Thursday, October 25, 2012

ඖෂදීය ගුණ ඇති කිතුල් පිටි....




              පහුනු පෝස්‍ටුවේ කිතුල් මල් හදන හැටි කිවුවට කිතුල් ගහෙන් ගන්න එකම ප්‍රයෝජනේ ඕක විතරක්ම නෙමේ නේ කියලා මට හිතුන නිසා ඒ ගමන්ම මේ ටිකත් කියලා දාන්න හිතුනා.  අද අපි බලමුද රා ,පැණි, හකුරු හැර කිතුල් ගහෙන් ලැබෙන ප්‍රයෝජණ මොකුත් තියනවද කියලා. උත්තරය ඔව්. එහෙනම් මොනවද ඒ. ඇයි ආයිබොවන් කිතුල් පිටි.කිතුල් පිටි කියන්නේ බොහෝම වටින ඖෂධයක්. මදුමේහය නැත්නම් දියවැඩියාව තියෙන අයට මෙන්ම නිතර ක්ලාන්ත ගතියෙන් පෙලෙන්නන්ටත් කිතුල් පිටි කැඳ මාහැඟි ඖෂධයක් කියලයි ආයුර්වේද වෛද්‍ය මතය. හරි ඉතින් කොහොමද මේ කිතුල් පිටි ගන්නේ. මම කියලා දෙන්නම්.

                 මේ වැඩේට අපි ගන්නේ මල් හදන්න බැරි හා මල් නොහදපු කිතුල් ගස්. හොඳින් තෙලිජ්ජ ගන්න පුළුවන් උන කිතුල් වල පිටි නෑ පිටි තියෙන කිතුල් වල මල් හරියන්නේ නෑ. මුලින්ම අපි කිතුල් ගහ කපලා පලා ගන්නවා. මැද තියෙන මද කොටස (ඕකට කිතුල් බඩේ කියලත් කියනවානේ) කපලා ගන්නවා. එහෙම ගත්ත කිතුල් බඩ කුඩා කෑලි වලට කපලා වංගෙඩියේ දාලා කොටනවා. හොඳින් කෙ‍ටුනම වතුර භාජනයකට දාල කලවම් කරලා මිරික මිරික කෑලි තියන ඒවා අයින් කරනවා. ඊට පස්සේ කිරි ගොට්ටක ආධාරයෙන් වෙනත් භාජනයකට (තැටියකට හෝ එවන් පැතලි භාජනයකට) පෙරා ගන්නවා. ඊට පස්සේ පැයක් විතර හොලවන්නේ නැතිව තියලා තියනවා. එතකොට උඩ තියෙන වතුර පැහැදිලිවෙනවා. ඒ කියන්නේ පිටි සේරම යටට බැහැලා කියන එක. තවත් පැහැදිලි කරනවානම් පිටි භාජනේ අඩියේ මිදිලා. දැන් ප්‍රවේශමෙන් වතුර ටික අහකට පෙරනවා. ඊට පස්සේ අර මිදුන කොටස අව්වේ වේලනවා. හොදින් වේලුනහම මෙවා අතින් පොඩි කරන්න පුළුවන්. කැට ගතියක් නොහිටින්න පිටිවෙනවා.ඕන නම් ඉතින් පෙනේරයකින් හලා ගන්නත් පුළුවන්.ඊට පස්සේ ඉතින් බෝතල් වල හරි ටින්වල හරි දාලා තියාගන්න පුලුවන්.

                   ඔන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දැන් අපි අර වතුරේ කලවම් කරලා ලොකුවට තියෙන කෑලි සේරම අයින් කරලා කිරි ගොට්ටට පෙරලා වතුර ටික ගන්න කොට ඉතුරු වුන රොඩුවගේ කොටස තියනවා නේද. ඕක විසි කරන්න ඕනේ නෑ යාලුවනේ. ඕවා දාලා වැලිතලප ටිකක් හැදුවානම්... වාව්.. මාර රසයි ආයිබොවන්. මම කාලා තියෙනවා. 

                                                 කිතුල් පිටි කැඳ  
අවශ්‍ය ද්‍රව්‍ය:         කිතුල් පිටි,
                          පොල් ගෙඩියක කිරි,
                          සීනි හෝ පැණි,
                          ලුණු.

