Sunday, July 15, 2012

හිතුවක්කාර ආදරේ.....

                  

               බාලම දෝණි හිතුවක්කාරෙට දීග ගියාම අම්මා ඇඩුවේ එයාව දකින්න නැති දුකටම නෙමේ. එයාගේ අනාගතය කොහොම වේවිද කියන බයට. ඊයේ පෙරේදා විසිවෙනි උපන් දිනේ සමරපු එයාට ලෝකේ ගැන හරි අවබෝධයක් නැති බව අම්මා දන්නවා. රටේ ලෝකේ ඇහෙන දකින දේවල් දිහා බැලුවම සුභදායක සිතුවිල්ලක් හිතට නො එන එක පුදුමයක් නෙමෙයි. ලොකු දූව ඇවැස්ස නෑකමට ඉල්ලන් ආපු කෙනාගේ කියන්න කිසිම වරදක් නොතිබුනු නිසාම ජයටම මගුල් කාලා කරකාර බන්දලා දුන්නා. මද්දුමයත් දැන් දීපංකරේ ගොහින් උන්නට හෙට අනිද්දා මව් රටට ආගමන් පෙලවහක් කොරගනී. ඌ අවිත් නංගිව අහනකොට  මොකක්ද මම දෙන උත්තරේ. බලාපොරොත්තු කන්දක් ගොඩ ගැහුවා මම ඒකි වෙනුවෙන්. මලක් වගේ හිනාවෙවී හිටිය මගේ අහිංසකී. දැන් මොනවා කරනවදකොහොම ජීවත් වෙනවද කියලා දෙයියෝ තමා දන්නේ. අම්මගේ කදුලු ආයෙමත් අලුත් උනා.

                 කන්න ගත්ත බත් කට උගුරෙන් පහලට නොයන නිසාම කෑම එක බල්ලට දාලා අත හෝදගත්තේ බඩ පිරුනු නිසා නෙමෙයි කියලා තාත්තා දන්නවා. ඒත් එයා ඒ ගැන මොනාත්ම කීවේනෑ. හැමදාම හත හමාර වෙනකොට අම්මා රූප පෙට්ටිය ලගින් ඉදගන්නේ පබා බලන්න. මෙච්චර හරියක් වෙලත් මුං ටී වී බලනවා කියලා කාට හිතුනත් එතන තියෙන්නේ වෙනම කතාවක්. අම්මා මේ නාට්ටිය බලන්නේ පොඩි දුවත් (සුද්දි) පබා වගේම නිසා.
"පොඩි ලමයත් මේ වගේමයි"
සමහර වෙලාවට අම්මා කියනවා. අනේ දැන් කොහොම ජීවත් වෙනවා ඇතිද...? රූප පෙට්ටියත් බොදවෙලා පේන්නේ ඇස් වලින් කදුලු ගලන හින්දා. මතක අලුත් වෙන්න වෙන්න හිත රිදෙන බව දැනම එයා හැමදාම
නාට්ටිය බලනවා. සමහර විට එයාගේ හිතට ඒක සහනයක් වගේ දැනෙනවා ඇති. මට හිතෙන්නේ ඒ වේදනා රසය.

