Wednesday, October 31, 2012

ඒ හොල්මනක්මද....?







                     වෙලාව සවස හය පසුවී විනාඩි හතලිස්පහක් පමණ වන්නට ඇත. ස්ථානය කොටියන්ගොඩ කන්දේ සිට එපිටවල දක්වා දිවෙන මාර්ගයේ අඳුරු වන ලැහැබක් මැද හතරමං හන්දියකි. ඉර අවරට හැරී බොහෝ වේලාවක් නොගියද මාවත අඳුර ගිලගෙන තිබුනේ ඉතා උස්වූ ගස් සහිත වනය නිසාවෙනි. පැරණි සොහොන්කොත් වලට ඔබ්බෙන් වූ ගොරකා ගස පරිසරයේ අඳුර වැඩි කිරීමට අත්වැල් සැපයූවාසේය. මේ අඳුර මැදින් ඉදිරියට ඇදෙන ජවසම්පන්න තරුණයෙකි. ඩෙනිම් කලිසමකින් හා ඩෙනිම් රෙද්දෙන්ම මැසූ කමිසයකින් සැරසී සිටි ඔහුට වැඩෙමින් තිබුන ඝන අඳුර ගනිච්චියක් නැතිසේය. රාත්‍රියේ තනි ගමන්වල නුහුරුවක් ඔහුගේ මුහුණේ නොවුනු අතර සිහින් හඬින් ගීයක් මුමුණමින් ගමනෙහි යෙදුනි.

                          නිවසින් කිලෝ මීටර එකහමාරක පමණ දුර පාගමනෙහි යෙදී තිබුනද කිසිඳු විඩාවක් ඔහු කෙරෙන් දිස් නොවූයේ ක්‍රියාශීලී තරුණයෙකු නිසාම විය යුතුය. හතරමං හන්දියට මීටර් කිහිපයක් තිබියදී කළු බල්ලෙකු පහළ සිට උඩහට පාර මාරු වෙනවා තරුණයා දු‍ටුවේය. "සිරිල් මාමලගේ බල්ලා" ඔහුගේ සිත අනුමානයක් ගොඩ නැගුවේ වැඩෙමින් තිබුන අඳුර ඔහුට පැහැදිලි දර්ශනයක් නොදුන් නිසාවෙනි. එහෙත් පුදුමයකට කාරණයක්ද එහි විය. බල්ලා ඇදුනු මාවත කෙලවර වන්නේ වත්තබඩ හේනේ සිරිල් මාමලාගේ ගෙදරිනි. ඒ ගෙදර නාඹර තරුණියන් දෙදෙනෙකුද වේ. මේ තරුණයා ඒ කෙල්ලන් දෙදෙනාවද එහි සිටින බල්ලාවද හොඳින් හඳුනයි. තමා දු‍ටු කිසිවිටෙක නිකමට හෝ "බුහ්" ගාන්නේ නැතිව බල්ලා ඉවතට යන්නේ නැතිබව මොහු ඉන්තේරුවෙන්ම දනී. "සමහරවිට ඌ මාව දකින්න නැතුව ඇති"  සැකයේ වාසිය විත්තියට දෙමින් ඔහු සිතින් තවත් අනුමානයක් ගොඩනැගීය.

                             මේවන විට ඔහු හතරමං හන්දිය පසුකරමින් සිටියේය. ඉදිරියෙන් ඇත්තේ කුඩා දොලපාරක් හරහා ඉදිවුනු බෝක්කුවකි. දෙපසින් ඝනව වැඩුනු බට පඳුරු රාශියකින් ගැවසීගත් දියදහරෙහි හඬ පරිසරයට එක්කලේ ගුප්ත බවකි. හදිස්සියේම බටකැලය මැදින් මතුවූ බල්ලා නැවත පාරෙන් අනෙක් පසට (පහලට) ගමන් කලේය. මේ දොල පාරත් තරුණයාත් අතර මැදිනි. මෙවර බල්ලා තරමක් විශාලවද පැහැදිලිවද පෙනුනේ තරුණයා හා බල්ලා අතර වැඩි දුරක පරතරයක් නොවුනු නිසාය. බල්ලා  බට පඳුරු අතරින් මතුවන විට හෝ අනෙක් පස බට පඳුරු අතර නොපෙනී යනවිට කිසිඳු හඬක් නොනැගින.

"මේකා නම් සිරිල් මාමලගේ බල්ලා නෙමෙයි. ඌ මෙච්චර ලොකු නෑ..!" තරුණයා තමාටම මුමුණා ගත්තේය. (මම නොදන්නවයෑ ඒ ගෙදර ඒවයේ සයිස් එක. ඒ වචන සැට් එක කතාවට අදාල එකක් නොවේය. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවාට විය යුතුය.) 

                           ඔහු බෝක්කුවද පසු කරමින් ගමනේ යෙදෙන්නේය. ඊලඟ නිමේෂයේ සිදුවූදෙය ඔහුගේ ඇඟ ලොමුදැහැ ගැන්වීමට සමත්විය. අර බල්ලා නැවතත් වරක් බට කැලය තුලින් මතුවී තමාට ඉදිරියෙන් පාර හරහා ගමන් කරන්නට වීය. තරුණයා සමීපයෙන්ම වීද බල්ලාට එය ගානක් නැති සේය. මෙවරනම් සම්පූර්ණයෙන්ම කළු ලෝමයෙන් ගැවසීගත් උගේ ශරීරය පෙර දෙවතාවටම වඩා විශාලයැයි ඔහුට සිතින. තද කළු පැහැවූ උගේ ලෝම ඉතා දිගු විය.හයාගත් මුවක් නොවුවද, උගේ පෙනුමෙහි ගුප්ත මෙන්ම රෞද්‍ර බවක් විය. විදුලියක් කෙ‍ටුවා වැනි හැඟීමක් සිරුර පුරා විහිද ගියද ඒත් සමඟම තමා මෙතරම් සමීපයේ සිටයදී පවා ඒගැන තැකීමක් නොකර ගමන් කිරීම පිළිබඳ ක්ෂනික කෝපයක් තරුණයා තුල ඇතිවිය.

                          ඉද්ද ගැසුවාක් මෙන් වම් පාදයේ නැවතුනු ඔහු සිරුරේම ශක්තිය සිය දකුනු පාදයට යොමුකර මදක් නැවී මරු පහරක් බල්ලා වෙතට එල්ල කලේය. එක්තරා ආත්මාරක්ෂක සටන් කලාවක නිපුනයෙකු වූ ඔහුගේ මේ ප්‍රභල ප්‍රහාරයෙන් ගැලවීමට සමර්තයෙක් වේනම් ඒ ඉතා අල්ප වශයෙනි. එහෙත් සිදු වූයේ අනිකකි. පා පහර බල්ලාට වදිනු වෙනුවට බල්ලා විනිවිද ගියාමෙනි. අදහාගත නොහැකිවූ සිදුවීම නිසා ඔහුගේ මුවින් අව්‍යක්ත හඬක් නැගින. සැනින් ඔහුගේ සුරත නිතරම තමා සන්තකයේ වන කුඩා පිහිය වෙත ගියේය. (ඔහු තමන් විසින්ම පුරුදු පුහුණු වන එක්තරා ක්‍රීඩාවක නිරත වන්නෙකි. ඒ නම් දුරක සිට ඉලක්කයට පිහි විදීමයි. ඕනෑම ඉරියවුවක සිටිමින් අඩි තිහ හතලිහකට වඩා දුරක සිට ඔහුට වේගයෙන් ඉලක්කයට පිහි විදීමේ හැකියාවක් ඇත. තමාගේම හැකියාවෙන් ඉතා හොඳ වානේ වලින් සාදාගෙන ඇති මෙම පිහියේ මිට නිමවා ඇත්තේ ඊයම් වලිනි. ඒ අවශ්‍ය තරමට බර සිටීමටය. අඟල් හයකට වඩා දිග නැති මෙම පිහියේ මිටේ තරුණයාගේ නමද කොටා ඇත. ) තමා නිවසින් පිටවන මොහොතේ කුඩා ටෝච් එක (විදුලි පන්දම) හා පිහිය සාක්කුවට දමාගත් බව මතක ඇතත් දැන් එය එහි නොවීම ඔහු තුල කුකුසක් ඇති කරලීය. කුඩා විදුලි පන්දම පමණක් සාක්කුව තුල විය. මොහොතක් නැවතුනු ඔහු බල්ලා බට පඳුරු අතර නොපෙනී යන අයුරු බලා සිට නැවත ගමන් ඇරඹූයේ තමා එනතෙක් හන්දියේ මඟ බලා සිටින තම නැගණිය සිහිවීමෙනි.    

ප/ලි: 

                          දින කිහිපයකට පසුව ගම්වැසියෙකු කුඩා පිහිය තරුණයාට ගෙනවිත් දුන්නේ එහි ඔහුගේ නම සඳහන්ව තිබුනු නිසාය. විස්තර විමසූවිට ගම් වැසියා කියා සිටියේ අසවල් තැන (ඉහතකී සිද්දියවූ තැන) තිබී තමා ඇහිලූ බවයි. එහෙත් එතනදී පිහිය වැ‍ටුන ආකාරය තරුණයාට අදටත් ගැටළුවකි.  

ප/ප/ලි: 

                          අපට නොතේරෙන විශ්වාස කල නොහැකි සිදුවීම් හිනාවෙන් හෝ අවඥාවෙන් බැහැර කිරීමට අප පුරුදු වී සිටිමු. එහෙත් අප ජීවත් වන පරිසරය තුල ඇසට නොපෙනෙන හෝ සවනට නෑසෙන ශක්ති ප්‍රභවයන් රාශියක් තිබෙන්නට පුළුවන. හඳුනා ගත නොහැකි නිසාවෙන්ම එවන් දේ නැතැයි කීමට අපට හැකියාවක් නැත්තේය. විශේෂයෙන්ම කැලෑ ආශ්‍රිත ගම්මාන වල මේ තත්වය බහුලව දැකිය හැකිය. ඒ ගම්මුන්ගේ නොදියුනු බවයැයි මමනම් කිසිවිටෙකත් නොකියමි.

භූතාත්ම වල ශක්තියෙන් ඔවුන්ගේ අණකිරීම් මත අරුම පුදුම දේවල් කල ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන තොරතුරු ඊලඟ ලිපියෙන් ඔබ වෙත.   ගෙහුං එඤ්ඤං..!!




Monday, October 29, 2012

කදිර සුරිඳු.... (සරාගේ 50 වෙනි ලිපිය)


                              


              විජයාවතරනයෙන් පසු ලක්දිව බෞද්ධයන් බ්‍රාහ්මණ හා වෛදික විශ්වාසයන් කෙරේද නැඹුරුවක් දක්වන්නට විය. ඒ නිසාම දෙවියන් ඇදහීම දේවාල ඉදිකිරීම ඉතිහාසය ආරම්භය තෙක්ම විහිදයයි. මුල් යුගයේ මෙසේ හමුවන දෙවිවරු පොලොන්නරු, දඹදෙනි, කොට්ටේ යුගයන් වනවිට විවිධ නම් වලින්ද සමහරවිට එකම නමකින්ද හැඳින්වින. උදා: ශක්‍රයා ඉන්ද්‍ර දෙවියන් බවට පත්වීම. බෞද්ධ හින්දු වශයෙන් වෙන්නොකොට එකම දෙවියෙකු වශයෙන් වූ ජන විශ්වාසයද හේතු වශයෙන් දැක්විය හැකිය.

               ඉතිහාසය විවිධ මත පළ කලද වැඩි දෙනාගේ විශ්වාසය කතරගමට අධිපති ස්කන්ධ නොහොත් කඳ කුමරු බවය. ස්කන්ධ කුමාර උත්පත්තිය පිළිබඳවද විවිධ මත පවතී. හින්දු පත පොතට අනුව ඔහුගේ දෙමාපියන් ශිව හා පාර්වතීය. එහෙත් රාමායණයේ සඳහන් වන්නේ පියා අග්නි හා මව ගංඟා ලෙසය. ස්කන්ධ කුමාර මව් කුසින් උපන්නෙකු නොවන බවට තවත් තැනෙක සඳහන් වේ. එහෙත් අසුරයන්ට එරෙහිව සුර හමුදාව මෙහෙයවූ සේනාධි නායකයා මොහුය. තාරක නැමැති අසුරයා විනාශකල බැවින් තාරකජිත් යන නමද මොහුට වේ. පැරණි පතපොතට අනුව ස්කන්ධ කුමාර උත්පත්තිය ගැන කියවෙන එක් කතාවක් මෙසේය.
              ශිව දෙවියා දැඩි වෘත අනුගමනය කරමින් තවුස්දම් පිරීමේ නිරතව සිටියේය.පාර්වතිය කෙතරම් උත්සාහ කලද ඔහුගේ සිතෙහි රාග චේතනා ඇති කිරීමට නොහැකි විය. එහෙත් සුරයින් මේ දෙදෙනාගේ දරුවෙකු අපේක්ෂාවෙන් සිටියෝය. මන්දයත් අසුරයන් පරාජය කලහැක්කේ ශිවගේ දරුවෙකුට පමණක් බවට මහ බ්‍රහ්මයා මත පලකොට තිබීම නිසාය. සුරයින්ගේ මේ පණිවුඩය ‍රැගෙන අග්නි දෙවියා ශිව හමුවට පැමිනියේය. ඔහු සුරබින්ට දරුවෙකු ලබා දෙන බවටත් ඒ දරුවා ලවා අසුරයින් පරාජය කරවන බවටත් පොරොන්දුව සිටි අයෙකි. අග්නි ශිව හමුවට යනවිට පාර්වතිය ශිව අසලින් නික්ම ගියා පමණෙකි. ඒබව දු‍ටු අග්නි පරවියෙකුගේ වේශයක් මවාගෙන ශිවගේ දරු බීජයක්ද ‍රැගෙන ඉගිල ගංගා නම් ගඟට ඉහලින් පියාසර කරන්නට විය. පරවියා දරු බීජය ගඟට හෙළුවේය. ඒ තුලින් ලස්සණ කුමාරයෙකු මතුවූ අතර නදියේ දිය කෙලිමින් හුන් කුමාරියන් සය දෙනෙකු මෙය දු‍ටුවෝය. සය දෙනම එකතුව මගේ පුතා, මගේ පුතා යැයි කියමින් පිලිවෙලින් කුමරාට කිරි පොවන්නට වන්නෝය. කිරි බීමට ඔහුට මුහුණු සයක්ම මැවින. පුරාවෘතයට අනුව ස්කන්ධ කුමාර පහළ වූයේ ඒ ආකාරයටයි. ඒ නිසා ඔහුට ෂට්මාතෘකා යන නමද ලැබී තිබේ. එපමණකුදු නොව, කාර්තිකේය, ශක්තිධර ගංගා පුත්‍ර සරඟු, ද්වාසකර, ස්කන්ධ තාරකජිත්, අග්නිභූ ගංගාජා, මහසේන, සේනාපති, සිද්ධසේන ඔහුට ඇති තවත් නම් කීපයකි. මෙසේ නම් පටබැඳීමට හේතුවූ කතාද පුරාණ ග්‍රන්ථවල සඳහන්වේ.

