Friday, September 14, 2012

අමුතු කතාවක් 15 නංගි බබා...



                                මීමැසි හඬ නැති නිසංසලේ
                                ඝනදුරු තැනක් බලා...
                                තනිවෙමු අපි ඝන වනන්තරේ
                                සුදු මල් දෙකක් වෙලා...
                                බොඳ වී ගිය නිල් අහස් වලා 
                                සයුරේ හබල් ගසා...
                                තනිවෙමු අපි අතු පැලක් හදා
                                සඳ දූපතේ සදා...
                                හිරිමල් තරු කැට එබී බලා
                                ලැජ්ජා වෙලා ගියා...
                                දිවයමු අපි ගං ඉවුර දිගේ
                                නොපෙනෙන ලොවෙන් එහා...



                    ඔයාලට මම කිවුවනේ එයා මට ආදරෙයි කියපු විදිහ. ඉතින් ඊට පස්සේ කාලය ගෙවුනා වැඩි විශේෂත්වයක් නැතිව ඒත් සතුටෙන්. ඔය අතර වාරේ මට අලුත් අදහසක් ආවා, ඒතමයි ලංකාවට එන එක. මැරි කරලා එයාත් එක්කම ආපහු යන්න. අනික රට උන්නාය කියලා මම හම්බ කරපු කෙහෙල් මලකුත් නෑනේ ඉතින්. ගන්න පඩිය බාගයක් ෆෝන් බිලට යනවා. ඉතිරි ටික ඉතින් රහ මෙර පානයට නොවැ..හික්..! ඕක නිසාත් මගේ අදහස ඉක්මනින්ම ක්‍රියාත්මක කොරන්න ඕන කියලා මම ගිහින් මාමෙයාටයි දෝනිලටයි මේ ගැන කිවුවා. පුදන කොටම කාපි යකා කියලා මට හම්බුන ප්‍රතිචාර නම් හරිම ඉහලයි.

තොට පිස්සුද මීමෝ ආපහු යන්න හදන්නේ මෙන්න මෙහෙ හි‍ටු...!
අනේ මේකට වහපන් මාමේ. උඹ තමයි අරුන් දෙන්නවත් කුලප්පු කරන්නේ...!
එතකොට දැන් මමයි වැරදි..? ‍
තෝ නේන්නම්, තමන්ගේ අතිජාත මිත්‍රයා මෙහෙම ගමනක් යන්න හදනකොට ඉතසිතින් ආශීර්වාද නොකර බාල්දි පෙරලන එක හරිද මං අහන්නේ..? ඒ මදිවට අර ක‍ටුස්සියෝ දෙන්නවත් උසි ගන්නනවා, එක දවසක් අහගෙන උන්නද උඹ උන්ගේ කර්ණ රසායන බෑඟිරි ගැහිල්ල. ඇහුවනම් ‍තෝ පයින් යන්නේ ලංකාවට...!
එහෙමද පුතේ කතාව. හිටපිය මම දැන් කතා කරලා කියනව දෝනිලට.
මෙයා හු### කරන්න හදනවා ඒ ගමන. අනේ මේ කියන තැනකට වදින්නම් උන්ට ඕවා කියන්න එපා මාමේ..!
එහෙනම් දැන් උඹ සිංහයා වගේ බිරුවේ....?
අම්මට හුඩු සිංහයා වගේ බිරුවා.... ඒකියන්නේ සිංහයෝ බුරනවද....? අඩේ මෙච්චර කාලෙකට මම අහලා නෑනේ එහෙම දෙයක්....  
මූට වැරදුනා වෙන්න බැරිද..?
වරදින්න මූත් බීලයෑ. වෙරිමරගාතේ  මට ඇහුනහැටි වෙන්නැති.
එවුවයින් වැඩක් නෑ මම නිදියනවා.  


