Sunday, March 23, 2014

මග මරුවෝ........




       රථගාය යනු හමෝටම පාහේ වැල‍ඳෙන රෝගයකි. එහෙත් ටික කලකින් බොහෝ දෙනෙකු සුවය ලබන්නෝය. අතීතයේ මව්වරුන් මේ බව දැන සිටි නිසාදෝ රතගායට සිංහල වෙදකම් ද කල බව මා අසා තිබේ.එයට ඔය ලුණුවිල හා තවත් දෑ ගත් බව කව්දෝ කියනු මට මතකය. අද කාලයේ මව්වරුන්ට සෞඛ්‍ය සායනවලින් මේවාට ඉඩ නොලැබෙන්නේය. මිඩ්වයිෆ් නෝනලාට අනුව ඒව සුම්මාය. ඒ නිසාදෝ වර්තමානයේ බොහෝ දෙනෙක් රථගායෙන් පෙලෙන්නෝ වෙත්. එයින් පීඩාවට පත් වන්නෝ රෝගීන් පමණක්ම නොවීම කණගා‍ටුවට කරුනකි. කාරනා කටයුතු එසේ වුවද රථගාය හැදුන පමණින් අපට ඕනෑ ඕනෑ ආකාරයට මාර්ග වල රථවාහන දැක්කීමට හැකියාවක් හෝ අයිතියක් අපට නැත්තේය. එයට සම්මත ක්‍රමවේදයක් හා නීති රීති අන පනත් අත්තේය. ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් වශයෙන් ඒවාට ගරු කරමින් මාර්ගවල ගමන් කිරීම අප සතු යුතුකමකි. ඒ සඳහා ස්වයං විනයක් අවශ්‍ය වන්නේය. නමුත් අපේ උන් නොකරන්නේම හා ඔවුනට නැත්තේද  එයම වීම ඉතා කණගා‍ටුදායකය. එවන් වූ අයගේ නොමනා ක්‍රියාවලින් අනතුරට, අපහසුවට, මරණයට පත්වන්නේ ඔවුන් පමණක් නම් එහි වරදක් මා දකින්නේ නැත. මන්ද මිනිස් ජීවිතයක අගය වටිනාකම නොහඳුනන නොතකන අමනයන් සිටියාටද වැඩක් නැති බැවිනි.                       


මේ එක් නිධාන කතාවකි. 

     මගේ නිවසේ සිට කඩයට ඇත්තේ කිලෝමීටරයක දුරකි. ඊයේ (සෙනසුරාදා) සවස 5ට පමණ මා කඩය වසා ගෙදර යාමට නික්මුනෙමි. මීටර් 100ක් පමණ ධාවනය කරන විට මගේ දකුණු පසින් රථවාහන පෙලක්ම විරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබුණි. හිටි හැටියේම වෑන් රථයක් අප ගමන් කල මං තීරුව ආක්‍රමනය කරමින් (ඕවර්ටේක් කරමින්) ඉදිරියට එන්නට විය. ඔහුට පි‍ටුපසින් ත්‍රීවිලර් දෙකක් හා මෝටර් සයිකල් කිහිපයක් ද විය. මා පසුපසින්ද වාහන කිහිපයක්ම පැමිණෙමින් තිබූ නිසා හා අප ගමන් කල මංතීරුවේ ඉඩ ඔවුන් ලබාගත් නිසා  මා ප්‍රධාන පහන් දල්වා ඉදිරියට නොපැමිණෙන ලෙස සන් කලද වගේ වගක් නැතිව ඔහු ඉදිරියටම ආවේය. මා වේගය ඉතා අඩාල කොට මාර්ගයේ හැකි තරම් අයිනට කර ගැටීම වලකා ගත්තෙමි. ඒත් සමගම ඔහුගේ මව් ගුණ වැයුවේ ඔහුට පමණක්ම නොව රථ වාහන පෙලටම ඇසෙන ලෙසය. වැරදි ආකාරයකින් උපත ලද හෙයින්දෝ ඒකා ගානකට නොගෙන යන්න ගියේය. ඉනික්බිතිව ගමන් කරන්නට ලැබුනේ තවත් මීටර සීයකට ආසන්න දුරකි. බාර් එක ලඟ නවතා තිබුනු ජීප්පුවක් මහ පාරට දැම්මේ ලඟ ලඟම එන වාහන පේලිය ගැන කිසිඳු තැකීමකින් තොරවය. ඒ මොහොතේ මට සිතුනේ අනේ මම JCB එකක් දක්කාගෙන ආවානම් කියාය. ලඟට කිට්‍ටුකර හරුප දෙකක් පැවසීමට ඇති ආශාව නංගි බබාගේ බලවත් පෙ‍රැත්තය නිසාම යටපත් කර ගත්තෙමි. 