                ස්කන්ධ නොහොත් කඳ කුමරු ලෙස හැඳින්වීමට හේතු වූ කතාව මෙසේය. ඊශ්වර දෙවියන්ගෙන් මන්ත්‍රයක් ලබා ගැනීමට බස්මා නැමති අසුරයා 12 අවුරුද්දක් ඊශ්වරයාට දාසකම් කලේය. කාලය ගෙවුනු තැන බස්මා මන්ත්‍රය ඉල්ලා සිටියේය. මන්ත්‍ර බලය ඔහුට ලැබුන අතර එය ඉතා බලගතු එකක් විය. අතට මතුරා සතුරාගේ හිස මත අත තැබූ සැනින් සතුරා දැවී පිළිස්සී යන්නේය. අසුරයාට මෙහි සත්‍යාසත්‍ය තාවය බැලීමට ඇවැසි විය. ඔහු කලේ මන්ත්‍රය අතට මතුරා ඊශ්වරයාගේ හිසට අත තැබීමට උත්සාහ කිරීමයි. මන්ත්‍රයේ බලය දත් ඊශ්වරයා බියෙන් පලා යන්නට විය. බස්මාද ඔහු ලුහුබැදීමට විය. ඊශ්වරයාට සිදුව ඇති අලකලංචිය දු‍ටු විෂ්ණු ඔහු ගලවන්නට උපායක් සිතුවේය. වහාම රූමත් කාන්තාවකගේ වේශයක් මවාගත් ඔහු දෙදෙනා අතර මැද මාවත අසල ඔන්චිලි පදිමින් හුන්නාය. ඇයව දු‍ටු බස්මා ඊශ්වරයා ලුහුබැඳීම නවතා ඇය හා කතාවට වන්නේය. ඇගේ සුරතල් කතාවට ‍රැව‍ටුනු බස්මා ඇය තමාගේ අඹුව කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියේය. ඊට පිළිතුරු දෙමින් කාන්තාව කියා සිටියේ දිවි හිමියෙන් තමා රකින බවටත් කිසිදා හැර නොයන බවටත් හිස අත තබා දිවුරන ලෙසය. රාගයෙන් මත්ව සිටි අසුරයා හිස මත අත තබන සැනින්ම දැවී අළුවී ගියේය. මෙසේ විෂ්ණුගේ උපාය නිසා ඊශ්වරයා ගැලවුනි.

                නැවත පැමිණෙන ඊශ්වර තෙමේද ස්ත්‍රිය දැක ඇය හා කතාවට වැ‍ටුනි. ඔහුද ඇය හා විවාහ වීමට කැමැත්ත පලකලද එයට පාර්වතියගේ අවසරය ඇවැසි බව ස්ත්‍රිය කියා සිටියාය. ඊශ්වරයා වහා පාර්වතිය කරා ගොස් අවසර ‍රැගෙන එන පමාවට ස්ත්‍රිය දරුවෙකු ප්‍රසූත කර සිටියාය. ඊශ්වරයා ලඟට ආ කල ස්ත්‍රිය ඔහුට මෙසේ කීවාය. මට දැන් කුඩා දරුවෙකු සිටී. තව දරුවෙකු ලැබීමට ගර්භනීවද සිටිමි. ඒ නිසා එවන් ගැහැනියක් කැන්දාගෙන ඒම ගැන පාර්වතියගේ කැමැත්ත විමසා එන්න. ඊශ්වර නැවත පාර්වතිය කරා ගියේය. මෙසේ පැමිණෙන වාරයක් පාසා දරුවන් එකිනෙකා වැඩිවෙමින් හත් වන වර පැමිණෙන විටදී ඇය දරුවන් හත් දෙනෙකු උකුලේ තබාගෙන උන්නාය. එය දු‍ටු ඊශ්වරයා පෙරලා පාර්වතිය කරා ගොස් මේ බව දැන්වීය. මේ පුදුමය ඇසූ පාර්වතිය ඒකාන්තයෙන්ම මේ විෂ්ණු තම සැමියා ‍රැවටීමට යෙදූ උපායක් බව දැන ගත්තාය. ඒ නිසා ඇයද එතැනට ආවාය. දරුවන් හත්දෙනා දු‍ටු ඇය මොකදෑ අප්පේ මේ කුමාර කන්දක් කියමින්  කුමාරවරු හත් දෙනා බදාගත්තාය. සැනින් කුමාරවරු හත්දෙනා වෙනස්වී මුහුණු සයක් එක කඳක් හා පා දෙකක් ඇති කුමරෙකු පහළ විය. ස්කන්ධ කුමාර නම් වූයේ මොහුය.

                වදන් කවි පොතේ සඳහන් වන ආකාරයට කතරගම දෙවිඳුන්ට මුහුණු සයකි. අත් දොලසකි. වාහනය මයුරාය. ඒ අත් දොලසේ නානාවිධ වස්තූන්ද ‍රැඳී තිබේ. ඒවා පිලිවෙලින් මෙසේය. කෙටේරිය, දුන්න, හීය, පළිහ, පොත, හෙන්ඩුව, ත්‍රීශූලය, කඩුව, මුගුර, හක් ගෙඩිය, ‍තෝමරය හා සැවුල් රුව සහිත ධජය වේ.

කඳ කුමරුන් ලොව පහල වූයේ ඇයි....?
වල්ලි අම්මා හා තේවානි අම්මා යනු කවුරුන්ද...?
මේ පිළිබඳ අප ඉදිරි ලිපියකින් සාකච්චා කරමු..!
දීර්ඝ ලිපි නොලියන්නේ බහුතර පාඨකයන් පිරිසක් දීර්ඝ ලිපි කියවීමට දක්වන නොකමැත්ත නිසාවෙනි. ඔබගේ රුචිකත්වයද දන්වන්නේ නම් මැනවි.   

ප/ලි 

               මේ මගේ පණස්වෙනි පෝස්‍ටුවය. මීට මාස 7 කට උඩදී ඒ කියන්නේ 2012.4.26 මගේ මුල්ම පෝස්‍ටුව මම ලියනකොට කොච්චර කල් ලියනවද,මොනවා ගැන ලියනවද කියලා නම් නිනව්වක් තිබුනේ නෑ. හැබැයි ඔයාලා හැමෝම හැමදාම මගේ ලිපි කියවන්න ආවා. එහෙම එන හැම වෙලාවෙම මොනා හරි කියලා යන්නත් අමතක කලේ නෑ. ඒ නිසාම හැමදාම මොකක් හරි දෙයක් ගැන ලියන්න මටත් හිතුනා. ඒ නිසාම මේ වෙනකොට පෝස්‍ටු 50 සම්පූර්ණ වෙලා. මට ඇත්තටම සතු‍ටුයි. මට මුලින්ම බ්ලොග් කියවීම ගැන කියපු ප්‍රසාද් මල්ලියාටත් මම මේ අවස්ථාවේ ස්තුති කරන්න ඕන. එයා මේ ගැන නොකියන්න මේතරම් හිතවත්තු පිරිසක් මට ලැබෙන්නේ නෑ කවදාවත්.
              
                 ඉතින් මගේ ලිපි කියවමින් මට දිරි දුන් ඔයාලට මගේ ස්තූතිය පිරිනමනවා මේ වෙලාවේ. මුලින් මම ලිපි කියවමින් කොමෙන්ට් ලිය ලියා යනකොට මට බ්ලොග් ලියන්න ආරාධනා කරපු හැමදාම ලිපි කියවන්න එන ඒ හිතවතුන් ඇතුළු හැමදෙනාවම නැවත මතක් කරන්න අවස්ථාවක් කරගන්නවා මේක. මේ හිටියා වගේම ඉදිරියටත් මා එක්ක ‍රැඳී ඉන්නවනම් ඒක මට ලොකු ශක්තියක් ධෛර්යයක් කියලා කියන්න කැමතියි මම. ස්තූතියි....! ආයුබොහෝ වේවා....!!!   



    

Saturday, October 27, 2012

මට බැරි රචනාව සහ මී ඇට තෙල්





ඕං ළමයි සරා අද කියන්න යන්නේ මීයා ගැන හොඳේ.. ! මොකදෑ මේ කට්ටියගේ මූණු ඇද උනේ..? නෑ නෑ සරාගේ නෙමෙයි...!  මේ කකුල් හතරේ මීයෝ ඉන්නේ...කට්ටිය මහා කරදර කාරයෙක්ය කියලා හංවඩු ගහලා තියෙන්නේ.. ආන්න ඒ මීයෝ ගැන. බලන්න මේ කරුණු දැනන් හිටියද කියලා.මෙන්න මගේ මී රචනාව....................... 

                                                   මීයා 

                 මීයන් වර්ග ‍රැසකි. හික් මීයෝ, බ‍ටුමීයෝ, කොස් ඇට මීයෝ, ඌරු මීයෝ, වල් මීයෝ යනු ඉන් සමහරෙකි. හික් මීයෝ මෙන්ම කිසිම හිමීමක් නැති මීයෝද සිටින බව ඔබ දන්නවා ඇතිය. තවමත් නොදන්නා අයද සිටිය හැක. එහෙත් මට නම් කියාදිය නොහැක. සුදුසු කෙනෙකුන්ගෙන් අසා දැන ගන්නා ලෙස දන්වමිය. කොස් ඇට මීයා හා බ‍ටු මීයා වර්ග දෙකක් යැයි සිතමි. මුන් නම් මහා කරදර කාරයෝ බව සැබෑය. ඌරු මීයා කෘෂි කර්මාන්තයේ නිපුනයෙකි. කොන්ත්‍රාත් ක්‍රමයට ගෙවල් බිඳීමද කරයි. වල් මීයා නම් ඉන්නේ කැලෑවේය. නමට මීයා උනාට ඌ හරිම ලස්සණ සතෙකි. කුඩා මුව වර්ගයක් මෙනි. දලු කොල කන උගෙන් කිසිවෙකුට කරදර හිරිහැර නැත.

                       
                           දැකලා නැති කෙනෙක් ඉන්නවානම් ඕං බලාගන්ටකෝ. 

                 මීයන්ටත් ගමක් තියනවනේ, ඒකට තමයි ඔය මීගමුව කියන්නේ. මේ මීයෝ ඉඳලා හිටලා දුම් පිට කරනවා. ඒවට නොවැ අපි මීදුම් කියන්නේ. මීයාට අයිති ගසුත් තියනවා. හැබෑට මොනවද ඒ...? ඇයි ආයිබොවන් මීගස්. එව්වා මීයන්ගේ නොවැ.      නොසලකා හැරියට කරදරයි කිව්වට මීයන්ගෙන් අපට ලැබෙන ප්‍රයෝජනත් තියෙනවා. දැනන් හිටියේ නෑනේද ඒ ගැන. ඇයි යාලුවනේ මී කිරි, එතකොට මීපැණි, මී ඉටි, මී ඇට, හා... කවුද ඕවා අපට දෙන්නේ. මීයෝ මීයෝ..!!! හුටා තව ඩිංගෙන් අමතකත් වෙනවා. ඕනම දේ ලියලා නෑනේ. ඒ තමයි මීතෙල්. ඔය මීතෙල් කියන්නේ බොහොම වටින ඖෂධයක් නෙව හංදිපත් අමාරු වලට එහෙම. ඒ විතරක් නෙමේ සතුන්ට වෙදකම් කරන්නත් මීතෙල් යොදා ගන්නවලු. විශේෂයෙන් හරක්ට. ඕවා ගන්නත් අපූරු කෙරේමයක් තියෙනවා.

                 දැනගන්නත් එක්ක මම ඒකත් කියන්නම්කෝ. මුලින්ම ඉතින් මීඇට එකතු කරගන්න ඕන. (මෙතන මම මීඇට කියන්නේ ගස් වලින් වැටෙන මී ඇට වලටය කියලා අවධාරනයෙන් මතක් කරමි.) ඊට පස්සේ අව්වේ දාලා හොදින් වේලනවා. වේලාලා අහක වනේ දාලා කොටනවා. මොකේටද දාලා කොටනවා කිව්වේ.... ? වංගෙඩියට ආයිබොවන් වංගෙඩියට. මතක තියා ගන්න හොඳට කුඩු වෙන්න කොටන්න ඕන. මෙහෙම වෙලාවට කුල්ලකුත් අපිට යොදා ගත හැකියි. කෙටෙන කෙටෙන ටික පූ කර කර ලොකු කෑලි අයින් කරන්න පුළුවන් නෙව කුල්ලෙන්. හොදින් කෙ‍ටුනම අපි මේක තම්බ ගන්නවා. කොහොමද තම්බන්නේ...? මුට්ටියකට දැම්මා වතුර ටිකකුත් දැම්මා ලිපෙන් තියලා ගින්දර දැම්මා, එහෙමද..? නෑ.. මේ වැඩේ එහෙම කරන්න බෑ. මේක තම්බන්නේ වාෂ්පෙන් මේ විදිහට ගැජ මැටික් එහෙකින්. විශාල ප්‍රමාණේ මුට්ටියක් අරන් ලිපේ තියලා ඕකට වතුර පුරෝනවා තුනෙන් දෙකක් විතර වෙනකම්. ඊට පස්සේ ඊට මදක් කුඩා මුට්ටියක් අරන් අඩියේ තරමක් විශාල සිදුරක් හදාගන්නවා. (අල්ලක් තරම් විතර). ඒක තියනවා කලින් මුට්ටිය උඩින්,තියලා මුට්ටි දෙක අතරේ මැටි ගාලා හොඳින් සම්භන්ද කර ගන්නවා. දැන් පෙනේර දැලක් හෝ ඒ සමාන දැලක් අරගෙන මුට්ටිය ඇතුලේ රඳවනවා. එහෙම රඳවපු දැල උඩට කොටා ගත්ත මී ඇට කුඩු දානවා.
                    
