Wednesday, November 7, 2012

සරාගේ හේන් ගොවිතැන්...






                  වැකේෂන් යන්න බොහොම ටික කාලයක් නෙව තියෙන්නේ. හරි නම් මේ දවස්වල නින්දට යනකොට ගෙදර උන්දැව නෙව මතක් වෙන්න ඕන. ඒත් පුදුම වැඩේ කියන්නේ මට මතක් උනේ මෙහෙම දෙයක්. ( දැන් ඔයාල හිතනවද බිරින්දෑව මතක්වුනේ නෑ කිවුවම උන්දෑ මා එක්ක තරහා වෙයි කියලා. අපොයි නෑ, නොකීවට උන්දෑ දන්නවනේ මගේ හිත පුරාම ඉන්නේ එයා විතරයි කියලා. අමුතුවෙන් මතක් කරන්න ඕන ආයේ අමතක වෙලා තියෙනවනම් නෙව.හා නැද්ද මං අහන්නේ.....! හිකිස්....!) අනුග්‍රාහක දැන්වීමක් බව කරුනාවෙන් සලකන්න.    හොඳයි අද කතාව අපි මෙහෙම පටන් ගනිමුකෝ.
                      ඔයාලට මතකනේ මම කලිනුත් කියලා තිබුනු මගේ කූටාලියෝ දෙන්නා කරුනෙයි සුගතදාසයි ගැන. වංගියක් ඔය හාදයෝ දෙන්නා යෝජනා කොලා අපි හේන් වගාවක් කරමු කියලා. අඩේ පට්ට අදහස. මාත් එකපයින් කැමති උනා. ඇයි ඉතින් අලුත් අත්දැකීමක් නේ. මේ ඩබලත් ඉඩම් දෙකක් අල්ලගෙන කොටන්න ලෑස්ති වුනා. ඕං මෙතන ඉදන් මම හේන් කෙටීම ගැන කියනවා. හේන් කොටන්න,එහෙම නැත්නම් කැලෑ එලි කරන්න පටන් ගන්නේ හොඳට පායන කාලෙදි. වැස්ස කිට්‍ටු කරලා ඒවා ගිනිතියන්න බලාගෙන. වැහි ඇල්ලක් දෙකක් වැ‍ටුනම තමයි බෝග වර්ග හිටවන්නේ. අපිත් පටන් ගත්තා මුලින්ම කරුනෙගේ හේන කොටන්න. ඊට පස්සේ සුගතදාසගේ. ඔය වැඩේට හොඳ මුවහත් කැති ඕන. අර දිග මිටක් තියෙන පිහි. ඕවයෙන් තමයි වල්කොටන්නේ. ඒකටත් ක්‍රමයක් තියෙනවා. මුලින්ම පොඩි පොඩි ගස් වැල් කපලා එලි පෙහෙලි කරලා ඊට පස්සේ තමයි ලොකු ගස්කොලන් කපන්නේ. එහෙම නැතුව මුලින්ම ලොකු ගස් කැපුවොත් අර පොඩි කැලෑව වැහිලා යනවා නේ, එතකොට සාර්ථක නෑ වැඩේ.
         
                          ඔන්න මම හේන කොටන්න හොඳ ඉඩමකුත් ගත්තා.
               කොහොම උනත් මුං දෙන්නගේ වැඩේ ඉවර වෙනකොට මටත් වදේ හේනක් කරන්න කියලා. ඕන එකක් කියලා මමත් හා කිවුවා. මම ‍තෝරගත්තේ අපේම ඉඩමේ පහල කොටස, මහ බටලන්දක්. ප්‍රයෝජණයක් නැතුව තිබුනේ ඒ හරිය. පොඩි නෑ ඒකත් අක්කරයකට කිට්‍ටුයි. ඒ උනාට අර දෙන්නට සාපේක්ෂව මගේ හේන බොහොම පොඩි එකක්. ලේසි වැඩක් උනේ නෑ ඉලන්දාරි තුන් දෙනෙකුට මේ බට කැලෙත් එක්ක ඔට්‍ටු වෙන එක. ඒ උනාට කතාවක් තියෙනවනේ "විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකේම හාරනවා" කියලා. අපටත් ඔය කතාවේ වලංගු භාවයක් තිබුනා. පායන කාලේ හේන් තුනම කොටපු අපි වර්ෂාව බලාපොරොත්තුවෙන් හිටියා හේන් ගිනිතියන්න.

