මම මේ මාතෘකාව ගැන ලියන්න නෙමේ උන්නේ. දැනට මම සේවය කරන රටේ මේ ප්‍රදේශයේ මිනිස්සු ගැන එයාලගේ ක්‍රියාකාරකම් ගැන ටිකක් ලියන්න. ඒගැන ටිකක් ලියද්දි මට හිතුන දෙයක් තමයි හැබෑටම මම මෙහෙම ලියන්නේ මම ඉපදුන රටේ කෙරෙන අකටයුතුකම් ගැන කවදාවත් කතා නොකර නේද, තමන්ගේ දේ නොහොයා අනුන්ගේ හරි වැරදි කතා කරන එක මහා විහිළුවක් නේද කියලා. ඒනිසා මේ කෙටි ලිපියෙන් අර ලිපියට ප්‍රවේශයක් ලබා ගන්න හිතුවා.
එතකොට සරාට සුදුසු කම් තියෙනවද මේවා කතාකරන්න. පැහැදිලිවම ඔව්. මට විතරක් නෙමේ හුඟාක් දෙනෙකුට මේ සුදුසුකම් ඇති. ඒවගේම අයිතියකුත් තියෙනවා. මම මේ ස්වයං වාරනයන්ට යටත්ව ජීවත් වෙනනිසා මේ ගැන චකිතයකින් තොරව ලියන්න තීරනය කලා කිවුවොත් වඩා හොඳයි කියලා හිතුනා.
1 මට කරදරයක් හිරිහැරයක් නොකරන කිසිම ජීවියෙකුට මම කරදර හිරිහැර කරන්නේ නෑ.
2 මොනම අවස්ථාවකදීවත් මගේ ගැලවිජ්ජාව උදෙසා බොරු කියන්නේ හෝ බොරු කියලා නෑ.
3 කිසිම විටෙක අනුන්ගේ දෙයක් හොරකම් කර හෝ හොරකම් කරන්නේ නෑ. හැබැයි මට කොකා පෙන්නපු කීප දෙනෙකුගේම දේවල් බලෙන් උදුරගෙන තියෙනවා කීප අවස්ථාවකදීම. ඒ පාළුගෙවල්වල වලං බිඳීමේ ආදීනව පෙන්නලා දෙන්න මිස වෙන අරමුනකින් නෙමේ.
4 මම සම්මතයට විරුද්ධ ශාරීරික සම්බන්ධතා පවත්වලා නැහැ කිසි දිනෙක. කාමයේ වරදවා හැසිරීම කියන්නේ ඕකටනම් ඔන්න ඒකත් හරි.
5 සුරාමේරය ගැන කියනවා ගැන කියනවා නම් කන පැලෙන්න බීලා තියෙනවා. ඒක ඉතින් ඔය කියන මදයට හා ප්‍රමාදයට හේතු උනාද කියන්න නම් මම දන්නේ නෑ, මොකද හැමදාම බිවුවේ හවස් වෙලානේ හොඳටම. ඒවෙලාවට මොකුත් විශේෂ වැඩක් යොදාගන්නේත් නැති නිසා කීයට නිදාගත්තත් උදේම නැගිටින නිසාත් එහෙම වෙන්න නැතුව ඇති. අනික ඉතින් බුන්නේ මම ඉතා සාධාරණව උපයපු සල්ලි වලින්නේ:D
6 මේක තමයි මම හිතන්නේ ප්‍රධානම දේ. මම හැමදාම මගේ නියම ස්වරූපයෙන් පෙනී ඉඳලා තියෙනවා හැමතැනකදීම. එකක් කියමින් තව එකක් කරන හෝ ලෝකෙට හොඳ මූණක් පෙන්නලා රහසින් පව් කරන දෙබිඩි චරිත රඟපාලා නෑ කවදාවත්. ඒනිසා එහෙම චරිත ගැන කතාකරන්න, විවේචනය කරන්න මට හැකියාවක් හා අයිතියක් තියෙනවා කියලා හිතෙනවා.