                 ඔය තියෙන්නේ ගැජ මැටික් එක. උඩින් තියෙන මුට්ටියේ අඩිය හිල්කරලා තියෙන්නේ කියලා අමතක කරන්න එපා. දැන් ඉතින් හොඳට ගින්දර දාමින් තම්බන්නයි තියෙන්නේ. තම්බලා ඉවර උනහම තව වැඩක් තියෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. තම්බා ගත් මීඇට අපි පැසකට දානවා. හැබෑට මොකක්ද මේ පැස කියන්නේ. මේක හදන්නේ බට පතුරු වලින් හරි වේ වැල් වලින් හරි. මල්ලක් ආකාරයේ එකක් හැබැයි ප්‍රමාණයෙන් ටිකක් දිගයි. එහෙම මීඇට දාපු පැස තව අපූරු උපකරණයකට හයි කරනවා.ඒක හදලා තියෙන්නේ ලොකු කනුවක් හිටවලා ඒ කනුවට ඝනකම ලෑලි දෙකක් හයි කරලා.  මේ ලෑලි දෙක ඈත් කරන්න ලං කරන්න පුළුවන්. ඉතින් අපි මේ මීඇට පුරවපු පැස අර ලෑලි දෙක මැදට තියලා, ලෑලි දෙකේ නිදහස් කෙලවර වල් දෙක කිට්‍ටු කරනවා. හැබැයි ඉතින් ඒක කරන්න අමාරුයි මොකද අර මීඇට මල්ල මැද හිර වෙනවනේ.  
       
                   
                ඕකට අපූරු වැඩක් කරතහැකි. ශක්තිමත් ලණුවක් හරි වැලක් හරි අරගෙන මන්දක් හදා ගන්නවා. (දෙකෙලවර ගැට ගැසූ වලල්ලක්.) ලෑලි දෙකේ නිදහස් කෙලවරට දානවා. ඊට පසුව ශක්තිමත් ලීයක් මන්ද ඇතුලෙන් දාලා දෙකෙලවරෙන් අල්ලන් කරකවනවා. එතකොට මන්ද දඟ කැවි කැවි ලෑලි දෙක හිර වෙනවා. පැස හිරවෙනකොට තෙල් යටින් බේරෙන්න පටන් ගන්නවා. හොඳයි නේද ක්‍රමේ. ඔය වැඩේ සෙක්කුවෙනුත් කරන්න පුළුවන්ලු. එතකොට නම් කොප්පරා හිඳින ක්‍රමයට වෙන්නැති.

               හොඳයි ළමායි.. අපි බලමු කවුද සෙක්කු දැකලා තියෙන්නේ කියලා..!! හැබැයි මම මේ කියන්නේ අංගපුලාවකට නැති කෙල්ලෝ ගැන නෙමේ ඕං..! උන්ටත් පැරන්නෝ සෙකුව කියලා කියනවා නොවැ. එවුවා ඕන නෑ මේන් නියම සෙක්කු
                           

                           
                                                           ඔය තෙලුත් හිඳින්නේ.

           අද පෝස්‍ටුවටනම් අත හිත අපේ අම්මාගෙන්...! අපේ අම්මා කිවුවේ නංගිබබාගෙයි මගෙයි. ක‍ටුවටත් නැති වහල්ලට නැති අසමජ්ජාතියෙක් වෙච්ච මට එයා එයාගෙම දරුවන්ටත් වඩා ආදරෙයි. ඊයේ එයාට මම ස්කයිප් එකෙන් කතාකරපුවහමයි මේ කරුනු ටික අහගත්තේ. එයා ගැන මම ලඟදිම ඔයාලට කියන්නම්කෝ.


තව එකක් මේ ජාතියේ සෙක්කුවක් අපේ කිරි අම්මලගේ ඉඩමෙත් තියෙනවානේ. දැන් නම් ඒවගෙන් තෙල් හිඳින්නේ නෑ. මේක නව සහශ්‍රයලුනේ ආයිබොවන් ඒක නිසා.

ගෙහුං එඤ්ඤං...!!



Friday, October 26, 2012

රොටී ප්‍රශ්ණය.... (සරාට වෙන වැඩ)




                       ඒ 1990 දශකයේ එක්තරා වර්ෂයක වස්සාන කාලයකි. දිනෙක සරාගේ මව,පියා,නැගනිය යම් කිසි කටයුත්තකට බැහැර ගොසිනි. සරාද අවලමේ ගොස් ගෙදර ආවේ උගේ කූටාලියෙක්ද කැ‍ටුවය. ගෙදර එනවිට එහි කිසිවෙකුත් නැති. ලූලා නැති වලේ කණයා පන්ඩිතයා වන්නාසේම කිසිවෙකුත් නැති ගෙදර ගෘහ මූසලයා සරාය. ඒනිසා ආගන්තුක සත්කාරද ඔහුම කලේය. වැස්ස ගැනයි, ගමේ කැකුලියෝ ගැනයි සාල පොජ්ජේ ඉඳන් කතා දමන සුනංගුවට හෝරා පොජ්ජ මංගච්චලා කියලා ගනිච්චියක් ආවේ සුදහගින්දර ආවාම ඕං.  සරා මුළුතැන්ගෙට වැද පරීක්ෂා කලද ම්හු.. කෑමට යමක් සොයා ගත නොහැකිවිය. මවට කෑම සෑදීමට හෝ නැතහොත් සරාව හෝ අමතකව ගොස්ය. කෑම මේසය මත වෑංජන දීසි කීපයක් පමණක් ඇත. වැසි දවස් නිසා ඒවාද සීතලව ගොසින. බේකරියට ගියානම් උනු පාන් ගේන්න තිබුනා..

කොහෙද මේ මරවැස්සේ තෙමෙන්න පුළුවන් කාටද..?
සරා තමාටම කියා ගත්තේය.සුන්වූ බලාපොරොත්තු සමඟ ආපසු හැරුනු සරාගේ උකුසු නෙතට හසුවූයේ කුස්සියේ මුල්ලක තිබූ දෙල් ගෙඩි කීපයකි.
යෙස්... දෙල් මාළුවයි රොටියි...!
ඌට ඉබේම කියවිනි. දෙල් වෑංජනත් සමඟ උනු උනු රොටී සුවඳක් ඔහුට ඇහෙනවා ඇහෙනවා මෙන් විය. මුළු තැන්ගෙයින් ඉවත්ව යහළුවා වෙත පිය නැගූ ඔහු තම අදහස මිතුරාටද කීවේය.
මචං නන්දෙ.. අම්මලා උයලා ගිහින් නෑ බං..!
දෙල් තියනවා අපි රොටී පුච්චමුද...?
අම්මට හුඩු නියමයිනේ බං දෙමු වැඩේ..!
ඉතින් අවුලක් නැතිය. යෝජනාව එකෙන්ම සම්මතය. දෙදෙනාම කුස්සියට වැදුනෝය. නන්දෙයා දෙල් සුද්ද කරන අතරේ මම පිටි ඇනුවෙමි. එයට යීස්ට් ස්වල්පයක්ද එකතු කලෙමි. එවිට රොටී සොප්ට් වෙනවාය. අම්මා එසේ කියාදී ඇත. පිටි අනන එක කරදර වැඩකි. වරෙක වතුර වැඩි වෙන්නේය,..පිටි ටිකක් දානවා... වරෙක පිටි වැඩි වන්නේය, වතුර දානවා. කෙමෙන් පිටි ගුලිය ලොකුවන්නේය. පෑ කාලක් පමණ ගෙවුන තැන පිටි අනා හමාරය. එහෙත් එය විශාල පිටි ගුලියකි. පිටි කිලෝවක් පමණ එකකි. ප්‍රශ්ණයක් නැත. පිටි පිපෙන්නට ඕනෑය. එතෙක් දෙල් මාළුව පිලියෙල කලහැක. ඒකත් ආවාට ගියාට කරන්නට බැරිය. අම්මගේ ටේස්ට් එකට ගත යුතුය. ඒ නිසා අතට අහුවෙන සියළුම කුලු බඩු වර්ග එයට හැලුවෙමි.

         දැන් හොද්ද නටනවාය. සුදහගින්දරට අපවද නැටවෙනවාය. මම රොටී තුනී කරන විට නන්දෙයා රොටී පිච්චීම ආරම්භ කලේය. කුසගිනි අධික බැවින් බාන බාන එක අපි කන්නට වීමු.


                                                       ඔය තියෙන්නේ රොටී පුච්චපු විදිහ.
     
           ප්‍රමාණය වරෙකට එකෙකුට භාගයකි. ඇතිලිය ලිපේ තියෙද්දීම අඩුවෙමින් පවතී. එය කොකටත් හොඳය. ලිපෙන් බානකොට අත පිච්චෙන්නේ නැතිය. අපි පරිස්සම ගැන සිතිය යුත්තේ ගින්දරත් සමඟ සෙල්ලම් හොඳ නැති නිසාය. පැයක් පමණ ගතවෙන විට ඇතිලියේ අඩිය පේනවාය. විශාල පිටි ගුලියද හමාරය. පිටි කිලෝ එකක් පමණ කොල්ලෝ දෙන්නා ගිලදමා අවසන්ය. ඉඳින් තවත් කුස්සියේ ‍රැඳී සිටීමට කාරියක් නැත. අපි සාලයට පැමිණ ගීතයක් රස වින්දෙමු.

         නැවත් මා අවදි වූයේ මාගේ දයාබර නැගනියගේ ටකරන් වොයිස් එකෙනි.
මොන කරදරයක්ද බං කන ගාව ඉඳන් ටකේ ගහන්නේ... පලයන්කෝ අහකට..!
ඉඳා... ඔච්චරටම නිදිමත නම් යනවකෝ කාමරේට මේ පොරෝහිතයක් අරගෙන...!
තොට මම.......!
               සිතිවිල්ල ක්‍රියාවට නැංවිය නොහැකිසේය. විනිසුරු අසල අසුනක පුවත් පතක් බලමින් සිටී. එබැවින් නැවතත් සැටියටම බර උනෙමි. ඒත් ඒ සුළු මොහොතකට පමනි. අම්මා පැමිණ මගේ කනෙන් අල්ලා ගත්තාය.
කව්ද කුස්සියේ යකා නැ‍ටුවේ....?
ඉතින් දීපංකෝ උත්තර.. නංගීගේ කට කනේය. උඹට දෙනවා මම තාත්තා මෙතන නැත්නම්... ඒ වචනවලට නොහැරුන මගේ සිතිවිලිය.

මොකාවත් නැ‍ටුවේ නෑ ඔහේ අපි රොටී හැදුවා... !
වරෙන් යන්න පෙන්නපං මට රොටී හදපු විදිහ.

ඇය මාව ඇදගෙන කුස්සියටම ගියාය. නැගනිය හා පියානෝද පසුපසින් වන්හ. යකෝ අසාධාරනේට ලක් උනේ මම. මේ සද්ගුනවත් දානපති ලින්ටන් මුදලාලිගේ එකම පුතා වෙච්ච මට අද උයාගෙනත් කන්න උනා. ඒත් මම වචනයක් වත් කිව්වේ නෑ. එහෙම එකේ මේ විදිහට කරන එක වැරදියි නේ. ඔන්න දැන් දැන් මටත් තදවීගෙනයි එන්නේ. ඒත් බොලව් මහාධිකරන විනිසුරු ඉදිරියේ කට අරිනවා කියන්නේ දත් නැතුව බත් කන්න වෙන සිද්දියක් බව දන්න නිසාම මුවින් නොබැන සිටියෙමි.

රොටී පුච්චන්න මේහැටි හැලිවලං ඕනද..?

එවර ඇය තාත්තා දෙසට හැරී විමසුවාය. ඇය අසූහාරදහසකටත් වඩා කෝප ගැන්වී ඇති සෙයකි. ඇගේ කතාවේ යම් සාධාරණයක් නොතුවාම නොවේය. දෙල් ඉවීමට හා රොටී සෑදීමට භාවිතා කල හැලි වලං,කැති, පොරෝ, මන්නා, උදළු, ගල් ඉනි ආදිය කුස්සිය පුරාය. නැවත එහි ඇතුළුවීමට නම් පැයක් පමණ පිරිසිදු කොට යුතුව ඇත.

බලන්නකෝ මූ කරලා තියෙන වැඩේ...!

අම්මා තවමත් සිතන්නේ තාත්තා තවමත් මෙය නොදු‍ටු බවද...? දෙවන වරටද පැමිනිල්ල යොමු කලේ ඒනිසා විය යුතුය.

ඔයාගෙනේ වැරද්ද..! ඇයි මට උයලා තියලා ගියේ නැත්තේ....? ඔයා කියන්නේ මේ වෙනකම් මම බඩගින්නේ ඉන්න ඕන කියලද..?

නිහඬතාවයේ අවාසි දන්නා මම නිදහසට කරුනු දැක්වීමි.

මහාධිකරණ විනිසුරු: කොල්ලට කන්න උයලා නෙමේද ගියේ...?  

පැමිණිල්ල: ඉක්මණට එන්නනේ ගියේ පරක්කු උනාට..!

මහාධිකරණ විනිසුරු: එහෙනම් තමුන්ලගේ වරද. ගමනක් යනකොට එන වෙලාව කියන්න බෑනේ. දැනගන්න ඕන ගෙදර ඉන්න එකාට කන්න හදලා තියන්න. ඒකට පුළුවන් විදිහට හදාගෙන කාලා තියනවා. ප්‍රශ්ණයක් නෑ, තමුන්ල දැන් ඔය සේරම අස් කරලා රෑට කෑම හදන්න ඕන තේරුනාද..?

විනිසුරු කට කොනකින් සිනහා වෙමින් පිටව ගිය අතර, විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරින. 

ගෙහුං එඤ්ඤං......!!!!



Thursday, October 25, 2012

ඖෂදීය ගුණ ඇති කිතුල් පිටි....




              පහුනු පෝස්‍ටුවේ කිතුල් මල් හදන හැටි කිවුවට කිතුල් ගහෙන් ගන්න එකම ප්‍රයෝජනේ ඕක විතරක්ම නෙමේ නේ කියලා මට හිතුන නිසා ඒ ගමන්ම මේ ටිකත් කියලා දාන්න හිතුනා.  අද අපි බලමුද රා ,පැණි, හකුරු හැර කිතුල් ගහෙන් ලැබෙන ප්‍රයෝජණ මොකුත් තියනවද කියලා. උත්තරය ඔව්. එහෙනම් මොනවද ඒ. ඇයි ආයිබොවන් කිතුල් පිටි.කිතුල් පිටි කියන්නේ බොහෝම වටින ඖෂධයක්. මදුමේහය නැත්නම් දියවැඩියාව තියෙන අයට මෙන්ම නිතර ක්ලාන්ත ගතියෙන් පෙලෙන්නන්ටත් කිතුල් පිටි කැඳ මාහැඟි ඖෂධයක් කියලයි ආයුර්වේද වෛද්‍ය මතය. හරි ඉතින් කොහොමද මේ කිතුල් පිටි ගන්නේ. මම කියලා දෙන්නම්.

