Thursday, August 23, 2012

මතක පොතෙන් පි‍ටුවක්...



මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ..
මා සිත්යහනේ නොනිදන කවුරු හෝ හිදී..
පෙරදා පුරුදු සේ නොහඩා හැඩූ නෙතින්..

             විඩා නිවෙන්න කියලා ඇදේ හාන්සි උනේ කම්පීතරට සිංදුවක් කියපං කියලා. කිරලා මැනලා ඌත් ඇදලා ඇරියා මේ සිංදුව මම නන්නත්තාරයි. හිත කොහේටද දුවල තියෙන්නේ හරියට දම්වැල ලෙහා ගත්ත බල්ලෙක් ගානට. නතර උන තැන ඉව කරලා බැලුවම මතක පොතේ මේ පි‍ටුව තිබුනා. මම කියවනවා, හැබැයි මේ මගේ කතාව. ඔයාලට ඕපදූපයක් කියලා හිතෙන්නත් බැරිනෑ. එහෙම හිතෙනවානම් ආපහු හැරෙන්න කාලයයි දැන්. අපරාදේ තමන්ගේ වටිනා කාලය වැඩකට නැති දෙයකට යොදවන්නේ ඇයි නේද.
           
              හැබැයි හැමදාම සරාගේ ලෝකය කියවන්න එන යාළුවෝ ටික නම් කොහේවත් යන්නෙපා. ඔය ඉතින් හැමදාම වැල් වටාරම් නැතුව මාත්තුරුකාවටද මොකක්ද එකට අදාලවම ලියනවා කියලා හිතාගෙන ලිව්වට මගදි ඒකට අදාල නැති කුනු හබ්බ ටිකක් ලියවෙනවමයි. අනේ සොරි වෙන්ඩෝනේ,මේන් ඒ කතාව.

             විවාහයෙන් පස්සේ දවසක මමයි නංගි බබයි එයාලගේ මහ ගෙදර ගියා. සැලකිලි නම් උපරිමයි. බෑනට විශේෂ සැලකිලිත් සමග. ඉතින් කොහොම හරි අපි දවස් දෙකක් එහෙ ඉදලා ගෙදර එන්න ලැහැස්ති උනා. 

