Saturday, October 27, 2012

මට බැරි රචනාව සහ මී ඇට තෙල්





ඕං ළමයි සරා අද කියන්න යන්නේ මීයා ගැන හොඳේ.. ! මොකදෑ මේ කට්ටියගේ මූණු ඇද උනේ..? නෑ නෑ සරාගේ නෙමෙයි...!  මේ කකුල් හතරේ මීයෝ ඉන්නේ...කට්ටිය මහා කරදර කාරයෙක්ය කියලා හංවඩු ගහලා තියෙන්නේ.. ආන්න ඒ මීයෝ ගැන. බලන්න මේ කරුණු දැනන් හිටියද කියලා.මෙන්න මගේ මී රචනාව....................... 

                                                   මීයා 

                 මීයන් වර්ග ‍රැසකි. හික් මීයෝ, බ‍ටුමීයෝ, කොස් ඇට මීයෝ, ඌරු මීයෝ, වල් මීයෝ යනු ඉන් සමහරෙකි. හික් මීයෝ මෙන්ම කිසිම හිමීමක් නැති මීයෝද සිටින බව ඔබ දන්නවා ඇතිය. තවමත් නොදන්නා අයද සිටිය හැක. එහෙත් මට නම් කියාදිය නොහැක. සුදුසු කෙනෙකුන්ගෙන් අසා දැන ගන්නා ලෙස දන්වමිය. කොස් ඇට මීයා හා බ‍ටු මීයා වර්ග දෙකක් යැයි සිතමි. මුන් නම් මහා කරදර කාරයෝ බව සැබෑය. ඌරු මීයා කෘෂි කර්මාන්තයේ නිපුනයෙකි. කොන්ත්‍රාත් ක්‍රමයට ගෙවල් බිඳීමද කරයි. වල් මීයා නම් ඉන්නේ කැලෑවේය. නමට මීයා උනාට ඌ හරිම ලස්සණ සතෙකි. කුඩා මුව වර්ගයක් මෙනි. දලු කොල කන උගෙන් කිසිවෙකුට කරදර හිරිහැර නැත.

                       
                           දැකලා නැති කෙනෙක් ඉන්නවානම් ඕං බලාගන්ටකෝ. 

                 මීයන්ටත් ගමක් තියනවනේ, ඒකට තමයි ඔය මීගමුව කියන්නේ. මේ මීයෝ ඉඳලා හිටලා දුම් පිට කරනවා. ඒවට නොවැ අපි මීදුම් කියන්නේ. මීයාට අයිති ගසුත් තියනවා. හැබෑට මොනවද ඒ...? ඇයි ආයිබොවන් මීගස්. එව්වා මීයන්ගේ නොවැ.      නොසලකා හැරියට කරදරයි කිව්වට මීයන්ගෙන් අපට ලැබෙන ප්‍රයෝජනත් තියෙනවා. දැනන් හිටියේ නෑනේද ඒ ගැන. ඇයි යාලුවනේ මී කිරි, එතකොට මීපැණි, මී ඉටි, මී ඇට, හා... කවුද ඕවා අපට දෙන්නේ. මීයෝ මීයෝ..!!! හුටා තව ඩිංගෙන් අමතකත් වෙනවා. ඕනම දේ ලියලා නෑනේ. ඒ තමයි මීතෙල්. ඔය මීතෙල් කියන්නේ බොහොම වටින ඖෂධයක් නෙව හංදිපත් අමාරු වලට එහෙම. ඒ විතරක් නෙමේ සතුන්ට වෙදකම් කරන්නත් මීතෙල් යොදා ගන්නවලු. විශේෂයෙන් හරක්ට. ඕවා ගන්නත් අපූරු කෙරේමයක් තියෙනවා.

