Wednesday, January 23, 2013

අක්කපාන ගැන කියන්ඩයි ආවේ....!!





             අපි පුංචි කාලේ පොත් අස්සේ එහෙම දාගෙන හිටපු අක්කපාන කොල හැමෝම අඳුරනවා ඇති මගේ හිතේ. සමහරුනම් ඇයි ඒවා පොත් අස්සේ දැම්මේ කියලා අහන්නත් බැරි නෑ. ඒවගේම මොනවද අක්කපාන කියන්නේ කියලා කවුරු හරි අහලා තිබුනොත් කවුරුවත් ඒගැන පුදුමය පල කරන්නත් එපා. මොකද ඒවයේ හැටි එහෙමයි. කාලය වෙනස් වෙලා. එදා අපි හිටපු දැකපු පරිසරය නෙමේ අද තියෙන්නේ. හොඳයි දැන් ඒවා දැකලා තියෙන අය මොනවද ඒ ගැන දන්නේ.

            අප්පද බොල ගොඩාක් දේවල් දන්න ඈයෝ ඉන්නවා නේද. මේං ඒවයින් ටිකක් ඔය හවායි දූපත්වල අක්කපාන වලට ඔලීවා කා කහකායි Oliwa ka kahakayi කියලා කියනවා කියලයි ආරංචි. ඒවගේම ඇමරිකාවේ Mother of thousands, Miracle leaf  කියනවාලු. හැබැයි මට මෙතන නොතේරෙන දේකුත් තියෙනවා ඇයි මේ මදර් ඔප් තවුසන්ඩ් කියලා නමක් දාලා තියෙන්නේ කියලා. Herbe mal tete කියලා ඩොමිනිකා වල අය කිවුවට ට්‍රිනිඩෑඩ්වල නම් වොන්ඩර් ඔප් වර්ල්ඩ් wonder of world, එහෙම නැත්නම් Never dead නෙවර් ඩැඩ් කියලා තමයි කියන්නේ. අනේ ඔච්චර දේවල් කියපු එකේ අපිත් එක්ක එකට වැඩ කොරන පිල්ලෝ ඕවට කියන නම නොකිවොත් හරි නෑනේ නේද..? පිලිපීන් අය අක්කපාන වලට කටකටකා katakataka කියනවා. අපි දැන් නම් ටිකක් නම් දැනගත්තා නෙව, උද්භිත විද්‍යාත්මක නාමයත් කියලම අපි කතාවට එන්ටර් වෙමු නේද..? ඒක තමයි Kalanchoe pinnata. මොනාද මේකේ තියෙන වැදගත් කම හෝ පොරෝජන. ඒක දැන ගන්න නම් මේ කතාව කියවන්නම වෙනවා.

               ඔයාලා විශ්වාසෙට ගනීද නොගනීද නොදන්න ඇත්ත කතාවක් මේ. සරා එයාගේ ආදරණීය බිරිඳ,මායියා,අඹු සිඟිත්ත එහෙමත් නැත්නම්*&%$#% කැ‍ටුං නෑගම් ගියානෙව මීට අවුරුදු තුනකට විතර කලින් වංගියක් ඔය කුරුණෑගල පැත්තේ. ඔහොම ගෙහුං ආපහු ආවේ සති දෙකක් විතර ගියාට පස්සේ. එහෙම ඇවිත් දවස් දෙකක් විතර ගෙවෙද්දී දවල් වෙලාවක හදිසියේම සරාගේ බඩේ වම් පැත්තේ කැක්කුමක් ආවා. ක්ෂනිකව හැදුන මේ අසනීපය විනාඩි ගනනක් ගතවෙද්දී ඉතාම දරුනු වුනා. සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙකුට කියලා දැන් වෙනකොට ඔයාලත් හුඟ දෙනෙක් දන්නවනේ. ඒ නිසා හොඳ දරා ගැනීමේ හැකියාවක් ඌට තියෙනවා කියලා නොකීවට ඔබලාට තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැයි මම සිතනවා.හැබැයි ඉතින් මේ වේදනාව දරාගෙන සිටීමේ හැකියාවක් සරාට තිබුනේ නෑ. ඒ නිසා ගෙදර අයටත් මේ ගැන කිවුවා. ක්ෂණිකව ඇතිවුන අසනීපයක් නිසා අත් බෙහෙත් කලාට සරාට ගොඩාක් අමාරුයි කියලා ගෙදර අයටත් මේ වෙනකොට දැනිලයි තිබුනේ. මොකද සාමාණ්‍ය අසනීපයකට නම් මේ යෝදයා හ්ම් කියලා වත් නොකියන නිසා. තාත්තා වගේ උඩ පැන පැන කෑගැහුවෙ නැති උනාට සරා මේ වෙද්දී පියවි සිහියෙනුත් ඔබ්බට ගෙහුං කියලා නංගි බබා ඇතුලු පවුලේ සැවොම වටහා ගෙන හිටියා. ඒත් කෙඳිරිල්ලකට වඩා දෙයක් නම් ඔහු කලේ නෑ. 

               මේ නිසා වහාම ලඟම තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයට ඔහුව ‍රැගෙන ගියා. රෝගියා පරීක්ෂා කල වෛද්‍යවරයා ක්ෂනික වේදනා නාශක දුන්නද එය පල රහිත උන නිසා සැර අධික වේදනා නාශකයක් නියම කරා. එහෙත් මෙය අන්තරායකර බව හා මේ අවස්ථාවේ කල හැකි හොඳම දේ මෙය නිසා දෙන බවත් තමයි ඔහු කියා සිටියේ. ඒ එක්කම ඔහුගේ අනුමානය උනේ සරාට ඇති රෝගය ඇපෙන්ඩිසයිට්ස් විය හැකි බවයි. ඔහු ඖෂධ කීපයක් දුන් නමුදු නැවත වේදනාව ඇති උවහොත් රෝහලකට ඇතුලත් වෙන ලෙස උපදෙස් දෙනු ලැබුවා. වෛද්‍ය උපදෙස් අනුගමනය කලද වේදනාව යටපත්ව පැවතියේ පැය කිහිපයක් පමණයි. පසුදා උදෑසන වනවිට නැවතත් පෙර ලෙසින්ම දරුනු වේදනාවක් දැනුනා. වේදනා නාශක වලින්වත් පිහිටක් නොලැබුනෙන් සරා වහා රෝහල් ගත කෙරුනා. රෝගියාගේ තත්වය දු‍ටු බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරයාද නියම කලේ පෙර දින සරාට ලබා දුන් ඖෂධයමයි. එයද රෝහලේ නැති නිසා පිටතින් ගෙන ඒමට සිදු උනා. එසේ උවද එයින් ලද ප්‍රතිපලයක් නම් නැති. අවසන සරාව වාට්‍ටුවකට ඇතුලත් කරනු ලැබුවා.

