අපේ ඇදුම් තමයි අඳින්න දුන්නේ. නමුත් ඔවුන් අපෙ ගෙදර ඉන්න බය වුනා. තමන්ට පහරදුන් අය මෙහෙට එන්න පුළුවන් බවයි ඔවුන් කිව්වේ. උන් කවුද කියලා දන්නවද...? අපේ තාත්තා ඔවුන්ගෙන් ඇසුවා. පිට කිසිවෙක් නොවන බවත් ගමේ මිනිසුන් බවත් ඔවුන් තමන් හොදින් හඳුනන මෙතක් තමන් හා කිසි අමනාපයක් නොතිබුනු අය බව ඔවුන් හැමදෙනම කියාසිටියා. තමුසෙලා කොහේවත් යන්න ඕන නෑ දැන් එලි උනාට පස්සේ ආරක්ෂා තියෙන තැනකට යනකම් මෙහෙ ඉන්නවාලා. මගේ පණ තියෙනකම් මේ වහලයට ඉන්න එකෙකුටවත් අත තියන්න මොකෙකුටවත් බෑ කියමින් කඩුවකුත් අතට අරගෙන දොරකඩින් ඉඳ ගත්තා. ආරක්ෂා සහිත ක්‍රමයක් හොයාගෙන අපේ ගෙදරින් පිට වුනේ ඊට පහුවදාටත් පස්සේ. යන මොහොතේ ඔවුන් අපේ තාත්තට වැන්දා මට හොඳට මතකයි.

              දැං බැලුවම මම විතරක් නෙමේ අපේ තාත්තත් ජාතිද්‍රෝහියෙක් වගේ නේද..? හැබැයි මට නම් ඔහු වීරයෙක්. මොකද ඔහු කඩුවක් අතට ගත්තේ ජාතිවාදය කියන මහානර්ඝ වස්තුව රකින්න නෙමේ, අර මනුස්සකමද මොකක්ද කියන බිබික්කම රකින්න. එදා දක්වාම හිතවත්කම් පවත්වපු කෙනෙකුට හරි අසල්වැසියෙකුට හරි ( වරදක් නැතුව) විරුද්ධව අවි ඔසවන්න ගහන්න මරන්න පුළුවන් එකක්නම් ඔය ජාති ආලය, දේශප්‍රේමය,ආගම් වාදය මට ඒක වටින්නේ නෑ තුට්‍ටුවකටවත් මේ මනුස්සකම විතර. ජාතිය මොක උනත් මම එකට විරුද්ධයි. ඒනිසයි මට දැනුන දේ කිව්වේ. මමත් වැරදියි ඒ ගොල්ලොත් වැරදියි කියමුකෝ. ඒත් අපිට කරන්න තියෙන්නේ සටන්පාඨ කියමින් ඔවුන් කුපිත වෙන අයුරින් හැසිරීම පමණද.......?

         මෙතනින් එහාට මම් මේ ගැන කතා කරන්නේ නෑ කොහොමත්ම. මොකද මේක මගේ ගැටළුවක් නොවෙන නිසා. මේ ටික හරි කිවුවේ ඇත්ත තේරුම් ගන්න කෙනෙකුට උදවුවක් වේවි කියලා හිතලා. මේක තමයි ඇත්ත කියලා හිතන්න කාරියක් නෑ ඕං කවුරුවත්. මේ මට හිතුන හැටිම විතරයි. හැමෝටම හිස් හා සිත් තියෙනවා නේ.

    ...........තම තම නැණ පමණින් දැනගතයුතු............  