                 දැනගන්නත් එක්ක මම ඒකත් කියන්නම්කෝ. මුලින්ම ඉතින් මීඇට එකතු කරගන්න ඕන. (මෙතන මම මීඇට කියන්නේ ගස් වලින් වැටෙන මී ඇට වලටය කියලා අවධාරනයෙන් මතක් කරමි.) ඊට පස්සේ අව්වේ දාලා හොදින් වේලනවා. වේලාලා අහක වනේ දාලා කොටනවා. මොකේටද දාලා කොටනවා කිව්වේ.... ? වංගෙඩියට ආයිබොවන් වංගෙඩියට. මතක තියා ගන්න හොඳට කුඩු වෙන්න කොටන්න ඕන. මෙහෙම වෙලාවට කුල්ලකුත් අපිට යොදා ගත හැකියි. කෙටෙන කෙටෙන ටික පූ කර කර ලොකු කෑලි අයින් කරන්න පුළුවන් නෙව කුල්ලෙන්. හොදින් කෙ‍ටුනම අපි මේක තම්බ ගන්නවා. කොහොමද තම්බන්නේ...? මුට්ටියකට දැම්මා වතුර ටිකකුත් දැම්මා ලිපෙන් තියලා ගින්දර දැම්මා, එහෙමද..? නෑ.. මේ වැඩේ එහෙම කරන්න බෑ. මේක තම්බන්නේ වාෂ්පෙන් මේ විදිහට ගැජ මැටික් එහෙකින්. විශාල ප්‍රමාණේ මුට්ටියක් අරන් ලිපේ තියලා ඕකට වතුර පුරෝනවා තුනෙන් දෙකක් විතර වෙනකම්. ඊට පස්සේ ඊට මදක් කුඩා මුට්ටියක් අරන් අඩියේ තරමක් විශාල සිදුරක් හදාගන්නවා. (අල්ලක් තරම් විතර). ඒක තියනවා කලින් මුට්ටිය උඩින්,තියලා මුට්ටි දෙක අතරේ මැටි ගාලා හොඳින් සම්භන්ද කර ගන්නවා. දැන් පෙනේර දැලක් හෝ ඒ සමාන දැලක් අරගෙන මුට්ටිය ඇතුලේ රඳවනවා. එහෙම රඳවපු දැල උඩට කොටා ගත්ත මී ඇට කුඩු දානවා.
                    
                 ඔය තියෙන්නේ ගැජ මැටික් එක. උඩින් තියෙන මුට්ටියේ අඩිය හිල්කරලා තියෙන්නේ කියලා අමතක කරන්න එපා. දැන් ඉතින් හොඳට ගින්දර දාමින් තම්බන්නයි තියෙන්නේ. තම්බලා ඉවර උනහම තව වැඩක් තියෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. තම්බා ගත් මීඇට අපි පැසකට දානවා. හැබෑට මොකක්ද මේ පැස කියන්නේ. මේක හදන්නේ බට පතුරු වලින් හරි වේ වැල් වලින් හරි. මල්ලක් ආකාරයේ එකක් හැබැයි ප්‍රමාණයෙන් ටිකක් දිගයි. එහෙම මීඇට දාපු පැස තව අපූරු උපකරණයකට හයි කරනවා.ඒක හදලා තියෙන්නේ ලොකු කනුවක් හිටවලා ඒ කනුවට ඝනකම ලෑලි දෙකක් හයි කරලා.  මේ ලෑලි දෙක ඈත් කරන්න ලං කරන්න පුළුවන්. ඉතින් අපි මේ මීඇට පුරවපු පැස අර ලෑලි දෙක මැදට තියලා, ලෑලි දෙකේ නිදහස් කෙලවර වල් දෙක කිට්‍ටු කරනවා. හැබැයි ඉතින් ඒක කරන්න අමාරුයි මොකද අර මීඇට මල්ල මැද හිර වෙනවනේ.  
       
                   
                ඕකට අපූරු වැඩක් කරතහැකි. ශක්තිමත් ලණුවක් හරි වැලක් හරි අරගෙන මන්දක් හදා ගන්නවා. (දෙකෙලවර ගැට ගැසූ වලල්ලක්.) ලෑලි දෙකේ නිදහස් කෙලවරට දානවා. ඊට පසුව ශක්තිමත් ලීයක් මන්ද ඇතුලෙන් දාලා දෙකෙලවරෙන් අල්ලන් කරකවනවා. එතකොට මන්ද දඟ කැවි කැවි ලෑලි දෙක හිර වෙනවා. පැස හිරවෙනකොට තෙල් යටින් බේරෙන්න පටන් ගන්නවා. හොඳයි නේද ක්‍රමේ. ඔය වැඩේ සෙක්කුවෙනුත් කරන්න පුළුවන්ලු. එතකොට නම් කොප්පරා හිඳින ක්‍රමයට වෙන්නැති.