මන්දාරමට උඩ ඉගිලෙන වැහි     ලේනී
ගොනුගේ පිටේ බැන්දා වැනි බර ගෝනී  

               ඔන්න ඔය ආකාරයට පෙර නිමිති දක්වන කොට අපි සූදානම් උනා හේන් ගිනිතියන්න. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි ආයිබොවන්. මුලින්ම සීමාවල් වල තියෙන රොඩු බොඩු සේරම සුද්ද කරලා අඩි 15-20 විතර හිස් කරන්න ඕන. එහෙම කරන්නේ ගින්න අනෙක් ඉඩම් වලට පැතිරෙන එක වලක්වන්න. ඊලඟට අවසර අරන් ඉල්ලනවා අඩවිය බාර දෙවිවරුන්ගෙන් මේ බිමේ ඉන්න සතා සර්පයාට ගින්නට හසුනොවී එලියට යන්න මග හසර පාදලා දෙන්න කියලා. ඒ විතරක් නෙමේ ඉඩමේ හතර මායිම් වල ඉන්නත් ඕන කවුරු හරි මායිම් වලින් එහාට ගින්න පැතිරෙනවානම් ඒක වලක්වන්න. මොකද ගින්නේ අනතුරු දායක බව තීරණය වෙන්නේ හුලඟත් එක්ක. ඒ නිසා හොඳ චිත්ත ධෛර්යයක් තියෙන්නම ඕන.


                      කොහොම හරි දන්න සෙල්ලම් දහ අටම දාලා උන්ගේ හේන් දෙකම ගිනිතිබ්බා. මගේ හේනටනම් ඔයවගේ ලොකු කරදර තිබුනේ නෑ. මොකද එක පැත්තකින් ඇලට මායිම් වෙලා අනෙක් පැත්තෙන් පාරටයි ගෙදරටයි මායිම් තිබුන නිසා ගේමක් නැතුව වැඩේ ගොඩ දාගත්තා. ගිනි තියලා ඉවර උනහම තියෙන වැඩේ තමයි මුලං ගහන එක.
ඒ මොකක්ද අප්පේ ඒ......?
එහෙම හිතුනා නේද..?
හරි මම කියලා දෙන්නම්..!
          වල් කොටනවා කියන්නේ තියෙන ගස් කොලන් මුලින් කපන එකටනේ. එතනදි මුල් ගැලවීමක් වෙන්නේ නෑ කොහෙත්ම. ඒ නිසා මුල් අමුවට තිබුනොත් නැවත පැලවෙනවා. ඒවගේම වියලි කැලෑවට ගිනි තිබ්බමත් කොලරොඩු වේගයෙන් පිච්චිලා යනනිසා ලොකු ලීදඬු ඉතිරි වෙනවා. ඕන්න ඕවා ආයෙත් එකතු කරලා ගිනි තියන එකට තමයි මුලං ගහනවා කියන්නේ. එතනදි අර අමු මුලුත් පිච්චෙනවා හේන පුරා තියෙන ලීදඬුත් පිච්චෙනවා. එහෙම දෙවතාවක්ම පිච්චෙන තැන්වල අනෙක් තැන්වලට වඩා සාරවත් බවත් වැඩී. දඹල, අවර, මිරිස් වගේ ජාති හිටවන්න කියාපු තැන්. ඔය වැඩ සේරම ඉවර වෙනකොට ඕං වැස්ස වලාහක දෙවියොත් බලනවා අපි දිහා. දවස් දෙක තුනක් වැස්සට පස්සේ අපට තියෙන්නේ බව බෝග හිටවන්න.
            