නිමාවට පෙර

      අපිත් මේ දේවල් දිහා වෛරය ක්‍රෝධය මුසුව බලනතාක්කල් ගැටළුව අප සමඟ ඉඳීවි.ඒ නිසා පළමුව අප නතරවී බලමු අනෙක් අය නතරවේද කියා. එහෙම නැතිවෙන එකක් නෑ. මතකනේ අර පහුනු පෝස්‍ටුවට ආව හඳුනා නොගත් යාළුවා. අප දිගු කරන්නේ සාමයේ හස්තයනම් ඔවුන්ට එය පිලිනොගෙන ඉන්නට බැහැ. එහෙමත් ප්‍රතික්ෂේප වෙනවානම්......... හෙහ් හෙහ් හෙහ්    

          ඇතැම් අය කියනවා වගේ කාවවත් මේ රටෙන් නෙරපා හරින්න බෑ. පිටවෙයවු කියලා බල කරන්නත් බෑ. මොකද මේරට දැන් හැමොගෙම එකක් වෙලාඉවරයි. කාගෙවත් බූදලයක් නෙමේ අපේරට. සිංහල ද්‍රවිඩ මුස්ලිම් හැමෝගෙම. ඉතින් ඔය කවුරුවත් කියන විදිහට අකුලගෙන පලයවු කිවුවම ඒක කෙරෙයිද...? මූලධර්මවාදයට එරෙහිව නම් කතාකරන්නේ මෙහෙම කතා කියන අය කොතැනද ඉන්නේ...? ඕක තමා පැහැදිලි මෝඩ කම. මේ වෙනකොටත් ඇතැම් අයගේ කතා ඇල් මැරුනු ස්වභාවයක් අරගෙන.ක්ෂනිකයි එපමණයි...! 

පසුව ලියමි: 

        ඉස්සර සංගීත  සංදර්ශන හොයාගෙන යන්නේ සරාලා ආස නිසා ටිකක් එලි පහලියේ නටන්න. ඔහොම ගෙහුන් සංගීතේ පේන නොපේනෙන හරියේ තැනක් හොයාගෙන කන් රත් වෙන ෂයිස් එකේ පොඩි සොට් එකක් දාගන්නේ නටන්න පොඩි කික් එකක් ඕන නිසා. හැබැයි ඉතින් ඔහොම කරන එකම පිරිස සරාලගේ ගැන් එක විතරක් නෙමේ. කියන්නේ ඕක ඇතුලේ තවත් ඔහොම මද පවනට සප්පායම් උන අය ගොඩාක් ඉන්නවා. අහේතුවකට හෝ ටිකක් වැඩියෙන් රත්වුන අය අහල පහල ගැවසුනොත් ඒ ගොල්ලෝ කොකු දාගන්නවා. එයාලගේ කොකු අහල පහල නටන සරාලටත් බලපානවා නම් සරාලා ගෙහුන් කියනවා ..... මචං හැමෝම ආවේ නටලා පොඩි ෆන් එකක් ගන්නනේ... අතෑරලා දාපං මචං ඕවා වරෙන් අපි නටමු  හැමෝම කොල්ලෝනේ බං කියල... ඔහොම කියන්න ගිය කීප වතාවකම උඹ කවුද හු** මට කියන්න කියලා සරාගේ මූණ පිරෙන්න වැදුනු වෙලාවල් තියෙනවා. අනේ ඉතින් සාමෙන් නටන්න කතා කරලා ගුටි කාලා කොහොමද කියලා ඒකාලේ නම් අපි ගෙදර යනවා අයියේ කියන තැනට අදාල පාර්ශව පත් කොලාට ලියුම් කරු නම් පල්ලම් බහින්නේ තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගත්තාවේ කියලා හිතාගෙන. ඕනවට වඩා නිර්භීත කමත් අනුවනකමක්ය කියලා තේරුම් ගත්දාට හැමෝම සාම මාවතට අවතීර්න වෙන්නේ නැතෑ.


Thursday, January 10, 2013

නොකියා සිටිය නොහැකි නිසා - වැරදි ඉස්ලාම් ආගමද........?