මම මුදුනා වෙන්න හෝ උඩයන්න කරන වෑයමක් විදිහට කිසිවෙකුත් මෙය නොදකීවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉහත තොරතුරු කිසිවකින් මා සුචරිතවාදියෙකුයැයි හැඳින්වෙන්නෙත් නෑනේ. මන්ද මා එවැන්නෙකු නොවේ. පෙර ලිපිවල සඳහන් කලාක්මෙන් සරා යනු කටුවටත් නැති වහල්ලටත් නැති එකෙකි. මා ඉහත ප්‍රතිපත්ති රකින්නේ අන් කිසිවක් නිසා නොව මගේම පහසුවතකාය. කාටවත් ඇනයක් නොවී ඉන්න මම කැමති නිසා ඔහොම ක්‍රමයක් මම භාවිතා කරනවා. මෙතැන් සිට කෙරෙනා චෝදනා කිසිවක් සියළුම භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් නොව, චීවරයට මුවාවී නොයෙකුත් අකටයුතු කම් කරනා වූද තමන් මෙන්ම චීවරයට ගරු කරාවුන්වද රවටන තමන් බුද්ධ පුත්‍රයන්යැයි හඳුවා ගන්නාවුන්ව ඉලක්ක කරගෙනම බැවු අවධාරණයෙන් මතක්කර සිටිමි.
සම්බුද්ධ සාසනයේ දියුනුව උදෙසා කැපවීමට කියා හෝ එහි පැවැත්ම උදෙසා කියමින් සසුන් ගතවෙන ඇතැම් අය ( වර්තමානයේ නම් මේ ඇතැම් කියන වචනයත් මෙතනට ගැලපෙන්නේ නෑ. බොහෝ දෙනා යනුවෙනුයි හැඳින්විය යුත්තේ.) චීවරයේ ගෞරවය කෙලෙසන අයුරුයි මේ. මම විදේශ ගතවෙන්න කලින් වැඩ කලේ ඔය තලාහේන පැත්තේ. එතන මාත් එක්ක තව කීප දෙනෙක්ම වැඩකලා. එක පුද්ගලයෙක් දවසක් මට මෙහෙම කියනවා.
බුවා : අද ඉක්මණට වැඩ ඉවරකරලා යන්න ඕන මචන් පාටියක් තියනවා. මම: පාටියක් ඒ කොහේද බං..?
බුවා: පංසලේ බං පංසලේ..!
මම: තොට මෝල්ද උගුඩුවෝ...පංසලේ මොකාද පාටි දාන්න ඉන්නේ..? බුවා: ඇයි බං හාමුදුරුවෝ...!
මම : හික් හික් හික්..!
බුවා: ඇයි උඹ හිනාවෙන්නේ...?
මම: නෑ ඉතින් නියම විහිළුව ඒකයි...!
බුවා : උඹට ෂුවර් නෑ නේද මේ බලපං සල්ලි බෝතල් දෙකකුයි කුකුල් මසුයි ගේන්න කියලා පොර දුන්නේ, දැන් පංසලට ගිය වෙලාවේ.
මම : පොර කිවුවේ....?
බුවා: වෙන කවුද බං හාමුදුරුවන්ට මිස. මෑන්ස් අපි එක්ක බුදු ෆිට් බං.
මම: හැබෑට....ඔය කොයි පංසලේද බං...?
බුවා: අර ............ මාවතේ තියෙන පංසල බං. වැඩක් නෑ කියලා මරු බුවා.
මම: ඉතින් උඹ මීට කලිනුත් ගිහින් තියෙනවද පාටි වලට එහේ.
බුවා : අඩෝ මම දැන් කීකාලෙක ඉඳන්ද එහේ යන්නේ, හැබැයි අපරාදේ කියන්න බෑ පොර කවදාවත් අපෙන් කිසි දෙයක් ගන්නේ නෑ. අපි කැමැත්තෙන් ගේන්න හැදුවත් එපා කියනවා.
මම: හා හා හා.. සමහරවිට ගිහියන්ගේ අරක්කු සංඝයාට අකැපද දන්නේ නෑනේ. ඒක නෙමේ උඹ අපි කිවුවේ තව කවුද එහෙ එන්නේ.
