මෙහෙම කතන්දර තමයි ඉතින් මම ලියන්නේ

Showing posts with label කට කහනවට. Show all posts
Showing posts with label කට කහනවට. Show all posts

Sunday, April 21, 2013

මේවට දාන්න මාතෘකාත් නෑ මට....

           

            දුප්පතුන්ගේ දුක දන්න මිනිස්සු කියලා  අපේ එවුන් මහ පු‍ටුවලට ගෙනා අය දැන් දුප්පතුන්ටම හිරිහැර කරන්නේ උන්ගේම බඩට ගහන්නේඇයි කියලා හිතනවා මම. මාර වැඩේ කියන්නේ මට හේතුවක් කල්පනාවට එන්නේම නෑනේ. යමක් කමක් පුලුවන් අයට පමණක්ම සහන දීලා බැරි එකාලාව පාගලා මිරිකලා උන්ගේ ජීවිත උන්ටම එපා කරවන්නේ දුප්පතුන්ට ලංකාව තහනම් කලාපයක් කරවන්නද කියලත් හිතෙනවා මට වෙලාවකට. කොහොම උනත් ඕන නැති දේවලට අප්පල්ල වගේ ඇරෙන කටවල් දැන් මෙහෙම දේවලදි ඇරෙන්නම නැති කමින් මට තේරෙන්නේ උනුත් මුන්ට කඩේ යන එකම තමයි කරන්නේ කියලයි. 

           අනේ වාසනාවට මේවා කතා කරන එව්වෝ නම් එකෙන්ම දේශද්‍රෝහියෝ ලේබලයෙන් පිදුම් ලබනවා. ඒත් නොකියා බෑ නොවැ.  
මගේ හිතේ තව වැඩි දොහක් යන්න කලියෙන් නැති බැරි එවුන්ට වෙන්නේ ගඟේ මුහුදේ පනින්න තමයි.


හැබෑවටම මීටත් වඩා ආශ්චර්ය වෙන මොනවද.....? 



 ප/ලි
පොතක් ලියන්න තරම් කරුනු තිබුනට මට හිතෙනවා තේරුමක් නෑ කියලා. ඒ වුනාට මහ එවුන් කියන්නේ කාටවත් ප්‍රශ්න නෑ  ජනතාව සුඛිත මුදිතයි කියලා නෙව, ආන් ඒ නිසා මට පුරස්න තියෙනවා කියලා කාට හරි දැනගන්න මේ අකුරු දහය කෙ‍ටුවා.

Thursday, April 18, 2013

පුංචි කතාවක්.... සත්‍ය සිදුවීමකි.





එතුමා:   !@$$%#%$%^$^((**%&$^%_ **%^$#Hඝ්HEඨ්$%#       %$#%^$^$%$%Fඝ් SWර්‍% W#$@  #$&$%@$%@%^.......!!!!  

ඔහු තවත් අයෙකු සමග ආඩපාලි කියමින් සිටියේ මගේ කාමර සගයෙකුටය. හෝල් වේ එකේ ගමන් කරමින් සිටි මට තේරුම් ගියේ ඔහු යන්නේ මගේ කාමරයට දෙසට බවයි. ඔහු කෝපයෙන් පසුවන බව හැඟුනෙන් මා ඇමතුවෙමි.

සරා:   ආ.... යාලුවා මොකෝ මේ....? 

එතුමා:  අනේ මේ පලාන්ඩ අප්පා ....!! අපිට හරී කරදර තමා ............ගෙන්..! 

සරා :   අර මොකෝ.. මොකක්ද සිද්දිය...? 

එතුමා: මේ පොදු පලේ පොදු පලේ කිය කිය ඒක නරක කොමෙන්‍ටු තමා දානවා අපිලට...!  

සරා:   අනේ සොරි වෙන්ඩ ඕන යාලුවා. ඔයා දන්නවනේ මට ඔය ෆේස්බුක් නෑ. අනික මම ඔය දේශපාලනේ ගැන කතා කරන්න කැමතිත් නෑ ඒවයෙන් මට වැඩකුත් නෑ. ඒ නිසා ඔය ගැන මට මොකුත් කියන්න බෑ..! 

එතුමා:   අද ෂරී.. බට්.. අපිලට දැන් හොඳටම ඇති වෙලා තමා තියෙනවා. ඔයාලා කියන්ඩ අප්පා මේම මේම කරන්ඩ එපා කියලා. අදර්වයිස්  අපිටත් ගාන්ඩ තමා වෙනවා...!  

සරා:   හ්ම්.... ඒකත් එහෙමද... ? එහෙනම් ඉතින් මේකත් කියන්නම වෙනවා නෙව..! මට නම් ඉතින් හැම ජාතියෙම යාළුවෝ ඉන්නවා. ඒනිසා ඔය පක්ෂ වලට සංවිධාන වලට දරදිය  අදින්නවත් ඒකලාට කඩේ යන්නවත් මගේ කැමැත්තක් නෑ. හැබැයි ආයිබොවන්ඩ ඔහේලගේ ආරවුල් මගේ නිදහසට බාදාවක් හරි මට කරදරයක් උනොත් හරි මම ගහනවා, මොකාට උනත් ගහනවා. නොකිවුවට ඔහේලා දන්නවනේ සරා ගෙදරට ආව සූදුව වලං විකුනලා හරි ගහන ජාතියේ එකෙක් කියලා...!  කාටවත් කරදරයක් නැති අපට කරදරයක් නැතිව ඉන්න තිබුනොත් තමයි හොඳ. 


ප/ලි 

මේ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීමකි. කාලෙන් කාලෙට එක එකාට එක එක ලෙඩ රෝග වැල‍ඳෙනවාය. ඒ ඒකලාගේ පැවැත්ම උදෙසාය. උන් ලොකු එවුන්ය.උන් හැමදේම කොරන්නේ යටිකූට්‍ටු අරමුනු ඇතිවය. පොඩි එකාලා ගැන හැබෑ කැක්කුමකින් යමක් කරන එකාලා දැන් කාලේ නැතිය. ඒක තේරුම් නොගෙන තප්පුලන එකාලා නිසා අපටද වදේය. එහෙත් මගේ නවාතැන අභියස එක එකාලාට උඩුබුරන්නට හැර බලා සිටීමටද මට හැකියාවක් නැතිය. මන්ද එය මගේ ආත්ම ගෞරවයට හානියක් බැවිනි. අද මෙවන් වූ තත්වය නුදුරේ ජාතික ප්‍රශ්ණයක් වෙනවාය. එදාට ඒ ගැ‍ටුම් වලට මැදිවන්නේද මේ කිසිවකට සම්බන්ධ නොවූ අපම නොවන්නේද....? එදාට මේ දඩ බල්ලන් මෙන් සාමාන්‍ය එකාලාව උසී ගන්වන මහ එවුන් කී දෙනෙක් අප අතර සිට මේ ගැටළු නිරාකරනය කරාවිද....?



ප/ප/ලි: 

මහ එවුන් කරන දේවල් තමන්ගේ වගේ කරගෙන ඒවා තමන්ගේ ඇඟට අරගෙන අහල පහල වෙසෙන තම හිතවතුන් සමඟත් ආරවුල් ඇතිකර ගන්නට තතනන අපේ එකාලාද මේවායින් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි මට නොවැටහේ.මේ පිටට එන්නේ තමන්තුල ඇති බෞද්ධකම හෝ දේශ හිතෛශී භාවය නම් මුන්ට කලහැකි බොහෝදෑ ඇත. කරුමය නම් මේකලාට ඒවා නොපෙනීමයි. යමෙක් පෙන්වන්නට උත්සාහ කලද එය නොතකා හැරීමයි. උන්ටද ඇවැසි මහ එවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වන ලෙස අපවද අඳුරෙන් අඳුරට ‍රැගෙන යාමටයි.



Tuesday, February 19, 2013

මගේ විරෝධය. ( My objection )



            අප විදෙස් රටවල වෙසෙන්නෝ වෙමු.මෙහි අපට යහළුවෝ නෑදෑයෝ නැතිය. විනෝද චාරිකා යාමට සුදුසු සුන්දර පරිසරයන්ද නැතිය. වැලි කතරේවත් නිදහසේ සිටීමට නොහැකිව ඇත්තේ මේකලාගේ නීති රෙගුලාසි නිසාය. ඒනිසාම අප කාමර වලට කො‍ටුවී සිටිමු. එවිට දැරිය නොහැකි පාළුවක් කාන්සියක් දැනෙනවාය. කාන්සිය මඟ හරවා ගැනීමට අපි නානාප්‍රකාර ඩොට් කොම්ලා සොයායමු. (.com) බ්ලොග් හා චිත්‍රපට හැරුනු කොට සරාලගේ කාමරේ එවුන් යන්නේ ලාංකීය ටෙලි නාට්‍ය පෙන්වන .com වලට පමනිය. හරිම කනගා‍ටු දායකය දැන් ඒකලා පෙන්නන නාට්‍ය අප්‍රසන්නය කුජීතය. වැරදි හදන එකාලාද පෙන්නන එකාලාද කියා දන්නේ නැතිය. අපට අනුව නම් මුන් දෙකාලාම වැරදිය.එසේ කියන්නේ මේකලා මේවායින් මුදල් උපයන නිසාය. කුනුහරුප විකුණා මුදල් ඉපයීම සදාචාර සම්පන්න නොවන්නේය. මුදල් ඇවසි නම් හොඳ දෙයක් ප්‍රේක්ෂකයාට දී මුදල් ඉපයීමේ වරදක් අපි නොදකිමු.

           ඔය මෙගා බිබික්කම් මුලින් හැදුවේ ඉන්දියාවේය. ඕවාට ලාංකීය නම් ඔබා මහගෙදර, ප්‍රවීනා, චිත්තී, % ත්තී කියකියා පෙන්නුවේ අපේ එකාලාය. එදා ඒවාට විරුද්ධව කෙස් පැලෙන තර්ක විතර්ක ගෙනා අස්ප ගනන් බදු යෝජනා කල එකාලාද අද ඒවාම කරනවාය. මේවා අර චිත්තිලාට, %ත්තිලාටත් වඩා බොළඳය, පජාතය. බල්ලෝ මරලා හෙවුවත් සල්ලි "බුහ්" ගාන්නේ නැති බව හැබෑවය. එහෙම කියා මේකලාට ඕන දේවල්ම කිරීමට හැකියාවක් තිබිය නොහැක. ඒ අතින් ගත් කල ප්‍රමිතියෙන් තොරයැයි චෝදනා ලබන බ්ලොග් කෙරුවාව හොඳය. බහුතරයක් ඕප දූප වුවද උන් ලියන්නේ සිදු වූ, සිදුවෙමින් පවතින හෝ අනාගතේ සිදුවිය හැකි දේවල් නිසාය ඒ.අද ලාංකීය ටෙලි නාට්‍ය තුල වන්නේ කිසිඳු ලෙසකින් විය හැකි තබා සිතන්නට වත් බැරි දේවල්ය. පැරණි චිත්‍ර කතා පත්තරවලවත් මෙවැනිදේ නොවීය. ඉන්දියාවේ ටෙලිවල, චිත්‍රපටවල නම් කුඩාකල තමන්ගෙන් වෙන්වුනු දරුවා, සොහොයුරා, සොයුරිය පවා වසර ගනනාවකට පසුව උවද ඔවුනොවුන් හඳුනා ගනී. අපේ ටෙලිවල ඊයේ පෙරේදා ගෙදරින් ගිය තම දියණිය මව නොහඳුනයි, සොයුරිය නොහඳුනයි. තව විකාරනම් බොහෝය. එකිනෙක දැක්වීම ඔබගේ කාලය කා දැමීමක් යැයි සිතෙනා නිසා නොකියමිය.

           ඉන්දියාවේ එකාලනම් මේවගේ ඒවාට කියන්නේ "ගෝල් මාල්" (අවුල් වියවුල්) කියාය. අපේ එකාල මේ කරන්නේ ටෙලි නාට්‍ය කලාව ප්‍රේක්ෂක ජනතාවට එපා කරවීමක්ය. ඒක මහා අපරාධයක්ය. ඉඳ හිට හෝ හොඳ නිර්මාණයක් කරන නිර්මාණ කරුවන්ට තිබෙනා අවස්ථාවත් නැති කිරීමක්ය.

හැබෑවටම මේවා හොයන්නට බලන්නට කෙනෙක් නැතුවද...?
නො එසේනම් ඔවුන් මර නින්දේද....?

Tuesday, February 12, 2013

සරාගේ වැලන්ටයින් පනිවිඩය..

   
                                     


              අර වැලන්ටයිඩේ හෙවත් පෙම්වතුන්ගේ දිනය උදාවීමට ඇත්තේ තව පැය ගනනාවක් පමණි. රට පුරා හැමෝම පාහේ ඕක සැමරීමට කල් තියාම ලක ලෑස්ති වෙනබවට සරාට දැනගැන්මට ලැබී ඇත. වැලේ වැල් නැති එකා පවා වැලන්ටයින් අතාරින්නේ නැතිය. බැලුවාම එය ඉතා හොඳ ප්‍රවනතාවයකි. අපේ සඟිස්කුරුතයේ නිම්වලලු පුළුල් වෙමින් පවතින බවට කදිම සාක්ෂියකි මේ. සරා ඒවායේ වරදක් දකින්නේ නැති. හැමෝටම හොඳනම් මටත් අවුලක් නැති නියාය නම් ඒය. 

          හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවාය. ඒ ආදරවන්තයන්ට විශේෂ දිනයක් මක්කටද යන්නය. ලෝකය පවතින්නේ ආදරය කරුණාව මතය කියා සරා අදහන්නේය. එනයින් ගත් කල හැම දිනයක්ම ආදරණීය දිනයන්ය. ආදරවන්තයන්ගේය. එසේනම් ආදරය කිරීමට හෝ ආදරවන්තයන්ටය කියා විශේෂ දින ඇවසි නැතිය. එහෙත් දැන් එහෙම දවසක් තියෙනවාය. එහෙත් බොහෝ දෙනෙක් මෙදින යොදා ගන්නේ ආදරය කිරීමටද නොවේය. එක එක කුප්ප කම් කිරීම සඳහාය. ඒගැන උදාහරන ගෝනියක් දිය හැකිය. එවිට මගේ වැලන්ටයින් පනිවිඩය දික් වෙනවාය. පෝස්‍ටුව නීරස වෙනවාය. කියවන්නාට එපා වෙනවාය.
එබැවින් ඒගැන කතා අත් හරිනවාය.

           සරා ලෝකය ගැන කතා දමන්නට නොදන්නේය. එසේ කිරීමටනම් හතීකොන කරක් ගසා තිබිය යුතුය. සරාට එවන් අත්දැකීම් නැතිය. එබැවින් දන්නාදේ පමණක්ම කතා කරන්නේය.  ඒ මෙසේය. සුපිරි පැලැන්තිය නියෝජනය කරන ඇති හැකි ඈයෝ තරු පංතියේ හෝටලවල වැලන්ටයින් (ස)මරන අතර මධ්‍යම, සාමාන්‍ය, නිර්ධන පංති පිලිවෙලින් තානායම්, ලැගුම්හල්, පකිස් පෙට්ටි මේ සඳහා ‍තෝරා ගනිති. ඔය එකක්වත් බැරි එකාගේ පිහිටට එන්නේ වෙරල කොනක හිඳ බලා ඉන්නා වැටකෙයියා පඳුරුය. වතු කම්කරුවාගේ පිහිටට වැටකෙයියා වත් නැතිවෙන්නේ "මනිය" ගහනකම් වත්තෙන් එලියට යාමට නොහැකි නිසාය. එබැවින් උන් ඒ සඳහා තේ පඳුරක් හෝ රබර් ගසක් ‍තෝරා ගනී. ගමේ එකාලාට දං පඳුරුය.කවුරු කොහොම කොතැන වුවද (ස)මරන්නේ වැලන්ටයින්ය.ඒ වනාහී අපේ නූතන සඟිස්කුරුතාංගයක්ය. එබැවින් එහි කිසි වරදක් නැත්තේය. නමුත් ආශ්චර්ය කරා යන ගමනේදී මේ සඳහා ලැබෙන රාජ්‍ය අනුග්‍රහය නම් ප්‍රමාණවත් නොවන බව නොකියාම බැරිය. අනෙක් සඟිස්කුරුත උත්සව වලට මෙන් මෙයටද නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතුමය. අවම වශයෙන් මෙහි අතුරුඵලයක් ලෙස රටට ලැබෙන "බෝනස්" ගැනහෝ අවධානය යොමුකල යුතු බවට දියවන්නා නෑදෑයෝ හඬ නැගිය යුතුය. ඒ මාපියන් නැති දරුවන්ය. ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා යමක් කිරීම රජයේ වගකීමකි. අනාථ නිවාස වැඩිවැඩියෙන් සෑදිය යුතු අතර ඒවායේ පහසුකම් තවතවත් වැඩි කල යුතුය. එවිට ඒ දරුවන් සුවසේ වැඩෙනු ඇත. ඔවුන් කුඩා කල කිසිදා නොදු‍ටු මව්පිය ගුණ වයනු ඇත. වැඩි වියට පැමිණීමේදී ඔවුන්ව ආදර්ශයට ගන්නවා ඇත. පොඩිහිටියන්ද දිනෙක වැලන්ටයින් සමරනවා ඇත. ඔවුන්ට සිදුවූ දෙයම ඔවුන්ගෙන්ද සිදුවනවා ඇත.
අහා........... කෙතරම් අපූරුද...?