                සරා නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් ගම්පහ මූලික රෝහලේ මේ අංශය නම් ඉතාම යහපත් වෛද්‍යවරුන්, හෙද හෙදියන්හා සාත්තු සේවකයන් ගැවසෙන තැනක් බව කිව මනාය. සරා එහි සිටින කාලය තුල ඔහු වෙත පැමිණි සියළුම වෛද්‍යවරුන් ඉතා ඕනෑකමින් පරීක්ෂණ කටයුතු සිදුකලා. විවිධ ආකාරයේ නවීන උපකරන හා තාක්ෂණය භාවිතයෙන් ඔවුන් මේ රෝගය කුමක්දැයි සොයාගැන්මට උත්සාහ ගත්තද පලක් උනේ නෑ. හැම පර්යේෂණ වාර්තාවකටම අනුව සරාගේ උදරයේ කිසිම අසාමාන්‍ය තාවයක් නැතැයි සඳහන් කලේ වෛද්‍යවරු විසින්මයි. මේ අතර සරාට ප්‍රතිකාර කරනු බලා සිටි එම වාට්‍ටුවේම නේවාසිකව ප්‍රතිකාර ගත් මාමා කෙනෙක් සිටියා. ඔහු ටිකට් කපාගෙන පිටවී යන අවස්ථාවේ සරා වෙත පැමින පුතේ ගෙදර ගියාම අක්කපාන කොල සම්බෝල හදලා කන්න ටික දවසක් යනකම්. ඔය අමු ආත්තා මාලු උයලා කන එකත් හොඳයි ඕකට. ඔපරේෂන් කරත් සැරින් සැරේ මතුවෙන ගලුත් දිය වෙනවා අක්කපාන වලට. එසේ කියූ ඔහු පිටවී ගියා. ඔහු සිතා සිටින්නේ සරාට ඇපෙන්ඩිසයිට්ස් කියා විය යුතුයැයි සරාට සිතින. කෙසේවුවද සරා බැලීමට ගෙදර අය පැමිනි විට සරා මේ කතාව ඔවුන්ටද කීවා. කෙසේ වෙතත් සතියකට පමණ පසුව සරාගේ ටිකට් කැපුවද රෝගය හඳුනා ගැනීමට නොහැකිවූ නිසා දිගටම සායනවලට පැමිනෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුනා.

                  සරා ගෙදර පැමිනීමටත් පෙර අක්කපාන කතාව කුරුණෑගල දක්වා පැතිර ගොස් තිබෙන බව සරා දැන ගත්තේ දින දෙකක් ගත වීමටත් පෙර දීපා නැන්දා අක්කපාන කොල තොගයක්ද ‍රැගෙන නිවසට පැමිණි නිසයි. සතියක් පමණ නිරාහාරව රෝහලේ ගතකලා මදිවාට එදා සිට සරාට අක්කපාන කොල සම්බෝලද කෑමට සිදුවිය. එය තරමක් ඇඹුල් රසයෙන් යුතු උවද නොකෑවොත් ගෙදර අයගෙන් ලුණු ඇඹුල් ඇතුවම අසාගැනීමට සිදු වෙන නිසා නොකමැත්තෙන් උවද මාසයක පමණ කාලයක් සරා නිතිපතා ආහාර වේලට එක්වෙන අක්කපාන කොල සම්බෝලයද ගිලදැම්මේය. ක්‍රමයෙන් සරාගේ අසනීපය නිට්ටාවටම සුව වූ අතර ගෙවුනු කාලය තුල නැවත කිසිදිනක එවන් ලකුණක් හෝ මතුවූයේද නැත. රෝහලේ වෛද්‍යවරුන් පැවසූ ආකාරයට කිසිදිනක සායනවලට සහභාගී වන්නට ගියේද නැත. පසුව මේ කතාව ඇසූ බොහෝ දෙනෙකුගේම අදහස වූයේ අක්කපාන ඇපෙන්ඩිසයිට්ස් රෝගයට නම් දිව ඔසුවක් බවයි. ශල්‍යකර්මවලින් ගල් ඉවත් කලද නැවත මතුවෙන බවත් අක්කපාන ආහාරයට ගැනීමෙන් ගල් ඉබේ ඉවත් වන බවද අක්කපාන වලට ගල් දිය කිරීමේ හැකියාවක් තියෙන බවත් තතු දන්නෝ මාහා පවසා ඇත.  කෙසේ උවද සරාට තිබුනේ එම රෝගය යැයි කිසිවෙකුත් තහවුරු කලේ නැති බවත් සරාද එසේ විශ්වාස නොකරන බවත් කිව මනාය. සරාගේ අනුමාණය නම් කුරුණෑගල වතුර සරාට අගුණවූ බවය. කෙසේ වුවද වේදනානාශක වලටම පමණක් සීමාවූ ඉංග්‍රීසි බෙහෙත් වලින් නොව සරා සුවපත් වූයේ අක්කපාන නිසා බවනම් සරා තරයේ විශ්වාස කරයි.

                  ඒ වගේම ආයුර්වේදයේදී ඖෂධයක් හැටියට වැදගත් තැනක් හිමිකරගෙන ඉන්න පැලෑටියක් කියලත් ආරංචි තියෙනවානේ මේක. ඕං ඉතිං මම කිවුවේ මම දන්න දේවල් විතරයි. මීට වඩා තව ගොඩාක් විස්තර ගූගල් ගාව තියෙනවා මම දැක්කා. ඒත් මම ඒවා කියවලා ඔබට ඒගැන කියන එක ඔය තොරතුරු ගූගල් යාලුවට දුන්න අයට කොරන අකටයුත්තක් කියලා හිතුන නිසා ඕං මම ඒවා කියන්න යන්නේ නෑ. ඒත් ඉතිං අක්කපාන කියලා ගූගල්ට කිවුවම එයා ඔයාලටත් ඒ විස්තර දේවි පටස් ගාලා. මතකයිනේ මම කිවුවටම විශ්වාස කරන්න ඕන නෑ. දන්න කෙනෙකුගෙන් අහලම දැනගන්න. දේශීය වෛද්‍යවරුත් ඉන්නේ ඔය බ්ලොග් ලියන.