බුවා : ඇයි බං වැව පාරේ ත්‍රීවීල් පාක් එකේ කොල්ලෝ සෙට් එකකුත් එනවා. උන්ට කියලා තමයි මේවා ගෙන්න ගන්නේ....යි කියමින් දකුනතේ ඇඟිලි දෙකක් යම් ආකාරකට හැඩ කරමින් මවෙත පෑවේය. ඔහු හස්ත මුද්‍රාවෙන් පැවසූයේ කුමක්දැයි වටහා ගැනීමට විවාහයෙකුවූ මට අපහසුවක් නොවිනි. කතාව මා සමග කී පුද්ගලයාට අනුව ගෙනෙන්නාවූ කුනුකය මුලින් අර හාමදුරුවා වළඳා පසුව ගිහියන් අතට පත්කරනවාළු. දැන් ඉතින් මෙතනට "ළු" යන්නක් දැන්ම නිසා මේක කට කතාවක්ය කියලා මාත් එක්ක ගේමට එන්න එපා. මම මේ "ළු" යන්න දැම්මේ තවමත් මෙවන් සත්කාර්යයකට සහභාගි වීමේ භාග්‍යය මට උදාවෙලා නැති නිසා.
මේ මෑතක දී අපේ සාවියේ එක්තරා පංසලක පිංකම් මාලාවක් සංවිධානය කෙරුනා. වැඩේ බොහොම ජයට කෙරුනා. පංකාදුයි පාරට්‍ටුයි. ඕකට ධර්ම දේශනා කරන්න දිවයිනේ නන් දෙසින් හාමුදුරුවරු කිහිප දෙනෙක්ම වැඩම කොරලත් තිබුනා. උන්නාන්සෙලත් හරියට අපේ ජනප්‍රිය ගායකයෝ වගේ. පැයක් ධර්මදේශනා කරන්න රුපියල් 10000 යි 15000 යි වගේ ගනන් අය කරන්නේ. හැබැයි ඉතින් ලෙසටම කියනවළු. සමහරු කිවුවේ කවියෙන්ළුනේ. එහෙනම් කමක් නෑ නේද:P දවසක් නෑරම පිංකමට සහභාගී වුන අපේ නැන්දා කෙනෙක්ගෙන් ඊයේ විස්තර ඇහුවම අනේ පුතේ හරිම අපූරුවට බණ කියනවා,ඇයි පුතාටත් බණක් කියවන්න ආසයිද කියලා ඇහැව්වා.
ඇයි සරා මේවා ලියන්නේ...?
කාගේ හරි කුනුගොඩක් අවුස්සලා පලාතම ගඳ ගස්සන්නද...?
නෑ...!
අනුන්ගේ කුනු ඇවිස්සුවාම තමන් සුදනෙක් කියලා අනෙක් අය හිතයි කියලද...?
නෑ...!
එහෙනම් කොමෙන්ට් වැඩිකර ගන්නද...?
ඒත් නෑ.. මම මොනා ලිවුවත් මගේ ලිපි කියවන්න එන අතලොස්සක් පිරිස හැමදාම එනවා. මොකද මගේ කාර්ය බහුලත්වය නිසා මම කියවන්නේ බ්ලොග් කීපයක් විතරයි.ඉතින් උන්දැලාටත් ඉවර තියෙන වෙලාවට මගේ බ්ලොග් එක කියවන්න එනවා ගතයුත්තක් ඇතත් නැතත්.
එහෙනම් මොන මල ඉලව්වටද මේවා ලියන්නේ.
උගත් පාඨකයෙනි, මම මීට පෙර දවසක ලිවුවා අපි යහපත් චේතනාවකින් යමක් කරනවා නම් මොන කරදර බාධක ආවත් අවසාන ප්‍රතිපලය සාර්ථක වෙනවා කියලා. ඒත් එහෙම වෙන්න නම් අපි අපිට අවංකවෙලා ඉන්න ඕන. අද බලන්න අපි සත්‍යග්‍රහ කරනවා, තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගෙන්ම නොයෙකුත් ජාති ඉල්ලනවා. ඇත්තටම කියනවානම් බණ කියන බණ අහන මේවගේ රටක් ලෝකේ කොහේවත් නෑ. අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල හතර පෝයටම බණ දහම් ප්‍රචාරය වෙනවා. කීදාහක් දෙනා ඇස් කන් අයාගෙන මේවා අහනවද බලනවද...?