                        ප්‍රධාන වශයෙන් මඤ්ඤොක්කා තමයි ඉතින්. ( මඤ්ඤොක්කා කියද්දි මේ කතාව නොකියම බෑ. මම මුලින් බ්ලොග් ලියන්න එනකොට බැඳි අකුරු ලියන්න දැනං උන්නේ නෑ. මම ඕක කීප දවසක්ම අහලා තියනවා බ්ලොග් ලියන අයගෙන්. එයාලා කියලා දුන්නට මට පැහැදිලි වුනේ නෑ. පස්සේ දවසක මම ඒකම අහන කොට D.D.T.මලයා සෑමගේ පෝස්‍ටුවක මාගලක් එලලා තමයි මට ඕක පැහැදිලි කරලා දුන්නේ. ඇත්තටම ඔයාලගේ ඒ සහයෝගය දැනුම මට හුඟාක් වටිනවා.) ඊට අමතරව මිරිස්, දඹල, මෑ, වැටකොළු, ලබු, කරවිල, අවර, වට්ටක්කා වගේ ජාති තමයි හිටවන්නේ. පවතින කාලගුණය අනුව ඇල්වී ටිකකුත් ඕනනම් ඉහින්න පුළුවන්. මොනවද එතකොට මේ ඇල්වී කියන්නේ. මේවා ගොඩ ගොවිතැනට භාවිතාකරන වී වර්ගයක්. ඔය හීනැටි හාලුත් වපුරනවා නොවැ හේන් වල. අහලා ඇතිනේ හීනැටි හාල් ගැන. ආයුර්වේදෙදි මේවා හරියට භවිතා වෙනවා. ඒවා ගැන කියන්න නම් පෝස්‍ටුවක්ම ලියන්න වෙන නිසා ඕං මම පස්සට දානවා ඒ වැඩේ. බෝග වර්ග ඉන්දලා අහක නොවැ ඔය ඇල්වී ඉහින්නේ. (මේවා මෙහෙම ලියන කොට ඔයාලට එන පුරස්නේ මේ ලියුම් කරුගේ වයස කොපමන ඇද්ද කියලානම් මට කියන්න තියෙන්නේ ඒකට උත්තරේ මම දෙන්නේ මැයි මාසේ පලවෙනිදා කියලයි. යකෝ මේකා ඉලෙස්ටොනික් ගැන කියනවා, පතල්, හේන් ගොවිතැන් කැලෑ ජීවිත, රස්තියාදුකාර ජීවිතේ, රට ‍රැකියා, ඒ සී, මේ ඔක්කොම කරානම් මූ මේ වෙනකොට ලොම් හැලිච්ච මහල්ලෙක් වෙන්න ඕන. එහෙම නේද..? හික් හික් හික්.. ටිකක් ඉවසලා හිටින්ට ආයිබොවන් ඔහේලට විස්වාස කොරන්ටත් අමාරු වෙයි හැබෑම තත්වේ.)
                          
                     මිරිස් ගැන කියනවා නම් මිරිස් ප්‍රභේද කීපයක්ම තියෙනවා හේන් ගොවිතැනේදි යොදාගන්න. වැරනියා මිරිස් සමහරු ඕවට බැටළු මිරිස් කියලත් කියනවා. තද කොල හෝ දම් පැහැති කැරලි කැරලි වගේ දිග මිරිස් ජාතියක් මේක. ටිකක් සැර උනාට එලවළුවක් විදිහටත් කදිමයි. ඒ ඇරුනම වල් මිරිස් මේවට තමයි ඔය සමහරු කොච්චි කියන්නේ. මේවයේ ගොඩාක් ජාති තියනවා පාට හැඩේ අනුව නම් වෙනස් වෙන. අනෙක් වර්ගය අමු මිරිස් නැත්නම් කඩ මිරිස් කියලා කියන ජාතිය නම් හැමෝම අඳුරනවානේ.

                       හොඳයි මට හිතෙන විදිහට පෝස්‍ටුව කඩලා ලිවුවොත් තමා හොඳ. මොකෝ ලියන්න තව කරුනු ගොඩාක් තියෙනවා. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු. මට හිතෙන්නේ පැල් ‍රැකීම. සතුන් දඩයම වල් ඌරෝ ගැන එහෙමත් ලියවෙයි ඒකේ.


ගෙහුං එඤ්ඤං...!



ප/ලි:    

පින්තූර ටික නම් දුන්නේ ගූගල් දෙයියෝ. ඒ උනාට උන්දෑ හේන් ගොවිතැන ගැන හරියට දන්නේ නෑ වගේ.


Monday, November 5, 2012

මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා...





කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා..
සුසුම් හෙලා ගිනිදළු ගෙන ලිප මොලවන අම්මා..

නංගි බබා අම්මා ගැන කියන හැම වෙලාවෙම මට මතක් වෙන්නේ ඔය සිංදුව. දීපිකා ප්‍රියදර්ශණී මහත්මිය ගායන කරන ලයාන්විත ගීතයක්.
අහනවානම් මේ තියෙන්නේ.


ඒත් මට අම්මා ගැන හිතෙනකොට මතක්වෙන්නේ...

මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා...
අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා...

ඒ සිංදුව මෙතන තියෙනවා.
http://kiwi6.com/file/o55g21jf13

දෙන්නට හිතෙන්නේ දෙයාකාරයකට වුනත් ඒ එකම කෙනා ගැන. ඒ තමයි අම්මා...!
නංගි බබාගෙයි මගෙයි කියලා වෙනසක් නෑ. ඒ අපි දෙන්නගෙම අම්මා. අපට විතරක් නෙමේ ලෝකේ හැම දරුවෙකුටම අම්මලාව වටිනවා ටිකක් නෙමේ මහ හුඟාක්.

මොකද හිටිහැටියෙම සරාට අම්මා මතක් වෙලා තියෙන්නේ කියලා හිතෙනවද ඔයාලට...?
හික් හික්.. එහෙම හිතන්ඩ කාරි නෑ ආයිබොවන් මට හැම වෙලාවෙම අම්මා මතක් වෙනවා හැබැයි ඒ අපේ නෙමේ, මේ සෞදියේ එවුන්ගේ..D

මේ තියෙන්නේ නංගි බබාට අම්මා ගැන හිතුනු හැටි...............