හැපි වැලන්ටයින් එකක්ම වේවා.........!!!



Monday, February 11, 2013

රටටම වින කටින "සුලං කිරිල්ලියෝ"....






            අද මම ඉතා කෙටි සටහනක් තියන්න යන්නේ සංවේදී මාතෘකාවක් ගැන. කවුරුවත් මා එක්ක අමනාප වෙන්න කරි නෑ. මොකද ඇත්ත කියද්දි සමහරෙක්ට කේන්ති යනවා නෙව. සරාට එහෙම දේවල් වෙනවා නිතරම. මේ කතාව හොඳින් කියවන්න, තේරුම් ගන්න. මේ සරා අහපු දැකපු තවත් කතාවක්. 

නිමිත්ත:
මේ ලඟදි දවසක් අපේ "පැතුමට" නාඳුනන අංකයකින් කෝල් එකක් ආවා. ඒක මෙහෙ අංකයක් ඒත් කතා කලේ ලංකාවේ කාන්තාවක්. තමන් මෙහෙ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරනා බවත්, එම ගෙදරම සේවය කරන පිලිපීන කාන්තාවක් තමන්ට මේ අංකය දුන් බවත් තනියම සිටිනා විට පාලුවක් දැනෙන නිසා ලංකාවේ කෙනෙක් සමඟ කතා කිරීමට තියෙන එකත් ලොකු දෙයක් නිසා කතා කල බවත් ඇය කිවුවා. අහපු කියපු දේවලට උත්තර දුන්න අපේ එකා ඇමතුම විසන්ධි කලා. ඊලඟට ඉහතින් කියලා තියෙන කතන්දරේ අපිත් එක්ක කිවුවා. මගේ ප්‍රශ්නය උනේ උඹේ නම්බර් එක පිලිපීන් කෙල්ලෙක් ලඟට ගියේ කොහොමද කියන එක. ඒකට උත්තරේනම් ඌ දන්නේ නැති බවත් ආයේ කතා කලොත් අහගන්න බවත් ඌ කිවුවා. කිවුවත් වගේම ඇය යලිත් පසුදින කතා කරලා තිබුනා. එතකොට කියලා තියෙන්නේ මෙහෙ වැඩ කරන පිල්ලෙක් තමයි අර පිලිපීන් කෙල්ලට පැතුමගේ නම්බර් එක දීලා තියෙන්නේ කියලා. කොහොම නමුත් දවස් කීපයක් යනකොට අපේ එකාට මේ කතා කිරිල්ල කරදරයක් වෙන්න පටන් ගත්තා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහතින් කියන්නට යෙදුන "අංගනාව" ‍රැයක් දවාලක් නැතුව අපේ එකාට කතා කරනවා, මිස් කෝල් (Missed calls) ගහනවා එක විකාරයයි. රෑ තිස්සේ මිස් කෝල් එනකොට සරා මවුගුණ වයන්නේ අපේ එකාගේ.
ඇයි අප්පා කාටද රෑ දෙගොඩ හරියේ ඇහැරගෙන හිංදි සිංදු අහන්න පුළුවන්. හා... නැද්ද මං අහන්නේ...? :D
     
            බැරිම තැන පැතුමා අනේ මේ ඔයා මට කතා කරන්න එපා මම ඔයාට යාලුවෙක් හඳුන්වලා දෙන්නම් ඔයා එයා එක්ක කතා කරන්නය කියලා අල්ලපු කාමරේ ඉන්න "පොරකගේ" නම්බර් එකක් දීලා ෂේප් උනා. අන්න ඒ "පොර පුතා" නම් වැඩේ ලස්සනට කොරගෙන ගෙහුන් තියෙනවා කියලා පැතුමා කිවුවේ මේ ලඟදි අර කියපු කාන්තාවගේ උඩුකය නිරුවත් චායා රූපයකුත් ඔය කියපු පොර පුතා ගෙන්නගෙන තියෙනවා දැකලා ඇවිත්. මේවා විතරක් නෙමේ "ඕන නම් සල්ලිත් එවන්නම්" කියලා කිවුවා කියනවනේ. ගල් අරාබියෙක් වුනු පොර පුතා වගේ උන් සරා ආශ්‍රය නොකරන නිසා ඌ සරාගේ කාමරේට නම් එන්නේ නෑ. මේ විස්තර සේරම පැතුමා තමයි අපේ කාමරේට ගෙනාවේ. හැබැයි ඉතින් සාක්ෂි සාධක ඇතුවම මේ තොරතුරු ඌ ලඟ තියෙන නිසා වගකීමෙන් කියන්න පුළුවන් මේක බොරුවක් මුසාවක් නෙමෙයි කියලා.

මේක සරා මුහුණ දුන් තව සීන්කෝන් එකක්:
සරා මෙහෙට එන දවසේ සරාලා පැමිනීමට නියමිත ගුවන් යානය පැය 11ක් ප්‍රමාද උනා. ඒ හේතුව නිසා රියාද් බලා යාමට සිටි සියලුම මගීන් ලඟ පාත හොටෙල් වල නවත්වනු ලැබුවා තාවකාලිකව. මැද පෙරදිග ගෘහ සේවයට යාමට සිටි කාන්තාවන් 20-25ක් පමණ පිරිසකුත් අපිත් එක්ක හිටියා. ගුවන් තො‍ටුපොලේ සිටිද්දී පවා ඔවුන් හැසිරුනේ හරියට වසර ගනනාවක් සිරගතව සිට නිදහස් වූවන් පරිද්දෙන්. මගේ අනුමානය නිවැරදිනම් එතැන සිටි කාන්තාවන්ගෙන් බාගෙට බාගයක් විදේශ ගත ‍රැකියාවල පුරුදු කාරියන්.10-12ක් පමණ පලමුවර විදේශ ගතවන්නියන්. නමුත් අර අලුත් අය පවා පුරුදු කාරියන් අනුකරනයේ යෙදුනා යැයි කිවුවොත් ඒක මුසාවක් නෙවෙයි. ගුවන් තො‍ටුපලේදී ඔවුන් හැසිරුනු හා කලකීදෑ සවිස්තරව ලියා මේ ලිපිය දිගු කිරීමේ අදහසක් මාතුල නැති නිසා මම ඒකිසිත් නොලියනා බව කියවන ඔබලා දත යුතුයි. නමුත් අපේ තාවකාලික නවාතැන් කරා යාමේදී ව්‍යංගාර්ථ විවෘත ආරාධානාවක් නම් කෙරුනු බව කිවයුතුයි. ඒ කාන්තාවන්ගේ අදහස උනේ "මෙහෙම තැන් වලදීවත් මෙහෙම නැත්නම් වැඩක් නෑ" කියායි. සරානම් ආරාධනාව ප්‍රතික්ෂේප කලේ ඉතාම කාරුනිකව. නො එසේනම් සරාටද නාදුනන කාන්තාවක් සමඟ පැයකට දෙකකට යහන්ගතවීමේ "භාග්‍ය" උදා වෙනවා. සරා එසේ කිවුවේ ඔය කියපු අහවල් එක ලබා ගත්තු මැදිවියත් ඉක්මවමින් උන්නු හාදයෙක් මෙහෙ "චෑන්ස්" ලැබෙන්නේ බොහෝම කලාතුරකින්ය කියලා සරා එක්ක කියපු කතාවක් මතක් උනු නිසා. ඒක හිතලුවක්ය කියන්නට හැකියාවක් නැත්තේ ආරාධිතයන් අතර සරාද වූ නිසා.

           සරා කොහොමත් තුන්වේල කටට රහට කාපු එකෙක් වුනු නිසාත් සරාගේ ගමනේ අරමුන ඔය කිසිවක් නොවුන නිසාත් සරාට ඒ ගැන හිතන්න වද වෙන්න උවමනාවක් තිබුනේ නෑ. ඔන්න දැන් කෙනෙක් කියන්න බැරි නෑ "නිකන් බයිලා ගහන්න එපා බං, දුන්න නම් උඹ නොගහ ඉදියි" කියලා, ඒවගේම අර කාන්තාවොත් සමහරවිට හිතන්න ඇති මෙහෙම උන්නට සරා "නමයක්" (නම්බර් නයින්) කියලා. හැබැයි ආයිබොවන් මට ඔය කතා දෙකම වැදගත් නෑ. මොකද සරා කියන්නේ සරාට, ආයේ ඒකට අ‍ටුවා ටීකා එකතු කරන්න හේතු දක්වන්න මට උවමනාවක් නෑ.

මට තියෙන ප්‍රශ්නේ මේකයි.
ඇයි ලාංකීය කාන්තාවෝ මෙහෙම හැසිරෙන්නේ....?
මේ හැමෝටම දූදරුවෝ ඉන්න, සැමියන් ඉන්න, මව්පියෝ ඉන්න අය. එයාලගේ අනාගතය සිඛිතමුදිත කරන්න හෝ තම පවුලේ ආර්ථිකය ගොඩ ගන්න කියලා නේද මෙයාලා මේ අයුරින් විදේශ ගත වෙන්නේ. ගුවන් තො‍ටුපල ඇතුලට එනකොට ඉන්න අය නෙමේනේ මේක ඇතුලට ඇවිත් ටික වෙලාවක් යනකොට ඉන්නේ. එහෙදියි මෙහෙදියි මෙයාලා හැසිරෙන විදිහ දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. අනේ ටිකකට හිතන්න බැරිද අපි මේ කිසිම කැතක් හිරිකිතක් නැතුව විනාශ කරන්නේ අපේම අයගේ විශ්වාසේ විතරක් නෙමේ රටේ නම්බුව කියලා. මේ හැම දෙයක්ම වෙන්නේ පාලුව කාන්සිය නිසා කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. ඇයි එහෙම කියන්නේ...?

බලන්න දැන් අපේ බ්ලොග් අවකාසේ මැද පෙරදිග සේවය කරන කෙල්ලෝ කීදෙනෙක් ලියනවද කියලා. ඔය කියන පාලුව කාන්සිය නැති කර ගන්න මේක හොඳ ක්‍රමයක් නෙමෙයිද.....? තමන්ගේ නම්බුවයි ගෞරවයයි ‍රැකගෙන රටේ නමත් තියාගෙන කොයිතරම් අපූරුවට නිර්මාණ කරණයේ යෙදෙනවද ඔවුන්. අපටත් ආඩම්බරෙන් යෙහෙලියකට වගේ සොයුරියකට වගේ කට පුරා ආමන්ත්‍රණය කරන්න පුලුවන් ඔවුන්ට. ලංකාවේ කෙල්ලෝ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන්. ඒත් මේ ඇතැමුන් කරන නොපනත්කම් නිසා නොදන්නා අය මොවුන් දිහාත් වපර ඇහින් නොබලාවිද........?
මදක් සිතන්න....................!!


පසු වදන:
මගේ මිතුරා සතු හා මා සමඟ පැවසූ සියලු තොරතුරුවත් ඉහත කාන්තාවගේ වොයිස් ක්ලිප් එකක් වත් මා මේ සමඟ පල නොකරන්නේ මානුශීය කරුණු සැලකිල්ලට ගෙනය. එහෙත් විදේශ ගතව වල් බූරු නිදහසක් භුක්ති විඳිනා අය ඇතොත් මේ කරුනු හොදින් සිතට ගන්නාමෙන් දැන්වීමට කැමැත්තෙමි. ඔබලාගේ කෙරුම් එක් අයෙකට පමණක් සීමාවීයැයි නොසිතන්න. කාන්තා නිරුවත ඉදිරියේ හැමෝම දන නොගසනා නිසාත් තාක්ෂනය ඉතා දියුනු නිසාත් ඔබලාගේ ක්‍රියා කාරකම් නැවැත් වීමට කාලයයි මේ. නැතහොත් නැවත මවුරට ඒමේ අවස්ථාව නැති කිරීමට සරා වැන්නෝ ක්‍රියා කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතිබව ඔබලාට දැන්වීමට කැමැත්තෙමි.

ඒ නිසා අපේ මේ බ්ලොග් ලියන කෙල්ලෝ දිහා බලලවත් හැදියල්ලා. උඹලා ඔය භාවිතා කරන තාක්ෂනය ඒ වගේ වැඩකට යොදා ගනිල්ලා. ඇත්ත හැමෝටම ලියන්න බෑ, ඒත් කියවන්න පුලුවන්නේ. එහෙම දේකට යොමු උනාම පාලුවට තනිකමට ඉඩක් නෑ. මොකද උඹලා ඔය කන්නේ රටේ නම්බුව.

ඔය රතු පාට අකුරුටික අමුනද්දී අපූරු කිවිඳියක වුන ගජමන් නෝනාව මතක් වුනා. රත්වෙච්ච ලේ නිමෙන්නත් එක්ක එයා ගැන ලියවුනු කැලෑ පත්තරේකට ඇය පිලිතුරු දුන් කවියක් කියලා යන්නම්. මේ සම්බන්ධ කතාවත් බොහොම රසවත් එකක් වුනාට දැන් මගේ මූඩ් එක හරිනෑ ඕවා කියන්න.
මේං ඒ කවිය ඒගමන් මාත් ගෙහුං එඤ්ඤං ආයිබොවං.......!!

වටිනා දෙයක් කොට සිතු මෙමගෙ           තුනු විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කලෙමි                බොල
සිටිනා දන මෙගම සහ අවට                     ගම් වල
තුටිනා එපින් අනුමෝදන් වව්                       සියල



පින්තූරය ඉල්ලගත්තේ ගූගල් යාලුවාගෙන්

Tuesday, January 15, 2013

කනේ කොහොඹ මිරිකනවා හැමදාම......





         සරා මීට පෙර ලිපියක් ලිපියක් ලියලා ඒකෙන් සිංහලයාට බෞද්ධයාට මහත් අවැඩක් සිදුවුනාය කියලා කලබැගෑනියක් ඇති උනා. සමහරු ලිපි පවා ලියලා ඒ ලිපිය තමන්ට හිතෙන විදිහට අර්ථදක්වමින්. ඒ පිළිබඳ සරාට කියන්න තියෙන දේ තමයි මේ. ඒ වගේම මේ සම්බන්ධව ලියවෙන අවසාන වචන කීපයයි මේ. තව දුරටත් මේ ගැන කතා කරන්නට මගේ අදහසක් නැත.

          මම ඒ ලිපියේ පැහැදිලිව ලිවුවා ආගමික නීතියට අනුවය කියමින් අන්තවාදීන් බහුතරයක් (සෞදි මිනිසුන් ඇතුලුව) කරන මේ ක්‍රියා කුරාණයට (ආගමික නීතියට) අනුව වැරදිය ඒ නිසා දොස් කිවයුත්තේ ආගමට නොව අත්තනෝමතිකව ක්‍රියා කරන එවුන්ටය කියලා. ඒවගේම අපේ සීමාව ඉක්මවා දොස් දෙවොල් තැබීමෙන් සමස්ථ මුස්ලිම් වර්ගයා කෝපයට පත්වීමෙන් අනවශ්‍ය ගැටලුවක් ඇතිවීමේ ඉඩක් ඇතැයිද මම එහිදී කියන්නට යෙදුනා. ලිපිය කියවපු උදවිය හරි අපූරුවට එය තේරුම් ගෙන තිබුනා. ඒනිසාම සමහරු මම පන්දම් කාරයෙක් බත් බැලයෙක්ය යන වග නොකියා කියා තිබුනා. කෙසේ වුනත් මම ඒ ගැන තව දුරටත් කියන්න යන්නේ නෑ එහෙත් එයින් ඇතිකර තිබූ ගැටලු කීපයක් සඳහා පිලිතුරු සැපයෙන ලිපියයි මේ.

1  සරාට ඕන වුනේ කාගේ හරි ආගමකට හෝ ජන කොටසකට සුදුහුනු ගෑමටද...?  
සරාට එහෙම කරන්න ඕන කමක් නැත. තමන්ගේ මහන්සියෙන් උපයා සපයා ගන්නා ඔහුගෙන් තවකෙකුට උදවුවක් ලැබෙනු විනා ඔහු කිසිවෙකුගෙන් උදවු ගන්නේවත් කාටවත් දත නියවන්නේවත් නැති. එබැවින් ඔහු ස්වාධීනයැයි ඔහු සිතා සිටියි. කිසිවෙකුටත් කඩේ යන්නේ නැතැයිද කඩේ යවන්නටත් බැරියැයි කියන්නේද ඒ නිසාවෙනි. 