        ඉන් අනතුරුව අප මෝල හංදියට පැමිණියෙමු. ඉදිරියෙන් දකුණට හැරවියයුතු නිසා මවිසින් සංඥා පහන්ද දල්වා පසු මාර්ගයද නිරීක්ෂණය කරමින් මඳ දුරක් පැමිණ හුලං අස්පයා දකුණු පසට දැක්කුවෙමි. කොහේදෝ සිට පැමිණි ස්කූටිපෙට් එකක් මගේ බයිසිකලයේ ඇමිනුනේය. ඒකත් වම් පස මාර්ගය පැහැදිලිවම හිස්ව තිබෙද්දීය. හාස්කමකින් මෙන් මගේ බයිසිමොටෝව නැවත පාරට ගැනීමටත් සමබරතාවය ‍රැක ගැනීමටත් මට හැකියාව තිබුනි. එසේ නොවන්නට අර පොලොස් කොට්ටෝරුවා මගේ හෝ නංගි බබාගේ දකුණු කකුල කඩනවාමය. ඔහුගේ බයිසි මොටෝව පාරෙන් ඉවතටද පැන මාළු ලෑල්ල අසලදී නැවතුනේය. අමාරුවෙන් රඳවාගෙන සිටි සංයමය මේ වෙනවිට මවෙතින් ගිලිහී තිබුනු නිසා මා ඔහුවෙත යාමට සැරසුනේ හොම්බට දෙකක් ඇනීමටය. 

අනේ අයියේ එපා අනේ... 
අනේ අපි යං අයියේ... 
ඉතින් අපිට මොකුත් උනෙත් නෑනේ... 
අනේ අපියං....  
ඔය මගේ මායියාගේ හැටිය. 

      අර බයිසිකලයේ පසු පස ගෑල්ලමයෙක්ද සිටියාය. ඇය මගමරුවාගේ මායියා වියයුතුයැයි අප අනුමාණ කලෙමු. ඒ මදිවාට ඔවුන් බොහෝ සේ බයවෙලාය. ගෑල්ලමයා ඉදිරියේ කොල්ලෙකුගේ හොම්බතැලීම නොමනා ක්‍රියාවකැයි මටද හැඟිනි. එබැවින් ඔවුනට යන්නට හැරියෙමි. එසේ ගත් කල එකම දිනක්තුල අනතුරු තුනකට මම මුහුණ දී ඇත. ඒද ඉතා පරීක්ෂාකාරීව රිය පදවලාය. අනෙක් පාර්ශව කරුවන් මේ කිසිම විටෙක තමන් ගමන් කරන්නේ පොදු මාර්ගයකය මෙහි ගමන් කරනා හැම කෙනෙකුම පිලිපැදිය යුතු පොදු නීති සමූහයක් තිබෙනවායැයි නොසිතීම මේ සිදුවීම් කීපයටම හේතු වූ බව මගේ හැඟීමයි. අප පෞද්ගලිකව කුමක් හෝ වාහනයක් භාවිතා කරන්නේ අපේ පහසුවට හා ඉක්මනින් ගමනක් බිමනක් යාමට බව සැබවි. එසේ වූ පමනින් සෙසු මාර්ගය භාවිතා කරන්නන් නොසලකා හරිමින් තමන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයැයි සිතමින් ගමන් කිරීම යුතුනොවේ. තත්පර කිහිපයක් පමා වුවද ඉවසීමෙන් හා මනා සංයමයෙන් යුතුව මහා මාර්ගය භාවිතය සියළුදෙනාගේ යුතුකම හා වගකීම නොවන්නේද......? 


