Thursday, December 6, 2012

සිත්තර වීරයෝ සහ JAMES BOND ගේ නව නිපැයුම්...





             අද මාත්තුරුකාවද මොකක්ද එක ටිකක් දිග වැඩිද මන්දා. ඒත් කරන්න දෙයක් නෑ එහෙම කරන්න වෙනෝ. ටික දවසකට පස්සේනේ ඔන්න ඔහේ කමක් නෑ නේද...? ඉස්සර මම නිතර කියවපු බ්ලොග් එකක් ලියපු කෙනෙක් තමයි "ජනූ" කියන්නේ. එයා ගොඩාක් වෙලාවට ලිවුවේ පුංචි කාලේ මතක ගැන. කූඹි, කලාමැදිරියෝ, මකුළුවෝ ගැන එහෙම බොහොම අපූරුවට ලිව්වා එයා. අද යාන්ත්‍රීකරනය වෙලා උන්නට අපිත් කුඩා කාලේ ඉතාම සුන්දර ගම්වල බොහොම ලස්සන ළමා ජීවිත ගෙවාපු අය නිසා මමත් බොහොම ආසවෙන් තමයි ඒ කතා කියෙව්වේ.එහෙම කියවපු දවසක මට මතක්වුනු කතාවක් තමයි මේක.

             එදායින් මාස ගානක් ගෙවුනු තැන තමයි ලියන්නේ. ඔයාලා අතරින් ගොඩදෙනෙක් දන්නවා, නොදන්න කෙනෙක් ඉන්නවානම් දැන් දැනගන්න. මීට කාලෙකට ඉස්සර චිත්‍ර කතා පත්තර කියලා ජාතියක් අපේ රටේ බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. ලොකු කුඩා හුඟ දෙනෙක් මේකට ඇබ්බැහිවෙලා තිබුනා කිවුවොත් මම හිතනවා ඒක නිවැරදියි කියලා. රේඛා චිත්‍ර තුලින් මිනිස් සිත් තුල ඇතැම් මනක්කල්පිත චරිත ගැන අති දැවැන්ත ප්‍රථිරූප ගොඩනගන්න සමත්වුනා අපේ ඇතැම් නිර්මාණ ශිල්පීන් චිත්‍ර කතා පත්තර තුලින්. යුනිකෝ මුල් යුගයේ සරත්මධූ අතින්ද පසුව ගුනපාල ජයලත්ද, රෆීක්ඩීන් මුල්කාලයේ ලියූ ස්පාටකස් හා පසුව "ස්කාගස්" යන කතාද, සිංහ ලියපු ඇඳපු ඔමේගා වගේම ටෝගා කියන කතා දෙකත් බන්දුලගේ සිකරි කතාවත්, විල්බට් රණසිංහ ලියපු ඇඳපු "සඩ්න්" නැමති ගොපළු (කව්බෝයි) කතාවත් සරා අත හරින්නැතිවම කියවපු කතා කීපයක් වුනා.



             සඩ්න් කතාවට පස්සේ ඔහු අතින් නිර්මාණය වුනු දියමන්තිවටය කියන කතාවේ එක් චරිතයක් සරාට කල හදියක් ගැන නෙව අද පෝස්‍ටුවෙන් කියන්න හදන්නේ. කලින්ම කියන්න එපායෑ මේ හැම කතාවම ලියවුනේ "සිත්තර" පත්තරේ. මේ කතා ඇරුනම තව එක එක නිර්මාණ ශිල්පියෝ අතින් නිමවුනු ආදර කතා රාශියක්ම තිබුනා.ඉතින් ඊට පස්සේ, සුද්දි, සමාවෙන්න මා අන්සතු ලඳකි, සඳා, නෙලුම් සහ සමන්මලී, ආදරයත් ‍රැල්ල වගෙයි, සරස්වතී වගේ. ඒ කාලේ නම් ඕවා කියවන්න කැමැත්තක් තිබුනේ නෑ. ඒවගේම චිත්‍රකතා පත්තරත් රාශියක්ම ඔය කාලේ තිබුනා සිත්තර,සත්සිරි,දසුන,සත්මින, මධුර, සතුට,චිත්‍රමිත්‍ර, මල්සර,හිතවත අපොයි සමහර ඒවා මටත් මතක නෑ. සඳුදට නිකුත් වෙන චිත්‍ර කතා පත්තර පහක් අපේ ගෙදරටත් ගත්තා ඒ දවස්වල. දිනේ සඳුදා කියලා සඳහන් උනාට සෙනසුරාදා වෙනකොට ඒවා මාර්කට් එකට ඇවිල්ලා ඉවරයි. අපිත් ඉතින් අද පත්තරේ බැලුවම ඊලඟ කොටස බලනකම් නොඉවසිල්ලෙන්නේ ඉන්නේ. ගමේ පත්තර ගන්න ගෙවල්වලට ඒක කියවන්නම විතරක් යන එන පිරිසකුත් හිටියා නෙව ඒ කාලේ. ඉස්කෝලෙට ගියහමත් මුලින්ම කතා කරන මාතෘකාව ඕක නොවැ.
                         


