Friday, October 19, 2012

බිනරමලීව මතකද...?






                  රන් ‍රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
                  තරු මුතුහර ගෙල පළඳා වලා සේල ඇඳ 
                  බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද 
                  පායාපන් මගේ පැලට පායාපන් සඳ 
                                                  වනසපු මල් පිපී සුවඳ තීරු පෙරෙනවා 
                                                  ඇගේ ලඟත් හරියට ඒ පුසුඹ තියෙනවා 
                                                  පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා 
                                                  පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා  
                  බිනර මලී සිනාසුනා මතකයි යන්තම් 
                  මල්පෙති ඇමිනුවා වගේ වැලකට රන්දම්
                  නෙරිය තබා ඉඟ නලවන ගමනෙහි අන්දම්
                  හඳ පෑවුවා වගේ වැටට උඩිනුත් පන්දම් 
                                                 ඉර පායා ‍රැස්විහිදා මුදුනට එනකොට
                                                 සඳකත් පිනිදිය ගලලා ‍රැයක් ගෙවෙන කොට
                                                 මල් පිපිලා පුසුඹ වැදී බඹරුන් එනකොට
                                                 බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට 
                  පීරා පිට මැදට හෙලූ වරලේ ‍රැල් ‍රැල්
                  තො‍ඳොල් වෙවී කතා කියයි හඬවා රසුදැල්
                  කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
                  මුතුබංඩගෙ පැලේ තමයි බිනරී හැමකල්  
                                               ගොයම් නෙලුමෙ කවි සීපද බිනරි කියන කොට
                                               කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
                                               බියත් සසල වෙයි ඇහැරෙන හදවත ඉඳහිට
                                               වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට 
                  පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
                  පායපු ඉර වලාගැබේ පතුලට වීදෝ
                  මැවූ සිහින මාලිගාව බිඳී වැ‍ටුනදෝ
                  මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ           


                       මොකද හිතුනේ සරා අපූරු කවි වගයක් ලියලා කියලද...? අනේ නෑ, සරාට මේවා බෑ. හැබැයි සරාට ලස්සණට සිංදු කියන්න පුළුවන්ළු. ඇඩ් එකක් නෙමේ අහගෙන ඉන්න ඈයෝ තමයි කියන්නේ. මේකත් සිංදුවක්,බොහොම පැරනි සිංදුවක්. සරාටත් වඩා පරණයි:D එහෙම කිවුවේ මේ ලඟදි හිරුවා කියලා තිබුනා මම ඇන්ටික් පොරක්ය කියලා. එවුවා ඉතින් දන්නෝ දනිති. මොකටෑ ආයේ වාද කොරන්නේ කියලා මාත් ඔන්න ඔහේ "යේස් මැඩම්" කියලා නිකා හිටියා. මම කියාගෙන ආව කතාව ඕක නෙමේනේ. මේන් ඒක. මට ගූගල් දෙයියා දුන් ගීතය ග්‍රැමපෝන් තැටියකින් උපුටා ගත්තක් නිසා වෙන්දෝ කරස් කරස් හඬක් නිකුත් වේ. ශ්‍රවණයට යම් අපහසුවක් වෙතොත් කනගා‍ටුව.

 



                     මට අද මේ සිංදුව මතක් උනේ හොස්පිට්ල් එකේ ඉන්නකොට. සයින් කිරීමයි ඩේලි රොටේෂන් එකයි ඇරුනම මගේ අතින් කෙරෙන වැඩකුත් නැති එකේ පොතක් අරගෙන පද ටික ලිවුවා මතකෙන්. රූම් එකට ආවම සිංදුව හොයාගෙන ප්ලේ කරලා බැලුවා, නාඩියෙන්ම වැඩේ හරි. පම්පෝරියකට කියනවා නෙමේ එකම පදයක් වචන එහා මෙහා වෙලා ලියවිලා තිබුනා හැර කියන්න කිසිම අඩුවක් නෑ ආයිබොවං..!