                මොකක්දෝ හදිසි හැගීමකින් හිතුවක්කාර උනාට සුද්දිටත් ගෙදර මතක් නූනාම නෙමෙයි. ඇඩුවේ නැති උනාට අම්මව මතක් වෙනහැම මොහොතකම හෝ ගාලා ඇස්වලින් කදුලු කැට කඩා වැටෙනවා. පුංචි මනමාලිගේ ඇස්වලින් කදුලු වැටෙනවට අයියා (සුද්දිගේ සැමියා) චුට්ටක් වත් කැමති නෑ. එයාව උස්සලා අරන් ලගින් ඉන්දවලා පපුවට තුරුල් කර ගත්තේ
"ඔයාලව ඈත් කලේ මම" කියලා හිතෙන හින්දද මන්දා. ඉකි ගැහෙන්න එන එක අමාරුවෙන් නවත්තගෙන උන්නට හෝ ගාලා ගලන කදුලු නවත්තන්න තරම් හයියක් සුද්දිට තිබුනේ නෑ. අයියගේ පපුව කදුලු වලින් තෙමෙනවා. කදුලු නවතිනකම්ම පුංචි මනමාලිව තුරුල් කරන් හිටපු අයියා කදුලින් තෙමුන ඒ සුදු මූණ පුරාවට හාදු අහුරක් ඉස්සා. ඒ අතරෙම ජංගම දුරකථන තිරය මත අංකනය උනේ සුද්දිලගේ ගෙදර දුරකථන අංකය.
අම්මට කියන්න නංගි අපි එහෙ එනවා කියලා. 
රවුම් ඇස් දෙක ලොකු කරලා පුංචි මනමාලි අයියගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ. පිටතට තවමත් දැඩි බවක් පෙනුනද එයා නිසා අයියා මහ හුගක් මෙල්ලවෙලා  කියලා එයාවත් තවම දන්නේ නෑ.
ඔය ඇත්තමද අයියේ...?
කියලා ඇහුනේ ඒ නිසාමයි.
හ්ම්... ඇත්තමයි...!
අයියා එහෙම කියනකොට පුංචි මනමාලිගේ ඉහේ මලක් පිපුන ගානයි.
මගේ රත්තරං මහත්තයා උම්මා....!
                 දෝර ගලන හිතේ සතුට එයා පෙන්නුවේ එහෙමයි. ඒ අතරම ගෙදර දුරකථනය රිංග් වෙනවා සුද්දිට ඇහුනා.
හෙලෝ..
දවස් ගනනාවකට පස්සේ අම්මගේ කටහඩ.
අම්මේ මම...
අලුත් වෙන කදුලු අතරින් සුද්දී මිමිණුවා. තමන්ගේ පුංචි දගකාරිගේ කට හඩ හදුන ගන්න එක අම්මට මහදෙයක් නෙමේ.
කොහෙද දරුවෝ ඔයාලා.
අපි මෙහෙ ඉන්නවා අම්මේ පාදුක්කේ. අපි බැන්දා. මෙහෙ ගෙයක් අරන් ඉන්නේ. අයියා කිවුවා අපි හෙට ගෙදර එනවා කියන්න කියලා.
කෝ ඒ ලමයා...? 
මේ ලග ඉන්නවා...! ආ... ඔයත් චුට්ටක් කතා කරන්න.
ඇය සෙනෙහෙබර සැමියාට දුර කථනය ලංකලා.
අම්මේ...! ]
කොහොමද පුතේ...?
මට සමා වෙන්න අම්මේ, ඔයාලා කාවවත් අඩවන්න මට ඕන උනේ නෑ. ඒ උනාට ඔයාල කවුරුවත් මාව තේරුම් ගන්න උත්සහ කලේ නෑනේ. ඒ නිසයි මම මෙහෙම කලේ.
වෙච්ච දේවල් අපි පස්සේ කතාකරමු පුතේ. කවදද මෙහෙ එන්නේ.
හෙට එන්නම් අම්මේ..!
බොරු නේද...?
මම නංගිට බොරු කියන්නේ නෑනේ අම්මේ. අඩුවේ නැති උනාට එයාගේ ඇස් වලින් කදුලු ගලන්නේ ඔයාලව මතක් උනහම කියලා මම දන්නවා.  ඒනිසා  අපි හෙට එනවා.

කීයට විතරද පුතේ. හවස් වෙනකොට එන්නම්.
ඇයි ඉතින් හවස් වෙනකම් ඉන්නේ උදේම එන්නකෝ.
බලමු බලමු.. ආ මෙන්න නංගිට කතා කරන්නකෝ..!

හවස් වෙනකම් ඉන්නැතුව උදේම එන්න ළමයෝ.
ඉතින් මම අයියට කියන්නම්...!
ඔන්න මම එහෙනම් ඔයාලටත් එක්ක දවල්ට උයනවා.
හරි ඉතින් ඔයාගේ කැමැත්තක්. බුදුසරණයි...!
හ්ම්.. බුදුසරණයි...!

දුරකථනය විසංධි කල ඇය නැවතත් ඔහුගේ ලය මත වැතිරුනා. ඒ නලලත හාදුවක්ද තවරමින්. එක එල්ලේ ඇය ඔහුගේ ඇස් දෙස බලා උන්නේ ඒ හිත කියවන්න වගේ. මද වෙලාවක් එසේ බලා සිටි ඇයගේ නෙත් කෙවෙනි යලිත් කදුලෙන් තෙත් උනේ ඔහු ගැන උපන් අසීමිත ආදරයෙන් කියලා දෙදෙනාටම තේරුනා. තමන් වෙතට නැඹුරුව තිබුන සුදු මුහුණ දෝතට මැදි කරගත් ඔහු නොනවත්වාම සිප ගන්නට උනා. ඇයත් ඔහුට තවතවත් තුරුළු උනේ සංසාර පුරුද්දට වෙන්නැති...ඔහුගේ ශක්තිමත් ලය මතට සිර වූ ලැම හසුන්...........................................

අම්ම ගහයි, අඩේ මෙතනින් එහාට කො‍ටු කො‍ටු දාන්න වෙයි වගේ..!
ඒ සිද්දිය නොලිවුවට ඔයාලා මා එක්ක තරහ වෙන්නෙපා. අලුත බැදපු ජෝඩු නොවැ. අනික අපිට මොකටෑ ඔය අනුන්ගේ පෞද්ගලික දේවල් නැද්ද මං අහන්නේ.
ඉතුරු ටික කියන්න මම පස්සේ එන්නම්කෝ.