               හොඳයි ළමායි.. අපි බලමු කවුද සෙක්කු දැකලා තියෙන්නේ කියලා..!! හැබැයි මම මේ කියන්නේ අංගපුලාවකට නැති කෙල්ලෝ ගැන නෙමේ ඕං..! උන්ටත් පැරන්නෝ සෙකුව කියලා කියනවා නොවැ. එවුවා ඕන නෑ මේන් නියම සෙක්කු
                           

                           
                                                           ඔය තෙලුත් හිඳින්නේ.

           අද පෝස්‍ටුවටනම් අත හිත අපේ අම්මාගෙන්...! අපේ අම්මා කිවුවේ නංගිබබාගෙයි මගෙයි. ක‍ටුවටත් නැති වහල්ලට නැති අසමජ්ජාතියෙක් වෙච්ච මට එයා එයාගෙම දරුවන්ටත් වඩා ආදරෙයි. ඊයේ එයාට මම ස්කයිප් එකෙන් කතාකරපුවහමයි මේ කරුනු ටික අහගත්තේ. එයා ගැන මම ලඟදිම ඔයාලට කියන්නම්කෝ.


තව එකක් මේ ජාතියේ සෙක්කුවක් අපේ කිරි අම්මලගේ ඉඩමෙත් තියෙනවානේ. දැන් නම් ඒවගෙන් තෙල් හිඳින්නේ නෑ. මේක නව සහශ්‍රයලුනේ ආයිබොවන් ඒක නිසා.

ගෙහුං එඤ්ඤං...!!



38 comments:

  1. හි හි.. අපි සෙක්කු දැකලා තියෙනො..... දැං නං ඒවා තියෙන්නේ ඇන්ට්ක් ආතල් කාරයන්ගේ මිදුල් වල ලස්සනට... හි හි

    ඇ වල් මීයාගේ කතාව දන්නේ අද ඕං... සරා අයියාත් මාර කතා තමා අරං එන්නේ... හි හි...

    සරාට නම් නැන්දම්මත් අම්මාම තමයි නේ.. අනේ වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ලෙඩේ ටිකක් තියෙනෝ හිරුවෝ. විශේෂයෙන්ම පරණ ඉලෙක්ට්‍රොනික්ස් බඩු, ඔරලෝසු, ග්‍රැමපෝන්, වගේ දේවලට වාගෙම පරණ සිංදු වලට. නොතේරෙන මොකක්දෝ හේතුවකට මට එතකොට මගේ ගෙදර අම්මා තාත්තා මතක් වෙනවා. මට හිතෙනවා ඒ මතක ඇති මට මැරෙන කම් ජීවත් වෙන්න කියලා එයාලා නැතිවට. මොනා කරන්නද හිරුවෝ හැමෝම එක සමාන අය නෙමේ නේ.

      //සරාට නම් නැන්දම්මත් අම්මාම තමයි නේ.. \\

      ඇත්තටම එයා තමයි මගේ අම්මා. මම මගේ තාත්තට එරෙහි උන වෙලාවේ අම්මා කරබාගත්තා. ප්‍රථිපලය මම ගෙදරින් පිටවුනා. ඇවිත් ගෙවපු ජීවිතේ හොඳ එකක් නොවුනට හොඳ පවුලකට එකතු උන නිසා මට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් උනා. හොස්ස ලඟින් මැස්සා යන්න බැරි එකෙකුට දරුවෙකුටත් වඩා ආදරේ කරන්න පුළුවන්ද හැම අම්මෙකුටම. එහෙම කෙනෙකුට කට පුරා අම්මේ කියලා කියවෙන්නේ හිත පුරා අම්මා යැයි නොහිතෙන්නේ කාටද නගේ...?

      Delete
    2. ඒකනේ කිව්වේ වාසනාවන් කියලා... හි හි..

      අපි දෙන්නට නං ඉතිං අන්කල්ලා ඇන්ටිලා තමයි... ඒක වෙනස් වෙන එකක් නෑ වගේ...

      Delete
  2. මාත් සෙක්කු නම් දැකලා තිබේ..

    //කෙලවර වල් දෙක කිට්‍ටු කරනවා.//

    උබ කියල තියෙන විදිහට වල් දෙක කිට්ටු කරන්නේ කොතැනටද බං ?

    ReplyDelete
    Replies
    1. ඔය කොහේට හරි කිට්‍ටු කරමු යාළුවා.අවුලක් නෑ ගමේ වැඩේනේ. ජය...!!