           //ආගමේ නෙමේ ආගමට මුවා වෙලා ආගමේ නම විකුනණ සල්ලි කාර මෝඩයන් අතෙයි වරද තියෙන්නේ. සෞදිය කියන්නේ සල්ලිකාර රටක්. මේකේ එවුවන්ට සල්ලි වැඩි නිසා උන් දෙවියන්ටත් වඩා ඉහලයි කියලා උන් හිතාගෙන ඉන්නවා. මෙහෙට එන මුස්ලිම් වරුත් අසරන වෙනවා. මෙහෙ උන් විදේශික මුස්ලිම් අයටත් සලකන්නේ සත්තුන්ට වගේ. නීතියේ තියෙන දේවල්ම කරනවා නෙමේ. හිතුන දේ කරලා ඒක ආගමේ තියෙන ආකාරය කියලා කියනවා. විදේශික මුස්ලිම්වරු පවා මුන්ව විවේචනය කරනවා. මේකට කාගෙවත් ආගමකට නිගා කිරීම වැරදියි. හෙලාදැකිය යුතු මේ සල්ලි කාර මොඩයන්ගේ අමන වැඩයි. කාට හරි කෙනෙකුට සැකයක් තියේනම් මම මේ කියන කාරනාව ගැන කරුනා කර අල් කුරානයේ සිංහල පිටපතක් අරගෙන කියවා බලන්න.// 


               ඔය ඉහලින් තියෙන්නේ මම අද කියවපු එක බ්ලොග් එකකට මමම දාපු කමෙන්‍ටුවක්.  මේ ගැන තවත් පැහැදිලිව කරුණු කිවයුතුයි කියලා හිතුනු නිසා පෙර සූදානමක් නැතුව උනත් කෙටි සටහනක් තියන්න හිතුනා. මේක කියවන සමහරෙකුට තරහා යන්නත් ඉඩ තියෙනවා "යකෝ මූට තියෙන කැක්කුම මොකක්ද මේ අනුන්ගේ ආගමක් ගැන" කියලා. කැක්කුම ආගම ගැන නෙවේ, වැරදි අවබෝධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ නිසා විය හැකි අනාගත ව්‍යසනයන් ගැනයි. ඒකත් බලපාන්නේ කෙනෙකුට දෙන්නෙකුට නම් හැබෑවටම "අපට මොකෝ" තියරියෙන් සද්ද වහලා ඉන්න මම ඉතාම කැමතියි. මොකෝ ඔය ක්‍රමය අනුගමනය කරන එකම කෙනා මම නොවෙන නිසා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ, මුලු රටටම බලපානවා ඉදිරියේදී මේ තත්වය . අන්න ඒ නිසයි මේ.........

             අපි හැමෝම වගේ දැන් දන්නවා රිසානාට මරණ දඬුවම ලැබුනා කියලා. හැබෑවටම කනගා‍ටුදායක පුවතක් ඒක. බෞද්ධාගමික අප පමණක් නොව අපේ රටේ මුස්ලිම්වරු වගේම මම දන්න ඉන්දියානු පිලිපීන මුස්ලිම් වරුත් මේ සිද්ධිය පිලිබඳ නොසතුටෙන් ඉන්නේ. මොකද මේ සිද්ධිය යුක්ති සහගත නැති නිසා. ඒ නිසා මා නැවතත් කියනවා ඒක වැරදියි කියලා.
එතකොට ඒ වරද කාගේද......?
ඉස්ලාම් ආගමේද.... නැත්නම් මේ මෝඩ උද්දච්ච සෞදිකාරයන්ගේද....?