පුංචිකල සිට මහමෙරක් දුක් උසුල  
ඇතිදැඩි කල අප ආදරෙන් තුරුළුකොට 
වැටි වැටී නැගිටින්න
ලඟින් ඉඳ අත දුන්න 
ඔවාදන් සිත පිරුව
ඔබයි මගෙ මෑණී  

අපේ සිතට දිරිය නුඹයි
අපේ ගතට සවිය නුඹයි
ජීවන මඟ කියාදුන්න 
ඔබයි මගේ මෑණී

අපේ දුක ලඟ
අපේ සතුට ලඟ
නොවෙනස්ව ලඟ හිඳින  
ආදරයෙන් හිස සිඹින
ඔබයි මගේ මෑණී   

වඳිනෙමි පා යුග හැම භවයේදිම
නුඹ මෑණී වන්නට මා ඉපදෙන තැන

ඉතින් ඇයි දන්නවද මේ ඔක්කොම. අද ඒ කියන්නේ නොවැම්බර් 6 වෙනිදා තමයි එයාගේ උපන්දිනේ. ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා..............!!


ඔය ඉන්නේ එයා තමයි.

Friday, November 2, 2012

අපි නොදන්න ඉලෙස්ටොනික්ස්

                     


             මේ ලිපිය නම් ටිකක් මගේ වෘතියට සම්බන්ධ එකක්. අද කාලේ අපි TV එකක් විදුලි උපකරණයක් මිලදී ගත්තම ඒකට අවුරුද්දක වගකීමකුත් ලැබෙනවානේ. හැබැයි ඔය ගොල්ලෝ දන්නවද ඔය වගකීම් කාලය ඉවරවෙනවත් එක්කම අපේ උපකරණත් ලෙඩවෙන්න ගන්නවා කියලා. සමහර ඒවා නම් එහෙම නෑ, ඒත් සීයට අනූවකටත් වැඩිය ප්‍රමාණයක් එහෙම තමයි. ඔයාලා කොච්චර හොඳට පාවිච්චි කරන උපකරණයක් උනත් එහෙමයි. එතකොට අරන් දුවනවා කාර්මික මහත්වරු ලඟට. නැත්නම් කොම්පැනි දානවා.කොම්පැනි දැම්මම නම් පට්ට කට්ටක් කන්නෝන නිසා හුඟක් අය තමන්ට ලඟම තියන රේඩියෝ සාප්පුවට තමයි අරන් යන්නේ.

              හොඳයි හොඳයි අපි මෙහෙම ගෙනියන TV ගැන විතරක් කතාකරමු මුලින්ම. කස්ටමර්ලා දැක්කම ඒ මහත්වරුත් පට්ට "බිසී". කොහොම හරි ඔය අස්සෙන් ආයතන ප්‍රධානියා හෝ කාර්මික මහතෙක් ඇවිත් අර කස්ටමර් එක්ක කතාකරනවා. මොකෝ ලෙඩේ ..? බලන්නකෝ මේ TV එක අද උදෙත් වැඩ කලා. හිටි ගමන් එක පාරටම නැවතුනානේ...! (ගෙදර මාසයක් වැඩ නොකර තිබුන TV එකත් ෂොප් එකට ගෙනාවම කියන්නේ එවලේ කැඩුනයි කියලා.) එහෙම වෙලාවට කාර්මික මහතාත් නළල එහෙම ‍රැලි කරලා කියනවා පේන විදිහට නම් ප්ලයි බෑක් එක ගිහින් වගේ. හොඳයි තියලා යන්න අපි බලලා තියන්නම්. බිල ලියලා අතට දෙන ගමන් අහවල් දවසට එන්නකෝ කියනවා. අපරාදේ කියන්න බෑ එදාට වැඩේ නම් කෙරිලා තියනවා හැබැයි ලොකු බිලකුත් එක්ක. හේතු විදිහට එයාලා කියන්නේ ප්ලයි බෑක් එක පිච්චිලා. ජංගල් එක එහෙම නැත්නම් සිස්ටම් එක දාන්න උනා. ටියුනර් එක ගිහින්. ඔන්න ඔය වගේ ලොකු ලෙඩ තමයි. හැබෑටම හැම විටම මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද..?