              
                කතාවෙන් කතාව ලියන්න ඕන වුනු එක පහුවෙනවා නේද...? කමක්නෑ මේ කතා ප්‍රවේශය කියලා හිතමුකෝ. අනිත් එක චිත්‍ර කතා ගැන ලියනවානම් මාගලක් වගේ පෝස්‍ටුවක් ලීවත් තවටිකක් ඉතිරි වෙනවා ෂුවර්. ඉතින් මම අර කියපු දියමන්ති වටය කියන කතාව ඔය ජේමිස් බන්ඩා නෑ නෑ ඌ නෙමේ "ජේම්ස් බොන්ඩ්" කියන රහස් පරීක්ෂක චරිතය වටා ගෙතුනු එකක් නොවැ. එයාට හරි අපූරු කාර් එකකුත් තිබුන. ගොඩබිම වගේ දියෙත් යන්න පුළුවන්. උඩින් යටින් දෙකෙන්ම. ඇස්වහක් කටවහක් නෑ හොඳ ෆයිටර් (fighter) කෙනෙක් වුනු ඔහුට ඇහිපිය හෙලන පමාවට වෙඩි තියන්නත් පුළුවන් උනා ඉලක්කයට. හැම වෙලාවෙම ලස්සන කෙල්ලෙකුත් ලඟ හිටියා. ඒත් ආයිබොවන් අපට ඔය කෙල්ලව නම් අමතක කොරන්න වෙනවා අකමැත්තෙන් උනත් දැන්මම. මොකද ඒකාලේ මට කෙල්ලෝ අරහං. දැන්නම් එහෙම නෑ කියලා අපේ මායියා නම් කියනවා. මමනම් දන්නේ නෑ ඉතින් ඒක ඇත්තද නැද්ද කියලා අහන්න වෙන්නෙත් උන්දෑගෙන්ම තමයි.Dඔන්න මම කතාව කියනවා..............................
                         
                සරා පොඩිකාලේ හිතාහිටියේ ලොකු උනහම "ජේම්ස් බොන්ඩ්" කෙනෙක් වෙන්නෝන කියලා. සරා ආසම සෙල්ලම් බඩුවත් ඉතින් ඒකාලේ පිස්තෝලෙනේ. සරාට එක එක විදිහේ සෙල්ලම් පිස්තෝල 10-15 විතර තිබුනා ඔය කාලේ. සේරම ගෙනත් දෙන්නේ තාත්තා තමයි ඉතින්. සමහර ඒවයේ සද්දෙයි දුමයි විතරක් උනාට, උන්ඩ නිකුත්වෙන විදිහේ ඒවත් දෙකතුනක් තිබුනා. මිල අධික උනත් සරාගේ තාත්තා ඕවා ගෙනත් දෙන්න පැකිලෙන්නේ නෑ. හේතුව...

"චූටි කොල්ලා ආසා ඕවටනේ"....! අනික ඌ ඕවා කඩලා බිඳලා දාන්නේ නෑ...!!

               හැම සතියෙම අඟහරුවාදා සරාලගේ අම්මා දම්මුල්ලේ පොලට යනවා. ඒ ගෙනියන බඩු ලිස්ට් එකේ "කාට්ස්" රෝල් තුන හතරක් නම් වරදින්නේ නෑ. පතුරම් නැතුව කොහොමද වෙඩි තියන්නේ...හිකිස්..!! නිවාඩු තියෙන හැම වෙලාවෙම සරා තනියම කැලේට රිංගනවා. නිකම්ම නෙමෙයි විවිධ ප්‍රමාණයේ පිස්තෝල දෙක තුනකුත් අරගෙන. ඔය එක පිස්තෝලෙකට පතුරම් බෙල්ට් එකකුත් තිබුනානේ. පණිවුඩ හුවමාරු කරගන්න යන්තරේ වෙනුවට (walkie talkie) තියෙන්නේ sanyo පොකැට් රේඩියෝ එකක්. ඒ කාලේ FM එහෙමත් නෑ. MWවිතරයි තිබුනෙත්, පොඩි ඉයර්පෝන් එකත් කනේ ගහගෙන තමයි ඉන්නේ නිතරම. රේඩියෝ එකනම් නිතරම සුසර (tune) කරලා තියෙන්නේ ඒ කාලේ බොහොම ජනප්‍රිය වෙලා තිබුනු "දෙවන සේවය"ට. වර්තමාන වෙළඳ සේවය,එහෙම කිව්වට දැන්නම් එහෙම එකක් තියෙනවද කියලා මම දන්නේ නෑ. අර මොනවද යට ගෙහුං ගොමරිටිද මොනවද උඩ පාවෙන කාලයක් නෙව මේ. 

               මම හිතන්නේ සරාට සංගීතය ගැන ඇල්මක් ඇතිවෙන්නත්, පැරණි ගීත මතකයේ ‍රැදෙන්නත් එක හේතුවක් වෙන්නැති මේකත්. පොකැට් රේඩියෝ එකෙන් මොනා ඇහුනත් සරා තනියම කතාකරනවා ගොඩක් වෙලාවට. ඔක්කොම ඉතින් CIA එකට විරුද්ධ රහස් පණිවිඩ තමයි.P සන්නද්ධ පිරිස් එක්ක ගැටෙන එකමයි වැඩේ. සතුරෝ විදිහට තොර ගන්නේ තොර‍තෝංචියක් නැතිව කෑගහන කුරුල්ලෝ තමයි ඉතින්.අවුලක් නෑ උන්පස්සේ පන්නන්නත් හිතේ මැවුනු අපූරු කාර් එකකුත් තියෙනවනේ. අහල පහල සතුරෙක් ඉන්නවානම් සරා ලඟ තියෙන සංඥා දර්ශකය (signal indicator) ඒබව සරාට දැනුම් දෙනවා. ඊට පස්සේ ඉතින් සතුරා සොයාගැනීම, බිහිසුනු සටනකින් පසු ජයග්‍රහනය හෙහ් හෙහ් සෙල්ලම් නෑ හරිම මාන්දමිකයි D.  ඇලකින් වතුරටිකක් බීලා කැලේ තියෙන පළතුරු මොනා හරි කාලා (පැෂන්ෆෘට්, අඹ, රඹුටන්, ඇඹිල්ල, හිඹු‍ටු) පැය ගානක් තනියම කතාකර කර ෆයිට් කරනවා. කාට්ස් රෝල් දෙක තුනක් ඉවර වෙනකම් වෙඩි තියනවා. ගස් වැල්වල එල්ලෙන්න ගිහින් වැටිලා සමහර වෙලාවට අතපයත් ලෙලි ගහගන්නවා. හොඳටම හෙම්බත් උනාට පස්සේ තමයි කැලෙන් එලියට එන්නේ.