                 මේ වැඩේට අපි ගන්නේ මල් හදන්න බැරි හා මල් නොහදපු කිතුල් ගස්. හොඳින් තෙලිජ්ජ ගන්න පුළුවන් උන කිතුල් වල පිටි නෑ පිටි තියෙන කිතුල් වල මල් හරියන්නේ නෑ. මුලින්ම අපි කිතුල් ගහ කපලා පලා ගන්නවා. මැද තියෙන මද කොටස (ඕකට කිතුල් බඩේ කියලත් කියනවානේ) කපලා ගන්නවා. එහෙම ගත්ත කිතුල් බඩ කුඩා කෑලි වලට කපලා වංගෙඩියේ දාලා කොටනවා. හොඳින් කෙ‍ටුනම වතුර භාජනයකට දාල කලවම් කරලා මිරික මිරික කෑලි තියන ඒවා අයින් කරනවා. ඊට පස්සේ කිරි ගොට්ටක ආධාරයෙන් වෙනත් භාජනයකට (තැටියකට හෝ එවන් පැතලි භාජනයකට) පෙරා ගන්නවා. ඊට පස්සේ පැයක් විතර හොලවන්නේ නැතිව තියලා තියනවා. එතකොට උඩ තියෙන වතුර පැහැදිලිවෙනවා. ඒ කියන්නේ පිටි සේරම යටට බැහැලා කියන එක. තවත් පැහැදිලි කරනවානම් පිටි භාජනේ අඩියේ මිදිලා. දැන් ප්‍රවේශමෙන් වතුර ටික අහකට පෙරනවා. ඊට පස්සේ අර මිදුන කොටස අව්වේ වේලනවා. හොදින් වේලුනහම මෙවා අතින් පොඩි කරන්න පුළුවන්. කැට ගතියක් නොහිටින්න පිටිවෙනවා.ඕන නම් ඉතින් පෙනේරයකින් හලා ගන්නත් පුළුවන්.ඊට පස්සේ ඉතින් බෝතල් වල හරි ටින්වල හරි දාලා තියාගන්න පුලුවන්.

                   ඔන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දැන් අපි අර වතුරේ කලවම් කරලා ලොකුවට තියෙන කෑලි සේරම අයින් කරලා කිරි ගොට්ටට පෙරලා වතුර ටික ගන්න කොට ඉතුරු වුන රොඩුවගේ කොටස තියනවා නේද. ඕක විසි කරන්න ඕනේ නෑ යාලුවනේ. ඕවා දාලා වැලිතලප ටිකක් හැදුවානම්... වාව්.. මාර රසයි ආයිබොවන්. මම කාලා තියෙනවා. 

                                                 කිතුල් පිටි කැඳ  
අවශ්‍ය ද්‍රව්‍ය:         කිතුල් පිටි,
                          පොල් ගෙඩියක කිරි,
                          සීනි හෝ පැණි,
                          ලුණු.

                   මුලින්ම පොල්කිරි සාස්පානකට දාලා ලිපේ තියනවා. ඒකට රස අනුව ලුණු සහ සීනි එකතු කර ගන්නවා. කිරි ටික කැටි ගැහෙන්න නොදී හැඳි ගාමින් පස්ස ගන්නවා. ඊට පසුව කිතුල් පිටි අවශ්‍ය පමණට ගෙන වතුර හෝ දිය කිරි ස්වල්පයක් සමඟ හොඳින් මිශ්‍ර කර ලිපෙහි ඇති කිරි භාජනයට දානවා. (අපි මෙහෙම කරන්නේ කෙලින්ම කිතුල් පිටි උතුරන කිරි වලට දැම්මොත් කැට ගැහෙනවා මිස කිරිත් සමඟ දිය නොවෙන නිසා.) මතක තියා ගන්න කිතුල් පිටි දැම්ම ගමන්ම මිශ්‍රණය ඝන වෙන්න බලන නිසා හොදින් හැඳි ගාන්න ඕන. මෙහෙම හැඳි ගාලා විනාඩි පහකින් විතර බාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මදක් නිවාගෙන බොන්නයි තියෙන්නේ. කාන්තාවන්ට එහෙම ඉතා ගුනයි කියනවනේ.
                 හැබැයි යාළුවනේ මේ වෙනකොට කිතුල් කියන ලේබලයෙන් ගොඩාක් කහල ගොඩවල් වෙලඳ පොලේ තියනවා. හරි දේ හොඳ දේ තොරලා ගන්න පාරිභෝගිකයා දැනගන්න ඕන. මටත් ඉස්තරම් කිතුල් හකුරු කියලා සීනි හකුරු විකුණන්න හදලා තියෙනවා මේ සිදාදියේ මුදලාලිලා. හිකිස්... අපි නොදන්න මොණර තැන්න. අපිව තම්බන්න මේකලගේ ලුණු ගොරකා මදි ඉතින්. ඒත් හුඟාක් මිනිස්සු ‍රැවටෙනවා. සිදාදියේ විතරක් නෙමේ ආයිබොවන් සිරිපා අඩවියේදිත් මට සීනි හකුරු හම්බවෙලා තියෙනවා. කූට වෙලෙන්ඳෝ හැම තැනම.  ඒත් ගම්බදව හොඳම දේ තියෙන නිසා උනන්දු උනොත් හොයා ගන්න බැරිනෑ.


එහෙනම් ගෙහුං එඤ්ඤං.....!!!




Tuesday, October 23, 2012

කිතුල් මල් හදන්නේ මෙහෙමයි...





                කිතුල් මල් හදන විදිහ, එහෙම නැත්නම් රා හෝ තෙලිජ්ජ ගන්න ආකාරය දන්න කවුරුවත් ඉන්නවද..? ම්හු... පේන්න නෑ වගේ නේද..? පැණි හෝ හකුරු කාලා තියෙන අය..? හ්ම්හ්.. ඔය ඉන්නේ ඇඹලයෝ වගේ හැමෝම..! අර සමහරු රා ඩිංගිත්තකුත් බීලා තියෙන හැඩයි. ඔය තොල කටත් ලෙව කන්නේ..! කාරියක් නෑ ආයිබොවං ඒවා එහෙම වෙන්නෝන. මම කියන්නම් අද කොහොමද මේ කිතුල් මල් වලින් රා හෝ තෙලිජ්ජ ගන්නේ පැණි හකුරු හදන්නේ කියලා. හැබැයි ඉතින් අරයගෙන් මෙයාගෙන් අහගෙන නෙමේ මගේම අත්දැකීම් තුලින්.

               මම ඉතින් කලකට ඉහත සිදාදියෙන් ගමට මංගච්චපු නගරං බට්ටෙක්ය කියලා ඔහේලා දන්නවනේ. කරදඬු උහ ගෙහුං ඉලංදාරියා වෙද්දි මම ඒ ඉසව්වෙන්ම කූටාලියෝ දෙන්නෙකුත් ජෝඩු කොරාන මේ කරුමාන්තේ කොරන ආකාරේ ඒ දෙන්නාගෙන් නිසියාකාරෙන් දැනකියා ගත්තා කියලා කලින් දොහක දොඩාපු වග මේ ඇත්තන්ට මතක ඇති මයෙ හිතේ. ඉගෙනගත්තා ඉතරක්ම නෙමේ ආයිබොවන් මල් කැපිල්ලත් ජයටම කොරා ඕං..! හැබැයි බාගෙට බාගයක් ගෙදරට හොරා. ඒ කිව්වේ ඔය පැණි හකුරු හදන්ටය කියලා ගෙදරට තෙලිජ්ජ ඩිංගිත්තක් ඇන්න ආවට රාගැන නම් මම කටේ කෙල බිම හලන්නේ නෑ. මොකෑ ඉතින් අපේ අප්පොච්චා මහා හපුයියා නෙව. ඔය හුලිජ්ජ බීපු යාමෙක උන්දැට හදි ගැහුනොත් හෙම අයේ කංස පාර දෙකක් දීලා බැද්දට උසික්ක කොරනවා මාව. ආයේ ඒකේ හෝදන්ට දෙයක් නෑ. අනික ඉතින් උන්දැගෙන් පාරක් කෑවොත් බොටකඳයා පතබෑවා හා සමානයි. හෙනං ඕං මම කතාව කියනවා.

                අපේ පලාතේ දෙවර්ගයකට අයිති කිතුල්ගස් තියෙනවා. එක වර්ගයක් සිහින්ව උසට වැඩෙන අතර අනෙක් වර්ගය වඩා උස නොයන කඳ මහත වර්ගයක්. මේ උස නොයන වර්ගයට නම් කියන්නේ රෑන කිතුල් කියලා. අනෙක් වර්ගයේ නම නම් මට මතකෙට එන්නේ නෑ. ඔන්න ඔහේ දන්නේ නෑ කියමුකෝ. කොහොම උනත් මේ කොට ගස්වල මල් හදන්න ගම්මු හරි කැමතියි ඒකට හේතු වශයෙන් පහසුවෙන් හැර ගැහීමට හැකිවීම හා වැඩි තෙලිජ්ජ ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති හැකියාව දක්වන්න පුළුවන්. එතකොට මොකක්ද මේ හැරගහනවා කියන්නේ, කොහොමද ඒක කරන්නේ...? මේ සඳහා යොදා ගන්නේ හීනි දිග රිටි හා බට පතුරු. මොර, දවට, කෙනෙහියා, වන ඉදල වගේ ලී වර්ග තමයි වැඩි වශයෙන් භාවිතයට ගන්නේ. හොදින් වැඩුන කිතුල් මලක් තියන ගහකට මේ රිටි තියලා බට පතුරු වලින් අඩි දෙකෙන් දෙකට වගේ පරතරයකට බඳිනවා ඉනිමගක ආකාරයට. රිට ගහට හේත්තුම වෙලා තිබුනොත් අල්ලන්න අපහසු නිසා රිටත් ගහත් අතරට කුඩා ලී කැබලි (කොට්ට) තියලා තමයි මේ විදිහට වරපට (බැම්ම) තද කරන්නේ.
                                         
              
ඔන්න ඔහොමයි කිතුලකට නගින්නේ.හැබැයි සරා නම් මොඩ් ගොවියනේ සරොම ඇඳන් ගස් නැග්ගේ නෑ කවදාවත්.කිතුල් ගහටත් ඩෙනිමම තමයි ඉතින්.හිකිස්..!!
               

                 මෙහෙම හැර ගහලා ගහට නැග්ගට පස්සේ තමයි බලන්න ඕන මල තලන්න (කැපීමට සුදුසු පරිදි සකස් කිරීමට) සුදුසු ප්‍රමාණයට වැඩිලද කියලා. දන්නවනේ ආවට ගියාට මල් තලන්න යන්න හොඳ නෑ. නියම ප්‍රමාණයට වැඩිලා නැත්නම් තලන්න සුදුසු කාලය එනකම් ඉවසිල්ලේ බලා ඉන්න ඕන. හදිස්සියට තලන්න ගිහින් අමාරුවේ වැටිච්ච කට්ටිය ගැන ඔය කොතෙකුත් අහන්න දකින්න තියෙන්නේ.D හරි හරි අපි අදාල මාතෘකාව ගැන කතා කරමුකෝ. වැඩුනු කිතුල් මලක අග මිරිකලා අපට අනුමාන කරන්න පුළුවන් මේ මල පදම් වෙලාද නැද්ද කියලා. හැබැයි මේ තියරිය වලංගු කිතුල් මල් වලට විතරයි. ඔහේලා ඔය අහල පහල තියෙන මල්වල අග මිරිකන්න ගෙහුං අමාරුවේ වැටිලා මට එහෙම දොස් කියනවා නෙමෙයි ඕං. හිකිස්..! මම මල් ගැන කතා කලොත් ඔහොමමයි. කියවෙන්නෙම වෙන වෙන දේවල්. කිතුල් මල ඝනකම හනසු කීපයකින් ආවරණය වෙලා තිබුනට අග කොටස තරමක් මෘදුයි. ඒ හරිය තදින් මිරිකනකොට එබෙන්නේ නැතිනම් ඒකට අපි කියනවා අග පිරිලා කියලා. එහෙම නම් ඒ මල කපන්න සුදුසු තත්වෙට වැඩිලා.

                ඊ ලඟට අපි බලමු කොහොමද මල කපන්න ඕන, මොනවද එකට භවිතා කරන ක්‍රම කියලා. මලක් කපන්න කලින් ඒක කපන්න සුදුසු ආකාරට හදා ගන්න එපායෑ. ඒ වැඩේට ක්‍රම කීපයක් තියනවා මේං ඒ ක්‍රම:
උන හැලීම, පිච්චීම, බේත් තැබීම හා තැලීම. හොඳයි අපි මුලින්ම බලමුකෝ කොහොමද උණ හලන්නේ කියලා. මොකද මම කිතුල් මල් හදන්න පහසුම ක්‍රමය විදිහට දකින්නේ මේ ක්‍රමය. මුලින්ම අපි කෙනෙහියා ලීයක් අරගෙන ඔලොම්බුවක් හදා ගන්නවා. එහෙම කිවුවට ඔය ගොල්ලෝ දන්න්වයෑ ඔලොම්බු ගැන නේද. මෙන්න ක්‍රමේ. අඩි පහක හයක විතර අමුලීයක් අරගෙන ඕක මැදින් දෙකට පලනවා. කරුවක් වගේ හිටින්න.අඩි එකහමාරක් විතර යටින් වැල් පොටකින් ගැටගහනවා දිගටම පැලෙන එක නතර වෙන්න.දෙපැත්තට ටිකක් ඇද්දම Yඅකුරේ හැඩේට තියනවා. ඕකට නෙව ඔය ඔලොම්බුව කියන්නේ. ඕක මලේ මැද හරියට තියලා අනෙක් පැත්ත ගහට තියලා මල හෙලවෙන්නේ පහතට නැමෙන්නේ නැති ආකාරයට තද කරගන්නවා. ඉන් අනතුරුව පිහියක ආධාරයෙන් අර හනසු එකින් එක ඉවත් කරලා මල නිරාවරණය කර ගන්නවා. ඊලඟට තිත්ත වැල් හෝ වල්ලපට්ට යොදාගෙන ඉති ගැටේ ලඟ ඉදන් පහලට මල හොඳින් වෙලා ගන්නවා මලේ මැදක් විතර වෙනකම්. ඔය කිවුවට අපි ඉතිගැටේ දන්නෙත් නෑනේ නේද. අවුලක් නෑ මම කියලා දෙන්නම්. ඔයාලා ගොඩක් අය කිතුල් මල් දැකලා ඇතිනේ නේද.