ඉතින් එහෙනම් ඇයි මේරටේ මේ තරම් හොර මැරකම්, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, බාලාපරාධ, මත්ද්‍රව්‍ය උත්තරේ හරිම සරලයි.. චේතනාව හොඳ නෑ. මුන් ගොඩ දෙනෙක් යහපත් අරමුනින් බුදු දහම ප්‍රචාරය කරනවා නෙමෙයි විකුනණවා. තව පිරිසක් මුදලට බණ කියමින් මුදල් උපයලා ඒවයෙන් අරක්කු බොනවා ගනිකාවන් ඇසුරු කරනවා. සාමාන්‍ය ජනයා මුලු හිතින්ම ගෞරව කරන පසඟ පිහිටුවා වදින චීවරයේ ඉඳගෙන මෙහෙම කරද්දී වස් වදිනවා. දෙවියොත් කෝප වෙනවා. අහසට පොලවට වත් දරාගෙන ඉන්න බෑ මේ දේවල්. අහස ගුගුරනවා, පොලව කම්පා වෙනවා. මෙහෙමයි රට විනාශ වෙන්නේ. මෙහෙම හැමතැනකම වෙද්දී ලෝකය විනාශ වෙනවා.
රට කරවන එකෙක්ගේ කතාවක් අහගෙන ඉන්න ටික වෙලාවක්. මහ ජනයා ගැන ඇතිවෙන දුකට ඒකලාගේ ඇස්වලින් කඳුළුත් ගලනවා. එහෙම වෙලාවට මට හිතෙන දෙයක් තමයි යකඩෝ මේකලා මේ හැටි අවංකව වැඩ කරද්දිත් රටට මෙහෙම හෙන පොතේ කැටිලා තියෙන්නේ අපි වගේ උන් ඉන්න නිසාය, අපට මුංගේ හොඳක් දකින්න බැරි නිසාය කියලා.
මගේ මහ ගෙවල් තියෙන්නේ කිරි ඇල්ලේ කියලා මම කලිනුත් ඔයාලට කියලා තියෙනවානේ. ඔය පැත්තේ එක්තරා පංසලකට ගැටයා සංදියේ මම නිතර යන්න පුරුදු වෙලා හිටියා. වැඩි හරියක්ම ඕකට රිංගන්නේ දඩාවතේ ගිහින් බඩගිනි උනහම තමයි. බඩගිනි වෙලාවට ඕකට වැදුනම ඉතින් තරු පහේ හෝටලයක වගේ කෑම වේලක් ෂුවර්. හැබෑවටම ඒක තරු පහේ හෝටලයක්ම තමයි. වැඩ පලටත් ඉන්නේ බොහොම හැඩකාර ආන්ටිලා දෙතුන් දෙනෙක්. එයාලට ඉතින් කුස්සියේ වැඩ විතරක්ම නෙමේ හාමදුරුවගේ සිරි යහන් ගබඩාවේ රාජකාරිත් මාරුවෙන් මාරුවට බලන්න වෙන බව අපට නම් රහසක් නෙමෙයි ඉතින්. දන්න කියන කාලේ ඉඳන් මේ පංසලේ ඉන්නේ නායක හාමදුරුවයි, ගෝල නමයි විතරමයි. උරුමයෙන් එන කෙනෙක් මිස පිට අය මහණ කරගන්න සිරිතකුත් නෑ මෙතන. උරුමය එන්නේ කොහොමද කියලා මම පැහැදිලි නොකරට ඔබලාට තේරුම් ගැනීමේ හැකියාව ඇතැයි මාසිතනවා. මේකා මේ කියන ඉසවුව කොහේද කියලා විතරක් ඔයාලට කුකුසක් තියෙනවා නම් පොඩී ඉඟියක් මේං.
ආයිබොවන් මම මේ කියන්නේ අර වෙල් යායක් මැද තියෙන පංසල ගැන. අර බෞද්ධ අපේ මුදුන් මල්කඩක්වන් සිද්ධස්ථානයක් එහෙම අයිති පංසල ආන්න ඒක ගැන. මට කියන්න ඕන කලේ නායක හාමදුරුවා හරිම තේජාන්විතයි කියලා. බුද්ධ පුත්‍රයෝ නෙව ආයිබොවං. උන්නාන්සේ නිතරම අඳන කඩේ විතරක් ඇඳලා පිස්තෝලෙත් ඉනේ ගහන් ඉන්නේ. ධර්මය දේශනා කොරන්ට වෙන්ටෑ:P
සිරියහන් ගබඩාවෙත් ඇහැට කනට පේන වනිතාවක් වැරදුන වෙලාවක් ඇත්නම් ඒ කලාතුරකින් තමයි ඉතින්. වෙන එකක් තියා ලඟ පාත තියෙන පොලෝසියෙත් ඒ සංදියේ නම් ක්‍රියාත්මක උනේ උන්නාන්සෙගේ තීන්දු තීරණ තමයි. ඕන ජඩ වැඩක් කොරලා පොලෝසියෙන් කුදලන් ගිය එකෙක්ගේ ගෙදරක කෙනෙක් ගෙහුං උන්නාන්සෙට දුක් ගැනවිල්ල කීවානම් ඔන්න ඕකට යන්න දුන්නානම් මහත්තයෝ කියන පමාව විතරයි අර අමනයා එලියේ. පොලෝසියේ කිරියාත්මක වෙන්නෙත් උන්නන්සෙගේ අණ බොලව්. බුද්ධ සාසනේ රකින බුද්ධ පුත්‍රයෝ නෙව.