              ඒ කාලේ සරා හිතාගෙන උන්නේ හැබෑ ලෝකයෙත් මේ වගේ ඇති, ලොකු උනහම මටත් එහෙම ඉන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම තමයි අර කාරෙක ඕකට "සබ්මැරීන්" (submarine) එක වගේ දියයටත් යන්න පුළුවන් උනාට ගුවනින් යන්න බෑ. මම හිතා හිටියේ ඔහොම කාර් එකක් අරගෙන ඕක ගුවනිනුත් යන්න පුළුවන් විදිහට හදන්න. සමහර වෙලාවට මම කැලෙන් එලියට එනකොටත් මට වැහිලා ඉන්න "ජේම්ස් බොන්ඩ්" එහෙමම ඉන්න අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට නම් හතුරා වෙන්නේ අපේ නංගි. මම ඉතින් තුම්මුල්ල පැනලා ගහන ෂොට් අපේ කෙල්ලට ඔරොත්තු දෙන්නේ නෑ කොහොමවත්. දෙපාරක් උන්දැගේ අත කැඩිලා මාස ගානක් වෙදකම් කලා අම්මයි තාත්තයි.හිකිස්...! මම කියලත් මොනා කරන්නද, මොකෝ ඕවා මම කරන දේවලුත් නෙමේනේ ජේම්ස් බොන්ඩ් මිස.P අනික ප්‍රතිවාදියාට මනා සටන් පුහුණුවක් නැති එකේ අඩුව නොවැ. සමහර වෙලාවට සටන්වල උග්‍ර අවස්ථාවලදී කියවෙන්නෙත් චිත්‍ර කතාවේ දෙබස්මයි. ඒතරමට ඒවත් කටපාඩම්. හැබැයි පොඩ්ඩ වැරදුනොත් අපේ කෙල්ලගේ (නංගිගේ) කොසු පාරක් ඉදල් පාරක් මට වදින වෙලාවල් නැතුවමත් නෙමෙයි. ඒ වෙලාවට ඉතින් ජේම්ස් බොන්ඩ් ට ඇඩ්‍රසුත් නෑ. හික් හික්...!


            but no complains...! මොකද මම ඉස්සර උනානම් මම කරන්නෙත් ඔය වගේම වැඩක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය වුනත් අපේ පැමිණිලි බාරගන්නේ නෑ.   කොහොම උනත් ඔය ජේම්ස් බොන්ඩ්ට ස්තූතිවන්ත වෙන්න මම අලුත් නිෂ්පාදනයකුත් කලා. ඒතමයි කුඩමිටි තුවක්කුව. කුඩයක මිටක් තුවක්කුවේ බටය( බැරල් එක) විදිහට යොදාගෙන ඇත්තටම වෙඩි තියන්න පුළුවන් විදිහට හදපු තුවක්කුව. තුවක්කුව කියලා මම කට වචනෙට කිවුවට මේක පිස්තෝලයක්. ඒකට වෙඩිබෙහෙත් ඊයම් බරු එහෙම දාලා වෙඩිල්ල කොටන්න ඕන. නිපල් එකට දාන්නේ පීඩනයට ගිනිගන්න වෙඩි බෙහෙත්. ඔය ඉස්සර අපි චීන පටස් වලට බීරංග ගහන්න එහෙම ගත්ත වෙඩි බෙහෙත් වර්ගය. කොකා ගස්සනකොට පොඩි යකඩ පතුරක් ඇවිත් නිපල් එකේ වැදුනම වෙඩිල්ල පත්තු වෙනවා. අඩි 30කටත් වඩා දුර ඉලක්කෙට වෙඩි තියන්නත් පුළුවන් නෙව. මේකත් අරගෙන කැලෑ වැදිලා මම ඉලක්කෙට වෙඩි තියන්නත් පුරුදු වුනා. ඒත් ඉතින් නිතර නිතර කැලේ ඇතුලෙන් වෙඩි සද්ද ඇහෙන කොට අපේ තාත්තගේ අවධානය ඕකට යොමුවෙයි කියලා මගේ ටිකිරි මොලේට වැටහුනේ නෑ. ඒනිසා දවසක් බඩුත් එක්ක හොරු මාට්‍ටුවෙලා දුන්නේ නැද්ද බඩකට පුරා හොඳ ගුටි පූජාවක්. ෂොල්ල වේල ඉල්ලෙයි අයියා. නල්ල අඩි...!!! ඔන්න හිරුවෝ නව නිෂ්පාදන වලට අපට ලැබෙන සැලකිලි.....! නිකම්ම නම් තව කමක් නෑ. මේක කොහොමද හැදුවේ, කොහොමද වැඩ කරන්නේ කියලා අහලා වෙඩිල්ලකුත් තියලා පෙන්නන්න කියලා ඔක්කොම ඉවර උනහම තමයි අල්ලගෙන තඩිබෑවේ.. අම්මපා හරි හිතට අමාරුයි බං...!!    