               ගොඩාක් වෙලාවට මෙහෙම ලෙඩ එන්න නම් අධි දහරාවක් යන්ත්‍රය තුලට කාන්දු වීමක් එහෙම නැත්නම් අකුනකට යන්ත්‍රය නිරාවරණය වීමක් වගේ දෙයක් සිද්ද වෙන්නම ඕන. එහෙම නැති උනොත් කලාතුරකින් තමයි මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ ඇරුනම මෙහෙම ලෙඩ එන්න හේතු විදිහට මම දන්නේ කස්ටමර් කාර්මික මහතාව ‍රැවටීමට උත්සාහ කිරීමත් කාර්මික මහතා කස්ටමර්ව ‍රැවටීමට උත්සාහ කිරීමෙනුත් පමණයි. කස්ටමර් කොහොම කිවුවත් කාර්මික මහතා රූපවාහිනී යන්ත්‍රය විවෘත කල ගමන්ම දන්නවා මේ මේ වෙනකම් වැඩ කරලා තියෙනවද කාලයක් වැඩ කරලා නැද්ද කියලා. ඉතින් කස්ටමර් බොරුවක් කිවුවා කියල දැනගත්තම සර්විස් චාර්ජ් දෙතුන් ගුනයකින් ඉහල යන එක වලක්වන්න සක්කරයගේ පුතාටවත් බෑ. ඒ එක පැත්තක්.

               හුඟාක් වෙලාවට රූපවාහිනී යන්ත්‍ර කාලයක් එකදිගට වැඩ කරනකොට ඇතුලත ඇති උපකරණවල පාද ලුහුවත් වීම් සිදු වෙනවා.මේවට අපි ඩ්‍රයිසෝල්ඩ් කියලා කියනවානේ. වැඩි වශයෙන්ම පවර් සයිඩ් එකට මේ තත්වය ඇතිවෙන ඉඩකඩ වැඩී. මොකද නිතරම රත්වෙන්නේ මේ කොටස්නේ. දිගු කාලයක් රත් වෙමින් සිසිල් වෙමින් තිබිලා මේවා ප්‍රධාන පරිපතයත් එක්ක (මදර්බොර්ඩ් එකත්) එක්ක තියන සම්බන්ධතාවයන් නැතිව යනවා. එහෙම උනාම එක එක විදිහේ රෝග ලක්ෂණ අපිට දකින්න පුළුවන්.සමහර ඒවා වර්ණවල අඩුපාඩු, තවත් සමහරක තනි වර්ණ, රූප නැතිව හඬ විතරක් තියෙන ඒවා, දිගට හෝ හරහට තනි ඉරක් පමණක් හෝ මොනවත්ම නැති ඒවත් ඒ අතර වෙනවා. ඉතින් ඔහොම යන්ත්‍ර අරන් එන පාරිභෝගික මහත්වරු ඇතැම් අවස්ථාවලදී කාර්මික මහතුන්ටත් ලෙඩේ කියලා දීලයි යන්නේ. TV එක දැම්මම ඉරක් විතරයි පේන්නේ. මට හිතෙන්නේ පික්චර් ටියුබ් එක ගිහිල්ලාවගේ. මේකේ කොල පාට විතරනේ පේන්නේ, කලර් IC එක ගිහින් නේද...? ඔන්න ඔය විදිහට කතාවකුත් කියලා තමයි තමන් ගේ උපකරණය අදාල තැනට බාර දෙන්නේ.

                 ගොඩාක් කට්ටිය මෙහෙම කියන්නේ තම දැනුම පෙන්නන්න. ඒත් ඒකෙන් වෙන්නේ අර කාර්මික මහතාට මහාලොකු ගානක් අය කර ගන්න පාරක් විවෘත වෙන එක.සීයට පණහකට විතර ආසන්න සංඛ්‍යාවක් මෙහෙම නොකරත් සීයට පණහකටත් වැඩි පිරිසක් මෙහෙම අවස්ථාවල් මග නොහැර උපරිම ඵල නෙලා ගන්නවා. මොකද මම කියපු ලෙඩ වලට හේතු ඔය පස්සේ පාරිභෝගිකයෝ කියනවයි කියපුවා නොවන බව කාර්මික ක්ෂේත්‍රයේ සාමාන්‍ය දැනීමක් තියෙන අයත් දන්නවා ඇති.

                තව සමහරක් අය රූපවාහිනියේ ඔහොම ලෙඩක් ආව වෙලාවට ගිහින් තට්‍ටුවක් දානවා. හුරේ......! වැඩේ හරි. මේං TV එක අපූරුවට වැඩ කරනවා. ඉතින් ආයෙත් සැටියට පැනලා කට ඇරන් රූප පෙට්ටිය දිහා බලන් ඉන්නවා. දැන් මතක නෑ මේක ලෙඩ දීපු වග. ආයේ TV එක දාපු වෙලාවක ඒ ලෙඩේම ආවම තමයි මතක් වෙන්නේ. ප්‍රශ්ණයක් නෑ ආයිබොවන් දෙන්න ඕන බෙහෙත දන්නවනේ ලඟ ඉන්න උන්ටත් ඕන් බලාගනිල්ලා දීලා අදිනවා ඩෝන් ගාලා. වැඩ...හිකිස්..! හැබැයි ටික දවසක් යනකොට ඕකට කුළුගෙඩියෙන් ගැහුවත් වැඩ නොකර යනවා. ආන් එතකොටයි වෙදෙක් ගාවට ගෙනියන්නේ. හැබැයි ඉතින් ඒවෙනකොට නියපොත්තෙන් කපන්න තිබුන එක පොරවෙන් කපන තැනටම වැඩ සිද්දවෙලා.