ප/ලි: 

ඊයේ උදේ අපි කඩේ ඇරලා විනාඩි පහක් වත් ගියේ නෑ මහ සද්දෙට බ්‍රේක් ගහන හඬකුයි ඒක අවසානේ දඩෝං ගාලා සද්දෙකුයි ඇහුන නිසා මම නංගි බබාවත් පෙරලගෙන එලියට දුවන් ආවා. බැලින්නම් මොටෝ බයිසිකලයක් හැප්පිලා පොලිස් වාහනේක.අර පාටපාට ලැයිට් හයි කොරං පෝං පෝං ගගා යන පොලිස් කාර් තියෙන්නේ ආං එව්වා එකක. කවුරුවත් හිතා මතා අනතුරු කරගන්නේ නැතිබව මහ ජනයා වන අපි හිතුවට පොලීසිය එහෙම කියන්නේ නෑනේ ආයිබොවන්. එයාලගේ පරීස්සන නිරීස්සන වලට අනුව ඒ අය පැමිනෙන අවසාන නිගමනයෙදි අනිවාර්යයෙන්ම වැරදිකාරයෙක් ඉන්නවා. නොසැලකිලිමත්කම, බීමත්කම, ක්‍රමවත් පුහුණුවක් නැතිකම හෝ මොකක්හරි උලව්වක් හේතු බූත උනයි කියලත් කියනවනේ. ඉතින් මෙතැනදිත් එයාලගේ හැන්දෙන්ම එයාලටම බෙදුවොත් වරද පොලිස් කාරෙකේමයි. ඒ කියන්නේ ආයිබොවන් දකුනු පැත්තේ මං තීරුවෙත් අවසානයට ආසන්නයෙදී තමයි පොලිස් මහත්තයා බයිසි මොටෝව හප්පලා තියෙන්නේ.බයිසිකලේ දකුනට හරවන සිග්නලුත් දාලා. අපි එතනට යද්දිත් ඒවා පත්තු වෙනවා. ස්ත්‍රී පරාණෙකුත් පාර මැද්දෑවේ වැටිලා හිටි නිසා උන්දැව උස්සලා පාර අයිනට ගෙනිහින් වාඩි කරවලා අහක තමයි බැලුවේ කවුදෑ මේ හපංකොම කො‍රැව්ව උත්තමයා කියලා. බැලින්නම් අපේ වැයිකියේ රථ වාහන අංශේ ලොක්කෙක්. උන්දෑ බැහැලා ඇවිත් අර බයිසිකලේ පැදගෙන ආපු මනුස්සයට කියනවා පාර බලලා එපායෑ දකුනට දාන්න කියලා. එතැන හිටි උන් හැමෝටම අධෝ මුඛයෙනුත් හිනා. ඇයි යකෝ අර මනුස්සයට පිටි පස්ස නොබැලුවා කියලා කියන එකා වාහනේ එලෝලා තියෙන්නේ ඉස්සරහා වත් බලන්නේ නැතුව.

ප/ප/ලි:  

යන්ඩ කලින් මේකත් කියලම යඤ්ඤං. මේ වෙද්දිත් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ පහු ගිය සතියේ මරදාන දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනපු බව. එදා සරාත් කොළඹ ගියේ ඔය කෝච්චියේ. දඩ බඩෝං ඩෝං ගාලා තද ගැස්සීමක් ආවම සරාට දැනුනා මොකක් හරි අටමගලයක් උනා කියලා. ටිකක් ඔලුව දාලා බැලුවම තමයි සරා මේක දැක්කේ......... 