                  ඔය තියෙන්නේ නොදැකපු අයට බලා ගන්න කිතුල් මලක්. හැබැයි කිව්වට අමනාප වෙන්න කාරි නෑ ආයිබොවන් මේක නම් මහ කනා‍ටු කිතුලක්. මෙහෙම ඒවයේ මල් හදන්ට බෑ.ඔය රෑන් පටන් අරන් තියෙන තැනට නෙව ඉතිගැටේ කියන්නේ. හොඳයි අපි බලමු ඊලඟ පියවර.දැන් ඔය අපි වෙලා ගත්තේ රෑන් තියෙන කොටසනේ. මලේ කඳේ තියනවා සුඹුලු සහිත ආවරණයක් මේක සූරලා අයින් කරන්න පුළුවන්.හැබැයි ඉතින් මේක බොහොම සීරුවට කරන්න ඕන වැඩක්. මොකද මේවා හරියට කහනවා ඇඟේ ගෑවුනොත් ඉවරයි. හරි ඉතින් කොහොම හරි ඔය සුඹුලුත් අයින් කරලා මල් කඳ පිරිසිදු කරගෙන අපි ඊලගට කොල්ලන් කොලයි හුනුයි අතුල්ලනවා හොඳට මල් කඳ පුරාම.ඒක හොඳින් කහට පාට වැටෙනකන්ම. ඊට පස්සේ කොල්ලන් කෝ‍ටු කෑලි තුනක් අරගෙන ඒක මැදට හුනු පුරෝලා ගහනවා ඉතිහැටේ මුලට තුන් පැත්තකින්. ඊටත් පස්සේ ඕක අව්වේ දානවා තුන් වරුවක් විතර. විශේෂම කරුන තමයි මෙහෙම පදම් කරපු මලක් වැස්සට තෙමෙන්න දෙන්න හොඳ නෑ. වැරදිලාවත් තෙමුනොත් මල අල වෙනවා. ඒකියන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා.

                 තුන් වරුව අව්වේ දැම්මට පස්සේ අපි අර තිත්ත වැල්වලින් වෙලාගෙන ගිහින් නවත්වපු තැනින් පහලට තියෙන කොටස කපලා අහකට දානවා. ඕකට කියන්නේ අග කපනවා කියලා නොවැ. ඊට පස්සේ උදේට,දවල්ට හවසට අවිත් කපන්න ඕන හැමදාම. මල කපනවා කිව්වට අපි ඕක පිහියෙන් කොටලා කපන්නේ නෑ. බොහොම සියුම් ආකාරයට මල නොහෙල්ලෙන විදිහට මලෙන් තුනී කොටසක් විතරයි කපලා අහක් කරන්නේ. තුන් වරුව කපන කොට අපට මල් මූනතට කඳුල පුරනවා .ඒ තමයි තෙලිජ්ජ.  ඉතින් දවස් දෙක තුනක් ගතවෙන කොට අපි ඕකට මුට්ටියක් එල්ලනවා. උදේ එල්ලුවානම් දවල් යනකොට ඕකට තෙලිජ්ජ එකතුවෙලා තියනවා. ක්‍රමයෙන් කඳුල වැඩි වෙන බවක් පෙනෙන්න තියනවා නම් අදාල මුට්ටියේ ප්‍රමාණය වෙනස් කරන්නයි තියෙන්නේ. මොකද සමහර ගස්වල බෝතල් 25-30 තියෙන ඒවත් තියනවා, ඊට අඩු වැඩි වෙන වෙලාවලුත් නැතිවම නෙමේ. ඕක අපි පැණි හෝ හකුරු හදන්න ගන්නවා නම් එහෙමම ගෙනිහින් උනු කරන්නයි තියෙන්නේ. හැබැයි රා හදනකොට දවසක් දෙකක් ගහේම තියෙන්න අරිනවා. එතකොට භාජනේ අඩියේ මන්ඩි වගේ හැදෙනවා සුදු පාටට. එතකොට අපි කරන්නේ උඩ තියන තෙලිජ්ජ ටික අහකට හලනවා අර මන්ඩි ගතියට තියෙන ටික ඉතිරි වෙන්න. ඊට පස්සේ ඒ මුට්ටියම ආයේ ගහට එල්ලනවා. ඔන්න ඉතින් හවසට හරි ඊලඟ දවසට හරි යනකොට සුදට සුඉදේ පෙන දාන රාමුට්ටියක් තියෙනවා. හිකිස්..!! මොකද කියන්නේ... ගහමුද රා කට්ටක්..?

                ම්හු.. දැන් රා බුන්නොත් කියාගෙන ආව කතාව අහන්න පොලෝසියට යන්න වේවි. ඒ නිසා අපි බලමු දෙවෙනි ක්‍රමය නැත්නම් මල පුච්චන ආකාරය. මෙතනදිත් පලමුව කරන්නේ ඔලොම්බුවක් හදලා මල ස්ථාවරව තියාගන්න එක තමයි. හැබැයි කලින් වතාවේ වගේ හනසු ටික ගලවලා අයින් කරන්නේ නෑ. ඒවෙනුවට හොඳ ගිනිහුලක් අරන් මලේ මුල කොටස හොදින් පුච්චනවා. පුච්චන්නේ යටි පැත්තෙන්. ටිකක් නෙමේ මල ඇතුලෙනුත් භාගයක් විතර පිච්චෙනකන්ම අපි වැඩේ නවත්තන්නේ නෑ. නියම ප්‍රමාණයට පිච්චුනහම ප්‍රවෙශමෙන් කොපු එහෙම නැත්නම් හනසු ටික ගලවලා අයින් කරනවා. පස්සේ කලින් විදිහටම මල වෙලලා සුඹුලු අහක් කරලා හුනු ටිකකුත් ගානවා. මලේ තෙත ගතියක් එහෙම තියේ නම් විතරක් ටිකක් අව්වටත් නිරාවරනය කරනවා.ඒත් ඒක අවශ්‍යම නෑ. මේ කොයි ආකාරයෙන් හැදුවත් මල තෙමන්න නම් හොඳ නෑ.

               බේත් තියනවා කියන්නෙත් උන හලන ආකාරයටම මල සුද්ද කරලා, අර මම කලින් කිව්වා වගේ ඉති ගැටේ ලඟ සිදුරු තුනක් හදලා අපි කලින් සකස් කරගත්ත මිශ්‍රණයක් මේ සිදුරු තුලට ඇතුලු කරන එකට. ඒ සමඟම මල් ක‍ඳෙත් මේ මිශ්‍රණය ගානවා. මොනවද මේ මිශ්‍රණය සකස් කරන්න අපි යොදා ගන්නේ එතකොට. වල්ල දළු, හෝ කොල්ලන් කොල, හුනු, වියල් දුඹුලු, සහිඳ ලුණු ආදිය ගෙන දෙහි ඇඹුලෙන් අඹරලා තමයි මේ මිශ්‍රණය සදා ගන්නේ. අන්තිම ක්‍රමය තමයි මේ තලනවා කියන්නේ. මේ ක්‍රමයට මම නම් මල් හදලා නෑ. ඒ වගේම තලලා කිතුල් මල් හදන අවස්ථාත් දැකලා තියෙන්නේ අඩුවෙන්. එච්චරම සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වන්න නම් පුළුවන් කමක් නෑ. කරන්නේ නම් මෙහෙමයි. මේකෙදි හරක් ඇටයක් අරගෙන කිතුල් මලේ මුලට තදින් පහර දෙනවා. (ඕං ආයිබොවන් වැරදියට තේරුම් ගන්නවා එහෙම නෙමේ. මම මෙතන හරක් ඇටයක් කිව්වේ හරකෙකුගේ අස්ථියක් කියන තේරුමෙන් හොඳද.) මල ඇතුලතත් තැලෙන ආකාරයට. මේකත් තුන් වරුවක් විතර කරන්න ඕන. ඊට පස්සේ මල පිරිසිදු කරලා වෙලලා කලින් සඳහන් කරපු විදිහටම කපනවා. උණ හැලීමෙන්,  පිච්චීමෙන්, බේත් තැබීමෙන් ඔය සේරගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මල වැඩීම නතර කරන එක. නැත්නම් බාගෙට මරණ එක එහෙම නොවුනොත් මල කපන්න බැරි වෙනවනේ දිගටම. නිසි ප්‍රතිකාර කරලා මලක් හැදුවොත් තුන් හාර මාසයක් කපන්න පුලුවන්. සමහර ඊටත් වඩා කල් තියෙන මලුත් තියනවා.


                                      පැණි හා හකුරු සාදන විදිහ  

                   මම කලින් සඳහන් කරානේ රා හදන විදිහ. පැණි හෝ හකුරු සාදන විට අපි වැඩි වෙලා එකතුවෙන තෙලිජ්ජ ගහේ තියෙන්න අරින්නේ නෑ. ඒවගේම නිතර නිතර ගහට එල්ලන මුට්ටිත් මාරු කරනවා. එහෙම කරන්නේ තෙලිජ්ජ පැහෙන එක නතර කරන්න. යන්තම් හෝ ඇඹුල් උනොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ගේන තෙලිජ්ජ ගෙනා ගමන්ම පෙරලා උනු කරනවා. මේ පැණි, හකුරු හදන ගෙවල් වල එලියේ මඩුවක හෝ කොහේ හරි නිතරම දැල්වෙන ලිපක ලොකු තාච්චියක් (ඩොංගා තාච්චි) තියලා තියෙනවා. ගේන ගේන තෙලිජ්ජ මේ තාච්චියට එකතු කර කර ගින්දර දානවා. පැය 5-6 ක් හින්දනකොට පැණි පදමට එනවා. එතකොට ලිපෙන් බාලා ගත්තොත් කිතුල් පැණි. හකුරු හදන්න ඕනනම් තවත් හින්දන්නයි තියෙන්නේ. ඔය අපි කැවිලි පෙවිලි හදනකොට පත්පැණි වෙනකම් උනු කරන්නේ, අන්න ඒ ආකාරයට. කොහොමත් හැදි ගාන කොට අතට දැනෙනවා පැණි එක ඝනවීගෙන එනවා. ආන් එතකොට ලිපෙන් බාලා පොල් ක‍ටු වලට වක්කරන්න ඕන. විනාඩි දහයෙන් ලස්සන හකුරු පියන් ගලවන්න පුළුවන්.

                     කොච්චර හකුරු හදලා තිබුනත් මම කැමති හකුරු බෝල කන්න. ඒවා හදන්නේ හකුරු වක්කරලා ඉවර උනාට පස්සේ පැණි උනු කරපු තාච්චිය හූරලා නෙව. අපි ඔය ගමට ගිය මුල් දවස්වල පියසේන මාමා (මෙයා ගැන කලින් මම ඔයාලට කියලා තියනවා.) අපට හැමදාම මේ හකුරු බෝල ගෙනත් දෙනවා. ඒ පුරුද්දටද මන්දා ඉලන්දාරියා වෙලත් හකුරු බෝල කන පුරුද්ද මට අත හරින්න බැරි උනා.  

ප/ලි; 
                  මේ කතාව මම ඔයාලට කිවුවේ සරා දැන් විදේශිකයොත් එක්ක චිරිස් බිරිස් ගගා තාක්ෂණ ශිල්පියෙක් විදිහට වැඩ කොලාට කොම්පියුටර් ජිල්මාට් දැම්මට කැලෑ පොජ්ජට මංගච්චලා වැදි හූරොත් එක්ක උනත් හරි හරියට කතා දමන්ට, ‍රැහේ උන් එක්ක බැද්දේ රුකුල් ගාන්ට දඬුවැල් බාන්ටත් හැකියාව තියෙනවයි කියන්නේ කට කයි වාරුවට විතරක්ම නෙවෙයි කියලා කියන්නයි. මම ඉන්න හෝ හිටපු හැම තැනකදිම මම යමක් ඉගෙන ගත්තා. ඒක මගේ ජීවිතේට වැදගත් වෙයි කියලා හිතලම නෙමෙයි. අලුත් දෙයක් ඉගෙන ගන්න තිබුන ආසාවට. මේවා ඉගෙන ගෙන මොකටද අපි යනවයෑ ඕවා කරන්න කියන අදහස මට කවදාවත් තිබිලත් නෑ ඉදිරියේදි එහෙම හිතන්නෙත් නෑ. සමහරු මම කරන වැඩ දිහා බලලා මගේ වයස අහන්නේ එක පුද්ගලයෙක් මේ වගේ විවිද අංශ ‍රැසක දක්ෂකම් පෙන්වන්නේ කොහොමද කියලා විශ්වාසෙට ගන්න බැරිව වගේ. තනිකඩ සරාගේ වනගත ජීවිතය ගැන බැද්දේ සතා සීපාවා එක්ක උරුට්‍ටු අල්ලපු හැටි ගැන එහෙම ඉස්සරහට කියවන්න පුළුවන් වේවි.

එතෙක් ‍රැඳී සිටින්න....සරාගේ ලෝකය සමඟ.....!!!


Friday, October 19, 2012

බිනරමලීව මතකද...?






                  රන් ‍රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
                  තරු මුතුහර ගෙල පළඳා වලා සේල ඇඳ 
                  බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද 
                  පායාපන් මගේ පැලට පායාපන් සඳ 
                                                  වනසපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා 
                                                  ඇගේ ලඟත් හරියට ඒ පුසුඹ තියෙනවා 
                                                  පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා 
                                                  පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා  
                  බිනර මලී සිනාසුනා මතකයි යන්තම් 
                  මල්පෙති ඇමිනුවා වගේ වැලකට රන්දම්
                  නෙරිය තබා ඉඟ නලවන ගමනෙහි අන්දම්
                  හඳ පෑවුවා වගේ වැටට උඩිනුත් පන්දම් 
                                                 ඉර පායා ‍රැස්විහිදා මුදුනට එනකොට
                                                 සඳකත් පිනිදිය ගලලා ‍රැයක් ගෙවෙන කොට
                                                 මල් පිපිලා පුසුඹ වැදී බඹරුන් එනකොට
                                                 බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට 
                  පීරා පිට මැදට හෙලූ වරලේ ‍රැල් ‍රැල්
                  තො‍ඳොල් වෙවී කතා කියයි හඬවා රසුදැල්
                  කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
                  මුතුබංඩගෙ පැලේ තමයි බිනරී හැමකල්  
                                               ගොයම් නෙලුමෙ කවි සීපද බිනරි කියන කොට
                                               කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
                                               බියත් සසල වෙයි ඇහැරෙන හදවත ඉඳහිට
                                               වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට 
                  පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
                  පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ
                  මැවූ සිහින මාලිගාව බිඳී වැ‍ටුනදෝ
                  මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ           


                       මොකද හිතුනේ සරා අපූරු කවි වගයක් ලියලා කියලද...? අනේ නෑ, සරාට මේවා බෑ. හැබැයි සරාට ලස්සණට සිංදු කියන්න පුළුවන්ළු. ඇඩ් එකක් නෙමේ අහගෙන ඉන්න ඈයෝ තමයි කියන්නේ. මේකත් සිංදුවක්,බොහොම පැරනි සිංදුවක්. සරාටත් වඩා පරණයි:D එහෙම කිවුවේ මේ ලඟදි හිරුවා කියලා තිබුනා මම ඇන්ටික් පොරක්ය කියලා. එවුවා ඉතින් දන්නෝ දනිති. මොකටෑ ආයේ වාද කොරන්නේ කියලා මාත් ඔන්න ඔහේ "යේස් මැඩම්" කියලා නිකා හිටියා. මම කියාගෙන ආව කතාව ඕක නෙමේනේ. මේන් ඒක. මට ගූගල් දෙයියා දුන් ගීතය ග්‍රැමපෝන් තැටියකින් උපුටා ගත්තක් නිසා වෙන්දෝ කරස් කරස් හඬක් නිකුත් වේ. ශ්‍රවණයට යම් අපහසුවක් වෙතොත් කනගා‍ටුව.