                   මුලින්ම පොල්කිරි සාස්පානකට දාලා ලිපේ තියනවා. ඒකට රස අනුව ලුණු සහ සීනි එකතු කර ගන්නවා. කිරි ටික කැටි ගැහෙන්න නොදී හැඳි ගාමින් පස්ස ගන්නවා. ඊට පසුව කිතුල් පිටි අවශ්‍ය පමණට ගෙන වතුර හෝ දිය කිරි ස්වල්පයක් සමඟ හොඳින් මිශ්‍ර කර ලිපෙහි ඇති කිරි භාජනයට දානවා. (අපි මෙහෙම කරන්නේ කෙලින්ම කිතුල් පිටි උතුරන කිරි වලට දැම්මොත් කැට ගැහෙනවා මිස කිරිත් සමඟ දිය නොවෙන නිසා.) මතක තියා ගන්න කිතුල් පිටි දැම්ම ගමන්ම මිශ්‍රණය ඝන වෙන්න බලන නිසා හොදින් හැඳි ගාන්න ඕන. මෙහෙම හැඳි ගාලා විනාඩි පහකින් විතර බාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මදක් නිවාගෙන බොන්නයි තියෙන්නේ. කාන්තාවන්ට එහෙම ඉතා ගුනයි කියනවනේ.
                 හැබැයි යාළුවනේ මේ වෙනකොට කිතුල් කියන ලේබලයෙන් ගොඩාක් කහල ගොඩවල් වෙලඳ පොලේ තියනවා. හරි දේ හොඳ දේ තොරලා ගන්න පාරිභෝගිකයා දැනගන්න ඕන. මටත් ඉස්තරම් කිතුල් හකුරු කියලා සීනි හකුරු විකුණන්න හදලා තියෙනවා මේ සිදාදියේ මුදලාලිලා. හිකිස්... අපි නොදන්න මොණර තැන්න. අපිව තම්බන්න මේකලගේ ලුණු ගොරකා මදි ඉතින්. ඒත් හුඟාක් මිනිස්සු ‍රැවටෙනවා. සිදාදියේ විතරක් නෙමේ ආයිබොවන් සිරිපා අඩවියේදිත් මට සීනි හකුරු හම්බවෙලා තියෙනවා. කූට වෙලෙන්ඳෝ හැම තැනම.  ඒත් ගම්බදව හොඳම දේ තියෙන නිසා උනන්දු උනොත් හොයා ගන්න බැරිනෑ.


එහෙනම් ගෙහුං එඤ්ඤං.....!!!




21 comments:

  1. අපේ ඔපීසියට දිනපතා කැඳ ගේන මනුස්සයෙක් ඉන්නව. එක දවසක කොල කැඳ, කුරක්කන් කැඳ, කිතුල් පිටි කැඳත් ගේනව. හැබැයි ඔරිජිනල් බඩුමද දන්නෙ නෑ.
    කිතුල් පිටි හදන විදිය නං හරියට හරි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රාජ් මහත්තයත් දන්නවා කිතුල් පිටි ගැන. අපූරුයි..!!

      Delete
  2. ඉස්සෙල්ල පෝස්ට් එක කියෙව්වට කොමෙන්ට් එකක් දාන්න බැරිඋනා.
    නියම විස්තර ටිකක් තමයි දීල තියෙන්නෙ.

    ඉස්සර ‍මේ පැත්තටත් හොඳ කිතුල් පිටි ආව. දැන්නං එන්නෙ ලෝකල් බඩු.

    ReplyDelete
    Replies
    1. නෙවෙන්නම්..! පාවිච්චි කරන කොට නෙව තේරෙන්නේ ලෝකල් කියලා එතකොට පමා වැඩී.

      Delete
  3. මම ඉස්සර ආසයි කිතුල් පිටි කැඳ බොන්න..කොහොමත් රීප්පේ වගේ හිටපු නිසා ඕනෙ දෙයක් ඇදලා දන්න පුළුවන්.. දැං ඒකට.. මොනවා කෑවත් අලියා වගේ මහත් වෙනවා.. ඒක නිසා සොරි තමා... හි හි...

    කිතුල් බඩේ කන්න පුළුවන් නේද... මට මතකයි දවසක් කෑවා වගේ... ෂුවර් නෑ....

    හොඳ කිතුල් හකුරු නම් හොයන්න බෑ සරා අයියේ මෙහෙ.. කොච්චර කිව්වත් බොරු කාරයෝ මයි ඉන්නේ.. රටේ හැටි නොවැ....

    ReplyDelete
    Replies
    1. කිතුල් බඩ, ඉඳි බඩ, පොල් බඩ ඔක්කොම කනවා. පොල් බඩ ව්‍යංජනය හරි රසයි. ඒත් වයසක මිනිස්සු එහෙම ඒ වැඩේට කැමති නෑ. ගහක් මරාගෙන කනවා වගේ අදහසක් එන නිසා වෙන්න ඇති.