      Delete
  3. Oya tika amma kiyana kota mamath laga hitiyane. Eth ethakota nam therum ganna bariwa giya mokakda me karanna hadanne kiyala. danne therune.apuruwata galapala thiyenne oya.

    Aththatama mahaththayo ape amma labana athmeth apema amma wenna one. Eyata hamu una leli, banala dennai wasana wanthai ay dannawada? E thun denath thamangema daruwo kiyalane hithagena inne. Wenasak karanne nane katawath. Eth eka therum ganna bari ayath innawane ekai duka.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මම හැම වෙලාවෙම කියනවනේ..!!

      Delete
  4. මමත් සෙක්කුවක් නම් දැකලා තියෙනවා..ඒත් ඔය මී තෙල් හදන හැටි නම් දැක්කමයි....

    දැන ඔය එක එක ඒවා හදන හැටි දාන්න පටන් ගත්තනෙ...පහුගිය දවසවල කිතුල් පිටිත් හැදුවේ...අද මී තෙල්...හෙට මොනාද ...?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...... ඒක රහසක්.....!!

      Delete
  5. සරාගෙ මී පෝස්‍ටුව නියමයි. නමුත් උඹ අර වැලි කන සීයාගෙ මීයා ගෙන ලියලා නැත්තෙ අමතක වීමෙන්ද නැත්නම් සරා ගොයියා එකපාරටම ඩීසන්ට් වෙලාද? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. රචනාවේ අවසානය :)

      Delete
    2. ඇත්තටම මම ඒක දන්නේ නැත්ද මන්දා..! කිව්වනම් Dude අපිටත් දැනගන්න එක්ක.

      Delete
    3. සරා උඹ බොරු නම් කියන්නෙපා. උඹ වගෙ ඕල් රවුන්ඩර් කෙනෙක් ඒක නොදැන ඉන්න බෑ. :D මෙන්න මේක:

      අපේ සීයාටද මීයෙක් සිටී. සීයාගේ මීයා වැලි මීයාය. සීයා මිදුලෙ ඇණ තියාගෙන විට, කොටන විට සීයාගේ මීයා වැලි කයි. :O

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    4. හික් හික් හික්..!! අන්න කතා.!!!

      Delete
  6. අඩේ සරා නොදන්නා මංගල්ලයක් නෑනේ බලාගෙන ගියාම. මරු මරු..!! :)
    අපි අර සතාට කියන්නේ මී වින්නා/මී මින්නා කියල. ඔය මුව වර්ගයේ කුඩාම සතා නේද ??
    මං පොඩි එකා කාලේ අපේ ගෙවල් ළඟ ගෙදරක තිබුන සෙක්කුවක්. යන්තම් මතක. ඒක උඩ නැගල මොකක්ද එකක් කරන්නේ.
    හරක් යොදාගෙන වැඩ කරන එක කලින් දැකල නෑ.

    "මීයාට කේන්ති ගිය විට ඌ දුමක් පිට කරයි, ඒ මීදුමයි."

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්..... අපේ අම්මා චන්දන විස්තර මතක් කරලා දුන්නේ.

      මීයට කේන්න්ති ගිය වෙලාවට ඔය එලියේ පහලියේ ගැවසෙනවා නෙමේ ඕං....!!

      Delete
  7. හ්ම්..... මේක නම් දැනුමට යමක්ම තමා... මීයෝ ගැන ගොඩා.....ක් දේවල් දැන ගත්තා...

    මේ ඒක නෙමේ ඕං.... මීගමුව මීයන්ගේ ගම නෙමේ ඕං. ඒක එහෙම නම් අපි දන්නේ නැතෑ.. :/

    අහ්...!!! සරා අයියාට පිං සිද්ද වෙච්චාවේ අපිට සෙක්කුවක් පෙන්නුවට...

    අද මීයෝ.. හෙට... :O

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලුත් න‍ඟෝ..!

      අඩේ අප්පා මට අමතක උනානේ මෙයා මීගමුව පැත්තේ කියලා. සොරි වෙන්ඩ ඕනෑය. ආයේ එහෙම කියන්නේ නැතිය..

      ආපෝ ළමයෝ මමනම් ටවුන් එකේ ඕන තරම් සෙක්කු දැකලා තියෙනවා. ටියුෂන් ඇරෙන වෙලාවල් වලදි එහෙම.D

      Delete
  8. සරා අහම්බෙන් ආපු මම දැන් හැමදාම එනවා. නියමයි බං මම දරුවො දෙන්නටත් සෙක්කුව පෙන්නල විස්තර කියල දුන්න. මතක් උනේ දැක්කට පස්සෙ. නංගි බබාට හරි සතුටු ඇති නේද මේවා දැක්කම.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. Nathiwa nathiwa. Danumata yamak ek kara gaththata sathutui podi dennage.

