රථගාය යනු හමෝටම පාහේ වැලඳෙන රෝගයකි. එහෙත් ටික කලකින් බොහෝ දෙනෙකු සුවය ලබන්නෝය. අතීතයේ මව්වරුන් මේ බව දැන සිටි නිසාදෝ රතගායට සිංහල වෙදකම් ද කල බව මා අසා තිබේ.එයට ඔය ලුණුවිල හා තවත් දෑ ගත් බව කව්දෝ කියනු මට මතකය. අද කාලයේ මව්වරුන්ට සෞඛ්‍ය සායනවලින් මේවාට ඉඩ නොලැබෙන්නේය. මිඩ්වයිෆ් නෝනලාට අනුව ඒව සුම්මාය. ඒ නිසාදෝ වර්තමානයේ බොහෝ දෙනෙක් රථගායෙන් පෙලෙන්නෝ වෙත්. එයින් පීඩාවට පත් වන්නෝ රෝගීන් පමණක්ම නොවීම කණගාටුවට කරුනකි. කාරනා කටයුතු එසේ වුවද රථගාය හැදුන පමණින් අපට ඕනෑ ඕනෑ ආකාරයට මාර්ග වල රථවාහන දැක්කීමට හැකියාවක් හෝ අයිතියක් අපට නැත්තේය. එයට සම්මත ක්‍රමවේදයක් හා නීති රීති අන පනත් අත්තේය. ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් වශයෙන් ඒවාට ගරු කරමින් මාර්ගවල ගමන් කිරීම අප සතු යුතුකමකි. ඒ සඳහා ස්වයං විනයක් අවශ්‍ය වන්නේය. නමුත් අපේ උන් නොකරන්නේම හා ඔවුනට නැත්තේද එයම වීම ඉතා කණගාටුදායකය. එවන් වූ අයගේ නොමනා ක්‍රියාවලින් අනතුරට, අපහසුවට, මරණයට පත්වන්නේ ඔවුන් පමණක් නම් එහි වරදක් මා දකින්නේ නැත. මන්ද මිනිස් ජීවිතයක අගය වටිනාකම නොහඳුනන නොතකන අමනයන් සිටියාටද වැඩක් නැති බැවිනි.
මේ එක් නිධාන කතාවකි.
මගේ නිවසේ සිට කඩයට ඇත්තේ කිලෝමීටරයක දුරකි. ඊයේ (සෙනසුරාදා) සවස 5ට පමණ මා කඩය වසා ගෙදර යාමට නික්මුනෙමි. මීටර් 100ක් පමණ ධාවනය කරන විට මගේ දකුණු පසින් රථවාහන පෙලක්ම විරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබුණි. හිටි හැටියේම වෑන් රථයක් අප ගමන් කල මං තීරුව ආක්‍රමනය කරමින් (ඕවර්ටේක් කරමින්) ඉදිරියට එන්නට විය. ඔහුට පිටුපසින් ත්‍රීවිලර් දෙකක් හා මෝටර් සයිකල් කිහිපයක් ද විය. මා පසුපසින්ද වාහන කිහිපයක්ම පැමිණෙමින් තිබූ නිසා හා අප ගමන් කල මංතීරුවේ ඉඩ ඔවුන් ලබාගත් නිසා මා ප්‍රධාන පහන් දල්වා ඉදිරියට නොපැමිණෙන ලෙස සන් කලද වගේ වගක් නැතිව ඔහු ඉදිරියටම ආවේය. මා වේගය ඉතා අඩාල කොට මාර්ගයේ හැකි තරම් අයිනට කර ගැටීම වලකා ගත්තෙමි. ඒත් සමගම ඔහුගේ මව් ගුණ වැයුවේ ඔහුට පමණක්ම නොව රථ වාහන පෙලටම ඇසෙන ලෙසය. වැරදි ආකාරයකින් උපත ලද හෙයින්දෝ ඒකා ගානකට නොගෙන යන්න ගියේය. ඉනික්බිතිව ගමන් කරන්නට ලැබුනේ තවත් මීටර සීයකට ආසන්න දුරකි. බාර් එක ලඟ නවතා තිබුනු ජීප්පුවක් මහ පාරට දැම්මේ ලඟ ලඟම එන වාහන පේලිය ගැන කිසිඳු තැකීමකින් තොරවය. ඒ මොහොතේ මට සිතුනේ අනේ මම JCB එකක් දක්කාගෙන ආවානම් කියාය. ලඟට කිට්‍ටුකර හරුප දෙකක් පැවසීමට ඇති ආශාව නංගි බබාගේ බලවත් පෙරැත්තය නිසාම යටපත් කර ගත්තෙමි.