පුදුම වෙන්ට දේකුත් නෑ සරා කියන්නේ ඇවිදින කොම්පූටරයකටනේ එකෙන්ම. ඒවා නෙමේ සිංදුව ගැන කතා කරමු. මේක චිත්‍රපට ගීයක්,මුල් ගැයුම නාරද දිසාසේකර මහත්මයාගේ. ඊට පස්සේ රෝහිත විජේසූරිය මහත්මයත් කියලා තියනවා. චිත්‍ර පටය බිනරමලී. තිරගත වෙලා තියෙන්නේ 1969-8-10. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය,නිෂ්පාදනය දෙකම මුදලිනායක සෝමරත්න කියලා කෙනෙක්ගේ. ප්‍රධාන නළුවා හා නිලිය වික්‍රම බෝගොඩයි ස්වර්ණා කහවිටයි.

                  පසුව බිනරමලී චරිතත් ‍රැගෙන මුවන් පැලැස්ස කරලියට ආවේය. කෝරලේ මහත්තයා,මැනිකේ, පිනා කදිරා,ඩිංගි ගුරුන්නාන්සේ, ගබන් ලොක්කා නාමලී, සිලිඳි වැනි චරිත ඒ අතරවිය. මුවන් පැලැස්සද කොටස් කීපයකටම සිනමාවට නැගුනු අතර, පසු කාලීනව ගුවන්විදුලි නාට්‍යයක් ලෙසද විකාශය වූ බව ඇතමෙකුට මතක ඇතැයි සිතමි. මුල් කාලයේ වික්ටර්මිගෙල් අතින් ලියවුනු මෙය පසුව ශ්‍රී නිමල් පද්ම කුමාරයන් රචනා කරන්නට උනා. සිනමා සිත්තම සේම ගුවන් විදුලි නාට්‍යයත් රසික හදවත් ඇද බැඳ ගන්නට සමත් වූයේ එහි වූ අව්‍යාජ ගැමි සුන්දරත්වය නිසාමය. මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ චරිතවලට පන පෙවූ ශිල්පීන් මෙසේය.
කෝරලේ මහත්තයා:විජේරත්න වරකාගොඩ.
මැනිකේ: රත්නාවලී කැකුනවෙල.
කදිරා: වික්ටර් මිගෙල්.
ජන්තු: ශ්‍රී නිමල් පද්ම කුමාර.
නාමලී: නෙතලි නානායක්කාර.
සිලිඳී: කුසුම් පීරිස්.
පිනා,ඩිංගි ගුරුන්නාන්සේ: ගැමුනු විජේසූරිය.
මේ සියල්ල පුංචිම පුංචි සංදියේ වූ මතකයන් ඇසුරෙන් ලියූ බවද වැරදි තොරතුරක් වේනම් එය නිවැරදි විය යුතු ආකාරය පෙන්නා දීමේ පූර්ණ අයිතිය පාඨකයන් සතු බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඒඋනාට ඕනදේ කියවිලා නැතිද මන්දා.මට ඕන වුනේ සිංදුව ගැන කියන්නනේ. දැන් බැලුවම මම කියලා නැත්තෙත් ඒකමයි.හිකිස්...!

කමක් නෑ වර්ථමාන ගීත වලට සාපේක්ෂව මේ පද මාලාව ගැන ඔයාලට හිතෙන දෙයක් කොමෙන්‍ටුවකින් කියන්නකෝ. ඒවගේම තව එකක් පැරනි ගීවලට කැමති එහෙත් පැරනි ගී පිළිබඳ නොදන්න අය ගොඩාක් ඉන්නවා. එහෙම අයට මතකෙට නැගෙන හෝ හොයාගන්න නැති යම් ගීතයක් වෙතොත් කියන්න මට පුළුවන් වේවි යම් උදවුවක් කරන්න.


ගෙහුං එඤ්ඤං ඈ.....!!





30 comments:

  1. කිව්වට විශ්වාස කරන්න සරා අයියේ..