      Jaya wewa.......!

      Delete
    2. @ දයියා

      ස්තුතියි යාළුවා..! ඔයාගේ ඒවැඩේ නම් අගය කලයුතු දෙයක්. මේ හැමදේම කරගහගෙන අපිට අනාගතේට යන්න බැරි උනාට, දරුවන්ට කියලා දෙන්න පුළුවන්. මේ අපේ දේවල් කියලා. නැත්නම් අපේ අතීතේ නොදන්න එයාලට ඕපපාතිකයෝ වගේ හැඟීමක් දැනෙන එක වලක්වන්න බෑ. අතීතයක් නැති මිනිස්සු නෙමේ නේ අපි.

      Delete
  9. නියමයි සරා නියමයි.
    මේ දැනුම අභාවයට යමින් පවතිනවා. දේශීය ශාක වල ඖෂධීය ගුණය දන්නා පරදෙසක්කාරයෝ මෙහෙ ඇවිත් ඒවාගේ ජාන හොරකං කරගෙන යනවා. ඌ අපේ ඖෂධ වලින් හදපු 'චරබරස් හුරුස්‌' වගේ කියවෙන නමක් ගහපු බෙහෙත් වර්ග, ආලේපන වර්ග, ආපහු අපිටම විකුණනවා. අපි අන් දෙකෙන් හිටගෙන, නැට්ට අහසට දික්කරගෙන කිරිජ්ජපල්ල එළියේ දාගෙන ඒවා ගානවා.

    අතින් අඳින පින්තුර වල ආලෝකවත් බව වැඩි කරගැනීමට, අකුරු සිංහලෙන්ම ටයිප් කර යෙදීමට, බොහොම හොඳට කරන්න පුළුවන්, නොමිලේ බාගතහැකි මෘදුකාංග තියනවා. මම අන්තිමට ලියපු ලිපියේ තිබෙන චිත්‍රය ඒ වගේ ඇඳපු එකක්. ටිකක් උත්සාහ කර බලන්න.

    කෝ යකෝ අර කැලෑ මීයාට කියන 'මීමින්නා' කියන නම දාලා නැහැනේ.

    ඔන්න සරෝ, මම දවසක් ඇමරිකානු යුද හමුදාවේ ලස්සන සුදුම සුදු මේජර් නෝනා කෙනෙක් එක්ක ගියා පොලොන්නරුව පැත්තේ හෝටලයකට. තුහ් විතරක් තොගේ කැත හිත. යකෝ එතන හිටියා අපේ හමුදාවේ ලොක්කෝ 15 ක් විතර. ඇමරිකන් හමුදාවේ 8 ක් විතර. අපි ගියේ ඇමරිකන් හමුදාවෙන් අපට තියපු විශේෂ පුහුණුවක් අතරතුර දවල් ආහාර ගන්න. එහෙම නැතුව වෙන මගුලකට නෙවේ. (වෙන මගුලක් කරන්න නාකියාට පණ තියෙන්න එපායැ)මෙන්න බොලේ හෝටලේ මිදුලේ ගල් සෙක්කුවක් හයි කරලා තියනවා. මේජර් නෝනා ඇහුවේ නැතැයි මගෙන් මේ මොකක්ද කියලා. කෙලපි තම්බි හැලප ගොඩට කිව්වලු. දැන් කියපන්කො මේ මගුලට කියන නම ඉංග්‍රීසියෙන්. මම ඉතින් ඉතිහාසේ ඉඳලා ඔක්කොම කිව්වා මේ මගුලෙන් මොකක්ද කරන්නේ කියලා. අන්තිමට මෙකි කිව්වේ නැතැයි oh, I can understand it's an 'Oil Expeller' ඔන්න නම මතක තියාගනින් සිංහලෙන් ඔයිල් එක්ස්පෙලර්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හි හි.. විචාරක ගොයියටත් මේවා දැක්කම මතක් වෙන දේවල්..

      ඇ සරා අයියේ.. අරෑ මී මින්නද... ඒක නං අහලා තියෙනවා.. දැකලා නං නැතෝ...