මම ගෙහුං එඤ්ඤං ඈ...!


මම කිවූ කතාවේ යම් අඩු පාඩුවක් ඇතිබව පෙන්වා දුන් ඩූඩ් අයියාට මගේ විශේෂ ස්තුතිය . මොකද ඔය අසනීපේ හැදුන අවස්ථාවේ දැනුනු වේදනාව මතක්වුනාම දොස්තරමට කියපු කතාව අමතක වෙලා ඇති. කොහොම උනත් ඔය මුත්‍රාශ ගල් කතාව තමයි හරි එක විය යුත්තේ. ඒකට කියන්නේ ඇපෙන්ඩිසයිට්ස් කියලා හිතලා මම කාරනය පටලවගෙන ඉන්නේ. කොහොම උනත් ඔය කියන ලෙඩ දෙකම නෙමෙයි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා මට හැදුනේ.මොකද කිසිම වෛද්‍ය පරීක්ෂනයකින්වත් ඒ බව තහවුරු උනෙත් නැති නිසා. කෙසේ වෙතත් මගේ අඩු පාඩුව පෙන්වා දීම පිළිබඳ ඔබට ස්තුතියි ඩූඩ් අයියේ. ලිපිය සංස්කරනය නොකරන්නේ මගේ අඩුපාඩුව හා ඩූඩ් අයියා එය නිවැරදි වියයුතු ආකාරය මට පෙන්වාදුන් ආකාරය අන් අයගේ අවධානයට යොමුවිය යුතු බැවිනි.

56 comments:

  1. අක්කපාන බේතක් කියලා දැනං හිටියා.. මොනාටද ගන්නේ කියලා දැනං හිටියේ නෑ... ඕක ඉතිං පොත් අස්සේ දාන්න විතරයි මං නං දැනං හිටියේ... හි හි.. අපේ නැන්දම්මා ගාව නං පොඩි අක්කපාන පැළයක් තියෙනවා පෝච්චියක පැළ කරලා...

    මං ගාව තාමත් තියෙනවා (තියෙන්න ඕනේ..) පොතක් අස්සේ දාපු අක්කපාන කොළයක්.. ගෙදර ගියාම උස්සන් එන්න ඕනේ... මතක් උනේ දැං... හි හි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒක මතක් කරලා දුන්නට මටත් මොනා හරි ඕන ඕං...

      Delete
  2. අක්කපාන.. දැන් නම් තරමක් දුරට දකින්න අඩුයි. ඔය වගේ පොඩි පොඩි අත් බෙහෙත් දන්නවා ගම් වල මිනිස්සු. අනික අතුරු ආබාධ නැති නිසා බය වෙන්න දේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ සමහර පොඩි දේවල් වල ලොකු ප්‍රයෝජන තියෙනවා නේද...?

      Delete
    2. අනිවාර්යෙන්ම..

      Delete
  3. උඹටත් ගහකොල එක්ක පුදුම සම්බන්ධයක්නෙ තියෙන්නෙ.

    උඹට ෂුවර්ද ඔය ඇපෙන්ඩිසයිටිස් appendicitis කියලා. ඒක හැදෙන්නෙ බං ඇපෙන්ඩික්ස් කියන පොඩි අවශිෂ්ඨ අවයවය ආසාදනය වුනාමනෙ. උඹට පොඩ්ඩක් ටැපලුනාද කියලා මං කල්පනා කලේ. අක්කපාන වලට දියවෙනවා ඇත්තෙ එක්කො මුත්‍රාශයේ ගල් bladder stones, නැතිනම් වකුගඩුවල හැදන ගල් kidney stones නෙවෙයිද? ඒකටත් ඉන්න හිටින්න බැරි වේදනාවක් එනවා. ඒ ගල් දියවෙන්න මේත් දෙනවා, සමහර විට අල්ට්‍රාසොනික් බීම් එකකින් කුඩු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇපෙන්ඩිසයිටිස් appendicitis නම් 8වසරෙදි මටත් හැදුන නොවැ. ඒකට අක්කපාන දෙන්නේ නැත. ඒක කපලාම ඉවත් කළ යුතුය. මුත්‍රා ගල්වලට ඔය කියන අක්කපාන සහ රාබු ජූස්, කැකිරි ජූස් වගේ ඒව දෙනවා.

      අපේ බේත තමා Udihep (Ursodeoxycholic acid) ;)
      ඇඩ් එකක් නෙවේ ඕං :ඩී


      ඉස්සර අක්කපාන ගහක් තිබ්බ ඩූඩ්ලගෙ ගෙවල් පැත්තෙ ඉන්න අපේ නෑදෑ ගෙදරක. පොඩි කාලෙ එහෙ ගියාම අපි අරන් එනව පොත් අස්සෙ දාල තියන්න. අපේ අම්ම ඒ කාලෙත් කිව්වා ඕක හොද බෙහෙතක් කියලා.


      ස්තුති සරා පෝස්ටුවට !

      Delete
    2. සරා මලයා. මම රතු පාට සංස්කරණය දැක්කා. මම ඒක කිව්වේ මගේ පණ්ඩිතකම ප්‍රදර්ශනය කරන්න නම් නෙවෙයි. මම කොහොමත් ඉංග්‍රීසි ගුරුවරයෙක් මිසක් විද්‍යා ගුරුවරයෙක් වෙනෙයි. මටත් වරදින්න ඉඩ කඩ ඕනෙ තරම් තියෙනවා.

      නමුත් උඹ පෙන්නපු ඒ නිහතමානී කමට මගේ ප්‍රණාමය. :)

      Delete
    3. ඔබ ගැන මට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා ඩූඩ් අයියේ. මම කවුද කියලත් මම දන්නවා. දන්න දේ දන්නවයි කියන නොදන්න දෙයක් දන්න කෙනෙක් කිව්වම පිළිගන්න එකෙක් තමයි සරා.ඒවගේම කෙනෙක්ගේ දැනුමට ගරුකරන එකත් මට මදි පුංචි කමක්ය කියලා මට හිතෙන්නේ නෑ.