 



                     මට අද මේ සිංදුව මතක් උනේ හොස්පිට්ල් එකේ ඉන්නකොට. සයින් කිරීමයි ඩේලි රොටේෂන් එකයි ඇරුනම මගේ අතින් කෙරෙන වැඩකුත් නැති එකේ පොතක් අරගෙන පද ටික ලිවුවා මතකෙන්. රූම් එකට ආවම සිංදුව හොයාගෙන ප්ලේ කරලා බැලුවා, නාඩියෙන්ම වැඩේ හරි. පම්පෝරියකට කියනවා නෙමේ එකම පදයක් වචන එහා මෙහා වෙලා ලියවිලා තිබුනා හැර කියන්න කිසිම අඩුවක් නෑ ආයිබොවං..!


පුදුම වෙන්ට දේකුත් නෑ සරා කියන්නේ ඇවිදින කොම්පූටරයකටනේ එකෙන්ම. ඒවා නෙමේ සිංදුව ගැන කතා කරමු. මේක චිත්‍රපට ගීයක්,මුල් ගැයුම නාරද දිසාසේකර මහත්මයාගේ. ඊට පස්සේ රෝහිත විජේසූරිය මහත්මයත් කියලා තියනවා. චිත්‍ර පටය බිනරමලී. තිරගත වෙලා තියෙන්නේ 1969-8-10. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය,නිෂ්පාදනය දෙකම මුදලිනායක සෝමරත්න කියලා කෙනෙක්ගේ. ප්‍රධාන නළුවා හා නිලිය වික්‍රම බෝගොඩයි ස්වර්ණා කහවිටයි.

                  පසුව බිනරමලී චරිතත් ‍රැගෙන මුවන් පැලැස්ස කරලියට ආවේය. කෝරලේ මහත්තයා,මැනිකේ, පිනා කදිරා,ඩිංගි ගුරුන්නාන්සේ, ගබන් ලොක්කා නාමලී, සිලිඳි වැනි චරිත ඒ අතරවිය. මුවන් පැලැස්සද කොටස් කීපයකටම සිනමාවට නැගුනු අතර, පසු කාලීනව ගුවන්විදුලි නාට්‍යයක් ලෙසද විකාශය වූ බව ඇතමෙකුට මතක ඇතැයි සිතමි. මුල් කාලයේ වික්ටර්මිගෙල් අතින් ලියවුනු මෙය පසුව ශ්‍රී නිමල් පද්ම කුමාරයන් රචනා කරන්නට උනා. සිනමා සිත්තම සේම ගුවන් විදුලි නාට්‍යයත් රසික හදවත් ඇද බැඳ ගන්නට සමත් වූයේ එහි වූ අව්‍යාජ ගැමි සුන්දරත්වය නිසාමය. මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ චරිතවලට පන පෙවූ ශිල්පීන් මෙසේය.
කෝරලේ මහත්තයා:විජේරත්න වරකාගොඩ.
මැනිකේ: රත්නාවලී කැකුනවෙල.
කදිරා: වික්ටර් මිගෙල්.
ජන්තු: ශ්‍රී නිමල් පද්ම කුමාර.
නාමලී: නෙතලි නානායක්කාර.
සිලිඳී: කුසුම් පීරිස්.
පිනා,ඩිංගි ගුරුන්නාන්සේ: ගැමුනු විජේසූරිය.
මේ සියල්ල පුංචිම පුංචි සංදියේ වූ මතකයන් ඇසුරෙන් ලියූ බවද වැරදි තොරතුරක් වේනම් එය නිවැරදි විය යුතු ආකාරය පෙන්නා දීමේ පූර්ණ අයිතිය පාඨකයන් සතු බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඒඋනාට ඕනදේ කියවිලා නැතිද මන්දා.මට ඕන වුනේ සිංදුව ගැන කියන්නනේ. දැන් බැලුවම මම කියලා නැත්තෙත් ඒකමයි.හිකිස්...!

කමක් නෑ වර්ථමාන ගීත වලට සාපේක්ෂව මේ පද මාලාව ගැන ඔයාලට හිතෙන දෙයක් කොමෙන්‍ටුවකින් කියන්නකෝ. ඒවගේම තව එකක් පැරනි ගීවලට කැමති එහෙත් පැරනි ගී පිළිබඳ නොදන්න අය ගොඩාක් ඉන්නවා. එහෙම අයට මතකෙට නැගෙන හෝ හොයාගන්න නැති යම් ගීතයක් වෙතොත් කියන්න මට පුළුවන් වේවි යම් උදවුවක් කරන්න.


ගෙහුං එඤ්ඤං ඈ.....!!





Wednesday, October 17, 2012

රට එන අපේ ඇත්තන්ගේ වැඩ කිඩ ජුන්ඩක් විතර...




                 පසුගිය කාලවකවානුව තුල සිදුවූ සිද්ධි සමූහයක් නිමිති කොට ගෙන මේ කෙටි සටහන තබමි. යමෙකුගේ සිත් රිදීමක් වෙතොත් කමාව. එහෙත් කිවයුතු දෙය කිව මනාය. නුදුරු අතීතයේ එක්තරා දිනයෙක ඈත විදේශයක සිටින මගේ මිතුරෙකු සමඟ gmail සංවාදයක යෙදුනෙමි. මා සුපැහැදිලි සිංහලෙන් පනිවිඩ යැවූමුත් ඔහු පිළිතුරු සැපයූවේ පිරිසිදු ඉංග්‍රීසියෙනි. හේතු කාරනා මම නොවිමසුවද ඔහු ස්වේජ්චාවෙන්ම සිංහල රයිටින් අමාරු යැයි කියා සිටියේය. එහෙත් මුල් කාලයේ ඔහු මා වෙත පනිවිඩ එවන 6ද්දේ මා මෙන්ම පැහැදිලි සිංහලෙනි. එබැවින් සිංහල යුනිකෝඩ් ඔහු සතු බව මා දනිමි.

                  දෙවනි කාරනය නම් අප ආයතනයේම සේවය කරන බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමින නොබෝ දිනකින්ම සිංහල හෝ දමිල(තම මව්බස) අමතක වීමයි.

මෙහෙදි අරාබිම කතාකරලා දැන් සිංහල එන්නෙම නෑනේ....!

මහ රෑ දුම් වැටියක් උරමින් එලියට වී සිටි ලාංකිකයෙක් මේ නුදුරු දිනක මාහා පැවසීය.

                අඳෝමැයි..! ඔහුට දුම් වැටිය මතකය, මව්බස අමතකය... අප ආයතනයේ සාමාන්‍ය භාවිතය ඉංග්‍රීසි උවද රජයේ ලියකියවිලි කටයුතු කෙරෙන්නේ අරාබි භාශාවෙනි. විදේශිකයෙකුට උවද ඒ කටයුතු වලට ඉංග්‍රීසි භාවිත කල නොහැක. ඒ ඉංග්‍රීසි භාශාවෙන් ලියන ලද ලිපි ලේඛන රාජ්‍ය අංශය (Ministry of defence........) බාර නොගන්නා බැවිනි. එය මේ රටේ නීතියකි. (මාදන්නා තරමින්) එබැවින් සියළුම විදේශිකයන් එවන් අවස්ථාවලදී ස්වදේශිකයන්ගේ උදවු ලබා ගනිති.මන්ද රාජ්‍ය අංශය තම මව් භාශාවට මුල් තැන දී කටයුතු කරන නිසාවෙනි.

                  තත්වය එසේ උවද මෙහි සිටින සියළුම විදේශිකයන් (ලාංකිකයන් හැර) තම රටේ පුද්ගලයෙකු මුනගැසුනු තැන කතා කරනුයේ තම මව් භශාවෙනි. ඒ ඔවුන් එය අගයන නිසාවෙනැයි සිතමි.ඔවුන් තම රට ගැන පවා කතාකරනුයේ මහත් ආඩම්බරයෙනි. එය එසේ වියයුතුය. එහෙත් බහුතරයක් ලාංකිකයන් අප දු‍ටු තැන කොටන්නේ කඩ්ඩෙනි. මෙයින්ද වැඩි පිරිසකට ව්‍යක්ත ඉංගිරිසිය නුහුරුය. ඔවුන්ගේ කඩ්ඩ කඩතොළුය, මොට්ටය, මලකඩය. එවිට අප සිංහල හෝ ද්‍රවිඩ පලිහක් ලෙස යොදා ගනිමු. ඒ සිහි කැඳවීමක් වශයෙනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකරන ඔවුන් වැරදි වචනම උසුරවයි. ඇත්ත කරුන නම් ඉංග්‍රීසි කතා කිරීම වැදගත් කමක්ය එය ආභරනයක්ය යන හීනමානය ඔවුන් තුල වීමය. අරාබිය ගැනත් කියන්නට ඇත්තේ එයමැයි.

                  උගත් පාඨකයෙනි, මා ඉංගිරිසි හෝ අරාබි විරෝදියෙකු නොවෙමි. එහෙත් විදේශිකයෙක් සමඟ ගනු දෙනුවලදී තැනට අදාල භාශාවක් යොදා ගත්තද ස්වදේශිකයන් සමඟ කතා කිරීමට විදේශීය භාශා භාවිතය මට මහා විහිළුවකි. ඉංගිරිසිය මම යකෙක් රකුසෙක් ලෙස නොදකින සේම දෙවියෙකු ලෙසද නොදකිමි. මට එය මගේ කටයුතු පහසු කරදෙන මෙවලමක්ම පමනි. මේ ලිපිය සඳහා මා ලියන ලද අත් පිටපත ඉතා දිගු එකක් උවද ඇතැම් අය කෝපවෙතැයි සිතා දල අදහස පමණක්ම අකුරු කලෙමි. ( උදාහරණ දෙන්න ගිහින් මොකටෑ ආයේ තරහ කාරයෝ ඇතිකර ගන්නේ හිකිස්..)

                   ඉදින් මම මෙසේද කියමි. හුදෙක් මෙය සිංහල කමය, සිංහල ජාතියය අපේ සඟිස්කුරුතයය (සංස්කෘතිය) යන හැඟීම ඔළුවට ගෙන එයින් හිස උදුම්මවාගත් ලිං මැඩියෙකුගේ බකබක ගෑමක් නොව ඇත්ත ඇති සැටියෙන් හුවා දැක්වීමක්ම පමණක් බව සිතන්න. මා උපහාසයෙන් කතාකලේ ඔවුන්ගේ දැන උගත් කම ගැන නොව, තමන්ගේ අය ඉදිරියේම ඔවුන් ඇදබාන බොරු පම්පෝරි ගැනය. මන්ද ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකට ජීවත් වීමේ අයිතිය ඇත. කිසිවෙකුටත් එය අභියෝගයට ලක් කල නොහැක. එහෙත් තත්වය මෙයනම් අනෙක් විදේශිකයන් ඉදිරියේ අප විහිළුවට හා අවමානයට පාත්‍ර වීම වැලක්විය නොහැක.















ලියුම් කරු
චක් නොතාරිස්.



ප/ලි 
දැන උගත් කමට ගරු කටයුතුය. බොරු පුරාජේරුව හාස්ස්‍යයට හේතුවකි.


Monday, October 15, 2012

මේ ගොබිලා මකුළුවන්ටත් බයයිළු...!




                මැෂින් එක ඕප් කරලා ඇඳට පැන්නේ හෝරා මානයේ එකොලහ සටහන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී. ඇඳේ ඉඳන්ම MP3එක ඔන් කරලා බෙඩ්ෂීට් එකත් ඔලුවෙ ඉඳන් පොරව ගත්තා. AC එක මීඩියම් දාලා අඟලකටත් වඩා ඝනකම බෙඩ්ෂීට් එක ඇතුලට රිංගපුවම ෂපාන් එකට නින්ද යනවා. වින්ටර් එකත් අතලඟ නොවැ. තනියට MP3 ගොයියත් ලඟ ඉන්නවනේ අනික. (එහෙම නැතුව අපට කොයින්ද පූසෝ කේක් මෙහෙ ඉන්නකම්. කේක් ද බනිස්ද මන්දා ඉතින් :D)

               මම කලිනුත් කියලා තියනවනේ මම වැඩියෙන්ම ආස සරල ගී වලට කියලා. ඒකෙනුත් අසූව අනූව දශක වල ගීත විශේෂයි. ඔහොම අහගෙන ඉන්නකොට අපූරු ගීතයක් වාදනය උනා. 

ගල් අරනේ හැංගෙන්නා උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි..
නෑ එන්නට දෙන්නේ මා පුතු ලඟ ඉන්නේ...
නාඩා නිදියන්නේ..//

මෙතනට ගියොත් සිංදුව අහන්න පුළුවන්.

http://www.youtube.com/watch?v=TjSqu1xrGTg

                හැමෝටම තියන අත්දැකීමක්. පුංචි කාලේ අම්මලා අපිව නිදිකරවන්න මාර සෙල්ලම් දානවා. ඇඳට වැටිලා විනාඩි දෙක තුනක් යනකොට නින්ද ගියාට අපිව ඇඳට ගෙනියන එක සෙල්ලම් වැඩක් නෙමේ. එහෙම වෙලාවට ඔය සිංදුවේ තියනවා වගේ නානාප්‍රකාර කතා එහෙමත් කියනවා. ඒත් එහෙම නොහිතා කියන සමහර කතා ළමා හිත්වලට තදින් කාවදිනවා. හැමෝටම නැතත් සමහර අය වැඩිහිටියෝ වෙනකොටත් ඒ මතක එහෙමම තියනවා. සරාටත් ඔහොම පුරස්නයක් තියනවා. දැනගෙන හිනාවෙන්න නම් ඔට්‍ටු නෑ ඕං.