2  තවත් ලිපියකට අනුව චීවරධාරීන්ගේ වැරදි කීවේ මා සුචරිතවාදියෙකු හෝ සර්ව සාධාරන බව ලෝකයට පෙන්වීමට නොවේනම් මෝඩ කමටය.
වෙන්ඩ සුචරිතයක් මට තියෙන්න එපායෑ. මට ඒ ජාතියේ එකක් නෑ ආයිබොවන් ඒ නිසා ඒ චෝදනාවෙන් සරා නිදහස් ඕං. ඔය කිවුවට සරා සර්වසාධාරන එකෙකුත් වෙන්ඩබෑ. අසාධාරන වැඩ නොකලට මට අසධාරනයක් උන තැනදි මම ඒකට උත්තර දෙනවා මිස මගේ ක්‍රමය සාධාරනද අසාධාරනද කියලා බලන්නේ නෑ. අර මං දන්නේ නෑ තුමා නම් සරාගේ ලිපිය අපූරුවට විග්‍රහ/ විවේචන කරලා තිබුනා. ඔබට ස්තුතියි මං දන්නේ නෑ තුමා ඒකට. හැබැයි මට කියන්න තියෙන්නේ ඔබතුමා දන්නේ නෑම කියලා තමයි. මොකද ඔබට අනුව මම දෙපැත්තේම වැරදි තියෙනවයි කීවේ එක්කෝ මෝඩකමට නැත්නම් සර්ව සාධාරනයි කියලා ලොකෙට පෙන්නන්න. අපි කියමු ඕක පැහැදිලි මෝඩකම කියලා. මොකද මම කලිනුත් කිවුවා වගේ වෙලාවකට උන් හිටි තැනුත් අමතකවෙන මාලඟ ඔය සර්ව සාධාරනද මොකක්ද එක තියෙන්න විදිහක් ඇත්තේම නෑ. හැබැයි මහත්තයෝ මගේ මෝඩ මොලේට තේරුනා කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික තියෙනනිසා විවේචනය කරනවා නම් හැමෝවම විවේචනය කලයුතුයි කියලා. අනුන්ගේ ඇහේ තියෙන කුනු හොයන උඹලගේ/උඹගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැද්ද කියලා ගමේ වට්ටිඅම්මා කෙනෙකුටවත් අහන්න බෑනේ එතකොට මගෙන්. හැංගිලා හූ කියනවට කුනු බිත්තර ගහනවට වඩා හොඳයි වගේ නේද ඒක. අනික වගකීම ගන්නත් කෙනෙක් (ලියන්නා) ඉන්නවානේ. ඔබගේ නොදන්නා කමට නොවැටහුනාට මගේ ලිපියේ සාරාංශය නම් මේය........

1  අන්තවාදී මුස්ලිම් යැයි කියා ගන්නා සල්ලිකාර මෝඩයන්ගේ වරදට සමස්ථ ඉස්ලාමයට දොස්කීම වැරදි බව කීම. 

2  සිදුවූ දෙය ආගමික නීතියට අනුකූල නැති බව සෞදිනොවන මුස්ලිම්වරු පිළිගන්න බව පැවසීම. 

3  වැරදිය. ඒත් වරද පෙන්වා දිය යුත්තේ ඔවුන් කුපිත වන අයුරින් නොවන බව පැවසීම.

4  ලොකයේ ධනවත්ම හා බලවත් ජන කොට්ඨාශයක් සමඟ කලහකාරී අයුරින් කටයුතු කිරීම නුවනැති ක්‍රියාවක් නොවන බව පැවසීම 

5  ඉහටත් උඩින් ප්‍රශ්න තියෙන අපට අප පමණක්ම නිසා කල්පනා කාරීව කටයුතු කලයුතු බව පැවසීම.

මේ කාරනා ටික ඔබ අපූරුවට තේරුම් අරං තිබුනු බව මට තේරුනා ඔබේ ලිපිය කියවූ පසුව ඉතින් මම ඒ ගැන තව දුරටත් කතා නොකර ඉන්නම්.
          අර බුදුපිලිමය ලඟ තබා ගත් තරුනයා ගැන කතා නොකල එක ගැනත් චෝදනාවක් තිබුනා. අදාල සිද්දියයි මේ කතාවයි ගැලපෙන්නේ නැතත් මම මෙහෙම කියන්නම්. සෞදිය කියන්නේ බහුතරයක් මෝඩ හා නූගතුන් ඉන්නා රටක්. හරියට අතීතයේ උන්න ගෝත්‍රිකයින්ට මොවුන් දෙවෙනි වෙන්නේ මොවුන්ට මුදල් තිබෙන නිසා ඕනවටත් වඩා. ඉතින් අපට තියෙන ආර්ථික ගැටළු විසඳ ගන්න නම් මෙහි එන්නේ අපි දැන ගන්න ඕන මෙහි සිටිනා කාලය තුල අපේ ආරක්ෂාවට තර්ජනයක් වෙන කිසිවක් නොකර සිටීමට. මොකද අපි මෙහේ ආවේ අපේ උවමනාවන් ඉ‍ටුකරගන්න නිසා. අනික මෙහෙ එන්න කලින්ම අපට ලැබෙනවා මෙහි ජීවත් විය යුතු ආකාරය ගැන උපදෙස්. මෙහි සිටිනා කාලය තුලදි මොවුන්ගේ නීතිරීති උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙනවා කියලා ගිවිසුමකටත් අපි අත්සන් කරනවානේ. ඉතින් එහෙම එකේ ඔහු මොවුන් මහා අපරාධයක් විදිහට දකින යමක් ලඟ තබා ගැනීම, නැත්නම් මෙහි ‍රැගෙන ඒම ගැන ඔහුත් දෙවරක් සිතිය යුතුව තිබුනා.

        ඒකට මරණ දඬුවම සාධාරනද කියලා මගෙන් අහන්න එපා. මොකද මොවුන්ගේ ස්වභාවය මම උඩින්ම සඳහන් කලා. ඔහුට තිබුනේ මෙහි නෑවිත් ඉන්න කියලා නම් මට හිතෙනවා. ප්‍රථම වරට මැදපෙරදිග පැමිනෙන්නෙකුට වුවත් පුහුවේදී පවා වරින්වර මේ දේවල් කියාදෙනවා මතක්කරනවා. මම මොවුන් හරි කියනවා නොව අපේ අය මේ දඬුවම් වලට ලක් වෙන හේතු පැහැදිලි කරන්න උත්සාහ ගන්න බව ඔබලා තේරුම් ගත යුතුයි.

             තව කාරනාවක් ඔබට කිව යුතුමයි. මෙහි පැමිනෙන සියලුදෙනාමත් අහිංසකයන් නොවන බවයි ඒ. මෙහෙට එන වැඩි පිරිසකට මෙහි පැමින ටික දිනකින්ම තමන් කවුද තමන් පැමිණියේ කුමණ අරමුනක් ඇතිවද යන්න අමතකව යනවා. ඊට පසුව ඔවුන් වැඩ කරන්නේ මවාගත් මනසකින් යුතුව, හරියට ස්වදේශිකයන්වගේ. මත්ද්‍රව්‍ය( ගංජා, හෂීස්, කසිප්පු) වගේ දේවල් ඔවුන් ලබා ගන්නේ/ගෙන්වා ගන්නේ අස්කරියෝ( පොලීසිය/ හමුදාව) ලවුව. ඒව පාවිච්චියෙන් පසුව සිංහයෝ වගේ තමයි හැසිරෙන්නෙත්. මේ මම ඇහැට දකින දේවල්. අස්කරියෝ තමන්ට සල්ලි ලැබෙන නිසා මේවා අපේ අයට සැපයුවට මෙයාලගේ පෝල්ට් එකකින් කොතන හරි ලීක් උනොත් බෙල්ල මුලින්ම හිර කරනවා අපේ උන්ව. ආයේ ඒකේ දෙකක් නෑ. මොකද හරි උනත් වැරදි උනත් ස්වදේශිකයන්ගේ කතාව මිස අපේ එකාලගේ කතා අහන්න පිළිගන්න මෙහෙ කවුරුවත් නෑ. එහෙම අය ඉන්න තැන් තමයි නිතර සෝදිසියටත් ලක් වෙන්නේ. දැන් කවුරුවත් මට චෝදනා කරන්න එපා අර තරුණයා වරදකාරයෙක් කරලා පිස්සු සෞදියන්ව හරි කියන්න මම තවත් කතාවක් අමුනන්න හදනවා කියලා. මෙහෙ එන හැමෝම හරි අහිංසකයි කියනැක 100% නිවැරදි නෑ කියන්නයි මම මේ කතාව කිවුවේ. මම මෙහේ හිටපු කාලය තුල මෙහි කිසිම කෙනෙකුගෙන්( රෙඩ්කැප්, අස්කරි, මුතවුවන්, රෝහල් පාලනාධිකාරිය) මට කරදරයක් හිරිහැරයක් සිදුවෙලා නෑ. එකම හේතුව මම කවුද මෙහෙ ආවේ මොකටද යන්න දැනගෙන මතක තබාගෙන කටයුතු කිරීම. 

4  ප්‍රකෝප කාරීව අදහස් දක්වපු හුඟාක් අය බොහොම තරුණ උදවියනේ.අන්න ඒ අයට මේ කතාව කියන්නේ.

             තරුණ ලේ රත්වෙනවා වැඩී. ආවේගශීලීයි. හැබැයි ඔවුන්ගේ අත්දැකීම් නම් අඩුයි. ක්ෂණික ප්‍රතිචාර දැක්වූවාට ඔවුන් ලඟ සාර්ථක පිලියම් නෑ ගොඩාක් ගැටළුවලට. ගොඩාක් වෙලාවට කරන්නේ ආවේගයෙන් කෑගහන එක. "අපිට උන් එහෙම කරනවානම් අපි මෙහෙම කරන්න ඕන. නැත්නම් උන් හිතන්නේ අපි බයේ කියලා." ඔන්න සටන් පාඨ කියන්න ගන්නවා. ඒත් යාලුවනේ මේ ආවේගය අපට ගැටළුවට උත්තර හොයන්න නම් උදවු කරන්නෑ කොහෙත්ම. අපිව තවත් ප්‍රශ්නය තුලම හිරකරනවා හැර. හැබැයි සමහරුනම් කියනවා මෙහෙම වෙලාවට නැති ආවේගය මොකටද කියලත්.  මම එහෙම ප්‍රතිචාරත් දැක්කා. මම කියන්න කැමතියි මෙහෙම ආවේග බොහොම ටිකවෙලාවයි ඵල රහිතයි කියලා. (හරියට සෝඩා බෝතලයක් කැඩුවා වගේ) හැබෑවටම ගැටළුවක් ගැ‍ටුමක් ඇතිවුන තැන මේ අය හා මේ සටන් පාඨ හරියට හිරු දු‍ටු කදෝපැණියන්ට සමාන කිරීමේ වරදක්නෑ. තිස් වසරකට ආසන්න කාලයක් යුද්ධයෙන් බැටකෑ මිනිසුන් සිටිනා රටක් මේක. යන්තම් යුද්ධය නිමාවී ගෙවුනේ වසර තුනක් පමණයි. අපිත් ආයේ අපේ "‍රැස්පොට්" එක පෙන්නන්න එයාලා කරන දේවල්ම කරන්න ගෙහුන් රට ආපහු අවුලකට යුද්දෙකට තල්ලුවුනොත්, ඔය තැන තැන කෑගහන කීදෙනෙක් ඒ වගකීම බාර ගනීවිද කියන ගැටළුවට කා ලඟ හරි උත්තර තියෙනවද..? හුඟාක් දෙනා තමන්ගේ නමින්වත් නෙමේනේ මේවා ලියන්නේ. සමහර සටන්පාඨ ඇනෝ. ඉතින් අවුලක් උන තැන එයාලව හොයන්න අංජනම් බැළුවත් බෑ. අපට එහෙම නොවෙනවා කියන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ, මොකද ලොවපුරා යුද ගැ‍ටුම් වල පෙරමුනේ ඉන්නේ අන්තවාදී මුස්ලිම්වරු නිසා.

               අද මේ සටන් පාඨ කියමින් වීර චරිත වෙන්න හදන යාලුවනේ ඔබලා යුද්ධ දැක්කේ බාගෙට. හැබෑ යුද්ධය හොලිවුඩ් සිනමා පටයක් වගේ රසවත් නෑ. ඒකෙන් දෙපාර්ශවයටම හානි වෙනවා. ඔබ දු‍ටු කොටස ඉතාම ටික නිසාත්,එයින් ඔබට සිදුවූ හානිය අවම නිසාත් තවම ඔබේ ලේ රත් වෙනවා වැඩී. හැබෑවටම යුද්ධය දු‍ටුවන් හා යුද්ධට මුහුන දුන් අය ප්‍රකෝප කාරී ලෙස නොහැසිරෙන්නේ ඒ නිසයි. සමහරු නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා. කියලා තේරුම් කරන්න බෑ කියලා හිතලා වෙන්නත් පිලිවන්. ඒ ඔවුන්ගේ කැමැත්ත නිසා මම ඒගැන කතා කරන්නේ නෑ. 

5   හිරූ මගෙන් අපූරු ප්‍රශ්නයක් අහලා තිබුනා. අපි විතරක් තේරුම් ගැනීම ප්‍රමානවත්ද කියලා. ඒකට මගේ උත්තර මේ.

               ඇති. අපි හරි ඇත්ත තේරුම් ගත්තම ඇති. අපිත් තාම තේරුම් නොගත් එකයි වරද. මුලින් අපි තේරුම් අරගෙන නවතිනවා. ඊලඟට ඔවුන් නවතීවිද බලන් ඉන්නවා. නවතින්නේ නැත්නම් ඔවුන්ට අපි ඒ බව කියනවා. ඒකට අපට ගොඩාක් ක්‍රම අනු ගමනය කල හැකී. ඒත් ප්‍රතිපලයක් නැත්නම් පමණයි මේ අය  මේ දැන් අනුගමනය කරන ක්‍රියා මාර්ග ගත යුත්තේ. සෙරටම කලින් මහ වැඩේ කලහම බැරිම තැනදි කරන්න දෙයක් නැති වෙනවනේ. දවසක් මම දයා රෝහන මහත්මයගෙන් ඔය සමානම ප්‍රශ්නයක් ඇහුවා හිරූ.එතුමාගේ උත්තරේ උනේ මෙහෙම. ගැ‍ටුමක් ඇතිවෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ශව දෙකක් ඕන. ඒවගේම කිසිම ගැ‍ටුමක එක පාර්ශවයක් 100% නිවැරදි වෙලා අනෙක් පාර්ශවය 100% වැරදි වෙන්නේ නෑ. එහෙමනම් පාර්ශ්ව දෙකම 50% ක් හරි වගේම 50%ක් වැරදී. පසු බහින්නේ දිනන්නනම් ඒකෙන් අවැඩක් වෙන්නේ නෑ කවදාවත්.

           පොඩි කතා දෙකක් කියන්නම් හිරූ වැදගත්වෙයි කියලා හිතුන නිසා. මම ඉස්සර කළුසුදු රූපවාහිනී ගැන ඉගෙනගන්න කාලේ ඔය අරංගල පැත්තේ වාත්තු වැඩපොලක ( ඇළුමිනියම්) වැඩකලා. එක්තරා හේතුවකට මම එහෙ කොළුරෑනක් එක්ක රංඩුවක් වුනා. මගෙත් නාහෙට නාහන වයස නිසා දෙතුන් දෙනෙකුටම තනියම වග කියලා. සනීපෙන් මම නැවතිලා හිටපු තැනටත් (වැඩපොලට) ආවා.  ඔතන බලාකියාගෙන හිටපු නෙල්සන් අයියා දකුනේ බුවෙක්. රට කාපු නීල අංපොල්ලෙක්. පොරගෙන් මම වගේ එවුන් හතරක් හදන්න පුළුවන් ගේමක් නැතුවම. අදාල කතන්දරේ පොරට කිවුවම පොර මට කිව්වේ මලය  ටික දොහක් යනකම් උඹ මිහිඳු මාවත පැත්තෙන් ක්ලාස් පලයන් කියලා. ඒත් මම ඔහුගෙන් එහෙම උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ. ඒ නිස මම කිවුවා.......

මොනාද නෙල්සන් අයියේ මහලොකු ඇඟක් තිබුනට ඔයාට මට තරම් වත් "ගටක්" නෑනේ...!
හරි දැන් උඹ එහෙනම් මොනාද කරන්න හිතාගෙන ඉන්නේ...?
මොන කරන්නද පුරුදු විදිහටම මෙහෙන් යනවා...!
උන් ආයේ ගේමට අවොත්...?
ආයෙත් ගහනවා....!
හෙහ් හෙහ් හෙහ්...!
ඇයි ඔයා හිනාවෙන්නේ...?
උඹ හිතනවද දැන් උඹේ හැටිත් හොඳට දන්න උන් එදාවිදිහටම ආයි එයි කියලා... යකෝ උඹට කලින් මම ඕවා කලේ, මේ ගමන උන් එන්නේ උඹ වගේ දෙතුන් දෙනෙක් එක්ක උනත් ඔට්‍ටු වෙන්න බලාගෙන.  මල්ලී තවම තරුණ වයසේ නිස පොඩි උපදේශයක් දෙන්නම් මම. අපට ගමකින් ගමකට ගිහින් ගහගෙන දිනන්න බෑ, හැබැයි ගහන්න වගේ ඉන්න පුළුවන්. ( ඔය ගමකින් ගමකට කියන තැනට ඔයාලට කැමති වචනයක් දාගන්න පුළුවන්. නගරං කාරයෙක් කිව්වට මොකද ඒක හුඟාක් තැන් වලට ගැලපෙන බව මට තේරෙනවා)
උඹ අහලා තියෙනවද අලිය ඇතාට බයයි ඇතාඅලියට බයයි කියල කතාවක්...?
හ්ම්...!
උඹ උඹේ තරම උන්ට නොපෙන්න ඉන්නතාක් උඹ ගැන උන්ගේ හිතේ බයක් තියෙනවා. හැබැයි උඹේ තරම දැනගත් දාට උන් ඊට වැඩි බලයක් උඹට විරුද්දව යොදාන්න ඉඩ තියෙනවා.