ඊට පස්සේ කෝච්චියෙන් බැහැලා මේ ටිකත් ගත්තා. 








               



බලන්න මේ හරක් ටික රිංගන්නේ මොනතරම් අනතුරු දායක තැනකටද කියලා. පැත්තක ඉඳන් මම කිව්වම එන්ජිමත් තවම ස්ටාර්ට් එකේ තියෙන එකේ ඕක අස්සට යන්න එපා කියලා එතන ඉන්න එකාලා මා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලන විදිහට. උන්ගේ මෝඩ කමට හිතින් හිනාවුන මම මගේ පාඩුවේ ස්ටේෂම පැත්තට ගෑ‍ටුවා.මේකට කියන්නේ කුතුහලය කියලා නෙමේ ආයිබොවන්ඩ, පැහැදිලි මෝඩකම...!!



අනතුරු වලක්වා ගැනීමේ හැකියාව අප සතුව නැතිව නෙමේ ජාන වල තියෙන සත්ව ගති හිටි ගමන් ඉස්මතුවෙන එක තමා අපේ අයගේ වරද......!

Thursday, March 20, 2014

වැල බෑවෙමි..




      බාව ඉස්කෝලෙට ගෙහුං ඇරලවලා ආවට පස්සේ තියෙන ලොකුම යුද්දේ තමයි ඉතින් මම ෂොප් එකට යන පිටත් වෙන එක. ස්වේච්චාවෙන් මම කොරන දෙයක් වගේ ලිව්වට මගේ මායියා හෙවත් නංගිබබා ම විතරයි දන්නේ ඕකට උන්දෑ කන කට්ටේ තරම. හෙල්මොට් එක කොහේට හරි විසික්කලා මුළුතැන් ගෙයි රවුමක් කැරකෙන මම ඊලඟට කොරන්නේ ඇඳට පැනලා කුද ගහන් නිදන එක. නංගි බබා විනාඩි දහයක් පමා වුනොත් දෙකහමාරක් නෑ සරා දොයි. ආයේ මොකා කතා කෙරුවත් ඌ නෙමේ නැගිටින්නේ. ඕක දන්න නිසාම උන්දැගේ වැඩේ විනාඩියෙන් විනාඩිය බෙඩ් රූම් එකට ඇවිත්.. 

අයියේ තේ හැදුවා....! 
අයියේ උදේට කන්න මොනාද හදන්න ඕන...! 
අයියේ යන්න පරක්කු වෙනෝ. ඉක්මනට ඇඳ ගන්න...! 

අරකද මේකද කියකියා මට කරදර කොරන එකයි. කියන්න දෙයක් නැත්නම් විනාඩියෙන් විනාඩියට ඇවිත් වෙලාව හරි කියලා යනවා. ඕං ඕක කරදරක් වෙනකොට ඉතින් මම් නැගිටලා ගෙහුන් කුස්සියේ පු‍ටුවක් උඩින් වාඩි වෙලා උන්දැගේ කෙරුවාවල් බලං ඉන්නවා. මොනා හරි බඩට වැටෙන කල්.නැවතිල්ලේ හිතලා බැලුවම මහ බබාලව බලා ගන්නවා කියන්නේ ලේසි ප‍ටු වැඩක් නෙමේ....................................... 


          ඒ වුනාට අද උදේම බබාව ඇරලවලා පුරුදු විදිහට මම ඇවිත් ඇඳට පැන්නම මෙන්න බොලේ මුන්දැත් ඇඳටම ආවා. හැබෑ වෙනසක්.... ටිකක් පුදුම හිතුනත් මම ඔහේ හිටියා. ඔළුවත් අතගාලා උම්මා එකකුත් දීලා.... 