පසුව ලියමි:

පස්සේ අම්මට මම පැමිණිලි කලා. අම්ම අහලා තියෙනවා ඇයි ගැහුවේ කියලා. ඒක එච්චර ආරක්ෂිත නෑළු. හදිසියේ බටේ පිපුරුවොත් ලොකු අණතුරක් වෙනවළු. අනේ එයාගෙයි මගෙයි safety. ඇයි මම බබානේ. මෙච්චර හරියක් තනියම කරන්න පුළුවන් හිතලා. ඕක කල්පනා වෙන්නේ නෑ. මම බටේ පුපුරන්නේ නැති වෙන්න ක්‍රම යොදලා තිබුනේ. අනික එක බටේකින් වෙඩි දහයකට වඩා කවදාවත් කොටන්නෙත් නෑ. මොකද වෙඩිල්ලක් පිටවෙනකොට බටේ අධිකව රත්වෙනවා. ඒනිසා වෙඩි දහයක් විතර තිබම ඒබටේ වීසි කරලා තව බටයක් දානවා. කොහෙද ඔය කිසිදෙයක් කියන්න තියා කට අරින්නවත් වෙලාවක් නොදීනේ මට තැළුවේ. මම පවු නැද්ද හා........!! 

පින්තූර සඳහා අනුග්‍රහය පුරුදු පරිදිම ගූගල් දෙයියන්ගෙන්ම තමයි. ඔය යටින් තියෙන්නේ ගයාශාන් ඇල්පිටිය සිත්තරට ඇඳපු කතාවක්. ආදරයත් ‍රැල්ල වගෙයි, ‍රැල්ල වෙරලට ආදරෙයි වගේ කතා ගොඩාක් ජනප්‍රිය උනා ඔහුගේ.


විශේෂ ස්තූතිය විචාරක මහතාට.........!

42 comments:

  1. man 1... inna... kiyawanamkan...:D

    ReplyDelete
    Replies
    1. කලබලයක් නෑ යාලු හෙමින් කියවමු.

      Delete
  2. ඇත්තටම මාත් ඔය වගේ දේවල් කරා radio වලින් .ඒවා මතක් වෙනවා..සමහර
    ඒවා දාන්නත් බැහැ , ඒත් පස්සේ කාලෙකදී ඒව ගොඩක් දේවලට
    යොදා ගත්ත මේ රටේම යහපතට ..
    අර කුඩ මිටේ වැඩේ නම් හරි භයානක වැඩක් ..
    ඇස් ලං කරලා කොකා ගස්සද්දී බටේ ගියොත් ඒ ඇහ නම් ඉවරයි.
    මාත් පොඩි කාලේ රතින්ඥ වලින් වෙඩි බෙහෙත් අරන් සැමන් ටින්
    අස්සේ දාල ගල් , යකඩ කෑලි දාල පුපුරවනවා..මගේ ඇගිල්ල දවසක්
    පිච්චුනා එයින් පස්සේ නම් වැඩි වැඩ කරන්න ගියේ නැහැ ..
    කොහොම හරි ලොකු අතීතයක් මතක් උනා...
    ස්තූතියි හොද පොස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. පිස්ටල් එකකින් වෙඩි කොරද්දි ඇහැ ලඟට ගන්න ඕන නෑ යාළුවා.කොහොම උනත් සරා දැලිපිහියෙන් කිරිකන්න කවදටත් කැමතියි.

      Delete

    2. මන් කිව්වේ සෙල්ලම් තුවක්කු ගැන අපි පොඩි
      කාලේ හදාගන්න..කාල තුවක්කුවත් හැදුවත්
      ගානට ඇහැ තියල කුරුමානම් අල්ලන්න එපැයි ..:D
      විචාරකයි ලිහිණියි කියද්දී කියද්දී මතක් උනේ
      තාත්ත මට උන බට තුවක්කුවකුත් හදල දීල තිබ්බ..
      ඉතින් තනියම තමා හැම දේම මට සහෝදර සහෝදරියෝ
      කව්රුත් නැහැ ...

      Delete

  3. වෙළඳ සේවය , ස්වදේශීය සේවය තාම ඒ විදිහටම
    ඉස්සර වැඩසටහන් එක්කම තියෙනවා.. slbc online
    ගිහින් අහන්නත් පුළුවන් යාළුවා ..
    city fm තමයි තිරිහන් වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු වලට හැබෑවටම ස්තුතියි යාළුවා...!!

      Delete
  4. අප්පට සිරි. සරා මාර වැඩනේ කරලා තියන්නේ. සෙල්ලම් පිස්තෝල පිස්සුව නම් මටත් තිබ්බ. හැබැයි නව නිර්මාණ නම් කලේ නෑ. :) කැප් එක විතරක් පත්තු කරන්න එකක් නම් හදල තිබුන. දවසක් කැප් එකට දාන්න වෙඩිබෙහෙත් කලවම් කරන්න ගිහින් ඒ ටික ඇඟිලි දෙක අතරම පත්තු උනා. අතේ පත්තු..:D
    ඒ කාලේ අපේ අක්කලා කොහෙන්දෝ හොයන් එනවා සිත්තර පත්තරෙයි සත්සිරි පත්තරෙයි. පට්ට ආසාවෙන් බලන කතාවක් තමයි යුනිකෝ. තව ඒ වගේ එකක් තිබුන, නම මතක නෑ. ඒවා මාර රහයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් යාළුවා. ගුනයක් ඇතා නැතා ඒවා හරි රහයි. මම ඒවා කියවීමෙන් රූප කතා කියවන්න පුරුදු උනා. ඒනිසාම චිත්‍ර අදින්නත් පුරුදු උනා.