      Delete
    4. @|sAm|

      ස්තුතියි සෑමා. මම පොඩ්ඩක් වරද්දගෙන වගෙයි නේද.....?

      Delete
  4. මට මතක හැටියට පොත් අස්සෙ අක්කපාන දාන්නෙ කොළයක තියෙන හැම දාරයකින්ම මුල් එන නිසා නේද?

    විකිපීඩියාවේ කියන්නෙත් ඩූඩ් කියන එකම තමයි. ඉන්දියාවේ බෙහෙත් ක්‍රමයක් කියලයි. http://en.wikipedia.org/wiki/Kalanchoe_pinnata

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න ඕන සාදරයෙන් පිළිගන්නවා මම ඔබව සරාගේ ලෝකයට. ඒවගේම ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳවත්. ඔව් ඔබ නිවැරදියි ඔය මුල් ඇදෙන හේතුව නිසා තමයි අපි ඔය වැඩේ කලේ. ඒවගේම නිතර අපි ඒක පරීක්ෂා කරලත් බලනවා ඉස්සර.

      Delete
  5. ඉස්සර අපේ ගෙදර වත්තෙත් ඇති වෙන්න අක්කපාන සහ පතොක් තිබුණ. දැංනං ඒව දැකගන්න එක බොහොම අමාරුයි. හැම ගහක් කොලයකම මොකක් හරි ඖෂධීය වටිනාකමක් තියෙන බව අපේ පැරැන්නො දැනගෙන හිටියට දැං ඒවයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැති එක තමයි කණගාටුව.

    ReplyDelete
    Replies
    1. ඒක මාත් නිතර හිතන දෙයක් යාලුවා. ඒත් දැන් ඉන්න උදවිය ඒවා ගැන හිතන්නේ නෑ නෙව.

      Delete
  6. ඩූඩ් කිව්ව කතාව හරි.

    අපේ ගෙදර ගල උඩ ඇතිවෙන්න තියෙනව...කාලෙකට මල් පිපෙනෙව ලස්සන චූටි මලක්..සුවඳක්,ගඳක් නම් නෑ..!

    ReplyDelete
    Replies
    1. හ්ම් වීයගේ කතාවත් හරි මල් ඒවගේ තමා....

      Delete
  7. අක්කපාන ගැන පොතක් හැදුවා මතකයි අපි ඉස්කොලේ කෘෂිකර්මය කරපු කාලේ..වැඩේ කියන්නෙ මම එදා තමයි දැනගත්තෙ අක්කපාන කොල පොත් අස්සෙ දාගෙන ඉන්න එක ප්‍රසිද්ද වැඩක් කියලා..

    ස්තුතියි සරා මේ අත්බෙහෙත ගැන කිව්වට..

    ReplyDelete
    Replies
    1. මම කෘසිකර්මේ ගැන දන්නේ නැද්ද කොහෙද...? ඔයාටත් ස්තුතියි රූ. අක්කපාන කොල පොත් අස්සේ දාපු එකට නෙමේ. අදහස් දැක්වීමට.

      Delete
  8. අක්කපාන නම් අපේ ගෙදරත් මල් පෝච්චියක තිබිල
    අම්ම කපල විසික් කරා බේර ගන්න බැහැ මේවා හැදුනොත්
    කියල..සම්බෝලයක් කන්න තියා පොතක් අස්සේ වත්
    දාගන්න බැරි උනා ..:D

    හොඳ වැදගත් විස්තරයක් ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. දවස් ගානකට පස්සේ දැක්කේ යාලුවා කොහේද ගෙහුං උන්නේ. ස්තුතියි ඔබටත්...

      Delete
  9. වටිනා ලිපියක් ඔබ පලකරල තියෙන්නේ, අක්කපාන මුත්‍රා වැලි/ගල් සඳහා හොඳ ඔෂධයක්, හැබැයි මෙක වකුගඩු වල රෝග තියන අයට ගුන නැතිලු, වකුගඩු රෝග තියන අය නිතර අක්කපාන ආහාරයට ගත්තොත් වගුගඩු නරක්විමට බලපානවලු..... මුත්‍රා අඩස්සිය(මුත්‍රා පිටනොවි සිරවීම) /මුත්‍රා ගල් වලට තව හොඳ බෙහෙතක් තමයි නීරමුල්ලිය කොල උයා බත් සමඟ ආහාරයට ගැනිම.... තව හොඳ බෙහෙතක් තමයි ක‍ටු ආත්තා (අනොදා) ආහාරයට ගැනිම, ලංකාවේ භාවිතා නොකරන නමුත් ඉරානයේ අය මුත්‍රාගල් සැදුනවිට කොත්තමල්ලි කොල අමුවෙන් ආහාරයට ගන්නනවා/ තව සමහරු කොත්තමල්ලි කොල මැල්ලුම්/සම්බෝල හදල කනව ඉරානයේ අයනම් කියන්නේ මුත්‍රාගල්වලට කොත්තමල්ලි කොලතරම් හොඳ බෙහෙතක් තවත් නැහැ කියලයි........ මුත්‍රා ගලක විශ්කම්භය 2.5 මි.මි වඩා අඩුනම් බෙහෙත් මහින් ගල දියවිමට සලස්වන අතර 2.5මි.මි වැඩිනම් ශල්‍යකර්මයක් මගින් හෝ අල්ට්‍රාසොනික් (අතිස්වනික නාද) සවුන්ඩ් මගින් ගල කුඩුකර මුත්‍රා සමඟ පිටතට එමට සලස්වනවා.... මුත්‍රාගල් සැදිමට හේතු කිපයක් අතර
    1) වතුර පානය අඩුකම
    2) අධික වතුර පානය (මුත්‍රා ගල් සැදිම වැලක්විමට වගුගඩු මගින් එන්සයිමයක් නිකුත්කරන අතර අධික වතුර පානය මගින් එම එන්සයිමය තනුක විම නිසා ගල්සැදිමට හැකිය)
    2) උෂ්ණ පරිසරයක/ප්‍රදේශයක ජිවත්වීම
    3) උෂ්ණාධික ශරීරයක් තිබිම
    4) ලවන වර්ග අධික ආහාර භාවිතය
    5) මුත්‍රා බැහැර නොකොට නිතර සිරකරගෙනසිටිම

    මටත් මීට අවු5 කට කලින් මුත්‍රා ගල් හැදිලා දුක්වින්දා, එ දවස් වල මම මේ සම්බන්ද පොත් පත්, සිංහල වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරුන් ගෙන් මේ රෝගය ගැන කරුනු ගොඩක් සොයා දැන ගත්තා.... එවා තමයි මේ අනිත් අයටත් ප්‍රයොජන වෙන නිසා කොමෙන්ට් එකෙ පලකරේ මගේ කොමෙන්ට් එක දිග වැඩිනම් සමාවන්න....