          මේ අනිත් කතාව හිරූ.. ඒ 1983 අවුරුද්ද. ඔයා ඉපදෙන්නත් ටික දොහකට කලින්. ( එතකොට මට අවු:7-8 ක්විතර ඇති හිච්චි එකා. තේරුමක් නොදත්තා උනත් ඇහුනු දැකපු දේවල් හොඳින් මතක හිටියා. කාලයක් යනකම් තාත්තා අපිට කතන්දර කියාදෙත්දී මම හාර හාර අහැවුවෙම ඔය ගැන. පුංචි කාලේ ඒ දැකපු දේවල් මොනවද කියලා හරි හැටි තේරුම් ගත්තේ එහෙමයි. ඒව සුරංගනා කතා නොවුනේ මම දැකපු දේවල්ම නැවත විස්තර වීම නිසයි.)

           යාපනය පැත්තේ සිදුවුනු සිදුවීමක් අරභයා රටේම මිනිස්සුන්ගේ ලේ රත්වුනා අවුරුද්දේ මැද හරියේදි. අවාසනාවට ඔවුන්ගේ රස්නේ වැදුනේ තමන්ගේම අසල්වැසියන්ට. යටියන්තොට රුවන්වැල්ල, අවිස්සාවේල්ල, පුවක්පිටිය, වග, තුම්මෝදර, පාදුක්ක වගේ පැතිවල සිංහලේ රත්වෙලා තිබුන විදිහ මම දැක්කා. එවකට අපි හිටියේ ඔය දුංකලහේන කියන ප්‍රදේශයේ සාමාන්‍ය ප්‍රමානයේ මැටි ගෙයක. ( එහෙට ආව විදිහවත් එවකට අපේ ආර්ථික මට්ටමවත් මේ කතාවට අදාල නැති නිසා මම ලියන්නේ නෑ.) අපි හිටපු අවට නෝනා වත්ත, ග්‍රෑන්ඩ්ෂීල්, පඤ්ඤාගුල, එල්ස්ටන්,වග වත්ත, අයර්වත්ත වගේ වතු තිබුනා. ආසන්න නගරවල අයගේ ලේ රත්වෙනකොට ඒ රස්නේ අපි හිටපු ගමටත් දැනිලා තිබුනා.( ඒ අපේ ගම නොවේය, අප එහි සිටියේ අවුරුද්දකටත් අඩු කාලයකි.) එක වැසි සහිත අඳුරු දවසක් ඒ. අපේ මිදුල කොනේ ඉඳන් කවුද මනුස්සයෙක් මහත්තයා මහත්තයා කියලා කත කරනවා ඇහිලා අපේ තාත්තා ලාම්පු කුප්පියත් අරං එලියට අවා. අනෝරවේ තෙමි තෙමී උන්නේ නෝනා වත්තේ ලයිමේ හිටපු මනුස්සයෙක් කියලා හඳුන ගත්තේ අපේ අම්මා. මොකද අපේ අම්මගේ ගම මේක. ඒ මනුස්සයා අපේ තාත්තා ලඟට ඇවිත් වැඳලා කිවුවේ අනේ මහත්තයා අපට කරදරයක් කරන්න එපා අපි හරි අහිංසක මිනිස්සු. පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැස්ස පායනකම් එයාලව මෙහෙන් තියා ගන්න වැස්ස පායපුවම එක්ක යන්නම් කියලා.

            අපේ තාත්තා එයාට ගෙට අඬ ගැහුවට ආවේනෑ තව අය කැලේ ඉන්නවා කියලා. තාත්තා මුලින්ම එයාගේ බය අරවලා( තමන්ගෙන් එයාලට අනතුරක් නෑ කියලා තේරුම් කරලා දීලා.) වැස්සේම තෙමි තෙමී ඔහුත් එක්ක ගිහින් අනෙක් අයව එක්කරගෙන ආවා. එතන අත දරුවෙකුයි තව පොඩි ලමයෙකුයි එක්ක මං විතර ලමයෙකුත් හා තරුණ ගෑනු ලමයෙකුත් හිටියා. පවුල් දෙකක්. වැස්සට තෙමිලා හෙම්බත්වෙලා හිටපු පොඩි එවුන්ව අපේ අම්ම පිහදැම්මේ අපිව නාවලා පිහදානව වගේ. අපේ ඇදුම් තමයි අඳින්න දුන්නේ. නමුත් ඔවුන් අපෙ ගෙදර ඉන්න බය වුනා. තමන්ට පහරදුන් අය මෙහෙට එන්න පුළුවන් බවයි ඔවුන් කිව්වේ. උන් කවුද කියලා දන්නවද...? අපේ තාත්තා ඔවුන්ගෙන් ඇසුවා. පිට කිසිවෙක් නොවන බවත් ගමේ මිනිසුන් බවත් ඔවුන් තමන් හොදින් හඳුනන මෙතක් තමන් හා කිසි අමනාපයක් නොතිබුනු අය බව ඔවුන් හැමදෙනම කියාසිටියා. තමුසෙලා කොහේවත් යන්න ඕන නෑ දැන් එලි උනාට පස්සේ ආරක්ෂා තියෙන තැනකට යනකම් මෙහෙ ඉන්නවාලා. මගේ පණ තියෙනකම් මේ වහලයට ඉන්න එකෙකුටවත් අත තියන්න මොකෙකුටවත් බෑ කියමින් කඩුවකුත් අතට අරගෙන දොරකඩින් ඉඳ ගත්තා. ආරක්ෂා සහිත ක්‍රමයක් හොයාගෙන අපේ ගෙදරින් පිට වුනේ ඊට පහුවදාටත් පස්සේ. යන මොහොතේ ඔවුන් අපේ තාත්තට වැන්දා මට හොඳට මතකයි.

              දැං බැලුවම මම විතරක් නෙමේ අපේ තාත්තත් ජාතිද්‍රෝහියෙක් වගේ නේද..? හැබැයි මට නම් ඔහු වීරයෙක්. මොකද ඔහු කඩුවක් අතට ගත්තේ ජාතිවාදය කියන මහානර්ඝ වස්තුව රකින්න නෙමේ, අර මනුස්සකමද මොකක්ද කියන බිබික්කම රකින්න. එදා දක්වාම හිතවත්කම් පවත්වපු කෙනෙකුට හරි අසල්වැසියෙකුට හරි ( වරදක් නැතුව) විරුද්ධව අවි ඔසවන්න ගහන්න මරන්න පුළුවන් එකක්නම් ඔය ජාති ආලය, දේශප්‍රේමය,ආගම් වාදය මට ඒක වටින්නේ නෑ තුට්‍ටුවකටවත් මේ මනුස්සකම විතර. ජාතිය මොක උනත් මම එකට විරුද්ධයි. ඒනිසයි මට දැනුන දේ කිව්වේ. මමත් වැරදියි ඒ ගොල්ලොත් වැරදියි කියමුකෝ. ඒත් අපිට කරන්න තියෙන්නේ සටන්පාඨ කියමින් ඔවුන් කුපිත වෙන අයුරින් හැසිරීම පමණද.......?

         මෙතනින් එහාට මම් මේ ගැන කතා කරන්නේ නෑ කොහොමත්ම. මොකද මේක මගේ ගැටළුවක් නොවෙන නිසා. මේ ටික හරි කිවුවේ ඇත්ත තේරුම් ගන්න කෙනෙකුට උදවුවක් වේවි කියලා හිතලා. මේක තමයි ඇත්ත කියලා හිතන්න කාරියක් නෑ ඕං කවුරුවත්. මේ මට හිතුන හැටිම විතරයි. හැමෝටම හිස් හා සිත් තියෙනවා නේ.

    ...........තම තම නැණ පමණින් දැනගතයුතු............  

නිමාවට පෙර

      අපිත් මේ දේවල් දිහා වෛරය ක්‍රෝධය මුසුව බලනතාක්කල් ගැටළුව අප සමඟ ඉඳීවි.ඒ නිසා පළමුව අප නතරවී බලමු අනෙක් අය නතරවේද කියා. එහෙම නැතිවෙන එකක් නෑ. මතකනේ අර පහුනු පෝස්‍ටුවට ආව හඳුනා නොගත් යාළුවා. අප දිගු කරන්නේ සාමයේ හස්තයනම් ඔවුන්ට එය පිලිනොගෙන ඉන්නට බැහැ. එහෙමත් ප්‍රතික්ෂේප වෙනවානම්......... හෙහ් හෙහ් හෙහ්    

          ඇතැම් අය කියනවා වගේ කාවවත් මේ රටෙන් නෙරපා හරින්න බෑ. පිටවෙයවු කියලා බල කරන්නත් බෑ. මොකද මේරට දැන් හැමොගෙම එකක් වෙලාඉවරයි. කාගෙවත් බූදලයක් නෙමේ අපේරට. සිංහල ද්‍රවිඩ මුස්ලිම් හැමෝගෙම. ඉතින් ඔය කවුරුවත් කියන විදිහට අකුලගෙන පලයවු කිවුවම ඒක කෙරෙයිද...? මූලධර්මවාදයට එරෙහිව නම් කතාකරන්නේ මෙහෙම කතා කියන අය කොතැනද ඉන්නේ...? ඕක තමා පැහැදිලි මෝඩ කම. මේ වෙනකොටත් ඇතැම් අයගේ කතා ඇල් මැරුනු ස්වභාවයක් අරගෙන.ක්ෂනිකයි එපමණයි...! 

පසුව ලියමි: 

        ඉස්සර සංගීත  සංදර්ශන හොයාගෙන යන්නේ සරාලා ආස නිසා ටිකක් එලි පහලියේ නටන්න. ඔහොම ගෙහුන් සංගීතේ පේන නොපේනෙන හරියේ තැනක් හොයාගෙන කන් රත් වෙන ෂයිස් එකේ පොඩි සොට් එකක් දාගන්නේ නටන්න පොඩි කික් එකක් ඕන නිසා. හැබැයි ඉතින් ඔහොම කරන එකම පිරිස සරාලගේ ගැන් එක විතරක් නෙමේ. කියන්නේ ඕක ඇතුලේ තවත් ඔහොම මද පවනට සප්පායම් උන අය ගොඩාක් ඉන්නවා. අහේතුවකට හෝ ටිකක් වැඩියෙන් රත්වුන අය අහල පහල ගැවසුනොත් ඒ ගොල්ලෝ කොකු දාගන්නවා. එයාලගේ කොකු අහල පහල නටන සරාලටත් බලපානවා නම් සරාලා ගෙහුන් කියනවා ..... මචං හැමෝම ආවේ නටලා පොඩි ෆන් එකක් ගන්නනේ... අතෑරලා දාපං මචං ඕවා වරෙන් අපි නටමු  හැමෝම කොල්ලෝනේ බං කියල... ඔහොම කියන්න ගිය කීප වතාවකම උඹ කවුද හු** මට කියන්න කියලා සරාගේ මූණ පිරෙන්න වැදුනු වෙලාවල් තියෙනවා. අනේ ඉතින් සාමෙන් නටන්න කතා කරලා ගුටි කාලා කොහොමද කියලා ඒකාලේ නම් අපි ගෙදර යනවා අයියේ කියන තැනට අදාල පාර්ශව පත් කොලාට ලියුම් කරු නම් පල්ලම් බහින්නේ තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගත්තාවේ කියලා හිතාගෙන. ඕනවට වඩා නිර්භීත කමත් අනුවනකමක්ය කියලා තේරුම් ගත්දාට හැමෝම සාම මාවතට අවතීර්න වෙන්නේ නැතෑ.


Thursday, January 10, 2013

නොකියා සිටිය නොහැකි නිසා - වැරදි ඉස්ලාම් ආගමද........?




           //ආගමේ නෙමේ ආගමට මුවා වෙලා ආගමේ නම විකුනණ සල්ලි කාර මෝඩයන් අතෙයි වරද තියෙන්නේ. සෞදිය කියන්නේ සල්ලිකාර රටක්. මේකේ එවුවන්ට සල්ලි වැඩි නිසා උන් දෙවියන්ටත් වඩා ඉහලයි කියලා උන් හිතාගෙන ඉන්නවා. මෙහෙට එන මුස්ලිම් වරුත් අසරන වෙනවා. මෙහෙ උන් විදේශික මුස්ලිම් අයටත් සලකන්නේ සත්තුන්ට වගේ. නීතියේ තියෙන දේවල්ම කරනවා නෙමේ. හිතුන දේ කරලා ඒක ආගමේ තියෙන ආකාරය කියලා කියනවා. විදේශික මුස්ලිම්වරු පවා මුන්ව විවේචනය කරනවා. මේකට කාගෙවත් ආගමකට නිගා කිරීම වැරදියි. හෙලාදැකිය යුතු මේ සල්ලි කාර මොඩයන්ගේ අමන වැඩයි. කාට හරි කෙනෙකුට සැකයක් තියේනම් මම මේ කියන කාරනාව ගැන කරුනා කර අල් කුරානයේ සිංහල පිටපතක් අරගෙන කියවා බලන්න.// 


               ඔය ඉහලින් තියෙන්නේ මම අද කියවපු එක බ්ලොග් එකකට මමම දාපු කමෙන්‍ටුවක්.  මේ ගැන තවත් පැහැදිලිව කරුණු කිවයුතුයි කියලා හිතුනු නිසා පෙර සූදානමක් නැතුව උනත් කෙටි සටහනක් තියන්න හිතුනා. මේක කියවන සමහරෙකුට තරහා යන්නත් ඉඩ තියෙනවා "යකෝ මූට තියෙන කැක්කුම මොකක්ද මේ අනුන්ගේ ආගමක් ගැන" කියලා. කැක්කුම ආගම ගැන නෙවේ, වැරදි අවබෝධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ නිසා විය හැකි අනාගත ව්‍යසනයන් ගැනයි. ඒකත් බලපාන්නේ කෙනෙකුට දෙන්නෙකුට නම් හැබෑවටම "අපට මොකෝ" තියරියෙන් සද්ද වහලා ඉන්න මම ඉතාම කැමතියි. මොකෝ ඔය ක්‍රමය අනුගමනය කරන එකම කෙනා මම නොවෙන නිසා. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ, මුලු රටටම බලපානවා ඉදිරියේදී මේ තත්වය . අන්න ඒ නිසයි මේ.........

             අපි හැමෝම වගේ දැන් දන්නවා රිසානාට මරණ දඬුවම ලැබුනා කියලා. හැබෑවටම කනගා‍ටුදායක පුවතක් ඒක. බෞද්ධාගමික අප පමණක් නොව අපේ රටේ මුස්ලිම්වරු වගේම මම දන්න ඉන්දියානු පිලිපීන මුස්ලිම් වරුත් මේ සිද්ධිය පිලිබඳ නොසතුටෙන් ඉන්නේ. මොකද මේ සිද්ධිය යුක්ති සහගත නැති නිසා. ඒ නිසා මා නැවතත් කියනවා ඒක වැරදියි කියලා.
එතකොට ඒ වරද කාගේද......?
ඉස්ලාම් ආගමේද.... නැත්නම් මේ මෝඩ උද්දච්ච සෞදිකාරයන්ගේද....?

            අපේ යාලුවනේ මේ කතාව තව එකම එක කතාවක් විතරයි. ඔහොම ප්‍රසිද්ද නොවුනට ඝාතනයට පත්වෙන නොයෙකුත් අසාධාරනයන්ට දූෂණයන්ට ලක්වෙන තවත් රිෂානාලා මෙහේ බොහෝමයි. මම මෙහේ හිටි ටික කාලයට මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන ලොකු අවබෝධයක් ලැබුවා. මට හිතුනා ඇයි මේ මිනිස්සු මෙහෙම සත්තු වගේ හැසිරෙන්නේ කියලා. මම හැම කෙනාගෙන්ම ඒ ගැන ප්‍රශ්න කලා. ඒත් පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ. සමහරු කිවුවේ ආගමේ තියෙන නීති තමයි ඔය කියලා. සමහරු කිවුවේ ඉස්ලාම් ධර්මයේ කොතැනක වත් ඔහොම දේවල් නෑ මේ තමයි සල්ලි තියෙන මොලේ නැති කමේ ප්‍රතිපල කියලා. ඔය කාරනාව නිසා මමත් මේ කුරානය කියවන්න හිතුවා. හැබෑවටම මුං කරන දේවල්  ඉස්ලාම් ආගමට පටහැනියි. ඉස්ලාම් ආගමේ කොහේවත් නැති මුන්ට හිතෙන දේවල් තමයි මේකලා කරන්නේ, කියන එක මම අවබෝධ කරගත්තේ එහෙමයි. මට කුරානයටවත් මුස්ලිම් වරුන්ටවත් සුදු හුනු ගාන්න උවමනාවක් නෑ. ඒත් අපි ඇත්ත හඳුනාගෙන අවබෝධයෙන් කතා කලයුතු බවයි මගේ හැඟීම.

