මේක එක ඇත්ත කතාවක්. ඔයා කියවලා තව කාටහරි එක්කෙනෙකුට කිවුවත් ඇති. හීන විකුණන තැරැව්කරුවන්ට අහුවෙලා හීන මිලට ගන්න එන අපේ කෙල්ලන්ට අත්වෙන ඉරණමයි මේ. කලින්ම කියන්නම් මේ මට ඇහුන විදිහ කිසිම සංස්කරණයක් නොකර එහෙමම අකුරු කලා. පෙරපර සංධි ගැලපීමක් නැත්තේ ඒ නිසයි. මට හිතෙනවා මගේ අරමුණයි වෙලා තියෙන සිද්ධියයි තේරුම් ගන්න මේ ප්‍රමාණවත් කියලා. අතිශය සංවේදී කාරණා පමනක් ඉවත් කලෙමි.
පහුනු 14 වෙනිදා අපි වැඩ කරන හොස්පිට්ල් එකට (අබ්දුල් අශීශ්) ලංකාවේ ගැහැනු කෙනෙක් එක්කගෙන ආවා. ගෙනාවේ මුතවුවෝ. මුතවුවෝ කියන්නේ මෙහෙ සිවිල් ජනතාව පාලනය කරන පිරිසකට. එයාලා හරියට පොලීසිය වගේ. (හැබැයි ඉතින් සැලකිය යුතු තරමකටම නිහතමානියි.) රාජ්‍ය ආරක්ෂක අංශ වලටත් වඩා බලතල එයාලට තියනවා මෙහෙ. ආගමට අනුව හැදුන සිවිල් නීතියක්නේ මෙහෙ තියෙන්නේ. මෙහෙ පවතින හැමනීතියක්ම ලියවිලා තියෙන්නේ අල් කුරාණෙළු. ඉතින් මේ කියන මුතවුවන්ගේ රාජ කාරිය තමයි ආගම කියන එක, මිනිස්සු ආගමානුකූලව ජීවත් වෙනවද කියලා හොයලා බලන එක. රටේ රජ්ජුරුවොත් මුතවුවෝ කියන දේ අහන්න ඕන. ඒක තමයි නීතිය. ඉතින් මම කතාව කියන්නම්කෝ....
මේ ගෑණුකෙනා කියපු විදිහට එයාගේ වයස අවුරුදු 27යි. දරුවෝ දෙන්නෙක් ඉන්නවලු. සැමියා රිය අනතුරකින් මිය ගිහින්. එයා විදේශ ගත වෙනකොට කුඩා දරුවගේ වයස මාස එකොලහයි. ගම මීගමුව කියලා තමයි කිවුවේ. මෙහෙ ඒ කියන්නේ තබුක් සිටි ඇවිත් මාස දෙකක් විතර වෙනවලු. රැකියා ස්ථානේ ගැටළු තිබුනට ඒවා ගෙදරට කිව්වේ නැහැලු. මාස 11 ක කුඩා දරුවෙක් ඉන්න නිසා මෙයාගේ මව් කිරි නැවතිලා තිබිලා නැහැ. කිරි එරිලා ඒවා කැටි ගැහිලා, පියයුරු වේදනාවෙන් මෙයා ගොඩාක් පීඩා වින්දලුනේ.ඔය හේතුව නිසා ගෙදර වැඩත් යම් තරමකට අතපසු වෙලා තියනවා. ඉතින් හේතුවක් දන්නේ නැති ගෙදර උන් වැඩ නොකරා කියන වරදට මෙයාට පහර දීලත් තියනවා. විස්තරයක් කියන්නත් මේ අසරණී භාශාව දන්නේ නෑ. සිංහල හැරුනු කොට එයාට මොනම භාශාවක් වත් කතා කරන්න බැහැ. ඉතින් කොහොමද උන්ට කරුනු දක්වන්නේ. මොකෝ මුන්ට සිංහල තේරෙනවයෑ. ගෙදර උන්ගේ අවසාන තීරණය වෙලා