    ReplyDelete
    Replies
    1. \\\හැබැයි මෙක වකුගඩු වල රෝග තියන අයට ගුන නැතිලු, වකුගඩු රෝග තියන අය නිතර අක්කපාන ආහාරයට ගත්තොත් වගුගඩු නරක්විමට බලපානවලු.//

      මචන් කුෂි ඔය විස්තරේ නම් මට සෑහෙන්න වටිනවා.
      මොකද මාත් 2012 අවුරුද්දම වගේ හිටියේ ඉස්පිරිතාලේ.
      ඔයා ඔය කියපු දේවල් වලින් වැදගත්ම දේ තමයි එක ලෙඩකට
      හොඳ වෙන දෙයක් අනික් දේකට මාරාන්තික වෙන්න පුළුවන්.
      එහෙම අද්දැකීමක් තියෙනවා.මගෙත් මාස ගානක් bleed වෙන්න අරන්
      එක එක දේවල් කරා .ඒත් හොයාගන්න බැරි උනා.පස්සේ දැනගත්තේ එතෙක්
      කරපු දේවල් නිසා තව තව දුර ගිහින් මගේ බව අසනීපෙ.

      මට දැන් මතක් වෙන්නේ නැහැ ඒ වගේ තව බෙහෙත් තියෙනවා එක
      ලෙඩකට දිව්‍ය අව්ෂධ අනිකට හොදම නැති.මතක් උනොත් කියන්නම්කො
      කව්රු හරි පිහිටක් ලබයිනේ..අපේ වේද මහත්තය මේ පොස්ට් එක දැක්කොත් හොඳයි..

      Delete
    2. @ කුශි

      ගොඩාක් ලොකු ඒවගේම වැදගත් තොරතුරු ‍රැසක්ම අඩංගුයි ඔබේ කොමෙන්‍ටුවේ. ඔබට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා මා මේ පිළිබඳ.

      Delete
  10. මේක මම ඇසින් දුටු දෙයක් බොරු කතාවක් නොවෙයි අපේ නැන්ද කෙනෙක්ට උනේ 1998 දී විතර ඇයට බඩේ දැඩි වේදනාවක් නිසා පරික්ෂා කරපු දොස්තර x-ray එකක් ගත්තා එකෙන් තහවුරු උනා මුත්‍රාශය තුල ගලක් තිබුනා ඇයට දින කීපයකින් රෝහල් ගතවෙන්න නියමිතව තිබුනා ශල්‍යකර්මයකින් ගල ඉවත්කිරීමට. රෝහල්ගතවන තෙක් මේ අතරතුර කාලයේ ඇය මේ අක්කපාන කොළ ප්‍රතිකාරය කරලා බැලුවා නිකමට. පහුවෙනිදා උදේ එම ගල මුත්‍රා කරන විට පිටවුණා මම ඇසින් දුටුවා එම ගල x- ray එක සමග සසඳා බැලුවා එම ගලමයි. ඇත්තටම මට අදහාගන්නත් බැරිවුනා නැවත වෛයිද්‍යවරයා හමුවී x- ray ගල ඔහුට පෙන්වා ඔහු නැවත x- ray එකක් අරන් ශල්‍යකර්මය අවලංගුකර දැමුවා. එය තරමක් විශාල කුඩා කොස් ඇටයක් තරම් ගලක් හැබැයි මට ඇතිවුන ගැටලුවක් තමයි ඇය ගැහැනියක් නිසා මුත්‍රා මාර්හය දිගේ ගල ඉවත්වුණා පිරිමි කෙනෙක් උනොත් අක්කපාන ප්‍රතිකාරය නිසා ගලක් මුත්‍රා මාර්ගය දිගේ අවොත් මගදී හිරවෙන්න පුළුවන් නේද කියන එක. වෙද මහත්තයෙක් මේක දන්නවා ඇති. අක්කපාන වලින් මුත්‍රාශයේ ගල් දියකරනවද? ඉවත්කරනවද? මම දන්නා නැන්දට උනේ එය එහෙම පිටින්ම මුත්‍රා මාර්ගය දිගේ පිටවීමයි.

    ReplyDelete
    Replies
    1. \\\අක්කපාන ප්‍රතිකාරය නිසා ගලක් මුත්‍රා මාර්ගය දිගේ අවොත්///

      අක්කපාන බිව්වා කියල උදිත ගල ඒමක් වෙන්නේ නැහැ .
      ගල ටික ටික දිය වෙන්න ගන්නවා මිස.මූත්‍රා නාල වල ප්‍රමානෙට
      පොඩි වෙන තරම් ගල දිය උනොත් ඉතින් ඉබේම මූත්‍රා එක්ක එනවා.
      ehema nathnam enne naha.
      හැබැයි ප්‍රශ්නේ,ගල ටික දුරක් ඇවිත් මූත්‍රා මාර්ගය දිගේ
      මගදී හිර උනොත් නම් බින්දුවක් වත් තව වතුර නොබී
      ශල්‍ය කර්මයක් කල හැකි රෝහලකට යා යුතුයි .

      ඔබ මීට වඩා මූත්‍රා මාර්ගය ගැන දැනුවත් විය යුතුයි උදිත:D

      Delete
    2. @silentsahan
      ඔබ මා ලියු දෙය කියවුවාද? මේක පොත්පත් වල දැනුම දන්නා නොදන්නාකම පිලිබඳ දෙයක් නොවෙයි මම කියන්නේ ඇත්තට සිදුවුන දෙයක්. මම ඇස් දෙකින් දැකපු දෙයක් ඔබ කොහොමද නැහැ කියන්නේ? ඒක සිදුවුනා. මටත් විශ්වාස කරන්න අමාරුයි. අක්කපාන නිසා තමයි එය වුනේ. මම බටහිර විද්‍යාව පිළිගන්න කෙනෙක්.