    බිනරමලී කියලා බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා තියෙනවා දැක්ක ගමන්

    //බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ //

    ඔන්න ඔය ටික හරි තාලෙටම මට කියවුනා.... දැං මටම පුදුමයි කොහොමද මට මේක මතක තිබුනේ කියලා... අනිත් එක පදයක් වත් මතක නෑ.... තාලේ මතකත් නෑ... ඒත් ඔය පද දෙකේ තාලේ විතරක් නෙවෙයි, කියන කටහඩවලුත් මතකයි....

    ( සින්දුව අහන්න බෑ... කනෙක්ෂන් ස්ලෝ....)

    ReplyDelete
    Replies
    1. ඇහුවා... මේක අපේ තාත්තට ගිහින් දෙන්න ඕනේ..

      //ගොයම් නෙලුමෙ කවි සීපද බිනරි කියන කොට//
      කොට නොවෙයි විට විදියටයි මට ඇහුනේ..

      Delete
    2. ඕක ඔය ගෑණු දරුවන්ට තියෙන පොදු අසනීපයක් නොවැ හිරුවෝ. නැවතිල්ලේ හිතලා බැළුවම උන්දැලට හැමදේම ඇහිලා තියෙනවා. පුරස්නේ උන් අහලා නැති එක නෙව. හා නැද්ද මං අහන්නේ. අත්දැකීම් ඇසුරෙනි. හිකිස්..!

      Delete
    3. හරි හරි.. අපිට නොවැ ලෙඩ තියෙන්නේ.. අන්න අරකේ එක වචනයක් ටැපලිලා... හදලා දාමු නේ... නැත්තම් අපරාදේ වටින කියන ලිරික්ස් ටික....

      Delete
  2. අම්මපා ඇහුවෙත් අද සීයේ... (අපි ඉතින් මොඩරේට් කොල්ලො නොවැ ;) )

    ReplyDelete
    Replies
    1. අම්මාපල් පොඩි එකෝ .උඹ මට මුලිච්චි වෙනවා හෙම නෙමෙයි ඕං..! ඇටිකිච්චා..!

      Delete
  3. බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද ........... හ්ම්........

    ඒ රෝහිත විජේසූරිය මහත්මයා අභාවප්‍රාප්ත වුනේත් බිනර මහේ මැදමයි. සැප්තැම්බර් 15 හෝ 16.........

    ReplyDelete
    Replies
    1. මම ඒබවක් දැනන් හිටියේ නෑ මිත්තරයා. ස්තූතියි ඒ දැනුවත් කිරීම පිළිබඳව. ඔබට ජය..!

      Delete
  4. Me wage sindu ahena kota as piyagena rasa widinna puluwan. Aththama kiyanawa nam oya nisa thamai sindu ahanna rasa widinna purudu une. Issara sindu ahala na ahila witharai thibune. Eyata mage hada piri sthuthiya obata pudami.

    ReplyDelete
    Replies
    1. මේන් මෙයාට මම හැමදාම උගන්නන පාඩම අමතක වෙලා. කියලා තියනවා නේද තමන්ගේ අයට ස්තූති කරන්නේ නෑ කියලා.

      Delete
  5. මං ආසා සින්දුවක්. කොහොමත් මං මේ වගේ පැරණි සින්දු වලට මනාපයි. මුවන් පැලැස්සේ කදිරාගේ චරිතය අතුරුදහන් කරලා තිබුනානේ වික්ටර් මිගෙල් මහත්තයා අභාවප්‍රාප්ත වුනාට පස්සේ. ආයෙත් ටික කාලෙකින් වෙනත් කෙනෙක් ඒ චරිතයට හඬ කැව්වා වගේ මතකයි. ශිල්පියාගේ නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා. මටත් ඒගැන නිනවුවක් නැත.!

      Delete
  6. ඇත්තටම සරා අයියේ මේ සින්දුව මතක නැතත් මේ කොටස නම් හිත අස්සේ තිබුනා..
    //බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ //

    කොහෙද ඉතින් මේ සින්දු දැන් ඇහෙන එකක්යෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් හ්ම්.. මගෙත් ප්‍රාර්ථනාව ඔය කියාපු එක ඉක්මනින්ම ලිහිණියටත් පායන්න කියලා තමයි. නොකිවුවත් මම නම් එදාට එනවා කූඩෙකුත් ඇන්න වතුර ටිකක්වත් ඇදලා දෙන්න.