              හේතුවක් නොදන්නවා උනාට පුංචි සංදියේ ඉඳන්ම මම අඬු තියෙන කුඩා සතුන්ට බයයි. මකුළුවෝ, කුරුමිණියෝ, ගෝනුස්සෝ, ගරුඬෝ, කකුළුවෝ (කක්කුට්ටෝ), ඉස්සෝ ඔය ඔක්කොම අයිති වෙන්නේ මම අර හැඳින්නුව අය අතරට. ඉස්කෝලේ යන සංදියේ ගමේ පාරවල්වල කැලෑවේ ඉන්න මකුළුවෝ දැල් බැඳලා තියෙනතැනක් එහෙම මම දැක්කොත් ඒ අහලකින්වත් මම යන්නේ නෑ. කාමරේට මකුළුවෙක් ආවොත් මම කෙලින්ම එලියේ. කවුරු හරි ඇවිත් ඌව පන්නලා දානකම් මම නෙවෙයි ආයේ කාමරය ඇතුලට යන්නේ. මකුළුවෙක් ආවොත් මම දුවලා ගිහින් අම්මට හරි නංගිට හරි කියනවා, එතකොට එයාලා ඇවිත් පන්නලා දානවා. එදා දවසට ඉතින් හිතටත් හරි නෑ. මූ ආයේ කොහෙන් හරි මතු උනොත් කියලා,ඕනම දෙයක් ඩබල් චෙක් කරලා තමයි අතට ගන්නේ කියන්න බෑනේ කොහේ හරි හැංගිලා හිටියොත්.

             ගෙදරින් ආවට පස්සේ ඉතින් යාළුවන්න්ට නම් මේ ගැන කියන්න ගියේ නෑ. එතකොට මාව බයිට් වෙනවනේ,මොකක් හරි පානියක් දාලා එහෙම තැන් වලින් ෂේප් වෙනැක තමයි කලේ. තනියා වෙච්ච මට කොහේ යන්න බැරිද නේද ආයිබොවං....?

              ඒත් ඉතින් නංගි බබාගෙන් නම් මේක හංගන්න බෑනේ, ඒනිසා එයාටනම් කිවුවා. පුදුම වැඩේ කියන්නේ කරුවලටත් බය මේ අම්මන්ඩි මකුළුවන්ට කුරුමිණියන්ට බය නෑ නෙව. කොයි තරම් හදිස්සියකට උනත් බාර්ත් රූම් එකට දුවනකොට මකුළුවෙක් දැක්කොත් ඒගමන නවත්තලා මම දුවන්නේ නංගි බබා ලඟට.

බාර්ත් රූම් එකේ මකුළුවෙක් ඉන්නවා ඌව පන්නලා දාන්නකෝ....!
මාත් ලැජ්ජාවක් නැතුව කියනවා.

අපෝ මෙයානම්..... !

කියලා ඇවිත් එය ඌව පැන්නුවහම තමයි ඉතින් මම ඇතුලට යන්නේ. හැන්දෑවට පොල් කුරුමිණියෙක් එහෙම අපේ ගෙදර ආවොත් මම මිදුලට හරි මහගෙදරට හරි යන්නේ ඌටයි මටයි අපේ ගේ ඉඩ මදි කියලා හිතෙන නිසා මිස කුරුමිණියන්ට බය නිසා එහෙම නෙවෙයි.හිකිස්..!

ටික වෙලාවකින් අයියේ එන්ඩෝ..........! කියලා එයා කෑගහන්නේ කුරුමිණියට බැස්ටිය දීලා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. කක්කුට්ටෝ ඉස්සෝ ගැන කියන්න තියෙන්නෙත් ඔය වගේ කතාවක්ම තමයි. අපේ ගේ ලඟ තියන ඇලේ නාන්න අපි හරිම ආසයි. බැම්මක් බැඳලා ලස්සණට හදලා තියන නාන තො‍ටුපල හරි අපූරු තැනක්. වීදුරුවක් වගේ පැහැදිලි වතුර දකින ඕනම කෙනෙකුට නාන්න හිතෙනවා එහෙම තැනකදි. ඒ උනාට කක්කුට්ටෙක් හරි ඉස්සෙක් හරි පේන්න හිටියොත්මම ඒ අදහස අතෑරලා ඇවිත් ගෙදරින් නාගන්නවා.
ඇලේ ඉන්න කකුළුවෝ ඉස්සෝ දැක්කම මට හිතෙන්නේම ඇලට බැස්සොත් උන් ඇවිත් අර ලොකු අඬු දෙකෙන් මගේ කකුල අල්ලයි කියලමයි. එක අතකින් ඒකේ ඇති වරදකුත් නෑ, මොකද මට එහෙම අත්දැකීමකුත් තියනවා. මෙන්න ඒ අතීත කතාවත්.

               ඒක එක වැසි සහිත අවුරුදු සමයක්. එතකොට මම හිච්චි එකා. තාත්තගේ යාළුවෝ කට්ටියක් ඇවිත් හිටපු දවසක තමයි මේ සිද්දියත් උනේ. යන්තම් පායපු වෙලාවක ඇවිත් හිටිය කොළු කුරුට්ටොත් එක්ක මමත් මිදුලට පැනලා සෙල්ලම් කර කර උන්නා. ඔය අතරේ මට දැනුනා මගේ කකුල මොකකට හරි සීරෙනවා වගේ. බලනකොට ලොකු කක්කුට්ටෙක් මගෙ කකුල අල්ලනවා උගේ තඩි අඬු දෙකෙන්. මම කෑගහගෙන දිවුවේ හරියට මහසෝනා දැකපු ගානට. ගෙදර හිටපු අයත් මිදුලට දුවගෙන ආවට කතන්දරේ තේරුම් ගත්තට පස්සේ ආයේ හිනාවෙවී ගේ ඇතුලට ගියා. ඒ උනාට මම ඇතුළු කොලුරෑණ කක්කුට්ටාට විරුද්ධව මෙහෙයුමක් දියත් කරා. අන්තිමට කක්කුට්ටා බෝම්බෙකට අහුවෙලා මලේ ගෙදර තිබුනු රතිඤ්ඤාවල ආනුභාවයෙන්.

              එදා ඉඳන් මම කකුළුවෝ ගොනුස්සෝ ගරුඬෝ වගේ සත්තූන්ගේ වැයික්කියකදී දැක්කොත් මගහැරලා යනවා. හැබැයි වැරදිලාවත් මගේ වැයික්කියේදී හම්බ උනොත් මරලා දානවා. යමෙකුට මේක විකාරයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් මට එහෙම දැනෙනවා.  මම මගේ බිරිඳට හැමදාම උපදෙස් දෙන්නේ බබාට කවනකොට එහෙම නැතිනම් එයාව නිදි කරවනකොට යම් යම් දේවල් කියලා බය කරවලා ඒ වැඩේ කරවන්න එපා, එයාට බඩගිනි නම් එයා කයි නිදිමත නම් ඔයා බල කෙරුවේ නැති උනාට කැමැත්තෙන්ම එයා නිදා ගනීවි කියලා. මගේ අදහස නම් බිත්තියේ ඉන්න හූනෝ, මකුළුවෝ පෙන්නලා

"ඔය ඇවිත් ඉන්නේ බයි කියන්නේ නැති ලමයි ඉන්නවද කියලා බලන්න...!

ඔන්න ජනේලෙටත් තට්‍ටු කලා මට හිතෙන්නේ හොලමද කොහෙද...? ඔයා නිදන්න නැත්නම් ඇතුලටත් එයි...!

ඔන්න ඔය වගේ කතා ළමා මනසට එච්චර හොඳ නෑ කියලයි. ඊට වඩා හොඳයි ලස්සණ කතාවක් කියලා දරුවගේ මනස එක අරමුණකට ගෙනාවා නම් එයාට ලේසියෙන්ම නින්ද යාවි. අනේ මන්දා හරිද කියලානම්, මේ මට හිතෙන හැටි.



ගෙහුං එඤ්ඤං ඈ...!!


Friday, October 12, 2012

ඔබ මොවුන් හදුනනවාද......? (ඕං ආයෙත් හැදුවා.)

පාං කෑවොත් ඔහොමමයි...! පට්ට කට්ටක් කාලා ආයේ හැදුවා ඕං. හැබැයි සරාගේ පොටෝ එකට කෙලවිලා වගේ. කමක් නෑ.ඕං පොඩි එකක් දැම්මා.සරාත් ඉන්නවා සරාගේ නෝනත් ඉන්නවා.


               හැමෝම සරාව නම් දන්නවනේ. සමහරු නම් කියන්නේ ක‍ටුවටත් නැති වහල්ලටත් නැති එකෙක්ය කියලනේ. බලාගෙන ගියාම ඒකේ ඇති වරදකුත් නෑ .වපුරන ඒවමනේ නෙලන්න වෙන්නේ. අද කතාව ඒගැන නම් නෙමේ ඕං...! මම තව යාළුවෝ දෙන්නෙක්ව හඳුන්වලා දෙන්නයි හදන්නේ අද. බලන්න මේ දෙන්නව අඳුනනවද කියලා.      




හ්ම්හ් ඔය කිවුවේ.....!

ඇයි බොලවු මුං දෙන්නා ගැනනේ මම මෙච්චර කල් ලිවුවේ. ඔතන ඉන්නේ නංගි බබයි, උදම්සා බබයි,කාට හරි කියන්න පුළුවන්ද ඔතනින් නංගි බබා(උදේනි) කවුද උදම්සා කවුද කියලා. අමාරුයි වගේද ...? හරි හරි ඕන නෑ දෙන්නම එකවගේ තමා ටිකක් විතර..!

ඔය උදම්සට දැන් වයස අවුරුදු හතරක් වෙනව නොවැ. මේ තියෙන්නේ වරින් වර ගත්ත පොටෝ දෙක තුනක්.


සම්පූර්ණ නම  උදම්සා සත්නදී සරත් චන්ද්‍ර.

කාලයක් තිබුනා යාළුවනේ ඔය එල්ලන් ඉන්න හචා බෑග් එක අතාරින්නේම නැති. හරි අමාරුවෙන් තමයි ඕක අමතක කෙරෙවුවේ.මෙයා කැමති සිංදු කියන්නයි නටන්නයි. චිත්‍ර වලටත් කැමතියිළු. මගේ හිතේ තාත්තගේ ආභාශය.


සමාවෙන්න ඕන මේ පොටෝ සේරම මගේ කබල් චයිනීස් පෝන් කට්ටෙන් ගත්ත ඒවා නිසා වැඩිය ක්ලියර් නම් නෑ වගේ. නංගි බබාලට වගේ අපට ඉතින් ඇනරොයිඩ් පෝන් නෑ නොවෑ. අනික ඉතින් මම වගේ ගල් වඩුවෙකුට මේවගේ පෝන් එකක් මිස වෙන ඒවා පාවිච්චි කොරන්නත් අමාරුයි ආයිබොවං...!



මේ ඉතින් පුංචි උදම්සා අවුරුදු දෙකේදි විතර. 



ඔය එක පොටෝ එකක් නම් ගාල්ල කො‍ටු පවුර උඩදි. මෙයා වතුරටත් හරි ආසයිනේ,මෙන්න සාක්ෂි.

                              

දැන් ඉතින් එයා මොන්ටිසෝරිත් යනවා. මේ ඊයෙ පෙරේදා තමයි එයාව මොන්ටිසෝරියට ඇතුලත් කලේ.






ඔය බොනික්කා අරන් ඉන්නේ එයාගේ අම්මා මොන්ටිසෝරියෙදී.



උදම්සා නම් සිරීපාදෙත් ගිහින් තියනවනේ.    



හැබැයි එයාගේ අම්මත් සිරීපාදේ ගිය පළවෙනි වතාව මේක. එහෙම බැළුවම දෝණි දියුනුයි නේද අම්මට වඩා.

                              

ඔය ඉන්නේ උදම්සගේ අම්මා,මගේ ප්‍රියම්භිකාව හෙවත් නංගි බබා.පොත් ගුල්ලි. නවකතා කිවුවම ඊට වඩා දෙයක් නෑ. එහෙම වෙලාවට මෙයාට ලෝකෙම අමතකයි. මෙයා උදේනී සජීවා අබේකෝන්.

ඉතින් නංගි බබා ගැන ඔයාලට කියලා තිබුනට උදම්සා ගැන මම කියලා තියෙන්නේ බොහොම අඩුවෙන්නේ. මගේ හිතේ තව ටික දවසක් යනකොට එයා ගැනත් කියන්න බොහොම දේවල් තියේවි. දැනටම එයා හරි ජනප්‍රියයි මොන්ටිසෝරියේ. ටීචර්ලා එහෙමත් එයාගේ හොඳ කියනවයි කියලයි මටනම් ආරංචිය. මගේ එකම වත්කම එයාලා වෙච්චකොට ඊට වැඩි සතුටක් තව තියෙන්න පුළුවන්ද තාත්තා කෙනෙකුට.


ඉතින් මේ හැමදේම කිවුවට සරා කවුද කියලත් ඔයාලා දැකලා නෑනේ. ඕං ඔය පහල පොටෝ එකේ ඉන්නේ ඌ තමයි.




                                           
මෙතෙක් දවස් ඔයාලට සරාගේ ලෝකයෙන් මුනගැහුන නොදු‍ටු හිතවතා. බලන්න කවුරු හරි කලින් මුන ගැහිලා තියෙද කියලා.සිංදු කියන්න නටන්න වගේම ඕන එකෙක් එක්ක ගුස්ති අල්ලන්නත් උපන් හපන් කම් තියන එකෙක්.

    

ගෙහුං එඤ්ඤං...!

Sunday, October 7, 2012

ගඟට පැන බේරුන වගයි....!!





                 සහශ්‍රය ආරම්භව වසර දෙක තුනක් ගිය තැන සරා පතල් කරුමාන්තයට අතගසා සිටියේය. ඒ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අහවල් අධිකාරියේ නීති රෙගුලාසි වලට අනුවය. ලැබී තිබූ බලපත්‍රයේ සඳහන් වී තිබුනේ එසේය. එකලද ඔය සමාජවාදී ජනරජයක් තිබුනාද කියා මම නොදනිමි. සමහරවිට තියෙන්නට ඇතිය. එසේ නොවන්නටද ඇතිය. කුමක් උවද මට වැඩක් නැතිය. ඒ මම ලියන්නට යන්නේ ඒක ගැන නොවන නිසාය. මගේ කතාව මේකය..