      Delete
  5. හි හි.. මට තිබ්බෙ රහස් පරීක්ෂක පිස්සුව.. වෙඩි තියන්න නෙවෙයි.. දුන්නෙන් විදින්න නම් හෙන ආසාවක් තිබ්බා, රොබින් හුඩ් බලලා.. දුන්නකුත් තිබ්බා මං ගාව.. හි හි..

    හැබැයි ඒ කාලෙත් චිත්‍ර කතා පත්තර තිබ්බලු.. මට ඉපදෙන්න කලින් අම්මයි තාත්තයි ඕවා කියෙව්වලු.. මං අම්මගේ බඩට ආවම පත්තර ඔක්කොම ටික ගිනි තිබ්බලු තාත්තා.. එදා ඉඳලා අපේ ගෙදර රජ කළේ රුසියන් කතා, පරිවර්තන... මම චිත්‍ර කතා පත්තරයක් ආසාවට දැකලා නෑ... හි හි...

    ඕකනේ සරා අයියේ කියන්නේ.. අම්මලා තාත්තලගේ වැරදි මේවා... හි හි... ඔය පිස්තෝලෙ දියුණු කළා නම් අද සරා කොහෙද... නැද්ද මං අහන්නේ... හි හි..

    ReplyDelete
    Replies
    1. //හැබැයි ඒ කාලෙත් චිත්‍ර කතා පත්තර තිබ්බලු..\\
      ඒකාලේ නෙමේ හිරූ මේ ලඟක් වෙනකම් චිත්‍රකතා පත්තර තිබුනා. මම හිතන්නේ අනූවේ අන්තිම හරියෙදි තමයි ඔය කලාව අභාවයට ගියේ.

      //ඔය පිස්තෝලෙ දියුණු කළා නම් අද සරා කොහෙද...//

      ඕකට නම් උත්තර දෙන එක සරාගේ සෞඛ්‍යට එච්චර හිතකරනෑ. හික් හික් හික්....!!

      Delete
  6. Onna oyage me kathawa nam ahuwamai mama. Thawa ahala nathi katha kochchara athida. Mamath chithra katha paththara nam dakalama na. Oya e dewal gana kiwa tikak thamai danne.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න තව එකක් කිවුවා හොඳේ....!!

      Delete
  7. අපිලත් ඕය වගේ සරා...!
    සෙල්ලම් තුවක්කු කොයින්ද අපිලට...ලීකෑල්ලක් තුවක්කුවෙ හැඩේට..තාත්තගේ කියත අරන් කපල කොකාට ඇනයක් ගහන්..තමයි තුවක්කු හැදුවෙ...මරු ආතල් නේ බං ඒ කාලෙ...අම්මෝ.. ...ගස් ගල් වලින් වැටිල අතපය කඩාගෙන ඇති ඉස්ම යන්න.

    ReplyDelete
    Replies
    1. තාමත් හිතෙන් ඒ අතීතයට මම යනවා වීයා.ඇත්තටම හරිම සතුටක් දැනෙනවා. කරදඬු උස නොගියා නම් කවදාවත් මම දෙමාපියන්ව ඉක්ම නොයන්න තිබුනා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ.

      Delete
  8. මම පොඩි එකා කාලේ සත්සිරි, සිත්තර පත්තර මැද පිටුවේ වර්න පිටු වලින් සැරසුන විහිළු කාටුන් බැලුවා බොල.

    කාටිස් තුවක්කු, කිරිල්ල තුවක්කු මතක් කලාම පොඩි කාලෙ මතක් වුනා බොල.

    උබෙ තාක්ෂනේ තාත්ත නොදැන බොට තලන්න ඇත්තේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ගජමෑන්, ගැටයා වගේ ඒවා නේද සෑම්..? කොල්ලෝ ඕවා හදද්දී මම හැදුවේ ඇත්ත තුවක්කුනේ මචං. දෙමවුපියන්ට දරුවෝ හැමවිටම පුංචි එවුන් විදිහටම පෙනෙන එකත් වැරදියි බං. අපිවත් මේ ඇත්ත තේරුම් ගන්න ඕන.