තියෙන්නේ මෙයා ආපහු ලංකාවට යවන එක. ඒනිසා මෙයාගේ සකල සබ්බ මනාවම මෙයාට දීලා පාස් පෝට් එකයි ටිකට් එකට සල්ලියි සේරම එක්ක මෙහෙ ජොබ් බෑන්ක් එකකට බාර දීලා තියනවා අදාල ගෙදර සෞදි කාරයා. (ඒකට හේතුව මෙහෙ ලංකාවත් එක්ක ගනුදෙනු කරන කිසිම ඒජන්සි එකක් නැතිවීම.) එතන ඉන්නවා කියන්නේ මසිරියෝ. ඇත්තටම උන් තැරැව්කාරයෝ. පුරානේ ඉදන්ම වහල් වෙලදාමට කප් ගහපු එවුන්. (සෞදි මිනිසුන්ගේ මතයට අනුව) මනුස්සකම් නොදන්න මිනිස් හැගීම් නැති සත්තු ජාතියක්. මේ ගෑණුකෙනා කියන විදිහට අර සෞදි මනුස්සයා ඉදිරියෙදි මසිරියෝ පොරොන්දුවෙලා තියනවා මෙයාව ලංකාවට යවන්න. නමුත් ඒක කඩවුනු පොරොන්දුවක් කියලා මෙයාට දැනිලා තියෙන්නේ සෞදියා පිටවෙලා ගිහිනුත් පැය භාගයක් විතර ගියාමයි.
එතන තවත් මේ වගේම ලංකාවේ තරුන ගැහැණු 5 දෙනෙක් හිර කරන් ඉන්නවලු. මුන් ඒ හැමෝම විකුනණවලු තැනින් තැනට වැඩකාර කමට. සෞදියො ඇවිත් එයාලව මිලදී ගන්නවලු. එලියට ගියාම සිද්ධවෙන දේවල් දන්නේ එයාලම විතරයි. අකමැති උනොත් ගුටි. මෙයාලව හිර කරලා තියන තැන සාමාන්‍ය ප්‍රමාණයේ වැසිකිලියක් විතර එකක්ලු. 6දෙනෙකුට ඉදගෙන ඉන්නවත් ඉඩ නැතිලු එතන. සිද්දිය උන දවසේ විකිනිලා තියෙන්නේ මෙයා. අදාල ගෙදර වැඩ කර කර ඉන්න ගමන් ගේට්‍ටුව ඇරගෙන එලියට ඇවිත් මෙයා. ඊට පස්සේ පාර දිගේ දුවගෙන ඇවිත්. මගදි තමයි මුතවුවන්ගේ වාහනේට පැනලා තියෙන්නේ. ඊට පස්සේ මුතවුවෝ එයාව මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙයා හවුස් මේඩ් කෙනෙක් නිසා. මෙහෙ ඉන්න හවුස් කීපිං සුපවයිසර් කෙනෙක් ගෙන්නලා මෙයාගේ විස්තර දැන ගන්න. කරුමෙට ඒ හාදයා ඉන්දීය ජාතිකයෙක්. මෑන් කොහොමද සිංහල තේරුම් ගන්නේ. සිංහල ඉංග්‍රීසියට හෝ අරාබියට පරිවර්තනය කරන්න පුලුවන් එකෙක් හොයන්න මුලු ඩිපාර්ට්මන්ට් එකම පීරලා වැඩක් වෙලා නැහැ. ලංකාවේ ගොඩාක් අය මෙහෙ හවුස් කීපිං කරනවා. ඒත් කියන්න කනගාටුයි උන්ට ඉංග්‍රීසි අරාබි තියා සිංහල වත් හරියට බැහැ. මම මෙහෙම ලිවුවේ කාටවත් අපහස කරන අදහසින් නෙමේ. නිදහස් අධ්‍යාපනයක් තියන අපේ රටේ ඉන්න මිනිසුන්ගේ උගත් කම ගැන පුංචි අදහසක් දෙන්න.