      Delete
    3. මම හිතපු දෙයක් තමයි එම සිදුවීම නිසා පිරිමි අය මේ අක්කපාන ප්‍රතිකාරය විශාල ගල් තිබුනහොත් නොකළ යුතුයි කියන එක මොකද මුත්‍ර මර්ගය දිගේ ඇවිත් හිර වෙන්න පුළුවන්.ඒක අනතුරුදායකයි අපේ දේශීය ආයුර්වේද ක්‍රම පර්යේෂණ කරලා තහවුරු කරගත යුතුයි. අක්කපාන වලින් ගල් ඉවත්කරනවද දිය කරනවද කියන එක හරියටම දන්නේ මේ පිළිබඳව දාන්න පර්යේෂණ කරන වෙද මහතෙක්. මගේ අත්දැකීම වුනේ විශාල ප්‍රමාණයේ ගලක් අක්කපාන නිසා මුත්‍ර මාර්ගය දිගේ එලියට ඒමක් ඒක අනතුරුදායකයි. එකයි මම දාන්න කෙනෙක්ගෙන් අහන්නේ, මම දන්නේ නැහැ silentsahan මේ ගැන දන්නවා කියන්නේ වගකීමක් ඇතිවද කියල. මම නම් දන්නේ නැහැ ඒක නිසා මම කැමති නැහැ නොදන්න දේ ගැන කතා කරන්න. මොකද මගේ පුද්ගලික අත්දැකීම අනුව අක්කපාන බිල කෙනෙක් මැරෙන්න උනත් පුළුවන් මුත්‍ර මාර්ගයේ ගලක් හිර උනොත්.

      Delete

    4. නැහැ උදිත මන් කියන්නෙත් අක්කපාන වලින් මූත්‍රා ගල්
      දිය වෙනවා..එන්න එන්න දිය වේවි ගල කුඩා වෙනවා.
      ඊට පස්සේ මුත්‍රා මාර්ගයේ නාල වලින් එන්න පුළුවන් මට්ටමේ
      තියෙනවා නම් ඒ ගල එනවා මුත්‍රා එක්ක.

      එහෙම දෙයක් මිසක් ගර්භාෂයෙන් දරුවෙක් එලියට එනවා වගේ
      මස් පිඩු සංකෝචන වගේ ක්‍රියාවලියක් හරි වෙන අමුතු දෙයක්
      වත් නෙවේ වෙන්නේ ...


      01.02ගල දිය වෙන්න ගන්නවා..
      02.ගලේ ප්‍රමානේ අඩු වෙනවා..
      03.නාල හරහා එන්න පුළුවන් නම් එනවා..

      {අර අන්තිමට කියපු දේ කිව්වේ විහිලුවට ..

      Delete
    5. @silentsahan
      වගකිමෙන්ද කියන්නේ? ඔබ කියන්නේ මන් කියන්නේ කියල සහන් මම අහන්නේ ඔබ නිකං හිතුන නිසා කියනවද වගකිමෙන්ද කියන්නේ කියන එක මේ ගැන ඔබ පරීක්ෂණ කරලා තියනවද එහෙම නැත්නම් වෙද පොත්වල කියවල තියනවද? මොකද ඔබ කියන දේ කෙනෙක්ට මාරාන්තික වෙන්න පුළුවන් දෙයක්. එතකොට ඔබ කියන්නේ අපේ නැන්දට වුන දෙය අහඹු සිදුවීමක් කියලද?අක්කපාන නිසා නොවෙයි කියලද? ඇය ගල ඉවත් කිරීමට ශල්‍යකර්මයකට නියමිතව සිටි කෙනෙක් අක්කපාන ප්‍රතිකාරය අරගෙන ගල මුත්‍ර මාර්ගය දිගේ ඉවත්වුණා ඔබ කියනවා මෙහෙම වෙන්නේ නෑ දියවෙනවා විතරයි කියල. ඔබට හොඳටම ෂුවර්ද?

      Delete
    6. \\\ඔයා ඔය කියපු දේවල් වලින් වැදගත්ම දේ තමයි එක ලෙඩකට
      හොඳ වෙන දෙයක් අනික් දේකට මාරාන්තික වෙන්න පුළුවන්.
      එහෙම අද්දැකීමක් තියෙනවා///

      මාද ඉහත මෙසේ දක්වා ඇති ආකාරය ඔබ නොදුටුවෙහිද
      උදිත ?

      එසේ නම් තව තවත් මෙසේ කියන්නේ ඇයි උදිත?

      \\\මොකද ඔබ කියන දේ කෙනෙක්ට මාරාන්තික වෙන්න පුළුවන් දෙයක්. ///


      Delete
    7. උදිත.. මට මතකයි කාලෙකට කලින් පත්තරේක තිබ්බා ඔය වගේ ගල්, බේත් වලින් එළියට එන්න සලස්සන කතාවක්... පැය කීපයත් ඇතුලත ගල් එළියට එන්න සලස්සනවා කියලා තමයි තිබ්බේ... ඒක වෛද්‍ය ප්‍රතිකාරයක්.. එහෙම බැලුවාම ඔයා කියන දේ වෙන්නත් බැරි නෑ කියලා හිතෙනවා... ( හැබැයි ඒ මුත්‍රාශයේ ගල්ද, පිත්තාශයේ ගල්ද කියලා මට දැං මතක නෑ.. කාන්තාවන්ට වැඩිපුරම හැදෙනවා කියන්නේ පිත්තාශයේ ගල්.. ඒකයි මට මේ කතාව මතක..)

      හැබැයි මං දැං ඔය ගැන ටිකක් දන්න කෙනෙක්ගෙන් අහලත් බැලුවා.. අක්කපාන වලින් ගල් දිය වීමක් වෙනවා කියලා තමයි කියන්නේ..

      Delete
    8. @ උදිත

      මම හිතන්නේ ඔබේ පැනයට ඉතාම පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා අපේ වෙද මහත්මයා. ඒ වගේම ඔබවත් සාදරයෙන් පිලිගන්නවා සරාගේ ලෝකයට. ස්තුතියි

      Delete
  11. අනේ.... ඇත්තට ඇයි අක්කපාන කොළ පොත් අස්සේ දන්නේ? මං දන්නේ නැනේ.... :(

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ සරා කියපු ජාතියේ එක්කෙනෙක්... හි හි

      Delete
    2. ඒකනේ හිරුවෝ මම කිවුවේ....