කුලී ගෙවල් වල ඉන්න ඕනයෑ මෙහෙ හිටියනම් ඉවරයිනේ,
එහෙම කිව්වේ නංගි බබාගේ තාත්තා.
මෙහෙ ඉදලා කොහොමද තාත්තේ, මම වැඩ කරන්නේ එහෙනේ.
වැඩ නම් මෙහෙත් කරන්න බැරුවයෑ,මෙච්චර ලොකු ඉඩමක් තියෙන එකේ කැමති තැනකින් ගෙයක් හදන එකනේ තියෙන්නේ.
මටත් තියෙනව ඉඩමක්.. !
අනේ .. ඉතින් ඕවයේ ගිහින් කොහොමද.. ඇහැට පේන දුරක හිටියනම් හොද නෙව.
අම්මාද තාත්තාගේ කතාවට අලගු තියන්නට වූවාය. ඒ උනාට මගේ අදහස වෙනස් නොකලෙමි.(සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑනේ... හික්) අක්කා පිටත් වීමට මොහොතකට කලින් නංගි බබාව පැත්තකට කැදවා යමක් පවසනු මම දුටිමි. අම්මාද එයට හවුල් විය.
අනේ මේ ඉන්න... එහෙම නම් නෑ.. !
ඇය එය පැවසූ ආකාරයෙන්ද විලියෙන් රතුවූ මුහුනෙන්ද ගම්‍ය වූයේ එය යම් කිසි උපදෙසක් බවකි.ලෙහන්න පුලුවන් මල්ල මක්කටෙයි ඔබලා බලන්නේ..! එහෙම හිතලා මම කරබා ගත්තා. තවත් දෙපැයක් ගතවෙන්නට මත්තෙන් අපි උන්නේ අපේ නිවහනේ.
හම්මේ... හරි මහන්සියි කෙල්ලේ..!
ෂර්ට් එක ගලවලා එල්ලලා මම ඇදෙන් වැතිරුනේ හැබැවටම ගමන් මහන්සියට.
හ්ම්..මටත්...!!
එයත් එහෙම කියාගෙන මා ලගට ඇවිත් පපුවට හේත්තු උනා.
දැන් අහගන්නම් විස්තරේ A to Z.
මේ ඒක නෙමෙයි නංගෝ...!
ම්......!
මොනාද අර අක්ක ඔයාව පැත්තකට අඩගහලා රහසෙන් කිව්වේ.?
ම්..ම්.... ඒක රහසක්.....!
රහසක් හින්දා නේන්නම් මෝඩියේ අහන්නේ...!
ඉදා... රහස් එහෙම හැමෝටම කියනවද...?
කවුද දැන් හැමෝටම කියන්න කිව්වේ ,මට විතරක් හිමිහිට කියපංකෝ..........!
මමත් කං කෙදිරි ගෑවා.
එයා කිව්වා.... අනේ මට ලැජ්ජයි අයියෝ.....!
සමයං.... කියන්නයි කිවුවේ...! 
මම එහෙම කිවුවේ එයාව උරහිස් වලින් අල්ලලා මගෙ පැත්තට හරවන ගමන්.
එයා කිවුවා දැන්ම බබෙක් එක්කරගෙන එන්න හදන්නෙපා කියලා.
අම්මද බොල... ඒකි එහෙම කිවුවද...?
හ්ම්.....!
ඉතින්.?
ඉතින් මට ලැජ්ජා හිතුනා අයියෝ අම්මත් හිටියනේ එතන...!
හ්ම්..!
මම කිවුවා අනේ එහෙම නම් නෑ කියලා..
හික්..හික්..හික්.. !
පිස්සා... මොකටද මෙයා හිනා වෙන්නේ... ?
එයා එහෙම කිවුවෙ නෝක්කාඩුවට වගේ මගෙ පපුවටත් ගහ ගහ.
මොනවද දැන් මේ අලුත් මනමාලි එහෙම නෑ කිවුවේ...?
මම ඒක අහුවේ නම් නෝන්ඩියටමයි,පොඩ්ඩක් එහෙට මෙහෙට ඇදලා.
අනේහ්.... මම දන්නේ නෑ ඒ වෙලාවේ මගෙ කටට ආවේ එච්චරයි...!
හ්ම් ඒකත් එහෙමද.... මේහ්..!
ම්ම්...!
හැබෑවටම බබෙක් එයිද...?
(මටත් බයිට් කරන්න අහුවුනහම මොකා උනත් කමක් නෑ.) 
අනේ දන්නෑ.. !
 (එයා සීරියස්වගේ)
එන පාටක් නැත්නම් අපි හදමු...!
හ්ම්...!
මම ආස ඔයා වගේම කෙලි පොඩ්ඩකට..!
ම්ම් මමනම් ආස මේ වගේ නැදිච්ච කොල්ලෙකුට.
ඔය කිවුවේ මේකිගේ ආච්චිට....!
එතකොට මම නැහැදිච්ච..?
හ්ම්.. විතරක්යෑ හිතුවක්කාර..!
මමත්  තැනට සුදුසු නුවණ පාවිච්චි කොරලා ඒක අමතක කොරා. නැත්නම් දැන් අතට ගත්ත එක කටට දාගන්න තියෙන චෑන්ස් එක මිස් වෙනවනේ. හික් හික්..!
හම්බේ..... මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා...!
මොනවද...? 
ඇයි අප්පේ මට නොවැ ඕවට මහන්සි වෙන්න වෙන්නේ.
මොනවටද මහත්තයෝ.. ?
බබ්බු හදන්න ඔයාට කොල්ලයි මට කෙල්ලයි දෙන්නෙක්නේ.
මම එහෙම කිව්වේ ඇගිලි දෙකකිනුත් දෙක  පෙන්නන ගමන්.
අප්පේ එපා කියයි මෙයා දුන්නොත්...!
එපා  කියලා කොහොමද ඒවා ඉතින් මහත්තයාගෙන් නෝනට වෙන්නෝන යුතුකම් කියල කියනවනේ...! ඒවට මහන්සි බලලා බෑ ඉතින්..!
එයා ඇස් දෙකත් ලොකු කරන් මා දිහා බලා උන්නේ මම කරන්නේ හැබෑවක්ද විහිලුවක්ද කියල හිතා ගන්න බැරිව කියලා මට තේරුනා.මමත් සීරියස්ම ඇක්ට් කරා.
එක්කෝ දෙපාරක් චාටර් කන්න බෑ,එක පාරම හදමු දෙන්නවම.
මම කීවෙමි.
මේන් වැඩක්...!
ඇයි...?
මේ චූටි බන්ඩියේ දෙන්නෙකුට ඉඩ නෑ එක්කෙනයි...!
හා..හා.. එහෙනම් මොනවා කරන්නද... කෝ මෙහාට වෙන්න...!
ඒ මොකටද ...?
දගලන් නැතුව ඔහොම ඉන්න ටිකක්...!
මොකද මේ...?
බබෙක් හදන්න හදන්නේ..ඇයි දැන් ඔයා කිව්වේ..?
පිස්සුවක් හැදීගෙන එනවද...පලයන් යන්න පිස්සා.
ඇය මා තල්ලු කර දැම්මාය.
එහෙනම් ඉතින් මට මොකද මමයනවා නාන්න...!
ඉන්ඩෝ... මාත්.. එනෝ...!

