ඔය ගිරා කියන ගමේ ජීවත්වුන "සූටියා" මහ හුඟක් පතපොතේ දැණුම තිබිච්ච එකෙක් නෙමේ ආයිබොවන්ඩ. ඒක එහෙමයි කියලා ඌ කවදටත් කාටවත් කරදරයක් බරක් වෙච්ච එහෙකුත් නෙමේ. මේකා බඩ ගෝස්තරේ හොයා ගත්තේ මල් තැලිල්ලෙන්.හැක්.. මම කිවුවේ ඔහේලා අනුමාන කොරැව්ව මල් ගැන නෙමේ ආයිබොවන්, කිතුල් මල් ගැන කිතුල්මල්.
ඔය මල් තලලා ජීවිකාව කොරගන්න ඇහැක් නම් අද සරා ලස්සෙට කොඩි දාන්න එපාය. නිකංයෑ මල් සරා කියන්නේ, නැද්ද මං අහන්නේ. හැබැයි ඉතින් තලාපු එව්වෝ දියුණු නොවුනත් අයිතිකාරයෝ නම් බොහොම දියුණුවෙනවයි කියලා තමයි lexi belle ලා victoria volt ලා එහෙම කියන්නේ. ඒවා ගැන අපි මොකුත් කියන්නේ නෑ. තම තම නැණ පමණින් තමා දැන ගතයුතු වෙන්නේ.
අද වගේම තමා එදත් ඔය කිතුල් පැණි ,කිතුල් හකුරු වගේ දේවලට සිදාදියේ ඇත්තෝ හරි මනාපයි. පැණි හකුරු කාසි කොරන්ඩ සූටියලා සිදාදියට ගෑටුවේ නැතිවට මොකෑ සිදාදියේ වෙළෙන්දංකාරයෝ මාසෙට දෙතුන්විඩක්ම ගම්මැද්දාවට එනවා මේවා එකතුපාදා කොරාගෙන යන්ට. නිකං නෙමේ ඒකලා එන්නේ මේං මෙහෙම බෑඟිරි ගහගෙනයි.
පැණි, හකුරු උරුලෑ තට්ටං, බිංකොහොඹ ගන්නවාහ්හ්හ්....!
හිලව්වට චංදරප්පට සරම්, අමුඩ ලේංසු, අගේ අගේ ඇති එවුවා දෙනවාහ්හ්...!!
ඒ කාරින කොයි හැටි වෙතා සූටියටයි උගේ අඹුදරුවන්ටයි නැතෙයි නොකියා කාලා ඇඳලා ඉන්ට ඇහැක් යමක් ඌ මේ කරුමාන්තෙන් උපයා සපයා ගත්තා ඕං. ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩ තමුන්නැහේලට කිව්වාම මොකෑ මේකා ඔය අතරින් පතර කොස වෙච්ච ගස්දෙක තුනකට මංඩි ඩිංගිත්තක් එක්කහු කොල්ලා රා ඩිංගකුත් හැදුවා හීං සීරුවට. ආදායමක් ලබන්ටනම් නෙමේ ආයේ, හැන්දෑවට මුන්දැටම සප්පායම් වෙන්ට. ඇඟේ අමාරුවට එහෙම කාරිය. වැඩි පොරසිද්දියක් නැතුව කොලාට මොකෑ අල්ලපු ගමේ බඩයිය වගේ උන්ට මේක ඉව වැටිලයි තිබ්බේ ඕං. රෑ රාත්තිරියේ හොර පොල් කඩකඩා ඇවිදින බඩයියලා වගේ "රාගුඩ්ඩෝ" වැඩක් කියලා කොරානම් ඒ අනුන්ගේ උහංදුරං හොයන එකම තමා.
කොයිමින් කොයිමින් හරි දෙතුන් දවසක් සූටියට හොරෙන් ඒ සාවියේ කකුල් ගාලා බඩයියා නිච්චියටම දැන ගත්තා කොයි කොයි ගස්වලද රා මදින්නේ කියලා. පස්සෙන් පහු අදනම් බඩකට පුරා කිතුල් රා බොනවා කියලා හිතාන බඩයියා දවසක් රෑ ජාමේ ගෑටුවා සූටියගේ කිතුල් මංඩියට. ඔහොම හෝරාවක් විතර ගෙවුන තැන ආයිබොවන් බඩයියා කිතුල් ගහක් මුදුනේ. සූටියා හැර ගහලා, උණ හලලා, මල් වෙලලා, තුන්කැති කපලා රා බුන්නට මොකෝ බඩයියා ඔය කිසි මහංසියක් නැතුවම රා බොනවා. උගුඩුවා වගේ බොනවා.
මේ අතරේ සූටියට ගෙදර තියෙන මලත් තලලා කාරිය නිදන්ට කලින් කිතුල්ගස් මංඩියේ කරක්ගහලා එන පුරුද්දක් තිබිලා තියෙනවා. ඕක මම කලින් නොකීවයි කියල මගෙත් එක්ක අමනාප වෙන්ට කාරිනෑ ආයිබොවං මම තියා මෙච්චරටම අනුන්ගේ දේවල් හොයන බඩයියවත් ඕක දැනං ඉඳලා නෑ නෙව. දැන් ඉතිං සූටියා පුරුදු විදිහටම එක අතකට බැස්ටියයි අනෙක් අතට කිතුල් පොල්ලකුයි අරගෙන මුර සංචාරයේ යනවා. කට්ට කරුවලේ කිතුලක් මුදුනේ හිටිය බඩයියට ගස් අතරෙන් පෙනුන බැස්ටියේ එලියෙන්ම එන්නේ කව්ද කියලා අඳුනගන්න අමාරු උනේ නෑ. ඇස් දොඟරේ පනින්ට ලොකුවෙලා කටේ කෙලත් හිඳුනේ අතේ තිබුනු කිතුල් පොල්ල දැක්කමයි. හොරාට රා බුන්නා වගේ නෙමේ තව ටිකකින් බඩපුරා කිතුල් පොලුපාර කන්ට වෙනවා කියලා දැනුනම ගහෙන් බහින හැටිත් අමතක ගානයි. හොරුන්ට ගනදෙවි නුවණ තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ලඟ එන අනතුර දැක්කම බඩයියටත් ඒක පහල උනා.
ඉංගිරිස්....
පුරස්නෙකට තියෙන්නේ ජීවිතේටම ඉක්කෝලෙකට නොගිය තමන්ට මලපොතේ අකුරක්වත් බැරි කොමයි. ඒත් කැලෑසියකට දෙකකට ගිය සූටියත් ඒවා නොදන්නා බව බඩයියා දැනන් උන්නා.
බඩයියා විසිල් එකක් එහෙම ගහලා හයියෙන් මෙහෙම කිව්වා.
දිසිස් සූටියා දැටිස්..... ගසස් සූටියා ලඟස්.....
ඕක ඇහුනා සූටියට. අනුමානයක් නෑ කාගේ හරි ඔත්තුවකට රා අල්ලන්ට පොලෝසියෙන් පැනලා තමයි කියලා හිතපු සූටියා පන්දමත් නිමාන කළුවරේම ගෙදර දුවන්ට තිබා ගත්තා. ආයේ නම් රා බොන්ට මේ අහට ගාටන්නේ නැතිය කියලා තරයේ හිතට ගත්ත බඩයියත් සුරුස් ගාලා ගහෙන් බැහැලා ගෙදර දිව්වා.
ප/ලි:
කෙබර චන්දනට උපහාර පිණිස.