              ඔය තට්‍ටු දැම්මම වැඩ කරන්නේ මම අර කලින් කිවුව ඩ්‍රයිසෝල්ඩ් ආවම නොවැ. ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන ට්‍රාන්සිටර්, රෙසිස්ටර්, අයි සී. ඔය මොන මොනවගේ හරි පින් බුරුල් වෙලා. හැබැයි පිච්චිලා නෙවෙයි . ඉතින් අපි රෝග ලක්ෂණ පහල වුන හැටියෙම  සුදුසු කම් තියෙන වෛද්‍යවරයෙක් ලඟට ගියොත් බොහොම ලේසියෙන් පහසු මිලකට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. වෙදාටත් අපිව කඩේ යවන්න බෑ. හැබැයි ගොඩ වෙදකම් කරලා කරලා බැරිම තැන ගියොත් නම් පු‍තෝ සොරිම තමයි. ඊලඟ කාරනාව තමයි TV එක අලුත් වැඩියාවට බාර දෙනවානම් අදාල පුද්ගලයා තමන්ගේ හිත්වතෙකුත් නොවෙනවානම් පුළුවන් තරම් කෙටියෙන් තමන්ගේ අවශ්‍යතාවය විතරක් කියලා යන්න.

               මොකද සමස්ථයක් වශයෙන් කාර්මික මහත්වරු කැමති නෑ කවුරුවත් තමන්ට උගන්වන්න එනවට.(ඒක උන්ගේ හැටියක්. හිකිස්..!) අනේ මේක හොඳට වැඩ කරා. මගේ හිතේ ඇතුලේ පොඩි වයර` එකක් ගැලවිලා තියෙන්නේ හදලා දෙන්නකෝ. හැබැයි මට ඉක්මණට ඕන. ඔහොම කියන අය ඉන්නවා. එහෙම වෙලාවට මගේ පිළිතුරනම්. මේ මහත්තයා.. ඔය TV එක ඔයාගෙනේ, දැන් ඔයා ලෙඩෙත් දන්නවනේ..! ඉතින් අහවල්................. මට කරදර කරනේ මේතියෙන්නේ ආයුද. හදාගෙන යනවකෝ...!

            ඒ වගේම හැමෝම නොවුනත් සමහර කාර්මික මහත්වරු ඉන්නවා පියුස් එක මාරු කරලත් ප්ලයි බෑක් එක ගිහින් කියලා මුදල් අය කරන අය. (මතක තියා ගන්න හැමෝම නෙමේ) ඩ්‍රයි ටික පාස්සලා අරක දැම්මා මේක දැම්මා කියලා සල්ලි ගන්න අය. අනේ ඒ අය ටිකක් හිතනවා නම් හොඳයි අපි වගේම මිනිස්සු තමයි කැඩුනු එක ආයි හදන්න එන්නේ සල්ලි තියෙන මිනිහා ඒක වීසි කරලා අළුත් එකක් ගන්නවා. ඒ නිසා ටිකක් සාධාරන වෙන්න පුළුවන්නම් වටිනවා කියලා. පම්පොරියකට කියනවා කියලා හිතන්නේ නැත්නම් මම කියන්නම්, සාධාරනව වැඩ කරන නිසා තමයි මට අද සෞදියේ ඉන්න වෙලා තියෙන්නේ ගෙදර අයගෙන් වෙන්වෙලා. ඒනිසා ඒතරම්ම සාධරන නූනට කමක් නෑ. ලාවට විතර පාරිභෝගිකයන් ගැනත් හිතන්න.

ගසා කෑම් ගැන විස්තර ඇතුව මම ඊලඟ ලිපියෙන් කියන්නම් හොඳේ.


පුළුවන් තරම් අපේ වචන නොදා සරලව ලියන්න උත්සාහ කලේ හැමෝටම තේරුම් ගන්න පහසුවට. ඉතින් මේවයේ කාර්මික අංශය වැදගත්ය කියලා හිතෙන කෙනෙක් ඉන්නවානම් අවශ්‍යතාවය කිවුවොත් උදවු කරන්න බැරි වෙන එකක් නෑ.