Wednesday, August 22, 2012

මේ ස්තුතිය උඹලටයි.......!!!

               


                උදේම නැගිටල පෝස්‍ටුවක් කොටන්න සූජානං උනේ ඊයේ රාත්තිරියේ දේශපාලු උතුමෙකුගේ පම්පෝරි කතාවක් ඇහුනු නිසා.එවෙලේ මට හිතුනු දේවල් ටිකක් කියල දාන්න.ලියාගෙන යනකොට මට නිදි මතකුත් ආවා.පොස්‍ටුව දිග වැඩී.ඒත් මට තව කියන්න දේවල් ගොඩයි,හේතුව මගේ හිතේ ඇතිවුනු කෝපය මුන්ගේ කතාවලට.
හරි ආයේ නැගිටලත් මම ලියනවා....!
                 එහෙම හිතලා මම නිදා ගත්තා. ඇහැරුනහම මුහුණ එහෙම හෝදගෙන කාරිය ආයේ ආවා මග නතර කොරපු රාජකාරිය ඉවර කොරන්න. සරාගේ ලෝකෙට ගියාමයි මම දු‍ටුවෙ මම අද ලියන්නේ 25වෙනි පෝස්‍ටුව කියලා. ඒ මදිවට මට ආයේ මතක් උනා අන්තිම පෝස්‍ටුවට "රූ" ලියල තිබුනු කොමෙන්‍ටුවත්
මේ වගේ පෝස්ටු දාහක් ලිව්වත් ඒ මහත්තුරු රෙදි ඇඳගෙන යස අපූරුවට සැප වාහන වල යනවා...

අනේ මන්ද සරත්!!!    

                 ඒවගේ හේතු නිසා මම ඒ වැඩේ අතහැරියා. මට හිතුන මෙහෙම හරි විකාර ලියන්න මට මෙතනට එන්න කියපු මගේ නොදු‍ටු මිත්තරයන්ට ස්තුති කො‍රැව්වනම් කෙතරම් අපූරුද හිල් කූඩ වලින් වතුර අදිනවට වඩා කියලා.