      Delete
  9. 1. චිත්‍ර කතා:- සරා තරහ වෙයිද මන්දා මෙහෙම දෙයක් කිව්වොත්. 1970 දශකයේ ආරම්භවුනු චිත්‍රකතා පත්තර වල පලවූ චිත්‍රකතා වලින් අති මහත් බහුතරය ඉතා ලාමක, බොළඳ, හරසුන්, බොරු වීරකම්, අද තියන මෙගා ටටෙලිනාට්‍ය වහේ දිගින් දිගට ඇදීයන ආදර කතා (උදාහරණයක් ඉතින් ඊට පස්සේ චිත්‍රකතාව) ඒ වගේම එකවර අලි ඇතුන් මහා යුද හමුදා සමග සටන් කරන නීරෝ, සෝරෝ, යුනිකො, අරකෝ, මේකෝ, වැනි කතා ඇතුලත් ඒවා තිබුනේ. එයින් ළමා මනසට හීන ලෝක රසයක් සහ සාබා ලෝකයෙන් ඈත කරවීමක් තමයි වුනේ. ඉතිහාසයේ හොඳම චිත්‍රකතා පොත් බිහිවුනේ සුසිල් ප්‍රේමරත්න, ජී එස් ප්‍රනාන්දු, බන්ධුල හරිශ්චන්ද්‍ර, දයා රාජපක්ෂ වැනි චිත්‍ර ශිපීන්ගේ නිර්මාණයි. රන් දූපත, බිලි පූජාව, ලන්දේසි හටන, දේවස්මිතා, හුලවාලි, වැනි ඒ චිත්‍රකතා සදාකාලික අගයකින් යුක්තයි. මට මතකයි ඒවා කොටස් වශයෙන් පළවෙද්දී ඒ දිනපතා/සතිපතා පුවත්පත් වේගයෙන් අලෙවි වූ හැටි. 1970 දශකයේ චිත්රකතාවලින් ළමා මනසට ඇතිවන අයහපත් බලපෑම අවබෝධ කරගත් සමහර ගුරුවරු. ඒ චිත්‍රකතා පොත් පාසල පැත්ත පලාතට ගේන්න දුන්නේ නැහැ. අද පුහු මෙගා ටෙලි නාට්‍ය දිහා කට අරගෙන බලා ඉන්න ආකාරයට තමයි ඒ කාලයේ ඔය චිත්‍රකතා පත්තර වලට ඇබ්බැහි වෙලා තිබුනේ. අපේ දෙමවුපියන්ට සහ ගුරුවරුන්ට බුදු බව අත්වෙන්ඩ වසරකින් දෙකකින් ඔය කියන චිත්‍රකතා පොත් වලින් ඈත් වෙන්ඩ අපට පුළුවන් වුනා.

    2. පිස්තෝල:- ඔබේ අර වෙඩි බෙහෙත් කොටන තුවක්කු නිර්මාණය සැබවින්ම අගය කලයුතු දෙයක්. නමුත් ඔබ හිතා බලන්න ඔබේ පුතා එහෙම කළොත් ඔබ ඉඩ දෙනවාද? එදා ඔබේ පියා හිතුව ආකාරයට තමයි අද ඔබේ පුතා එහෙම දෙයක් කළොත් ඔබත් ක්‍රියා කරන්නේ. අපේ සංස්කෘතිය, පවුල් සම්බන්ධතාව, මොන වගේද කියලා මම ඔබට කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් ඔබේ නිර්මාණශීලී බව පසුකාලයකදී හෝ එළිදක්වන්න හොඳ අත්වැලක් ලැබෙන ආකාරයේ පසුබිමක් තිබුනානම් ඔබ ඊට වඩා හොඳ නිර්මාණයක් කරන්න හොඳටම ඉඩ තිබුනා. අද ඔබව එයින් වලක්වා තිබෙන්නේත් මේ සමාජයමයි. (ඔබව වෙනත් වෘත්තියකට කොටු කිරීමෙන් හා එවැනි නිර්මාණ කරන්නා අපරාධ කරුවෙක් යන නිර්වචනය දීමෙන්)

    3. කාට්ස්:- මමත් පුංචි කාලේ හොඳ පිස්තෝල කාරයෙක්. ඔබ අර 'කාට්ස්' කියලා කියන එකට අපි පුංචි කාලේදී කිව්වේ 'කැප් රෝල්'කියලා. අර සිහින් කඩදාසි පටි රෝලක පරිප්පු ඇට වගේ තියන ඒවා නේද? 'බීරංගය' කියන එක දැන් ඉන්න සමහර අයටනම් තේරෙන්නේ නැතුව ඇති.

    ඔබේ ජීවිත අත්දැකීම් මාව මගේ කුඩා කාලය වෙත ගෙනගියා. බොහොම ස්තුතියි ඒ මිහිරි අතීතය මතක්කර දුන්නාට.


    අසමි දකිමි සොයමි ලියන විචාරක


    ReplyDelete
    Replies
    1. ඔබේ ඊ මේල් ලිපිනය මට එවනවාද මේ ලිපිනයට
      wmjgslsr@gmail.com

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. අදහස් දැක්වීමකදි තරහා ගන්න කෙනෙක් නෙමේ මහත්මයා මේ සරා. ඔබ සඳහන් කර ඇති චිත්‍ර කතා සියල්ලක්ම මා කියවා ඇතිබව සතුටින් කීමට කැමැත්තෙමි. එමෙන්ම සුසිල් ප්‍රේමරත්න,බන්දුල හරිස්චන්ද්‍ර, දයා රාජපක්ෂ වැනි අයත් මේ පත්තර වලට ලිවුවා ඇන්දා. ඉහත සඳහන් සමහර කතා ඔවුන්ගේ. දියෙන් කිරි වෙන්කර ගන්න දන්න අය නම් ඕවයෙනුත්වැඩ ගත්තා හිකිස්..! ඔබේ දෙවන අදහස නම් සම්පූර්ණයෙන්ම ඇත්ත මහත්මයා. පොඩි කාලේ විතරයෑ වැඩිහිටියෙකු වූ පසුවත් ඔබ වෙඩි තැබීමේ දක්ෂයෙකු වන්නට ඇති මගේ අනුමානයට අනුව. කරුමෙට් අපට නම් ඕකට ලැයිසොං තිබුනේ නෑ. ඒනිසා................................................

      Delete
    3. මම ඊයක් එවූවා ඔබට.ජයවේවා...!!

      Delete
  10. ම්ම්ම්.... ඔය චිත්‍ර කතා පත්තර නම් මම දැකල නැ. හැබැයි අපේ අම්මල ඉස්සර ඕව මාර ආසාවෙන් බලනවා කියල අපිත් එක්ක කියල තියෙනවා.