             මෙහෙ ඉන්න ගොඩාක් සෞදියෝ කවදාවත් වැඩ කරන්නේ නෑ. ඒත් උන් මේ රෝහලේ සේවකයෝ. ආගමේ නීතියට අනුව කිසිවෙකුට තමන් කිසි සේවයක් නොකර ආදායම් හෝ වැ‍ටුප් ලැබීම තහනම්. ඒවගේම අනුන්ගේ දෙයක් සොරකම් කිරීම අයිති කරුවෙකුට නොදන්වා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒත් මෙහෙ ලොකුම තැනේ ඉඳන් පහලට, ඒකියන්නේ හොස්පිට්ල් ඩිරෙක්ටර්ගේ ඉඳන් සුළු සේවකයා දක්වාම මේකලාට පුළුවන් තරමට මුං හොරකම් කරනවා. මේ තැන් කිසි එකක විදේශිකයෝ නෑ, සේරම සෞදි කාරයෝ. විදේශිකයෙක් අතින් සුළු වරදක් අතපසු වීමක් උනොත් ඒක මහා ලොකුවට උලුප්පලා දක්වනවා නැත්නම් ඒක හොරකමක් විදිහට නම් කරලා දැඩි දඬුවම් දෙනවා. ඒ සුලු දේ උනත් "හරාම්" ලු. දෙවියෝ එහෙමලු කියලා තියෙන්නේ. එහෙම කියකියා මේකලා මහා පරිමානයෙන් හොරකම් කරනවා. මොකද මේ සෞදියන්ව ප්‍රශ්න කරන්න අයිතියක් අවසරයක් නෑ මෙහෙට එන විදේශිකයන්ට. එහෙම ගිවිසුමකට අපි මෙහෙට එන්න කලින්ම අත්සන් කරලනේ මෙහෙට ඇවිත් තියෙන්නේ. මෙහෙට එන විදේශික මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම තමයි. අන්න ඒ නිසා මගේ අදහසනම් වරද මුස්ලිම් ආගමේ නෙමෙයි. ඒකට මුවාවෙලා වැරදි කරන අයගෙයි.

           අනික සෞදියේ උන් කරන වැඩවලට සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇඟිල්ල දික් කිරීමත් බරපතල වරදක් කියලයි මගේ හැඟීම. මොකද මම මීට පෙර දවසක අපේ සමහර චීවරධාරීන් අතින් කෙරෙන වැරදි ගැන ලියපු වෙලාවේ සමහරු කිවේ සමහරෙක් අතින් සිදුවෙන මේ වැනි වැරදි ගැන ප්‍රසිද්දියේ කතා නොකලයුතු බවයි. ඒවගේ එය උඩ බලා කෙල ගසා ගැනීමක් ලෙසත් හඳුන්වා තිබුනා. මා එහි ඇතැමෙක් යනුවෙන් පැහැදිලිව දක්වා තිබියදීත් මේ සමස්තය නොවන බව සමහරු පුනපුනා පැවසීමට යෙදුනා. ඒනිසා මම ඔබලාට නැවතත් කියන්න කැමතියි බොහොම යහපත් මුස්ලිම් වරුත් සිටිනා බව. ඕනෑම වරදක් කරලා ඒකට හේතු දැක්වීම හෝ කෙනෙකුට අභියෝගයට ලක් කල නොහැකි කෙනෙක් හෝ දෙයක් වග උත්තරකරු කිරීම එහෙම නැත්නම් මම හෝ අපි කලේ අසවල් තැන සඳහන් දේ අසවල් නීතිය ක්‍රියාත්මක කිරීම යනුවෙන් සඳහන් කල පලියට ඒවා පිළිගැනීම එලෙස පිළිගෙන දෙස් දෙවොල් තැබීම කෙතරම් දුරට ප්‍රඥා ගෝචරදැයි සිතා බැලීම වටී. මන්ද අපටත් හිස් හා සිත් ඇති නිසාවෙනි.

              හිත මිතුරනි මා නැවතත් මෙසේ කියමි. වර්තමානයේ මේ සිදුවන්නාවූ දේවල් යම්කිසි ආගමකට අනුව සිදුවෙනවායැයි හැඳින්වීමට පෙර ඒ පිළිබඳව යම් සොයා බැලීමක් සිදු කරන්නේනම් මැනවැයි මට සිතේ. (හැබෑවටම ඒ ආගමේ එවන්දේ සඳහන්ද ඒ කොතැනද යනවග.) කුරානය අතින්වත් නාල්ලා එහි සඳහන් දේ හෝ ආගමේ නිවැරදි අරමුනු හෝ හරි හැටි නොදැන සමස්ත මුස්ලිම් ප්‍රජාවටම පරිභව කිරීම වැරදියැයි මම කියනවා. ඒවගේම ඒකෙන් අනාගතයේ බරපතල ගැටළුත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ විදිහට වැරදි වැඩ කරලා ඒක අපේ ආගමේ නියමය යැයි කියන මුස්ලිම් අයත් ඉන්නවා. අපේ රට තුල පවා. ඇතැම් අවස්ථාවලදී මමත් එහෙම සිදුවීම් වලට මුහුන දී තියෙනවා. ඔබ හරි ආකාරයට දැනුවත් නම් ඔබට හැකියි ඔවුනට කියාදෙන්න. එය ඔවුනට තේරෙන කුමන ආකාරයකින් හෝ. මම එහි කිසිඳු වරදක් දකින්නේ නෑ. මම වුනත් එලෙස කරන නිසා, වඩා සාර්ථක තේරෙන හෝ තේරුම් ගන්නා ආකාරයට කියාදීමයි.

           නැවතත් මම මතක් කරනවා මේ ලිපිය කිසිදු පෙර සූදානමකින් තොරවයි මම ලිවුවේ. ඒනිසා මට තොරතුරු වැඩි ප්‍රමාණයක් දැක්වීමේ හැකියාවක් නෑ. ඒත් මට පැහැදිලිවම කිවහැකි කාරණය නම් මෙවන් අත්තනෝමතික ක්‍රියා වලට වැරදි මේ සල්ලිකාර මෝඩ උද්දච්ච මිනිස් වෙසින් සිටිනා තිරිසනුන් මිස ඉස්ලාම් ආගම වත් සමස්ත මුස්ලිම් ජනයාවත් නොවන බවය. ඒවගේම ලිපියේ කරුනු ගැන වැඩි තොරතුරක් ඇවැසි කෙනෙක් හෝ විරුද්ධමත ප්‍රකාශ කිරීමක් හෝ කරන කෙනෙක් වෙතොත් කරුනා කර ඇනෝවෙක් ලෙස නොපැමින තම ප්‍රොපයිල් එකෙන්ම පැමින අදහස් දැක්වීමට කාරුනික වෙනමෙන් ඉල්ලා සිටීමටත් කැමතියි. සරා කැමති කවුද කාගෙද නොබලා හරි වැරදි විතරක් විතරක් දැකීමට නිසයි මේ ලිවුවේ. අනික ඇත්ත නම් කාට කොතැන උනාම මොකද.

           දිනකට පස් වරක් ආගම කියවන නිසා මෙහි ස්වදේශිකයන් සැබෑ මුස්ලිම් වරු යැයි යමෙක් සිතයි නම් එය මහා මුලාවක් බව කිව මනාය. මෙහි සිටින බොහෝ දෙනෙකු සිතා සිටින්නේ  තමන් වරප්‍රසාද ලද්දන් බවකි. එසේ හෙයින් ඇතැම් විට ඔවුන් ඔවුන්ගේ දෙවියන්ද අභිබවා යාමට උත්සාහ දරයි. බොහෝ විට මොවුන් කෙතරම් සාක්ෂි සාධක සහිත නිවැරදි දෙයක් උවද  නොපිලිගෙන තමන් දරන වැරදි මතයම ඉස්මතු කරයි. එපමණක්ම නොව, අන්‍යයන්ද එම මතයම පිලිගත යුතු බවට බලපෑම් කරයි. මේ වනාහී මුදල් බලයේ උන්මාදයම මිස අනෙකක් නොවේමය. සත්‍යය නම් එයමය.

උදා: පසුගිය දිනෙක අපේ අංශ ප්‍රධානියාගේ වාහනය කමකට නැති සෞදියෙක් හැප්පුවා . සම්පූර්ණ වරද අර සෞදියගේ අතේ. වහනේට සිදුවූ අනතුර නොසලකා හැරියත් වාහනේ ගමන්ගත් අයගේ ජීවිත වලට අනතුරක් නොවුනේ හාස්කමකට වගේ. ඒතරම් විශාලයි ඒ අනතුර. නමුත් වරද කරුවන් විදිහට අප ආයතනය නම් කලේ අගතියට පත් වුනු අපේ පාර්ශවයමයි. ඒ මදිවට විශාල මුදලකුත් ආයතනට ගෙවන්න නියම වුනා. ඔවුන් තුල වූ එකම වරද ස්වදේශිකයන් නොවීමම පමණයි. මන්ද ඔවුන් සියළු දෙනාමත් ඉස්ලාම් භක්තිකයන්. මම ඔවුන්ගෙන් විමසා සිටියා වැරදි කරුවන් නිදහස් කර හිංසාවට පත් වූවන්ට දඬුවම් කරන එකද උඹලාගේ ආගමේ ක්‍රමය( නීතිය ) කියලා ඔවුන් ගේ පිළිතුර වුනේ උඹ මෙහෙට ආපු දවසේ ඉඳන් මේ වෙනකම් කවදා හරි දැක්කද මෙහෙ හරි දෙයක් වෙනවා කියලායි.


එඤ්ඤං.....!!!!! 


 ධනවත් මෝඩයා භයානකය......!!

Thursday, December 27, 2012

ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...?


         

          අද දෙසැම්බර් 27 බ්‍රහස්පතින්දා. මේ අවුරුද්දට ලැබෙන අන්තිම නිවාඩු දවස් දෙක. වෙනදා පුරුද්දට උදේම ඇහැරුනා උනත් ඇ‍ඳෙන් බැස්සේ නෑ මම. Skype කතා කොරන්නත් බෑ අද උදෙන්ම, නංගි බබයි පුංචි උදම්සයි පොඩි වන්දනා ගමනක් ගෙහුං පවුලේ උදවිය එක්ක. ආයෙත් බෙඩ්ෂීට් එක ඔළුවේ ඉඳන් පොරෝ ගත්තු මම දියණියගේ කිරි සිනායි, බිරිඳගේ පෙම් සිනාවලයි මායිම් සොයන්න අසාර්ථක උත්සාහයක් ගත්තා.
හැබෑවටම මම ලකී..........!
මට එහෙම හිතුනා.
ඇයි ඒ..........?
ඔයාලා අතරින් කවුරු හරි එහෙම ඇහුවොත් මම මෙහෙම උත්තර දෙනවා.
            පුංචි උදම්සා මේ වෙනකොට එයාගේ තරමටත් වඩා හැකියාවන් පෙන්වන දක්ෂ බුද්ධිමත් දරුවෙක්. අම්මගේ රුවගුණ වගේම තාත්තගේ හැකියාවනුත් එයාට නො අඩුව පිහිටලා තියෙනවා කියලා තමයි එයා ගැන මා එක්ක කතා කරන අය කියන්නේ. ඒවගේම මගේ දයාබර බිරිඳ නංගි බබා. හැබෑවටම ඇය මා ලද තිළිණයක්. හැමදාම අළුත්වෙන ඒ ආදරේ ඇදයක් පළුද්දක් හොයන්න තැනක් මට නැති උනහමත් මම සුළු අතපසු වීමක් හෝ හොයාගෙන රවනවා ගොරවනවා. ඒ තව තවත් ඒ ආදරේටම කො‍ටුවෙන්න තියෙන ආත්මාර්ථකාමී ආසාවට. එහෙම වෙලාවට ප්‍රතිචාර විදිහට මට ලැබෙන්නෙත් ආදරය පිරුණු වදන්ම පමණයි. සැබැවින්ම ඇයවන් බිරින්ඳෑවරු වෙනුවෙන් සැමියන් අතින් නිබ්බුත පද ලියවිය යුතුයි. ඒත් ඉතින් සරාට කාව්‍යමය හැකියාවක් නෑ නොවැ.

නැණවත් සැමියෙකුට එවන් බිරිඳක් ලැබීම ඔ‍ටුන්නක් ලැබුනාට සමානයැයි මට සිතේ. මොකෝ මේ නැණවත් කියලා විශේෂණයක්...............?

          ඕෂෝගේ කතාවකින් පුංචි කතාවක් තියෙනවා, ඔයාලට උත්තරේ ගන්න පුළුවන් වේවි. එක්තරා ගල් වඩුවෙකුගෙන් ඒ අසලින් ගමන් කරන මගියෙක් අහනවා හැබෑවටම කොහොමද ඔබ මේ තරම් රළු ගල් කුලකින් මනස් කාන්ත ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ කියලා. එවිට ගල්වඩුවගේ උත්තරේ මෙහෙමයි. හැබෑවටම මිත්‍රයා මම කිසිවක් අමුතුවෙන් නිර්මාණය කරන්නේ නෑ. ඔබ ඔය කියන විදිහේ ප්‍රතිමාවක් මේ ගල් කුල ඇතුලෙත් තියෙනවා මම කරන්නේ ගල කඩලා ඒ ප්‍රතිමාව මතු කරගන්න එක විතරයි කියලා.

සැ: යු;
මේ කතාව මම කිවුවේ විවාහ ජීවිතය යනු දුකක්ය අපායක්ය හිරයක්ය කියලා හිතාගෙන ඉන්න අයව ඉලක්ක කරගෙන මිස අපේ විවාහක බ්ලොග් සහෘදයන්ට නොවන බව කිව මනාය. ඔවුන් ඉතා ආදර්ශමත් පවුල්ජීවිත ගත කරනා බව මා විශ්වාස කරනා සත්‍යයකි.

හික් හික් හික්..........!!!
මොනා ලියලද මන්දා........... ඔහොම තමයි නංගි බබා ලඟ නැත්නම් සරාට විකාරේ........... ඕනෑ කෙංගෙඩියක් වෙන්ට කියලා අපි සිංදුවක් අහමු ආයිබොවං......... !
ඕං ඒ අතරේ මම ගෙහුං මූණ කට ඩිංගිත්තක් හෝදගෙන එඤ්ඤං....... හික් හික් හික්.....


දවස් කීපයක ඉඳන්ම සරා ටිකක් අසනීපෙන්. ඒකියන්නේ ඉතින් උණ. ඉතින් මේවත් ඔය උණ විකාරෙන් කියවන ගොඩට දානවද නැද්ද කියලා ඔයාලා තීරණය කොරාට මගේ අකමැත්තක් නෑ. හැබැයි ඉතින් පුපුරන්න එන ඔලුව අමතක කොරලා මේවා ලිවුවේ නම් ඔයාලා වෙනුවෙන්ම තමයි. ගීතය ගායනා ක‍රැව්වේ අබේවර්ධන බාලසූරිය මහතා සමඟ නිරංජලා සරෝජනී මහත්මිය.


ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම කියලා කසාද බඳින සමහරු බැඳලා මාස දෙක යනකොට කියනවා "අපොයි මමත් කරගහගත්ත උරචක්කර මාලයක්.,මීට හොඳයි බෙල්ලේ ගලක් බැඳගෙන ගඟක මුහුදක පැන්නනම් කියලා. එහෙම ඉළංදාරි පාරතොටේ යනකොටත් මුමුනන්නේ මෙහෙම ගීත.

           ඇඬෙනවා තනි ඇහැට කොල්ලෝ ඔහොම කියාගෙන ගෙහුං බාර් එකකින් කණ පැලෙන්න සප්පායම් වෙද්දී අපි ටිකක් කෙල්ලෝ දිහාටත් හැරෙමු නේද..?
එල...
මුල එවුවෝ කොල්ලෝ කියලා හැඳිනුවට මෙයාලට අපි කියන්න ඕන ගැහැණු ළමයි එහෙම නැත්නම් කාන්තාවෝ කියලා. එහෙම නැති උනොත් හෙට ලිපියක් වැටෙන්නත් බැරි නෑ කාන්තාවන්ට ගරු කරන්නේ නෑ කියලා. කියන්ඩ බෑනේ ආයිබෝං අද රටේ ලෝකේ තත්වේ. කෝකටත් කියලා ඇල්වතුරත් නිවලා බොන එක තමයි ඇඟට හොඳ. නැද්ද හාං........?? අද කාන්තාවන්ගේ පාර්ශවය නියෝජනය කොරන්නේ දීපිකා ප්‍රියදර්ශණී මහත්මිය.