                 මම බ්ලොග් කියවන්න ආවේ ශීත කාලේ වෙන කරන්න දෙයක් නැති කමට.මට එහෙම තැනක් තියනවා කිව්වේ අපේ "ප්‍රසාද්" මලයා. ඉතින් මම කියවන්න ගත්තා.කියවන කොට මට හිතුනු දෙයක් තමයි මෙයාල ලියන්න ගන්න මහන්සිය අපි අගයන්න ඕන ,එයාලගේ ලියවිල්ලෙන් අපිට යමක් ලැබෙන නිසා අවම වශයෙන් ඇගයීමක් වත් කරනවා කියලා කොමෙන්‍ටුවකින් ලියවිල්ලේ ගුණාගුණ කියන්න පටන් ගත්තා.
                  මම කියවනවා,කොමෙන්ට් දානවා ඉවරයක් නෑ. එහෙම අහම්බෙන් දවසක තමයි "සැම් ක්‍රියේෂන්"එකට ගොඩ වැදුනේ.අමුතු පොරක්,අමුතු කතා මොකක්හරි හිතට අල්ලන ගතියක් මම උගේ බ්ලොගේ දැක්කා. ඉතින් ඕක ෆේවරිට් එකට දමාගෙන මම හැමදාම උගේ බූතත් කියවන්න ගත්ත කියමුකෝ. කොමෙන්‍ටුත් දානවා මම. ඔහොම දවසක තමයි ඌ මට කිව්වේ බ්ලොගක් ලියපන් කියලා. ඉතින් මම උගෙන් ඇහුවා ලියන්න හිතයි කොහොමද පටන් ගන්නේ කියලා. උගෙන් උත්තර ලැබෙන්නත් කලින් "සෙන්නයි,අසරණයයි" මගෙ පුරස්ණෙට පැහැදිලි උත්තරයක් දීලා තිබුනා. ඉතිරි අඩු පාඩුවත් සැමා උගේ කොමෙන්‍ටු වගයකින් පුරවල ලියපන් කිව්වා. ඉතින් මම ලියනවා මෙලෝ රහක් ඇතත් නැතත් ලියනවා. ඉතින් එදා ඉදන් මේ අය මගේ විකාර කියවන්න සරාගේ ලෝකයට එනවා.

සෑම්,සෙන්නා,මහිම මදුරංග,නාකියා,අඩවි රජ,අවතාර්,රූ,Dinesh,Hasitha,තරුවා,අසරණයා,kushi,රොබින්,රෙප් මහත්තයා, සොදුරු සිත,වර්ණා, ජනු,‍රැංගෝ,තාරා,දූපත් වැසියා,මාතරේ,දසුනි, ඇයි දැන් බ්ලොග් අවකාශේ පේන්න නැති නිම්ශා නගා.

                   ඉතින් ඔයාලගෙන් මට ලැබුනු සහයෝගය ගොඩක් වටිනවා මට. බ්ලොග් එක පිලිවෙලට හදා ගන්න අවශ්‍ය ක්‍රම එහෙමත් මම ඉගෙන ගත්තේ ඔයාලගෙන්.ඉතින් යාලුවනේ ඒ හැම දේකටම ස්තුති කරන්නයි මේ.................... කියන්නම් හැමෝටම ජය....!!

Sunday, August 19, 2012

කියන කොට නම් අපි වැරදියි... (විදුලිය ගැන)




              උදේම නැගිටලා පුරුදු විදිහට රටේ විස්තර බලන්න හිතාගෙන, වාහිනී ටිකේ තියන නිව්ස් ඇහව්වා. එකෙන් එකට මාරුවෙන් මාරුවට එකම නිව්ස් එක කියවනවා, හැඩකාර ගෑණු දැරිවියෝ. ඉතින් ඕක අපි හැමදාම දකිනවනේ,අහවල් මගුලටද මූ ඒ ගැන පෝස්‍ටු ලියන්නේ කියලා ඔයාලට හිතෙන්නැති. ඔව් මටත් කියන්න කියන්න ඕන ඒ ගැන නෙමෙයි. හරි අපූරුකවි දෙකක් අහන්න ලැබුනා මට ඒ වෙලාවේ. කාලීන මාතෘකාවක් නිසාත් ගෙවල්වල ඉන්න අය හැම වෙලාවෙම මේ වැඩෙන් අපහසු තාවයට පත්වෙන නිසාත් මේ ගැන ඔයාලටත් කියලා ඔයාලගෙනුත් මේ ගැන හිතෙන දේවල් දැන ගන්න හිතුනා. කියවලා බලන්නකෝ මේ මුල් කවිය. මේක ලියලා තියෙන්නේ තලතා මැණිකේ කියලා කෙනෙක්ලු...  