අයියේ මට වැල ඕන...! 
ඈහ්...... වැල.....?? 
ඔව් අනේ, එකක් බාල දෙන්නකෝ....! 

අප්පට සිරි මෙයාට මොකද වුනේ, මම ඇවිදිල්ලත් දැන් අවුරුද්දකටත් ලඟයි. දැන් අහවල් ලබ්බටද වැල. අනික හැම පෝයටම පංසල් යන ගෑණු දරුවා, දැන් වැල ඉල්ලන්නේ. ෂුවර් පහුගිය ටිකේ කාපු තෙල් කෑම තමයි අගුන වෙන්න ඇත්තේ. මම තනියම හිතුවා. මොනා වුනත් දැන් ඉතින් මේක කරලා දෙන්නත් එපාය. පොඩි එකීගේ ආසාවනේ. 

හරි ඔයා කෑම හදන්නකෝ..! මම එතකන් මේ වැඩේ කොරඤ්ඤං....! 

නංගි බබා මුලුතැන් ගෙට වදිද්දි මම කොමා ගාවට ඇදුනා. ඇත්තම කියනවා නම් ආයිබොවන් මුන්දැගේ ආසාව නිසා බාන්න ලේස්තිවුනාට මට ඔය අංශේගැන මෙලෝ දැනුමක් නෑ. ගිනි නරියා මාර්ගෙන් වලත්ත ඇමෙරිකාව කියලා පොඩි සර්ච් පාරක් දැම්මම වැල නම් ඕන තරම් දකින්න ලැබුනා. ඒත් බාන්න විදිහක් නැතිලු. බාන්න ඕනනම් ඩොලර් වලින් ගෙවන්න ඕනලු, එව්වයේ ලියා පදිංචි වෙන්නලු, ක්‍රෙඩිට් කාර්ඩ් නම්බරුයි අරවයි මේවයි ලෝකේ නැති දේවල් කියනවා. ඊට පස්සේ මම ගූගල් සීයාගෙන් ඇහුවා නොමිලේ වැල බාන්න පුලුහන් තැන් නැතිදෑ කියලා. සීයා දුන්නා මාර පොට් ටිකක්....පුහ්... මාම් බෑංග්.......නෑ එක්කෝ එව්වා ඕන නෑ. මොකටෑ මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ නරක් කොරන්නේ. හා.. නැද්ද මං අහන්නේ. ඉතිං මම එවුවයෙන් හත අටක්ම තෝරලා තිස්දෙකේ ස්කිරිං එකේ තැනින් තැන තියලා කතා කොලා දොලදුක්කාරිට හෙවත් මගේ නංගිබබාට. 

 නංගී....!  
ඕ... මේ එනෝහ්....! 
මේවයෙන් ඔයාට ඕන එක කියන්නකෝ, මම බාල දෙන්නම්...! 
ඊයා.. මේ මොනවද මේ..?? 
වැල, ඇයි දැන් ටිකකට කලින් ඔයා ඉල්ලුවේ.. !
මම කිව්වේ මේ ජරාව නෙමේ මෝඩයෝ... ! 

සුලු මොහොතකට පෙර ආදරෙන් අතගෑ ඔලුවට වැරෙන් ටොක්කක් පතබෑවිනි. 

ජරාව කියන්න එපා නංගි. මේවා තමයි ඉතින් නෙට් එකේ තියෙන්නේ. අනික ඉතින් මීට වඩා හොඳ ඒවා නම් ඉතින් ඒවට වැල කියන්න බෑනේ. එහෙම නම් ඉතින් මේ වගේ ගැට කියලනේ කියන්න ඕනේ...! 

මම ඇගේ නිතඹට පහරක් ගැසුවේ හිස මතට වැදුන ටොක්ක ගැනද සිහිපත් කරමිනි. 