ඉතින් ඔයාලට ඇහෙන්න ඇතිනේ එයා අහලා තියෙන පුරස්නේ. එක වහලයට එකතු වූදා එක කුඩේ ඇයි මදි උනේ....?
අපේ යාළුවනේ මගේ මේ මෝඩ මොලේට හිතෙන්නෙම මේ දෙකටම හේතුව අන්‍යෝන්‍ය (හරිද මන්දා ලිව්වා. වැරදිනම් ඉතින් බනින්නැතුව කියලා දුන්නම ඇති හොඳේ.) අනවබෝධය. අපරාදේ මට බර වචන දාන්න යන්නේ නැතුව එකිනෙකා හරියට තේරුම් නොගැනීම කියලා ලියන්නයි තිබ්බේ. එහෙම කොලාම සායම හේදෙන්නෙත් නෑ නොවැ.
හිකිස්...!!
මගුලක් කතා කරනවා මෙයා අවබෝධ කරගන්න කියලා කාලා බලන්නයෑ....
අනික මෙයා ඒකාලේ හරියට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේනේ හිටියේ මම ‍රැව‍ටුනා........
කියලා තව ඕන්නම් හීං බබා වගේ 'අනේ අපෙ අප්පොච්චා හිටියනම්' කියන්නත් බැරි කොමක් නෑ ඕං..
හ්ම්හ්..... බොලාගේ අප්පොච්චා හිටියනම් කොරයි.
බොලං ඔය ඉන්නේ එදා එයා නොලබුනොත් මං දිවිනහගන්නවා කියලා පොලොවේ පස් කාපු ඒ සපුමල් කුමාරයා/ කුමාරිම තමයි. පුරස්නේ උනේ දෙන්න එකතුවෙලා සාමෙන් සාකච්චාවෙන් යුගදිවිය ගෙවනවා වෙනුවට ඔහේ උපන්නාට මේ ලොව වැනෙනවා විනා තියරියෙන් පවුල් කාපු එක.
හැමදාම කටට දිවට එකම රහ දැනෙන කොට අතිරස උනත් තිත්ත වෙනවා තමයි ආයිබොවං. හැමදාම නැවුම්ව ඉන්න නොහිතපු ඔහේලා අතේමයි වරද කියපු එක දැන්වත් හරිය කියලා පිලිගන්න කැමතිය...?

           මෙතනට දැන් හරියන ගීතය මගේ ගීත ගොන්නේ නෑ. පෙරල පෙරලා හෙවුවා හම්බ වුනේ නෑ. ගෙදර තිබුනට ගෙන්න ගන්න කෙරේමෙකුත් තිබුනේ නෑ. ජාලෙන් ලැබුනු එක කාවෝ කාලා. අන්තිම ටික නෑ. මක්කැයි ආයිබෝං කරන්නේ, ඕක නොවැ ලෝක සොබාවේ. ඔන්න ඒ කාවෝ කෑව ගීතයත් මම පෝස්‍ටුවට දැම්මා. මී මැස්ස තමයි මේක මට දුන්නේ. ගායනය මොහිදීන් බෙග් කියන අසහාය ගායකයානන්.
හැබැයි ඉතින් සරා මේවා ලියන එක බන්ඩි කියතකින් කේක් කපනවා වගේ වැඩක්. මොකද ඉතින් සරා ලඟ සීනිබෝල වගේ රස වචන නෑ නොවැ. ඒ නිසා වැඩේ ලස්සන නෑ. ඒ වුනාට රස ගුණ අඩු නොවෙන්න මම වැඩේ කොලා කියලා හිතනවා. 

එහෙනම් ගෙහුං එඤ්ඤං.......!!

අද මාතෘකාවට ගොඩාක් පරණ සිංදු යොදාගන්න බැරි වුනේ මගේ අසනීප තත්වය නිසයි. රත්වෙලා වැඩි කමටද මන්දා ඔලුව හරියට වැඩ කොලේ නෑ ආයිබොවං. ඒ නිසා ගැලපෙන සිංදු ගලාගෙන ආවේ නෑ.

අපොයි වස වැරද්දක් වෙලා මගේ අතින්. අර මිදි ඇඹුලයි කියලා කියන සිංදුව කියන්නේ සෞම්‍ය කුමාර යාපාබන්ඩාර මහත්මයා. මතක බැරිවීම ගැන කනගා‍ටුව.

Saturday, November 24, 2012

දොර ඇරපං අම්මේ මට සමාවෙලා..........

 




             පිටපතක් ලිවුවට මේ කාරනාව නොලිය හිටියේ මේක හරියට දෙබරෙට ගල් ගහනවා වගේ වැඩක් කියලා හිතුන නිසා. ඒඋනාට කොට්ටේයට කොල පිරිලා නිසා අස්කරන්න හදනකොට තමයි මේක දැක්කේ. වෙන දෙයක් වෙද්දෙන් කියලා මම ලියලා දානවා. වැරදියට තේරුම් අරගෙන ඔන්න වාදෙට එනවා නෙමෙයි මා එක්ක. ඒ වැඩේට හොඳ හිරුවා ඒනිසා වාද කරන්න ආස කෙනෙක් එයා දාන කොමෙන්‍ටුවකින් කොනක් මතුකරගන්න එකයි තියෙන්නේ. හිරුත් හරී....... ආසයි ඔහොම ඒවට. (ප්‍රචාරක දැන්වීමකි.) මේකයි කාරනාව. අපි මුලින් මේ සිංදුව ටිකක් අහමුකෝ. ඔතන තමයි කතා ප්‍රවේශය තියෙන්නේ.  

විදුලිය එලිය දැක ගිනිහුල දියේ හෙලා 
මග වැරදිලා දිවුවේ මං මුලා වෙලා
පැනගිය මුවන් ලඟ හෙළුනයි නෙලූ පළා
දොර ඇරපං අම්මේ මට සමාවෙලා...

             ගායන ශිල්පිනී ඉන්ද්‍රානී බෝගොඩ මහත්මිය ගායනා කරපු ලයාන්විත ගීතයක් මේ. සාවධානව ඇහුම්කන් දුන්නොත් තේරේවි ජීවිතේ වරද්දගත්ත දුවෙක් තමන්ගේ අම්මට තමන්ට වැරදුන තැන් ගැන කියන කතාවක් තමයි ගීතයට පාදක වෙලා තියෙන්නේ කියලා. හැබෑටම ඇයි මෙහෙම වෙන්නේ...? කෙල්ලන්ගේ මෝඩකමට...! කෙනෙක් කියාවි... ඇත්තටම කෙල්ලෝ මෝඩද..? මට ඒගොල්ලන්ගෙන් එහෙම අහන්න හිතෙනවා. එයාලගේ උත්තරේ මොකක් උනත් මේං මට හිතෙන හැටි. කවුරු හරි කෙල්ලෝ මෝඩයි කියනවා නම් ඒක බොරුවක්. තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන පිරිමින්ගේ මනස් විකාරයක්. ඒකියන්නේ සරා පිරිමි ගැන හිතන්නේ අවතක්සේරුවෙන්. එහෙමත් නෑ සරා ඇත්ත ඇති හැටියෙන් දකින්න උත්සාහ කරන කෙනෙක්. සරාගේ සිතුවිල්ල ඉදිරිපත් කරන්න අවසරයි එහෙනම්.

           මගේ සිතුවිල්ලට අනුව ගෑණු ළමයි මෝඩ නෑ. හරිම බුද්ධිමත් ඒවගේම ආදරණීයයි. හැබැයි ඒ වගේම හරිම හැඟීම්බරයි. මේකම තමයි එයාලගේ තියෙන දුර්වලකමත්. තමන්ට ආදරේ කරන අයව එයාලා අසීමිතව විස්වාශ කරනවා. ඒනිසාම තමයි එයාලට වරදින්නේ. හැගීම් බර වෙනකොට බුද්ධිය යටපත් වෙනවා. හේතු වශයෙන් එයාලා මොන කරුනු ඉදිරිපත් කලත් ඒක තමයි ඇත්ත. ගම්වල ඉන්න වැඩිහිටියන් කතාවට කියන්නේ පෝය හඳවල් හත අටක් ගෙවෙන කොට ගෑණු ළමයි ලොකුමහත් වෙනවයි කියලා. ඒ වගේම හරි ඉක්මනින් පියවරෙන් පියවර ජීවිතේ ඉදිරියට ගමන් කරන ඔවුන් ජීවිතේ ලස්සනම අවධියේ ගන්න තීරණ නම් සීයට පනහක්ම වැරදියි.එයාලගේ ජීවිතේට පිටස්තරයෙක් එබිකම් කරන්න ගත්තම එයාලා ලෝකෙම අමතක කරනවා. මෙතෙක් තමන් ලඟ උන්නු හැම කෙනෙක්වම අමතක වෙනවා හෝ අමතක කරනවා. හරි දේ කියලා දෙන අයවත් වැරදියටයි එයාලා දකින්නේ. ඉතින් අවබෝධයෙන් ලොකේ දකින කෙනෙකුටවත් එයාලව ගලවා ගන්න තියෙන අවස්ථාවත් ඇහිරෙනවා. අවසාන ප්‍රතිපලය වෙන්නේ ජීවිතේට කඳුළු විතරක් ඉතිරි වෙන එක. මේකට මෝඩකම කියන වචනේ ගැලපෙන්නේ නෑ.

            ටිකක් විමසිල්ලෙන් අවට බලන්න. ඉගෙනීමෙදි, ‍රැකියා කරන විට සමාජයේ ජීවත් වෙනකොට එයාලා පිරිමි හා සම සමවම වගේ ඉන්නවා ඔබට දකින්න පුළුවන්. ඒවගේම එයාලගේ දරා ගැනීමේ ශක්තිය පිරිමින්ටත් වඩා ඉහලයි. එයාලට පිරිමි අභිබවා යන්න නොහැකි වෙලා තියෙන්නේ ශරීර ශක්තියෙනුයි, උක්ත මාතෘකාවෙදී එයාලගේ දුර්වල තීරණයි නිසා. මට හිතෙන්නේ ඒගැන එතනින් එහාට කිවයුතු නෑ. මොකද ඔයාලා මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා කියන්න තරම් මට දැනුමක් නෑනේ. මම ඒතරම් ලොකේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙකුත් නෙමේ. ඔය ටික මම කිවුවේ ගීතය අහද්දී මට එහෙම හිතුන නිසා.

             ඇත්තටම අපේ සංස්කෘතියට අනුව ගෑණු ළමයි හරියට වීදුරු භාජන වගෙයි. ඒත් දැන් මේ මත යම්තාක් දුරට වෙනස් වෙන්න කාලය හරි. ඒත් ඒවා වෙනස් වෙලාවත් වෙනස් කරන්නවත් කාටවත් උවමනාවක් නෑ.
ඇයි ඒ...?
හැබෑම කුහක කමට....!
ටිකක් සැර වැඩි චෝදනාවක් වගෙයි නේද.....?
 ඔව්.....! ඒත් කාටද මේ චෝදනා කරලා තියෙන්නේ.......? ගැහැනුන්ට.......!
නෑ...!
පිරිමින්ට...!!
නෑ...!
පොදුවේ ඔයාලා අපි අපේ වැඩිහිටියෝ හැමෝටම. මේකට අපි හැමෝම වග කියන්න ඕන. ආකල්ප වශයෙන් වෙනස් වියයුතු දේවල් ක්ෂනිකවවත් තනි තනි පුද්ගලයන් වශයෙන්වත් කල නොහැකියි. ඒකට කාලයක් වගේම හැමෝම එකාවන්ව හිතන්නත් අවශ්‍යයි. ඉපැරණි බ්‍රාහ්මණ මත කරපින්නාගත් ආර්යයන්ගේ පැමිනීමත් සමඟ ආරම්භ වූ අපේ නව සගිස්කුරුතෙද මොකක්ද ලබ්බ අපේ උන්ට ඕන ඕන වෙලාවලදි ඕන ඕන ආකාරයට වෙනස් කරපු වගට සාක්ෂි සාධක එමටයි. ඉදිරියටත් එහෙමම නොවෙනවයි කියලා අවිස්වාශයක් තියා ගන්න කිසිම හේතුවක් නෑ. ඒත් ය‍තෝක්ත මාතෘකාව ගැනනම් උන්දැල ගෙනාපු මත හා අදහස් තවම එහෙමම තියෙනවා. ඒ අපේ කුහක කම නෙමේද. එතකොට සරා දැන් කියන්නේ කෙල්ලන්ට ඕන නැ‍ටුමක් නටන්න ඉඩ හරින්න ඕන කියලද..? අපොයි නෑ ආයිබොවන්...! ඇයි කොල්ලන්ට විතරක් හැම නැ‍ටුමක්ම නටන්න අවසර දීලා ඇහැ කන පියන් ඉන්නේ කියලයි මම අහන්නේ. ජාතික ආර්ථිකේට සීයට පණහකට ආසන්න දායකත්වයක් දෙන්න එයාලට පුළුවන්නම්. පවුල් පිටින් ජීවත් කරවන්න එයාලට පුළුවන්නම් කිසිම ලැජ්ජාවක් නැතුව ගෑනි හම්බකරන් එනදේම කාලා උන්දැටම තඩිබාන මිනිස්සු ඉන්න රටේ ඇයි මේ කෙල්ලන්ට විතරක් අමුතු නීති රීති. ඇයි එයාලා වරක් පාවිචියෙන් ඉවතට කියලා ලේබලේකින් එන්නේ. විනාඩි ගනනක සමීක්ෂණ ප්‍රතිපලයක් මෙන්න.

1   මේකනේ සරා වැඩේ කොල්ලෙක් එලියට ගියොත් එන්නේ යමක් පිට කරලා. ඒත් කෙල්ලෙක් එලියට ගියානම් එන්නේ යමක් ඇතුලට අරගෙන, අනික බං කොල්ලෝ මොනා කරත් පාරවල් හිටින්නේ නෑනේ.

0  හරි ඒ හින්දා කෙල්ලන්ට ඕවා කැප නෑ.. උඹ ඔය නොකියා කියන්නේ කපුවා කෝවිලේ කැත කොලාට කමක් නෑ කියන එකනේ. අනේ උඹේ%@$@$%&%$$@#$#...! 

2   මචන් කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ජාතියක්, උන් දැක්ක දැක්ක පඳුරට කකුල උස්සනවා. ඒවා ඉතින් කෙල්ලෝ දැන ගන්න ඕන.

0   එතකොට ඇයි බල්ලෝ පඳුරට විතරක් ඇඟිල්ල දික් කරන්නේ තමන් බල්ලෝ වගත් දැන දැනම.

3  මචන් ගෑනුන්ට ඕනවට වඩා නිදහස දුන්නම උන් කොහෙන් නතරවෙයිද කියන්න බෑ. දැන් බලපන් තත්වය මෙහෙම තියෙද්දිත් හෝටල් පීල්ඩ් එකට ඔළුව දාලා දවසකට ගෑනු කීදෙනෙක් ඕවට රිංගනවද කියලා. උඹ හිතන්නේ ඔය හැම එකෙකුටම අයිතිකාරයෝ නෑ කියලද.....?

0   උඹ හරි.. මට කියපන් දැන් ඔය ගෑනු ඔහොම එන්නේ තවත් ගෑනියෙක් එක්කද කියලා...!

3   ගෑනියෙක් තවත් ගෑනියෙක් එක්ක එන්නේ $#%% ගහන්නද බොල...?

0   එහෙනම් ඔය ගෑනු එක්කරන් එන පිරිමි හරි එහෙම නැත්නම් උනුත් යෙදෙන්නේ ආත්ම වඤ්චාවක නෙමේ කියන්න තොට තියෙන සාක්ෂි මොනවද...?

           හොඳයි ඒ මම දැක්වුවේ සීතලේ එලියේ ගතකරපු විනාඩි ගානක ප්‍රතිපලනේ. ඒනිසා ඒකත් මෙතනින් නතර කරනවා.      මම බ්ලොග් කියවද්දී අනන්තවත් දැකලා තියෙනවා කෙල්ලෝ මැසිවිලි නගනවා කොල්ලන්ට තියෙන නිදහස කෙල්ලෝ වෙච්ච අපට නෑ. කෙල්ලෝ වෙලා උපදින එකත් පවක් අරකද මේකද කියලා. මේකෙන් එයාලා අදහස් කරන්නේ වල්බූරු නිදහසක් නම් නෙමේ කියලා මට තේරෙනවා. ඒත් වල්බූරු නිදහසක් භුක්ති විඳින කොල්ලෝ නැතුව නෙමේනේ. උදාහරණයක් හැටියට මාවම ගත්තම ගෙදරින් පිටවුන දා ඉඳන්ම මාව පාලනය කරන්න කවුරුවත්ම උන්නේ නෑ. මවිසින් මම පාලනය වුනු තැනක් හැරෙන්න. ඒක ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමට සාපේක්ෂ නිසා අපි එතන ඉඳන්ම කතා කරමු. ඔය විදිහට දන්න සෙල්ලම් දහ අටම දාලා වඳුරන්ගෙනුත් බණ අහපු අහපු තමන්ගේ පුතාට කෙල්ලෙක් ගේන කොල්ලගේ අම්මා කෙල්ලගේ බලාපොරොත්තුවෙන විශේෂම දේ මොකක්ද කියලා කියමුකෝ බලන්න්න කවුරුහරි. අර පැණි හඳට පහුවදා වැඩිහිටි ගෑනු අම්මන්ඩිලා රොත්තම ඇවිල්ලා ඇඳට පැණි නැත්නම් හඳ එලියවත් වැටිලද බලලා එහෙම නොවුනොත් දුම්මල වරම අතට ගන්නේ කවුද...? ඥාතීත්වය නෙමේ මට ඕන ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක. අද ඔය සමාන අයිතියක් නිදහසක් ඉල්ලන අයත් අනාගතේ ඔය වැඩේම කරනවා තමන්ගේ අතීතය අමතක කරලා. කවුරු හරි මට කියනවද තමන්ගේ ලේලිගේ අහවල් එක මාක් වෙලා තිබුනේ නෑ කියලා සරමත් කරට අරන් කෑගහපු මාමන්ඩියෙක් දැකලා තියෙනවද කියලා. මම නම් දැකලා නෑ හැබැයි නැන්දම්මලානම්........................ මොනවට කියනවද ඒවා. 