      Delete
    2. @ හිරූ

      තියනවා ලමයෝ ඔය ලොකු කඩ කාරයෝ ගාව නම් නෙමේ දෙල් කඳ පොලේ බලන්න. ඉස්සර මට මතකයි අපේ පැත්තෙන් වෙලෙඳෝ හත් අට දෙනෙක්ම ආවා ඔහේට. තාමත් එනවා ඇති.

      Delete
  4. අර වැලිතලප හදන හැටි ඇහුවේ අදයි. අපි තව කෑමක් හදනවා. කිරිදානෙට කිරියා හදන්නේ අන්න එ වගේ හාල් පිටි සහ කිතුල් පිටි මිශ්‍ර කරලා හැඳි ගානවා. කිතුල් පිටි පොඩ්ඩයි දාන්නේ. හැන්දෙන් ගන්න පුළුවන් මට්ටමට එනකොට බානවා. නිවුනම හැන්දකින් කන්න පුළුවන් පිඟානකට දාගෙන..
    මේකම තව හාල් පිටි ටිකක් වැඩි කරලා දියාරු ගතිය අඩු වෙන්න හදා ගත්තම කෑලි කපන්නත් පුළුවන් අලුවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕවට කියන්නේ තලප කියලනේ.

      Delete
  5. හොඳ දැනුවත් කිරීමක් අයියා කොළඹ අපිට කිතුල් කැඳ කෝප්පයක් කියන්නේ හොයාගන්න අමාරු දෙයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා තියෙන්නේ කූට වෙලෙන්දෝ නිසා කියලයි මට හිතෙන්නේ.

      Delete
  6. සරෝ, මේ විදිහට කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඉතාම වැදගත්. කිතුල්පිටි කැඳ කාන්තාවන්ට විතරක් නෙවෙයි. අර තදවීමේ රෝගය තියන පිරිමින්ටත් හොඳයි.
    නරකද කුරක්කන් තලප හදන හැටි සහ හොඳ ආනමක්‌ එක්ක එව්වා කොටාබාන හැටි ගැනත් ලිව්වොත්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපූරු අදහස් නොවැ ඔබතුමාටත් පහල වෙන්නේ. හොඳයි අපි ඒ ගැනත් හිතලා බලමු.