ඌයි... ඒකනම් රිදුනා මැට්ටෝ...! 
රිදෙන්න තමයි ගැහුවේ මැට්ටියේ....! 
එපා .. මම තරහයි....!!

ඇය නැවත යන්නට හැරුනාය. 

ඔහොම හිටපිය කොහේ යන්නද...? 
ඔයහ්....කිරි හොද්ද ලිපේ..!! 
ඉතින්.. ඔහේ තිබුනාවේ..! 

නංගි බබාව දෑතට ඔසවාගනිමින් මම මොනිටරයේ විදුලි සැපයුම කකුලෙන් විසංධි කලෙමි. කඩේ අරින්නේ නමයට බැවින් තව පැයකට ආසන්න කාලයක් එයට ඉතිරිව ඇත. දියණියගේ පාසැල අරෙන්නේද 12 ටය. මහ ගෙදර අයට මහ ගොඩක් වැඩ නිසා අපේ ගෙදර එන්නට දැන් නිවාඩුවක් නැතිය. මෙව්වට මීට වඩා නිදහස් වෙලාවල් කොහෙද අප්පා.........! 

ටිකවේලාවකට පසු:

ඒයි..... නංගි...! 
ම්හ්හ්...!! 
මොනා හරි පිච්චෙනවා වගේ නේද..?  
වෙන මොනවද ඉතින් කිරි හොද්ද වෙන්න ඇති....! 

ඇය ගානකට නොගෙන කීවාය. 

හුටා...එතකොට මම කන්නේ...? 

තුවායක් ඉන වටේ දවටමින් මම මුලුතැන් ගෙට දිවුවෙමි. මා පමා වූවා වැඩි වූ සෙයකි. ඇතිලිය  තිබූ ළූණු මිරිස් කැබලි ටික මීට දෙහෝරාවකට පමණ පෙර මට ලැබුනේ නම් දත් බෙහෙත් ටික ඉතිරිකර ගැනීමේ හැකියාවක් තිබුනු බව ක්ෂණයෙන් මට අවබෝධ විය. සම්බෝල සමඟ පමණක් ඉඳි ආප්ප කෑමට නොහැකිය. වෙන කලහැකි කිසිවක්ද ඉතිරිව නැත. මම හිත හදාගෙන ආපසු හැරුනෙමි. නංගිබබා මා පසුපසින් සිටගෙන සිනා සෙන්නීය. 

ඔයාට නම් හිනා..බඩගින්නේ හිටියත් ඕං මට නම් එපා සම්බෝලයි ඉඳිආප්පයි...! 
හරි ආයෙත් හොදි හදලා දෙනවා අරවා දුන්නොත්....! 
මොනාද...? 
වැල.. වැල..! 
ඉතින් මම ඔයාට.... 
එව්වා නෙමේ මෝඩයෝ, මෙහෙ එනවා...! 
ඇය මා අතින් ඇදගෙන මිදුලට ආවාය. වත්ත කෙලවර වූ කොස් ගස දෙසට අත දිඟුකර..... 
ආං අර වැල කඩලා දීපං...!! 
අයියෝ.. කලින් කියන්න එපායෑ.... ! 
අනවසරයෙන්ම ඇගේ මුව සිප ගත් මා කොස්ගස දෙසට දිව ගියෙමි. 
      
         
මේ බලාන්ට අප්පා. මෙයා කියලා තියෙන්නේ මේ වැල ගැනනේ. 

         
අම්මයි දුවයි දෙන්නම ආසයි. හැබැයි මටනම් අරහං.      

ප/ලි:
පහුගිය පෝස්‍ටුවකදි කස්ටිය මාව කන්ට හැදුවා නෙව මෙහෙම කතා වලදි මැදට කො‍ටු කො‍ටු දාන්ට එපාය කියලා. ඒ නිසා ඕං මේගමන කො‍ටු දැම්මේ නෑ හොඳේ.D දැන් බනින්ට බෑ නෙව. හෙහ්  හෙහ්... 
ගෙහුං එඤ්ඤං....!