            අපේ යාලුවනේ මේ කතාව තව එකම එක කතාවක් විතරයි. ඔහොම ප්‍රසිද්ද නොවුනට ඝාතනයට පත්වෙන නොයෙකුත් අසාධාරනයන්ට දූෂණයන්ට ලක්වෙන තවත් රිෂානාලා මෙහේ බොහෝමයි. මම මෙහේ හිටි ටික කාලයට මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන ලොකු අවබෝධයක් ලැබුවා. මට හිතුනා ඇයි මේ මිනිස්සු මෙහෙම සත්තු වගේ හැසිරෙන්නේ කියලා. මම හැම කෙනාගෙන්ම ඒ ගැන ප්‍රශ්න කලා. ඒත් පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ. සමහරු කිවුවේ ආගමේ තියෙන නීති තමයි ඔය කියලා. සමහරු කිවුවේ ඉස්ලාම් ධර්මයේ කොතැනක වත් ඔහොම දේවල් නෑ මේ තමයි සල්ලි තියෙන මොලේ නැති කමේ ප්‍රතිපල කියලා. ඔය කාරනාව නිසා මමත් මේ කුරානය කියවන්න හිතුවා. හැබෑවටම මුං කරන දේවල්  ඉස්ලාම් ආගමට පටහැනියි. ඉස්ලාම් ආගමේ කොහේවත් නැති මුන්ට හිතෙන දේවල් තමයි මේකලා කරන්නේ, කියන එක මම අවබෝධ කරගත්තේ එහෙමයි. මට කුරානයටවත් මුස්ලිම් වරුන්ටවත් සුදු හුනු ගාන්න උවමනාවක් නෑ. ඒත් අපි ඇත්ත හඳුනාගෙන අවබෝධයෙන් කතා කලයුතු බවයි මගේ හැඟීම.

             මෙහෙ ඉන්න ගොඩාක් සෞදියෝ කවදාවත් වැඩ කරන්නේ නෑ. ඒත් උන් මේ රෝහලේ සේවකයෝ. ආගමේ නීතියට අනුව කිසිවෙකුට තමන් කිසි සේවයක් නොකර ආදායම් හෝ වැ‍ටුප් ලැබීම තහනම්. ඒවගේම අනුන්ගේ දෙයක් සොරකම් කිරීම අයිති කරුවෙකුට නොදන්වා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් මෙහෙ ලොකුම තැනේ ඉඳන් පහලට, ඒකියන්නේ හොස්පිට්ල් ඩිරෙක්ටර්ගේ ඉඳන් සුළු සේවකයා දක්වාම මේකලාට පුළුවන් තරමට මුං හොරකම් කරනවා. මේ තැන් කිසි එකක විදේශිකයෝ නෑ, සේරම සෞදි කාරයෝ. විදේශිකයෙක් අතින් සුළු වරදක් අතපසු වීමක් උනොත් ඒක මහා ලොකුවට උලුප්පලා දක්වනවා නැත්නම් ඒක හොරකමක් විදිහට නම් කරලා දැඩි දඬුවම් දෙනවා. ඒ සුලු දේ උනත් "හරාම්" ලු. දෙවියෝ එහෙමලු කියලා තියෙන්නේ. එහෙම කියකියා මේකලා මහා පරිමානයෙන් හොරකම් කරනවා. මොකද මේ සෞදියන්ව ප්‍රශ්න කරන්න අයිතියක් අවසරයක් නෑ මෙහෙට එන විදේශිකයන්ට. එහෙම ගිවිසුමකට අපි මෙහෙට එන්න කලින්ම අත්සන් කරලනේ මෙහෙට ඇවිත් තියෙන්නේ. මෙහෙට එන විදේශික මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම තමයි. අන්න ඒ නිසා මගේ අදහසනම් වරද මුස්ලිම් ආගමේ නෙමෙයි. ඒකට මුවාවෙලා වැරදි කරන අයගෙයි.