      ඇහෙන්නේ නෑ යාළු අහන්න ඕන. හැමදේම උත්සාහයෙන් ලබා ගන්න ඕන කියන ඔයාලා මේවා විතරක් නිරායාසෙන් ලැබෙනකම් බලා ඉන්නවද.

      Delete
  7. ඇත්තම කියන්නම්. නාරද මහත්තයගේ “මේ භවයෙදි/මුළු හදින් මම ඇයට පෙම් කොට/ආරිච්චි බෝරිච්චි/චන්දන ඇග ගාලා“ වගේ සිංදු අහල තිබ්බට මේක ඇහුවෙ අද බොල. පරන මියුසික් නිසා අමාරුවෙන් ඇහුවේ ;)

    ජය !

    ReplyDelete
    Replies
    1. ගූගුල්ලා මට බොරු කියලා මචං. මේක එතුමා ගායනා කරලා නෑ. රෝහිත විජේසූරිය මහත්මයා විතරයි ගායනා කරලා තියෙන්නේ.

      පරන නිසාම තමයි බං වටින්නේ,රකින්න ඕන අපි ඒවා. ජය...!

      Delete
  8. මුදලිනායක සෝමරත්න මහතා තමයි "මුවන්පැලැස්ස" ගුවන්විදුලි නාට්‍යයේ ආරම්භක වගේම වර්තමාන රචකයා. එතුමා විදේශගත වුනු නිසා තමයි කාලයක් වික්ටර් මිගෙල් මහත්මයත් එතුමාගේ අභාවයෙන් පස්සෙ ශ්‍රී නිමල් පද්මකුමාර මහත්තයත් ලිව්වේ.
    වික්ටර් මිගෙල් මහත්මයා මිය යනකොට අපි ඉතාම කුඩා නිසා ඒ කාලේ මුවන්පැලැස්ස ගැන මතකයක් නෑ. නමුත් ශ්‍රී නිමල් පද්මකුමාර මහතා ලියපු කතාව තරම් මුදලිනායක සෝමරත්න මහතා නැවත ලියන කතාව රසවත් නැති බව මගේ පෞද්ගලික හැඟීම. සමහර චරිත නැතිවීමත් ඒකට බලපාලා ඇති. විශේෂයෙන්ම පිනා සහ වෙද මහත්තයා වගේ ප්‍රබල චරිත දෙකක් නැති වීම. මැණිකෙගෙ හඬත් ඇහුනෙ නෑ. කැකුණවෙල මහත්මිය හඬ කවන්නෙ නැද්ද දන්නෙ නෑ දැන්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි මහත්මයා. මම වර්ථමාන තත්වය දැනන් හිටියේ නෑ.ඒගැන තොරතුරු සැපයීම අගයකොට සලකමි.