පීදෙනා මල් පුරා
මී පිරේ වෑහෙනා
රොන්සොයා පීරලා
බඹරු එති ගී ගයා
ආදරේ කියුහැටී 
සවනතේ ‍රැව්දිදී 
හදවතේ තුරුළු වී

මතක තියා ගන්න කතාව තවම ඉවර නෑ..!

Tuesday, July 10, 2012

ට්‍රාන්සිස්ටර් පොල්ල...



       

       වසර කීපයකට ඉහත සාලාව ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික්ස් උපකරන අලුත් වැඩියා කරන ආයතනයක් මවිසින් පවත්වා ගෙන ගිය බව නංගි බබා කියවූ සැමට මතක ඇතැයි සිතමි. පහත සිද්දිය එම කාලය තුල සිදුවූ සිදුවීමකි. හරි ඉතින් වැල් වටාරම් නැතිව කතාවට එන්ටර් වෙන්නම්කෝ. දවසක් පෝලෝ සීයගේ හැඩ රුවට සමාන පුද්ගලයෙක් ආවා මගේ ෂොප් එකට. සුදුපාට දිග ‍රැවුලයි කොන්ඩෙයි ශරීර ප්‍රමාණයයි ගත්තම දෙකහමාරක් නෑ පෝලෝ සීයම තමයි.

අනේ මහත්තයෝ මේ මගේ රේඩියෝ එක හදා ගන්න කියලා...!
ආ එහෙමද... කෝ දෙන්නකෝ බලන්න...!
මේක මේ අපේ ලමයි අතින් බිම වැ‍ටුනා..!
හරි අවුලක් නෑ මම බලලා තියන්නම්. මට ඔයාගේ නම කියන්නකෝ..!
අනේ මහත්තයෝ හුග දවසක් යයිද..?
අපෝ නෑ මම දවස් දෙකකින් දෙන්නම්...ඇයි..?
නෑ මහත්තයෝ අපේ පොඩිඈයෝ දෙන්නා හරි පාලුවෙන් ඉන්නේඕක නැතුව. ඒ ගොල්ලෝ හැම වෙලාවෙම අර මගෙ පොඩි යාලූ කැසට් පටිය අහනවනේ ඕකෙන්...!
ඒ මනුස්සයා එහෙම කිවුවම මටත් දුක හිතුනා. මට මේක තව එක වැඩක් උනාට අර දරුවන්ට රටක් රාජ්ජයක් තරම් වටිනවා ඇති. රිසිට් එක ලියන එක පැත්තකට දාපු මම.......
හරි එහෙනම් ඔයා වාඩිවෙන්නකෝ ඔය පු‍ටුවක් අරන්..! අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා..!
හා.. මහත්තයෝ හා..!
ම්හ්.. කවුරු හරි මේක ගලවලා තියනවා...!
ආ ඔව් මහත්තයෝ අර නිමල් ඕක ගැලවුවනේ.ඒ ලමයත් ඉතින් ඔය වැඩ කරනවනේ.

       (නිමල් යනු සමූහ ව්‍යාපාරයක අධිපති කෙනෙකි. ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි. දහවල් කාලයේ පොල් කැඩීමේ නිරතවන මොහු රාත්‍රියේදී පොල් කැඩීමත් කෙසෙල් කැන් කැපීමත් පාර්ට් ටයිම් එකක් ලෙස කරයි. මොහු කෙතරම් සාධාරන ලෙස තම වෘතියේ නියැලෙන්නෙක්ද කියනවානම්, දිවා කල දැඩි හිරු රශ්මිය නිසාවෙන් පොල් ගසකට රුපියල් 40ක් පමණ මුදලක් අය කලද කිසි විටෙකත් රාත්‍රියේදී ගස් අයිති කරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකරයි. ඒ වෙනුවට කඩන පොල්ගෙඩි ටික විකුනා ලැබෙන සොච්චම් මුදල පමණක් ඔහු ගනී. කපනා කෙසෙල් කැන් වලටද එසේමැයි. ඊට අමතරව ඉහත පුද්ගලයා කියූ ආකාරයට රේඩියෝ අලුත් වැඩියා කිරීමද කරනවාලු. හරි ඉතින් ඌ ගැන කිවුවා මදෑ. මම කතාව කියන්නම්කෝ.)