           අනික සෞදියේ උන් කරන වැඩවලට සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇඟිල්ල දික් කිරීමත් බරපතල වරදක් කියලයි මගේ හැඟීම. මොකද මම මීට පෙර දවසක අපේ සමහර චීවරධාරීන් අතින් කෙරෙන වැරදි ගැන ලියපු වෙලාවේ සමහරු කිවේ සමහරෙක් අතින් සිදුවෙන මේ වැනි වැරදි ගැන ප්‍රසිද්දියේ කතා නොකලයුතු බවයි. ඒවගේ එය උඩ බලා කෙල ගසා ගැනීමක් ලෙසත් හඳුන්වා තිබුනා. මා එහි ඇතැමෙක් යනුවෙන් පැහැදිලිව දක්වා තිබියදීත් මේ සමස්තය නොවන බව සමහරු පුනපුනා පැවසීමට යෙදුනා. ඒනිසා මම ඔබලාට නැවතත් කියන්න කැමතියි බොහොම යහපත් මුස්ලිම් වරුත් සිටිනා බව. ඕනෑම වරදක් කරලා ඒකට හේතු දැක්වීම හෝ කෙනෙකුට අභියෝගයට ලක් කල නොහැකි කෙනෙක් හෝ දෙයක් වග උත්තරකරු කිරීම එහෙම නැත්නම් මම හෝ අපි කලේ අසවල් තැන සඳහන් දේ අසවල් නීතිය ක්‍රියාත්මක කිරීම යනුවෙන් සඳහන් කල පලියට ඒවා පිළිගැනීම එලෙස පිළිගෙන දෙස් දෙවොල් තැබීම කෙතරම් දුරට ප්‍රඥා ගෝචරදැයි සිතා බැලීම වටී. මන්ද අපටත් හිස් හා සිත් ඇති නිසාවෙනි.

              හිත මිතුරනි මා නැවතත් මෙසේ කියමි. වර්තමානයේ මේ සිදුවන්නාවූ දේවල් යම්කිසි ආගමකට අනුව සිදුවෙනවායැයි හැඳින්වීමට පෙර ඒ පිළිබඳව යම් සොයා බැලීමක් සිදු කරන්නේනම් මැනවැයි මට සිතේ. (හැබෑවටම ඒ ආගමේ එවන්දේ සඳහන්ද ඒ කොතැනද යනවග.) කුරානය අතින්වත් නාල්ලා එහි සඳහන් දේ හෝ ආගමේ නිවැරදි අරමුනු හෝ හරි හැටි නොදැන සමස්ත මුස්ලිම් ප්‍රජාවටම පරිභව කිරීම වැරදියැයි මම කියනවා. ඒවගේම ඒකෙන් අනාගතයේ බරපතල ගැටළුත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ විදිහට වැරදි වැඩ කරලා ඒක අපේ ආගමේ නියමය යැයි කියන මුස්ලිම් අයත් ඉන්නවා. අපේ රට තුල පවා. ඇතැම් අවස්ථාවලදී මමත් එහෙම සිදුවීම් වලට මුහුන දී තියෙනවා. ඔබ හරි ආකාරයට දැනුවත් නම් ඔබට හැකියි ඔවුනට කියාදෙන්න. එය ඔවුනට තේරෙන කුමන ආකාරයකින් හෝ. මම එහි කිසිඳු වරදක් දකින්නේ නෑ. මම වුනත් එලෙස කරන නිසා, වඩා සාර්ථක තේරෙන හෝ තේරුම් ගන්නා ආකාරයට කියාදීමයි.

           නැවතත් මම මතක් කරනවා මේ ලිපිය කිසිදු පෙර සූදානමකින් තොරවයි මම ලිවුවේ. ඒනිසා මට තොරතුරු වැඩි ප්‍රමාණයක් දැක්වීමේ හැකියාවක් නෑ. ඒත් මට පැහැදිලිවම කිවහැකි කාරණය නම් මෙවන් අත්තනෝමතික ක්‍රියා වලට වැරදි මේ සල්ලිකාර මෝඩ උද්දච්ච මිනිස් වෙසින් සිටිනා තිරිසනුන් මිස ඉස්ලාම් ආගම වත් සමස්ත මුස්ලිම් ජනයාවත් නොවන බවය. ඒවගේම ලිපියේ කරුනු ගැන වැඩි තොරතුරක් ඇවැසි කෙනෙක් හෝ විරුද්ධමත ප්‍රකාශ කිරීමක් හෝ කරන කෙනෙක් වෙතොත් කරුනා කර ඇනෝවෙක් ලෙස නොපැමින තම ප්‍රොපයිල් එකෙන්ම පැමින අදහස් දැක්වීමට කාරුනික වෙනමෙන් ඉල්ලා සිටීමටත් කැමතියි. සරා කැමති කවුද කාගෙද නොබලා හරි වැරදි විතරක් විතරක් දැකීමට නිසයි මේ ලිවුවේ. අනික ඇත්ත නම් කාට කොතැන උනාම මොකද.