භූතයන්ගේ වහල්ලු...



                                       
                                                          ඇල්බට් අයින්ස්ටයින්

                 ලෝකේ හරි අපූරු මිනිස්සු ඉඳලා තියෙනවා. සමහරු අදටත් ඉන්නවා, ඒවගේම අනාගතේ උපදින්නත් පුළුවන්. මේත් එහෙම අය කීපදෙනෙක් ගැන මට දැනගන්න ලැබුනු කරුනු ටිකක්. පහුනු පෝස්‍ටුවෙදි මම කිව්වනේ මේ කතාව කියනවා කියලා. සරා හොල්මන් කියලා කෙලින්ම හඳුන්වන්න පුළුවන් දේවල් දැකලා නෑ. මොකද හොල්මන් දැක්කම බය හිතෙනවලුනේ. මම දැකපු පුදුම හිතෙන දේවල් කිසිවකට බයවෙලා නෑ. එක්කෝ මට ඔය කියන නහරේ නෑ. එහෙම නැත්නම් සරාව බය කරන්න පුළුවන් හොල්මන් නෑ. ඕන එකක් මේන් මම හොයාගත්ත කරුණු ටික. අපි මේ විදිහට කතාවට එන්ටර් වෙමු.

                   සමහර අය කියනවා මට මේ දේවල් කරන්න පුළුවන් උනේ අහවල් භූත ආත්මය මගේ ශරීරයට ආවේශ උන නිසා කියලා. "මේදේවල් කලේ මම නෙමෙයි" කියන ඔවුන් වාක්‍යයේ අගට යොදන්නේ ලෝක ප්‍රකට පුද්ගලයෙකුගේ නමක්. ඇතැම්විට ඒ ලිස්ට් ටොපින්, පැබ්ලෝ පිකාසෝ, චාල්ස් ඩාවින්ච්, බී‍තෝවන්, ඇල්බට් අයින්ස්ටයින් වැනි අයෙක් වීමට පුළුවන.

             හැබෑටම මේවා ඇත්තද..? තවත් අදෘශමාණ බලවේගයක මෙහෙකරුවන් බව පවසන මොවුන්ගේ කතාවල සත්‍යතාවයක් තිබේද...? අසනීපකාරයන් යැයි හඳුන්වා එම කතා උපහාසයෙන් බැහැර කිරීමට අපට හැකියාවක් තිබේද..? එසේ නොවේනම් ඔවුන්ගේම සිත්හි ‍රැඳි අප්‍රකට අධි මානසික ශක්තියක් විසින් ඔවුන්ව මෙහෙයවනවා වන්නට නොහැකිද..? මෙන්න එහෙම අපූරු කතාවක් කියපු එක පුද්ගලයෙක්.
                                                         පැබ්ලෝ පිකාසෝ        
ඔහු නමින් මැතිව් මැනින්ග්. භූත විද්‍යාව පිළිබඳ කරුණු හදාරමින් සිටි ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. 1973 ඔහු ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ ශෛලියේම චිත්‍රයක් ඇන්දේය. එමෙන්ම ඔහු එම චිත්‍රයේ වර්ණ සංයෝජනය කර තිබුනේද පිකාසෝගෙම ශෛලියටය. මෙහි ඇති අපූර්වත්වය නම් මැතිව් මැනින්ග් චිත්‍ර ශිල්පය ගැන කිසිඳු දැනීමක් (අපේම වචනවලින් කියනවානම් මෙලෝ දෙයක්) නොමැති අයෙකු වීමයි.ඔහුත්  පිකාසෝත් අතර කිසිම දැන හැඳුනුම් කමක් නොවුනු අතර ඒ වනවිටත් පිකාසෝ මියගොස් තෙමසක්ද ඉක්මගොස් තිබින. පිකාසෝටම ආවේණික මේ වර්ණ සංයෝජනයන් වෙනකෙකුට කිසි ලෙසකින්වත් කල නොහැක්කක් බව තතු දන්නන්ගේ මතය විය. කරුණු විමසීමේදී මැතිව් ප්‍රකාශ කර සිටියේ පිකාසෝගේ භූත ආත්මයේ මෙහෙයවීම මත තමන් අතින් මේ චිත්‍රය ඇඳුණු බවයි. ඔහු මට අණකර සිටියා මෙය මෙසේ වියයුතු බවට...! මැතිව් කීවේය. මෙයද එවන් කතාවකි.