ඉතින් එයා හැදුවනම් ඇයි ආයෙත් මෙහෙට අරන් ආවේ..?
හැදුවේ නෑ මහත්තයෝ ඕකෙ ඔය ට්‍රාන්සිස්ටර් පොල්ලද මොකක්ද කැඩිලා කියලා ඒ ලමයා ගාව ඒක නෑ කිව්වා නොවැ.
මොකක්...ට්‍රාන්සිස්ටර් පොල්ල..?
හ්ම්හ්... එහෙම තමයි කිවුවේ...!

      අම්මපා ඔය වෙලාවට තමයි අපට උගන්වපු විදේශික ගුරුභවතුන්ගේ මව් දෙමව්පියොත් මතක් වෙන්නේ. හත්තිලව්වේ උගන්වනදේ හරියටම ඉගැන්නුවා නම් ඉවරයිනේ ගුරු මුෂ්ඨියක් තියාගන්නේ නැතිව. ලෝකේ තියන හැම එකම ඉගැන්නුව මේ ට්‍රාන්සිස්ටර් පොල්ල ගැන වචනයක් වත් කියලා දීලා නැහැ නෙව.D: දැන් ඉතින් ඕක මම මේ මනුස්සයගෙන් ඇහුවොත් හරි ඒක තියන තැන පෙන්නන්න කිවුවොත් හරි මෙයා දැනගන්නවා නිමල් තරම් හොදට මම රේඩියෝ ගැන දන්නේ නෑ, මට ඒහැටි දැනුමක් නෑ කියලා. මහ ලොකුවට සාප්පු දාගෙන රේඩියෝ හදනවා ඒඋනාට ට්‍රාන්සිස්ටර් පොල්ලවත් අදුරන්නෑ කියලා ගමපුරා කියන්නත් බැරි කමක් නෑ. ඒත් මොනා කරන්නද නොදන්න දෙයක් නම් ඉතින් කාගෙන් හරි අහලවත් ඉගෙන ගන්න ඕනනේ.

මේ මාමා තරහ නැතුව ඔය දොර ඇරන් මෙහාට එන්නකෝ.
ඇයි මහත්තයෝ...?
මට චුට්ටක් පෙන්නන්නකෝ ඔය කෑල්ල තියන තැන...!
ඇයි මහත්තයෝ මේ තියෙන්නේ රෝස පාට නූල් වගයකුත් ඔතලා...!
හිකිස්... මේකද.. හෙහ් හෙහ්.. හෙහ්..!
ඇයි මහත්තයෝ හිනා වෙන්නේ...?
නෑ නෑ මාමා නිකම්...!
ඉතින් එයා කිවුවද මේක නැතිව රේඩියෝ එක හදන්න බැහැ කියලා..?
හ්ම්හ්.. එහෙම තමා කිවුවේ..!
ඕක කැඩෙන්න ඇත්තේ බිම වැ‍ටුනු වෙලාවේ වෙන්නැති...!
චුට්ටක් ඉන්නකෝ මාමා, අපි බලමු මේක හදන්න..!
එහෙම කියලා මම අදාල දෝශය හොයලා රේඩියෝ එක හැදුවා. අර ට්‍රාන්සිස්ටර් පොල්ලත් ගලවලා අරගෙන මාමා අතට දුන්නා. ඒක අතට ගන්නකොට මාමාගේ මුහුනේ තිබුනේ විශ්මයාර්ථයක්.හික්..!
ඔන්න මාමා මම ඒක නැතුවම රේඩියෝ එකනම් හැදුවා. ඔයාට එයාව හම්බුන වෙලාවක ඕක දෙන්න එයාට. කියන්න මම ඒක නැතුව රේඩියෝ එක හැදුවා කියලා...!
ඕං බලන්ඩ මහත්තයෝ මේකලගේ වැඩ..!
එහෙම කියාපු මාමා යන්න ගියා. හ්ම්හ්.. දැන් ඔයාලටත් ප්‍රශ්ණයක් තියනවා නේද ඒ කියාපු අහවල් එක ගැන. හරි මම කියන්නම් විස්තරේ.
       මෑත කාලීනව ඔය FM තරංග මාලා පටන් ගන්න කලින් අපට තිබුනේ MW(මීඩියම් වේව්) වලින් වැඩ කරන රේඩියෝ. ඉතින් මෑතක් වෙනකම්ම ආව රේඩියෝවල තිබුනා ලොකු රොඩ් කොයිල් එකක්,තව විදිහකට කියනවානම් දිග පෙරයිට් රොඩ් එකක් මත කොයිල් ඔතලා සකස් කරන ලද තරංග ග්‍රාහකයක්. මේක SW(ෂෝර්ට් වේව්)සහ MW(මීඩියම් වේව්) සදහා තමයි භාවිත කලේ. ඉතින් අපි මේක හැදින්නුවේ රොඩ් කොයිල් එක කියලා. නමුත් මේ වෙනකොට මීඩියම් වේව් ලංකාවේ භාවිතයෙන් ඈතට ගිහින් නිසා මේ කොටස නැතිඋනා කියලා FM චැනල් වලට කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒ කියන්නේ රොඩ් කොයිල් එක නැතුව අපට රේඩියෝ අහන්න පුලුවන්.හැබැයි තවමත් සමහර කැසට් රේඩියෝ වල මේ කොටස ඉතා කුඩාවට තියනවා. ඒ උනාට මේ නිමල් කියන හාදයා රේඩියෝ හදනවා කිවුවට ඒ පිළිඹද ඉගෙනගන වත් යම් කිසි පාඨමාලාවක් හදාරපු කෙනෙක් වත් නෙමේ. කැඩිලා තියෙන රොඩ් එක දැකලා හිතන්නැති මේක හදන්න බෑ කියලා. ඒකෙ නම නොදන්න නිසා තමයි කටට ආව නමක් කියන්න ඇත්තේ.ඉතින් අර මනුස්සයත් ඒ කතාව පිලිඅරගෙන.