අහිතක් හිතන්ට කාරි නෑ. මම මේ ලියාපු කිසි දෙයක් ඕප දූප නෙවෙයි. හැබෑවටම සිදුවුන හා සිදුවෙමින් පවතින දේවල්. මේදේවල් යමෙක් අභියෝගයට ලක්කරනවා නම් හෝ මුසාවාද යැයි චෝදනා කරනවානම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි බවට වගකීමෙන් ප්‍රකාශ කරත්නත් කැමතියි. මෙහි සඳහන් ස්ථාන සමග හෝ පුද්ගලයන් සමග මගේ කිසිම පෞද්ගලික කෝන්තරයක් නෑ. එහෙත් සාසනේ ඉඳන් සාසනේම වළඳන මෙහෙවු අයට මම විරුද්ධ නිසා මෙහෙම ලිවුවා. අනික් කාරනේ මම බෞද්ධයෙක්. ලෝකෙට පේන්න බෞද්ධ චරිතයක් රඟන නළුවෙක් නොවෙන බෞද්ධයෙක්. ඒ නිසා මට අයිතියක් තියෙනවා මෙහෙම දේවල් සිදු වෙනවා කියලා ලෝකෙට කියන්න.
තෙරුවන් සරණ යන අපි මුලින්ම ශික්ෂාපද පහක් කියනවා. ඔක්කොම නැතත් ඕකෙන් එකක් දෙකක් හරි රකින්න හුඟ දෙනෙක් දැඩි උත්සාහයක් ගන්නවා. ඒ ඉතින් කාටවත් පේන්න නෙමෙයි කාටවත් කරදරයක් නැතිව ඉන්න කැමති නිසා. ඒත් එහෙව් ගිහියන්ගෙන්ම යැපෙන ගිහියන්ට අවවාද අනුසාසනා කලයුතු අය මෙසේ වෙනකොට කාටද ඒ අවනඩු කිවයුතු....?
මම දන්න තරමින් බුද්ධ දේශනාවල තියෙන එක කාරනාවක් තමයි කිසිම භික්ෂුවකට මුදල් ඉපයීම,මුදල් රැස් කිරීම, මුදල් පරිහරණය කැප නෑ. ඒත් වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා සාස්තර කියනවා වෙලාවල් බලනවා, වෙදකම් කරනවා, අනවින කොඩිවින හදි හූනියම් ඇතුළු නොයෙකුත් ජාති කරනවා. මේ එකක් වත් බහුජන හිතාය බහුජන සුඛාය කියලානම් නෙමෙයි තනිකරම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්. තම තමුන්ගේ සුඛවිහරණයට. තේරෙන සිංහලෙන් කියනවානම් බඩ වඩා ගැනීමට.
මගේ අරමුණ:
මට මගේ අඹුදරුවන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තරමට මිල මුදල් හම්බ කරලා තියන්න පුළුවන්. ඒත් ඒවා භුක්ති විඳගෙන කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් රටක් හදන්න බෑ තනියම. ඒකට අපි හැමෝම එකතු වෙන්න ඕන. මේකලාට විරුද්ධව යුද්ධ කොරන්න නෙමෙයි ආයිබොවන්. මේ වංචාවල් යම් තරමකට හෝ පාලනය කරන්න.
අවම වශයෙන් කියන දේ කරනවානම් කරනදේ කියනවානම් ඒ සත්‍යයේ බලයෙන් හරි රටට ලෝකෙට යහපතක් වේවි.
එහෙනම් මට ගෙහුං එන්ට අවසර....!