      Delete
  7. සරත් සහෝදරයා. කිතුල් පිටිගැන,ලිපියයි ඊට කලින් දාපු කිතුල් තෙලිජ්ජ කිතුල් මල් මදින විදියයි දෙකම කියෙව්වා,හුඟක් හොද ලිපි දෙකක් ,ඔබට ස්තුතියි.අපේ පැත්තේ කියන්නේ කුරුනැගල පැත්තෙ කිතුල් පිටි හදන්නේනම් ඔයිට ටිකක් වෙනස් විදියට.. ඉස්සෙල්ලාම ඔබ කියපු විදියට කිතුල් ගහේ මැද තියෙන කොටස වෙන්කරගෙන කුඩා කෑලිවලට කපාගන්නව. ඊටපස්සේ ඔයා කියපු විදියට අර කුඩාවට කපාගත්ත කෑලි වංගෙඩියේ දාලා හොදට කොටා ගන්නාව. දැන් ,කට ලොකු ගැඹුර මුට්ටියක් අරගෙන සිහින් හිල්තියෙන කපු සාරියක් වගේ රෙදි කැල්ලක දෙකට නමලා අර මුට්ටියෙ කටට වැහෙන්න තියලා හීන් හයිය ලනුවකින් හෝදට බදිනවා පස්සේ ඒ මුට්ටියට බැඳ ගත්ත රෙදිපටට බාගයක් විතර අල්ලනකල් වතුර පුරවනවා. ඊට පස්සේ අර වංගෙඩියෙන් කොටා ගත්ත කිතුල් කුඩු ටික ටික අර බාගෙට වතුර අල්ලපු රෙදි ගොට්ට උඩට දලා හිමින් හිමින් අත ගානවා වතුරට කලවන්වුන කිතුල් පිටි හිමින් හිමින් අර වතුර එක්ක රෙදි පට අතරින් පහලට බැහලා මුට්ටියෙ අඩියට තැන්පත් වෙනවා .හැබැයි වතුරයි කිතුල් කුඩුයි අතගානකොට කිතුල් පිටි එක්ක
    හාමුවුන වතුර මුට්ටියේ කටින් පිටට යන්න දෙන්න හොඳ නෑ මොකද එතකොට කිතුල් පිටිත් ඒ එක්කම පිටට යනව. ඉතින් මෙහෙම අත ගානකොට වතුරයි කිතුල් කුඩුයි එක්ක හැඩුන කැඳ වගෙ කොටසේ කිතුල් පිටි වල තියෙන සෙවල වගේ ගතිය නැතිවෙනකොට ඒ ටික අයින් කරලා නැවත් අර වංගෙඩියෙන් කොටගත්ත කිතුල කුඩු අලුතින් දාගෙන අත ගන්න ඔනැ,මේ ක්‍රමය ටිකක් වෙලා යනවා,නමුත් මිදෙන පිටිනම් ඔර්ජිනල් .ඊට පස්සේ මුට්ටියෙන් රෙදිකැල්ල අයින්කරලා පැයක් විතුර මුට්ටිය නොසෙල්වා තියලා වතුර ටික පෙරලා මුට්ටියෙ අඩියෙ තියෙන පිටි අරගෙන වතුර පෙරෙන්න තව රෙදිකැල්ලකට දාලා හොදින් ගැට ගහලා එල්ලලා තියනවා. වතුර ටික පෙරිලා ඉවරවුනාම ගනකම් කඩදසියක් වගෙ එක්ක තුනීකරල අව්වේ හොදින් වේලා ගන්නවා ,හොදට වේලුනාම කැට පොඩිකරලා හීන් පෙනෙරයකින් හලාගෙන බෝතල්වල අසුරා ගන්නවා.
    ඉතින් මේ විදියට කිතුල පිටිගන්න අමු කිතුල් මඳ තියෙන්න ඕනැ, වැඩිපුර කිතුල් මද තියෙනවානම් ,පස්සේ පිටි හදාගන්න කිතුල් මඬ කුඩා කැලිවලට කපලා හොදට අව්වේ වෙලාගෙන ගුල්ලන් ට එන්න බැරිවෙන විදියට අසුරලා තියාගෙන පස්සේ පුලුවන් දවසක අර විදියටම කොටලා පිටි හදාගන්නවා, එතකොට කිතුල් කෑලි වේලිල්ල හින්දා කොටගන්න එකත් ලේසියි .
    අර කියලා තිබ්බ විදියට කැඳ හදාගෙන බොන එක ගුනයිකියලා මමත් අහලා තියෙනවා, තව ක්‍රමයක් තියෙනවා කිතුල් තලප කියලා හදන විදියක්,එක කරන්නේ කිතුල්පිටියි වතුරයි එකට කලවම් කරලා පදමට ලුනුයි සීනි ටිකකුයි දාලා තාච්චියක් වගේ එකක දාලා ලිපේ තියලා(උකුවෙනකල්). තාච්චියේ ඇලවෙන නොවෙන එන ගාන එනකල් හැදිගලා ගන්නව ගානට ආවාම ලිපෙන් බාලා නිවෙන්න ඇරලා කැලිවලට කපලා පිගානට දා ගන්නවා. එකට දාගන්න පොල්වලින් කිරක් හදා ගන්නත් ඔනෑ. ඒ කිරි හදාගන්නේ පොල්කිරි අරගෙන ඒකට පදමට ලුනුයි.ගම්ම්රිස් කුඩු ටිකකුයි දලා ලිපේ තියලා කිරි පැහෙන්න අරිනවා. ඒ කිරි දාගෙන තමා අර පිගාන්ට දාගත්ත කිතුල් තලප අනාගෙන කන්නේ, මෙකටම තම තමන්ගේ ගානට සීනි ටිකකුත් දාගත්තම උදේටන මරු කෑමක් තමයි.. ඊ.එම්. කේ. බංඩාර

    ReplyDelete
    Replies
    1. නියම විස්තරයක් නේ ඒක. පස්සේ කියපු කෑම නම් අහලම තිබුනේ නෑ.

      Delete
    2. ඇත්තටම හොඳ විස්තරයක් තමයි. ඔබට ගොඩාක් ස්තුතියි මහත්මයා. මේ තොරතුරු වලට. හැමොටම වැදගත් වෙනවා මේ දැනුම බෙදා ගැනීම.

      Delete
  8. හපොයි එතකොට පිටි ගන්න ගහක් කපන්නම වෙනවද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිටි ගන්න කපන්නේ වෙන ප්‍රයෝජනයක් ගන්න බැරි ගස් මිත්තරයා.

      Delete
  9. Ane me monawathma mama danagena hitiye nane. Kithul piti dakalawath na.

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ මම ආවම හොයල දෙන්නම් හොඳේ..!

      Delete
  10. ම්..අපේ ගෙදර ෆේවරිට් කෑමක්..
    ස්තුතියි සරා මේවා මතක් කලාට..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....