         විහිලුවක් වගේ පෙනුනට මේ කතාවේ ඔයාලට වැදගත් පනිවිඩයකුත් හැංගිලා තියනවා. ඔයාලගේ වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ වල යම් යම් දෝශ ඇති උනහම ඔයාලා කරන්නේ ලගම ඉන්න කවුරු හරි කෙනෙකුට ඒක හදන්න දෙන එක එයා ඒ වැඩවලට දක්ෂයෙක්ද වගකීමකින් යුතුව ඒ වැඩේ කරයිද කියන එක ගැන හුගදෙනෙක් හිතන්නේ නෑ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඔයාලගේ වටිනා උපකරණයට හානි වෙන එක. පසුව දක්ෂ කාර්මිකයෙක් ලගට ගෙන ගියත් ඔහුටත් අමාරු වෙනවා අලුත් වැඩියා කරන්න. ඉතින් යාලුවනේ මම නම් කියන්නේ ඒවගේ වැඩවලදි දෙවරක් හිතන්න කියලයි. ලග තියන පුංචි පහසුව ගැන නොහිතා වගකීමකින් යුතු ආයතනයකට හරි සුදුසුකම් තියන පුද්ගලයෙකුට හරි දීලා ඒ අලුත් වැඩියාවන් කර ගන්න.නැත්නම් වෙන්නේ ඔයාලගේ වටිනා කාලයත් මුදලත් දෙකම නැතිවෙන එකයි.

එහෙනම් ආයිබොවන් ගෙහුන් එන්නම්..!          


ඊලග ලිපියෙන් "ගොරක දඩමස් කරන හැටි" නැත්නම් නැති ලෙඩ මවා පාන හැටි ගැන අපි කතා කරමු..!

Friday, July 6, 2012

සෙනෙහෙ කොලේ...

           මේක නම් දරුවනේ එක "ලු" කතාවක්. ඒනිසා මම අ‍ටුවා ටීකා ටිප්පනි නැතිව කෙටියෙන් කියන්නම්. මොකද විස්තර කියන්න ගිහින් අදාල පුග්ගලයින්ට හානියක් උනොත්.D..ඔන්න එක ඉලන්දාරියෙක් ඉදලා තියනවා ඔය කිරිඇල්ල කියන පැත්තේ. නාහෙට නාහන ගතිගුන තියෙන හිතුවොත් යමක් කොරන ඒත් හරිම හොද ගොබිලෙක් කියලයි දන්න අදුනන අය කියන්නේ. මෙයාට හුගක් යාලුවෝ ඉන්නේ අවිස්සාවේල්ල පැත්තේලු.ඉතින් නිතරම එහෙ යනවා කියනවනේ. නිතරම කිව්වට ඉතින් හැමදාම එහෙලු. දැන් ඉතින් අවිස්සාවේල්ලයි කිරිඇල්ලයි අතරේ දුර දන්න අය මගෙන් අහවි කොහොමද මෙයා හැමදාම එහෙ ගියේ ආවේ කියලා. ඒක පුරස්නයක් කොර ගන්න එපා ඔයාලා. එයාට පොඩි බයික් ක‍ටුවක් තිබුනානොවැ. කියන විදිහට DT70යක්. ඉතින් අම්මට නාහෙන් අඩලා පෙට්‍රල් ගහන්න කීයක් හරි කොටාගෙන මුගේ වැඩේ ඇවිදින එක. දුරාචාර සුරා සූදු කිසි දෙයක් නැති නිර්භීත පිරිමිකම හැම මයිලකින්ම ප්‍රදර්ශනය කරන මූ ගැන ගෙදර උදවියගේ හිතේ පුංචිම තරමේ බයක් වත් තිබුනේ නැහැ කියලයි මූ නම් කියන්නේ.
             මෙහෙම රවුම් ගහන මේ ඉලන්දාරියගේ ඇහැ ගැහුනු ගැටිස්සියෙකුත් හිටියා කියනවා නෙව ඔය සාවියේ. හැඩකාර,දගකාර, කටකාර,විසේකාර ඔයහැම කාර කමක්ම අඩු නැතුවම තිබුනලු ඔය කියන ගැටිස්සිගාව. අපේ මෑන් එහෙ මෙහෙ යනකොට හරියට ඇහැ දෙනවලුනේ එයත්.  