             ඒවගේම හංදියක් හංදියක් ගානේ පැණි හලලා අමාරුවෙන් යාළු කරගත්ත කෙල්ලව අවුරුදු ගානක් ආශ්‍රය කරලා කසාද බැඳලා පහුවදාට ගහලා පන්නනවා මේකිගේ අරක තිබුනේ නෑ මම අවුරුදු ගානක් ආශ්‍රයකලා අතවත් අතවත් තිබ්බේ නෑ...අරකද මේකද කියලා අපහාසත් කරලා. කරපු වැඩේ වැරදියි කියලා මම කියන්නේ නෑ යෝජිත විවාහයක්වත් උනානම්. අඩුගානේ හොයපු එවුන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැතෑ.ඒත් මේ තමන් මෙච්චරකල් ආදරේ කරපු කෙල්ල නේද, හැබෑවටම ආදරේ කොහේද කියලා තිබුනේ කියලා හිතෙනවා උන්ගේ හැසිරීම් දැක්කම. ඉතින් මට අහන්න හිතෙනවා අත තියලම බලන්න අවුරුදු ගානක් බලාඉන්නේ නැතිව යාලුවෙන්න කලින් ඇඟිලි පරීක්ෂණයවත් කොලා නම් නරකද කියලා. එතකොට පාරක් පාරක් ගානේ පැණි හැලීමේ ආදිනව ගැන හරි වැටහීමක් එන්නේ නැතෑ අතක් පයක් කඩාගෙන ඉස්පිරිතාලේ ඉන්නකොට.

         කොහොම අපි කතා කලත් මේවා ගොනා පසුපස කරත්තේ වගේ හැමදාම ඇදි ඇදී ඒවි. වෙනසක් ඇතිවෙනවා නම් ඒ ආකල්ප වලින්ම විය යුතුයි. ඒත් ක්ෂනික ප්‍රතිපල නම් විහිළුවක්.

         සරාගේ අදහසනම් මෙහෙමයි.... ගැහැනු අනිවාර්යයෙන්ම පතිදම් රකින්න ඕනමයි... හැබැයි ඒ විවාහයෙන් පස්සේ. ඒක ගැහැනියට විතරක්ම අදාල නීතියක් නෙමේ පිරිමියාත් අනිවාර්යයෙන්ම එසේ කල යුතුයි. කොල්ලෝ කියනවානේ වාහනයක් තමන්ටම කියලා ගන්න කලින් හොඳට ඩ්‍රයිවින් පුරුදු වෙලා ඉන්න ඕන කියලා. එහෙමනම් වාහනත් හොඳ ධාවන තත්වයේ තියෙනවද කියලා ස්වයං පරීක්ෂණයකට ලක්වෙලා තියෙන එකේ තියෙන වරද මොකක්ද...?කලින් දුවලා තියේනම් ධාවනයට සුදුසුයි කියන්න ඒ සහතිකයම මදෑD.

          කෙල්ල කාලේ ඕන නැ‍ටුමක් නටාපල්ලා කියනවා නෙමේ. එයාලටත් නිදහසේ ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන. මනුෂ්‍යයා කියන්නේ එක සත්ව කොට්ඨාශයක් ගැහැනු පිරිමි කියලා ලිංග භේදයක් තිබුනට. ඒක මේ වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයා විසින් කරපු දෙයක්. එහෙමනම් එයාලව මනිණ මිම්මත් එකක්ම වෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. අපි යම් කෙනෙකුට අකමැතිනම් අපි එයාගෙන් ඈත් වෙලා හිටියම ඉවරයි, මොකද කවුරුවත් අපේ ඇඟේ බලෙන් එල්ලෙන්නේ නෑනේ. හැබැයි ඉතින් අපිම එල්ලගෙන අපිම ආඩපාලි කියන එක වැරදියි වගේ නේද ආයිබොවන්.....!


ගෙහුං එන්නද මං.....?

Thursday, November 15, 2012

සරා කියන්නේ බයිලද............?




                මම මේ කතාව ලියන්නේ අපේ සමහර අය ඉන්න මතයක් ගැන මගේ අදහස කියන්න. හැබැයි මම කාටවත් තමන්ගේ ස්තාවරේ වෙනස් කරන්න කියලා යෝජනා කරනවා එහෙම නෙමේ. එතැන ඉන්නේ මම නම් මම කරනදේ ගැන කියනවා විතරයි. පොලු මුගුරු ඇන්න සටනට එනවා නෙමෙයි ඕං.  

                 හැමදේම සම්පූර්ණ කරගෙන ජීවිතේ පටන් ගන්න හෝ ඇතැම් ඉලක්ක කරා යන්න හීන දකින ඇත්තෝ බොහෝමයි. එහෙම වෙනවා නම් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේවල් ඒ විදිහටම වෙන තැනකට නෙමෙයිනේ. දහසක් බලාපොරොත්තු තියාගෙන යමකට අපි සූදානමින් ඉද්දී නොසිතූ කරදරයක් ප්‍රශ්නයක් ඔය මැදට වැටෙන වෙලාවල් නැතිද....? අර හැමදේම අමතක කරලා අළුත් ගැටළුවට විසඳුම් හොයලා නැත්ද අපි...? අන්න ඒ නිසයි මම කිවුවේ මුල ඉදන් අගටම ප්ලෑනකට අනුව වැඩකරන්න ජීවිතේ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් කරපු ටයිමර් සර්කිට් එකක් නෙමේ කියලා. එහෙම එකක් නම් ගැටළුවක් නෑ අදාල "පල්ස්" එක ලැබුනම ඒ ඒ ස්වීච් එක ඔන් වෙලා අදාල කර්තව්‍ය කෙරෙයි. ඒ උනාට යාළුවනේ මේ ජීවිතය කියන සර්කිට් එක ප්‍රෝග්‍රෑම් කරපු කෙනා ඒකේ ඩයිග්‍රෑම් එක අපට දීලා නෑ විතරක් නෙමේ එකම ජාතියේ පරිපත දෙකක් හෝ ඊට වැඩි ගනනක් හදලත් නෑ. ඒ නිසා අපට අපි ගැන හෝ අපේ සමීපතමයෙකුගේ ජීවිතය ගැන පූර්ව නිගමන වලට ඒමේ හැකියාවක් නෑ. ඒ නිසා අර විදිහට කරනවද, මෙහෙම කරනවද කිය කියා තැවි තැවී ඉන්නවට වඩා හොඳයි අවසාන ප්‍රතිපලය ගැන විතරක් හිතට අරන් කොතනින් හරි පටන් ගන්න එක. උදේට ඇඳේම ඉදන් "තේ ද කෝපි ද බොන්නේ" කියලා හිතෙන් වද වෙනවට වඩා නරකද නැගිටලා "කේතලේ" රත්කරන එක...?

                අපට ලැබිලා තියෙන කෙටි ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් එතකොටයි. නිකන් හිතලා බලන්න මෙහෙම තීරණ ගන්න බැරුව අපි දවසකට විනාඩි කීයක් අපතේ යවනවද කියලා. මට මේ වැඩේ කරන්න ඕන.මේ හේතුව නිසා කරන්න බැරිවයි ඉන්නේ. ඔහොම කියන අය ඉන්නවා නේද...? ඕන තරම් ඉන්නවා. මෙහෙම වෙනකොට කාලය අපතේ යනවා විතරයි,ජීවිතේ එක තැනමයි බණ නෙමේ යාළුවනේ සරා මේ තියරි ෆලෝ කරනවා. මෙන්න නිධාන කතා දෙකක්ම.....     

              තනිකඩ කාලේ කුමාර ජීවිතයක් ගත කරපු නිසාත්, විදේශ ගතවීම් වලිනුත් අතේ තිබුනු මුදල් වැයවුනා මිස ලබපු ආදායමක් නොමැති නිසාත් කසාද බඳින දවස් වෙනකොට මා ලඟ මහගොඩක් සල්ලි තිබුනේ නෑ. කසාද බැඳලා ටික කලක් යනකොට අගහිඟකම් දැනෙන්න ගත්තේ අත දිගහැරලා වියදම් කලාට ලබපු ආදායමක් නැතිනිසා. ටික දවසක් යනකොට මට රක්ෂාවක අවශ්‍යතාවය දැනුනා. මගේ සුදුසුකම් වලට ‍රැකියාවල් ලැබුනට මට ඒතැන් සුදුසු නූනේ මට කාගෙවත් යටතේ වැඩ කරලා පුරුද්දක් නැතිනිසා. ලැබුනු ‍රැකියාවලට ඉක්මනින්ම ආයුබෝවන් කියලා මම මගේ හිතවතෙකුගේ ෂොප් එකක තාක්ෂණ ශිල්පියෙකු ලෙසත් වැඩ කලා ටික කාලයක්. මේ ආර්ථික අවපාතයට එකම හේතුව උනේ මගේ අපාය සහය මිතුරන්ගෙන් දුරස්වීම. ඉස්සර වගේ උන් එක්ක රවුම් ගහන්න වල බහින්න මට බැරි වෙන නිසා රට වටෙන්ම මට ආව වැඩ නැතුව ගියා. අනික ඉතින් කෝල් එකක් ආව ගමන් දුවන්න පුළුවන් කමකුත් නෑනේ මට.

               කොහොම හරි ආර්ථිකේ පහලම අඩියක තියෙන දවස්වල තමයි නංගි බබාලගේ අම්මා නංගි බබා අතට සල්ලි ටිකක් දීලා තිබුනේ ගේ හදන්න පටන් ගන්න කියලා. මහ ගොඩක් නෙමේ රු: ලක්ෂයක් විතර. නංගි බබාගේ වගේම අනෙක් අයගෙත් අදහස උනේ යන්තම් කාමරයකුයි කුස්සියකුයි හදාගෙන පදිංචි වෙලා ඉතිරි ටික හදමු කියලයි ටික ටික. ඒත් ඒ තරමට එකක් හදන්න යන බාස් කුලියටවත් අර මුදල ප්‍රමාණවත් නෑ කියලා මම දැනන් උන්නා. ඒ උනාට මම නොකර සද්දෙන් උන්නා. ඔය අතරේ මම වාස්තු විද්‍යාව ගැන ලියවුනු පොත් වගයක් ගෙනත් කියෙවුවා. ඒ අතරේ බොහොම පැරණි වාස්තු විද්‍යාව ගැන ලියවුනු පොතකුත් මට ලැබුනා. මම හොඳින් පොත් ටික කියවලා ඒවායේ තියෙන පොදු කරුනු සැලකිල්ලට අරගෙන ඒ අනුව නිවාස සැලසුමක් ඇන්දා. ඒ සැලසුම A4 කොලයක ඇඳපු නිසාද මන්දා ගෙදර අය හිනා වුනත් එක්ක. (මටද නිවාස සැලසුමටද කියා හරි හැටි නොදනිමි.) මම ඉතින් ඒවා ගනන් ගන්නේ නැතුව ඊලඟ පියවර විදිහට ගෙපල කපන්න පටන් ගත්තා. උදවුවට හිටියේ නංගි බබා විතරයි. මම කාටවත් අඬගහන්න ගියෙත් නෑ. දැක්ක දු‍ටු කෙනෙක් ආවෙත් නෑ...හිකිස්...! අනික මම ඒ ගමට අළුත් මිනිහෙක් නේ. ඒකත් එක හේතුවක් වෙන්නැති. අනික මොන තරම් අසීරු වෙලාවක උනත් මම අනිත් අයගෙන් උදවු නොඉල්ලන කෙනෙක් කියලා මගේ ජන්ම පත්‍රය බලන ඇත්තොත් කියනවලුනේ. කොහොම කොහොම හරි දවස් ගානක් දඟලලා දඟලලා ගෙපල කපලා ඉවර කරා.

               ඊට පස්සේ පවුන්ඩේෂන් දාන්න සුදුසු නැකතක් එහෙම බලලා ඒ සඳහා සුදුසු කම් තියෙන පලපුරුදු වැඩිහිටියෙකුට ආරාධනා කලා. ඔහු ඇවිත් මගේ නිවාස සැලසුම බලලා ඇහුවේ කවුද පුතා මේක ඇන්දේ කියලා. මම කිවුවා මමයි මාමේ ඇන්දේනම්... ඇයි මොකුත් අඩු පාඩුවක් තියෙනවද කියලා. එතකොට එයා මට කිව්වේ කිසි අඩු පාඩුවක් නෑ දරුවෝ.. බොහොම ලස්සණට වර්ග කරලා තියෙනවා මේ පිලිවෙලටම මේ වැඩේ කරනවා නම් ඔයාට මේ ගේ මාස තුනක් යනකොට හදලා ඉවර කරන්න පුළුවන් කියලා. (සැ/යු: මෙහි සඳහන් කිසිවක තාර බර වැලි බර අඩංගු නොවන අතර නයි ද නැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි.) ඇත්තටම මට හරි සතුටක් දැනුනා එහෙම කිවුවම. ඒ උනාට සරා කියන්නේ හිතේ ඇතිවෙන හැඟීම් මුහුනෙන් පෙන්නන එකෙක් නෙමේනේ. ඊට පස්සේ නැකතට නූල් ගහලා දීලා ඒ මාමා යන්න ගියා. එදා නම් කට්ටිය ගොඩාක් හිටියා.පවුන්ඩේෂන් එක දාන්න මගේ යාළුවෙකුත් ඇවිත් උදවු කලා.

                 අතේ තිබුනු අනෙක් සල්ලි වලින් මම මේෂන් වැඩට ඕන ආයුදයි (හැඳි, ලඹ. මනිස් ලෑලි. මට්ටන් ලී, ලෙවල්) ගල් වැලි බ්ලොක් ගල් සිමෙන්ති වගේ ජාති ගත්තා. අමු ද්‍රව්‍ය ටික ලං කරගෙන මම තනියම ගේ හදන්න පටන් ගත්තා. ජීවිතේටම මෙහෙම වැඩක් කරලා නොතිබුනාට මට හොඳ ෂුවර් එකක් තිබුනා මට මේවැඩේ කරන්න පුළුවන් කියලා. ගලෙන් ගල බැඳිලා බිත්ති ඉහලට යනකොට හෙවනැල්ල වගේ මගේ ලඟ උන්නේ නංගි බබා. පොඩි එකී කියලා මම හැම වෙලාවෙම විහිළු කලාට එයා හැම අතින්ම පරිපූර්ණ ගැහැනියක්. අද මේ ජීවත්වෙන සාර්ථක සරාගේ පි‍ටුපස ඉන්නේ එයා. අග හිඟ කම් ඉස්සරහ දොරෙන් ගෙට එනකොට ආදරේ පිටිපස්සේ දොරෙන් පැනලා යනවා කියලා තිබුනු පැරනි මතය බොරුයි කියලා කියන්න එයා මට හොඳ සාක්ෂියක්. සාර්ථක පිරිමි උපදින්නේ මේ වගේ ගැහැනු නිසා කිවුවොත් ඒක බොරුවක් නෙමේ. නොදන්න දේවල් කරන්න ගියාම අත්වැරදීම් වෙනවා. නංගි බබාටත් මම කරන වැඩ ගැන අවබෝධයක් නොතිබුන නිසාඇතැම් වෙලාවට එයා අතින් පුංචි පුංචි අඩුපාඩු කම් වෙනකොට කෙන්ද කන්ද වගේ දකින මම කෝප ගත්තේ නැතුව නෙමේ. ඒත් ඒ හැම වෙලාවේම එයා නිවිලම හිටපු නිසා පත්තු වෙච්ච වේගෙන්ම නිමෙන්නත් මට පුළුවන් උනා.

                කොහොම හරි අර මාමගේ අනාවැකිය සාර්ථක කරමින් මාස 3ක් ගතවෙන්නත් මත්තෙන් ලස්සන ගේ පොඩ්ඩක් අපි දෙන්නා අතින් ඉදිවෙලා තිබුනා. නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයකින් සමන්විත වෙලා තිබුනා එය. මම විදේශ ගතවීමට පෙර අපට එහි පදිංචි වීමටත් හැකියාව ලැබුනා. සියළු දේවල් සම්පූර්ණ කිරීම වෙනුවට කොතනින් හරි පටන් ගත්ත එක තමයි මේ සාර්ථකත්වයට එකම හේතුව. මට ගේ හදන්න නම් ඕන ඒ වුනාට ඒකට ඕන කරන මුදල මා අතේ නෑ. ඇති වෙන්න සල්ලි නැතුව ගෙවල් හදන්න අතගහන්න බෑ. සල්ලි නැතුව වැඩේට අතගහලා නිකන් අනා ගන්න වෙන්නේ. ඔය වගේ පසුගාමී සිතිවිලි මගේ හිතේ තිබුනේ නෑ. මම තනියම ගෙපල කපන කොට මා දිහා ඔලොක්කුවට වගේ බලාගෙන ගියපු ගමේ මිනිස්සු, බිත්ති ටික ටික උස යනකොට මා දිහා බැළුවේ පුදුමෙන් වගේ. තනියම වහලේ ගහනකොට මාදිහා බලපු මිනිස්සුන්ගේ ඇස්වල තිබුනේ විශ්මයාර්තයක් වගේ දෙයක්.මේ කොලුවා TV බාස් කෙනෙක් කියලා නේද කිවුවේ, වගේ අදහසක් තමයි ඒ බැළුම් වල තිබුනේ. 