Thursday, March 6, 2014

දිසිස් සූටියා දැටිස්..... ගසස් සූටියා ලඟස්.....






         ඔය ගිරා කියන ගමේ ජීවත්වුන "සූටියා" මහ හුඟක් පතපොතේ දැණුම තිබිච්ච එකෙක් නෙමේ ආයිබොවන්ඩ. ඒක එහෙමයි කියලා ඌ කවදටත් කාටවත් කරදරයක් බරක් වෙච්ච එහෙකුත් නෙමේ. මේකා බඩ ගෝස්තරේ හොයා ගත්තේ මල් තැලිල්ලෙන්.හැක්.. මම කිවුවේ ඔහේලා අනුමාන කො‍රැව්ව මල් ගැන නෙමේ ආයිබොවන්, කිතුල් මල් ගැන කිතුල්මල්.

ඔය මල් තලලා ජීවිකාව කොරගන්න ඇහැක් නම් අද සරා ලස්සෙට කොඩි දාන්න එපාය. නිකංයෑ මල් සරා කියන්නේ, නැද්ද මං අහන්නේ. හැබැයි ඉතින් තලාපු එව්වෝ දියුණු නොවුනත් අයිතිකාරයෝ නම් බොහොම දියුණුවෙනවයි කියලා තමයි lexi belle ලා victoria volt ලා එහෙම කියන්නේ. ඒවා ගැන අපි මොකුත් කියන්නේ නෑ. තම තම නැණ පමණින් තමා දැන ගතයුතු වෙන්නේ

        අද වගේම තමා එදත් ඔය කිතුල් පැණි ,කිතුල් හකුරු වගේ දේවලට සිදාදියේ ඇත්තෝ හරි මනාපයි. පැණි හකුරු කාසි කොරන්ඩ සූටියලා සිදාදියට ගෑ‍ටුවේ නැතිවට මොකෑ සිදාදියේ වෙළෙන්දංකාරයෝ මාසෙට දෙතුන්විඩක්ම ගම්මැද්දාවට එනවා මේවා එකතුපාදා කොරාගෙන යන්ට. නිකං නෙමේ ඒකලා එන්නේ මේං මෙහෙම බෑඟිරි ගහගෙනයි.
 
පැණි, හකුරු උරුලෑ තට්ටං, බිංකොහොඹ ගන්නවාහ්හ්හ්....! 
හිලව්වට චංදරප්පට සරම්, අමුඩ ලේංසු, අගේ අගේ ඇති එවුවා දෙනවාහ්හ්...!! 

       ඒ කාරින කොයි හැටි වෙතා සූටියටයි උගේ අඹුදරුවන්ටයි නැතෙයි නොකියා කාලා ඇඳලා ඉන්ට ඇහැක් යමක් ඌ මේ කරුමාන්තෙන් උපයා සපයා ගත්තා ඕං. ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩ තමුන්නැහේලට කිව්වාම මොකෑ මේකා ඔය අතරින් පතර කොස වෙච්ච ගස්දෙක තුනකට මංඩි ඩිංගිත්තක් එක්කහු කොල්ලා රා ඩිංගකුත් හැදුවා හීං සීරුවට. ආදායමක් ලබන්ටනම් නෙමේ ආයේ, හැන්දෑවට මුන්දැටම සප්පායම් වෙන්ට. ඇඟේ අමාරුවට එහෙම කාරිය. වැඩි පොරසිද්දියක් නැතුව කොලාට මොකෑ අල්ලපු ගමේ බඩයිය වගේ උන්ට මේක ඉව වැටිලයි තිබ්බේ ඕං.  රෑ රාත්තිරියේ හොර පොල් කඩකඩා ඇවිදින බඩයියලා වගේ "රාගුඩ්ඩෝ" වැඩක් කියලා කොරානම් ඒ අනුන්ගේ උහංදුරං හොයන එකම තමා. 
කොයිමින් කොයිමින් හරි දෙතුන් දවසක් සූටියට හොරෙන් ඒ සාවියේ කකුල් ගාලා බඩයියා නිච්චියටම දැන ගත්තා කොයි කොයි ගස්වලද රා මදින්නේ කියලා. පස්සෙන් පහු අදනම් බඩකට පුරා කිතුල් රා බොනවා කියලා හිතාන බඩයියා දවසක් රෑ ජාමේ ගෑ‍ටුවා සූටියගේ කිතුල් මංඩියට. ඔහොම හෝරාවක් විතර ගෙවුන තැන ආයිබොවන් බඩයියා කිතුල් ගහක් මුදුනේ. සූටියා හැර ගහලා, උණ හලලා, මල් වෙලලා, තුන්කැති කපලා රා බුන්නට මොකෝ බඩයියා ඔය කිසි මහංසියක් නැතුවම රා බොනවා. උගුඩුවා වගේ බොනවා.     