ඉන් අනතුරුව අප මෝල හංදියට පැමිණියෙමු. ඉදිරියෙන් දකුණට හැරවියයුතු නිසා මවිසින් සංඥා පහන්ද දල්වා පසු මාර්ගයද නිරීක්ෂණය කරමින් මඳ දුරක් පැමිණ හුලං අස්පයා දකුණු පසට දැක්කුවෙමි. කොහේදෝ සිට පැමිණි ස්කූටිපෙට් එකක් මගේ බයිසිකලයේ ඇමිනුනේය. ඒකත් වම් පස මාර්ගය පැහැදිලිවම හිස්ව තිබෙද්දීය. හාස්කමකින් මෙන් මගේ බයිසිමොටෝව නැවත පාරට ගැනීමටත් සමබරතාවය රැක ගැනීමටත් මට හැකියාව තිබුනි. එසේ නොවන්නට අර පොලොස් කොට්ටෝරුවා මගේ හෝ නංගි බබාගේ දකුණු කකුල කඩනවාමය. ඔහුගේ බයිසි මොටෝව පාරෙන් ඉවතටද පැන මාළු ලෑල්ල අසලදී නැවතුනේය. අමාරුවෙන් රඳවාගෙන සිටි සංයමය මේ වෙනවිට මවෙතින් ගිලිහී තිබුනු නිසා මා ඔහුවෙත යාමට සැරසුනේ හොම්බට දෙකක් ඇනීමටය.
අනේ අයියේ එපා අනේ...
අනේ අපි යං අයියේ...
ඉතින් අපිට මොකුත් උනෙත් නෑනේ...
අනේ අපියං....
ඔය මගේ මායියාගේ හැටිය.
අර බයිසිකලයේ පසු පස ගෑල්ලමයෙක්ද සිටියාය. ඇය මගමරුවාගේ මායියා වියයුතුයැයි අප අනුමාණ කලෙමු. ඒ මදිවාට ඔවුන් බොහෝ සේ බයවෙලාය. ගෑල්ලමයා ඉදිරියේ කොල්ලෙකුගේ හොම්බතැලීම නොමනා ක්‍රියාවකැයි මටද හැඟිනි. එබැවින් ඔවුනට යන්නට හැරියෙමි. එසේ ගත් කල එකම දිනක්තුල අනතුරු තුනකට මම මුහුණ දී ඇත. ඒද ඉතා පරීක්ෂාකාරීව රිය පදවලාය. අනෙක් පාර්ශව කරුවන් මේ කිසිම විටෙක තමන් ගමන් කරන්නේ පොදු මාර්ගයකය මෙහි ගමන් කරනා හැම කෙනෙකුම පිලිපැදිය යුතු පොදු නීති සමූහයක් තිබෙනවායැයි නොසිතීම මේ සිදුවීම් කීපයටම හේතු වූ බව මගේ හැඟීමයි. අප පෞද්ගලිකව කුමක් හෝ වාහනයක් භාවිතා කරන්නේ අපේ පහසුවට හා ඉක්මනින් ගමනක් බිමනක් යාමට බව සැබවි. එසේ වූ පමනින් සෙසු මාර්ගය භාවිතා කරන්නන් නොසලකා හරිමින් තමන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයැයි සිතමින් ගමන් කිරීම යුතුනොවේ. තත්පර කිහිපයක් පමා වුවද ඉවසීමෙන් හා මනා සංයමයෙන් යුතුව මහා මාර්ගය භාවිතය සියළුදෙනාගේ යුතුකම හා වගකීම නොවන්නේද......?