රන් ගුරුලු වාහනෙන් ඔබ යන කලට ඉගිල්ලී...
ඉගි බැලුම් මොටද මම අසරන පුංචි කිරිල්ලී... 

ඕන්න ඔය වගේ අදහසක් තමයිළු ඒ බැල්මේ තියෙන්නේ. ඉතින් ඕවා දකින කොට අපේ කතා නායකයගේ මෙව්වා එක මෙහෙම වෙනවලුනේ. (පව් අප්පා..) ඒත් පුරස්නේ වෙලා තියෙන්නේ මේක ගැන කියන්න වත් අහන්නවත් මේ දැරිවි තනියම මගතොටේදි මුන නොගැහෙන එක. බැරිම තැන මූ ප්‍රාණසම යාලුවෝ තුන්දෙනාට කිවුවලු මේ ගැන. එක එක්කෙනා එක එක අදහස් දුන්නා කියනවනේ. කොහොම උනත් සභා සම්මත උන යෝජනාව වෙලා තියෙන්නේ ලියුමක් තව විදිහකට කියනවා නම් සෙනෙහෙ කොලයක් දෙන එක. ඕං වැරදියට වටහා ගන්නෙපා ඔය සිංහල බෙහෙත් කඩවලත් තියනවා සෙනෙහෙ කොල කියලා ජාතියක්.හැබැයි ඉතින් ඒවා තියෙන්නේ බඩ විරේක කරන්න. තම්බලා බොන්න විතරලුනේ ඕන. ආයේ වාන් දොර‍ටුවක් ඇරියා හා සමානයි කියනවනේ. කිව්වට ඕං මමනම් පාවිච්චි කොරලා නැහැ. මේ මම කිවුවේ ඒවා ගැන නෙමේ. ලව් ලෙටර් ගැන හොදේ. හතර දෙනාම බෝක්කුවක් උඩ ඉදගෙන පෙරපර සංදි ගලපලා කැටයම් දාලා ලිවුවා කියනවනේ පුංචි බේත් තුන්ඩුවක් විතර ලියුමක්.
                    ආදරනීය නේරංජනා.. චාන්දි තාරේ ෆූල්හේ සබ්නම්  තුම්සේ අච්චා කෞන්හෛ.. මෙරා ජීවන් කොරා කාගස් කොරාහී රේ ගයා..බ්ලා..බ්ලා..බ්ලා. අනේ ඉතින් ලිවුවට දැන් දෙන්නේ කොහොමද කෙල්ලව කවදාවත් තනියම මුන ගැහෙන්නේ නෑනේ. අම්මලා,අක්කලා,නංගිලා මල්ලිලා සැට් එකම ඉන්නවනේ යන යන තැන. ගේමකට නම් ඉතින් හතර දෙනාම සූරයෝ. හැබැයි මේ වැඩේදි හැමෝගෙම වැඩ කරන්නේ රිවර්ස් ගියර් විතරමයි. ටිකක් වෙලා කල්පනා කරපු අපේ මෑන්.. කෝ දියන් ඕක.. ආයේ කාවවත් ගාවන්නෝන නෑ. මමම දෙන්නම් ගිහින් කියලා ලියුමත් අරන් පවනට බදු වේගෙන් ඉගිලුනා කියනවනේ. අතර මග කඩේකින් ටොෆී වගයක්(චොකෝ මෝල්ට්) අරගෙන මූ එකක් කටේ දමාගෙන ඒ කොලේ අර ලියුම ගුලි කරලා ඔතලා. වැඩේ ඉවර උනාම කිසි වෙනසක් නැතුව ටො‍ෆියක් වගේමලු. ඒකත් අරගෙන අර ගෙදරටම ගෙහුන් ඒ නැන්දලා මාමලා එක්කත් කතා බහ කරලා පොඩි එවුන්ටයි ලොකු එවුන්ටයි ටො‍ෆිත් දීලා. අර ගැටිස්සිට දීලා තියෙන්නේ මෙයාම වෙහෙස මහන්සියෙන් හදාපු ටො‍ෆිය. ඒක බාගෙට දිගාරින කොටම කෙල්ලගේ මූණ අමුතු උනාලු. එයා බලලා මෙයා දිහා. ඉතින් හැමෝටම හොරෙන් ගෑණුලමයට ඇහක් ගහන එක මෙච්චර හරියක් කොරපු අපේ හාදයට ගේමක් නෙමේ කියලා මම නොකීවට ඔයාලට තේරෙනවා ඇතිනේ. අනේ සිග්නල් එක තේරුම් ගත්ත ගැටිස්සිත් ක්ෂනිකවම එතනින් වාෂ්ප වෙලා තියනවා. තවත් ටිකවෙලාවක් ගෙදර අයත් එක්ක දොඩමළු උන මේ ගොබිලා ආවයි කියනවනේ ආපහු.