මේ අතරේ සූටියට ගෙදර තියෙන මලත් තලලා කාරිය නිදන්ට කලින් කිතුල්ගස් මංඩියේ කරක්ගහලා එන පුරුද්දක් තිබිලා තියෙනවා. ඕක මම කලින් නොකීවයි කියල මගෙත් එක්ක අමනාප වෙන්ට කාරිනෑ ආයිබොවං මම තියා මෙච්චරටම අනුන්ගේ දේවල් හොයන බඩයියවත් ඕක දැනං ඉඳලා නෑ නෙව. දැන් ඉතිං සූටියා පුරුදු විදිහටම එක අතකට බැස්ටියයි අනෙක් අතට කිතුල් පොල්ලකුයි අරගෙන මුර සංචාරයේ යනවා. කට්ට කරුවලේ කිතුලක් මුදුනේ හිටිය බඩයියට ගස් අතරෙන් පෙනුන බැස්ටියේ එලියෙන්ම එන්නේ කව්ද කියලා අඳුනගන්න අමාරු උනේ නෑ. ඇස් දොඟරේ පනින්ට ලොකුවෙලා කටේ කෙලත් හිඳුනේ අතේ තිබුනු කිතුල් පොල්ල දැක්කමයි. හොරාට රා බුන්නා වගේ නෙමේ තව ටිකකින් බඩපුරා කිතුල් පොලුපාර කන්ට වෙනවා කියලා දැනුනම ගහෙන් බහින හැටිත් අමතක ගානයි. හොරුන්ට ගනදෙවි නුවණ තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ලඟ එන අනතුර දැක්කම බඩයියටත් ඒක පහල උනා. 
ඉංගිරිස්....  
පුරස්නෙකට තියෙන්නේ ජීවිතේටම ඉක්කෝලෙකට නොගිය තමන්ට මලපොතේ අකුරක්වත් බැරි කොමයි. ඒත් කැලෑසියකට දෙකකට ගිය සූටියත් ඒවා නොදන්නා බව බඩයියා දැනන් උන්නා.
බඩයියා විසිල් එකක් එහෙම ගහලා හයියෙන් මෙහෙම කිව්වා. 

දිසිස් සූටියා දැටිස්..... ගසස් සූටියා ලඟස්..... 

ඕක ඇහුනා සූටියට. අනුමානයක් නෑ කාගේ හරි ඔත්තුවකට රා අල්ලන්ට පොලෝසියෙන් පැනලා තමයි කියලා හිතපු සූටියා පන්දමත් නිමාන කළුවරේම ගෙදර දුවන්ට තිබා ගත්තා. ආයේ නම් රා බොන්ට මේ අහට ගාටන්නේ නැතිය කියලා තරයේ හිතට ගත්ත බඩයියත් සුරුස් ගාලා ගහෙන් බැහැලා ගෙදර දිව්වා.

ප/ලි:
කෙබර චන්දනට උපහාර පිණිස.