      Delete
  9. මගේ මතකයට අනුවනම් මෙය කිසිසේත් බිනරමලී චිත්‍රපටියේ ඇතුලත් ගීතයක් නෙවෙයි.මම බිනරමලී චිත්‍රපටිය මුල් පරදර්ශන වාරයේදීම බලලා තියනවා. එහි එන සුප්‍රසිද්ධ ගීතය තමයි මිල්ටන් පෙරේරා මහතා ගායනය කරන 'රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ' කියන ගීතය. 'බිනරමලී එක්ක එන්න' ගුවන්විදුලි සරල ගීයක්. අනෙක මෙහි මුල් ගැයුම රෝහිත විජේසුරිය මහතාගේ. මම කවදාවත් අසා නැහැ නාරද දිසාසේකර මහතා මෙය ගයනවා. අදටත් මේ ගීතයේ මුල් පිටපත තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙයි මා දන්නා තරමින්. ඒ කාලයේ ලංකා ගුවන්විදුලියේ 'සන්ධ්‍යා සේවය' නමින් තරුණ පරපුර අතර විශේෂයෙන් ජනප්‍රිය සේවයක් තිබුනා. මමත් ඒ කාලේ එය 'පණදාගෙන' ඇසුවා රාත්‍රී 8 ට පටන් අරන් 10 ට අවසන් වෙනවා මට මතක හැටියට. මුදලිනායක සෝමරත්න මහතා මම නිවැරදිනම් සෙනෙට් මන්ත්‍රීකමක් පවා ලැබුවා. එතුමා මුවන්පැලැස්ස කතාව ලිව්වා. ඒ නාට්‍යය ගුවන්විදුලියේ ප්‍රචාරය වුනෙත් සන්ධ්‍යා සේවයේ. ඒ කාලේ මුවන්පැලැස්ස යන වෙලාවට ගෙයක් ගලවාගෙන ගියත් දන්නේ නෑ. ඒ තරමට ගුවන්විදුලියට ඇලිලා. සෝමරත්න මහතාගෙන් පසු මුවන්පැලැස්ස ලිව්වේ එහි වෙඩික්කාරයා ලෙස රඟපෑ වික්ටර් මිගෙල් මහතා. සෝමරත්න මහතා විදේශගත වුනා.අද එතුමා ජීවතුන් අතර නැහැ.මා කියන කතාවේ සත්‍යාසත්‍යතාව හොඳින් දන්නා තුන් ඉන්නවා. ඒ තමයි ඒ නාට්‍යයේ මුල් කාලයේ සිටම රඟපෑ, රත්නාවලී කැකුනවල මහත්මිය සහ විජේරත්න වරකාගොඩ මහතා සහ නෙතලි නානායක්කාර මහත්මිය. ශ්‍රී නිමල් පද්මකුමාර මහතා සහ කුසුම් පීරිස් මහත්මිය නාට්‍යයට සම්බන්ධ වුනේ බොහොම පසු කාලයේදී.ශි නිමල් පද්මකුමාර මහතා කල චරිතය එදා කලේ අග්‍රගන්‍ය නළු වොලී නානායක්කාර මහතා විසින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක මහත්මයා ඔබට මගේ හෘදයාංගම ස්තුතිය.ලිපියේ සඳහන් කල ආකාරයටම මට මේ පිළිබඳ කිසිම තැනක සඳහන් ලිඛිත විස්තරයක් සොයා ගැනීමට නොහැකි උනා. ඉතාම කුඩාකල මතක ඇසුරෙන් ලියුවා යැයි සඳහන් කලෙත් ඒනිසාමයි. FM ආගමනයට පෙරාතුව තිබුනු ගුවන් විදුලි නාලිකා දෙක මගේ මතකයේ තිබුනා. එයින් එක නාලිකාවක මුවන්පැලැස්ස විකාශනය වූ බවත් මට මතක තියෙනවා. හැබැයි ඒ මතක අම්මා මාව නලවපු නිදිකරවපු හැටි මතකයේ තියෙන තරමට සමාන මතකයක් මිස ඊට වැඩි දෙයක් නොවන්නේ මම ඒ තරමටම කුඩා නිසා. මාසතු විස්තර ඔස්සේ "ගූගල් සර්ච්" කලවිට මට ලැබුනු තොරතුරු වල සඳහන්ව තිබුනා නාරද දිසාසේකර මහතාගේ නම.එහෙත් ඔබ නිවැරදි ඇතැයි මම විශ්වාස කරනවා. මන්ද හුඟක් තැන්වල ඔබ විචාරකයෙකු ලෙසින් අපි නොදත් කරුනු ගෙනහැර දක්වමින් අපව දැනුවත් කරමින් කරන සේවාව ගැන මා පෙර සිටම දැන සිටි නිසා. මා ඔබට නැවතත් ස්තූති කරනවා මගේ බ්ලොග් එකට පැමිනීම පිළිබඳවත්.ඔබ පැමිනි මුල් දවසේම මට දැනුමට යමක් එකතු උනා. වියැත් ඇසුර මංගලකාරණයක්ය. හැකි සෑම විටම පැමිනෙන්නේ නම් මැනවි. එමෙන්ම මෙහි සඳහන් වැරදි තොරතුරු පිළිබඳ මගේ කණගා‍ටුව ප්‍රකාශ කරන අතරම එය මෙතුමා පෙන්වා දී ඇති ආකාරයට නිවැරදි විය යුතු බව පාඨකයන්ට දන්වනු කැමැත්තෙමි.