      Delete
    3. @ සමනළී

      විශේෂ කාරනාවකට නෙමෙයි ළමයෝ අපේ මෝඩ කමට. හිකිස්....ඔය කොල පොත් අස්සේ තියෙද්දිත් මුල් ඇදෙනවා නෙව. අපි ආසයි ඔය වැඩේට. එච්චරයි

      Delete
    4. @ samanali.

      Apata pasaledi kiyala dunne gasaka kaden, bija walin, athuwalin wagema kolayakinuth mul adenawa kiyalai. E parikshanaya karannai akkapana kola poth athule danme. Monawa hari barata deyak udin thibbama thmai mul enne. Mata mathaka widiyata mul apu kolayak pala kalama palayak hadenawa.

      Kiyawanna amaru nam sama wenna samanali. Sinhala akuru ma laga naha. Iye danma meka oyata. Eth watila naha e nisa onna ayeth danma.

      Delete
    5. අනේ බොහොම ස්තුතියි නංගි බබා.... මං මේක ඇත්තටම දැනන් හිටියේ නෑ.... හික්.... කියන්නත් ලැජ්ජයි..... ඉස්කෝලෙදි ඕවා කරලා තිබ්බට මට අක්කපාන ගැන මතකයක් නෑ....
      (අමාරුවෙන් කියෝ ගත්තා....අවුලක් නෑ.... :) )

      හිරු අක්කයි, සරා අයියයි හරිම නරකෝ....... මට හිනා වෙලෝ.....

      Delete
  12. ඉස්සර අපිත් දානවා ඔය අක්කපාන කොළ, එක එක මල්, කොළ එහෙම පොත් අස්සේ. දාල හොඳට ප්‍රෙස් වෙන්න කියල මොකක් හරි අස්සක ගහනවා. පස්සේ ඉතින් උවමනාවක් වෙලා පොත හොයද්දී පොතත් නෑ කොලත් නෑ.

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඔය තියෙන්නේ අපූරු මතක. ඔබවත් පිළිගන්නවා යාලුවා සාදරයෙන් මෙහාට. ස්තුතියි ඔබටත්.

      Delete
  13. Akkapana kiyanne dan hoya ganna bari shakayak. Hama gedarakama eka palayak hari thiyenawa nam watinawa. Api hoya ganna nathiwa kurunagalin genna gaththe. Ammo e dawas wala amaru meyata baya wela hitiye mama. Mokada mama dannawane hodatama amaru nathnam sadda nathiwa innawa kiyala. Nathnam kawadawath hospital yanneth nahane. Akkapana walata pinsidu wenna ikmanin oyage asanipaya suwa una.

    ReplyDelete
    Replies
    1. මතකයි නේද තවම......?

      Delete
    2. Ewa amathaka wenne na mahaththayo kawadawath. Jeewithe sathuta baya duka hamadema hamadama mathakai.

      Delete
  14. ඉතාමත් හොද විස්තරයක්.

    අක්කපාන මුත්‍ර විරේචනීයයි. ඒ කියන්නේ වැඩියෙන් මුත්‍ර පිටකරනවා. මුලින්ම කියන්නම් මේ ගැන තොරතුරු ගන්න තියන මාර්ග. ගූගල් ලොක්ක එක්කම ඉදල මේවායේ ඇත්තම තොරතුරු හොයන්න බැහැ.
    1. චරක සූත්‍ර 4 අධ්‍යාය, 35.
    2. චරක චිකිත්සා 26 අධ්‍යාය, (58, 59, 60 පිටු.)
    3. සුශ්‍රැත සූත්‍ර 42, 11.
    4. සුශ්‍රැත චිකිත්සා, 7 අධ්‍යාය, 5-7.
    5. අෂ්ටාංග හෘදය, 7අධ්‍යාය,

    මේ පිළිබඳ බොහෝ පර්යේෂණ කළ අයෙක් තමයි මහාචාර්‍යය ඨාකූර් බල්වන්ත් සිං. මෙය කසට රසයි. ශීත වීර්‍ය්‍යයි. වාත පිත්ත ශාමකයි.
    ලේ ගැලීම් නැවැත්වීමට ඉතාමත් හොදයි. අභ්‍යන්තර රුධිර ගැලීමකටද හොදයි.

    දැන් සහන් සහ උදිතගේ කරුණු පිළිබඳ මගේ මතය මෙහෙම කියන්නම්. අක්කපාන ගන්න කොට වෙන්නෙ ගල් වල කැල්සියම් දියවීමම නෙමෙයි. ගලේ කැල්සියම් බන්දන දුර්වල වීමයි. එහෙම වෙන්නේ අක්කපාන සුළු ආම්ලික ගුණ දරණ නිසා. ඒ භෂ්මයක් වන කැල්සියම් සහ අක්කපාන වල ඇති ආම්ලික බව නිසා බන්ධන දුර්වල වී කැඩී යාමට පටන් ගන්නවා. ඒ නිසා මුත්‍ර ගල් ඇති අයට මේ ප්‍රතිකාරය කරන කොට ෆිල්ටර් පේපර් එකකට මුත්‍ර යාමට සැලැස්සීමෙන් බලන්න පුළුවන් ගල් දියවීමෙන් ඇතිවන කුඩු ගතිය තිබෙනවා. ඒ නිසා මෙය පිටට එනකොට හිරවීමේ අවදානමක් නැහැ. හැබැයි වැඩිපුර භාවිතය හොද නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ හරිම විස්තරේ .ගොඩක් පින් වෙද මහත්තයෝ.
      තව දෙයක් ඇත්තටම ඔහොම ගලක් එද්දී හිර වීමක් වෙලා
      බරපතල දෙයක් වෙන්න බැරිද වෙද මහත්තයෝ ..?
      මොකද මන් දන්න මිතුරෙක් ( මිතුරියක් නොවේ )
      ඔහොම ඔලිඳ ඇටයක් වගේ ප්‍රමානේ ගලක් ඇවිත් තියෙනවා
      ඉතා දැඩි පරිශ්‍රමයකින් පස්සේ .

      අක්කපාන බීම නිසා ගල් *එලියට ඒමක්* වෙන්නේ නැහැ
      නේද ?( ඔබ පැහැදිලි කල සේ ගල් වල බන්දනය බිඳී යෑම
      වගේ දෙයක් ඇර ?)

      හිතන්න එහෙම එකක් හිර උනොත් මොකද වෙන්නේ ?
      එහෙම හිර වෙන්න පුළුවන් නේද නේද නේද ?