    සරා අයියත් පොඩි කාලේ මාර වැඩ නොවැ කරලා තියෙන්නේ. අපේ තාත්තත් පොඩි කාලේ ඔය වගේ වැඩ කරන්න ගිහින් තුවාලත් කර ගෙන තියනවා කියල අම්ම කිව්වා.... අපිත් පොඩි දවස් වල ඔය වගේ වැඩ කරලා තියෙනවා. හැබැයි බොරු තුවක්කු වලින්.... තනියමත් නෙමෙයි තව දෙතුන් දෙනෙක් හිටියා.

    ReplyDelete
    Replies
    1. 85න් පස්සේ ඉපදුන අය ඔහොම තමයි.පේන්නේ නැද්ද අපේ උන්දැත් ඔය කියන්නේ. සරා අයියා හැමදාම මාර වැඩ තමයි කලේ නංගියේ. ජය...!!

      Delete
  11. ගමේ මාමලාගෙ ගෙදර සිත්තර පත්තර මිටියක් තිබිලා මාත් කියවලා බලලා තියෙනවා... සරත් මධුගේ චිත්‍ර..එහෙම මාර ලස්සනයි...එක කතාවක් තිබුනා යුනිකෝ කියලා..අපේ කාලේ වෙද්දී පත්තර ටික නැවතිලානේ...

    ඔය වෙඩි තියන පිස්සුව අපේ අයියා කාරයාටත් තිබුනා.. එක්කෝ වතුර තුවක්කු. නැත්තම් පල්ලියේ මංගල්‍යය දවසෙදි ගන්න තුවක්කු. එහෙමත් නැත්තම් උඹ බටවලින් හදපුවා...මාව අවුස්සන්න ඕනෙ උනාම මගේ ඇඟටත් වෙඩි තියනවා...රිදුනේ නැතත් මම ඉතින් රිදුනා වගේ බෙරිහන් දෙද්දී අම්මගෙන් වදිනවා උන්දට කෝටු පාර මදි නොකියන්න...

    ReplyDelete
    Replies
    1. ඒවට තියෙන ඉල්ලුම නැතුව ගියා ළිහිණි රූපවාහිනී, එෆ් එම් නාලිකා කොම්පියුටර් වල ආගමනයත් එක්කම. මටත් පුංචි කාලේ හිටපු හොඳම යාලුවා මගේ නංගි.

      Delete
  12. චිත්‍රකතා පත්තර එක්ක බැඳුනු ලස්සන අතීතයක් මටත් තියනවා.. මේවා අයේ මතක් කළා විතරක් නෙමේ කාලෙකින් පත්තරයක් දකින්නත් සැලැස්සුවට සරාට පින්...

    ඉස්සර බදාදට නැන්දා ගේන සතුට පත්තරේ මුලින්ම අරගන්න අයියයි මායි සීයලෑ ගෙදර පඩි 95ක් විතර තිබුන ගල් පඩිපෙල බැහැපු විදිහ අද මතක් වෙද්දි ඇඟ හීතල වෙලා යනවා. එච්චර උමතුවක් තිබුනෙ චිත්‍ර කතා වලට..

    උබට වෙච්ච සන්තෑසිය ගැන කතා කොළොත් ඕක අපේ ජාතික දුර්වලතාවයක් බන්.. නව නිර්මාණ කරන එකා ද්ඩුවමට ලක්වෙනවා.. විහිළුව කියන්නෙ ඔය උඹට උනා වගේම හේතුව හැටියට කියන්නෙ දඩුවම දුන්නෙ උගෙම ආරක්ෂාවට කියලා.. කාට කියන්නද..

    ReplyDelete
    Replies
    1. ඉස්සර බදාදට නැන්දා ගේන සතුට පත්තරේ මුලින්ම අරගන්න අයියයි මායි සීයලෑ ගෙදර පඩි 95ක් විතර තිබුන ගල් පඩිපෙල බැහැපු විදිහ අද මතක් වෙද්දි ඇඟ හීතල වෙලා යනවා.//

      මම මේ හිතෙන් මවා ගන්න උත්සාහ ගත්තා මචං. හැබෑවට මෙහෙම තැනක් ගැන මතකයක් තියෙනවා ඒත් ඒකොහේද කියන එක පැහැදිලි නෑ. පහතින් සඳහන් කරපු කතාවටනම් හැබෑවටම හිනා යනවා. ඔහොම සිද්දි කීපයක් කලකට ඉහත අපේ රටේ සිද්දවුනා මතක ඇතිනේ. ජය වේවා...!!

      Delete
    2. මම කියන්නෙ බෝතලේ, මීරිගම තැනක් ගැන.. සමහර විට ඉදිරියේදි ඔය හා සබැඳුනු කතාවක් ලියවේවි කුරුන්දෙ...

      Delete
  13. නියම ලිපියක් සරා. රසවත් මතකයක් අවදිකළා.
    මාත් පොඩිකාලෙ හරි ආසයි ඔය චිත්‍රකතා පත්තර බලන්න.

    අපිටනං ඔය කැප්රෝල් තුවක්කු වගේම කිරිල්ල ගෙඩි දාල වෙඩි තියන බට තුවක්කුත් ඒකාලෙ නියම භාණ්ඩයක් තමයි.