           දිනකට පස් වරක් ආගම කියවන නිසා මෙහි ස්වදේශිකයන් සැබෑ මුස්ලිම් වරු යැයි යමෙක් සිතයි නම් එය මහා මුලාවක් බව කිව මනාය. මෙහි සිටින බොහෝ දෙනෙකු සිතා සිටින්නේ  තමන් වරප්‍රසාද ලද්දන් බවකි. එසේ හෙයින් ඇතැම් විට ඔවුන් ඔවුන්ගේ දෙවියන්ද අභිබවා යාමට උත්සාහ දරයි. බොහෝ විට මොවුන් කෙතරම් සාක්ෂි සාධක සහිත නිවැරදි දෙයක් උවද  නොපිලිගෙන තමන් දරන වැරදි මතයම ඉස්මතු කරයි. එපමණක්ම නොව, අන්‍යයන්ද එම මතයම පිලිගත යුතු බවට බලපෑම් කරයි. මේ වනාහී මුදල් බලයේ උන්මාදයම මිස අනෙකක් නොවේමය. සත්‍යය නම් එයමය.

උදා: පසුගිය දිනෙක අපේ අංශ ප්‍රධානියාගේ වාහනය කමකට නැති සෞදියෙක් හැප්පුවා . සම්පූර්ණ වරද අර සෞදියගේ අතේ. වහනේට සිදුවූ අනතුර නොසලකා හැරියත් වාහනේ ගමන්ගත් අයගේ ජීවිත වලට අනතුරක් නොවුනේ හාස්කමකට වගේ. ඒතරම් විශාලයි ඒ අනතුර. නමුත් වරද කරුවන් විදිහට අප ආයතනය නම් කලේ අගතියට පත් වුනු අපේ පාර්ශවයමයි. ඒ මදිවට විශාල මුදලකුත් ආයතනට ගෙවන්න නියම වුනා. ඔවුන් තුල වූ එකම වරද ස්වදේශිකයන් නොවීමම පමණයි. මන්ද ඔවුන් සියළු දෙනාමත් ඉස්ලාම් භක්තිකයන්. මම ඔවුන්ගෙන් විමසා සිටියා වැරදි කරුවන් නිදහස් කර හිංසාවට පත් වූවන්ට දඬුවම් කරන එකද උඹලාගේ ආගමේ ක්‍රමය( නීතිය ) කියලා ඔවුන් ගේ පිළිතුර වුනේ උඹ මෙහෙට ආපු දවසේ ඉඳන් මේ වෙනකම් කවදා හරි දැක්කද මෙහෙ හරි දෙයක් වෙනවා කියලායි.


එඤ්ඤං.....!!!!! 


 ධනවත් මෝඩයා භයානකය......!!

Friday, January 4, 2013

මේ ගැන හිතුවාද.....?



                             ආයුබෝවන්....!
         අපේ යාළුවෝ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන මුලින්ම. අළුත් අවුරුද්ද ලබලා දවස් ගානක් ගියාටත් පස්සේ නෙව මෙයා අපට සුභ පතන්නේ කියලා හිතන්ට කාරි නෑ ආයිබොවං සරා පහුගිය ටික දොහේ අසනීප වෙලා හිටියා නෙව. වැඩක් නෑ කියලා ගොක්කොළ විතරක් නෙමේ සුදු කොඩි, ‍රැලි පාලම් එහෙමත් පෙනුනා ඒ දවස්වල නම්. බොහෝමත්ම ස්තූතියි මගේ දුක සැප විමසපු ඉක්මන් සුව පතපු හැමෝටම.