      Delete
    2. එහෙම් හිරවෙන්නෙ නැහැ එහෙම එනව ඕනෙ තරම් නමුත් ඒවා බිදිල යනවා. මගේ මිතුරෙක් ඉන්නවා ඔසියෙක් පයිලට් කෙනෙක්. ලංකාවට එනකොටම මට දන්නනවා. ඒ ඔය බේත හදව ගන්න පරම්පරාවෙන්ම ගල් කාරයෝ. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ඉතාම විශ්වාසදායක බෙහෙත් මේ රෝගය වෙනුවෙන් ආයූර්වේදයේ තිබෙනවා. සති දෙකෙන් බඩු ෂුවර්. අක්කපාන වැඩියෙන් පාවිච්චි කරන්න හොද නැහැ. උපදෙස් අරගෙන පාවිච්චි කරනවා නම් හොදයි.

      Delete
    3. ඔබටත් බොහෝමත්ම ස්තුතියි වෙද මහත්මයා. ඒවගේම ගෞරවයක් ඔබගේ පැමිනීම. ඔබ ලබාදුන් වටිනා තොරතුරු ගොඩක් වැදගත් අපට. මේවන් ලිපියක් පලවූ විටෙක හෝ ඔබට හැකියාවක් ඇතොත් පැමිනෙන්නැයි ආරාධනා කරන්න කැමතියි මම. ස්තුතියි නැවතත්.

      Delete
  15. දැන් මේකට අපි කමෙන්ට් දාන්න ඕන නෑ. වෙද මහත්තයා නිසි ගවේශනාත්මක පිළිතුර දී තිබෙනවා නේ... ඔබට ස්තුතියි වෙද මහතා..

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරත් වටිනවා මිත්‍රයා...

      Delete
  16. "වකුගඩු ගල් ශරීරයෙන් පිටවෙන්නේ කෙසේද?
    බහුතර අවස්ථා වල දී ගල් පිටවෙන්නේ මුත්‍රා සමඟ. එය වේදනකාරී විය හැකි අතර, දින කිහිපයක් ගතවෙන්නක් ද විය හැකියි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා විසින් වකුගඩු ගල් ඇති රෝගියාට (එය X-ray හෝ ultrasound මඟින් චිකිත්සාවකින් පසුව) පහ කරන මුත්‍රා පෙනේරයකින් පෙරා ගල් පිටවෙලා දැයි බලන්නට කියනු ඇත.

    රෝගියාට ගල් මුත්‍රා මඟින් පහ කරන්නට නොහැකි විට දී, ඒවා අයින් කරන්නට හා කුඩු (crush) කරන ප්‍රතිකාර අතර:
    * මුත්‍රා මාර්ගය තුලින් ටියුබ් එකකින් කුඩා උපකරණයක් යවා ගල 'අල්ලා' එළියට ගැනීම
    * shock wave lithotripsy නම් ගල කුඩු කරන ක්‍රමය. එය කුඩු කරපු පසු රෝගියාට කුඩා කෑලි පිට කරත හැකියි.
    * ශල්‍ය කර්මයකින් ඉවත් කිරීම."

    http://my.clevelandclinic.org/disorders/kidney_stones/np_overview.aspx

    දියවෙන්න බෙහෙත් දෙන කතාවක් මෙහි නැහැ.

    ReplyDelete
    Replies
    1. නැවතත් ස්තුතියි ඔබට. තවත් තොරතුරු අරගෙන විත් මෙහි අගය වැඩිකාරා යැයි මට හැ‍ඟෙනවා ඔබ. නැවත මෙවන් ලිපියක් ලියවෙන දිනක හෝ ඔබ වැනියන් පැමිනෙන්නේ නම් එය අගයකොට සලකනවා මම.

      Delete
  17. ඔබේ ලිපියෙන් ඉතා වටිනා පාඨක අදහස් සමුදායක්ද එළිදරව් වී තිබීම මේ ලිපියේ වැදගත්කම මොනවට තහවුරු කරනවා. අපි නොදන්නා මෙන්ම මතකයෙන් ගිලිහී යමින් පවතින මෙවැනි දෑ ඊළඟ පරපුර වෙත සම්ප්‍රේෂණය කර තැබීම ගැන ඔබට අතිශයින් ස්තුතිවන්ත වෙනවා. අපි පොඩි කාලේ ඕනෑම ගෙවත්තක දැකියහැකි අක්කපාන ශාඛය දැන් අතුරුදන් වෙලා. මම එක දෙයක් ඉටාගත්තා. අක්කපාන පලයක් හොයාගෙන මල්පොච්චියක හිටවන්න. එතකොට අහල පහල අයත් ඒ 'මල් වර්ගය' හිටවා ගන්නවනේ. අනියම් ප්‍රතිඵලය තමයි වටිනා ඖෂධීය ශාකයක් සංරක්ෂණය වීම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබත් හැමදාම වටිනා යමක් මගේ ලිපිවලට එක්කරන කෙනෙක් විචාරක මහත්මයා. ඔබටත් ස්තුතියි බොහෝමත්ම.

      Delete
  18. මුලින්ම කියන්න ඕන ලිපියට බොහෝම ස්තූතියි. මම මේකෙ එක අකුරක් නෑරම, එක කොමෙන්ටුවක් නෑරම කියෙව්වා.

    මගෙත් දැන් සතියකට විතර කලින් බඩේ පැත්තක් කොන්දත් එක්ක රිදෙන්න ගත්තා. අම්මෝ ඒකෙ අමාරුවනම් කියලා වැඩක් නෑ. මමනම් හිතුව හරියටම මුත්‍රා ගල් තමා කියල. මොකෝ මට මීට අවුරුදු 5කට කලිනුත් හැදිල තියෙනව. ඔපරේසන් කරේ නෑ. ඒකත් නිකන්ම දිය උනා. කොහොම හරි ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා පෙරෙයිදා තමයි ස්කෑන් එක කලේ.. එක්ස් රේ එකකුත් කලා. මන් ඔය අතරෙ අක්ක පානත් කෑව. තාමත් කනවා. කූමහරි ඊයෙ ඩොක්ටර් කීවෙ ගල දියවෙලා කියල.. හම්මූ..

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මාගේ මේ මොහොතේ 1.2cm ගල් ඇති අමාරුව වැඩි

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....