      එමෙන්ම මේ පිළිබඳ සොයද්දී මට ලැබුනු සමහර ගූගල් තොරතුරු වැරදි බව මට කලින්ම වැටහී තිබුනා. උදා: ගීතයේ පද මාලාව. මගේ මතකයේ තිබුන පද මාලාව ගීතය සමඟ සමාන උනත්, ගූගල්හි සඳහන්ව තිබුනේ වැරදි ලෙසයි.

      Delete
    2. ගොඩක් ස්තූතියි ඔබතුමාට අපි දන්නැති විස්තර සෑහෙන්න දැනගත්තා.මෙ කටහඬ නාරද දිසාසේකර කටහඬහා
      ගොඩක් සමීපයි

      Delete
  10. මොනව උනත් සරා මම හරි ලස්සන අතීතයකට ගියා. අපේ ගෙදර රේඩියෝවක් තිබුණෙ නෑ. අපි මුවන් පැලැස්ස අහන්න ටිකක් දුර ගෙදරකට යනව. නාට්‍යය ඉවර වෙලා මම රැට එන්න බයයි. අක්ක මාව වඩා ගෙන එන්නෙ. ඒ එද්දිත් මම ඉන්නෙ ඇස් දෙක පියාගෙන. හෙට උදෙම්ම යනව අක්ක බලල එන්න.
    ජය වේවා උඹට.

    ReplyDelete
    Replies
    1. අපූරුයි යාලුවා අහන්නත් සන්තොෂයි. ඔයාලා වගේ සහෝදරයෝ ඇති අක්කලත් වාසනා වන්තියෝ, ජයවේවා..! පතනවාජය හා සතුට ඔබේ සහෝදරියටත්,,!

      Delete
  11. අඩෙ අප්පා මේ මේ මම ගිය ආත්මෙටත් ආත්ම දෙක තුනක් එහාදි කිව්ව එකක් නොවැ. අදමයි ඇහුවෙ..නියමයි..

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ ඒ ආත්මවල කනේ ඇබ ගහන්ද උන්නේ.. කමක් නෑ ඕන එකක් ජයවේවා..!

      Delete
  12. ම්..සින්දුව නම් අහලා පුරුදු එකක් නෙවෙයි..හ්ම්..

    ReplyDelete
    Replies
    1. රූ නෝනත් අලුත් සිංදු විතරක්ම අහන කෙනෙක්ද......?

      Delete
  13. මේක බිනරමලී චිත්‍ර පටියේ යන එකක් කියල සුවර් ද?? මට නම් එහෙම මතකයක් නෑ.

    ReplyDelete
  14. මේ කතාබහ දැක්කේ මාතෘකාව ගැන වෙනම කතාබහක් ඉස්මතු කල වෙලාවක. තරමක තොරතුරු මෙතනත් ඇති.

    https://www.facebook.com/groups/IQ.Knowledge/330529733756058/

    හැබැයි මේ ගැන අපේ බොහෝ දෙනෙක් වෙනස් කතා කියා තිබ්බා. හරි අදහසක් හොයා ගන්න අමාරුයි.

    මෙතන සමහර අය කියූ කතා අනුව වැටහුනේ මුදලිනායක සෝමරත්න මහතා ආයිත් මුවන්පැලැස්ස ලියන බවක්. ඒක යන්නේ මොන චැනල් එකක කවදාද? පිටරට ඉන්න අයට අහන්න ක්‍රමයක් තියේද?

    ReplyDelete
  15. "මුවන්පැලැස්ස" ගුවන්විදුලි නාට්‍යයේ වොලී නානායක්කාර මහතාගේ කට හඩ අමතක කරන්න බැ .....හා...ද...

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න....