             හරි අලකලංචිය නෙව උනේ, කාලයක් යටපත් වෙලා තිබුනු පීනස් අමාරුව මතුවුනා ආයෙත්. මම දන්න තරමින් මේකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නෑ නිට්ටාවටම සුවකරන්න පුළුවන්. ඒත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නම් පිලියම් තියෙනවය කියලා මට හිතෙනවා. ඒ නිසා මගේ පොඩි අත්දැකීමක් විස්තර කරන්නම්කෝ. මම කිවුවට පිළිගන්න ඕන නෑ කතාවේ ඇත්තක් තියෙනවද කියලා දන්න කියන කෙනෙක්ගෙන් අහලම බලන්නකෝ.
            සරා පොඩිකාලේ බොහොම තදින් පීනස් අමාරුව තිබුනා. ඕක අපේ අම්මගෙන් මට ලැබුනු දායාදයක් කියලනේ එයාලා  කියන්නේ. කොහොම උනත් උදේට ඉස්කෝලේ යන්න නැගිට්ටම "හචිං" යනවා කෙලවරක් නැතුව. උදේට පලාතම මීදුමෙන් වැහිලා තියෙන නිසා එලියට බැස්සම "සොරිම තමා"ඉතින්. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ, ඉස්කෝලේ යන්න ඕනනේ. ගියත් ඉතින් පාඩම් වැඩ කරන්නේ හරිම අමාරුවෙන් දවල් 10-11 වෙනකම්. ඕක  ගැන අවධානයෙන් හිටපු කෙනෙක් තමයි "දං කැටියේ මිස්". ප්‍රාථමිකේ ඉන්න කාලේ අපේ පංතිය භාරව උන්නේ එතුමිය. දවසක් එයා එයාගේ මහත්තයත් එක්ක අපේ ගෙදර ආවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු සරාව බලලා නියම කලේ අපූරු බෙහෙතක්.  ඒ තමයි ගො‍ටුකොළ, හැබැයි ගො‍ටුකොළ කිවුවට අපි ලස්සනට වවන ගො‍ටුකොළ වත් කීර විකුනන අය ගේන ලොකු ගො‍ටුකොළවත් නෙමේ. ඔය වතුවල නිකන් වැවෙන කුඩා ගො‍ටුකොල වර්ගයක් තියෙන්නේ, මේවා ඒ හැටි උස නොයන පඳුරු වශයෙන් වැඩෙන වර්ගයක්. සමහරු බෙහෙත් ගො‍ටුකොළ කියලත් කියනවා. මේ වර්ගය ගොඩාක් අය උයන්න කම්මැලියි. මොකද සුද්දකරන්න අමාරුයි කියලා. හැබැයි ඉතින් ඖෂදීය ගුණය අතින් මේ ගො‍ටුකොළ ගොඩාක්ම ඉහල තැනක තමයි තියෙන්නේ. දන්නවද එයා සරාට ගො‍ටුකොළ දෙන්න කිවුවේ කොහොමද කියලා...? අපි දන්නේ කොහොමද මොකෝ අපි හිටියැයි එතන නේද...? එහෙම හිතුනනම් ඒකේ වරදකුත් නෑ... හරි මේං ක්‍රමේ.
               ඔය බෙහෙත් ගො‍ටුකොළ අරං රතුළූණු එක්ක වංගෙඩියේ දාලා කොටන්න ඕන. ඊට පස්සේ ඒ යුෂ මිරිකලා අරගෙන අඬුකොප්පයක් විතර හැමදාම උදේට උදේට බොන්න ඕන හිස්බඩ. මොකෝ හිතෙන්නේ පීනසේ හොඳා කියලද...?  හිකිස්.. ! මටත් ඔහොම නොහිතුනා නෙමේ, ඒත් මහාධිකරණ විනිසුරුට තියෙන බය පක්ෂපාතකම නිසාම කට පියාගෙන බිවුවා. උදේ තේ තහනමට ලක්වෙලා ගො‍ටුකොළ යුෂ විතරක් මට සැපයෙන්න ගත්ත. ටික දොහක් යද්දී මට ඕක පුරුදු උනා. මට හිතෙන්නේ අවුරුද්දක් විතර මම ඕවා බොන්න ඇති. කාලයක් යද්දී මගේ අසනීප ගතිය නැත්තටම නැතිවෙලා ගියා විතරක් නෙමේ සරාට අලියට වගේ හොඳ හයියකුත් ලැබුනා. නිකන් හිතලා බලමු ආයිබොවන් අමු ගො‍ටුකොල යුෂ බිවුවා කියන්නේ අවුරුද්දක් විතර සෙල්ලමක් නෙමේ නේ. හිකිස්..! අදටත් සරා ප්‍රමාණයෙන් කුඩාවට පෙනුනට (කුඩා කිවුවට කුඩාම නෑ ඉතින් හොඳේ.)  උගේ ප්‍රමාණේ දෙතුන් දෙනෙකුගේ හයිය තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒ කියන්ට යෙදුනේ අපි නොසලකා හරින ඒත් අපේ ඇස් මානේ තියෙන වටිනා ඖෂධයක් ගැන කුඩා තොරතුරක්.