            ඊලඟ සති අන්තයේ සියලු දෙනාට කාරණා කටයුතු පැහැදිලි කිරීමෙන් අනතුරුව මගේ ගමනට අනුමැතිය ලබා ගැනීමට හැකි උනා. සියලු ලියකියවිලි ආදිය සූදානම් කර ගැනීමෙන් අනතුරුව  2007 ජූනි 15 මම ලංකාවට ආයේ ගොඩ බැස්සා.දාහත් වෙනිදා මම නංගි බබාව මුන ගැහෙන්න ගියා. ඒ කලින් වගේ යාලුවෙක් විදිහට නෙමේ.මගේ පෙම්වතිය විදිහට.නයි කයිද රෝස් පාන් කිවුවලු. වෙනසක් නෑ මම කැමතිම අර රෝස පාට ස්කර්ට් එකයි බ්ලව්ස් එකයි ඇඳලා හිනා කටක් පුරෝගෙන එයා මාව බලන්න ආවා.
හායි.. ගුඩ් මොර්නින්ග්....!
ගුඩ් මෝර්නින්ග්...!
ඉතින් කොහොමද...?
හොඳයි..!
හොඳ බවනම් පේනවා...!
හැබෑට ඒ කොහොමද...?
ඔයා ලස්සණ වෙලා එදාටත් වැඩිය.
(තියනවානම් අත්ත අග්ගිස්සෙන්ම තියන්නෝන. මම එහෙමයි හික්.)
ආ.. ඇත්තට වෙන මොනවද..?
වෙන නේද.. ම්ම්ම් වෙන... කියන්න දේවල් නම් ගොඩයි.. මම කල්පනා කලේ මෙතන කියන්න පුලුවන්ද කියලා.
ඇයි ඒ..?
නෑ ඉතින් ඉස්සර වගේමයි පේනවද අර කාක්කෝ ‍රැල.
ටියුෂන් ජෝඩු පෙන්නමින් මම කිවුවේ අතීත සිද්දි සිහිපත් කරමින්.
හ්ම් ඒකනම් එහෙම තමයි.
මම කියන්නද අපි එදා වගේ ඇවිදන් යමු අර පාර දිගේ...!
හා..!
පුරුදු විධිහටම අපි ආයෙත් ඒ පාරෙම... ඒත් අද එයා කුඩේ ඉහලුවේ මටත් එක්කම.
මම මේ අත අල්ල ගන්නද...?
මම ටිකක් හෙමින් එයාගේ මූණ දිහා බලාගෙන ඇහුවා. එයා හිනාවෙලා ඔලුව වැනුවා. අඩේ පොල් අතු බත් කඩේ ගාවට නෙමේ දැන් යන්න බැරියෑ අනන්තයට උනත්.

මද්හෝශ් දිල් කි ධඩ්ඛන් චුප් සේ තන්හායී..
චුප් ගයා චාන්ද් ක්යු
ක්‍යා තේරී සුල්බු ලේහෛ රාහී..
මද්හෝශ් දිල් කි ධඩ්ඛන් චුප් සේ තන්හායී.. 