              පහුවෙනිදා මෑන්ස් ගියාලු ස්වීප් එක ඇදිලද බලන්න. අහෝ දුකකි ඉරකි තිතකි, කෙලි පැටික්කි නෑ පේන්න. හැබැයි එයාලගේ අම්මා ඉන්නවා.
ආ... නැන්දේ..!
කියාගෙනම මූත් ගෙදරටම ගිහින්. බලමු ඉතින් මූ කොහොම අලුගුත්තේරුවෙක්ද කියලා. මෙහෙම වැඩක් කරලත් බයක් හැකක් නැතිව ගෙදරටම යන්ට.
ආ.. මේ මේ දරුවනේ..! මමත් මේ හම්බ වෙන්නමයි හිටියේ..!
ඇයි නැන්දේ...?
ඔය ලමයා අපේ **** ට මොකක් හරි ලියුමක් දුන්නද..?
හුටා .. පුදපු ගමන් කාපි යකා කිවුවලු. දැන් මොකද කරන්නේ....? කොල්ලට ටිකක් ලැජ්ජත් වගේ. ඒත් කා ඉස්සරහවත් ඇඹරෙන එක මුගේ සිරිත නොවන නිසා...
ඔව් නැන්දේ ... !
හොදයි.. මම කැමතියි මෙහෙම කෙලින් කතා කරන ලමයින්ට...!
( හපොයි ඒ උනාට මම කැමති නෑ නැන්දට ,කැමති කෙනාට තමා මම ලියුම දුන්නේ.) ඒ වෙලාවේ කොලුවට එහෙම හිතිලා ඒත් සද්ද වහලා ඉදලා.
අපේ ලමයා මොකද කිවුවේ.. ?
බිරන්තට්‍ටු වෙලා ඉන්න අපේ මෑන්ගෙන් නැන්දා අහනවලු.
තාම මොකුත් කීවේ නෑ නැන්දේ මම අහලා කියන්නද.. ?
නෑ.. නෑ ඔයා අහන්න ඕන නෑ. මම අහගන්නම්කෝ එයාගෙන්...! අනික ඔයාල තාම මෝරලා නෑ ඕවා ගැන හිතන්න. ඔයාලගේ තාත්තගේ හැටිත් දන්නවනේ ඔයා. එයා මේවා දැන ගත්තොත් අපටත් මේකේ වසන්න වෙන්නේ නෑ. මම දන්නවා මේ දරුවා මම කියන දෙයක් නාහ ඉන්නේ නෑ කියලා.හොද ලමයා වගේ ඕවා අතෑරලා දාන්න.
නැන්දා කොලුවට බොහොම ආදරෙන් කරුනු පැහැදිලි කරාලු. ඒ ගමන මූ..
හරි මම නැන්දා කියන විදිහට කරන්නම්, හැබැයි මට දැන ගන්නෝන නැන්දා මේකතන්දරේ දැනගත්ත විදිහ...! (ඇයි යකෝ පස්මහ බැලුම් බලලා තුම්මුල්ල පැනලා ගහපු ගේම ලීක් උනේ කොහොමද කියලා දැන ගන්න මූටත් අයිතියක් තියනෝනේ.)
ඇයි දරුවෝ.. අද උදේ මම රෙදි වගයක් මහන්න කියලා මැෂින් එක ලග ඉදගෙන මැෂින් ලාච්චුව ඇරපුවහම මට ඒකේ තිබිලා මේක හම්බ උනා.
චෙහ්.. හතර විලිලැජ්ජාවයි මුගේ සෙනෙහේ කොලේ.
ඔය තියෙන්නේ ටො‍ෆි කොලෙත් එක්කම..අර මෝඩ ප්‍රේමවන්තී ලියුම කියවලා ආයෙත් ඒ විදිහටම ඔතලා මැෂින් ලාච්චුවේ දාලා. 
මම.. නෑ ...නෑ .. අරූ පව් නේද...? 