    ReplyDelete
    Replies
    1. අනුමානය නිවැරදිනම් ප්‍රසන්නත් රත්නපුර දිස්ත්‍රික්කයේ.කැලේ කොලේ කරක්ගහපු අපට කුඩා කාලේ මතක ගොඩක් වටින්නේ අපේ ළමාවිය හැබෑවටම සුන්දර වුනු නිසා යාළු. මට හිතෙනවා ඔබත් මේ හැම සෙල්ලමම දාලා ඇති කියලා. අද ළමයි ගැනහිතනකොට දුකත් හිතෙනවා අපට තිබුනු නිදහස ඉඩහසර එයාලට නැති එක ගැන. ස්තුතියි යාළු තවත් දවසක හමුවෙමු..ජයවේවා...!

      Delete
  14. චිත්‍ර කතා පත්තර තවම තියෙනවද ..දැක්කමත් ආස හිතෙනවා මම ඉස්සර ආසම වැඩේ ඔය පත්තර කියවන එකට.. අපේ මාමා කෙනෙක් ඔය පත්තර ගන්නවා අකුරු කියවන්න පුළුවන් උන දවස් වල ඉදලම මම ඕව කියෙව්වා ..
    ටෝගා මම කියවලා තියෙනවා, ගොඩක් කැමති ගයශාන් ඇල්පිටියගේ කතා වලට (රාම් රාජ් කතාව එහෙම මතකද )තව අංජන ඉන්ද්‍රජිත් , සරත් මධු එහෙමත් ආසම චිත්‍ර ශිල්පියෝවුනා ...දැන් ටෙලි නට්‍යක් බලලා විදින සතුටට වඩා දෙයක් ඒ කතා කියවීමෙන් ලැබුවා..

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒවා නෑ චමියෝ. මම දන්න තරමින් අකුරු බැරිඅයත් මේ පත්තර බැළුවා.හිනාවෙන්න එපා රූප මගින් මේ කතා තෙරුම් ගත්ත අයත් උන්නා. ටෝගා කාලෙන් කාලෙට වෙනස් වෙවී එක එක පත්තර වල ලියවුනු කතාවක්. මම මුලින්ම ටෝගා කියව්වේ විජය පත්තරෙන්. ඒ "ටෝගා සහ චන්ඩි ටීකා" කියලා කතාවක්. ලිවුවේ ඇන්දේ "සිංහ"මයි. එයා මුලින්ම සිත්තරට ලියූ කතාව ඔමේගා. වීචාරක මහත්මයත් සඳහන් කල ආකාරයට යුනිකෝ නම් සෑහෙන කාලයක් පත්තරෙත් එක්ක හිටියා. පසු කාලෙක ඒ නිර්මාණශිල්පියෝ වෙන්වෙලා වෙනම පත්තර ආරම්භ කරද්දී තමයි යුනිකෝ නැති උනේ. ඔයා ඔය කියපු ගයශාන්ගේ පැමිනීම උනේ ඔය සංදියේ."ආදරයත් ‍රැල්ල වගෙයි" කතාව තමයි මට මතක විදිහට එයා මුලින් ගෙනා කතාව. මම නිවැරදිනම් ඔහු සිත්තරට ලියූ තුන්වෙනි කතාව විය යුතුයි රාම් රාජ්. හින්දි සිනමාව වඩා ප්‍රචලිතව නොතිබුනු මේ අවදියේ ඒ අනුසාරයෙන් ගොඩනැගුනු ඔවැනි කතා මිනිස්සු අතර බොහොම ජනප්‍රිය උනා.

      Delete
  15. ඔය චිත්‍රකතා පත්තර නම් අමතක වෙන්නෙම නෑ බං. ඒ වගේම තමා අපි පොඩි කාලේ එකම විදියයිද කොහේද බං.. ඔය වගේ සෙල්ලං කරේ ඇත්තටම තියෙනවයි කියල හිතාගෙන. පැරණි
    ඉදුරන් ඇවිස්සුනා බං මේකෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යාලුවා ඔක්කොම එකම බෝට්‍ටුවේ. ස්තුතියි යාලුවා ආවට මේ පැත්තේ.

      Delete
  16. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි අපි එන්නම් නිවාඩු පාඩුවේ.

      Delete
  17. පොඩි කාලේ නම් මමත් සිත්තර පත්තරේ අකුරක් මග නෑර කියෙව්වා මතකයි..ස්තුතියි සරත් මේ මිහිරි මතක ආයෙත් මතක් කරලා දුන්නට..

    ReplyDelete
    Replies
    1. රූ නෝනා කොහොමෙයි ඉතින්. කාලෙකින් නොවැ දැක්කෙත්. මොකෝ දැන් ලියන්න වෙලාවක් නැතෙයි. ජයවේවා කිවුවා ඕං ඈ....!

      Delete
  18. මට වැඩිය ඔය පත්තර කියවන්න හම්බවෙලා නෑ..ඒත් අහම්බන්වගේ හම්බවෙලා කියෝලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම අහම්බෙන් කියවලා තමයි මමත් දිගටම කියෙව්වේ. මුලින්ම නම් තාත්තට හොරා, ඊටපස්සේ නම් ඉතින් අපිත් ලොකු පොරවල්නේ.හිකිස්...!!

      Delete
  19. ලංකාවෙ මුලම චිත්‍ර කතා පත්තරේ සතුට.

    මාත් ඕවා කියෙව්වා, නමුත් මට මේ ජේම්ස් බොන්ඩ් චිත්‍ර කතාව නම මතක නෑ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ජේම්ස් බොන්ඩ් නෙමේ අයියන්ඩි, දියමන්ති වටය කතාවේ නම.

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....