                 මම ඔය කුරුවිට පැත්තේ පතල් නඩයක් සොයා ගත්තෙමි. ඒ සය දෙනෙකුගේ කණ්ඩායමකි. මුදලාලියා මමය. ලැයිසොං ගත්තේ ඇදුං වලවල් සඳහාය. ඒවා කරන්නේ ගඟේය. මම අමු ද්‍රව්‍ය සපයනවාය. ඔවුන් වැඩ කරනවාය.මැණික් එහෙමත් ලැබෙනවාය. ඔවුන්ගේ කොටස්ද දෙනවාය. හරි හරි ඒ ශෛලියෙන් ලිවුවා ඇති.
              ඉතින් ඔහොම පතල් වැඩේ සාර්ථකව කරගෙන ගියා. මුදල් හදල් එහෙමත් යහමින් අතේ ගැවසුනා. අනේ ඒත් බෝනික්ක වගේ හිටපු සරා නම් හාල් ගැරඬියෙක් වගේ උනා ටික දවසක් යනකොට. ඒකට මොකෝ, බල්ලෝ මරලා ගත්තත් මොකෝ සල්ලි "බුහ්" ගාන්නේ නැත්නම් කියනවනේ. ඒහින්දද මන්දා මාත් වැඩේ දිගටම කරගෙන ගියා. ඔය ඇදුං වලවල් හාරන්නේ ගඟේ කියලා කලින් මම කිවුවනේ. ඕකට ඉතින් ගඟ හරස් කරලා වැටි ගහලා වතුර හරෝලා වැටියට යටින් හලාව තියෙන හරියේ (හැඩ පහර නැති ප්‍රදේශයට හලාව කියනවා.) වැලි තට්‍ටුව ඇදුං උදලු වලින් අහක් කරලා තමයි ඉල්ලම පාද ගන්නේ. ඉල්ලම් කැඩෙන්න ගත්තම ඉතින් කුමතේරු ඉන්න ඕන.

                කුමතේරු කියන්නේ ඔය ගරන නාම්බුව දිහා බලා ඉන්න එකාටනේ.  දැන් අහයි  නාම්බුව මොකක්ද කියලා නාම්බුව කියන්නේ දරුවනේ අපි පතලක් කපලා ගන්න ඉල්ලම (මැණික් ඇතැයි අනුමාණ කරන පස) වට්ටියට (මේසඳහා විශේෂයෙන් සකස් කරන ලද ගැරුම් වට්ටි ඇත) දාලා ගරනකොට මැටි හේදිලා ගියහම ඉතුරු වෙන ගල් සහිත කොටස. මේකේ තමයි මැණික් තියෙන්නේ. ඉතින් මුදලාලි නැත්නම් මුදලාලිගේ හිතේෂිවන්තම පුද්ගලයෙක් තමයි ඕං මෙතනට එහෙම නැත්නම් කුමතේරුවට තියන්නේ.මගේ පතල් වලනම් හිටියේ මමම තමයි. හිතවත් අය නැතිනිසා නෙමේ ආයිබොවන්, උනුත් මං වගේම පතල් කරවපු නිසා. කොහොම උනත් මේ සෙල්ලම කරන්න පුළුවන් පායනකොට විතරයි වැහි කාලෙට පතල් කරවන එක බොරු ගඟේ.

                  ඇයි ඉතින් කට ගහලා වතුරනේ. ඒ කාලෙට වැඩ කරන අයට නම් ජොලිත් එක්ක. ඇයි ඉතින් නිකන් ඉන්න පුළුවන්නේ. පතල් කරුමාන්තේ රීතියක් තියනවා, යම් හෙයකින් වැඩ කරන්න බැරි අවස්ථාවක් ආවම මුදලාලි තමන්ගේ ගෝලයන්ගේ වියහියදම් බලාගන්න ඕන. එයාලට කන්න බොන්න විතරක් නෙමේ ගෙවල් දොරවල් වලට ගිහින් එන්න ඕන අය ඉන්නවා නම් එයාලගේ වියදම් පවා බලන්න ඕන මුදලාලි තමයි. එක අතකින් බැළුවම වැඩ කරන කාලෙට උන්දැලා මහන්න්සි වෙන විදිහට ඒකේ ඇති වරදකුත් නෑ. එහෙම හොඳට සලකන කොට ඒ මිනිස්සුත් අවංකවම වැඩ කරනවා. කුම්මැහි මුදලාලිලගේ ගෝලයෝ නම් වහිනවට හරිම කැමතියි.

වැහපං බුදු වැස්ස කාලා          බුදියන්න
වියදම් කරන මුදලාලිට     කෙලවෙන්න 

                ඔය කවිය කියන්නේ එහෙම ගෝලයෝ කියනවනේ. මමනම් දන්නේ නෑ මගේ ගොලයෝ ටික බොහොම අපූරු කට්ටියක්.
කාට උනත් ඇත්ත තියෙන්න එපායෑ නේද..?
ඔය කොරේ...!!
කියන්න ආවේ එක දෙයක්. කියලා තියෙන්නේ වෙන බූත වගයක්නේ.
මඤ්ඤොක්කා ගෙනියන්න ආවම මම ඉඩමේ ඔප්පුව පෙන්නනවා නේද...?
කමක් නෑ ඔන්න ඔහේ අපි ඒ කතා ප්‍රවේශය කියලා හිත හදාගමු. මේං කතාව.
මම කිවුවනේ සරාගේ යාළුවොත් මේ සංදියේ පතල් කෙරෙවුවා කියලා. මේ කදිම යාළුවෝ තමයි සුජී, මාමෙයා, රාජා, අමිත, දයියා සරාත් එකතු උනාම හයයි. එකෙකුට එකෙක් දෙවෙනි නෑ. ලොවෙත් නැති අං පොල්ලෝ. වැහි කාලේ ආව නිසා පතල් නතර කරලා තිබුනේ.

              ඔහොම ඉන්නකොට අපිට දැනගන්න ලැබුනා තල්දූවේ කට්ටිය KV එකේ ( කැලනිවැලි ක්ලබ් එකට අයිති ග්‍රවුන්ඩ් එක) පිටි පස්සේ පතල් කපනවා ඒකෙ මැණිකුත් හම්බවෙනවා කියලා. අපි කතා උනා අපිත් හාරමු කියලා පතලයක්. වැඩේ එක පයින්ම තීන්දුයි. හැබැයි මේක නීති විරෝධියි. අනේ ඉතින් නීතියානුකූලවයෑ අනිත් උන් කපන්නේ කියලා අපි ඒ ගැන නොහිතා හිටියා. හවස ආයුදත් අරන් අදාල තැනට ගියාමයි දැක්කේ එතන ඉන්න සෙනග. 50-60 කට වැඩි පිරිසක් ගජරාමෙට වැඩ. අපිත් නමෝ විත්තියෙන් බිම ලකුනු කරලා වැඩේට බැස්සා.

               ඉඳි ගහට පනින වයසේ කොල්ලොනේ පාන්දර වෙනකොට ඉල්ලම මතුවෙන්නම වල හාරලා ඉවර කලා. ඊලඟ දවසේ ඉල්ලම් ගොඩ දාමු කියලා ගෙදර ඇවිත් නිදා ගත්තා. පහු වෙනිදා යනකොට අපිට කලින් ආපු මොකෙක් හරි අපේ වලේ ඉල්ලම් හාරගෙන ගිහින් තිබුනා. මොනා කරන්නද, ආයේ එන්නේ නැතෑ කියලා හිතාගෙන අපිත් වැඩේට බැස්සා. ඉල්ලම් හාරලා ගඟට ඇද ඇද ගැරුවා.

                ම්හු.. පාන්දර වෙනකම් ගැරුවත් කිසිම චෑන්ස් එකක් නෑ ආයිබොවන්. දැන් කට්ටියම "ඥාවු" වෙලා. ඇයි ඉතින් ඉල්ලම් යකඩ වගේ බරයි .ඕවා ගෝනි වල දාලා කරගහගෙන යනවා කියන්නේ සෙල්ලමක් යෑ. ඊටත් වඩා තරහයි හොරෙන් අපේ වල හාරලා තිබුනු එකට. දැන් කරන්න දෙයක් නෑ ගෙදර යමල්ලා කියලා හැමෝම ගෙවල් වලට ගියා. දවල් අපි ටවුම පැත්තේ ගිහින් පොඩි CID පාරක් දාලා බැලුවම වැඩේට සම්බන්ධ අය ගැන දැනගන්න ලැබුනා. හොරෙන් ගෙනිච්ච ඉල්ලම් වල මැණික් එහෙමත් තිබිලා.පොඩි ගලක් තිස්පන්දහකට විකුණලා. ඔක්කොම දැනගෙන හිතේ අමාරුවට  පොඩ්ඩක් සප්පායම් වෙලා කාරිය අපි ආවා.

                   එදා අපි වේලාසනම ගිහින් පතලේ කිට්‍ටුව හැංගිලා හිටියා. ඉස්සරලා දවසේ රසේටද මන්දා මේ මෝඩ ජෝඩුව තමුන්ගේ පතලෙකට එන්නා වගේ ආවා. වල ලඟටම එනකොට කට්ටියම පැනලා අල්ලගෙන හිතේ හැටියට තැළුවා දෙන්නටම. වික්කේ තිස්පන්දහක මැණික්නේ. නෙළුවා නෙලන එක ආයේ හැත්තෑදහකම. උන් දිව්වට පස්සේ අපි ආයේ වැඩ පටන් ගත්තා. දොලහමාරට එකට විතර එක පාරටම ඇහුනු කලබලයට කට්ටියම වලෙන් ගොඩට ආවා.

ඒයි....... පොලීසියෙන් වට කරලයි තියෙන්නේ.

එකෙක් වත් දුවන්න එපා....!

දිවුවොත් වෙඩි තියනවා..!!!

විධානයත් එක්කම වෙඩිල්ලකුත් පත්තු උනා. ඇයි යකෝ.. වට කෙරුවනම් අල්ලගන්න එපායෑ. මොන එහෙකටද අහසට වෙඩි තියන්නේ, අපිත් බයවෙනවානේ. එහෙම හිතපු අපි එයාලා කරන්න එපා කියපු වැඩේ තමයි කෙරුවේ. අපි විතරක් නෙමේ වැඩ කර කර හිටපු අනිත් අයත් එහෙමයි. අපි දිවුවේ ගඟ පැත්තට, අපි හිටපු තැන ඉඳන් ගඟට මීටර 150-200 විතර තියෙන්න ඇති.

හතර පස් දෙනෙක්ම දිවිල්ලට දක්ෂයෝ උනාට එකෙක් උන්නා වේගෙන් දුවන්න බැරි. මේ ටික දුර දුවනකොට ඌ අනික් උන්ට වඩා අඩි හතලිහක් පණහක් විතර පහුවෙලා. ඒත් දුවනවා. ඉවුරට අඩි පහලොවක් විස්සක් තියෙද්දි පස්සෙන්ම දුවපු එකාව කවුද අල්ල ගත්තා.මේ වෙනකොට අනිත් උන් ගඟට පැනලත් ඉවරයි. අතෑරපන් යකෝ ෂර්ට් එක ඉරෙයි කියලා කියන්නත් හිතුනට මේක විහිළු කරන වෙලාවක් නොවෙන නිසා කරබා ගත්තා.

ඔහෙ හිටපිය @%$යා දුවලා බේරෙන්න නේද හැදුවේ......?
උඹේ අ@&%$...!

කියලා දුන්නේ නැත්ද කකුල් දෙක හරහට ලාඩප්පා පොලු පාරක්.
මුගේ අ@#% මූ කැඩුවනේ මගේ කකුල %$@ උස්සලා විසි කරන්න හිතෙනවා ගඟට.

ගුටි කාපු එකාට එහෙම හිතෙන්න ඇති. ඒත් ඉතින් මෙච්චර දුර ඉඳන් හාලරාමියෙක් ව ගඟට උසික්කා කොරන්න ඉතින් අන්ඩටේකර් වගේ පොරක්ම වෙන්න ඕන නිසා ඒ ක ප්‍රායෝගික වෙන්න නැතුව ඇති.

වර යන්න....!

හාලරාමියා හොරාව අදිනවා.
තොගේ අම්@#% හාලරාමී කියාගෙනම හොරා හොඳ හුස්මකුත් අරගෙන වටයක් කැරකුනා.
දකුණු කකුල ඔළුවටත් උඩින් ඉස්සිලා ආයෙත් ස්ථානගත වෙනකොට හාලරාමී ඊට ටිකක් එහායින් බිම ඉඳගෙන උන්නා.

අඩියයි, දෙකයි, තුනායි,හතරයි... ජබෝස්...!!
අති දක්ෂ පීනුම් කරුවෙක් උන ඌට දෙගොඩ තලායන ගඟේ හැඩපාර ප්‍රශ්නයක් උනේ නෑ. ඌ ආයේ දිය උඩට එනකොට ගඟ මැදටත් කිට්‍ටු කරලා.

එගොඩහ යන්න ඕන නෑ බං ආපහු වරෙන්...!!
ඉවුර අයිනේ උන්න උගේ යාළුවෝ කෑගැහුවා. කලින් ගඟට පැන්නට උං ගිහින් නෑ. ගඟ මැදට පීනපු එකත් ආයේ ඇවිත් මිත්තරයෝ ‍රැලට එකතු උනා.

මෙහෙමම පහලට පීනලා ගල් තොටෙන් ගොඩට යමු...!
හ්ම්..!
මොකෝ උඹ පරක්කු උනේ...? 
එක ප@# මාව අල්ල ගත්තනේ බං...!
නෑ...!!
අල්ලලා විසි කරන්න එපායෑ #%@! ගඟට...!
එච්චර ලඟක වුනානම් මම ඌවත් අරන් ගඟට පනින්නේ.... ප#@ ගැහුවනේ බං ලාඩප්පා පොලු පාරක් තරු පැන්න මට..!

හික් හීක් හීඉ...!!!

හිනා වෙන්න එපා @%$#@ දෙනවා දත් ටික අතට....!
ඉතින් උඹ ඔච්චර කෙරුමා නම් අල්ල ගත්ත එකාට දෙන්න එපායෑ..!
දීලා තමයි  @#‍තෝ ආවේ ආන් ඌ ඉඳගෙන ඉන්නවා එතන....!    


පසු වදන:  

ගුටි කාපු උන් දෙන්නා හිතේ අමාරුවට ඔත්තුව දීලාය.
උන් දෙන්නා පසුවදාම ගමෙන් පිටවී ගිහින් තිබුනු අතර නැවත පැම ණ තිබුනේ මාස එකහමාරකට පමණ පසුවය. ඒ වෙනකොට තරහ මරහා අමතකය. ඉන් මතු කිසිදා ඉහත සඳහන් පුග්ගලයෝ අනවසර පතල් කැපීමට අදාල ඉඩමට නොගියෝය.
සැ:යු: අදාල ඉඩමට පමණි.



.