හරි මම ආයෙමත් කතාව කියන්නම්කෝ. කොහොම හරි මගේ යාලුවෙක් ඔතනින් ගිහින් තියනවා වෙන වැඩකට. මිනිහා ඉලෙක්ට්‍රික් ඩිපාර්ට්මන්ට් එකේ. නම අසංක. මෙයාව අර සුපර්වයිසර්(අසාම් කාන්) දැකලා කතාකරලා. පස්සේ මෙයා අර ගෑණු දරුවත් එක්ක කතාකරලා. එයා කියන දේවල් මුතවුවන්ටයි, මුතවුවෝ අහන ප්‍රශ්ණ මෙයාටයි කියලා දෙපැත්තම ගොඩ දාල තියනවා. ඒත් වැඩිපුර විස්තර දැන ගන්න කතා කරන්න අවසර ලැබිලා නැහැ.මුතවුවෝ ඒකට අවසර දීලා නැහැ. ඒත් අනේක විධ අතවර වලට ලක්වෙලා උන්නු ඒ අසරණීට අවශ්‍ය ප්‍රතිකාර කෑම බීම ලබා දෙන්න අපේ සහෝදර සාත්තු සේවිකාවන් (විදේශීය) දැනුවත්කරලා තියනවා මගේ යාලුවා. එතනින් එනකොට අර ගැහැණු කෙනා අපේ එකාට වැදලා කිවුවලු අනේ අයියේ මාව කොහොම හරි ලංකාවට යවන්න කියලා. අපි මොනවද යාලුවනේ කරන්නේ.අපට පුලුවන් එයාට විතරක් නෙමේ අනෙක් 5දෙනාටත් ගුවන් ටිකට් අරන්දෙන්න . ඒත් මෙහෙන් පිට වෙන්න ඒක විතරක් ප්‍රමාණවත් නැහැ කියලා ඔයාලටත් තේරෙනවා ඇතිනේ. ආර්ංචිය ලැබුනු ගමන් මමත් ගියා බලන්න. ඒත් මුතවුවන්ගෙන් අවසර ලැබුනේ නැහැ එයාව මුන ගැහෙන්න. ඉතින් කොහොමද අපි උදවු කරන්නේ. එයා වැඩකරපු තැනවත් හිරකරගෙන හිටි තැනවත් නම කියන්න එයා දන්නේ නැහැ. හැබැයි එක්කන් යනවානම් තැන පෙන්නන්න පුලුවන් කිවුවලු.
මේ තබුක් සිටි එකේ ලංකාවත් එක්ක ගනුදෙනු කරන කිසිම ඒජන්සි අයතනයක් නැතුව කොහොමද එයා මෙහෙට ආවේ කියන එක ගැටළුවක්. ඒවගෙම විදේශ ගමන් වලදි අවශ්‍ය කරන මූලිකම කරුණු කාරණා කිසි දෙයක් මෙයාලග නැහැ. තමන් විදේශ ගතවෙන ඒජන්සි ආයතනයේ නම දුරකථන අංක, අදාල රටේ ඒ හා අනුබද්ද ආයතනයේ විස්තර, දෙරටේ තානාපති කාර්යාල වල තොරතුරු ඔය කිසි දෙයක් මෙයා ලග නැහැ. මට තියන ගැටලුව ඇයි මේඅය මේ වගේ අවදානම් ගමන් එන්නේ. භාශාවක් කතාකරන්න දන්නේ නැතුව කොහොමද අදහස් ප්‍රකාශ කරන්නේ.නියමාකාර පුහුනුවකින් තොරව කොහොමද මෙයාලා විදේශ ගත උනේ. කවුද අවසර දුන්නේ. ඇයි තමන් විහින්ම තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්නේ. දුප්පත් කමට කියලා රට ඇවිත් නොරටුන්ගේ ගොදුරක් වෙලා අනේක විද දුක් විදලා මැරෙන්නේ ඇයි.????????