නැලවෙන නමුදු ලොකු උදවිය සැපට   සැපේ  
පෑගෙන එවුන් දුක කියමින් පොලවේ    හැපේ 
මහ රාලගේ දේශන නම් හරිම               ඔපේ  
විදුලිය පැය තුනක් දැන් එක දිගට        කැපේ
             
               මම නම් දන්න දේශපාලනයක් නෑ. ඒත් මට තේරෙන එක දෙයක් තියනවා ඒතමයි ගොනා මාරු වෙලා තිබුනට තවම ඇදගෙන යන්නේ පරණ කරත්තෙමයි කියන එක. මම හැමදාමත් හිතනවා මහ ජනතාව මේ පීඩනයෙන් ගොඩ ගන්න අවංකව වැඩ කරන පිරිසක් මේ රට කරවන අය අතරට පත් වෙන්නේ කවදද කියලා. සමහර අය කියන කතන්දර ඇහෙන කොටමට හිතෙන දෙයක් තමයි ලංකාව කියලා තව රටක් තියනවද කියන එක. ඒත් ගූගුල් දෙයියන්ගෙන් ඇහුවම එතුමා තරයේ කියා ඉන්නේ තාම අලුතෙන් එකක් හොයාගෙන නැතිය තියෙන්නේ අර ඉස්සර ඉදන්ම තිබුනු "ඉන්දියන් සාගරේ මුතු ඇටේ" කියලා විරුදාවලිය ලත් එකම විතරය කියලයි. ඒක ඇහුනම මට අදෝ මුකයෙනුත් හිනා ගියා.
මම එතුමාගෙන් ඇහුවා තවමත් කවුරුහරි ඔය නම කියනවද කියලා. මට හරි අපූරු උත්තරයක් නොවැ එතුමා දුන්නේ.
කියනවා දරුවා කියනවා දැන් උන් තව අයන්න කුත් මුලට දාගෙන "අමුතු ඇටේ" කියලා කියනවා.

හරි ඒවා ඕන නෑ මේ තියෙන්නේ දෙවන කවිය. ලියලා තියෙන්නේ රෝසවතී කිවිදිය 


කරුවල කිය කියා දැම්මත් බොරු       සද්ද  
සන්ධානයත් ඒ ටික කෙරුවේ          නැත්ද  
මුදලාලිලට දැන් බොරවී ඇත          හොද්ද  
ගැල උනෙ විදුලි බල ගරු ඇමතිගෙ  රෙද්ද


මේ දවස්වල ඔය උත්තමයෝ හැමෝම රට වටේ යනවා නෙව.අපේ මහත්තුරු කවුරු හරි තරහ නැතුව පෝස්‍ටුවක ලියනවද ඇත්තටම මේ උත්තමයෝ තවමත් රෙදි අදිනවද කියලා. මම එහෙම කිව්වේ මීට ටික කාලෙකට කලින් එක උත්තමයෙක් අල්ලපු රටටත් විදුලිය දෙනවා කියලා පම්පෝරි ගැහුව බව මට මතක නිසයි. අපේ මිනිස්සු ඉල්ලන්නේ මේක කේතුමතී පුරයක් කරන්න කියලා නෙමේ දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් රටක් කියලා මේ උත්තමයන්ට තේරෙන දවසක් කවදා එයිද...........................................................................................??????????????????????


මේ කවි දෙක උපුටා ගත්තේ අම්බලමේ කවි මඩුව කියන පුවත් පත් විශේෂාංගයකිනි.

Thursday, August 16, 2012

විජාතික බලපෑම් හමුවේ නොසැලෙන අපේ හෙල ගී කලාව...

                



              වෙලාව 1.40 ට විතර. ටවල් එකත් අරගෙන බාර්ත් රූම් එකට රිංගුවේ හිතේ හැටියට නාගන්න. සීතල වතුර බිංදු ඇගට වැටෙන කොට මට අපූරු සිංදුවක් මතක් උනා. එඩ්වඩ් ජයකොඩි මහත්මයගේ "දොඹ මලින් මලට රේනු සැලෙන" සිංදුව. මම ඉතාම කැමති ආරක ගීයක් නොවැ ඒ.පරිසර සුන්දරත්වය විතරක්ම නෙමේ ගෑණු ලමයින්ගේ රූ සෝබාව ගැනත් මොනවට වර්ණනා කෙරෙනවා මේ ගීයෙන්. ඉතින් මමත් කිව්වා කට ඇරලම. හැමදාම සිංදුවක් කියන්න හිතුනම මම යන්නේ බාර්ත් රූම් එකට නොවැ. මොකද එතනදි ප්‍රේක්ෂක පොරොතිචාර එහෙම බොහොමයි.

වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි 
රණ මොණර කිකිනි හඩින් වැයෙන තාලයයි
නව යෞවනේ පිපි මල් වනේ
රණ තිසර ලමැද සෙවනේ මධු සාදයයි..