Centella asiatica කියලා තමයි ගො‍ටුකොළවල උද්භිත විද්‍යාත්මක නාමය සඳහන් වෙන්නේ.



ඉතින් ගො‍ටුකොළ නෙමෙයි මගේ අද මාතෘකාව විය යුත්තේ වෙනත් කතාවක්. ඒ තමයි පසුගිය වසරේ අවසාන පෝස්‍ටුව. ඒක කරගන්න විදිහක් නැතිවුනානේ මේ අසනීපේ නිසා. වසර ගෙවුනා කියලා ඒ වැඩේ අතහැරලා බෑ. එතකොට ඒ වැඩේ සම්පූර්ණ නොවෙන නිසා. ලෝකේ හැමතැනකම තම ආගම පමණක් උසස් කොට දක්වමින් අන් ආගම් පහත් කොට දැක්වීමේ පිලිවෙතක් අනුගමනය කරන පිරිස් සිටින නිසා, අද ලෝකයේ බොහෝ රටවල් වල විවිධ ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම ගැ‍ටුම්ද ඇතිවෙනවා. අපේ රට තුලද මෙවන් තත්වයක් ඇති කිරීමට ඇතැම් අය උත්සහ කරමින් සිටිනවා. මේවට ගොදුරු වෙන්නෙත් ඒ අදහස් හැබෑයයි තදින් විශ්වාස කරන්නෙත් අපේ තරුණ පරපුරේ සමහරු. ඉතින් බොහොම කාලයක් අපේ රටේ බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානී අපි හැමෝම ඉතා සමගියෙන් අන්‍යයන්ගේ ඇදහිලි විශ්වාස වලටත් ගරු කරමින් ජීවත් වුනා. මම හිතන්නේ තවත් බොහෝ කාලයක් අපි හැමෝටම එලෙස සමගියෙන් සාමයෙන් ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අප පමණක් "බේසමේ කිඹුල්ලු" නොදැක සහජීවනයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙමුය කියන ඉල්ලීම මේ වසර ආරම්භයේදී ඔබගෙන් ඉල්ලන්න කැමතියි මමත්. මට ඔය කාරනාව මතක් වුනේ මේ ගීත කීපය අහපු වෙලාවක. ඔයාලත් අහලා බලන්න. කොයි රටේ මිනිස්සුද මෙහෙම කරන්නේ කියලා කියන්න බලන්න අපේ රටේ හැරුනු කොට.   





ගීත සියල්ලම උපුටා ගත්තේ You tube එකෙනි. ගීත ගයන ගායකයන් හා රචනය සංගීතය ආදී විස්තර වීඩියෝවේම ඇතුලත්ය.

බෞද්ධ ගීත රාශියක් ගායනය කලද කිසිදා ඇගයීමකට ලක් නොවූ අසහාය ගායකයා අල්හාජ් මොහිදීන් බෙග්. ගෙහුං එඤ්ඤං ....!