                     විනීත ධර්මාචාර්ය වරියක වූ රෝස්මරී බ්‍රවුන් ලන්ඩනයේ ජීවත් වූ මැදිවියේ කාන්තාවකි. වැන්දඹුවක් බවට පත්වෙන තෙක්ම සංගීතය පිළිබඳ ඇයට තිබුන දැනුම ඉතා අල්ප විය. එහෙත් 1964 දී තමන්ට බී‍තෝවන් හා ටොපින්ගේ භූතාත්ම සමඟ සම්බන්ධතාවයක් තිබෙන බව ඇය කියා සිටියාය. ඒ ඇගේ ජීවිතය වෙනස්කල එක සංධිස්තානයක්ද විය. අවකාශයේ තිබුනු සංකීර්ණ සංගීත ඛන්ඩ ඇයට නොනවත්වාම ඇසෙන්නට පටන්ගෙන තිබින. මට ඒ ස්වර ඛන්ඩ හැකි තරම් වේගයෙන් පිටපත් කරන්නට නියම වී තිබුනා...! රෝස්මරී කියන්නීය. නමුත් ටික දිනකින් අප අතර තිබූ සංනිවේදනය බිඳ වැටෙන්නට පටන් ගත්තේ ඔවුන් තම මව් භාශා වන පෝලන්ත හා ජර්මන් භාශාවලින් කතා කිරීමට පටන් ගත් නිසයි...! වැඩි දුර කරුණු දක්වමින් ඇය කියා සිටියාය. ඒනිසා ඇය ඔවුන් කියනා ආකාරයට අකුරු ලියාගෙන තම පෝලන්ත මිතුරියක ලවා මව් බසට පරිවර්ථනය කරගත්තාය.


                                
                                                          බී‍තෝවන්
                    ඇය අතින් ලියවුනු සංගීත ඛන්ඩ පිළිබඳ විස්තර ක්‍රමයෙන් බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ සංගීතඥයින් අතට පත්වූ අතර මනුහීම්, රොඩ්නි බෙනට් වැන්නවුන් පවා ඒවා දැක අතිමහත් පුදුමයට පත්වූවෝය. සංගීතය පිළිබඳ ඉතාම අල්ප දැනුමක් ඇති ඇය අතින් කිසිසේත්ම මෙවැන්නක් ලියවිය නොහැකි බව ඔවුන්ගේ මතය විය. කෙසේ නමුදු රොස්මරීගේ භූතයෝ ඇයව සංගීතයටම පමණක් සීමා කලේ නැත. ඇය මියගිය චිත්‍ර ශිල්පීන්ගේ, දාර්ශනිකයන්ගේ, විද්‍යාඥයන්ගේද බලපෑම් වලට නතු වූවාය. සියවසකට පමණ පෙර ජීවත් වූ වින්සෙන්ට් වෑන් හෝහ්ට ඇවැසිව තිබුනේ තමන් ජීවත්ව සිටියදී අවසන් කිරීමට නොහැකිවූ කලා කෘතියක වැඩ රෝස්මරී ලවා අවසන් කරගන්නටය. බර්ට්‍රන්ඩ් රසල් හටද ඇය ලවා තම සදාතනික ජීවිතය පිළිබඳ පණිවිඩයක් යවාගන්නට අවශ්‍ය වූ බව රෝස්මරී කියයි. ඇල්බට් අයින්ස්ටයින් ගේ භූතයා සමඟ සබඳකම් පවත්වා විශ්මයජනක ලෙස එහි සාක්ෂි ලෝකයාටද ඉදිරිපත් කලාය.  


                 වචන 3,00,000ක් තිබුනු The sorry tale නවකතාව ඔබ අතරින් කවුරුන් හෝ කියවා තිබෙන්නට පුළුවන. එසේ නැතත් අසා ඇති අය හෝ ඉන්නට හැක. එය පේටියන්ස් වර්ත් අතින් ලියවුනකි. එහෙත් ඇයට ඒ සඳහා ගතව තිබුනේ දෙවසරක් වැනි කෙටි කාලයක් බව ඔබ දන්නවාද...? නව කතාව කියවූ පාඨකයන්ට ඇතිවූ ප්‍රශ්ණයනම් එය ලියුවේ කවුද යන්නයි. එහෙත් නිවැරදිව එය දැන හුන්නේ පේටියන්ස් වර්ත්ම පමණයි.පිළිතුර විලියම් ශේක්ෂ්පියර්, බ්‍රවුනින්ග් බ්‍රොන්ටේ, කීට්ස් වන්නටද පිළිවන. පේටියන්ස්ටද The sorry tale කෘතියේ කතුවරයා අභිරහසකි. ඇය කිසිදා එය හෙලිකලේද නැත.
                                   
                                  පේටියන්ස් වර්ත්
එනයින් ගත්කල ලෝකයේ පහලවූ ශ්‍රේෂ්ඨ මිනිසුන් ‍තෝරාගත් පිරිසක් මාර්ගයෙන් තම ශක්තීන් මෙලොවට සන්නිවේදනය කරන්නේද......?