ආපහු යන්නත් ඕන නිසා ඉක්මනට මැරි කරමු. ඔයාවත් එක්කරන් යන්න ඕන මට.
හුම්...
හුම් නෙමේ ඔයා අදම ගෙදරට කියන්න. මම හවස ගෙදරට කතා කරන්නම්.
අනේ...... මට ලැජ්ජයි අනේ..!
හැබෑට එහෙනම් මම රිංග් කරහම අම්මට හරි තාත්තට හරි දෙන්නකො පෝන් එක මමම කියන්න.
හා.
මම මේ කල්පනා කලේ ඔය අසනීපේ දිගටම තියේවිද කියලා.
මොන අසනීපෙද ...?
ඔයාගේ ලැජ්ජාව...!
ඒ ඇයි..!
නෑ ඉතින් බැන්දටත් පස්සේ තිබුනොත් මටනේ අවුල.
මට පැහැදිලි නෑ.
කමක් නෑ මම ඒක බැන්දට පස්සෙම පැහැදිලි කරලා දෙන්නම්.
තවත් බොහෝ දේ කතාකරමින් ඇවිද ගිය අප ගමන නිමා කලේ හැකි ඉක්මනින් මේ පිලිබඳ දෙමවුපියන් සමග සාකච්චාකර ගනිමුයි තීරණය කර ගැනීමෙන් අනතුරුවය. ඊටත් පස්සේ නංගි බබා මාර්ගයෙන්ම ගෙදර අයව දැනුවත් කරලා එහෙ යන්නත් දිනයක් නියම කරගත්තා කියමුකෝ. නියමිත දිනයත් උදා වෙලා මම එහෙ ගියා. කියලා වැඩක් නෑ,එදා තමයි එදා.
           මම යනකොට මාව ඉන්ටර්වීව් කරන්නත් සූදානම් කොරලා. ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හතර දෙනයි.අම්මයි තාත්තයි අක්කයි තවත් ගොබිලෙක් උන්නා අසල්වැසියෙක් නිමල් කියලා. මගදි අනෝරා වැස්සකුත් කඩන් වැ‍ටුන නිසා මම ගෙදරට ගොඩ උනේ තෙමිච්ච කුකුලා වගේ ත‍ටු අකුලගෙන.
ෂහ්.... ඒ උපමාවනම් නියමෙට ගැලපුනා නේද. තෙමිච්ච කුකුලා..
ඒ උනාට ගමේ උන් නම් කියන්නේ තෙමුනත් නැතත් මම කුකුලම තමා කියලා.ඩී:
හැබැයි ඉතින් ඒ මීට අවුරුදු පහකට කලින් හොඳේ. වර්තමාණය ගැන කියනවානම් ඉතින්
මට මහළු වයසේ.. බැරිය වෙන ගායනා පෙරසේ...හික් හික් හික්.
          ඉස්සරහම නංගි බබාගේ තාත්තයි නිමල් අයියයි ඉඳගෙන උන්නා. ගෙට ගොඩ උනු හැටියෙම මාවත් වාඩිකරෝ ගත්තා ඒ අසලින්ම. සියලු කටයුතු සම්පූර්ණයි. දැන් ප්‍රශ්ණ ඇසීමේ වාරය. කාපු හොඳම ටොපිය නිසා මට සේරම දේවල් මතකයි ඒ ‍ටු ඉසෙඩ්. කියන්නද සේරම.මේකේ වටිනාම දේතමයි ප්‍රශ්ණ අහපු පිලිවෙල.
හ්ම්..හ්ම්.. වැඩි කතා ඕන නෑ. මම ලියන්නම්,ඔයාලාකියවලම බලන්නකෝ.
එහෙනම් ඕං ඈ...!

බනින්න එපා අයියෝ අනිත් කොටස ලඟම එනවා.
විවාහය සඳහා සම්මුඛ පරීක්ෂණය.. නංගි බබා 16...

වැඩිය කල් ගන්නේ නෑ හොදේ

18 comments:

  1. අපේ මහත්තයටත් අපේ අම්මලා සම්මුඛ සාකච්චාවක් ලෑස්ති කලා නේ.. මටත් ඒක මතක් උනා.. හැබැයි කිව්ව ඒවා ටික මතක් වෙනකොට තාම හිනා... මොනා නැතත් අම්මලා දූව දුන්‌ෙන් එක බොරුවක් වත් කියන්නේ නැතුව කියලා...

    පුතා ... මෙයා මහ කම්මැලි කෙල්ලෙක්, සතියට සැරයයි නාන්නේ, රෙදි ටික හෝදන්න ඕනෙත් මම තමයි තාම, ඉරිදට කරන්නේ නිදා ගන්න එක විතරයි, බේතකටවත් කුස්සියට යන් නෑ, පොල් සම්බෝලයක්වත් හදා ගන්න බෑ, කාමරේ පිස්සන් කොටුව වගේ... මෙයාව බැදලා ඔයාට තමයි දුක් විදින්න වෙන්නේ.......