                 මම මධුර මනෝහර ලෙසටම සිංදුව කියාගෙන යනකොටම විජාතික බලවේගයක් ක්‍රියාත්මක උනා. (මට හිතෙන විදිහට උන්ට හිතෙන්නැති කෑරලෙක් කෑගහනවා කියලා.) උන්ට තේරුනා හෙල ගී කලාව අද තියන තැන සහ මගේ ගායන හැකියාව.හෙල ගී කෙත අස්වද්දන්න මම දරන උත්සාහය උන් දැක්ක. මේවා මෙහෙම උනොත් භාරතීය සංගීත කලාවට යන කලක් නැති වෙනවා කියලා හිතෙන්නැති උන්ට.  ඒ නිසා උන් ක්‍රියාත්මක උනා.
               එක බාර්ත් රූම් එකකින් පටන් ගත්ත ඝෝෂාවට රූම් 12ක් විතර එකතු වෙන්න ගත උනේ බොහොම සුලු මොහොතයි. මේ විජාතික බලවේග ක්‍රියාත්මක වෙන්නේ තනියම නොවන බවත් උන්ට පන්දම් අල්ලන අපේ හෙන්චයියලත් ඉන්න බව මගේ තීක්ෂණ බුද්ධියට වැටහුනා. පසු බැස පලා යාම සිංහලයාගේ සිරිතක් නොවන බව ඔවුනට ඒත්තු ගැන්වීමට මේ හොදම අවස්ථාව නිසාම මම දිගටම ගායනා කලා. ඔයාලට කියන්න නැවැත්තුවේ අර අන්තිමට වදින සිම්බල් පාරත් කටින්ම ගහලයි.
               එලියට එන්න ටවල් එක අදින කොට මට හිතුනා මේවා මෙහෙම වෙන්න අරින්න හොද නෑ,විදේශ වලින් අපේ පුංචි රටට රටේ "ස්වෛරීභාවයට,භෞමික අඛන්ඩතාවයට, ස්වාධිපත්තියට, හෙල ගී කලාවට, අරකට මේකට වෙන අලකලංචි වලට අපි විරුද්ධ වෙන්න ඕන, ඒ වෙනුවෙන් මොනවා හරි කරන්නෝන කියලා.
බලන්න මිත්‍ර වරුනි ටවල් එක ඇන්දම මට හිතෙන දේවල්. ගලවල ඉන්න කොට මොනවා මොනවා හිතෙන්නැතිද නේද.?
                එකතු කොරා කොනක ඉදන් ටවල් සේරම ගෙනත් එල්ලුවා කාන්දන් මලයගේ සැලූන් එකේ. කාලා වරෙවුකෝ දැන්.ටවල් හොයන්න එන්න වෙන්නේ හෙලුවෙන්නේ. එවුවා වලංගු නෑ මේ සෞදියේ.
හික්..හික්...!!!

මගේ පාඩුවේ මම ආවා රූම් එකට.
              
අම්මට*&*&* කොයි &රියද යකෝ ටවල් ටික එකතු කරගෙන ගියේ.!!

හරියට හරි ඔය ඇහෙන්නේ ජාතිය අමතනවා. ඕකුන්ට හොද වැඩේ. මම හැරිල වත් බලන්නේ නෑ. දේශ ද්‍රෝහියෝ,කුමන්ත්‍රන කාරයෝ, නොර‍ටුන්ට  පන්දම් අල්ලන හෙන්චයියෝ...භංගවේවා!!!


ඉතින්...
නිවාඩුවක් හම්බ උනා
එක දිගට දවස් හයක
මොනවද කරන්නේ...

ඉස්සරනම්.......
බොනවා යාලුවෝ එක්ක
රවුම් ගහනවා රට වටේ
මොනවයින් අඩුවක්ද
හිතට මොන බරක්ද....

ඉතින් ඇයි දැන් බැරි
පවුල් බර නිසා නොව
පියෙක් වූ නිසා නොව
පොරොන්දු වී ඇති නිසා ඇයට
කිසිදා නොබිදින්න ඒ
'විශ්වාසය'


ප/ලි     අදනම් ලියනවා පෝස්‍ටුවක්. එලිවෙන්න පැයකට හරි කලින්.