ප/ලි:
ඊයේ උදේ අපි කඩේ ඇරලා විනාඩි පහක් වත් ගියේ නෑ මහ සද්දෙට බ්‍රේක් ගහන හඬකුයි ඒක අවසානේ දඩෝං ගාලා සද්දෙකුයි ඇහුන නිසා මම නංගි බබාවත් පෙරලගෙන එලියට දුවන් ආවා. බැලින්නම් මොටෝ බයිසිකලයක් හැප්පිලා පොලිස් වාහනේක.අර පාටපාට ලැයිට් හයි කොරං පෝං පෝං ගගා යන පොලිස් කාර් තියෙන්නේ ආං එව්වා එකක. කවුරුවත් හිතා මතා අනතුරු කරගන්නේ නැතිබව මහ ජනයා වන අපි හිතුවට පොලීසිය එහෙම කියන්නේ නෑනේ ආයිබොවන්. එයාලගේ පරීස්සන නිරීස්සන වලට අනුව ඒ අය පැමිනෙන අවසාන නිගමනයෙදි අනිවාර්යයෙන්ම වැරදිකාරයෙක් ඉන්නවා. නොසැලකිලිමත්කම, බීමත්කම, ක්‍රමවත් පුහුණුවක් නැතිකම හෝ මොකක්හරි උලව්වක් හේතු බූත උනයි කියලත් කියනවනේ. ඉතින් මෙතැනදිත් එයාලගේ හැන්දෙන්ම එයාලටම බෙදුවොත් වරද පොලිස් කාරෙකේමයි. ඒ කියන්නේ ආයිබොවන් දකුනු පැත්තේ මං තීරුවෙත් අවසානයට ආසන්නයෙදී තමයි පොලිස් මහත්තයා බයිසි මොටෝව හප්පලා තියෙන්නේ.බයිසිකලේ දකුනට හරවන සිග්නලුත් දාලා. අපි එතනට යද්දිත් ඒවා පත්තු වෙනවා. ස්ත්‍රී පරාණෙකුත් පාර මැද්දෑවේ වැටිලා හිටි නිසා උන්දැව උස්සලා පාර අයිනට ගෙනිහින් වාඩි කරවලා අහක තමයි බැලුවේ කවුදෑ මේ හපංකොම කොරැව්ව උත්තමයා කියලා. බැලින්නම් අපේ වැයිකියේ රථ වාහන අංශේ ලොක්කෙක්. උන්දෑ බැහැලා ඇවිත් අර බයිසිකලේ පැදගෙන ආපු මනුස්සයට කියනවා පාර බලලා එපායෑ දකුනට දාන්න කියලා. එතැන හිටි උන් හැමෝටම අධෝ මුඛයෙනුත් හිනා. ඇයි යකෝ අර මනුස්සයට පිටි පස්ස නොබැලුවා කියලා කියන එකා වාහනේ එලෝලා තියෙන්නේ ඉස්සරහා වත් බලන්නේ නැතුව.
ප/ප/ලි:
යන්ඩ කලින් මේකත් කියලම යඤ්ඤං. මේ වෙද්දිත් ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ පහු ගිය සතියේ මරදාන දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනපු බව. එදා සරාත් කොළඹ ගියේ ඔය කෝච්චියේ. දඩ බඩෝං ඩෝං ගාලා තද ගැස්සීමක් ආවම සරාට දැනුනා මොකක් හරි අටමගලයක් උනා කියලා. ටිකක් ඔලුව දාලා බැලුවම තමයි සරා මේක දැක්කේ.........
ඊට පස්සේ කෝච්චියෙන් බැහැලා මේ ටිකත් ගත්තා.
බලන්න මේ හරක් ටික රිංගන්නේ මොනතරම් අනතුරු දායක තැනකටද කියලා. පැත්තක ඉඳන් මම කිව්වම එන්ජිමත් තවම ස්ටාර්ට් එකේ තියෙන එකේ ඕක අස්සට යන්න එපා කියලා එතන ඉන්න එකාලා මා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලන විදිහට. උන්ගේ මෝඩ කමට හිතින් හිනාවුන මම මගේ පාඩුවේ ස්ටේෂම පැත්තට ගෑටුවා.මේකට කියන්නේ කුතුහලය කියලා නෙමේ ආයිබොවන්ඩ, පැහැදිලි මෝඩකම...!!
අනතුරු වලක්වා ගැනීමේ හැකියාව අප සතුව නැතිව නෙමේ ජාන වල තියෙන සත්ව ගති හිටි ගමන් ඉස්මතුවෙන එක තමා අපේ අයගේ වරද......!