    හපෝයි දෙන්න එක්ක මාව කෑවා........ ඔය ටිකම ඔය විදියටම අපේ නැන්දම්ටත් කිව්වා කිව්වම ඉතිං.... පුදුමයි අපේ මිනිහා මාව බැන්දා....... හි හි....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වසනෝන්ඩිය ගෑණු දරුවට.


      පුදුමයි අපේ මිනිහා මාව බැන්දා....... හි හි....

      මේ ටික නම් මාරයි හිරු. නංගි බබාටත් හිනා ඔයාගේ කමෙන්‍ටුව කියවලා.

      Delete
  2. නියම කතාව. අහම්බෙන් වගේ දැකල මුල ඉඳන්ම කියවගෙන ආවෙ අද :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සරාගේ ලෝකෙට..! ආයෙත් දවසක ඇවිත් යන්න එන්න. ස්තුතියි..!

      Delete
  3. ඇත්තටම මොනවද දන්නෙ නෑ මාමණ්ඩිය අහපු ප්‍රශ්ණ ?

    ReplyDelete
  4. ඒ කියන්නේ ඊලග සතියේදී හොදම ටික ..

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඊලඟ කොටසේ කියලා..! කියවලම බලමු..ජය!

      Delete
  5. තනිකඩ අපිට ආදර්ශ ගන්න තියෙන්නේ ඊළඟ කතාවෙන් වගේ :P

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙනවද...? කියවලම බලමු..! ජය..!

      Delete
  6. //මද්හෝශ් දිල් කි ධඩ්ඛන් චුප් සේ තන්හායී..
    චුප් ගයා චාන්ද් ක්යු
    ක්‍යා තේරී සුල්බු ලේහෛ රාහී..
    මද්හෝශ් දිල් කි ධඩ්ඛන් චුප් සේ තන්හායී..
    ///

    සංස්කෘත ?

    ReplyDelete
    Replies
    1. කතාව ඔක්කොම හරි ඔන්න ඕකනේ මටත් නොතේරුනේ....

      Delete
    2. අපොයි උඹලා නම්..... යකෝ ඔය ජබ් ප්‍යාර් කිසී සේ හෝතාහේ කියන පිල්ම් එකේ තියන ආදරේ පෙරෙන සිංදුවක් බොලවු. මේ කියන කොටත් නිකම් ඒවා පෙරෙනවා පෙරෙනවා වගේ. මං කිවුවේ මේ ආදරේ හොඳේ...!

      Delete
    3. @ සෑම්
      ඔය සංස්කෘත නෙමේ මචං උර්දු. සංස්කෘත කියන්නේ හාඩ් ලැංග්වේජ් එකක්. මම ඉන්දියන්ලා කීපදෙනෙකුගෙන් අහලා බැලුවා. ඒ ගොල්ලෝ කියන විදිහට. නියම හින්දි භාශාවනම් සංස්කෘතලු. ඒ උනාට හින්දි කියලා කතාකරන්නේ උර්දු.

      Delete
  7. හිකිස් මට මැවිලා පේනවා....දාමු ඒ කාපු ටොපියත් එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඉක්මනටම දෙනවා...!

      Delete
  8. අර උඩ තියන සිංදු කෑල්ල සරත්ගෙද නැත්තං අපි අහලා නැති සින්දුවක්ද?

    ReplyDelete
    Replies
    1. සෞම්‍ය කුමාර යාපාබන්ඩාර මහත්තයාගේ බොහොම පැරනි ගීයක් රූ. ඔයාට මියුරු ගී වලට ගියා නම් අහන්න පුලුවන්. හරිම ලස්සණ ගීතයක්. අවශ්‍ය නම් කියන්න ලින්ක් එකක් දෙන්නම්. බොහෝම වටිනා පැරනි ගීත මාලඟ ගොඩාක් තියනවා. හැබෑවටම මගේ විනෝදාංශය තමයි ඒක. ගීත වලට ඒවා අගය කරන ආරක්ෂා කරන අයට මම ඒවා දෙන්න කැමතියි. හැබැයි මුදලට නෙමේ. ජය...!

      Delete

හිතෙන දෙයක් ලියල යන්න....