මේ අනිත් කතාව;
               මම රේඩියෝ කඩේ කරන කාලේ මගේ දවසේ ආදායම රු: 3000කට ටිකක් විතර වැඩි උනා. (සාමාන්‍ය) මේකෙන් 1500කටත් වඩා වැඩි කොටසක් මට වැය උනේ අරක්කු වලටයි සිගරට් වලටයි. මගේ යාළුවෝ, එයාලගේ බිරින්දෑවරු මට අනන්ත කියලා තියෙනවා ඔය වැඩේ නතර කරපං කියලා. ඒ වුනාට බීරි අලින්ට වීනා වයලා වැඩක් නෑ නොවැ. දවසක් මට මතකයි කොමියුනිකේෂන් එකක මගේ යාළුවෙක් මට කිවුවා මචන් උඹ ඔය හැමදාම අරක්කු වලට වියදම් කරන සල්ලි මට දීපන් ණයක් විදිහට මම අවුරුද්දෙන් මේ හයිලෙවල් පාරට බස් එකක් දානවා ඒ සල්ලි වලින් කියලා. වෛද්‍යවරු පවා මට කියලා තිබුනේ පුතා උඹේ බීම නවත්තන්න කාලේ හරි කියලා. ඒත් ඒවා ගඟට කැපූ ඉනි වගේ උනා. හැබැයි මට හිතුනු දවසේ ඒ කියන්නේ 2007-6-24 මම අරක්කුයි සිගර‍ටුයි දෙකම නැවැත්තුවා එකම දවසේ. මේ අවුරුදු 5ටම මට ඒවයේ අවශ්‍යතාවයක් දැනුනේ නෑ.

                ඒත් මේ අවට ඉන්න ගොඩාක් අය කියනවා මට ඇහිලා තියෙනවා, අපට නවත්තන්න ඕන මේවා නවත්තගන්න බැරිවයි ඉන්නේ කියලා. තවත් අය කියනවා මම අහවල් දවසේ ඉඳන් සිගරට් බොන්නේ නෑ අරක්කු බොන්නේ නෑ කියලා. ඒ වුනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක වුනු බවක් මම දැකලා නෑ. ඇතැම් අයට උදේට වැසිකිලි යන්නත් බැරිලු සිගරට් එකක් නැතිව. අහවල් එක චාර්ජ් වෙන්නේ නෑ කියනවනේ. මම කියනවා මෙයාලා කරන්නේ තනිකරම බොරුවක් කියලා. එයාලා එයාලව රවට්ටගෙන අපිවත් රවට්ටන්න උත්සාහ කරනවා. හිත පාලනය කරගන්න බෑ එහෙම නැත්නම් හිතට වහල්වෙලා. ගොඩාක් අය හේතු දක්වන්නේ තමන් යමක් නොකරන එක සදාරණීකරනය කරගන්න මිස එය හැබෑවටම කල නොහැකි නිසා නෙමෙයි. හිත ඇත්නම් පත කුඩාද කියලා පැරණි කියමනක් තියෙනවා හැමෝම අහලා ඇතිනේ. ඒවගේම ඒකේ තේරුමත් දන්නවා ඇති. උත්සාහය කෙරුවොත් කරන්න බැරි දෙයක් නෑ. ගැටළුව තියෙන්නේ හැබෑවටම අපට ඒ දේ කරන්න ඕන කම තියෙනවද කියන එකෙයි.

              මේ පෝස්‍ටුව ලියන එකත් ඔයාලා වගේම සාමාන්‍ය මිනිහෙක්ම මිස විශේෂ හැකියාවන් තියෙන අමුතු එකෙක් නෙමෙයි. හැබැයි හිතුවොත් ඕනම දෙයක් කරන හිත හයිය එකෙක්. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්, පැහැදිලිවම මම ඔයාලට කියන්නේ නෑ මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා. මට ඕන උනේ කල හැකියි කියලා කියන්න විතරයි. කරන්නේ කොහොමද කිය කිය වද නොවී කොතනින් හරි පටන් ගන්න කියලයි.

ප/ලි:  

මේ වතාවෙත් රට ඇවිත් සරා මහ කාලයක් උනේ නෑ.අවුරුදු දෙකයි. අවශ්‍යතාවය තියෙනවා නම් තම අරමුණු වලට යන්න ජීවිත කාලෙම නොර‍ටුන්ට උගස් කරන්න ඕන නෑ. මම මේ වෙනකොට මට තිබුන මුදල් ප්‍රශ්නත් විසඳගෙන ගෙයි ඉතුරු ටිකත් හදලා බිස්නස් එකත් නැවත අරඹන්න ඕන කරන මූලික පසුබිම හදාගෙන ඉවරයි. මේ හැම දෙකටම මූලික උනේ මගේ ශක්තිමත් අරමුණ මිස වෙන දෙයක් නෙමේ. සරාලගේ තාත්තලා සල්ලි කාරයෝ උනාට සරා දුප්පත් මිනිහා. හැබැයි ඒ සල්ලි වලින් විතරමයි. අරමුණු වලින් චිත්ත ශක්තියෙන් නම් සරා තාත්තට වඩා දහගුණයක් පොහොසත්. සල්ලි නම් මොනවද නේද යාළුවනේ....

එහෙනම් ආයිබොවන්... මම ගෙහුං එඤ්ඤං....!




Sunday, November 11, 2012

ගොක්කොල පෙනිලා නෙවෙයි... සීතලට හිතෙන ඒවා



                


                 මේ පුංචි පෝස්‍ටුව කියවන සමහරෙකුට නම් කුණුහරුපත් මතක්වේවි. කීදෙනෙක් සරාගේ දෙමව්පියෝ මතක් කරාවිද දන්නේ නෑ. ඒත් කමක් නෑ මම ලියනවා.

                 අපි යන්තම් බහ‍තෝරන කාලේ ඉදන්ම දෙමාපියන්ගෙන් යම් යම් දේ ඉල්ලලා තියෙනවා. ලොකු මහත්වෙලා ඉගෙන ගෙන ‍රැකියා කරනකොට අපට ඕන ඕන දේවල් අපිම ලබා ගන්නවා. ඒ ස්වෝත්සාහයෙන්. පයින් ගමන් කරන අය පොදු ප්‍රවාහන භාවිතා කරන අය ඒගැන සතුටින් නෙමේ ඉන්නේ. ඒ අය බලාපොරොත්තු වෙන්නේ බයික් එකක් ගන්න. හැබැයි ඔය බයික් තියෙන අය එයාලත් තමන්ට තියෙන බයික් එක ගැන සතු‍ටු නෑ, ඒගොල්ලන්ට ඕන රෝද හතරේ වාහනයක් ගන්න. එතකොට එහෙනම් රෝද හතරේ වාහන තියෙන අය සතුටින් ඇති නේද..? හික්..හික්..හික්..! ඔහේ නෑ ආයිබොවන්.. ඒකලාටත් ප්‍රශ්ණ.. ! සෑහීමක් නෑ තමන් සතු දේ ගැන. මේ වාහනේ අරවා නෑ,මේවා නෑ. අහවලාගේ වාහනේ මේ විදිහයි. අලුතෙන් ආව අහවල් එක නම් මරු..... බ්ලා.. බ්ලා බ්ලා..!රටේ නැති කයි කතන්දර.  

                   මිනිස්සුන්ට ජීවත් වෙන්න යම් යම්දේවල් ඕන. ඉඩකඩං, ගෙවල් දොරවල්, යාන වාහන, කෑමබීම, ඇදුම් පැලදුම්. ඉතින් මේ හැමදේම තියෙන අය නැද්ද..? ඒත් ඒඅයවත් සතුටින්ද...? පයින් යන මිනිස්සු දකිද්දී වත් වාහනයක් තියෙන මිනිහා සතු‍ටු නොවන්නේ ඇයි..? තව තවත් විශාල එහෙම නැත්නම් සැප පහසු ඒවා ගැන හිතමින් දුක් වෙන්නේ ඇයි. අනේ මේක වැඩක් නෑ, අරක නම් මරු ඒවගේ එකක් වත් තිබුනා නම් මරු..? කියලා හිතෙන්නේ ඇයි..? ( මම ඔය පුරස්නේ මේලඟදි පිරිසක්ම ඉන්න තැන ඇහුවම එතන හිටපු එකෙක් කියනවා ගෑනි =බිරිඳ, මායියා, ප්‍රියම්භිකාව= යට කෑල්ල ගැනත් ඌට ගෙදර ඔහොම හිතෙනවළු.)  ඔව්...! සම හරක්ට බඳින්න කලින් ලොකේ ලස්සනම කෙල්ල තමන් යාලුවෙලා ඉන්න කෙනා කියලා පෙනුනට බැන්දට පස්සේ අනිත් හැම එකීම ලස්සනලු තමුන්ගේ එකී හැර. ඒක ඉතින් ඒකලගේ පුරස්නයක් නිසා අපි ඕවා කතා කරන්න යන්න ඕන නෑ නොවැ. මම කියාගෙන ආපු කතාව කියන්නම්කෝ.

                     අපි මේ ගෙවුනු සෙරෙප්පුව ගැන මේ හැටිම වද වෙන්නේ කකුල් නැති මිනිස්සුත් ජීවත් වෙන මේ ලෝකේ නේද කියලා හිතන්න පුළුවන්නම්. අපි වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් දේවල් ගැන තෘප්තියකින් ටික කාලයක් හරි ජීවිතේ විඳින්න පුළුවන් වේවි නේද..? ඊයේ පෙරේදා දවසක බබාව මොන්ටිසෝරියේ ඉඳන් එක්කරගෙන එනකොට නංගි බබාලගේ ඉස්කෝලේ විදුහල්පති තුමිය පාසැල ඉදිරියේදි මුනගැහිලා කතාකරලා තියෙනවා. 

වි.ප -  ආ උදේනී බබාව එක්ක එන්න ගියාද..?

නංගි- ඔව් මැඩම්..!

වි.ප.- කොහේ ඉස්කෝලෙටද දාන්න හිතාගෙන ඉන්නේ.. ටව්මේ එකටද...?

නංගි.- තාම තීරණයක් නෑ මැඩම්. මහත්තයා නම් කියන්නේ මේ ඉස්කෝලෙටම දාමු කියලා.

වි.ප.-  ඒකත් හොඳයි. ඒ උනාට ටව්මේ ඉස්කෝලෙටත් ඉල්ලුම් පත්‍රයක් දාලා තියන්න. හරි ගියොත් ඒකටම දාන්න පුළුවන්නේ.

නංගි.- හා මැඩම්..!

                    ස්කයිප් කතාකරන වෙලාවක මට ඔය කතාව කියලා මම පොඩි ගෝරනාඩුවකුත් දැම්මා අපේ උන්දැට. (කාට හරිඅර කතාවේ වරදක් පේන්නේ නෑ වගේනම් මගෙන් අහන්න ඒකේ වරද කොතැනද කියලා එතකොට මම පැහැදිලි කරන්නම්.මට ඒකේ වැරදි දෙක තුනක්ම පේනවා.) එක වසරට ළමයෙක් ඇතුල්කල දවසේ ඉඳන්ම දෙමව්පියොයි ගුරුවරුයි ශිෂ්‍යත්ව උණ විකාරෙන් දොඩවනවා.අර පැටියට නිදහසේ කන්නවත් හැටියක් නෑ. ඒකටම හරියන මාර්කට් එකකුත් හැදිලා තියෙනවනේ. "1වසර ශිෂ්‍යත්ව පෙරහුරු හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර" ඔතනින් පටන් ගත්තම ඕක ඉවර වෙන්නේ පහ වසරෙන්. එහෙනම් පුරස්නේ ඉවරනේ පහෙන් පස්සේ ඒ ළමයා නිදහස්නේ නේද.. නෑනේ යාළුවනේ ඊලඟට සා:පෙ, උ:පෙ  ටියුෂොං, කිරිකැට් පැස්ටිස්, සුයිමින් ඊලඟට විස්ස විජ්ජාලේ. ඔය ටික ඉවර වෙනකොට මේ තරඟේ අර පැටියටත් පත්තියන් වෙලා අහකයි. එතන ඉඳන් ඒකත් ඒවිදිහටම තියෙන දේවල් ගැන නෙමේ නොලැබුන දේවල් පස්සේ වැටෙනවා. 

                     සරා මෙහෙට එනකොට සේවා ගිවිසුමේ සඳහන් වුනු වැ‍ටුප මෙන් දෙගුනයකටත් වඩා වැඩි වැ‍ටුපක් මේ වෙනකොට ලැබෙනවා. මේ ලඟදි දවසක් ඌ උගේ ප්‍රධානියාට මෙහෙම කිවුවා.

සරා- මගේ ලියකියවිලි සේරම පිළිවෙලක් කරපන්, අහවල් කාලෙට මම අස්වෙලාම යනවා.

බොසා- ඇයි උඹ යන්නේ. හොඳ පඩියකුත් ගන්න එකේ තව කන්ට්‍රෑක් එකක් අත්සන් කරපංකෝ..!

සරා- උඹ මෙහෙ ඇවිත් කොයි තරම් කල්ද...?

බොසා- අවුරුදු දහයකට වැඩී..! 

සරා- උඹ එනකොට පඩිය කීයද..?

බොසා- රියාල්...........!

සරා- එතකොට දැන්.....?

බොසා- රියාල්.............!

සරා- ඒ කියන්නේ මුල් පඩියට වඩා හය ගුනයකටත් වඩා වැඩි වැ‍ටුපක් මේ වෙනකොට උඹ ගන්නවා. ඒ උනාට උඹේ ප්‍රශ්ණනම් එහෙමමයි නේද..?

බොසා- ඇත්තටම ඒවා නම් එදා තිබුනටත් වැඩී. දැන් බලපන් මම තවම කසාද බැඳලා නෑ. ඉතුරුවකට තියෙන්නෙත් මේ තට්ටේ විතරයි.

සරා- ඉතින් උඹ මට කියන්නෙත් දිගටම මෙහෙ ඉඳලා ඔය ටික කරගන්නද..? මම හැම වෙලාවෙම හිතන්නේ සරල ජීවිතයක් ගැන. ඒකට ඕන කරන්නේ අසීමාන්තික සල්ලි කන්දරාවක් නෙමේ. තෘප්තිමත් හිතක්. ඒක කවදාවත් රියාල් වලින් මට ගන්නබෑ. ලියකියවිලි ටික හදලා තියපං මතක ඇතුව..!

මම දෛනික රාජකාරි සඳහා පිටත්ව ගියෙමි....  

                  උපන්න දා සිට මරණ මංචකය දක්වාම අපි කෙලවරක් නැති ආශාවල් පසු පස දුවලා දුවලා හති අරින්නවත් කාලයක් නැතිව මැරිලා යනවා. අපි ලබාගත්ත දේවල් වලින් තෘප්තිමත් වෙන අය ඉන්නවානම් ඒ කීයෙන් කීදෙනාද...? අනෙක් අය සතු‍ටු වෙනවා වෙනුවට කරන්නේ තමා ලඟ නැති දේ ගැන දුක් වෙන එක. ඒත් මේ ලබා ගත්ත දෙයක් වත් යන තැනකට ගෙනියපු කෙනෙක් කාටවත් මුණගැහිලා තියෙනවද...?
                  මේ ලෞකික සැප සම්පත් කියන ඒවයේ කෙලවරක් නෑ අපි දකින හැමදෙයක්ම ලබා ගන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ අපට තව තවත් ආශාවල් වැඩි වෙන එක. උත්සාහයෙන් යමක් ලබා ගන්න එකේ වරදක් නෑ. ඒත් ඒවා වෙනුවෙන් විඳින්න තියෙන ජීවිතේම විඳවන එකත් තේරුමක් නෑ. කෙනෙකු තුල සීමාන්තික ආසාවන් තියෙනවානම් ඔහුට පුළුවන් සතුටෙන් ඉන්න, ඒසතුට නිසාම ඔහු නීරෝගී අයෙකු බවට පත්වෙනවා.

යනගමන් ඔය සිංදුවත් අහගෙනම යමු ආයිබොවන්. එතනින් මෙතෙන්ට ගත්තා මිස ආයේ මොකුත් වෙනසක් නම් කොලේ නෑ. අහලා දාමු ඔන්න ඔහේ. මතක විදිහට නම් මේක හතර කේන්දරේ සිනමා සිත්තමට අයිති සිංදුවක්..