ප/ලි මේ සිද්දිය මට මතක් උනේ නිම්ශා ලියපු මගේ පලවෙනි ආදර හසුන ලිපිය කියවපුවමයි. ඉතින් නිම්ශා ඔයාට ස්තුතියි...!

ප/ප/ලි/ පසුව අර කෙලි පැටික්කී කැමැත්ත පල කල බවද අර මැටි වැඩේ නිසාම කතා නායකයා වැඩේ අතහැර දැමූ  බවද හුදී ජන පහන් සංවේගය උදෙසා දෙසා බාමි.

Wednesday, July 4, 2012

අපි නොදන්න ඉලෙස්ටොනික්..

             හුගාක් ගෙවල් වල මම දැකලා තියනවා ස්තාවර දුරකතන නැත්නම් අපි සිංහලෙන් ලෑන්ඩ් ෆෝන් කියන්නේ, අන්න එව්වයේ කීපෑඩ් එක ආවරනය කරලා ඉබ්බෙකුත් දාලයි තියෙන්නේ. (මම මේ කිවුවේ අර අපි අංක ඔබන කොටස ගැන හොදේ.) මෙහෙම කරන්නේ අපෙන්මේ උපකරනයට වෙන අතවර වලක්වන්න තමයි. ඉතින් අපේ හෑන්ඩ් ෆෝන් වල සල්ලි ඉවර උනාම, ගෙදර ෆෝන් එකෙත් අහවල් එක ලොක් කොරලා අම්මත් මාර්කට් එකට හරි කොහේට හරි ගොහින් නම් කොහොමද මල. ඇයි දෙයියනේ නිදහසේ මලක් කඩන්නවත් විදිහක් නෑනෙව. පසු තැවෙන්ට කේන්ති ගන්ට අවශ්‍ය නෑ.මම පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලා කරලා බලන්ට.දැනුමටත් හොදයි නෙව. ඔයාලගේ ලොස් වෙච්ච හෑන්ඩ් ෆෝන් එකේ "කී පෑඩ් ටෝන්" ඔන් කරගන්න. හඩ ටිකක් වැඩිනම් වඩා හොදයි.ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් රිසීවරය අතට අරගෙන රිසිවරයේ මයික් එකට හෑන්ඩ් ෆෝන් එක කිට්‍ටු කරලා ඔයාලට කතා කරන්න ඕන අංකය ඩයල් කොරන්න හෑන්ඩ් ෆෝන් එකේ හරිද. ඉතින් වැඩේ හරි. ෂුවර් නෑ වගේ කියලා හිතෙනවා නම් රිසිවර් එක කනේ තියලා බලන්න. අදාළ අංකයේ දුරකථනයේ රිංග්ස් යනවා ඇති. මෙයා තවමත් බලා ඉන්නවා. ඉතුරු ටික කියවන්න කලින් ඔය ඇමතුමට පිලිතුරු දීලා ඉන්නකෝ.D:
             හ්ම්.. ඕකයි සිද්දිය. හැබැයි මතක තියා ගන්න කීපෑඩ් ටෝන් එක නෝමල් එක වෙන්නෝන හොදේ. සමහරු කීටෝන් වලට ගෙම්බෝ,ඉබ්බෝ,සමනල්ලු කෑගහන සද්දත් දාගෙන ඉන්නවනේ. අන්න ඒවනම් හදුනගන්න තරම් අපේ ලෑන්ඩ් ෆෝන් දියුණු නෑ. සමහරු කියාවි අපෝ අපි ඕවා කලේ පිප්පි කාලෙදි කියලා. කමක් නෑ නොදන්න අය එක්කෙනෙක් හරි දැනගනීවිනේ. හික්...! ගෙහුන් එන්නම් එහෙනම්..!

               ආ දූපත් වැසියා අහලා තිබුනා කොහොමද රිමෝට් එක අලුත් වැඩියා කොර ගන්නේ කියලා. ඔයා ඉන්ප්‍රාරෙඩ් එල් ඊ ඩී එකක් අරගෙන ඇවිත් අග්‍ර දෙක නිවැරදිව බලලා පරන එක තිබුන විදිහටම අලුත් එක හයි කරන්න. ඒක වැඩ කරාවි. හැබැයි සියුම්ව පාස්ස ගන්නෝන. හිතුවොත් ඔයාට මහ වැඩක් නෙමේ ඕක. හදා ගත්තොත් කොහොමද සතුට. කලබල නොවී ඉවසීමෙන් සියුම්ව කරන්න. PCB එකෙන් ගලවන්න බෑ කියලා හිතෙනවා පින් දෙක මගින් කපලා පාස්ස ගන්න.

ප/ලි මාතෘකාව ලියන විදිහ වෙනස් කොලේ සෑමාට කෘත ගුණ සැලකීමක් වශයෙනි.