      Delete
    2. විචාරක මහත්තයෝ, මට මේ ලඟදි අහන්ඩ ලැබුනා දැන් අපේ හමුදාව ඇමෙරිකන් හමුදාවට උගන්වනවලු කොහොමද ත්‍රස්තවාදීන් එක්ක ඔට්ටු වෙන්නෙ කියලා. ඒක ඇත්තද ? වෙන්ඩත් පුළුවන් කියලා හිතෙනවා මොකද ත්‍රස්තවාදී සංවිධානයක් බිම දණැ ගස්වපු වෙන හමුදාවක් නෑ නේද ලෝකෙ..

      Delete
    3. මේකයි වෙන්නේ සෙන්නා. ඒක ඉගැන්වීමක් නෙවෙයි. රටවල් රාශියක හමුදා නියෝජිතයන් ලංකාවේදී එක්ව අභ්‍යාස, සාකච්චා , සම්මන්ත්‍රණ මගින් කරණ පුළුල් අධ්‍යයනයක්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. @ විචාරක
      ස්තූතියි ඔබට. පුංචි කතාවකුත් කියලා. වැදගත් තොරතුරු ටිකකුත් එක්ක. හරි අපූරු කමෙන්‍ටුවක්. ස්තුතියි නැවතත්.

      Delete
    5. @ හිරූ
      සමහර පැතිවල එහෙමලු. අපේ පලාතේ නම් ඌට කියන්නේ වල් මීයා කියලා. මතකය නැවත අවුස්සලා බලන්න ඕන හිරුවෝ. වල් මීයා හා මීමින්නා ගැන. නැවතිල්ලේ හිතලම උත්තරයක් දෙන්නම් හොඳේ.

      Delete
  10. මේ පෞරාණික දැනුම බෙදන එකනම් ලොකු සේවයක් සරා. බලන් ගියාම උඹත් නොදන්න මගුලක් නෑ නේද.. හරි ආසයි මේ වගේ ලිපි කියවන්ඩත්..

    මට මතකයි ඉස්සර අපේ කිරි අම්මා පොල් තෙල් හිදිද්දි අන්තිමට එන මණඩි වගයක් කන්න දෙනවා අපිට.. ඒම මාර රහයි බන්.. දන්නව නම් ඒ ගැනත් ලියපන්..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් හ්ම්.. ඒගැනත් මම කියන්න බලමුකෝ සෙන්නා. ඕවට අපි තෙල්කා කියලා කියනවා. පෙරේසමෙන් කාපන් වැඩි උනොත් බඩේ ලෙඩේ. ස්තූතියි යාළුවා..!!

      Delete
    2. තෙල් කා ටිකක් කා :)

      Delete
  11. හ් හි හි.... නියම ලිපියක්..ඔය රූපේ ඉන්නේ මීමින්නෙක් මීමින්නො අයිතිවෙන්නේ මුව පවුලේ උප වර්ගයයකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. පැමිනීමට සහ පැහැදිලි කිරීමට.

      Delete
  12. නියමයි සරා! ඉස්සෙල්ල කිතුල් පිටි හැදුව, අද මී තෙල් ගත්ත, ඊලඟට කබරතෙල්ද?:)(හොඳ ලිපි! තරහ වෙන්න එපා!)

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි රාජ් මහත්තයා කබරතෙල්.

      තරහ වෙන්නේ මක්කටෙයි ඔයාලගේ ප්‍රථිචාරම නෙව අපට තියෙන ශක්තිය.

      Delete
  13. Replies
    1. ස්තුතියි.. යාළුවා...!!

      Delete
  14. මීයො ගැන මෙහෙම ලියලා මී හරක් තරහා වෙයිද මන්දා...!!

    සරාගේ වේගෙට පෝස්ටු කියවන්න කොච්චියක්වත් ගේන්න වෙයිද මන්දා..මගෑරුනු පෝස්ටු පහම කියවලා ඕන්න මේකට ආවේ..

    ReplyDelete
    Replies
    1. දන්නවද රූ නෝනේ මේ ගමන "හජ්" නිවාඩුව මම වෙන්කෙරුවේ ඔයාල වෙනුවෙන්...!
      ඔය තියෙන්නේ ඒකේ පොරතිපල නෙව.

      මීයො ගැන මෙහෙම ලියලා මී හරක් තරහා වෙයිද මන්දා...!!

      උන්දැල දකීවිද මේක...?

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....